(නූතන) මහරජ ගැමුණු

සේයා - අන්තර්ජාලයෙන්

නූතන ධනපති යුගය උදාවීමත් සමඟ ලෝකයේ බොහෝ රටවල ජාතික සවිඥානකත්වය ඉදිරියට ආවේ ය. ඒ එකම වෙළඳපලක සමානාත්මයෙන් යුතුව, සමාන අයිතින් තුළ ගනුදෙනු කරන ජනතාවක් ලෙස ජාතියට නව අර්ථකථනයක් ලැබීමෙනි. කෙසේ වෙතත් අද වන තෙක් අඩු දියුණු රටවල් වල  ‘‘ජාතිය’’ ඒ අර්ථයෙන් පරිපූර්ණත්වයට පත් වී නැත. ඒ අනුව ලංකාව වැනි කුඩා බහු ජාතික සමාජයක ජාතිකත්වය ද සම්පූර්ණ වූයේ නැත. ඒ අඩුව පවතින්නේ මේ සමාජයන්ගේ යටිව්‍යුහයේ එනම් නිෂ්පාදන සබඳතා නිසි පමණට සංවර්ධනය නොවීමේ ඵලයක් හැටියටය. දියුණු ලොව පුළුල් අර්ථ නිරූපණයෙකින් ඇඟවෙන ‘‘ජාතිය’’ යන්නට වඩා බොහෝ ලාංකිකයන්ට ‘‘වංශය’’ හා ‘‘ආගම’’ බෙහෙවින් වැදගත්ය. මෙහි ප‍්‍රතිඵලයක් වශයෙන් ඉතිහාසඥයන් ඇතුළු ලේඛකයන් ජනාවාස ආරම්භ වූ මුල් කාලයේ රණශූර බලකාමීන් සිය කුඩා හමුදා සමඟ ඔවුනොවුන් අතර කළා වූ සටන් ජාතික හා ආගමික සටන් ලෙස හුවා දක්වා ඇත්තේ ය. එසේම ඔවුන් ඉතිහාසයට ‘‘ආර්ය’’ හා ‘‘ද්‍රවිඩ’’ වෙනස්කම හඳුන්වාදුන් අතර එම තත්ත්වයට ගැළපෙන අයුරු ඉතිහාසයේ සිද්ධි වාචක අර්ථකථනය කළේය. එහි දී දුට්ඨගාමිණී, එළාර අන් සැමට ඉහලින් පාවිච්චි කරනු ලැබීම එදත් අදත් එක සේ දක්නට ලැබෙයි. නමුත් මේ කතාවට ඒ සලකා ඇති ආකාරය යළි ඇගයීමට ලක් කරමින් අතීතය මෙන්ම වර්තමානයත් වඩා හොඳින් අවබෝධ කර ගැනීමට ඉතිහාසය පිළිබඳ වැඩි දියුණු අධ්‍යනයන් පැවැතිය ද යළි යළිත් එය ආගමික හෝ ජාතික සටනක් ලෙස ගෙන ඒ සීමා තුළ රඳවා ඉදිරිපත් කිරීම කනගාටුදායක ය. 

