කම්කරු ගොවි ආණ්ඩුව! – සුමනසිරිට පිළිතුරු – බාහු – 03 “කම්කරු ආඥාදායකත්වය හා කම්කරු ගොවි ආණ්ඩු සංකල්පය”

නව සම සමාජ පක්ෂය තුළ 1980 වැඩ වර්ජනයෙන් පසු පසුව ඇති වූ ප්‍රධාන දේශපාලන විවාදයේ ලියවිලි “කම්කරු ගොවි ආණ්ඩුව!” නම් පොත් පිංච හරහා 1981 වසරේදී පළ කරනු ලැබිණි. මෙහි දැක්වෙන අදහස් අතර වෙනස් කම් 1980 ට පෙර සිටම ඇතුලත ලියලමින් තිබුණත්, වැඩ වර්ජනයට පෙර විවෘතව එළියට නොපැමිණි අතර, වැඩ වර්ජනයේ පරාජයත් සමඟ කම්කරු පංතියේ හැකියාවන් ගැන අවිශ්වාස කිරීම මධ්‍යම පංතික කොටස් අතර වඩා ශක්තිමත් විය. සුමනසිරි ලියනගේ සහෝදරයා මතු කළ අදහස් මෙම මධ්‍යම පංතික පීඩනය පක්ෂය ඇතුලත ප්‍රකාශ කිරීමක් විය. ඒ අනුව මතුවූ විවාදයට ඇතුලත් වූ ලිපි විප්ලවවාදී ඉදිරිදර්ශනයක් වෙනුවෙන් දේශපාලන සාකච්ඡාව තියුණු ලෙස ඉදිරියට ගෙනයාම අතිශයින්ම වැදගත් ලෙස සළකා, මෙසේ හරය තුළ පළ කිරීමට තීරණය කළෙමු.

විවාදයට අදාල ලිපි පෙළේ යොමු පහතින්,

සත් වැනි ලිපිය – කම්කරු ආඥාදායකත්වය හා කම්කරු ගොවි ආණ්ඩු සංකල්පය

• “බොහොම හොදයි මහත්වරුනි, මේ ආඥාදායකත්වය කුමක් වැනිදැයි දැනගැනීමට උඹලා කැමතිද? පැරිස් කොමියූනය දෙස බලාපල්ලා. ඒ් තමා නිර්ධන ආඥාදායකත්වය” (ප්‍රංශයේ සිවිල් යුද්ධය – එංගල්ස් – 18 මාර්තු 1981

1. හැදින්වීම: –


සුමනසිරි සහොදරයාගේ ලියවිල්ලේ මුල් ජේද ගනනාවම වෙන් කරන්නේ සාකච්ඡාවට අදාල කරුණු වලට අමතර අතර තුර කරුණු ගැන කථා කිරීමට ය. ඒ්වායේ නගා ඇති ප්‍රශ්නවලට කෙටියෙන් පිළිතුරු දීම ප්‍රමාණවත්යැයි මම කල්පනා කරමි.


ශ්‍රීලනිපය සමග ජාත්ක පෙරමුණකට අප යා යුතුයැයි මා යෝජනා කර ඇතැයි සුමනසිරි සහෝදරයා අන්තිම පහත් කෙබරයක් කෙලියි. මා සදහන් කර ඇත්තේ ඒවන් පාවාදීම් වලට විරුද්ධ වන අතර නිශ්චිත සටන් වලදී මේ ආණ්ඩුවට විරුද්ධව (ශ්‍රීලනිපය සමග) ඒකට ක්‍රියාකාරීව සටන් වැදීම පමණක් බව ගැන මේ පක්ෂයට අවුලක් තිබිය නොහැක.

2. කම්කරු රාජ්‍ය යනු කුමක් ද?


දැන් අපි හරියටම ප්‍රශ්නයට බසිමු. සුමනසිරි සහෝදරයා ස්ටාලින්වාදී අදහස්වල ගැලී ඇති බවට වෙන උදෘතපාඨ වුවමනා නැත. ඔහුගේ මේ ලියවිල්ලම ප්‍රමාණවත්ය. ඔහු මෙසේ කියයි.


• “නමුත් පටලැවිල්ල ඇති වන්නේ මෙතැනදී ය. රුසියාවේ කම්කරු රාජ්‍යයක් ඇතිවීමේ දිනය හැටියට අප සාමාන්‍යයෙන් ප්‍රකාශ කරන්නේ 1918 නොවැම්බරය නොවේ. 1917 ඔක්තෝම්බරයයි. (පැරණි කැලැන්ඩරය අනුව) අප මෙසේ කරන්නේ කම්කරු ගොවි සෝවියට්වල නායකත්වය ගත් බොල්ෂෙවික්වරු කම්කරු බලය තහවුරු වන පරිදි දේපොල සම්බන්ධතාවයත් පෙරලා දැමීමට ක්‍රියා කරනු ඇතැයි යන විශ්වාසය නිසාය. (ඒ් තේරුමන් ගත් විට එය එක් අතකින් මනෝමූල මිනුම් දංඩක්විය.) ඇත්තටම බොල්ෂෙවික්වරු එම විශ්වාසය තහවුරු වන හැටියට ක්‍රියා කිරීම නිසාම මෙතැන ප්‍රශ්නයක් ඇති නොවී ය….”


ඉතා ඉවසිල්ලෙන් ඉහත වගන්ති කියවූ කෙනෙකුට පෙනී යන ප්‍රධාන කරුණ නම් සුමනසිරි සහෝදරයා එක පෑන් පහරින් ඔක්තෝම්බර් විප්ලවය කටුගා දමන බවයි. ඔහු අපට කියන අන්දමට ඔක්තෝම්බර් 1917 දී ඇත්තටම සමාජ විප්ලවයක් සිදුවී නැත. සිදුවී ඇත්තේ සමාජ විප්ලවය පොරොන්දු වූ කණ්ඩායමක් බලය ගැනීම පමණි. වාසනාවට ඔවුන් එම පොරොන්දුව පසුව -ඒනම්- 1918 නොවැම්බර් වන විට ඉටු කොට අවසන් කළෝය. සමාජ විප්ලවය ඇති වුනේ ඒ නිසාය. කම්කරු ආඥාදායකත්වය ඇති වූයේ ඒ නිසාය. ඒ අනුව 1917 දී කම්කරු ආඥාදායකත්වය නිකම්ම මනෝපුබ්බංගයක් ය. යථාර්ථයක් නොවේ.


සුමනසිරි සහෝදරයාගේ මේ අර්ථ නිරූපනය අනුව පැරිස් කොමියූනය නිකම්ම අවලංගු කාසියක් වන්නේ ය. එදා පැරිසියේ බලය ගත්තා වූ බ්ලාන්ක්විවාදීන් හා පෘදොන්වාදීන් තුල කිසිදු විශ්වාසයක් තැබිය හැකි දේශපාලන ස්වරූපයක් නොතිබුණ අතර, විශේෂයෙන් දේපොල පවරා ගැනීමේ කටයුත්ත පැත්තෙන් ඔවුන් කළේ විශාල අනුවන කම් ය. එංගල්ස් අපට පෙන්වා දෙන ලෙසට ඔවුන්ගේ අඩුපාඩු තදබල ලෙසම තිබුනේ සමාජ ආර්ථික පැත්තෙන්න වන අතර, ඉතාම අනුවන ලෙස ප්‍රංශ බැංකුව අත්පත් කර ගැනීමෙන් පවා, ඔවුන් වැලකී සිටියහ. (‘ප්‍රංශයේ සිවිල් යුද්ධය’ට – පෙරවදන) ඇත්ත වශයෙන් මේ නායකයන් මාවෝ, ටිටෝ, සමග සැසදූ කල පවා සිටියේ ඉතාම පහත් තැනකය. විශේෂයෙන්ම ප්‍රධාන බලධාරීන් වූ බ්ලාන්කිවාදීන් කම්කරු පංති සටන්කාමීන් වුවද. නාමිකව හෝ සමාජවාදීන් නොවීය. සංකල්පමය අතින් ඔවුන් ඉතා ලාමක වූහ. එසේ නම්, සුමනසිරි සහෝදරයාගේ වරනැගීම අනුව මාක්ස්, එංගලස් පැරිස් කොමියූණය නිර්ධන පංති ආඥාදායකත්වයකැයි හැදින්වීමෙන් කරන්නේ වැරද්දක් ය. ඔවුන් එසේ හදුන්වනවා පමණක් නොව ඒංගල්ස් අත දිගුකර “නිර්ධන පංති ආඥාදායක්ත්වය බලාගනිල්ලා” කියා උදාහරණයක් ලෙස එදා පෙන්වූයේ පැරිස් කොමියූනයයි. එසේම ලෙනින් දිගින් දිගටම තම උදාහරණයට ගත්තේ ද මේ පැරිස් කොමියූණයයි. ඔවුන් කොතරම් අනුවන ද? සුමනසිරි සහෝදරයාත්, ඔහුගේ ගුරුන් වූ මැන්ඩල් – හැන්සන් ආදී අමනයන් රැළ කොයිතරම් පණ්ඩිතයන් ද?


එහෙත් සුමනසිරි සහෝදරයාගේ අවාසනාවට, ඔහුගේ ගුරු අමන හැන්සනයා නොතකා පැරිස් කොමියූනය මෙන්ම රුසියානු ඔක්තෝම්බර් 1917 පෙට්‍රොග්‍රෑඩයද නිර්ධන පංති ආඥාදායකත්වයන් වූයේ ය. සත්තකටම මේ අවස්ථා දෙකේදී ම එම ආඥාදායකත්වය සර්ව සම්පූර්ණ නොවී ය.

විශේෂයෙන් සමාජ ආර්ථික පරිවර්තනයන් මගින් එම රාජ්‍යයේ තහවුරු වීම සලකා බලන කල්හි වඩා අඩමාන විය. එහෙත් සමාජ දේශපාලන සාධකයන් වශයෙන් යථාර්ථයක් විය. අතට හසුවන, ඇගට දැනෙන, කොයි පන්ති කොටසකටත් හොදින් දැනුන යථාර්ථයක් විය. රුසියන් විප්ලවය ගත් කල්හි 1917 සිට 1918 සරත් ඍතුව දක්වා එක් අතකින් පැවතුනේ පැතිරී යන සිවිල් යුද්ධ තත්ත්වයයි. අනෙක් අතට, නව රජයේ වැඩ පිලිවෙල බොහෝ දුරට අසහාය බලය හා ප්‍රවේණිවාදය විනාශ කලාවූ, රදලයන්ගේ ඉඩම් උදුරාගත්තා වූ, “ප්‍රජාතන්ත්‍රවාදී” වැඩකටයුතු වලට සීමා විය. මෙසේ සියළු ගොවීන්ගේ ආධාර ඇතිව තහවුරු වූ නිර්ධන පන්ති ආඥාදායකත්වය, ඇත්තවශයෙන් ධනපති දේපල පවරාගනිමින් “සමාජවාදී” වැඩකටයතු කරා එළඹුනේ 1918 සැප්තැම්බරයෙන් පසුවය.


