ආරියතිලක පීරිස්ගේ ගුවන් පාලම යට සමාජය පිළිබඳ සාන්දෘෂ්ටිකවාදී කියවීමක්…..

සමාජ විවරණයේ දී කෙටිකතාව ඉතා ප්‍රබල මාධ්‍යයකි. මා විශ්වාස කරන පරිදි යම් යම් සමාජ සංසිද්ධීන් ප්‍රතිනිරීක්ෂණය කිරීමේ දී ඉදිරියෙන්ම සිටින කලා ශානරය කෙටිකතාව ය. එක් සිදුවීමක් පාදක කරගනිමින් ගොඩ නැගෙන කෙටිකතාව එක් ලක්ෂයක් ස්පර්ශ කරමින් වැඩීම එයට හේතුවයි. මේ නිසාම කෙටිකතාකරුවා ඉදිරිපත් කිරීමට උත්සාහ කරන පණිවිඩය සෘජු ඉලක්කයකින් පාඨකයා වෙත ගෙන යා හැකිය.

“කලාව කලාව සඳහාය” යන මතය එක් යුගයක මුල්බැස ගෙන තිබූ මතයක් වුව ද එය ඛණ්ඩනය කිරීමේ පතාක යෝධයෙකු වන්නේ තෝල්ස්තෝයි ය. එයට හේතුව ඔහුගේ කලාව සමාජ ස්පර්ශය තුළින් මතුව ආවක් වීම ය. ආකාශ්මිතව පහළ වූ කලාවක් නොවී ය. ආරියතිලක පීරිස් කතුවරයා සිය “ගුවන් පාලම යට” කෙටිකතා සංග්‍රහය ගෙන එන්නේ ද එවන් පසුබිමක ය. එනම් සමාජ දූවිලි රැල් අතර සිට ගනිමින්, එයින් නිර්මිත වේදනාත්මක ස්වරයන් සිය ග්‍රහනයට හසුකර ගනී. මෙවන් පසුබිමක “ගුවන් පාලම යට” කෘතිය සමඟ ඒකාත්මික වන පාඨකයාට, පෙරලා කෘතිය තුළින් අභිමුඛ වන්නේ තමන්ම ය. එම නිසාම මේ කෘතිය මා දකින්නේ මට මාව ම අභිමුඛ වීමක් වශයෙන් ය.

“ගුවන් පාලම යට” කෙටි කතාව ආරම්භ වන්නේ පාලම යට රැස්වී සිටින කාන්තාවන් හතර දෙනෙකුගේ දර්ශනයකින් ය. ලිංගික ශ්‍රමිකයන් වන මොවුන් මොහොතක් පෙනී සිට නැවත පැය දෙක තුනක් යන තුරුම අතුරුදහන් වේ. පසුව යළිත් එකතු වන අතර එවිට ඇසෙන්නේ කොක් හඬලා සිනාසීම් හා ශබ්ද නගා බැන අඬ ගැසීම් ය. කෙසේ වෙතත් අතමිට සරුව මොහොතක් ගතවන තුරු මොවුන් ගතකරන්නේ ඉතාමත් ප්‍රීතිමත් කාලයක් බව අවට සිට නිරීක්ෂණය කරන ඕනෑම කෙනෙකුට වැටහෙන්නා වූ කාරණයකි. පොලීසිය විසින් රැගෙන යන මෙම කාන්තාවන් ස්ථානාධිපතිවරයා ඉදිරියේ තම වෘත්තියේ  ස්වභාවයත්, එවන් තත්ත්වයකට ඇද වැටීම සඳහා පාදක වූ පරිසරයත් නිරාවරණය කරන්නේ වෙන කිරීමට කිසිවක් නොමැති නිසා ය. ජීවිතයෙහි පවතින කටුක ස්වරූපයත්, පුද්ගල චරිත ගොඩනැගීමට පාදකවන සමාජ පරිසරයන් පිළිබඳවත් නිවැරදි අවබෝධයක් සහිත ස්ථානාධිපතිවරයා තමන්ගේ පොලිස් වසමෙන් ඉවත්වෙන ලෙස ඔවුනට අවවාද කළ ද මෙම රැකියාවෙන් ඉවත්ව යන ලෙසට ඉල්ලීම් නොකරයි.

