කම්කරු ගොවි ආණ්ඩුව! – සුමනසිරි ලියනගේට පිලිතුරු – බාහු – 01 “සුමනසිරි සහෝදරයාගේ ප්‍රතිවාදයේ ඇතුල් පැත්ත”
නව සම සමාජ පක්ෂය තුළ 1980 වැඩ වර්ජනයෙන් පසු පසුව ඇති වූ ප්‍රධාන දේශපාලන විවාදයේ ලියවිලි “කම්කරු ගොවි ආණ්ඩුව!” නම් පොත් පිංච හරහා 1981 වසරේදී පළ කරනු ලැබිණි. මෙහි දැක්වෙන අදහස් අතර වෙනස් කම් 1980 ට පෙර සිටම ඇතුලත ලියලමින් තිබුණත්, වැඩ වර්ජනයට පෙර විවෘතව එළියට නොපැමිණි අතර, වැඩ වර්ජනයේ පරාජයත් සමඟ කම්කරු පංතියේ හැකියාවන් ගැන අවිශ්වාස කිරීම මධ්‍යම පංතික කොටස් අතර වඩා ශක්තිමත් විය. සුමනසිරි ලියනගේ සහෝදරයා මතු කළ අදහස් මෙම මධ්‍යම පංතික පීඩනය පක්ෂය ඇතුලත ප්‍රකාශ කිරීමක් විය. ඒ අනුව මතුවූ විවාදයට ඇතුලත් වූ ලිපි විප්ලවවාදී ඉදිරිදර්ශනයක් වෙනුවෙන් දේශපාලන සාකච්ඡාව තියුණු ලෙස ඉදිරියට ගෙනයාම අතිශයින්ම වැදගත් ලෙස සළකා, මෙසේ හරය තුළ පළ කිරීමට තීරණය කළෙමු.
විවාදයට අදාල ලිපි පෙළේ යොමු පහතින්,
කම්කරු ගොවි ආණ්ඩුව! හැදින්වීම
සුමනසිරි ලියනගේ – 01 “ශ්‍රී.ල.නි.ප. ගැන ප්‍රතිප්‍රවාදයක්”
සුමනසිරි ලියනගේට පිලිතුරු – බාහු – 01 “සුමනසිරි සහෝදරයාගේ ප්‍රතිවාදයේ ඇතුල් පැත්ත”
සුමනසිරි ලියනගේ – 02 “ජන අරගලය සහ තාවකාලික විප්ලවකාරී ආණ්ඩුවක් සඳහා සටන”
සුමනසිරි ලියනගේ – 03 “ඇත්ත සහ නැත්ත”
සුමනසිරි සහෝදරයාට පිළිතුරු – බාහු – 02 “දේශපාලන සාකච්ඡාව වෙත නැවත යොමු වෙමු!”
සුමනසිරි ලියනගේ – 04 “සුමනසිරි සහෝදරයාගේ පිලිතුරු ලිපිය”
සුමනසිරිට පිළිතුරු – බාහු – 03 “කම්කරු ආඥාදායකත්වය හා කම්කරු ගොවි ආණ්ඩු සංකල්පය”
දෙවන ලිපිය – සුමනසිරි සහෝදරයාගේ ප්‍රතිවාදයේ ඇතුල් පැත්ත
- අපේ පක්ෂය තුල ගොඩ නැඟී ඇති න්‍යායික සම්පත් අතර ප්‍රධාන තැන ගන්නේ අප ශ්‍රීලනිප ය ගැන ගොඩ නගා ඇති අදහස් මාලාවයි. එය “නොනවතින විප්ලවය” ප්‍රවාදය පදනම්ව යථාර්ථය වටහා ගැන්මට කරන ලද අරගලයක මහඟු ඵලයක් වන අතර අපෝහක විධික්‍රමය යොදා ගැන්මේ ඍජු උදාහරණයක් ද වෙයි. වාම ප්‍රවනතාවයේ සිට ලාංකික කම්කරු පංතියේ ස්වාධීන විප්ලවවාදී පක්ෂය ගොඩ නඟමින්, පංතිය පදනම් ව බලය කරා අප යන්නා වූ ගමනේ මූලික ඉදිරිමග පෙන්වූයේ ද මෙම සංකල්පය වන අතර, අපගේ ජයග්‍රහනයන්ගේ පදනම එයයි. සුමනසිරි සහෝදරයා කලෙක සිට අනියම් ලෙස ද, මේ ලිපියෙන් එක්තරා දුරකට විවෘතවද අභියෝග කරන්නේ එයටයි. ඇත්ත වශයෙන් එය නොනවතින විප්ලවීය න්‍යාය වෙතට එල්ල කල අභියෝගයකි. තමා සඳහන් කරන ලියවිලි අතර අඩංගු නොකලත් ට්‍රොට්ස්කි නොනවතින විප්ලවය ගැන ලියූ සාරාංශය පදනම් කොට වික්‍රමබාහු සහෝදරයා ලියා ඇති “නොනවතින විප්ලවය හා යටත් විජිත විප්ලව න්‍යාය” නමැති පොත් පිංචට විවේචනයක් ලෙස ඔහුගේ ප්‍රතිවාදය සැලකිය යුතුය.