මේ වැඩපිළිවෙල අවසන් වූයේ 1919 අවුරුද්ද අවසන් වන විටදී ය. “යුධ කොමියුනිස්ට්වාදය” ලෙස හැදින්වුනු යුගයේ මුල් කාලය තුලදීම මේ වැඩ පිළිවෙල ක්‍රමයෙන් සම්පූර්ණ විය. (ඇත්තවශයෙන් යුධ උවමනාව උඩ ජනසතු කිරීම් උවමනාවට වඩා ඉදිරියට ගියේ ය.) ඒ අනුව සම්පූර්ණයෙන් තහවුරු වූ නිර්ධන පන්ති ආඥාදායකත්වයක්, සමාජ දේශපාලන සාධකයක් ලෙස නාගරිකව මතුවී, ප්‍රත්‍යන්තයන්හි ගොවීන්ගේ යුද්ධයෙන් ආධාර ලබා රටපුරා පැතිර‌‌‌ගෙස්, සමාජ ආර්ථික පෙරලියෙන් තහවුරු වූයේ 1918 දී නොවේ. 1919 අවසන් වන විටය. ඒ අනුවද සුමනසිරි සහෝදරයා ට්‍රොට්ස්කිගේ අදහස් වලට ඇතුල් කරන්නේ වැරදි වර නැගීමකි. ට්‍රොට්ස්කි පෙන්වා දෙන්නේ 1918 ගිම්හාන ඍතුව අවසන් වන තෙක් පැවතුනේ “ප්‍රජාතන්ත්‍රවාදී” වැඩ කොටසක් පමණක් බවය. එම කාලය තුල ජනසතුව ප්‍රධාන වුනේ නැත. ඒ නිසා 1918 සරත් ඍතුවේ දී සමාජ ආර්ථික පෙරලිය පැත්තෙන් බැලුව විටදී නිර්ධන පංති ආඥාදායකත්වය තහවුරු වී නැත. එය සිදුවූයේ ඉන් පසුවය. විශේෂයෙන්ම ගැමි දුගී ගොවීන් හා මහ ගොවීන් අතර ගැටුමෙන් ඇරඹි ජනසතුව පලල් වශයෙන් දියත් වී ගියාට පසුවය. 1919 වර්ෂය තුලදී, මේ දෙවැනි පියවරෙන් රට වෙලී ගොස් තිබුණි. 1918 ඔක්තෝම්බරය පටන් ගැනීමයි. අවසානය නොවේ. 1918 සරත් ඍතුවේදී ධනපති ගොවීන්ට විරුද්ධව ගැමි දුගීන් නැගී සිටියහ. ගැමි දුගියාගේ සභාවල් ඇතිවිය. මේ අනුව 1918 සරත් ඍතුවේදී සිදුවූයේ සමාජ දේශපාලන කර්තව්‍යය රට පුරා සම්පූර්ණ වීමය. ඒ අනුව නිර්ධන පංති ආඥාදායකත්වය දේශපාලන සාධකයක් ලෙස තහවුරු විය. එයින් “සමාජවාදී යුගය” ආරම්භ විය. එහෙත් ධනපතියන් පරාජය කරමින් ජනසතුව සම්පූර්ණ වූයේ, 1919 වර්ෂය තුලදී ය. 1918 සරත් ඍතුවේ සම්පූර්ණ වූයේ, සමාජ දේශපාලන කර්තව්‍යයන්, එනම් ගැමි සමාජයේ පන්ති ගැටුම මිස ජනසතුව නොවේ. ලෙනින් එය හැදින්වූයේ ගැමි දිස්ත්‍රික්කවල “ඔක්තෝම්බරය” ලෙසට ය.


අනෙක් අතට 1917-18 කාලයේ සිදුවූ ජනසතුකිරීම් ද, යුධ කොමියුනිස්ට්වාදී සියළු පියවරයන්ද, දේශපාලන උවමනාවන් මත, එනම් ධනපති පන්තිය මර්ධනය කිරීමට හා නිර්ධන පන්ති බලය තහවුරු කර ගැන්ම උදෙසා ගත් පියවරයන් ය. ආර්ථිකය ක්‍රියා කරවීම හා පන ගැන්වීම පැත්තෙන් ඒ වන විට ඒවායින් සමහරක් අසාර පියවර විය. නිෂ්පාදන බලවේගවල වර්ධනයට ඔරොත්තු නොදෙන කඩිනම් පියවර විය. එහෙත්, ධනපති බලය බිදීමට ඒවා අත්‍යවශ්‍ය විය. ට්‍රොට්ස්කි මේ බව 1922 දී ජාත්‍යන්තරයේ 04 වන කොන්ග්‍රසයට පැහැදිලි කළේ ය. ඒ අනුව ධනපතියන්ට විරුද්ධව ගෙන ගිය සිවිල් යුද්ධයේ උවමනාව උඩ එම ජනසතු කිරීම් සිදු කලත් එම යුද්ධයෙන් පසුව නැවත ධනවාදයට ඉඩ දෙන්නට සිදුවිය. නව ආර්ථික ප්‍රතිපත්තිය (Neo Economic Policy) (NEP) වූයේ එයයි.


මේ අනුව ට්‍රොට්ස්කි සහෝදරයා ජනසතුව ගැන 1933 දී කථා කරන්නේ ආර්ථික පෙරලියක් හැටියට ජනසතුවේ ඇති වැදගත්කම වෙනුවෙන් නොවේ. ඉන් කම්කරුවන්ට පෙරමුණට පැමිණීමට ඉඩ සැලසුන බව පෙන්වා දීමට ය. එනම් 1918 දී කම්කරුවන් දේශපාලන වශයෙන් ධනපතියන් මර්ධනය කර ඒ් අනුසාරයෙන් තහවුරු වූ බව පැහැදිලි කිරීමටය. ඔහු කියන්නේ කඩිනම් ජනසතුව නිසා කම්කරුවන්, සුළු ධනේශ්වර බලපෑම් බිදගෙන පෙරමුණට ආ බවය. එසේ කම්කරුවන් පෙරමුණට ආ නිසා නිර්ධන පන්ති ආඥාදායකත්වය තහවුරු වුනු බවය. කම්කරු පාලනය තහවුරු වුනු බවය. සුමනසිරි සහෝදරයා මෙය පටලවා ගෙන අපට කියන්න හදන්නේ නිකම්ම හුදු ජනසතුවෙන් ඇත්ත නිර්ධන පන්ති ආඥාදායකත්වය බිහි වූ බවය. (සෝවියට් රුසියාවත් සමාජවාදයට ගියේ කියුබානු ගමන්මග අනුව බවය ඔහු කියා දෙන්න හදන්නේ)

3. නිර්ධන පන්ති ආඥාදායකත්වය මූලික වශයෙන් සමාජ දේශපාලන ප්‍රපංචයක්:-


සුමනසිරි සහෝදරයාට වැරදී ඇත්තේ ඔහුගේ අර්ථ දැක්වීම තුල ම ය. මෙය ඔහු අමන හැන්සන් ගෙන් කුලියට ගත් ජරාවකි. අපි මේ අර්ථ දැක්වීම තව දුරටත් නැවතත් සලකා බලමු. ඔහුට අනුව නිර්ධන පන්ති ආඥාදායකත්වය ඇතිවීමේ සිද්ධිදාමයට පියවර 03 ක් අන්තර්ගත වේ. එනම්,


“(i) ධනපති රාජ්‍ය යන්ත්‍රය පොඩි පට්ටම් කර දැමීම – පැරණි තන්ත්‍රය විනාශ කිරීම කරා ගමන් කරන සිවිල් යුද්ධය හෝ ජන නැගිටීමකින් ද මෙය සිදුවේ.


(ii) කම්කරු ආණ්ඩුවේ නැත්නම් කම්කරු ගොවි ආණ්ඩුවක් පිහිටුවීම – එනම් කම්කරුවන්ගේ හා හිතවතුන්ගේ බලය ප්‍රාග්ධනයේ ආර්ථික ශක්තිය තර්ජනයට ලක් කරන ප්‍රතිසංස්කරණ ඇති කිරීම සඳහා මෙහෙයවෙන පැරණි පාලක පන්තීන්ගේ ස්වාධීන ආණ්ඩුවක් ය.


(iii) ආර්ථික මර්මස්ථානයන් අත්පත් කර ගැනීම මගින් දේපොල සම්බන්ධකම්වල පරිවර්තනයක් ඇති කිරීම හා ආර්ථික සම්බන්ධතා සැලසුමකට අනුව මෙහෙයවීම ”.


මේ ඉදිරිපත් කරන කරුණු වල ඇත්තේ අඩුපාඩුවකට වඩා වරදකි. ඒ වරද ඇත්තේ ඒවා අතර ඇති නිශ්චිත සම්බන්ධතාවය පැහැදිලි නොකිරීමය. විප්ලවය වූ කලී ක්‍රියාදාමයක් ය. එය පියවර කිහිපයක අච්චාරුවක් නොවේ. විප්ලවයක් මතුවන්නේ සමාජ දේශපාලන පෙරළියක් ලෙසය. විප්ලවයේ ඇරඹීමත් සමඟ මතුවන දේශපාලන සාධකය තහවුරු වන්නේ ඉන්පසුව ඇතිවන්නාවූ සමාජ ආර්ථික පෙරලියේ තත්ත්වය අනුව ය. මෙලෙසින් දිග හැරෙන ක්‍රියාදාමයක් ලෙසට මිස වෙන ලෙසකට සමාජ විප්ලවයක් සිදු වන්නේ නැත. ඇත්ත වශයෙන් අවදි දෙකේ විප්ලවය කරා ගමන් ගත්තා වූ ස්ටාලින්වාදී න්‍යයයන්ගේ මූලික වැරැද්ද මතු වන්නේ ද මෙන්න මේ විප්ලවයේ සැබෑ ස්වරූපය වලලා දැමීමෙන් ය. තකතීරු හැන්සනයා අනුව යන සුමනසිරි සහෝදරයා හරියටම කරන්නේ එයයි. අනෙක් අතට සුමනසිරි සහෝදරයා ධනපති රාජ්‍යය යන්ත්‍රය පොඩිපට්ටම් කිරීම ගැන කථා කලත් එයට විකල්පව නිර්ධන පංති ආඥාදායක බලය, එනම් කම්කරු රාජ්‍ය බලය ගොඩ නැගීම ගැන කථා කරන්නේ නැත. ආණ්ඩුවක් පිහිටවූ පමණින් බලය ක්‍රියාත්මක වන්නේ නැත. එයට රාජ්‍ය උපකරණයක් අවශ්‍යය. එසේ නැත්නම් ඔය කියන කම්කරු ආණ්ඩුවේ, නැත්නම් කම්කරු ගොවි ආණ්ඩුවේ, අන පනත් විධිවිධාන හුදු කොල කෑලිවලට පමණක් සීමා වන්නේ ය.
නියම වරනැඟීම මෙසේ විය යුත්තේ ය:


A. ජන නැගිටීම හා යුද්ධමය ප්‍රහාරය තුලින් ධනපති බලය බිඳ නිර්ධන පංති ආඥාදායකත්වය දේශපාලන සාධකයක් ලෙස මතුවීම. එය පදනම්ව විප්ලවකාරී ආණ්ඩුව පිහිටුවීම.


B. පැරණි බලයේ සියළු ‌ශේෂයන් බිඳිමින් නිර්ධන බලය රට පුරා පැතිරයෑම හා දේශපාලන වශයෙන් තහවුරු වීම.


C. සමාජ ආර්ථික පෙරලිය තුලින් නිර්ධන බලය සමාජීය වශයෙන් තහවුරු වීම.

4. ඔක්තෝම්බරයේ සිදුවූයේ කුමක් ද?

ඉහත කී අර්ථි දැක්වීම අනුව ඔක්තෝම්බර් විප්ලවය වටහා ගත හැකි වන අතර අපට ලෙනින් හා ට්‍රොට්ස්කි අනුගමනය කල ප්‍රතිපත්තීන් ද වටහා ගත හැකිය.