ජීවත්වීමේ වෙහෙස පිළිබඳ හැඟීම කෘතියකට පාදක කරගත හැකි ඉතා උසස් වස්තු විශයකි. මිනිස් ජීවිතයක් තුළ පවතන ජීව වීද්‍යාත්මක ගොඩනැංවීම සේම සමාජ විද්‍යාත්මක ගොඩනැංවීම ද අප තේරුම්ගත යුත්තේ සූක්ෂමව ය. කිසිදු පුද්ගල චරිතයක් ඔහු ජීවත්වන සමාජ පරිසරයෙන් විනිර්මුක්ත කර වටහා ගැනීමට හැකියාවක් ඇත්තේ නැත. එයට හේතුව මකුළු දැලක් මෙන් මිනිසුන් සමාජ ව්‍යුහයන් සමඟ බැදී වෙලී පැවතීම ය.

කලාකරුවෙකුගේ කාර්යය විය යුත්තේ මෙම අවබෝධය පාඨකයා වෙත වඩාත් සමීප කරවීම ය. එය පහසු කාර්යක් නො වේ. මෙලෙස එය පහසු කාර්යක් නොවන්නේ පුද්ගල චරිතයක පෙනෙන මානයෙහි ඔබ්බෙහි පවතින යථාර්ථය පියවි ඇසට නොපෙනීම ය. ආරියතිලක පීරිස් මේ තුළින් උත්සාහ ගන්නේ පෙනෙන මානයට පිටින් පවතින යථාව පාඨකයා අභියස නිර්වස්ත්‍ර කිරීමට ය.

ස්වභාවධර්මය පිටපත් කිරීමට කලාකරුවෙක් හෝ කලා කෘතියක් අවශ්‍යය වන්නේ නැත. කලාව උදෙසා කලාකරුවෙකුගේ මැදිහත්වීම පිටපත්කරුවෙකුගේ කාර්යයට එහාගිය විනිවිද පෙනෙන සුලු දෙයක් විය යුතු ය. “මිතුරෝ” නම් කෙටිකතාව තවත් එවන් එක් කෙටිකතාව කි.

වදකාගාරයට ගෙනයන වරදක් කොකරන ලද තරුණයෙක් තමන්ට වෙඩි තබන තුරු බලා සිටී. එකිනෙකාට වෙඩිතබා දමන ශබ්ද ඇසෙන තරුණයාගෙ මනස තුළ මැවෙන සිත්තම තම දෙමාපියන් සහ නැගෙනිය ය. ඔහු දුක්වන්නේ තම මරණයෙන් පසු කදවුරු සොය සොයා දුවයන, ජීවිත කාලය පුරාම තමන්ව සොයන අම්මා, තාත්තා පිළිබඳව ය. ඔය අතර මුහුණු ආවරණය කරගත් පුද්ගලයෙක් තමන් ඉදිරියට පැමිණේ. ඔහුගේ අණට අනුව කළු පටයකින් දෑස් ආවරණය කරගත යුත්තේ මරනයට මුහුණ දීමට ය. තමා කිසිදු වරදක් සිදු නොකර ඇති බවත්, නිකරුනේ මැරෙන්නට තමන් සූදානම් නොමැති බවත් ඔහු ප්‍රකාශ කරන්නේ මේ අතරතුර ය. මෙම වාදය අතර තුර තමන්ට වෙඩි තැබීමට ආ පුද්ගලයාගේ මුහුණු ආවරණය ඉවතට ඇද දමන්නේ ඉදිරියට පනින ගමන් ය. එහි දී ඒ තමන් කුඩා කාලයේ සිටම එකට ආශ්‍රය කළ ගුණපාල බව පැහැදිළි වේ. තමාට නීතිය ක්‍රියාත්මක කිරීමට සිදුවන බවත්, මිත්‍රත්වය සහ රාජකාරිය යනු එකක් නොව දෙකක් බවත් ප්‍රකාශ කරන ගුණපාල දෑත් පිටුපසට කර අනෙක් පසට හැරෙන ලෙස දන්වයි. අකමැත්තෙන් වුව ද ඔහුගේ වචනයට අවනත වන්නේ වරදක් නොකර මියයාමට ය. මෙම වරද ඉතිහාසය විසින් නිවැරදි කරනු ඇති බව ඔහුගේ දැඩි විශ්වාසය යි. වෙඩි ශබ්දය ඇසෙන්නේ අවට පරිසරයම දෙදරවා හරවමින් ය. එහෙත් පුදුමයකි තමන් තවම නිරුපද්‍රිතය. වහා අනෙක් අත හැරෙන ඔහු දකින්නේ බිම වැටී සිටින ගුණපාල වේ.