- ජනතාවාදය යනු “යම් දේශපාලනයක් ගන්නා හැඩරුවක්” නොව ධනපති දේශපාලනයකි. විශේෂයෙන්ම ධනපති පංතියේත් සුළු ධනේශ්වරයේත් එක්තරා සම්බන්ධකමක් ප්‍රකාශ කිරීමකි. ධනේශ්වරයෙන් වෙන් වූ කම්කරු පංතික හෝ සුළු ධනේශ්වර ජනතාවාදයක් කියා දෙයක් නොමැත. ජනතාවාදය මෝරා යෑමේ දී හා බිඳීයාමේ දී මතු වන්නා වූ විවිධ හැඩරුවන් අතර අතරතුර වෙනස්කම් ඇතත් කිසිඳු මූලික වෙනස් කමක් නොමැත. නරොඩ්නික්වාදය කෙලවර වූයේ කෙරෙන්ස්කිවාදයෙන් බව ට්‍රොට්ස්කි පැහැදිලි කළේ ය. එය අමතක කොට නරොඩ්නික්වාදය හා කුවෝමින්ටෑන්වාදය අතර චීන මහා ප්‍රාකාර පිහිටුවීම ට්‍රොට්ස්කිවාදය අවුල් කර ගැන්මකි. බණ්ඩාරනායකවාදය, කුවෝමින්ටෑන්වාදය මෙන්ම නරෝඩ්නික්වාදය ඍජු ලෙසම සම්බන්ධය.
- පංතීන් අතර අරගලය තියුණුවීමත් සමඟ සිදුවන්නේ “ජනතාවාදී හැඩරුව වෙනස්වීම” නොව ජනතාවාදය පිපිරී බිඳී යෑමයි. එවිට කෙරෙන්කිවාදය, කුවෝමින්ටෑන්වාදය, හා බණ්ඩාරනායක වාදයත් ජනතාවාදයේ ඉහල සිටින ධනපතීන්ගේ ආයුධයක් ලෙස ප්‍රතිවිප්ලවයට යන අතර වාම සමාජ විප්ලවවාදීන් හා අරාජිකවාදීන්, වාම කුවෝමින්ටෑනවාදීන්, වාම ශ්‍රීලනිප කණ්ඩායම්, ජවිපෙ හා ජනතා සංගම් ආදිය පෙන්වන්නේ රැඩිකල් වන්නා වූ සුළු ධනේශ්වරයේ ඊනියා ස්වාධීනත්වයේ බංකොලොත්කමයි. අරගලයේ තියුණු අවස්ථාවේ දී කෙරෙන්ස්කි, චියැං කායි ෂෙක්, මෙන්ම සිරිමා ද පෙන්වනු ඇත්තේ “ලිබරල් ධනපති පන්තියේ වංචනික බව” නොව මිනීමරු ප්‍රතිවිප්ලවයයි. මොවුන් සියල්ලන්ම වංචාවන් ගෙන යන්නේ ජනතාවාදයේ පැවැත්ම තුල මිස එහි විනාශය උඩ නොවේ. විනාශයේ දී සුළු ධනපති පහල තට්ටු ගැලවී යද්දී කෙරෙන්ස්කිවාදය, කුවොමින්ටෑන්වාදය මෙන්ම බණ්ඩරනායකවාදය ද නියෝජනය කරනු ඇත්තේ එක දෙයක් පමණි. එනම් අධිරාජ්‍යවාදයේ යුද්ධ ටැංකි හා බෝම්බයි.