  • 1917 ඔක්තෝම්බර් – නොවැම්බර් වලදී කම්කරු පංතිය බලහත්කාරයෙන් බලය අල්වා ගෙන නිර්ධන පංති ආඥාදායකත්වය පිහිටුවයි. අනෙක් සියළු බල කේන්ද්‍ර අහෝසි කරමින් නව ව්‍යවස්ථාවක් තහවුරු කරයි. ආණ්ඩුවක් පත් කරයි.
  • 1917 නොවැම්බර් සිට 1918 සරත් ඍතුව දක්වා සිවිල් යුද්ධය රටපුරා පැතිරෙයි. මූලික වශයෙන් ඉඩම් හිමියන්ගේ හා රාජකීයයන්ගේ අසහාය බලය මෙන්ම ප්‍රවේණිවාදය බිඳ දමමින් රටපුරා බලය තහවුරු වෙයි. සමස්ථ ගොවි ජනතාවගේ සහය ඇතිව නිර්ධන පන්ති ආඥාදායකත්වය පැතිරෙයි.
  • 1918 සරත් හා ශීත ඍතු තුලදී ගැමි පන්ති සටන ඇවිලෙයි. ගැමි කුලැක් පන්තිය අභිබවා ගැමි දුප්පතුන් බලය ගනිති. හමුදාවේ නායකත්වය කම්කරුවන් හා දුප්පත් ගොවීන් අතට පත්වේ. වාම සමාජ විප්ලවවාදීන් ආණ්ඩුවෙන් ඉවත් වී දියවී යයි. නිර්ධන පන්ති ආඥාදායකත්වය දේශපාලන වශයෙන් තහවුරු වෙයි. සමාජ දේශපාලන පෙරලිය සම්පූර්ණ වෙයි.
  • 1918 නොවැම්බර් සිට 1919 දෙසැම්බර් දක්වා ධනපති ගොවීන්ගේ දේපොලද, නගරයේ කර්මාන්තද ජනසතුවේ. යුද්ධයේ අවශ්‍යතාවයන් සමඟ මධ්‍යගත පාලනයෙන් යුතු “යුධ කොමියුනිට්වාදය” බිහිවේ.
    දැන් මේ සියල්ල ගැන ට්‍රොට්ස්කි හා ස්ටාලින් කියන්නේ කුමක්දැයි සවන් දෙමු. ඒවිට සුමනසිරි සහෝදරයා සිටින තැන වටහා ගත හැකි වනු ඇත.

ට්‍රොට්ස්කි මෙසේ කියයි:


“මෙහි හරය වන්නේ ධනපති විප්ලවයේ පදනම වන්නා වූ කෘෂිකාර්මික ප්‍රශ්නය, ධනපතියන්ගේ බලය යටතේ විසඳිය නොහැකි බවයි. නිර්ධන පන්ති ආඥාදායකත්වය මතු වූයේ කෘෂිකාර්මික ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රශ්ණය විසඳීමෙන් පසුව නොව ඊට පෙර, ඒය ක්‍රියාත්මක කරන්නට අවශ්‍ය වූ සාධකයක් ලෙසය” (අවධාරණය ට්‍රෙටස්කිගේ – නොනවතින විප්ලවය – පිටුව 109)


ඒ අනුව 1917 ඔක්තෝම්බරයේ ඇති වූ නිර්ධන පංති ආඥාදායකත්වය, “ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයේ වැඩ කොටස ඉෂ්ඨ කිරීමට පවා අවශ්‍යම වූ දේශපාලන සාධකයකි. දැන් ස්ටාලින් කියන්නේ කුමක් ද? ලෙනින් 1917-1918 කාලය ගැන කියූ කථාව ඔහු වර නැඟුයේ මෙසේ ය.


“ලෙනින් යෝජනා කලේ විප්ලවයේ හිස මුදුන විය යුත්තේ නිර්ධන පන්තියට බලය මාරුවීම බවයි. ඒහෙත් “නොනවතින” විප්ලවකාරයින්‌ට උවමනා වූයේ ඒකවරම නිර්ධන පන්ති ආඥාදායකත්වයත් පිහිටුවීමෙන් ආරම්භ කරන්ටයි. මෙයින් ඔවුහු “කුඩා ප්‍රශ්නයක් වූ” ප්‍රවේණිවාදයේ ඉතුරූන් ගැන ඇස් වසා ගන්නා බවත්, රුසියාවේ ගොවි ජනතාව වැනි වැදගත් බලවේගයක් අමතක කරන බවත් නොදුටුවෝ ය. ඒවැනි ප්‍රතිපත්තියකින් නිර්ධනීන්ගේ පැත්තට ගොවීන් දිනා ගැන්ම පසුබාන බව තේරුම් නොගත්හ.” (ලෙනින්වාදයේ පදනම – චීන ප්‍රකාශන – 35 පිටුව)


මේ අනුව 1917-1918 කාලය ගැන ලෙනින් “ද්‍රෝහී කව්ට්ස්කි” නැමැති පොතෙහි කල විස්තරයට අර්ථකථන දෙකක් ලැබෙන්නේ ය. ඒකක් ට්‍රොට්ස්කිගේ ය. ඒ අනුව නිර්ධන පංති ආඥාදායකත්වය ඇති වූයේ සමාජ ආර්ථික පෙරළියේ “ප්‍රජාතන්ත්‍රවාදී” වැඩ කොටසට පෙරයි. ඒනම් 1917 ඔක්තෝම්බරයේ දී ය. එය නැතිව කිසිඳු පෙරලියක් බැරිය. අනෙක ස්ටාලින්ගේ වංචාකාරී අර්ථ කථනයයි. එයට අනුව නිර්ධන පන්ති ආඥාදායකත්වය ඇති වන්නේ කෘෂිකාර්මික විප්ලවයට පෙර නොව පසුවයි. ඔහුට අනුව සාර්වාදයේ හා ප්‍රවේණිවාදයේ ඉතුරුබිතුරු වලට විරුද්ධව ගොවි ජනතාව මෙහෙයවූ කෘෂිකාර්මික විප්ලවය ක්‍රියාත්මක කලාට පසුව ඇතිවන සටන තුලදී නිර්ධන පන්ති ආඥාදායකත්වය ඇති වෙයි.


අමන හැන්සනයා පසුපස ගිය සුමනසිරි සහෝදරයා පැමිණ ඇත්තේ ස්ටාලින් ලඟටය. දෙදෙනාම නිර්ධන පංති ආඥාදායකත්වය ප්‍රධාන කොට දකින්නේ එහි දේශපාලන පැත්තෙන් නොව සමාජ ආර්ථික පැත්තෙන් ය. මේ අනුව ධනපති දේපොල විනාශය (ප්‍රජාතන්ත්‍රවාදී වැඩපිලිවෙල ඉක්මවා යමින්) ඇති වන තෙක් කම්කරු ආඥාදායකත්වයක් නැත. ඇත්තේ වෙන දෙයක් ය. ඒයට කියන්නේ “කම්කරු ගොවි ආණ්ඩුව” කියාය.

5. ස්ටාලින් හා කම්කරු ගොවි ආණ්ඩුව:-


“කම්කරු ගොවි ආණ්ඩුව” යන්න ආණ්ඩු සංකල්පයක් ලෙස ස්ටාලින් හා රඩෙක් ආදීන් යෙදුවා යයි කියනවාට සුමණසිරි සහෝදරයා විරුද්ධය. ඔහු කියන්නේ “නිර්ධනීන්ගේ හා ගොවීන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී ආඥාදායකත්වය” ඇරෙන්නට ඉහත කී යෙදුම ඔවුන් භාවිතා නොකල බවයි. අනෙක් අතර “කම්කරු ගොවි ආණ්ඩුව” යන්නට “ගොවි කම්කරු ආණ්ඩුව” යයි මා යොදා ඇති එක ගැන ද ඔහු ආඩාපාලි කියන්නේ නැතිළු. එසේම මෙය ආණ්ඩු සංකල්පයක් ලෙස යෙදීමට ට්‍රොට්ස්කි විරුදධ වූ බව පෙන්වන ලෙස ඔහු මට අභියෝග කරයි.


පළමුවෙන්ම පෙන්වා දිය යුත්තේ නිර්ධන පන්ති ආඥාදායකත්වය හැඳින්වීමට, එනම් එයට භාවිතා කළ ප්‍රසාද ජනක නමක් හැටියට හැරෙන්නට වෙනත් දෙයක් ලෙසට “කම්කරු ගොවි ආණ්ඩුව” යෙදුවිට ස්ටාලින්වාදය කරා ඇදී යන ගමන නවත්වන්නට බැරි බවයි. කුමක් නිසාද යත් එවිට එයට ඇතුල්වන්නේ ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී අර්ථයක් ය. සුමනසිරි සහෝදරයා මොන දහංගැට ගැසුවත් “කම්කරු ගොවි ආණ්ඩුව” නිර්ධන පන්ති අඥාදායකත්වයට පෙර, එසේම ධනපති දේපොල පවරා ගැන්මට පෙර ඇති වූ හෝ ඇතිවන්නාවූ ප්‍රපංචයක් ලෙස හඳුන්වන තාක් කල් එයට ලැබෙන්නේ “ප්‍රජාතන්ත්‍රවාදී” වර්ගීකරණයකි. එය ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවීය කාර්ය භාරයන් පමණක් ඉටු කරන දේශපාලන ආයුධයකි. ඒ නිසා එයට ට්‍රොට්ස්කි විරුද්ධ විය.


“බොල්ෂෙවික්-ලෙනින්වාදීන්, ධනපති ප්‍රජාතන්ත්‍රවාදී මුහුණුවරින් ගත්කල කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආණ්ඩුව යන සටන් පාඨයට තදින්ම විරුද්ධ වෙයි” ට්‍රොට්ස්කි – සංක්‍රමණීය ක්‍රියාමාර්ගය.


ඇත්ත වශයෙන් රැඩෙක් එය යෙදුවේ නිර්ධන පංති ආඥාදායත්වයට පෙර අවධියක් හැඳින්වීමට වන අතර, ඔහුද සුමනසිරි සහෝදරයා මෙන්ම “කම්කරු ගොවි ආණ්ඩුව” යන්න, “ගොවි කම්කරු ආණ්ඩුව “යනුවෙන් යෙදීම ගැන දැඩි ලෙස විරුද්ධ වූයේ නැත. ආඩපාලි කීවේත් නැත.


“මා අවුරුද්දකට පෙර, කැන්ටන් ආණ්ඩුව ගොවීන්ගේ හා කම්කරුවන්ගේ ආණ්ඩුවක් යැයි හඳුන්වමින් ප්‍රව්ඩා පත්‍රයට ලිපියක් ලිව්වෙමි. කර්තෘ මණ්ඩලයේ සහෝදරයෙක් මෙය මා අතින් සිදුවූ මඟ ඇරීමකියි සිතා එය කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආණ්ඩුවක් ලෙස වෙනස් කලේය. මා එයට විරුද්ධ වූයේ නැත. එයට ඉඩ දෙමු. ඔව්. කම්කරුවන්ගේ ගොවීන්ගේ ආණ්ඩුවක්” – රැඩෙක්ව උපුටා දැක්වීම – නොනවතින විප්ලවය – 80 පිටුව


මේ අනුව මෙම ප්‍රතිමාක්ස්වාදී සංකල්පය සුමනසිරි සහෝදරයාද, රැඩෙක් විලසින්ම යොදා ගත්තේ වික්‍රමබාහුගේ මැජික් ඒකක් නිසා නොවේ. ඔවුන් දෙදෙනාම එය ඒක ලෙසටම යොදා ගන්නා නිසාය (නැවත පිටපත බලන්න). සුමනසිරි හා රැඩෙක් එක්වන්නේ මාගේ මැජික් ඒකකින් නොවේ. එය එසේ වන්නේ සුමනසිරි හැන්සන්ගේ තකතීරු සූත්‍රවල එල්ලෙන්නට යෑමෙන් ය. අමනයෙකු නමුදු හැන්සන්ට අඩු තරමේ තමා කම්කරු-ගොවි සූත්‍රය තුල ගොඩ නගන සංකල්පය ට්‍රොට්ස්කිට විරුද්ධ වූ එකක් බව යන්තම් වැටහී තිබුනේය. ට්‍රොට්ස්කි විසින් වීසි කර දමනු ලැබීය යන තේරුමෙන්, එනම් නිර්ධන පංති ආඥාදායකත්වය හැඳින්වීමට හැර වෙනත් තේරුමකින්, එය යෙදීමේ දී ස්ටාලින්වාදී මඩ ගොඩට වැටෙන බව ගැන යම් හැඟීමක් ඔහුට තිබේ. ඔහු මෙසේ කියයි,


