මරණ දඬුවම ලබා සිටින සියලු සිරකරුවන් නිදහස් කළ යුතුයි

සේයා - CHRD

පස් හැවිරිදි ළදරුවකු ඇතුළු දෙමළ අට දෙනකුගේ සමූහ ඝාතනයට වරදකාර හමුදා සෙබලාට ජනපති සමාව දීම මහාචාර්ය වික්‍රමබාහු කරුණාරත්න පිලිකුලෙන් යුතුව හෙළා දකී.

රජයේ ප්‍රතිපත්තිය එල්ලා මැරීම නතර කිරිම නම් මරණ දඬුවම ලබා සිටින සියලු සිරකරුවන් නිදහස් කළ යුතු බව නව සම සමාජ පක්ෂ නායකයා පෙන්වා දෙයි.

“තමන්ට ඕන වෙච්ච කෙනෙක් අල්ල ගෙන, වඩා බරපතල කෙනෙක් නිදහස් කරලා, ඊට වඩා අඩු වරදකරුවන් එල්ලා මැරීමේ තත්වයේ පවත්වාගෙන යාම පිළිකුල් සහගතව අපි හෙළා දැකිය යුතුයි” ඔහු ප්‍රකාශ කර සිටියා.

අසීමිත තදබදයක් පවතින බන්ධනාගාරවල කොරෝනා වයිරසය පැතිරී යාම වැලැක්වීම සඳහා සුළු වැරදිකරුවන් සහ වැඩිහිටියන් නිදහස් කරන ලෙස ඉල්ලා අනුරාධපුර උද්ඝෝෂණයේ යෙදුනු රැඳවියන් දෙදෙනකු වෙඩි තබා මරා දමා තිබියදී මිරුසුවිල් සමූහ ඝාතනයට වරදකරු වී සිටි මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් නිදහස් කොට යවනු ලැබිණි.

ඥානපාලන් රවිවීරන්, සෙල්ලමුත්තු දේවකුලසිංහම්, විල්වරාජා ප්‍රදීපන්, සින්නයියා විල්වරාජා, නඩේසු ජෙයචන්ද්‍රන්, කදීරන් ඥානචන්ද්‍රන්, ඥානචන්ද්‍රන් ශාන්තන් සහ පස් හැවිරිදි විල්වරාජා යාපනයේ මිරුසුවිල් හිදී 2000 දෙසැම්බර් 19 දා ඝාතනය කිරීම සම්බන්ධයෙන් දඬුවම් ලැබූ එකම හමුදා නිලධාරියා රත්නායක මුදියන්සේලාගේ සුනිල් රත්නායකයි.

ඔහු නිදහස් කර යැවීම එක්සත් ජාතීන්ගේ සංවිධානය හා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව ඇතුළු ජාත්‍යන්තර බලවතුන්ගේ දැඩි හෙලා දැකීමට ලක්ව තිබෙන අතර නීතියේ ආධිපත්‍යය සහ ප්‍රජාතන්ත්‍රවාදී සාරධර්ම ආරක්ෂා කිරීමට කැපවී සිටින ලාංකික සංවිධාන 22 ක් ඒකාබද්ධව නිකුත් කර තිබෙන නිවේදනයක් මගින් පෙන්වා දී ඇත්තේ ඕනෑම අපරාධයක් කරන හමුදා නිලධාරීන්ට ගැලවී යා හැකි බවට  බිය ජනක පනිවිඩයක් ජනාධිපති විසින් සමාජගත කරනු ලබන බවයි.

මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට තමන් වාමාංශිකයෙක් වශයෙන් විරුද්ධ බව පවසන නසසප නායක මහාචාර්ය වික්‍රමබාහු කරුණාරත්න, මෙසේ මරණ දණ්ඩනය හිමි සිරකරුවන් අතරින් තමන් කැමති අයව තෝරාගෙන නිදහස් කිරීම වැරදි බව වැඩි දුරටත් පෙන්වා දෙයි.

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.