ඉන්දීය හමුදා ප්‍රහාරයකින් තිස් තුන් වසරකට පෙර පේදුරු තුඩුවේ දී මරා දමන ලද හැට ගණනක් සැමරේ

සේයා අන්තර්ජාලයෙන්

ඉන්දීය හමුදා ප්‍රහාරයකින් තිස් තුන් වසරකට පෙර පේදුරු තුඩුවේ දී මරා දමන ලදුව අදටත් යුක්තිය ඉටු නොවූ අත දරුවන් හා කාන්තාවන් ඇතුළු හැට දෙනකුට වැඩි පිරිස අනුස්මරණය කොට උතුරේ දී සමරුවක් පවත්වා තිබේ.

මරා දමනු ලැබුවන් සිහිකරමින් දෙමළ ජාතික ජනතා පෙරමුණේ සංවිධානත්වයෙන් වැල්වැටිතුරෙයි තිරුවිල් උද්‍යානය අසලදී අගෝස්තු 2 අගහරුවාදා පුෂ්පෝපහාර දක්වා පහන් දල්වමින් උපහාර දැක් වු බව උතුරේ වාර්තාකරුවෝ පවසති. මළවුන්ගේ නාම පුවරුවක්ද සහිතව ඉදි කොට තිබූ පළමු ස්මාරකය පසු කලෙක ශ්‍රී ලංකා යුද හමුදාව විසින් සුන් කර දමා තිබේ.

අනුස්මරණය කරනු ලැබූ අත දරුවකු ඇතුළු සාමාන්‍ය වැසියන් 63 දෙනකු යාපනය වැල්වැටිතුරෙයි ප්‍රදේශයේදී ඝාතනයට ලක් ව ඇත්තේ 1989 ඔක්තෝබර් 2 හා 3 යන දින දෙකේ ඉන්දීය සාම සාධක හමුදාව විසින් සිදු කරන ලද වෙඩි තැබීම් වලිනි.

එල්.ටී.ටී.ඊ සංවිධානය සමග සිදුවූ වෙඩි හුවමාරුවකින් ඉන්දීය සාම සාධක හමුදාවේ ඉහළ නිලධාරියකු ඇතුළු හය දෙනකු මිය යෑමෙන් පසු ගම් වැදුණු හමුදා භටයන් පළාත සිසාරා යමින් දරුවන්, කාන්තාවන් හා වැඩිහිටියන් නිවෙස්වලින් එලියට ඇද මරා දමා දේපල කොල්ලකා ගිනිබත් කර තිබේ.

අත දරුවා

වැල්වැටිතුරෙයි පුරවැසි කමිටුව විසින් ලේඛනගත කොට ඇති පරිදි ඉන්දීය හමුදා විසින් වැල්වැටිතුරෙයි සමුහඝාතනයේදී මරා දමන ලද බාලම දරුවා දහඅට මසක් වයසැති ගනේෂලිංගම් ශෂී ය. හැත්තෑ හැවිරිදි ඒ ඉලයපෙරුමාල් සහ නඩරාජා නල්ලමුත්තු වියපත්ම දෙදෙනාය.

දිවි බේරාගත්තවුන් විසින් ලබා දී ඇති තොරතුරුවලින් දැක්වෙන්නේ ඉන්දීය හමුදාව සැලසුම් සහගතව නිරායුද සාමාන්‍ය වැසියන්ම ඉලක්ක කරගත් ආකාරයයි. ඌරිකාඩු සහ පොලිකන්ඩි කඳවුරු වලින් පැමිණි භට පිරිසට අණ දී ඇත්තේ බ්‍රිගේඩියර් ශංකර් ප්‍රසාද් ය. මෙනන් සහ කපූර් නමැති කපිතාන් වරුන් දෙදෙනකුද එහි සිටි බව සඳහන්ය.

“ළමයි එක්ක ගෑනු පිරිමි දෙගොල්ලොම හිටියේ ගේ ඇතුලට වෙලා,” යි දහඅටවැනි වියේ පසුවූ රාජෙශ්වරන් පුෂ්පරාජා ලබා දී ඇති දිවුරුම් ප්‍රකාශයක දැක්වේ.

ඔවුන් රැකවල් පතා ගොස් සිටියේ විශ්‍රාම ලත් මිනින්දෝරු අධිකාරිවරයකු වන සුබ්‍රමනියම්ගේ නිවසට බව ඝාතන මාලාවෙන් දින කීපයක් ඇවෑමෙන් යාපනයට ගිය ඉන්දීය මාධ්‍යවේදිනී රීටා සෙබස්තියන් ඉන්ඩියන් එක්ස්ප්‍රස් පුවත්පතට වාර්තා කර තිබුණි.