“ට්‍රොට්ස්කි ප්‍රධාන වූ කරුණක් නැවත නැවතත් කියයි. එනම් පළමුව, බලය සඳහා සූදානම් වන්නා වූ බොල්ෂෙවික්වරු උද්ඝෝෂණයේදී ද, ඉන් පසුව, ඇතිවී තිබුණු නිර්ධන පංති ආඥාදායකත්වය ප්‍රසාද ජනක ලෙස හැඳින්වීමේදී ද, කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආණ්ඩුව යන සූත්‍රය නිර්ධන පංති ආඥාදායකත්වයට ‘වෙනත් නමක්’ ලෙසට යෙදීම, එම සූත්‍රයෙන් ලැබෙන ඒක් ප්‍රයෝජනයක් බවයි. බලය හොරා ගැනීමෙන් පසුව ස්ටාලින්වාදය මෙම ‘වෙනත් නාමය’ යොදා ගත් අයුරු වෙන්කර පෙන්වීම සඳහා ට්‍රොට්ස්කි මෙය අවධාරණය කරයි.” ‘කියුබානු විප්ලවයේ ගතිකය’ – හැන්සන් – පිටුව 69 -අවධාරණය අපේ


“කම්කරු ගොවි ආණ්ඩු” සූත්‍රය ස්ටාලින්වාදීන් යොදා ගත් බවත්, එය පරාජය කිරීම උදෙසා ට්‍රොට්ස්කි එය නිර්ධන පංති ආඥාදායකත්වයට ‘වෙනත් නමක්’ පමණක් බව අවධාරණය කල බවත් එසේ අමන හැන්සනයා උවද පිලිගනියි. (ඒ් අනුව සුමනසිරි සහෝදරයාගේ බොරු චෝදනා රැසකට ඔහුගේ ගුරාගෙන්ම පිළිතුරු ලැබෙයි) එහෙත්, ට්‍රොට්ස්කි මෙසේ අවධාරණය කිරීමෙන් පසුව, නිර්ධන පන්ති ආඥාදායකත්වය හැර වෙන දෙයකටත් එය යෙදු බව හැන්සන් කියයි. සුමනසිරි සහෝදරයාගේ තර්කවල චූඩා මානික්‍යය එයයි. අපි මේ ගැන විමසා බලමු.


ඒහෙත් ඊට පෙර වචනයක් කිය යුතුව ඇත. අමන හැන්සනයා කියන්නේ නිර්ධන පංති ආඥාදායකත්වයට වෙනත් නමක් ලෙස යෙදීම එහි එක් ප්‍රයෝජනයක් බව ට්‍රොට්ස්කි අවධාරණය කළ බවයි. ඔහු එසේ කලේ එයට තවත් තේරුමක් ස්ටාලින්වාදීන් දෙනවාට විරද්ධවය. යම්කිසි සංකල්පයක් වැරදි ලෙස යොදා ගැනීමට විරුද්ධව අවධාරණය කළ හැක්කේ එහි එක් තේරුමක් නොව එහි ප්‍රධානතම තේරුම බව මේ අමනයා නොදකියි.

6. ට්‍රොට්ස්කි හා කම්කරු ගොවි ආණ්ඩුව:-


ස්ටාලින්වාදීන් විසින් “කම්කරු ගොවි ආණ්ඩුව”යන්න නිර්ධන පංති ආඥාදායකත්වයෙන් වෙනස් වූ දෙයකට යොදා ගැනීමට විරුද්ධව, එම සූත්‍රය නිර්ධන පංති ආඥාදායකත්වයම වෙනස් ලෙසකින් හැඳින්වීමක් බව අවධාරණය කළ ට්‍රොට්ස්කි ඉන්පසු බල්ටි කරණමක් ගසා නිර්ධන පංති ආඥාදායකත්වයට වෙනස් වූ දෙයක් හැඳින්වීමට එය යෙදුවේ ද? එනම්, එය වෙනම සංකල්පයක් බව පැවසුවේ ද? තකතීරු හැන්සන් අදහන සුමනසිරි සහෝදරයා අපට පෙන්වා දෙන්නට හදන්නේ ට්‍රොට්ස්කි එවැනි කරනම් කාරයෙක් බවයි. එහෙත්, සාවධානව ට්‍රොට්ස්කි හදාරණ ඕනෑම කෙනෙකුට පෙනී යන්නේ මෙය පට්ටපල් බොරුවක් බවයි.


‌ට්‍රොට්ස්කි “කම්කරු ගොවි ආණ්ඩුව” යනුවෙන් හැඳින්වූයේ එකම එක ආණ්ඩුවක් ය. ඒනම් 1917 ඔක්තෝම්බර් විප්ලවයෙන් ඇති වූ ආණ්ඩුවයි. ඒහි විශේෂ ලක්ෂණයන් කවරේ ද?

1. 1917 ඔක්තෝම්බර් සිට 1918 සරත් ඍතුව දක්වා එය කම්කරුවන් හා සමස්ථ ගොවි ජනයාගේ ක්‍රියාකාරීත්වය උඩ පදනම් විය. මේ අය සෝවියට් තුල මැඳිහත් වූහ. බොල්ෂෙවික්වරු හා වාම සමාජ විප්ලවවාදීන් හවුලේ ආණ්ඩු කලහ.

2. ‌පෙට්‍රෝග්‍රාඩ් සෝවියට් සභාවේ සිට සෝවියට් බලය රට පුරා දිග හැරෙමින් තිබුණි. අසහාය බලය හා ප්‍රවේණිවාදය පරාජය කරමින් සෝවියට් බලය තහවුරු විය. ඒ ක්‍රියාදාමය 1918 සරත් වනතෙක් පැවැතිණි.

3. 1918 අගෝස්තු සිට නොවැම්බර් වලදී ගැමි නිර්ධන හා අර්ධ නිර්ධන කොටස් පොහොසත් ගොවීන් සමඟ ගැටුණි. නිර්ධන බලය සම්පූර්ණ විය. තනිකර බොල්ෂෙවික් ආණ්ඩුවක් ඇති විය.

මේ අනුව 1917 ඔක්තෝම්බරයේ මතුවූ නිර්ධන පංති ආඥාදායකත්වය 1918 සරත් ඍතුව වන තෙක්ම පලල් තේරුමෙන් ගතහොත් තනිකර කම්කරු ආණ්ඩුවක් නොවී ය. එයට ගොවීන් පසුපසින් සහභාගී වූහ. ගැමි නිර්ධනයින් පමණක් නොව පොහොසත් ගොවීන් ද අතිරේක ලෙස සහභාගී වූහ.
එනම් ආණ්ඩුවේ ප්‍රධාන බලකාරයා වූ කම්කරු පංතියට ගොවීන්ගේ පොදු සහාය ලැබුණි. ඒ් නිසා පළල් අර්ථයෙන් ගත් කල “කම්කරු ආණ්ඩුවක්” යන හැඳින්වීම දෙන්න බැරිය. එයට දිය හැක්කේ “කම්කරු ගොවි ආණ්ඩුව” යන හැඳින්වීමයි. ප්‍රසාද ජනක හැඳින්වීමයි.


අනෙක් අතට මේ කාලය තුල කම්කරුවන් හා ගොවීන් ඇත්තටම පාලනයේ ක්‍රියාකාරී වූහ. සෝවියට් සභා තුල ක්‍රියාත්මක වූහ. බොල්ෂෙවික් හා වාම සමාජ විප්ලවවාදීන් මේ ක්‍රියාකාරීත්වය පදනම් කොට ආණ්ඩු කලහ. ඒ නිසා එය ඇත්තටම සැබෑ ක්‍රියාකාරීත්වයෙන් “කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආණ්ඩුවක්” විය. එය ඉහලින් තිබූ ජුන්ටාවක හෝ බොනපාට්වාදියෙකුගේ ආණ්ඩුවක් නොවී ය.


එහෙත් මේ සියළුම විස්තර අවශ්‍ය වන්නේ පලල් තේරුමෙන් විස්තර කර දීමටයි. හරයක් වශයෙන්, නැත්නම් ප්‍රධාන දේශපාලන සාධකය වශයෙන් ගත් කළ එය නිර්ධන පංති ආඥාදායකත්වයක් විය. එය කම්කරුවන්ගේ බල අධිකාරයක් විය. ඉතාම දැඩිවූ, කිසිඳු සම්ප්‍රදායක් හෝ පැරණි නීතියක් පිලිනොගන්නා වූ ඒ නිසාම යටත් නොවූ කම්කරු බල අධිකාරියක් විය. දේශපාලන හරය එයයි. එයට ඇති පලල් සහයෝගයේ ස්වභාවය නිසා පුළුල් ලෙස හැඳින්වීමේ දී “කම්කරු ගොවි ආණ්ඩුව” ලෙස හැඳින්විය හැකි වුවත්, එය නිර්ධන පංති ආඥාදායකත්වය මිස අන් කිසිවක් නොවේ.


1918 ඔක්තෝම්බර් – නොවැම්බර් වලදී නිර්ධන පංති අඥාදායකත්වය සමාජ දේශපාලනික සාධකයක් ලෙස පරිපූර්ණ විය. එනම් ධනපති පංතික ප්‍රවනතාවයක් වූ කුලැක්වරු ආණ්ඩුවෙන් බිඳුන අතර, ගැමි පංති සටන ජය ගනු ලැබී ය. වාම සමාජ විප්ලවවාදීන් ආණ්ඩුවෙන් ඉවත් වී දෙකට බෙදී දියවී ගියේ ය. නිර්ධන බලය රට පුරා තහවුරු විය. මෙම තත්ත්වයෙන් පසුව පැවතුන රජයට වෙනත් නාමය, නැත්නම් පළල් හැඳින්වීම, එසේත් නැතිනම් ප්‍රසාද ජනක හැඳින්වීම විය යුත්තේ “කම්කරු ආණ්ඩුව” යන්නයි. එසේ වුවද, එහි සමාජ ආර්ථික තේරුමේ ඇති අඩමාන ස්වරූපය අවසන් වූයේ නැත. එය අවසන් වූයේ 1919 අවසන් වන විට සම්පූර්ණ වූ ජනසතුවීම් තුලින් ඇති වූ ප්‍රබෝධයත්, ඒ් සමඟ අත්පත්වූ සිවිල් යුද්ධයේ ජයග්‍රහනයෙනි.


1917 දී බොල්ෂෙවික්වරුන්ගේ නායකත්වය නොමැතිව මෙන්ෂෙවික්වරු හා සමාජ විප්ලවවාදීන් සෝවියට් පදනම්ව බලය වෙන්කර ගත්තා නම් සිදු වන්නේ කුමක් ද? ට්‍රොට්ස්කි මෙයට පිලිතුරක් සැපයුවේ ය. එවිට ඇති වන්නේ සෝවියට් සභා තුල ක්‍රියාකාරී වන්නාවූ කම්කරුවන් හා ගොවීන් මත පදනම් වූ ආණ්ඩුවක් ය. එහෙත්, එය සමාජ -ආර්ථික පෙරලියකට හිතලාවත් නැතිය. අනෙක් අතට සමාජ දේශපාලන තේරුමෙන් ද නිර්ධන පංති ආඥාදායකත්වයක් නොවන්නට බොහෝ විට ඉඩ ඇත්තේ ය. සමාජ දේශපාලන තේරුමෙන් නිර්ධන පංති ආඥාදායකත්වය යනු කුමක් ද? ලෙනින් මෙසේ පිළිතුරු දෙයි.