පුද්ගල ජීවිතයේ ඉරණම තීරණය කරන සමාජ සාධක පිළිබඳ ප්‍රශ්න කිරීමක් මෙම කෙටි කතාවෙන් සිදු කරයි. ගුණපාල මෙහෙයවන සමාජ සාධක ඔහුට අයිති සමාජ සාධක නොවන්නා සේම කතකයාට මිය යෑමට සිදුවන්නේ නම් එයට අවශ්‍ය සාධක ද ඔහු සම්පූර්ණ කර නොමැත. එසේ නම් පුද්ගල ජීවිත මෙහෙයවන බලවේග මොනවාද…? සත්ව සන්හතියේ ආරම්භයේ පටන්ම මිනිසා ඔහුට අයත් නොවන බව පීරිස් සිය කෙටිකතාව තුළින් අප හමුවේ තබන සාධකය යි. මාර්ක්ස් ප්‍රකාශ කරන ආකාරයට පුද්ගලයා පරාරෝපනය වී අවසන් ය. ගුණපාල යනු තවදුරටත් ගුණපාල නො වේ. ඔහු පරාරෝපරණ වී සිටින ජීවියෙක් පමණි. අඩු තරමින් ඔහුට ඔහුගේ ජීවිතයේ හෝ හිමිකාරිත්වයක් නොමැත. කිසියම් හස්තයක් විසින් මෙහෙයවන රූකඩ පමණක් බවට අප අද පත්ව අවසාන ය. එසේනම් ගුණපාල ඔහුට ම වෙඩිතබා ගැනීමට හේතුව කුමක් ද..? අප ඉතා සියුම්ව අධිනිශ්චයකරගත යුතු කාරණය වන්නේ ද එයම නොවේ ද..?

ආරියතිලක පීරිස් මහතාගේ “ගුවන් පාලම යට” කෙටිකතා සංග්‍රහයේ මෙවැනි කතා අටක් ඇත. එම සෑම කතාවකින්ම ඔහු අපව සවිඥානික කරවන කාරණය වන්නේ සමාජ පසුබිම තුළින් බිහිවන විවිධාකාර පුද්ගල චරිත එකිනෙකට වෙනස් වුවද සියල්ලන් එකම පදාර්ථයක කොටස්කරුවන් බව ය. වේදනාව, විරහව, සතුට, කදුළ, ගැටුම, යන සංසිද්ධීන් අප වටා ඒ ඒ අවස්ථාවන්වල එක්වෙමින් ඇත. එක් මොහොතක වේදනාව අත්විදින අපි තවත් මොහොතක ආදරයෙන් වෙළීයයි. ඒ අන් යමක් නොව අප ජීවිතයේ සාන්දෘෂ්ටිකවාදී නිමේශය ය.

නිර්මාණශීලී වීමත්, ආකර්ෂණීය භාෂාවක් යොදා ගැනීමත් කෙටි කතාවක් පාඨකයා වෙත වඩාත් සමීප කරවීම උදෙසා තීරණාත්මකව බලපානු ඇත. එය කතුවරයා වටහාගත යුතු අතර, ආකෘතිය විවිධත්වයන් වෙත යොමු වීම ද පර්යේෂණාත්මක කතුවරයෙකුගේ මූලික ගුණාංගයක් විය යුතු බව ද සඳහන් කිරීමට කැමති ය.

මිලින්ද මායාදුන්න

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.