දැනට ප‍්‍රදර්ශනය වන මහරජ ගැමුණු සිනමාව එසේ අතීතය හෝ වර්තමානය වඩා හොදින් අවබෝධ කර ගැනීමට පේ‍්‍රක්ෂකයාට මංපෙත් විවර කරනවාට වඩා, වඩවඩාත් අඳුරටම තල්ලු කරනු දැකිය හැකි ය. මේ සිනමාව තුළ  ගූඪ ජනප‍්‍රවාදයන් ඉස්මතු කිරීම ආදිය ද නූතන සමාජයට කිසිසේත් නොගැලපෙයි’ සැබැවින්ම සිනමාකරුවා තමන්ගේ දෘෂ්ටිමය දුබලතාව නිසා දුටුගැමුණු නම් රාජ්‍ය පාලකයා ඉතිහාසය තුළ ඉටු කළ මූලික මෙහෙය විවර කිරීමට අසමත් වෙයි. ඒ නිසා නූතන යුගයේ සිංහලයාගේවත් පොදු ගරුත්වයක් දුටුගැමුණු පිළිබඳව ජනිත නොවන අතර සිංහල බෞද්ධයාට පමණක් මේ ඓතිහාසික චරිතය සීමා කෙරී තිබේ. 
සැබැවින් එදා ලංකාවේ පැවැතියේ ආසියාතික නිෂ්පාදන ක‍්‍රමයන්ගේ ප‍්‍රාථමික ලක්ෂණයි. ස්වයංපෝෂිත. ගම, එනම් ගැමි කොමියුනය පදනම් කරගත් නිෂ්පාදන  ක‍්‍රියාවලියක් මුල් කර සැකසුණු වරිග, කුල, වංශ ලෙසින් අනන්‍යතාවයන් ප‍්‍රකාශ කෙරුණු සමාජයකි. මේ කොමියූනවල නායකයෝ මේ නිෂ්පාදන ක‍්‍රියාවලිය සම්බන්ධිකරණය හා ඉන් නිපැයෙන සුළු නිෂ්පාදන අතිරික්තයත්, ශ‍්‍රම අතිරික්තයත් තම ප‍්‍රදේශයේ නිෂ්පාදනයන්ගේ වර්ධනයට අවශ්‍ය ජල සම්පාදනය දියුණු කිරීම වැනි පොදු අවශ්‍යතා වර්ධනය කිරීම සංවිධානය කළේය. ලංකාවේ මෙම කටයුතු වඩා මධ්‍යගත කර ඇරඹෙනු දක්නට ලැබෙන්නේ පණ්ඩුකාභය බිහිසුණු මිනීමැරීම් සහිත යුද්ධය ගණනාවකින් ලංකාවේ වයඹ හා ඊසානදිග ප‍්‍රදේශ එක්සත් කිරීමත් සමඟය. ඒ අනුව මේ ප‍්‍රදේශයන්හි පැවැති විවිධ ගෝත‍්‍රික සමාජයන් දියකර මධ්‍යගත පාලනයකට අඩිතාලම දැමීය. (ක‍්‍රි.පූ. 320 පමණ) ඉන්දියාවේ වයඹ දිග හා ඊසානදිග ප‍්‍රදේශ වලින් පැමිණ මේ ප‍්‍රදේශයන්හි ජනපද පිහිටුවාගත් ‘‘ආර්ය’’ ගෝත‍්‍ර මෙන් ම ඊට පෙර සිට මේ භූමියට සංක‍්‍රමණිය වී සිටි ද්‍රවිඩ ගෝත‍්‍ර ද(බොහෝ විට යක්ෂගෝත‍්‍ර ලෙස වංශ කතා වල දී හඳුන්වන) එසේ එක්සත් කර එක් පරිපාලනයකට ගෙන ඒම එදා ඓතිහාසික ජයග්‍රහණයක් විය. ඒ අනුව මේ එක්සත් ජනතාවගේ නිෂ්පාදන හා ශ‍්‍රම අතිරික්තය එක්කර මධ්‍යගත වාරිමාර්ග පද්ධතියකට මූලාරම්භය තැබීමට හැකි විය. 

නමුත් ඉතිහාසය තවදුරටත් ඉල්ලා සිටිනු ලැබුයේ මුළු ලංකාවේම ශ‍්‍රම හා සම්පත්වල ශක්තින් එක්කල හැකි ප‍්‍රබල මධ්‍යගත රාජ්‍යයකි. ඒ මඟින් ශක්තිමත් ආර්ථික පදනමත් සහිත මධ්‍යගත රාජ්‍යයක් බිහි කිරීම ඉතිහාසයේ ඉලක්කය වී තිබුණි. ඒ ආසියාතික රාජ්‍යයයි. 
පණ්ඩුකාභය ඉන්දියාවේ මගධ රාජ්‍යය ගොඩනැඟූ (ක‍්‍රි.පූ.322 පමණ) චන්ද්‍රගුප්ත රජුට සමකාලීන වෙයි. මගධයේ නැගීමෙන් ඇරඹුණු ඉන්දීය මධ්‍යගත ආසියාතික රාජ්‍ය ගොඩ නැගීම බිංදුසාර රජු ඉදිරියට ගෙන ගිය අතර චණ්ඩාශෝක විසින් සම්පූර්ණ කරන ලදී. අශෝකගේ එම ජයග‍්‍රහණය යුදමය මැදිහත්වීමක් මඟින්ම නොවුන ද ලංකාව දක්වාම දීර්ඝ කෙරුණකි. කාලිංගයෙන් පසු අඩුදියුණු දුබල රාජ්‍යයන්සේ ඔහු සැලකූ දකුණු දිග ඉන්දියාව වෙත ආක‍්‍රමණයන් අදාළ නොවීය. පණිවිඩ මඟින් ඒවායේ පාලකයෝ අවනත කර ගැණිනි. ලංකාවේ සිටි තිස්ස නම් වූ පාලකයාට ඔහු තමන්ගේ නමක් වන දේවානම්පිය යන්නද ආරෝපණය කරමින් රාජාභිෂේක කරනු ලැබීම ඒ සඳහා හොඳම උදාහරණයයි. 
ලංකාවේ දී පණ්ඩුකාභය ඇරඹූ ගමන, ඉදිරියට යමින් දකුණු දිග ජනපද ඒකාරාශී කිරීම කාවන්තිස්ස විසින් බොහෝ දුරට ඉටු කර තිබුණු අතර අනුරාධපුරයේ එළාර යටත් කරන්නේ නම් රට එක්සත් කිරීම කාවන්තිස්සට කළ හැකිවිය. නමුත් ඔහුගේ කාලය තුළ ඒ සඳහා සුදානම් වීම පමණක් සිදුවූ අතර එම කටයුත්ත සම්පූර්ණ කිරීම ඉතිහාසය විසින් පවරා තිබුණේ දුටුගැමුණු වෙතයි. දැවැන්ත යුධ ක‍්‍රියාමාර්ගයක අවසානයේ දී ඔහු එම ඓතිහාසික කටයුත්ත නිමා කළේය.