- ශ්‍රීලනිපයෙහි සමාජ ප්‍රජාතන්ත්‍රවාදී අංග ලක්ෂණ ඇත්තේ එහි ඊනියා “සමාජ පෙරලි ගැන කථා කිරීම්” මත නොව කම්කරු පංතිය සංවිධානය කොට එය හසුරුවා ගැන්මට ඍජු ලෙස මැදහත්වීම උඩය. ඓයිතිහාසිකව ගත්කල ශ්‍රීලනිප ය යුරෝපයේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂවලට වඩා ප්‍රතිගාමී වන්නේ එය මූලික වශයෙන්, සංවිධානය වූ කම්කරු පංතිය පදනම් කොට ගොඩ නැගෙන්නක් නොව ධනපතියන් හා සුළු ධනේශ්වරය අතර ජනතාවාදී ගිවිසුම් මත ගොඩ නැගෙන්නක් නිසාය. පක්ෂ ගැන මූලිකව කතා කල යුත්තේ ඔවුන් ඉදිරිපත් කරන විවිධාකාර සමාජ පෙරලි කතා වල වටිනාකම් වලින් නොව එම පක්ෂ ගොනු කරන්නා වූ පංති අන්තර් සම්බන්ධතාවයන් හා ඒවායේ වර්ධනයන් මතය. ඔවුන්ගේ මතවාදයත් තක්සේරු කර ගත හැක්කේ ද එය තුලිනි.
- අර්ධ සංවර්ධිත රටක ගොවීන් දිනා ගැන්ම උදෙසා සමාජ විප්ලවවාදීන් (නරොඩ්නික්වරු / ටෘඩොයික්වරු) හා කැඩෙට්වරු අතර වෙනස එනම් “ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය” හා “විප්ලවීය ප්‍රජාතන්ත්‍රවාදය” අතර වෙනස, මූලික පදනම කොට ක්‍රියා කිරීම අන්කිසිවක් නොව තෙම්පරාදු කල ස්ටාලින්වාදයයි. අපට ගොවීන් දිනා ගත හැක්කේ සුළු ධනේශ්වරය මත පදනම් වූ දේශපාලනයන් අතර වෙනස්කම් වලට වසඟ වී ඊනියා “විප්ලවකාරී ප්‍රජාතන්ත්‍රවාදයන්” පසුපස දිවයෑමෙන් නොව මේ සියල්ල හා සැබෑ විප්ලවකාරී ප්‍රජාතන්ත්‍රවාදයේ වෙනස හඳුනාගෙන ක්‍රියා කිරීමෙන් ය. එනම් සියළු ධනපති උපාමාරුවන් අභිබවා කම්කරු පංති ආඥාදායකත්වය පිහිටුවීම උදෙසා කම්කරු විප්ලවවාදී පක්ෂය යටතේ ගොවි, කම්කරු සන්ධානය ගොඩ නැගීමෙන් ය. 1917 ට පෙර ලෙනින් සුළු ධනේශ්වර “විප්ලවකාරී ප්‍රජාතන්ත්‍රවාදයේ” හැකියාවන් පිළිබඳව ට්‍රොට්ස්කිට වඩා වෙනස් මථයක් දැරුවත්, ඔක්තෝම්බර් විප්ලවය විසින් එම මථබේදයන් අවසන් කරමින් කම්කරු පංතිමය නොවන ඊනියා “විප්ලවවාදී ප්‍රජාතන්ත්‍රවාදය” පිළිබද සංකල්පයට අන්තිම ඇනය ගසන ලදී. ඉතිහාසයේ සොහොන් ගැඹින් එය නැවත නැවතත් ගොඩ ගනු ලැබුයේ කම්කරු පංතියේ ස්වාධීනත්වය සුළු ධනේශ්වර රැඩිකල්වාදය හරහා ධනේශ්වරයට පාවාදීම උදෙසා ය. සුළු ධනේශ්වරය මත පදනම් වූ දේශපාලනයන්ගේ සාපේක්ෂ වෙනස් කම් තෝරා ගැන්ම උදෙසා ලිබරල්, ජාතික, රැඩිකල්කම ආදිය යොදා ගත හැකි මුත් “සුළු ධනේශ්වරයේ විප්ලවකාරී ප්‍රජාතන්ත්‍රවාදය” ගැන කථා කිරීම ඉතිහාසයේ කුණු බක්කියට ඇතුල් වීමකි. ඉතිහාසය පිරිසිඳු ලෙසම පෙන්වා දී ඇත්තේ අධිරාජ්‍යවාදී ලෝකය තුල සුළු ධනේශ්වරයට ස්වාධීන දේශපාලනයක් නැති බවයි. “නරොඩ්නික් – ටෘඩොවික්” පැසුනේ කෙරෙන්ස්කිවාදය ලෙසටයි.