“අපි ඔක්කොම හිටියේ එක කාමරේක. හවස දෙකහමාරට විතර කවුදෝ ගෙදර දොරට ගැහුවා. ගේ ඇතුලට ආපු ඉන්දීය සාම සාධක හමුදාවේ භටයෝ සුබ්‍රමනියම් මහත්තයාට වෙඩි තියල ගෑනුන්ටයි, පිරිමින්ටයි වෙන වෙනම හිටගන්න කිව්වා. ඒගොල්ලෝ ඉස්සරවෙලාම පිරිමින්ට වෙඩි තියලා, ඊගාවට කාන්තාවන්ට වෙඩි තිබ්බා. මම බිම ඇදගෙන වැටිලා මලා වගේ ඉඳලා ආපහු නැගිට්ටේ හමුදාව ගියාමයි. මං දැක්කා මගේ අම්මයි, සහෝදරයයි මැරිලා. ඔක්කොම නම දෙනෙක්.”

ඉන්දීය භටයන් පිටව ගිය පසු සිය සහෝදරියක් සහ සහෝදරයකු සොයා මඩන්තායි ගණදෙවි කෝවිලට ගිය පුෂ්පරාජාට ආපසු එන්නට ලැබී ඇත්තේ දින දෙකකට පසුය. ඒ ඉන්දීය හමුදාව විසින් ඉදිරි දින දෙකටම ඇඳිරි නීතිය පනවන ලද හෙයිනි.

“අපි ආපහු සුබ්‍රමනියම් මිනින්දෝරු මහත්තයාගේ ගෙදරට එනකොට නරක් වෙලා ගිය, ගඳ ගහන මළ සිරුරු නමයක් තිබුනා. ඒවා අඳුරගන්න බෑ. මම අම්මයි, සහෝදරයයි අඳුන ගත්තේ ඇඳගෙන හිටිය ඇඳුම් වලින්. හවස පහමාරට විත‍ර අහල පහල අයගේ උදව්වෙන් අපි ඒ දෙන්නගේ සිරුරු අනික් හත් දෙනාගේ මිනීත් එක්ක අල්ලපු ඉඩමේ වලක දාලා ආදාහනය කළා.”

මළ සිරුරට ඇඳිරි නීතිය

ප්‍රදේශයේ වැඩිහිටියකු මාධ්‍යවේදිනී රීටා සෙබස්තියන් ට පවසා තිබුනේ ඉන්දීය හමුදාව විසින් අගෝස්තු 2 සිට 4 දක්වා ඇඳිරි නීතිය පනවන ලද්දේ මරා දමන ලද අයගේ අවසන් කටයුතු ආගමානුකුලව සිදු කරනු වලක්වා ලනු පිණිස බවයි.

වැල්වැටිතුරෙයි පුරවැසි කමිටු සභාපති සබාරත්නම් සෙල්වේන්ද්‍ර වරලත් ගණකාධිකාරී වරයෙකි. කොළඹ රැකියාව හැරදමා පලා එන්නට ඔහුට සිදුවී තිබුනේ 1983 කළු ජූලියෙන් පන බේරා ගැනීමටය. ඉන්දීය හමුදා ඉලක්කයට වැල්වැටිතුරෙයි ගොදුරු වූයේ එය එල්ටීටීඊ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ උපන් ගම වූ නිසා බව ඔහුගේ පිළිගැනීමයි.

මිනී මැරීමෙන් නොනැවතුණු ඉන්දීය භටයන් ගෙවල් 123 ක්, කඩ සාප්පු 45 ක් හා ධීවර යාත්‍රා 176 ක් ගිනිබත් කර තිබේ.

බොහෝ දුක් මහන්සියෙන් මේ ජන හා දේපල සංහාරය ලේඛණගත කරන්නට වෙහෙසුණු පුරවැසි කමිටු ලේකම් වරයා මරණයෙන් ගැලවුනත් වදහිංසාවෙන් බේරී ගන්නට අසමත් විය.

පළාතේ පාසලේ මුල්ගුරුවරයාද වූ කමිටුවේ ලේකම් හමුවන විට ඔහු බැට කෑ තුවාල තවමත් මුහුණේ ඉතිරිව තිබූ බව මාධ්‍යවේදී ඩේවිඩ් හවුස්ගෝ 1989 අගෝස්තු 17 දා ලන්ඩන් ෆිනෑන්ෂල් ටයිම්ස් පුවත්පතට සැපයූ වාර්තාවක ලියා තිබේ. යාපනයේ උඩුප්පිඩි ඉන්දීය හමුදා කඳවුරේදී විඳි ගැහැට පුරවැසි කමිටු ලේකම් නඩරාජා ආනන්දරාජ් විස්තර කර ඇත.

