උසාවියෙන් ඇප දුන් ගුරුවරයාට වැඩ තහනමක්
සමාජ මාධ්‍ය තුළ පළ කරන ලද අදහස් දැක්වීමක් පාදක කරගනිමින් ගුරුවරයකුගේ වැඩ තහනම් කිරීම වහාම අත්හිටුවන ලෙස දිවයිනේ ප්‍රමුඛතම ගුරු සංගමයක් ඌව පළාත් ආණ්ඩුකාරවරයාගෙන් ඉල්ලා සිටි.
ජුලි 28 වැනිදා ලිපියක් යොමු කරමින් ලංකා ගුරු සංගමය ආණ්ඩුකාරවරයාට දැනුම් දි ඇත්තේ එසේ නොකරන්නේනම් මෙම අනීතික වැඩ තහනම සම්බන්ධයෙන් වෘත්තීය ක්‍රියාමාර්ගවල නියැලීමට සිදු වන බවයි.
ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් පවසන පරිදි ඌව පළාත් අධ්‍යාපන ලේකම්ගේ අත්සනින් යුතු ජුලි මස හතර දිනැති ලිපියක් මගින් බ/ගලඋඩ මහා විද්‍යාලයේ සේවය කළ ශ්‍රී ලංකා ගුරු සේවයේ නිලධාරියකු වන ඒ.එම් කුමාර අන්දරගේ වැඩ තහනමට ලක් කර තිබේ.
” අන්දරගේ මහතා සමාජ මාධ්‍ය ඔස්සේ කරන ලද අදහස් දැක්වීමක් පාදක කරගනිමින් 2022.05.17 දින ඔහු පොලීසිය විසින් බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර, ඔහු බන්ධනාගාර ගත කිරීමට පොලීසිය විසින් කරන ලද ඉල්ලීම ඉවත දමමින් අධිකරණය විසින් අන්දරගේ මහතාට ඇප ලබා දී ඇත.”
එසේ තිබියදී හාලිඇල පොලිස් ස්ථානාධිපති විසින් ජුනි 4 දින ලබා දී ඇති පොලිස් පණිවිඩය හා ඌව පළාත් කාර්ය පටිපාටි සංග්‍රහයට අනුව යැයි සදහන් කරමින් ආයතන සංග්‍රහයට ද පටහැනිව මෙම වැඩ තහනම සිදු කර ඇති බවයි ජෝසප් ස්ටාලින් ගුරු සංගම් නායකයා වැඩි දුරටත් පවසන්නේ.
ලංකා ගුරු සංගමය ඌව ආණ්ඩුකාරවරයා වෙත යොමු කළ ලිපියේ වැඩි දුරටත් සදහන්ව ඇත්තේ පසුගිය කාලයේ පැවැති ජන අරගලයේ ක්‍රියාකාරීව කටයුතු කළ මෙම ගුරුවරයාට එරෙහිව ඌව පලාත් හිටපු ප්‍රධාන අමාත්‍ය වු චාමර සම්පත් දසනායක විසින් ඉදිරිපත් කරන ලද පැමිණිල්ලකට අනුව මෙම වැඩ තහනම සිදු කර ඇති අතර මෙය දේශපාලන උවමනාව මත සිදු කරන ලද්දක් බවයි.
“එසේම දේශපාලන අවශ්‍යතා මත සිදු කරන මෙවැනි දේශපාලන පලිගැනීම් නතර කිරීමට කටයුතු යොදන ලෙසද ඉල්ලා සිටිමු. “
ගුරුවරු රාජ්‍ය සේවයේ දේශපාලන වරප්‍රසාද හිමි කණ්ඩයට අයත් බවත් ගුරු සංගම් නායකයා සිය ලිපිය මගින් ආණ්ඩුකාරවරයාට මතක් කර දී තිබේ.