- ශ්‍රීලනිප හා දෙමළ විමුක්ති පෙරමුණ සම්බන්ධයෙන් යෙදිය යුතු උප උපායයන්ගේ වෙනස මතු වන්නේ යටත් විජිතයක විසූ ජාතීන් දෙකක ජාතික විමුක්ති අරගලයේ වෙනස්කම් සලකා බැලූ විටය. ඇත්ත වශයෙන් එම වෙනස්කම් වටහා ගැන්මේ පරම ආයුධය වන්නේ ජාතීන් දෙක තුලම ජනතාවාදී දේශපාලනයන් ගොඩ නැඟුන අයුරු සලකා බැලීමෙනි. එක් ජනතාවාදයක් පීඩකයා ලෙසද, අනෙක් ජනතාවාදය පීඩිතයා ලෙසද සංවර්ධනය වූ අයුරු සලකා බැලීමෙනි.
- 7-8-9- ජේද – සුමනසිරි සහෝදරයාගේ ඊනියා ට්‍රොට්ස්කිවාදී “ඇත” “නැත” සූත්‍රය අනුව සමාජ විප්ලවවාදීන්, වාම කුවොමින්ටෑන්වාදීන්, ජනතා විමුක්ති පෙරමුණ හා ජනතා සංගමය ආදිය සමඟ වැඩ ඇරඹිය යුත්තේ නිශ්චිතවම “ඇත” යන තැනින් ය. එපමණක් නොව එයින් ඇති වන්නේ “සුළු ධනේශ්වර විප්ලවවාදී ප්‍රජාතන්ත්‍රවාදය සමග ඇති කර ගන්නා සන්ධානයක්” ය. මීට වඩා ට්‍රොට්ස්කිවාදය විකෘති කිරීමක් කළ නොහැකි තරම් ය. ඊනියා “විප්ලවවාදී ප්‍රජාතන්ත්‍රවාදීන්” සමඟ සංධාන ඇති කර ගැන්ම නොව කල යුතුව ඇත්තේ ඔවුන්ගේ බංකොලොත්කම් හෙලිදරව් කරමින් ඔවුන්ට ප්‍රතිවිරුද්ධව කම්කරු-ගොවි සන්ධානය අප පක්ෂයේ ප්‍රධානත්වයෙන් ගොඩ නැගීමයි. කිසි එකෙකු සමඟ අපගේ සන්ධානයක් නොමැත. ඇත්තේ එක්සත් පෙරමුණු උපාය පමණි. එහි දී, සත්තකටම අපි ඔවුන් අතර ඇති සාපේක්ෂ වෙනස්කම් සැලකිල්ලට ගනිමින් උප උපායයන් දියත් කරන්නෙමු. “වමේ විප්ලවකාරී ආණ්ඩුවක්” යන සටන් පාඨය දැමීමේ දී එයට ජවිපෙ ඇතුල්විය හැකි බව හා එයට එක්වන ලෙස අප බල කරන්නේ ඒ තේරුමෙන් පමණි. “තාවකාලික සම්මුතිවලට” වඩා විශාල ලෙස වෙනස් වූ “සන්ධාන” මඟින් උරචක්‍ර මාලා කරේ දමා ගැනීමට අපට උවමනා නැති අතර, අපේ එකම බලාපොරොත්තුව අප බලයට ඒමයි. අප පක්ෂයේ නායකත්වය යටතේ විප්ලවකාරී ප්‍රජාතන්ත්‍රවාදය එනම් කම්කරු ආඥාදායකත්වය පිහිටුවීමයි.