දුටුගැමුණුගේ ජයග‍්‍රහණය (ක‍්‍රි.පූ.161 – 137) ක්ෂණිකව ලංකාවේ ආසියාතික නිෂ්පාදන ක‍්‍රියාවලියේ දැවැන්ත වර්ධනයකට හේතු විනැයි නොපෙනුනද යෝධ වැව් හා වාර්මාර්ග ඉදිකිරීම එතැන් සිට දශක කිහිපයකට පසු වසභ රජු (ක‍්‍රි.පූ.67-11) කාලයේ ඇරඹුනේ දුටුගැමුණු ලංකාව තුළ තහවුරු කළ එක්සත් ආසියාතික රාජ්‍යයේ පදනම මතය. දැවැන්ත වැව් හා ඒ ආශ‍්‍රිත ඇළ මාර්ග පද්ධති ගොඩ නැගීමට අවශ්‍ය අතිරික්තය හා ශ‍්‍රමය ලබා ගැනීමට ප‍්‍රදේශීය පාලකයෙකුට හැකි වන්නේ නැත. ඒ අනුව ලාංකීය සංස්කෘතියේ හා සභ්‍යත්වයේ පදනම වන මේ දැවැන්ත වාර්මාර්ග පද්ධතිය ගොඩ නඟා ලාංකීය ජන සමාජය ඉදිරියට ගැනීමට සුදුසු භෞතික පරිසරය ගොඩ නැගීමට පදනම් වු මධ්‍යගත ආසියාතික රාජ්‍යය ගොඩ නගන ලද්දේ දුටුගැමුණු රජු විසිනි. ඔහුගේ මූලික ඓතිහාසික කාර්යභාරය  එයයි. 
අවාසනාව වන්නේ අපගේ සිනමාකරුවා මේ ඓතිහාසික සත්‍යයට ළඟා නොවී මතුපිට දේශපාලන ප‍්‍රවණතා මුල් කොටස සැලකීමයි. මධ්‍යගත රාජ්‍ය ගොඩ නැගීමේ දී මේ දේශපාලන තර්ක විතර්ක, අශෝක ලංකාවට එවූ බුද්ධාගම ඒ සඳහා උපයෝගී කර ගැනීම ආදිය අත්හළ යුතු යයි මා කියනවා නොවේ. නමුත් එයට සීමා වීම මඟින් වර්තමානයේ දී සිනමාකරුවා ඉෂ්ට කරන්නේ කුමක්ද? නූතන සිංහල- බෞද්ධ වර්ගවාදීන්ගේත්, යුධවාදීන්ගේත් මනදොල  සපුරණ සිනමාවක් තිරගතකර පේ‍්‍රක්ෂකයන් ගේ සිත් සතන් මිත්‍යා දෘෂ්ටියෙන් පුරවාලීමට දායක වීමයි.  

බුදුදහම මෙන්ම ශ‍්‍රී මහා බෝධිය ද දේවානම් පියතිස්ස රජු විසින් මිහිඳු හිමියන්ගේ ද මැදහත්වීමෙන් රට පුරාම තම ආධිපත්‍යය පැතිරවීම සඳහා යොදා ගත්තාය යන්න සත්‍යයක් බව ඉතිහාසයේ කරුණු විමර්ශනයෙන් පෙනෙයි. බුදුසමය රට පුරා පැතිරවීමේ ව්‍යාපාරය ආරම්භ වනුනේ මහ බෝරුකෙහි ශාඛාවක් ලංකාවේ පැළ කිරීමෙන් පසුය. මේ බෝරුකෙන් ඇති වූ ඵල රෝපණයෙන් බිහිවූ බෝපැළ රටපුරා රෝපණය කළ බවත් ඒ සමඟ ඒ බොහෝ තැන්හි දාගැබ් පිහිටුවීමටද දේවානම්පියතිස්ස කටයුතු කළ බවත් ඉතිහාසය කියයි. සැබැවින්ම මේ බෝ පැළ රෝපණය කල බහුතරයක් ස්ථාන පිහිටියේ දේවානම්පියතිස්සගේ රාජ්‍ය පාලනය පැවැති ප‍්‍රදේශයෙන් බැහැරවය. ඒ වනවිට ධර්මාශෝක විසින් අනුරාධපුරයේ රාජ්‍ය පාලකයාව නැවත රාජාභිෂේක කරනු ලැබීම පිළිබඳ පුවත රටේ වෙනත් ප‍්‍රදේශ වල පාලකයන් දැන සිටියාට සැකයක් නැත. එම මහා අධිරාජයාගේ පුතකු හා දියණියක අනුරාධපුරයේ වෙසෙමින් එහි පාලකයා සමඟ එක්ව ධර්ම ප‍්‍රචාරයේ නියුතුව සිටීමද පැහැදිලිය. ඒ නයින් බලන කල දේවානම්පියතිස්ස ඉන්දීය අධිරාජයාගේ මෙරට නියෝජිතයා ලෙස ඔවුන්ට පෙනුනා වුවද පුදුමයක් නොවේ. නියෝජිතයාගේ සිත රිදවීම අධිරාජයාගේ සිත් රිදවීමට සමානය. ප‍්‍රතිඵල බියකරු වනු ඇත. ඒ අනුව අධිරාජයාගේ පුතා හා දේවානම්පියතිස්ස ගෙන එන බෝ පැළ රෝපණයට හා දාගැබ් සෑදීමට ප‍්‍රාදේශීය පාලකයන්ද එක් වෙමින් බුදුදහම වැළඳගත්තා ද නිසැකය. එසේ දේවානම්පියතිස්සගේ බෝරුක හා දාගැබ රාජ්‍ය බලය ව්‍යාප්ත කරන්නක් විය.