“එක හමුදා භටයෙක් මගේ ඔලුව බිත්තියේ ඇන්නා. තව එක්කෙනෙක් ගිරිය හරහා පොල්ලක් තියලා මගේ හුස්ම හිර වෙනකල් ඒක උඩ නැගලා හිටියා. මට එතකොට ඇහුනා ‘ඕකව මරපන්, ඕකව මරපන්” කියලා කෙනෙක් කෑගහනවා. උඩ හිටිය එකාවත් පෙරලගෙන පොල්ල තල්ලු කරනකොට මම සිහි නැති වෙන්න ඔන්න මෙන්න කියලා හිටියේ.”

“වැරදීමක්-කණගාටුයි”

පසුදා ඔහු හමුවූ ඉන්දීය හමුදා සෙන්පතියන් පිරිසක් ‘වැරදීමක්’ සිදුවූ බව ඔහුට පැවසීමෙන්ම තහවුරු වන්නේ මේ ඝාතන, වධබන්ධන සහ විනාශකාරී ක්‍රියා සැලසුම් සහගතව සිදුවූ බවයි.

“ඊළඟ දවසේ වඩමාරච්චි ආඥාපති නිලධාරී බ්‍රිගේඩියර් ශංකර් ප්‍රසාද්, නියෝජ්‍ය අණදෙන නිලධාරී කර්නල් ඖජ්ලා සහ උඩුප්පිඩි අණදෙන නිලධාරී කර්නල් ෂර්මා මාව හම්බ වෙන්න ඇවිල්ලා කණගාටුව ප්‍රකාශ කළා. මට නරක විදියට සැලකුවේ වැරදීමකින් කියලයි බ්‍රිගේඩියර් මට කිව්වේ.”

තොරතුරු ලබාදුන් ප්‍රදේශවාසියකු මාධ්‍යවේදී ඩේවිඩ් හවුස්ගෝට පවසා ඇත්තේ “මම පේදුරු තුඩුව ගිනි තියනවා, හැම එකාම මරා දානවා” යැයි එක් ඉහල නිලධාරියකු පැවසූ බවයි.

පසු කලෙක ඉන්දීය ආරක්ෂක අමාත්‍ය පදවියට පත්වූ ජෝර්ජ් ෆර්නැන්ඩස් වැල්වැටිතුරෙයි සමූහ ඝාතනය හඳුන්වා තිබුනේ “ඉන්දියාවේ මයි ලායි” ලෙසිනි.

මයි ලායි සමුහඝාතනය යනුවෙන් කුප්‍රකටව ඇත්තේ ඇමරිකානු හමුදා විසින් දකුණු දිග වියට්නාමයේදී පන්සියයකට අධික නිරායුද වැසියන් 1968 මාර්තු 16 දා මරා දැමීමයි.

සොල්දාදුවන් 26 දෙනකුට එරෙහිව චෝදනා නැගුනද අවසානයේදී වරදකරු බවට පත් වූයේ විලියම් කැලේ නම් එක ලුතිනන් වරයකු පමණි.

වැල්වැටිතුරේ ලාංකිකයන් සමූහයක් විදේශ හමුදාවක් විසින් ඝාතනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ හෝ ඉන්දියාවේ කළ පරීක්ෂණයකුත් නැත, හානියට පත්වූවන්ට දෙනලද වන්දියකුත් නැත.

ඉන්දීය හමුදා විසින් සාමාන්‍ය වැසියන් ඉලක්ක කොට ඊට ආසන්න මාසයකට ආසන්න කාල පරාසය තුල සිදුකරන ලද එකම අපරාධය ඒ නොවේ. ඊට පෙර ජූලි 26 දාද ඊට පසු අගෝස්තු 21 දාද තවත් සමූහ ඝාතන දෙකක් කළ බව ලේඛනගත වී තිබේ.

එයින් දෙවසරකට පෙර ඔවුන් යාපනය රෝහලට කඩා වැදී මරා දමන ලද රෝගීන් හා කාර්ය මණ්ඩල සාමාජිකයන්ගණන හැත්තෑවකට ආසන්න වෙයි.

You may also like...

Leave a Reply

Your email address will not be published.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.