- ශ්‍රීලනිප යේ අද තත්ත්වය තේරුම් ගත හැක්කේ එහි වර්ධනයේ පසුතලය තුල පමණක් වන අතර, ඒ සඳහා ජනතාවාදය, සමාජ ප්‍රජාතන්ත්‍රවාදය යන සංකල්ප දෙක ලිබරල්වාදය මෙන්ම අත්‍යාවශ්‍ය ය. ශ්‍රීලනිප ය පුපුරුවා හරිමින් ජනයා අප දෙසට ඇද ගනිමින් අපට බලය ගැනීමේ මාවත සකස් කර ගත හැක්කේ එම සංකල්ප භාවිතයෙන් නිසි ලෙස බණ්ඩාරනායකවාදය තේරුම් ගැනීමෙන් පමණි. එහෙත් ශ්‍රීලනිප ධනේශ්වර භාවයෙන් ඊනියා “විප්ලවවාදී පජාතන්ත්‍රවාදීන්” වෙන් කර ගැන්ම උදෙසා දරණ ප්‍රයත්නය, කෙරෙන්ස්කිවාදයෙන් සමාජ විප්ලවවාදීන් වෙන් කර ගැන්මට එදා ස්ටාලින්-රඩෙක් ආදීන් දැරූ ප්‍රයත්නයට වඩා කිසිඳු වෙනස්කමක් නැත. සුමනසිරි සහෝදරයාගේ ප්‍රතිවාදය ශ්‍රීලනිප ය තේරුම් ගැනීමට උත්සාහයක් නොව රැඩිකල් ජනතාවාදීන්, විශේෂයෙන් ජවිපෙ හා නව ජනතා පෙරමුණ වැනි සංවිධාන වැළඳගැන්ම උදෙසා කරන සාධාරණකරණයකි. ඔවුන් හා අප අතර ඇති මහා පරතරය අකා මකා දමා අප පක්ෂය ගොඩ නැගීම අවුල් කර දැමීම එහි ප්‍රතිඵලය වනු ඇත. අවශ්‍යවන්නා වූ කම්කරු පංතියේ ස්වාධීනත්වය හා ස්වාධීන විප්ලවකාරී පක්ෂය ගොඩ නැගීම, සුළු ධනේශ්වර රැඩිකල්වාදය ඉදිරියේ වලලා දමා අප පක්ෂය විවිධ සන්ධානයන් තුලින් දියකර දැමීමේ මථවාදයක් එම ප්‍රති-ප්‍රවාදයෙන් සූදානම් කෙරේ. එයින් ආපසු හැරෙන්නේ “සම්ප්‍රදායික ලෙනින්වාදයට” නොව ඊනියා මාක්ස් ලෙනින්වාදයට ය. එනම් ස්ටාලින්වාදයටයි.
සුමනසිරි සහෝදරයා පක්ෂයේ මූලික පැවැත්මට අභියෝගයක් එල්ල කරයි. ඔහු ගොඩනගන මතවාදය කම්කරු පංතියේ ස්වාධීනත්වය ගොඩ නැගීමට තර්ජනය කරයි. පක්ෂය බලය කරා යන ගමනට අභියෝග කරයි. මෙම අභියෝගයන් ජය ගත හැක්කේ අප නැවත නැවතත් නොනවතින විප්ලවය හැදෑරීමටත් එය පදනම්ව සටන් මඟ වටහා ගැන්මටත්, ක්‍රියා කිරීමටත් එළඹීමෙන් පමණි.
1980 නොවැම්බර් 19 දින
– වික්‍රමබාහු –