“නිර්ධන පංතියේ විප්ලවකාරී ආඥාදායකත්වය යනු ධනේශ්වරයට විරද්ධව කම්කරුවන් ප්‍රචන්ඩ බලය යෙදීම තුලින් දිනාගෙන පවත්වාගෙන යන්නා වූ පාලනයයි. එම පාලනය කිසිම නීතියකින් සීමා නොවූ එකක් ය.” ද්‍රෝහී කවුට්ස්කි – 11 පිටුව චීන ප්‍රකාශන


මා මීට පෙර සඳහන් කළ ලෙසට ලෙනින් අපට පෙන්වා දෙන්නේ නිර්ධන පංති ආඥාදයකත්වයේ ඇති බලාධිකාරී ස්වාභාවයයි. ධනපති බලය මර්ධනය කරමින් රට පුරා ක්‍රියාත්මක වන උපකරණයක් නොමැති වූ ආණ්ඩුවක් නිකම්ම පාවෙන දෙයක් ය. මේ නිසා අවස්ථාවාදීන් හා ජනතාවාදීන් මොහොතකට ධනපතීන්‌ගෙන් වෙන් වුවත්, ඉහත කී ලෙසට පවතින නීතිය හා සම්ප්‍රදාය ඉක්මවායන පංති ආඥාදායකත්වයක් ලෙස ක්‍රියා කිරීමට ඔවුහු මැලිවීමෙන් මතු වන්නේ දේශපාලන අර්බූදයකි. එය ඉක්මණින් සැබෑ නිර්ධන පංති ආඥාදායකත්වය මතුවීමෙන් විස‌දෙනු ඇත. ඒ අනුව එම කම්කරු ගොවි ආණ්ඩුව සැබෑ නිර්ධන පංති ආඥාදායකත්වය මතුවීමෙන් විසදෙනු ඇත. ඒ අනුව එම කම්කරු ගොවි ආණ්ඩුව සැබෑ නිර්ධන පංති ආඥාදායකත්වයකට ඉඩ සලසන මොහොතක් පමණය. ට්‍රොට්ස්කි මෙසේ කියයි.


“එහෙත් එකක් ගැන කිසිඳු සැකයක් තිබිය නොහැක. කිසියම් තැනක කිසියම් මොහොතක මේ අතිශයින් නොවිය හැකි විචල්‍යය, යථාර්ථයක් වී ඉහත කී ලෙසට කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආණ්ඩුවක් ඇති වුවත්, එය ඇත්ත නිර්ධන පංති ආඥාදායකත්වයට යන මාර්ගයේ වූ යන්තම් කෙටි සිද්ධියක් පමණි.” සංක්‍රමණීය ක්‍රියාමාර්ගය


එහෙත් අමන හැන්සනයා අනුව යන සුමසිරි සහෝදරයා ට්‍රොට්ස්කි ඉතා ම අහම්බවූද, නිර්ධන පංති ආඥාදායකත්වයට ප්‍රාරම්භක වූ ද, කෙටි සිද්ධියක් ලෙස විය හැකියැයි පවසන කරුණ සාක්ෂියට යොදා ගනිමින් ට්‍රොට්ස්කි ප්‍රතික්ෂේප කළා වූ ප්‍රපංචය නිර්මානය කරයි. එනම් ප්‍රජාතන්ත්‍රවාදී කර්තව්‍ය ඉටුකල හැකි ඒහෙත් ධනවාදය අහෝසි නොකරන, නිර්ධන පංති ආඥාදයකත්වයක්ද නොවන, එයට පෙර අවධියක් වන, ස්වාධීන සුළු ධනේශ්වර පක්ෂ විසින් නායකත්වය ගෙන ගොඩ නගන්නා වූ, සෝවියට් සභා පදනමකින් තොර වූ කම්කරු ගොවි ආණ්ඩුවක් නිර්මානය කරයි. මෙය ස්ටාලින්, රැඩෙක් ආදීන්ගේ මනස්කල්පිත “කම්කරු ගොවි ආණ්ඩුව” හැර වෙන කුමක් ද? ඔවුන්, ඔවුන්ගේ මේ අපභ්‍රංශය හැඳින්වීමට “කම්කරු ගොවි ආණ්ඩුව” යනුවෙන් යොදා ගත් බව මම පෙන්වීමි. එහෙත් සත්තකටම ඔවුන් වැඩියෙන් යෙදුවේ “කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී ආඥාදායකත්වය” යන පාඨයයි. සුමනසිරිට ද යට කී යෙදුම යොදා ගැනීමට බාධාවක් තිබිය නොහැක. කුමක් නිසාද යත්, ඔහුගේ මේ ඊනියා ආණ්ඩුවද දියත් කරන්නේ “ප්‍රජාතන්ත්‍රවාදී අධිරාජ්‍ය විරෝධී” වැඩ සැලැස්මක් ය. ඇත්ත වශයෙන් සුමනසිරි සහෝදරයා මෙතැනට ට්‍රොට්ස්කියෙක් පටලවා ගත්තේ නිරපරාදේ ය. එයට කිසිම අවශ්‍යතාවයක් නැත. කලයුතුව ඇත්තේ ස්ටාලින්වාදය චීනය, යුගෝස්ලාවියාව, කියුබාව ආදී රටවල්; සැබැවින්ම සිදු වූ අවදි දෙකේ විප්ලවය පැහැදිලි කර දීමට ඉතාම අගනා අයුධ වන බව ප්‍රකාශ කිරීමය. පළමුව “කම්කරු ගොවි ආණ්ඩුව” ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවය ඉටු කරයි. එය නොනැවතී ගමන් කොට, දෙවනුව නිර්ධන පංති ආඥාදායකත්වය බිහිකර සමාජවාදී අවධිය කරා එළඹෙයි.

නිර්ධන පංති ආඥාදායකත්වය දේශපාලන සාධකයක් ලෙස:-


සමාජ විප්ලවය ඇරඹෙන්නේ දේශපාලනයෙනි. ඒ් නිසා නිර්ධන පංති ආඥාදායකත්වය ඇරඹෙන්නේ දේශපාලන සාධකයක් ලෙසය. ඒහි මූලික අංග අපට ලෙනින්ගේ ඉහත මා පෙන්වූ වාක්‍යය තුලින් පැහැදිලි කර දෙයි. ඒ් අනුව නිර්ධන පංති ආඥාදායකත්වය මතුවිය හැකි ස්වරූප ගණනාවක් ඇත්තේ ය. එයින් සමහරක් මෙසේ ය.

1. කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී සභාවලින් මතුවන බල අධිකාරය,

2. විදේශ කම්කරු රාජ්‍යයක හමුදා කඩා වැදී ඇති කරන බල අධිකාරය,

3. පොදුවේ කම්කරු සහයෝගය ඇතිව ගොඩ නැගුණ යුධ කල්ලියක බලය,

4. කම්කරු ප්‍රසාදය මත පදනම් වූ බොනපාට්වාදියෙකුගේ බල අධිකාරිය.

මේ ඕනෑම ස්වරූපයක් නිර්ධන පංති ආඥාදායකත්වයක් වන්නේ කිසිම සම්මත නීතියකට යට නොවී ධනපති රාජ්‍ය බලය බිඳ, දිගින් දිගට, බලහත්කාරයෙන් ධනපතියන් මැඩ පවත්වාගෙන සිටිනවා නම් ය. එහෙත් මේ සෑම ස්වරූපයකටම “කම්කරු ආණ්ඩුවක්” යැයි අපට පලල් අර්ථයෙන් කියන්නට බැරිය. එවැනි අර්ථ නිරූපනයක් දෙන්නට හැකි වන්නේ ඇත්තටම කම්කරුවන් ආණ්ඩු කිරීම උදෙසා මැදිහත් වන්නේ නම් පමණි. පළමු අංකය යටතේ ඇත්තේ එවැනි ආණ්ඩුවකි. වෙනත් වචන වලින් කියනවා නම් සෝවියට් සභා වැනි පංතියේ ඇත්ත මැදිහත්වීම පෙන්වන්නාවූ ආයතන ඇත්නම් පමණි. ඒසේ නොමැති විට නිර්ධන පංති ආඥාදායකත්වයක් ලෙස, නැත්නම් කම්කරු රාජ්‍යයක් ලෙස දැක්වූවත් “කම්කරුවන්ගේ ආණ්ඩුවක්” ලෙසට ප්‍රසාද ජනක අර්ථයෙන් අපට හැඳින්වීමට ඉඩක් නැත. කුමක් නිසාද යත් කම්කරුවන්ගේ ආණ්ඩුවක් යන යෙදීමෙන් කියවෙන්නේ ඇත්තටම කම්කරුවන් ආණ්ඩුවට සම්බන්ධ වෙනවාය යන්නය. ඒ නිසාම නිලධාරීමය රාජ්‍යයක් මත්තෙහි වූ ආණ්ඩුවකට කම්කරු ආණ්ඩුව යන ප්‍රසාද ජනක යෙදීම වැරදිය. ඒ ලෙසටම කම්කරු ගොවි ආණ්ඩුවක් යන යෙදුමද ඇත්තටම කම්කරුවන් හා ගොවීන් පාලනයට හවුල් වන තත්ත්වයක් පිළිබඳ අදහස ඇති කරන්නේ ය. ඒ අනුව 2 – 3 – 4 ආදිය “කම්කරු ආණ්ඩු” යැයි ප්‍රසාද ජනක වන ලෙස හැඳින්වීම වැරදි ය.


ඒ කෙසේ වෙතත් නිර්ධන පංති ආඥාදයකත්වයෙන් අප මූලිකව බලපොරොත්තු විය යුතු වන්නේ ධනේශ්වර රාජ්‍ය හා ධනපති බලය බිඳ, බලහත්කාරයෙන් එය මැඩ පැවැත්වීමයි. මෙම ක්‍රියාකාරීත්වය කුමන රටාවක් මගින් දියත් කලත්, ඒම සිදුවීම විප්ලවයේ පරම කොන්දේසිය වේ. විප්ලවකාරී ප්‍රචන්ඩ ක්‍රියාකාරීත්වයක් පැන නො නැගී බිහිවන “සීතල විප්ලව” නැත්නම් “සීතල නිර්ධන පංති ආඥාදායකත්වයන්” ඇත්තේ නැත. මෙහි අනික් තේරුම වන්නේ නිර්ධන පන්ති ආඥාදායකත්වය ක්‍රමයෙන් (ක්‍රමිකව පියවරෙන් පියවර) මතුවන යම් තත්ත්වයක් නොවන බවයි. ඒය දේශපාලන වශ‌යෙන් මෙන්ම සමාජ ආර්ථික වශයෙන් ද නිර්ධන පංතිය ඉබේ පත් වෙන්නා වූ, හෝ අක්‍රීයව එළඹෙන්නාවූ තත්ත්වයක් නොව බලහත්කාරයෙන් ඇති කර ගන්නා දෙයක් ය.

ලෙනින්, කෞට්ස්කිට විරුද්ධව මූලිකව පෙන්වා දෙන්නේ රටේ යම් ප්‍රජාතන්ත්‍රවාදී ආයතන තුල වැඩි ඡන්ද බලය ලැබුණ නිසා නිර්ධන පංතිය සතුවන ආධිපත්‍යය තත්ත්වය, ආඥාදායකත්වයක් නොවන බවයි. පාර්ලිමේන්තුවෙන් පමණක් නොව සෝවියට් සභා වැනි ආයතන මගින් ද වැඩි බලය ලැබුනත්, එම බලය ක්‍රියාකාරී බලහත්කාර අවියක් ලෙස යොදා නොගන්නා තාක් දුරට, එනම්, එම බලය යොදා ධනපති පංතියේ සුන්බුන් පිස දමා රටේ පරිපාලනය සංවිධානය කරගන්නා තුරු ඇති වන්නේ නිර්ධන පංති ආඥාදායකත්වය නොවේ. එසේම ජනසතුකිරීම් මාලාවක් මගින් ඉබේම නිර්ධන පංති ආඥාදායකත්වයක් මතු වන්නේ නැත. පංතියේ මැදිහත්වීම මගින් ඇති කරගන්නා වූ සමාජ අධිව්‍යූහයේ දේශපාලන වෙනස්කම් වලින් තොරව නිර්ධන පංති ආඥාදායකත්වය ගැන කථා කරන්නට පුළුවන්කමක් නැත. ඒ අනුව විප්ලවයේ ඇත්ත හරය වන්නේ සමාජ දේශපාලන ප්‍රහාරයයි. බලහත්කාරකමයි.