ඒ අනුව බලන කළ පෙනී යන්නේ ආගමික වශයෙන් ලංකාවේ සියලුම ප‍්‍රභූ පිරිස් බුද්ධාගමිකයන් බවට පැමිණි බවයි. ඒ ධර්මාශෝක අධිරාජ්‍යයාගේ ආනුභාවය යටතේ බවද සැලකිය යුතුය. බුදුහු කිසිවිටකත් අනුදැක නොවදාළ ගූඪවාදයන්ද ඇතුලත් වූ මේ නිල බුදුදහම සැබැවින්ම ලංකාවේ ඒ වන විටත් විවිධ ගෝත‍්‍රික ජනයා අතර පැවැති ප‍්‍රාථමික ගූඪ විශ්වාසයන්ට ද එරෙහි නොවූ බව පෙනේ. මේ විශ්වාසයන් කාවන්තිස්ස විසින් රුහුණු පුරය ඒකාබද්ධ කර ගැනීම සඳහා යොදාගත් අතර දුටුගැමුණු එළාර සමඟ යුධ වැදීම ජනතාව ඉදිරියේ සාධාරණය කිරීම සඳහා ද යොදාගත්තේ ය. මේ තතු යටතේ ලංකාව එක්සේසත් කිරීමේ දී බුදු දහම අදාළ වූ බව අත් නොහරිමු. නමුත් ඒ මධ්‍යගත ආසියාතික රාජ්‍ය ලංකාව තුළ ගොඩ නැඟීමේ එක් දේශපාලන අවියක් හැටියට පමණය. ඒ පිළිබඳව තව දුරටත් පසුව බලමු.    ලංකාවේ ඇතැම් ඓතිහාසික වකවානු පිළිබඳව අධ්‍යයනය සඳහා දැනට ඇත්තේ සාහිත්‍ය මූලාශ‍්‍ර පමණක් බව ඇත්තය. නමුත් මේ සාහිත්‍ය මුලාශ‍්‍ර භාවිතයේ දී විචාර බුද්ධියෙන් කටයුතු කිරීමෙන් ඓයිහාසික පුද්ගලයන් පිළිබඳව සාධාරණ ඇගැයීම් කළ හැකි වෙයි. දුටුගැමුණු – එළාර විමසීමේ දී බොහෝ දෙනා දීපවංශය, මහාවංශය හා පූජාවලිය යොදාගනු දැකිය හැකිය. එහි දී අපට පෙනෙන්නේ මේ සිනමාකරුවා පූජාවලියේ එන දුටුගැමුණු – එළාර අපට ඉදිරිපත් කරන බවයි. 

එය බරපතල වරදකි. පූජාවලිය ලියන ලද්දේ ආක‍්‍රමණික මාඝගේ කොල්ලකාරී කෲර පාලනයේ සමකාලීනිකයෙකු වූ ස්ථවීරවරයකු විසින්ය. මාඝගේ දරුණු ක‍්‍රියාවන් සහිත කොල්ලකාරී පාලනයේ අත්දැකීම් සමඟින්ය. ඔහු ලංකාව තම දේශය ලෙස නොසැලකූ කොල්ලකාරී පාලකයෙකි. ඔහුගේ දරුණු ක‍්‍රියාවන්ගේ මතකය මගින් ඊට පෙර ලංකාවට පැමිණ රජ වූ ආක‍්‍රමණික පාලකයන් ද එවැනිම චරිත ලෙසම ගෙන, ද්වේශ සහගත ස්වරයෙන් ඔවුන් ගැනද කථා කිරිමට එහි කතුවරයා පෙළඹෙන්නට ඇත. නමුත් එයට ශතවර්ෂ 8-10 කට පැරණි වංශ කතා වන දීප වංශය හා මහා වංශය ලියූ ස්ථවීරයන් වහන්සේලා විසින් මේ සම්බන්ධව දක්වා ඇති අවධාරණය නොතකා හැරීම ඉතිහාසය පිළිබඳ මිත්‍යා දැනවීමක් වන්නේ ය. 

