ස්ටාලින් අත් අඩංගුවට ගැනීම ‘ප්‍රජාතන්ත්‍රවාදයට කළ නිගාවක්’ නසසප

පාර්ලිමේන්තුවේදී රාජාසන කතාව කරමින් ප්‍රජාතන්ත්‍රවාදය ගෙන එන බවට නව ජනාධිපතිවරයා සපත කළ දිනයේම රටේ ඉහළ පෙලේ වෘත්තීය සමිති නායකයකු අත්අඩංගුවට ගැනීම ප්‍රජාතන්ත්‍රවාදයට සිදුකළ බැරෑරුම් නිගාවක් ලෙසින් දිවයිනේ වාමාංශික පක්ෂයක් විසින් හෙළාදැක තිබේ.

පසුගිය මැයි 28 වැනිදා අගනගරයේ පැවැති විරෝධතාවයකදී අධිකරණ නියෝග කඩ කල බවට චෝදනා කරමින් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් අගෝස්තු 3 වැනි බදාදා පොලීසිය විසින් අත්අඩංගුවට ගත් සැනින් නිවේදනයක් නිකුත් කරන ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් නව සම සමාජ පක්ෂය රජයෙන් ඉල්ලා ඇත්තේ ගුරු සංගම් නායකයා වහාම නිදහස් කරන ලෙසයි.

ජනතා විරෝධතාවයකදී යම් යම් තාක්ෂණික නියෝග ඉක්මවා යෑම් සාමාන්‍ය සිදුවීම් වන අතර, ඒ සෑම විටම පාහේ පුද්ගලයන් අත්අඩංගුවට නොගැනීමද සාමාන්‍ය තත්වය බව පවසන මහාචාර්ය වික්‍රමබාහු කරුණාරත්න ප්‍රධාන ලේකම් ධුරය දරන නව සම සමාජ පක්ෂයේ දේශපාලන මණ්ඩලය අවධාරණය කරන්නේ ප්‍රමා ද වී කරන ලද මෙම අත්අඩංගුවට ගැනීම අසාමාන්‍ය බවයි.

“නමුත් අදාල සිදුවීමට මාස දෙකක පමණ කාලයක් ගතවී තිබියදීත්, මේ ගුරු සංගම් නායකයා අත්අඩංගුවට ගැනීම නම් අසාමාන්‍ය සිදුවීමක් බව අප තරයේ කියා සිටිමු.”

ඒ අනුව සිතාමතා, කල්යල් බලා සිට සිදු කරන ලද මෙම අත්අඩංගුවට ගැනීම, ප්‍රජාතන්ත්‍රවාදයට සිදුකළ බැරෑරුම් නිගාවක් ලෙස පවසන නව සම සමාජ පක්ෂය ගුරු සංගම් නායක ජෝසප් ස්ටාලින් වහාම නිදහස් කරන ලෙසත්, උද්ඝෝෂණයේ යෙදීමට ඇති අයිතියට හරස්ව යන මෙවැනි පියවරයන් ගැනීම මුළුමනින්ම අත්හිටවන ලෙසත් රජයට බල කර සිටි.

09 වැනි පාර්ලිමේන්තුවේ 03 වැනි සැසිවාරය අගෝස්තු 3 වැනි බදාදා පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් විවෘත කරනු ලැබු අතර රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින් ඔහු සහතික වී තිබුනේ සාමකාමී ලෙස අරගලයේ යෙදීම මුලික මිනිස් අයිතිවාසිකමක් බව අතර එම අයිතිවාසිකම තමන් පිලිගන්නා බවයි.

” සාමකාමී අරගලකරුවන්ට කිසිදු ආකාරයක අගතියක් සිදු වීමට මම ඉඩ දෙන්නේ නෑ. සාමකාමී අරගලකරුවන් ආරක්ෂා කිරීමටත්, ඔවුන් වෙනුවෙන් පෙනී සිටීමටත් මම විශේෂ කාර්යංශයක් පිහිටුවනවා.” ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහතික වී තිබුනි.

ජෝසප් ස්ටාලින් ගුරු සංගම් නායකයා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පලවා හල ආණ්ඩු විරෝධී අරගලයේ නියමුවකු ලෙස කටයුතු කළ අයෙකි.

Press-Release-NSSP-2022.08.03-Joseph

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.