පැරිස් කොමියුනය හා කම්කරු ගොවි ආණ්ඩුව: –


නිර්ධන පංති ආඥාදායකත්වය ගැන මෙන්ම විප්ලවය ගැන නිවැරදි අර්ථ විග්‍රහයක් මඟින් අපට සුමනසිරි සහෝදරයා වැටී සිටින හැන්සන්ගේ මඬ වලෙන් ගොඩ ගැනීමට හැකියාව ලැබේ. මෙහිදී, වඩාත්ම අවශ්‍ය වන්නේ ට්‍රොට්ස්කිගෙන් පසු “ට්‍රොට්ස්කිවාදීන්ගේ” නොම්මර එකේ හිසරදය වූ කැස්ත්‍රෝගේ කියුබානු විප්ලවය විග්‍රහ කිරීමයි. එහෙත්, එම කරුණට අත තබන්නට පෙර අපට කරුණු පහදා ගැන්ම උදෙසා වඩාත්ම ප්‍රයෝජනවත් වන්නේ පැරිස් කොමියුණය ගැන කල්පනා කිරීමය. ඇත්ත වශයෙන්ම සුමනසිරි සහෝදරයාත්, ඔහුගේ ගුරු අමන හැන්සනයාත් කථා නොකරනම දේ පැරිස් කොමියුනයයි. ඔවුන් චීනය, යුගෝස්ලෝවියාව, කියුබාව, නිකරගුවාව ගැන දේශනා කරයි. එහෙත් පැරිස් කොමියුනය ගැන කථා නොකරයි. ඒ ගැන හරි හොරයි. ඒංගල්ස් හඬ නගා, “මේ බලාපල්ලා” කියද්දීත් පැස්බරු මෙන් වැල්ලේ හිස ගසා ගනිති.


1871 ඇති වූ පැරිස් කොමියුනය පැරිස් නගරයට පමණක් සීමා විය. රට පුරා විප්ලවය පතුරුවා හැරීමට අදහස් තිබුණ මුත්, ඇත්තටම සිදුවූයේ නැත. දෙවනුව පැරිසියේ කම්කරු බලය ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ගොඩ නැගී තිබුණි. තෝරා පත් වූ පමණක් නොව, ආපසු කැඳවිය හැකි නියෝජිතයන්ගෙන් සමන්විත වූ සභාවකින් පාලනය සකස් වුනි. එහෙත්, එය සමාජ ආර්ථික පෙරළිය පැත්තෙන් පමණක් නොව දේශපාලන පැත්තෙන්ද අඩමාන විය. අසම්පූර්ණ විය. ලෙනින් මෙසේ කියයි.


“අගනා ජයග්‍රහණයක, ප්‍රතිඵල, වැරදි දෙකක් නිසා විනාශ විය. නිර්ධන පංතිය අතරමඟ නැවතුනි. උදුරාගත්තවුන්ගෙන්, උදුරා ගැන්මට යොමු වෙනවා වෙනුවට පොදු ජාතික වැඩකටයුත්තකින් එක්සත් වූ රට තුළ, උසස් වූ යුක්ති ධර්මයක් ඇති කිරීම ගැන සිහිනයක් තුළ අතරමං විය. උදාහරණයක් වශයෙන් බැංකු වැනි ආයතන පවරා නොගත් අතර, සමාජවාදීන් අතර සාධාරණ හුවමාරුව පිළිබඳ පෘදොන්වාදී න්‍යායයන් ආදිය තවදුරටත් පැළපදියම්ව තිබුණි. දෙවෙනි වරද වූයේ, නිර්ධන පංතිය තුළ වූ දැඩි අනුකම්පා සහගත ස්වභාවය යි. තමාගේ සතුරන් විනාශ කරනවා වෙනුවට, ඔවුන්ව ධර්මයෙන් නමා ගන්නට යොමු විය. සිවිල් යුද්ධයේ දී සෘජු යුධමය මැදිහත්වීම් වල තත්වය අඩුතක්සේරු කළේය. පැරිසියේ තම ජයග්‍රහණය සම්පූර්ණ කරන්නා වූ ස්ථිර ප්‍රහාරයන් වර්සෙල්ස් වෙත එල්ලකරනවා වෙනුවට සුනංගු වීමෙන්, වර්සෙල්ස් ආණ්ඩුවට, රුදුරු බලවේග එක්කාසු කොට, 1871 මැයි වල දී ලේ තැවරුණු සතිය වෙනුවෙන් සූදානම් වන්නට ඉඩ දුන්නේය.” – කොමියුනයෙන් පාඩම් – ලෙනින් (ඉංග්‍රීසි) එකතු කළ කෘති 13 – පිටු 475-478


මේ අනුව, බලය ලබා ගත්තා වූ කම්කරුවන් එදා පැරිසියේදී සමාජ ආර්ථික පෙරළිය වෙනුවෙන් කටයුතු නොකළා පමණක් නොව, තම දේශපාලන බලය යෙදීම පැත්තෙන්ද වැනෙන සුළු විය. ඒ අනුව, දේශපාලන පැත්තෙන්ද, පැරිස් නගරයෙන් එහාට ගමන් කිරීම පැත්තෙන්ද ඔවුන් පෙන්වූයේ බලවත් අඩුපාඩුවකි. දැන් සුමනසිරි සහෝදරයා පේලියට අඩුක් කර අපට පෙන්වන “කරුණු තුනේ ක්‍රමය” අනුව සැළකූ විට, පැරිස් කොමියූනය නිර්ධන පන්ති ආඥාදායකත්වයක් තබා ඒ අහලකටවත් ඇවිත් නැත.


ඇයි! මේ බලන්න,

1. පැරිසියේ බලය ගත් නිර්ධනීන් එතැනින් හැතැප්ම කිහිපයකට එහා වූ වර්සයිල් නගරය වෙතවත් සිවිල් යුධමය ප්‍රහාරය ගෙන ගියේ නැත. ධනපති බලය බිඳීම වෙනුවෙන් වැනෙන සුළු ලෙස ක්‍රියා කළේය.

2. පැරිස් ආණ්ඩුව බ්ලාංකිවාදීන් හා පෘදොන්වාදීන්ගේ හවුල් ආණ්ඩුවක්ය. එහි වැඩි බලය ලත් බ්ලාංකිවාදීන්ගෙන් වැඩි දෙනෙක් සමාජවාදීන් කියා පළල් අර්ථයෙන් වුවද හැඳින්වීමට අපහසුය. පෘදොන්වාදීන් අන්ත සුළු ධනේශ්වර සමාජවාදීන්ය. මෙසේ නියෝජිතයින් බෙදී සිටියද, දේශපාලන පක්ෂයක් තබා වැදගත් දේශපාලන සංවිධානයක්වත් තිබුණේ නැත. යම් තේරුමක් ඇති නායකයකු වූ බ්ලාන්කි සිටියේ සතුරාගේ සිරගෙදර ය. පැරණි පාලකයන්ගෙන් මුළුමනින්ම වෙන් වූ ස්වාධීන ආණ්ඩුවක් තිබුනේ නැත. ජාත්‍යානුරාගයෙන් වල්මත් වූ මේ නායකයන් පැරණි පාලකයන්ට සැළකුවේ බලවත් අනුකම්පාවෙන් ය.

3. ආර්ථිකයේ මර්මස්ථාන පවරාගැන්ම පැත්තෙන් ඇත්ත වශයෙන් කථා කිරීමටවත් දෙයක් නැත.


මේ අනුව අමන හැන්සනයා අදහන සුමනසිරි සහෝදරයාට සිදුවන්නේ ඒංගල්ස් අමතා “සහෝදරයා, අපට කිසිවක් පෙනෙන්නේ නැත. දැනෙන්නේ ද නැත. ඇති නිර්ධන පංති ආඥාදායකත්වයක් නැත. අඩු තරමේ මනෝ පුබ්බංගයක් වත් නැත.” කියන්නටය.


එහෙත් ඇත්ත තත්ත්වය එය නොවේ. අන්තිම දියාරු නායකත්වයක් යටතේ වුවද, පැරිස් නගරයට සීමා වුවද, වැඩ සැලැස්මක් නොමැති වුවද, කම්කරුවෝ මිත්‍ර කොටස් සමඟ එදා බලය ඇල්ලූහ. නිර්ධන පංති ආඥාදායකත්වය ඉතාම අඩමාන තත්වය යටතේ වුවද මතු විය. සත්තකටම එය සමාජ ආර්ථික පරිවර්ථනයකින් තබා දේශපාලන වශයෙන්ද තහවුරු වුනේ නැත. එය වෙනම කතාවකි. එහෙත් ප්‍රධාන කරුණ වන්නේ නිර්ධන පංති ආඥාදායකත්වය පළමුවෙන්ම දේශපාලන සාධකයක් වීමයි. ඒ තේරුමෙන් එදා එය මතු විය. එය ක්‍රියාත්මක විය. මාක්ස්, ඒංගල්ස්, ලෙනින්, ට්‍රොට්ස්කි අපට කියා දෙන්නේ එයයි.

ඇත්ත වශයෙන්ම 1917 දී පෙට්‍රොගෑඩ්හි දී මෙන්ෂවික්වරු හා සමාජ විප්ලවවාදීන් සෝවියට් සභා පදනම්ව බලය ගත්තා නම්, එක්තරා දුරකට ඇති වන්නේ පැරිස් කොමියුනය වැනි තත්වයන් ය. වෙනසකට ඇත්තේ බොල්ෂෙවික් පක්ෂය සොවියට් සභා තුළ ක්‍රියාකාරී වූ නිසා, ඉතා ඉක්මණින් ඇති වන දේශපාලන වෙනස්කමයි. එදා බ්ලාන්කිවාදීන් හා පෘදොන්වාදීන් තමා නොසිතූ ලෙසට පහල බලපෑම් මඟින් ඉදිරියට තල්ලු වී ගොස් නගරය තුළ නිර්ධන බල අධිකාරය ගොඩනඟා ගැනීමට මෙහෙයවූවා මෙන්ම, මොවුන් ද නිර්ධන බල අධිකාරයක් ගොඩනැඟීමේ දෙසට මෙහෙයවෙනු ඇත. බ්ලාන්කිවාදීන්ට හා පෘදොන්වාදීන්ට වඩා, මෙන්ෂවික් හා සමාජ විප්ලවවාදී නායකයින් ඇට්ටකුනා වූ ප්‍රයෝගකාරී නායකයන් ය. මතවාදී මෙන්ම, සංවිධාන ලෙසට වඩා තහවුරු වූ අවස්ථාවාදීන් ය. ඒ නිසාම බලය ගත්තා වුවද, ඉදිරියට යනු ඇත්තේ වඩා අර්බූදකාරී පියවර ඔස්සේය. එසේ වුවද, ඔවුන් ද නිර්ධන පංති ආඥාදායකත්වයකට අවශ්‍යම වූ දේශපාලන සාධකය වන අලුත් බල අධිකාරයක් ගොඩනැඟීමේ දෙසට තල්ලු වනු ඇත. නොකැමැත්තෙන් වුවද නිර්ධන පංති ආඥාදායකත්වය ක්‍රියාත්මක කිරීමේ දෙසට තල්ලු වෙනු ඇත. නැතිනම් බොල්ෂෙවික්වරුන් විසින් විස්තාපනය කරනු ඇත. එහෙත් මෙවැනි සිද්ධියක් ඉතාම අහම්බෙන් සිදුවිය හැක්කකි. සංක්‍රමණීය ක්‍රියාමාර්ගයේ දී ට්‍රොට්ස්කි පැහැදිළි කරදෙන්නේ මෙයයි.


දැන් පැරිස් කොමියුනය නිර්ධන පංති ආඥාදායකත්වයක් වූ නමුත්, එය ප්‍රසාද ජනක ලෙස හැදින්විය යුත්තේ කෙසේද? කම්කරුවෝ ආණ්ඩුවට සහභාගි වූහ. එහෙත්, බලය ගමට පැතිරෙමින් ගැමියන් සහභාගී කර ගන්නා තරමට ගමන් කළේ නැත. එය පැරිස් නගරයට සීමා විය. ඒ අනුව එය “කම්කරු ආණ්ඩුවක්” ලෙස හැඳින්විය හැකිය. එසේ නැත්නම් “කම්කරුවන්ගේ හා ශිල්පීන්ගේ ආණ්ඩුවක්” ලෙස හැඳින්වීම වඩාත්ම නිවැරදි වේ. කුමක්නිසාද යත් පැරිසියේ බලය තුළ කම්කරුවන් සමඟ හවුලේ ක්‍රියාත්මක වූයේ ශිල්පීන් වූ හෙයිනි. ධනේශ්වරය සම්පූර්ණයෙන් මොරා නොතිබීම එයින් නිරූපනය විය. පෘදොන්වාදීන් මූලිකව නියෝජනය කළේ මෙම ප්‍රවනතාවය යි.