එළාර බලයට පැමිණියේ අනුරාධපුර රාජ්‍යයේ පැවැති අස්ථාවරත්වය යොදා ගනිමිනි. දේවානම්පියතිස්සයන්ගේ අවෑමෙන් රජ පැමිණි ඔහුගේ බාල සහෝදරයා වූ උත්තිය කුමාරයාගේ පාලන සමයේ දී ඊළඟට රාජ්‍ය උරුමක්කාරයා වූ මහානාග උප රජුට වස කවා මැරවීමෙන් තම පුතුට රාජ්‍ය ලබා දීමේ දුෂ්ඨ ක‍්‍රියාවක් උත්තිය කුමාරයාගේ බිසව විසින් සංවිධානය කළාය. ඒ අනුව මේ උපරජු සිය අන්තේවාසිකයන් කැටිව රුහුණට ගොස් කතරගම වංශාධිපතීන්ගේ සහයෝගයෙන් මාගම ජනපදයක් ඉදිකරගත්තේ ය. උත්තිය රජුගේ පුත් කුමරාද අකාලයේ මිය ගියේ ය. අනතුරුව රජ බවට පත් සූරතිස්ස නම් දුබල රජු පලවා හැර වයඹ දිග ඉන්දියාවෙන් පැමිණි සේන-ගුත්තික නම් වෙළඳ නායකයන් දෙදෙනෙක් 22 වසරක් අනුරාධපුරය පාලනය කළේය. අවසානයේ අසේල නම් ස්වදේශීය වංශාධිපතියෙක් බලය අල්ලා ගත් අතර ඔහු ද දුබලයකු විය. ඒ අනුව සොළී රටෙන් පැමිණි රණකාමී වංශාධිපතියෙකු වූ එළාර අනුරාධපුරය අත්පත් කර ගත්තේ ය. 

සේයා – IMDB

වීරගැමුණු හා දුෂ්ඨ එළාර

ජයන්ත චන්ද්‍රසිරි ඉදිරිපත් කරන එළාර- මහරජ ගැමුණු ට එදිරිව මේ ඓතිහාසික චරිත දෙක එළිපෙහෙළි කර ගැනීම සඳහා එම සිනමාව පිළිබඳ මාගේ සමාජ විවරණය අවසන් කිරීමේ යෙදී සිටියදී ඥානසිරි සහෝදරයා බූන්දි නම් වෙබ් සයිට් එකේ පළකර තිබූ ලලීන්ද්‍ර සන්නස්ගම නැමැත්තා ලියූ සිනමා විවරණයක් මා වෙත එවා තිබුනේ ය. මාගේ විවරණය සඳහා ඔහු දක්වා ඇති කරුණු කිහිපයක්ද ඇතුල් කිරිමට මම වහාම තීරණය කළේ ඒ මඟින් මගේ අදහස් වඩා හොඳින් ඉදිරිපත් කළ හැකි යැයි හැඟුන හෙයිනි. 

ලලීන්ද්‍රගේ විවරණය සිනමාවේ ආකෘතිය ගැන ප‍්‍රබල විවේචනයක් ඉදිරිපත් කරයි. තොරතුරු ලෙස ගත් කළ ඒවා ගැන පොදුවේ එකඟවීමට හැකිය. නමුත් කලා කෘතියක් පිළිබඳව සමාජ විවරණයකදී වැදගත් වන්නේ ආකෘතියට වඩා හරය යි. ඒ අනුව සලකා බැලීමේදී චන්ද්‍රසිරිගේ සිනමාව හා ලලීන්ද්‍රගේ විවරණිකාව එක පෙළට සිටිනු පෙනේ. එනම් මේ දෙකම කරන්නේ දුටුගැමුණු සිංහලේ වීරයා කිරීම හා එළාර ආක‍්‍රමණික දුෂ්ඨ දෙමළෙකු බවට පත් කිරීමයි. සැබැවින්ම හරයෙන් ගත් කල්හි මේ විවරණිකාව චන්ද්‍රසිරිගේ සිනමාවේ ඌණ පූරකයක් ද බවට පත්වේ. චන්ද්‍රසිරි ගැමුණු ගේ නමට එක්කර ඇති ‘දුෂ්ඨ’ යන විශේෂනය එළාරගේ පුරෝහිතයාගේ නිමැවුමක් කරන අතර ලලීන්ද්‍ර කරුණු දක්වා කියන්නේ එය මහාවංශ කතුවරයාගේ වැඩක් බවයි. (මහාවංශ කතුවරයාගේ වාග් විද්‍යා දැනුමේ ඌණතාවය නිසා) ඒ අතර කාවන්තිස්සගේ මරණින් පසු එළාර මහවැලි ග⁣ඟෙන්  මෙපිට රුහුණු රාජධානියේ කොටසක් ආක‍්‍රමනය කර අල්ලා ගත් බව ද කියයි. ඔහුට අනුව යුද්ධය අරඹා ඇත්තේ ද එළාර විසින් ය.  

