වෘත්තීය සමිති පීඩිත ජනයා වෙනුවෙන් සහන සලාකයක් ඉල්ලයි

ස‍ේයා - TheLeader

ආර්ථික අර්බුදය හේතුවෙන් ආදායම් අහිමිවූවන්ට හා සැමදා දුගී බවින් පෙළෙන ජනයාට සහන සලාකයක් හඳුන්වා දීමට ආණ්ඩුවට බලපෑම් කළයුතුයැයි, නිදහස් වෙළඳ කළාප කම්කරුවන් නියෝජනය කරන වෘත්තීය සමිතියක් අවධාරණය කර තිබේ.

නිදහස් වෙළඳ කළාප හා පොදු සේවක සංගමය යෝජනා කරන්නේ දුගී බවින් පෙළෙන ජනයාට සහන සලාකයක් ලබා දෙමින්, ආර්ථිකය පිළිසකර කිරීමේ සැළසුම් ක්‍රියාවට නැංවීමට ජාතික සම්මේලනයක් කැඳවිය යුතු බවයි.

වෘත්තීය සමිති, ගොවි, ධීවර, වෘත්තිකයන්ගේ සමිති සංවිධාන, වාණිජ මණ්ඩල සහ අවිධිමත් ආර්ථිකයේ නියෝජිතයන් ද ඇතුලත් ජාතික සම්මේලනයක් කැඳවීමේ වැදගත්කම නිදහස් වෙළඳ කළාප හා පොදු සේවක සංගමයේ සම ලේකම් ඇන්ටන් මාකස් නිකුත් කළ නිවේදනයක දැක්වේ.

”ආණ්ඩු මාරු කරන්නට, රාජ්‍ය බලය හා ගැටීමෙන් සාමන්‍ය ජනතාව මුහුණ දෙන බරපතල ජිවන අරගලයට මේ මොහොතේ විසදුම් ලැබෙන්නේ නැහැ. පසුගිය තෙමසක අරගලයට ජනතාව සහාය දුන්නේ ඔවුන්ගේ ජිවත්වීමේ සටනට විසදුම් ලැබේවියැයි ඔවුන්ට දුන් පොරොන්දු හේතුවෙනි. එහෙත් අද එවැනි විසදුම් අහලකවත් නොමැත.”

දෛනික විදුලි කප්පාදුව, අවුල්ව ගිය පොදු මගී ප්‍රවාහනය, වසර දෙකකට වැඩි කලක් අඩාල වූ පාසැල් අධ්‍යාපනය, දහසක් දෙනා දින ගනන් කල් ගෙවන ඉන්ධන හා ගෑස් පෝලිම්, ඖෂධ නොමැතිව ජිවිත අපේක්‍ෂා අත් හළ රෝගීන්, මොහොතින් මොහොත ඉහල යමින් තිබෙන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල මෙන්ම ආහාර ද්‍රව්‍ය හිඟය ඇතුළු දහසකුත් ගැටළු හමුවේ හෙම්බත්වූ ජනයාට අවශ්‍ය වන්නේ සහනදායි ආර්ථික විසදුම් බව ඇන්ටන් මාකස් සිය මාධ්‍ය නිවේදනය මගින් පෙන්වා දී ඇත.

නිදහස් වෙළඳ කළාප වෘත්තීය සමිති නායකයා සඳහන් කරන්නේ රට තුල අරාජිකත්වයක් හා අස්ථාවර බවක් පෙන්නුම් කිරීම මගින් විදේශ ආයෝජන නොලැබී යාම විශේෂයෙන් අපනයනය වෙනුවෙන් වූ ඇඟළුම් නිෂ්පාදන ඇණවුම් නොලැබී යාමේ බරපතල අවදානමක් දැනමත් පවතින බවයි.

”මේ මගින් විදේශ විනිමය ආදායම් නැති වෙනවා පමණක් නොවේ, කම්කරුවන් සිය දහස් ගණනකගේ රැකියා අහිමි වීමේ අවදානම ගැන අනතුරු ඇඟවීමට ද අපිට සිදුවෙලා තියෙනවා.”

TheLeader

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.