විශේෂ හේතූන් නිසා බලයට තල්ලු වූ කොමියූනයේ නායකයෝ ඉතා ඉක්මණින් සමාජ දේශපාලන කටයුතු කිහිපයක් ඉෂ්ට කළෝය.

1. හමුදා විසුරුවා හැර පොදුවේ කම්කරුවන් සන්නද්ධ කිරීම.

2. අධ්‍යාපනය – රජයේ හා පල්ලියේ ඇඟිලි ගැසීම් වලින් ඉවත් කිරීම හා පල්ලියේ දේපළ පවරා ගැනීම.

3. නව විප්ලවකාරී නිලධාරීන් හා විනිශ්චයකාරවරු තොරා පත්කිරීම.

4. නව ව්‍යවස්ථාවක් මඟින් නව සමාජය තහවුරු කිරීම.

ඇත්තවශයෙන් මේ කටයුතු ඉටුවූයේ පහතින් ඇති වූ තෙරපීමත් සමඟ තිබූ දේශපාලන පරිසරය නිසාය. 1871 මාර්තු වලදී ප්‍රසාද ජනක පසුබිමක් තුළ බලයට ආ මේ නායකත්වයන් ඉතා ඉක්මණින්ම, එනම් කොමියුනයේ තෝරා පත්වීමෙන් පසුව නිර්ධන පංති ආඥාදායකත්වයේ දේශපාලන පියවර එකිනෙක ක්‍රියාත්මක කළේය. ඇත්තවශයෙන්ම නිර්ධන පංති ආඥාදායකත්වය යථාර්තයක් වූයේ මේ දේශපාලන කටයුතු හමාර වීමත් සමඟ ය. එනම් අප්‍රේල් මස මුල සතිය වන විටය. මේ අනුව, මාර්තු 18 වැනිදා සිට, මාසය අඟ වන තෙක් ට්‍රොට්ස්කි සඳහන් කළ නිර්ධන පංති ආඥාදායකත්වයේ ආරම්භක සිද්ධිය වූ “කම්කරුවන්ගේ ආණ්ඩුව” පැරිසියේ පැවතියේ යයි කෙනෙකුට තර්ක කළ හැකිය. කුමක් නිසාද යත්, අඩු දියුණු නායකත්වයක් යටතේ වුවද, පංති ආඥාදායකත්වයේ පියවර එතෙක් ක්‍රියාත්මක නොකළ ද, එය සැබවින්ම කම්කරු ආණ්ඩුවක් විය.

එහෙත්, ඉහත කී කටයුතු ඉටු කිරීමත් සමඟම “කම්කරුවන්ගේ ආණ්ඩුව” යන්න නිර්ධන පංති ආඥාදායකත්වයට වෙනත් නාමයක් පමණක් විය. එසේම එය නිර්ධන පංති ආඥාදායකත්වයක් වූයේ සමාජ දේශපාලන තේරුමෙන් පමණි. සමාජ ආර්ථික පෙරළියකට එය තුඩුදුන්නා පමණි. සමාජ දේශපාලන තේරුමෙන්ද එය පැරීසියට සීමා වූ හුදු ආරම්භයක් පමණක් විය. මාර්ක්ස් අපට මෙසේ කියා දෙයි.


“එය හරයක් වශයෙන් කම්කරු පංතියේ ආණ්ඩුවක්, ගසාකන පංතියට විරුද්ධව නිෂ්පාදකයින් ගෙන ගිය අරගලයේ ප්‍රතිඵලයක්, ශ්‍රමයේ ආර්ථික විමුක්තිය සලසා ගැනීම උදෙසා අන්තිමට සොයාගනු ලැබූ දේශපාලන ස්වරූපයක්. ඉහත සඳහන් කොන්දේසි උඩ මිසක, කොමියුනයේ ව්‍යවස්ථාව අරුමයක් හා සිහිනයක් පමණක් වනු ඇත. නිෂ්පාදකයාගේ දේශපාලනික පාලනය, දිගින් දිගටම ඔහුගේ සමාජ වහල්භාවයේ පැවැත්ම සමඟ තිබෙන්නට බැරිය. පංති වල පැවැත්මත්, ඒ නිසාම පංතිමය පාලනයත් රැඳී තිබෙන්නා වූ ආර්ථික පදනම උදුරා දැමීමේ ලීවරයක් ලෙස කොමියුනය යෙදිය යුතු විය.” (ප්‍රංශයේ සිවිල් යුද්ධය – පිටු 57)


මේ අනුව පැරිස් කොමියුනයේ හරය මෙලෙස සම්පිණ්ඩනය කරගත හැකිය.


එය නිර්ධන පංති ආඥාදායකත්වයක් වන්නේ දේශපාලනික සාධකයක් ලෙසය. එසේම, එය පළල් අර්ථයෙන්ද “කම්කරුවන්ගේ ආණ්ඩුවක්” විය. කුමක්නිසාද යත්, ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ඇත්තටම කම්කරුවන් පාලනයට මැදිහත් වූ හෙයිනි. නිර්ධන පංති ආඥාදායකත්වයක් ලෙස ක්‍රියාත්මක නොවූ “කම්කරු ආණ්ඩුවක්” වූ සුළු මොහොතක් මාර්තු 18 සිට මාර්තු අඟ දක්වා තිබිණි යැයි කිව හැකිය. එසේ වූයේ බලය ගත් අඩුදියුණු කම්කරු (හා සුළු ධනේශ්වර) නියෝජිතයෝ වැනෙනසුළු වූ අතර, සුනංගු වූ හෙයිනි. හෙමින් ක්‍රියාකාරී වූ හෙයිනි. පංති අඥාදායකත්වය ලෙස ක්‍රියාකාරී නොවූ හෙයිනි. මාර්තු අඟ දී මධ්‍යම කාරක සභාව (ජාතික ආරක්ෂක භටයින්ගේ) වෙනුවට කොමියුනය තේරී පත් වූ පසු ක්‍රියාත්මක පියවර ගනු ලැබීය.


ඔක්තෝම්බර් විප්ලවය හා සැසඳූ කළ, අපට එකක් පැහැදිළි වෙයි. රුසියාවේ පෙට්‍රොග්‍රෑඩය, නිර්ධන පංති ආඥාදායකත්වක් ලෙස බලය ගත් මොහොතේ සිට ක්‍රියාත්මක විය. ඇත්තවශයෙන් කම්කරුවන්, ගොවි සහයෝගයෙන් දැනුවත්වම බලයට පත්වූයේ, තමාට ඇති ඇත්ත අභියෝගයන් වටහා ගනිමිනි. ලෙනින් හා ට්‍රොට්ස්කි අත ගඟා, බල බලා සිටියේ නැත. කම්කරු ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කළේ නමුදු, සෝවියට් ජාතික සමුළුව රැස්වන තෙක් හෝ බල බලා සිටියේ නැත. පංති බලය නියම ලෙසට යෙදූ අතර, බලහක්කාරයෙන් පාලනය තහවුරු කරන්නට විය. ඒ නිසා හරයෙන් නිර්ධන පංති ආඥාදායකත්වයක් නොවූ “කම්කරු ගොවි ආණ්ඩු” පියවරක් රුසියාවේ මතුවූයේ නැත.


“රුසියානු නිර්ධන පංතිය, රාජ්‍ය බලය ගත් වහාම, පැය කිහිපයකට පසුව පැරණි රාජ්‍ය යන්ත්‍රය දියත් කර හැරීම ප්‍රකාශ කළ අතර, සියළු බලය සෝවියට් වලට පැවරූහ. වැඩකරන්නන්ට හා සූරාකනු නොලබන්නන්ට පමණයි සෝවියට් වලට ඇතුල් විය හැක්කේ. ඕනෑම වර්ගයක සූරාකන්නන් සොවියට් වලින් තහනම් කරනු ලැබීය.” – ව්‍යවස්ථාදායක සභාව – ලෙනින් 1919


මේ අනුව ඔක්තෝම්බරයෙන් බිහි වූයේ “කම්කරු ගොවි ආණ්ඩුවක්” පමණක් නොවේ. එය දේශපාලන තේරුමෙන් හා හරයෙන් නිර්ධන පංති ආඥාදායකත්වයක් විය. එය සමස්ථ ගොවීන්ගේ සහයෝගය ලැබූ, සමාජ ආර්ථික වශයෙන් “ප්‍රජාතන්ත්‍රවාදී” වැඩ කොටසක් ඉටු කළ බලයක් ලෙස 1918 සරත් සෘතුව වනතෙක්ම පැවතුනි. 1918 ඔක්තෝම්බර් වලදී ගමේ පංති සටන ඇවිලිනි. ඒ නිසා එයින් පසු පාලනයට මැදිහත් වූයේ නිර්ධනීන් පමණය. ප්‍රසාදජනක තේරුමෙන්, එතැන් සිට නිර්ධන පංති ආඥාදායකත්වය “කම්කරුවන්ගේ ආණ්ඩුවක්” විය. නැත්නම් කම්කරුවන්ගේ හා කුලී ගොවියාගේ ආණ්ඩුවක් විය. මෙසේ දේශපාලන රූපය තහවුරු වීමෙන් පසුව, ධනපති විරෝධී සමාජ ආර්ථික පෙරළියේ ප්‍රධාන වැඩකොටස ඇරඹුණි. එය 1919 වසර පුරාම සිදුවිය. මේ අනුව “පිරිසිදු” නිර්ධන පංති ආඥාදායකත්වයක් ද, “පිරිසිදු” කම්කරු ආණ්ඩුවක්ද අපට දක්නට ලැබෙන්නේ 1920 මුල මාසය පමණ වන විටදී ය.

කියුබාවේ නිර්ධන පංති ආඥාදායකත්වය හා “කම්කරු ගොවි ආණ්ඩු” සංකල්පය: –


සුමනසිරි සහෝදරයා පවසන අන්දමට කැස්ට්‍රෝ;
“ප්‍රජාතන්ත්‍රීය විප්ලවයේ කටයුතු රැඩිකල් ආකාරයෙන් ක්‍රියාත්මක කිරීමට ඇප කැප වූවෙක් ලෙස වැඩ පටන් ගත්තේ ය. ඒ් තේරුමෙන් ඔහු ඇත්ත විප්ලවවාදියෙකු විය. ඒ් මක්නිසාද? ඔහු යමක් ප්‍රකාශ කළේ නම් එය ඒ් හැටියෙන් ඇදහුවේ ය. ඒ් වෙනුවෙන් සටන් කළේ ය.”


මෑතක සිට සුමනසිරි සහෝදරයා වැඩි වැඩියෙන් කථා කරන්නේ විවිධ නායකයින් හා දේශපාලන ප්‍රවනතාවයන්ගේ සමාජ පදනමට වඩා “ඇත්ත විප්ලවවාදීකම, කැපවීම” ආදිය ගැනය. මේ කරුණු උඩ දේශපාලනයක් විනිශ්චය කරන්න‌ට යාම හා මාක්ස්වාදය අතර සම්බන්ධය මට නම් පැහැදිලි නැත. මේ යුගයේ ඇත්ත විප්ලවවාදීන් සිටින්නේ විප්ලවවාදී කම්කරු ව්‍යාපාරය තුලය. අප ගොඩ නගන්නා වූ ජාත්‍යන්තර ව්‍යාපාරය තුලය. නැතිනම් ඒයට ආැසන්න වෙන්නාවූ ධාරාවන් තුලය.