ලලීන්ද්‍ර ඒ කාලයේ තිබිය නොහැකි ගෙවල් දොරවල්, ඇඳුම් පැළදුම්, සංගීත භාණ්ඩ සිනමාවට ඇතුල් කර තිබීම ගැන දැවැන්ත විවේචනයක් කරයි. නමුත් ඒ කාලයේ සමාජය ඒ හැටියෙන්ම ඉදිරිපත් කළා නම් චන්ද්‍රසිරිට මේ නූතන යුගයේ තම සිනමාව ප‍්‍රදර්ශනයට තබන්නට වන්නේ අතිශයින්ම වැඩිහිටියන්ට සීමා වූවක් ලෙසය. මන්ද එකල ගැමි කතුන් උඩුකය වැසුවේ නැති හෙයිනි. කෙසේ වෙතත් සිනමාවේ අපේක්ෂිත පරමාර්ථය වෙනුවෙන් පෙනී සිටින අතර එහි ආකෘතිය වෙනම ගෙන පහරපිට පහර එල්ල කිරීම එතරම් පිළිගත හැකි තත්ත්වයක් නොවේ. 
කුමන ලෙසකින් බැලූවත් ඉතිහාසය විවරණය කෙරෙන්නේ ඉතිහාසඥයා ජීවත්වන යුගයේ ඔහු පෙනී සිටින සමාජ අවශ්‍යතාවයන් මුල් කරගෙනය. ජයන්ත කියා ඇත්තේ තමාට මේ සිනමාව කිරීමේ අදහස පහල වූයේ වසර පහකට පමණ පෙර බවයි. ඒ හරියටම දෙමළ ජනතාව පාගා දැමූ යුධ ජයග‍්‍රහණය සමඟිනි. සිංහල බෞද්ධ ජාතිවාදය මත අත්තනෝමතික රාජ්‍ය බලයක් බිහි කිරීම යුගයේ කර්තව්‍ය ලෙස එදා සිංහල සමාජයේ බහුතරයක් පිළිගෙන තිබුණි. ගෝලීය ධනවාදයේ අවශ්‍යතාවය ද එය විය. චන්ද්‍රසිරි සිනමාකරුවා මහරජ ගැමුණු සිනමාවේ ‘‘හරය’’ සැකසුවේ ඒ අනුවය. ලලීන්ද්‍ර ද ඒ වෙනුවෙන් පෙනී සිටී. 

එසේ මේ අපර යුධ වකවානුව තුළ සිනමාකරු ප්‍රයත්න දරන්නේ දෙමළාට විරුද්ධව ලද යුද ජයග‍්‍රහණය, එදා දුටුගැමුණු රට එක්සේසත් කිරීමෙන් නව ඓතිහාසික යුගයකට මඟ පෑදු ආකාරයේ ම විජයග‍්‍රහණයක් ලෙස පෙන්වීමට ඓතිහාසික පසුබිමක් සෑදීමය. නමුත් ඉතාම කනගාටුදායක කරුණ වන්නේ නූතන යුධ ජය රටේ දැවැන්ත පරිහානියකට – සමාජ, ආර්ථික, සංස්කෘතික යන සෑම දෙසින්ම පරිහානියකට හේතු සාධක වූ බව සිනමාකරුවාට නොපෙනීමය. කෙසේ වෙතත් එළාරගේ දරු පවුල්වලින් පළිගැනීමට දුටුගැමුණු ක‍්‍රියා කළේ නැත. එපමණක් නොව දුටුගැමුණු එළාරගේ දියණිය තම බිසෝවක් කරගත්තේ යයි ඇඟවීමට තරම් ජයන්ත ඉදිරියට යයි. පලිගැනීම නොව සමඟි සංධානයේ වැදගත්කම පෙන්වීමට කලාකරුවා එසේ තමාගේ සිනමාව තුළින් දුටුගැමුණු ට පෙම් කරන එළාරගේ දියණියක් ද ඉදිරිපත් කරයි. නමුත් මේ උප්පරවැට්ටියට වඩා සත්‍ය පෙන්නුම් කළා නම් නූතන යුගයේ අපර යුධ සමඟි සංධානයට වඩාත් ප‍්‍රයෝජනවත් වීමට ඉඩ තිබුණා යයි සිතිය හැකිය. 

එනම් ගැමුණු තම ජයග‍්‍රහණයෙන් පසු එළාරගේ රට වැසියන්ට හානියක් නොකලේ එවැනි කටයුත්තකට අත තැබුවේ නම් දැවැන්ත ජනතා කැළඹීමක් ඇති වීම වැළැක්විය නොහැකි නිසාය. මන්ද ඔහුගේ ජයග‍්‍රහණය පිළිබඳ පැතුමක් රටේ සාමාන්‍ය ජනතාව අතර නොවූ නිසා ය. පසුගිය හරය කලාපයේ පලවූ මෙම ලිපියේ මුල් කොටසින් පෙන්නුම් කල අයුරු රට එක්සේසත් කිරීම ඓතිහාසික අවශ්‍යතාවයකින් පැන නැගුනකි. නමුත් මේ අවශ්‍යතාවය ජනතාවගේ සිතුම් පැතුම් තුළින් ඒ මොහොතේ මූර්තිමත් නොවී ය. සිදුවීම් වල සැබෑ ඓතිහාසික අනිවාර්යතාවය එළි දකින්නේ ඒ මොහොතේම නොවේ. එහි ප‍්‍රතිඵල අනාවරණය වන්නට පටන් ගත් පසුවය. කෙසේ වෙතත් ජයන්ත තමන්ගේ වර්තමාන ඉලක්කයට අනුව ඉතිහාසය සැකසීමේ දී  වැරදි දැය බොහොමයක් කරයි. ‘‘….කිසියම් ජාතියක් ස්වකීය ජාතිකත්වය තවත් ජාතියකට එරෙහිව නගා සිටුවන මොහොත තරම් රළු පරළු වන අවස්ථාවක් තවත් නැතැයි කියනු ලැබේ…..’’ යයි ඉන්දීය ඉතිහාසඥයෙකු වන ඇම්.හිරියත්ත පෙන්වා දී ඇත. එම තතු ජයන්ත චන්ද්‍රසිරි තම යුගයේ දී අත් දුටුවේ යටත් වුවන් හා යුද්ධයට සහභාගි නොවූ දස දහස් ගණනක් දෙමළ ජනතාව සිංහල හමුදාව මගින් තිරශ්චීන අයුරින් ඝාතනය කරනු ලැබීම මගින් ය. නමුත් ඒදා එය එසේ නොවීමේ අනෙක් හේතුව වන්නේ ගැමුණුගේ කරුණාව හෝ දියණියගේ පේ‍්‍රමය හෝ නොව ඔහුගේ යුධ ව්‍යාපාරය ජාතියකට එරෙහි නැගීමක් නොවන නිසා ය. ඒ අවස්ථාවේ දී සිංහල ජාතිය එක්සත් කිරීම හෝ සිංහල රට බේරා ගැනීම පිළිබඳ උද්යෝගී පාඨයක් නොවීය.

දුටුගැමුණු යුගය වන විටද ,සිංහල ජාතිය, යනු පළල් මහ ජනතාව ඇතුල් කරගත් නොව රාජවංශය ඇතුලත් ප‍්‍රභූ පවුල්වලට සීමා වූවක් විය. පොදු ජනයා තම තමන්ගේ වරිග , කුල  , ගෝත්‍ර  අනුව තමන්ගේ අනන්‍යතාවය පවත්වා ගත් අතර ඔවුන් හා රජු අතර සම්බන්ධීකරණය එකම ජාතියක් වීම යන්න මත නොව පරුමකයන් වැනි නිලධාරීන් අතින් සිදු කෙරුනක් විය. 
සිනමාව පෙන්වන දකුණෙන් ගිය වෙළඳුන්ව මරා දැමීම, ශ‍්‍රී මහා බෝධිය කැපීමට කුමන්ත‍්‍රණය කිරීම, මහවැලි නදිය තරණය කර දකුණට පලා ඒමට වෑයම් කරන සිංහල සරණාගතයන් සමූලඝාතනය කිරීම ආදී සිදුවීම් ජයන්ත සොයාගෙන ඇත්තේ ද වර්තමානයෙන් ම ය. මන්ද එදා එවැනි දැය සිදු නොවූ නිසාය. සැබැවින්ම මහවැලි ගඟ සීමා මායිමක් වුවද එහි දකුණු පසද එළාර රජුට පක්ෂපාතී ගම් දනව් තිබිණි. එසේ වූයේ එළාර ඒ ප‍්‍රදේශ ආක‍්‍රමණය කර යටත් කරගෙන සිටි නිසා නොවේ. ඒ ඒ ගම් එදා හඳුන්වා තිබුනේ ඒවායේ ප‍්‍රධානීන්ගේ නම් වලිනි. එම නාමයන් බොහොමයක් සිංහල නම්ය. එක් ප‍්‍රධානියෙකු වූවේ කාවන්තිස්සගේ ම පුතකු වූ දේශ සිමාව රැක සිටි දීඝාභයයි. කාවන්තිස්සගේ මරණින් පසු දුටුගැමුණුගේ ආධිපත්‍ය නොඉවසා ඔහු එළාරගේ පක්ෂය ගෙන සිටියා වන්නට ද ඇත. ගැමුණු නම් ගම ගැමුනු නම් නායකයෙක් ද, නන්දිගම නන්දික නම් නායකයෙක් ද, දුටුගැමුණුගේ යුධ ව්‍යාපාරය මගින් යටත් කළ නායකයන් අතර වූහ. ඔවුන් නිසැකවම සිංහල නායකයන් බව පෙනේ. මහා වංශය මේ සැවොම දෙමළුන් ලෙස හඳුන්වන්නේ ඔවුන් එළාරගේ පක්ෂය ගෙන සටන් කල නිසා බව පෙනේ. 
එනයින් බලන කළ ගැමුණුට දුෂ්ට නාමය එළැඹීම හුදු පියාට කාන්තා ඇඳුම් යැවීම මත පමණක් සිදු වූ ලෙස පිළිගත නොහැකිය. එයට වඩා දරුණු ක‍්‍රියා ඔහු අතින් සිදුවූවා වන්නට ඉඩ තිබේ. අශෝකට බැඳි චන්ඩ නාමය පසුව ධර්ම යන්නෙන් විස්ථාපනය කර දැමීමට ජනයා ක‍්‍රියා කළේය. නමුත් ගැමුණුට පටබැඳුනු දුෂ්ඨ නම කිසි කලෙක නිමා නොවීය. ඒ අතර සමහර ඉතිහාසඥයන් පෙන්නුම් කරනුයේ මේ දුෂ්ඨ කොටස ඔහුගේ ක‍්‍රියාවන් නිසා සාමාන්‍ය ජනතාවගේ සිත් තුළට තදින් කා වැදී තිබී පසුව ප‍්‍රචාරයට පැමිණි බවයි. එයට හේතුව ඔහුගේ යුධ ව්‍යාපාරය ඔස්සේ ගලාගිය අපමණ රුධිරය පිළිබඳ මතකය බවයි. යුද්ධය අවසානයේ දී දුටු ගැමුණු ම තමා අතින් සිදු වුණු බිහිසුණු මිනිස් ඝාතනය ගැන කම්පා වූ බව කියැවෙයි. ඒ අනුව බලන විට යුද්ධයට මැදිවූ සාමාන්‍ය ජනයා කොයිතරම් අසහනයටත් කම්පාවටත් පත් වූයේ දැයි සිතා ගැනීමට බැරි නැත.

කෙසේ වෙතත් මේ කතාව අවසන් කිරීම සඳහා එළාර කවුදැයි විමසා බලමු. ලලීන්ද්‍රගේ පෙරකී විවරණය පෙන්වන්නේ පාලි භාෂාවෙන් ශිලා ලිපිවල දුටුගැමුණුව හඳුන්වා ඇත්තේ ‘‘දුටක ගාමිණී අබ මහරජ’’ ලෙස බවයි. මෙහි එන ‘‘දුටක’’ යන්නෙහි තේරුම ‘‘වීර’’ යන්න බව මහාචාර්ය පරණවිතාන පෙන්වා දී ඇති බවයි. ඒ අනුව වීර ගාමිණීව දුෂ්ඨ ගාමිණී කර ඇත්තේ මහාවංශ කතුවරයා විසින් බව වාග් විද්‍යා පදනමකින් මහාචාර්ය පරණවිතාන පෙන්වා දී ඇති බවයි. 

බොහෝම හොඳයි අප නොදැන සිටි කොටසක් ලලීන්ද්‍ර පෙන්වා දී ඇත. නමුත් ශිලා ලේඛනයක සටහන රජවරුන් හෝ වෙනත් ප‍්‍රභූන් විසින් විනා ජනතාව තීරණය නොකරයි. ඒ නිසා මුද්‍රණ ශිල්පය නොමැති වකවානුවක ජනප‍්‍රවාදයේ එන සාහිත්‍ය, වාග් විද්‍යා පදනමක සිට අත්හැරීම කෙතරම් සුදුසුදැයි කල්පනා කළ යුතුව  තිබේ. 

කෙසේ වෙතත් ලලින්ද්‍ර දුටුගැමුණු වීරගැමුණු කිරීමේ තම උවමනාව සඳහා මහාචාර්ය පරණවිතානව යොදා ගත්තද එළාර කවුදැයි පෙන්වීමට එම මහාචාර්යවරයා යොදා නොගැනීම තේරුම් ගත නොහැකිය. මහාචාර්ය සෙනරත් පරණවිතාන මෙසේ කියයි ‘‘…… පර්සියාවේ නැගෙනහිර ප‍්‍රදේශයේ වාසය කළ ජනතාව අතර පර්තීය නම් ගෝත‍්‍ර පහකට අයත් සමාජයක් ගැන ලේඛනවල සඳහන් වෙයි. මෙයින් එක ගෝත‍්‍රයක් දාමිඩ යනුවෙන් හඳුන්වා ඇත. ද්‍රවිඩ හා දාමිඩ යන වචනවල සමානත්වය නිසා පටලැවීමෙන් දාමිඩ ජාතික එළාර රජු ද්‍රවිඩ ජාතිකයෙකු සේ දැක්වූවා විය හැක…..’’ (ඒ.සුද්දහාමි ගේ උපුටනයක් – ලංකාවේ මෞර්ය රාජ පරම්පරාව හා ධාතුසේන රජතුමා)

රණත්
හරය – 2015 අප්‍රේල්, මැයි කලාපයන්හි පළ කරන ලදී.

You may also like...

1 Response

  1. 2020-09-06

    […] (නූතන) මහරජ ගැමුණු […]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.