පන්ති ව්‍යාපාරයෙන් මුළුමනින්ම පිටස්තර වූ “රැඩිකල් ප්‍රජාතන්ත්‍රවාදීන් හා ඇත්ත විප්ලවවාදී නායකයන්” ගැන අසන්න ලැබීම ගැන අප කලබල විය යුතු නැත. කුමක් නිසාද යත්, පංතියෙන් ඈත්වීමෙන් ඇතිවන තුන්කල් දෝෂයෙන් ඔවැනි විකාර සිහින කාට වුවත් ඇති විය හැකි නිසාය. විකාර සිහින දැක්මට අප පාක්ෂිකයෙකුට වුවද බාධාවක් නැත. මෙය අමතර ප්‍රශ්නයකි. දැන් කියුබාවට හැරෙමු.


1959 ජනවාරි මාසයේ බැටිස්ටා වැටීමෙන් පසු කැස්ට්‍රෝ නියම කෙරෙන්ස්කිවදී පිලිවෙතට පහල ජනයාගේ බලය ඉහලින් සන්ධානයකට ගෙන යමින් ධනපති උරුටියා (Manuel Urrutia Lleó was appointed as the Prime Minister of Cuba on January 5, 1959 – සංස්කාරක) හා කාචොනා වෙත බලය පවරා දුන්නේ ය. ඇත්ත වශයෙන් ම මේ කියුබානු ලුවොව් හා මිලියුකොව්ලාට මසකටවත් බලයේ ඉන්න ලැබුනේ නැත. වාමගාමී ජනතාව රඳවා ගැනීම උදෙසා කැස්ට්‍රෝ බලය අතට ගත්තේ ය. එහෙත් ඔහු කියුබානු කැඩෙට්වරු සමඟ සන්ධානය රැක ගන්නට දිගින් දිගටම ක්‍රියා කළේ ය.

1959 අප්‍රියෙල් වන විට කැස්ට්‍රෝ ඇමරිකාවට ගොස් ඇමරිකන් නායකයින් බැහැදැක උත්සාහ කලේ අධිරාජ්‍යවාදය සමඟ නව සන්ධානයකට එළඹීමට ය. කිසිම කර්මාන්තයක් ජනසතු කරන්නට බලාපොරොත්තු නැති බව එහි දී ඔහු ප්‍රකාශ කළ අතර, 1959 මාර්තු මාසයේ දී බැංකුකරුවන්ගෙන් තමාට සහයෝගය දෙන ලෙස ඉල්ලා සිටියේ ය. (කියුබාව – පීටර් ටැෆ්)


ඉහලින් මේ ගනුදෙනු සිදුවූ නමුත් රටපුරා පැවතුනේ එක්තරා යුගල බල ස්වරූපයකි. බැටිස්ටාගේ වැටීම සමඟම විප්ලවය පැත්තට මාරුවූ ධනපති කොටස් උත්සාහ ගත්තේ කැස්ට්‍රෝගේ වැඩ සැලැස්ම තහවුරු කරමින් ධනපති රාජ්‍ය නැවත ස්ථාපිත කිරීමටය. අනෙක් අතට ජූලි 26 ව්‍යාපාරය හා විප්ලවකාරී හමුදා වටා රොක්වූ ගැමියන් ද කම්කරුවන් ද විවිධ මැදිහත්වීම් වලට යොමු වූහ. ගැමියෝ ඉඩම් අල්ලා ගන්නට වූහ. කම්කරුවන් පඩි වැඩි කිරීම් ඉල්ලන්නට වූහ. 1957-58 කාලයේ ඇති වූ වැඩ වර්ජන වලින් එලියට වැටුන කම්කරුවෝ තමන්ව වැඩට ගන්නා ලෙස බල කරන පිකටින් ව්‍යාපාරයක් ජනාධිපති මැඳුර ඉදිරිපිට දියත් කලෝ ය. 600 ක් පමණ වූ මේ කම්කරුවන් එලියට වැටුනේ කැස්ට්‍රෝ ගැමි කැරැල්ල මෙහෙයවන යුගයේ දී එහි අනුකූලත්වය ද ලබමින් කල වැඩ වර්ජනයක් නිසාය. ඒ අතර 6000 ක් පමණ වූ කියුබානු විදුලි කම්කරුවෝ 20% ක් වැඩි පඩි ඉල්ලා අකුරට වැඩ කිරීමක් දියත් කළහ. මේවා සිදු වූයේ මාර්තු, අප්‍රේල් මාස වලදී ය. මේ බලපෑම් එල්ල වූයේ නික්සන් හමුවී යදිමින් ද. බැංකුකරුවන්ට ආයාචනා කරමින් ද සිටියාවූ අගමැති ධූරය දැරූ කොමඩෝර් කැස්ට්‍රෝ වෙතය. සුමනසිරි සහෝදරයාගේ අවංක විප්ලවවාදියාගේ ලස්සන! ඒත් සිරිමා වගේමයි.


මේ බලපෑම් ගෙන ආවද, ඒ ගොවීන් හෝ කම්කරුවන් සෝවියට් සභා වැනි කම්කරු සභා හෝ ගොවි සංවිධාන වල සංවිධානය වී සිටියේ නැත. එතරම් දැනුවත් නායකත්වයක් හෝ පරිනත අත්දැකීමක් ඔවුන්ට නොතිබුණි. එහෙත්, රට පුරාම සටන්කාමී කොටස් සන්නද්ධ කණ්ඩායම් ලෙස සකස් වී සිටියහ. ජනතාව තුළ වූ උණුසුම් තත්ත්වයෙන් කලබලවූ ඇමරිකාවේ අයිසන් හවර් කියුබානු ආණ්ඩුව කෙලින්ම යට කර ගැන්ම සඳහා බලපෑම් කරන්නට විය. සීනි වෙළඳාම නිසා කියුබාව වැටී ඇති ආර්ථික වහල් භාවයෙන් මිදෙන්නට ඔවුන්ට හැකි යයි අයිසන් කල්පනා කළේ නැත. කැස්ට්‍රෝට උවමනා වූයේ යම් සහන වැඩ පිළිවෙලක් සහිතව කියුබානු ජාතික පාලනයක් ඇති කිරීමයි. මේ සාපේක්ෂ ස්වාධීනත්වය හෝ ඔවුන්ට දෙන්නට අයිසන් හවර් සූදානම් නොවී ය. අසරණ වූ කියුබානු කෙරෙන්ස්කි වූ කැස්ට්‍රෝ, (බණ්ඩාරනායක, සුන් යත් සෙන්, සුකර්නෝ, නසාර් වන් වූ) වෙනස් සම්බන්ධතාවයක් ඔස්සේ තම ආණ්ඩුවේ ගැටළු විසඳා ගන්නට මාන බැලුවේ ය.


පුදුමයකට මෙන් 1959 පෙබරවාරි 10 වෙනිදා සිට 1959 මැයි දක්වා (සුමනසිරි සහෝදරයා මහත් අදෝනා නගන ඉඩම් ප්‍රතිසංස්කරණය ඉදිරිපත්වන තෙක්වත්) තිබූ මේ කැස්ට්‍රෝගේ පාලනයේ ඉතාම පැහැදිලි කෙරෙන්ස්කිවාදී (නැතිනම් සිරිමාවාදී) ද්‍රෝහී ස්වාභාවය, එනම් විප්ලවය අතරමග නවතා දැමීමට වෙර දැරීමට උත්සාහ දැරීමේ ස්වාභාවය, සුමනසිරි සහෝදරයා වහංගු කරයි. දැන් මැයි ඉඩම් ප්‍රතිසංස්කරණය ගැන කථා කරමු. ඇත්තවශයෙන් මම මේ ගැන කථා කිරීමට හියුබමාන් සහ ස්විසිට ඉඩ දෙන්නෙමි. ඔවුන් කැස්ට්‍රෝගේ ගුනගයන මිතුරන් ය. සුමනසිරි සහෝදරයා මොවුන් තොරතුරු නිවැරදිව ඉදිරිපත් කරන බව පිළිගන්නවා ඇත.


“අද අප දන්නා පෞද්ගලික හා රාජ්‍ය කෘෂිකාර්මික අංශයන් දෙකටම පදනම වැටුනු 1959 මැයි 17 කෘෂිකාර්මික ප්‍රතිසංවිධාන පනත මගින්, යම් යම් විශේෂ මඟ හැරීම් ඇරුණු කළ, අක්කර 1000 කට වැඩි ඉඩම් පවරා ගන්නා ලදී. එසේ පවරාගන්නා ලද ඉඩම් වලින් කොටසක් අඳ ගොවීන්ට, බදු ගොවීන්ට හා ඊට අමතරව වෙනත් ඉඩම් නැති ගොවීන්ට කෙලින්ම දෙන ලද අතර මේ ගොවීන්, ANAP (The National Association of Small Farmers – සංස්කාරක) සංවිධානයට අයත් වූහ. අද තිබෙන පෞද්ගලික අංශයේ කෘෂිකර්මයෙන් වැඩි කොටස මොවුන් ය.” – “කියුබාවේ සමාජවාදය” – 111 පිට (Socialism in Cuba by Huberman, Leo ; Sweezy, Paul M. (Paul Marlor), joint author – සංස්කාරක)


මේ අනුව අප වටහා ගත යුත්තේ, උක් වතුයායවල් පවරා ගැන්මට ඒ වන විට හිතලාවත් නැති අතර, අනෙක් අන්ත ප්‍රතිගාමී මහ ඉඩම් වලින් අක්කර දාහකට වැඩි ඒ්වා පවරා ගැනීමට හා බෙදා දීමට මේ නීතිය සම්මත කල බවය. ඒ මට්ටමෙන් උවද, ඒය ක්‍රියාත්මක වූයේ ඉතා හෙමින් ය. ඇත්තවශයෙන් ඉඩම් ප්‍රතිසංස්කරණයේ වැදගත් සන්ධි ස්ථානය වන්නේ 1960 අගෝස්තු-ඔක්තෝම්බර් ඉඩම් ප්‍රතිසංස්කරණය හා දේපොල පවරා ගැනීමේ නීතීන් ය. කැස්ට්‍රෝගේ හිතවතකු වන, කියුබාවේ කාලයක් සේවය කල එඩ්වඩ් බර්ස්ටයින් මෙසේ කියයි.


“අගෝස්තු හා ඔක්තෝම්බර් (1960) රජසතු කිරීමේ නීති මගින් එතෙක් හෙමින් ගමන් ගනිමින් තිබූ ඉඩම් බෙදා හැරීමේ වැඩ කොටස තියුණු තත්ත්වයකට පත් කරණ ලදී. 1960 අවසන් වන විට සම්පූර්ණ කර තිබූ ඉඩම් බෙදාහැරීම් වලින්, මුල් ඉඩම් ප්‍රතිසංස්කරණය යටතේ වූයේ 30% ටත් අඩු ප්‍රමාණයක් ය. සමහර ඉඩම් රජය පවරාගෙන තිබුනේ මුදල් ගෙවලාය. තවත් සමහරක් බැටිස්ටා යටතේ නීති විරෝධී ලෙස හම්බ කරගත් නිලධාරීන්ගේ දේපොල ආපසු ගැනීමේ නීතිය යටතේ ගත් ඒ්වා ය. ඉඩම් බෙදාදීම් වලින් 50% ක් පමණ සිදු වූයේ රජසතු කිරීමේ නීති වලින් ය.” – “කියුබාවේ ආර්ථික පෙරලිය” – 31 පිට (The Economic Transformation of Cuba. By E. BOORSTEIN. සංස්කාරක)


මෙයින් පෙනී යන්නේ ඒ් වන විට‌ එනම් 1959 ජූනි වන විටද, කැස්ට්‍රෝ ආණ්ඩුව තනිකරම බේරුම්කාර එකක් බවය. ඇත්තවශයෙන් ඔවුන් බලයට එනවිට රට පැවතුනේ අන්ත ප්‍රතිගාමී තත්ත්වයේ ය. එනිසාම එදා මට්ටමෙන් ගත් කල දැඩි ලෙස පෙනෙන නීති සම්මත කිරීමට ඔවුන්ට සිදු විය. අක්කර දාහකට වඩා වැඩි වැවිලිකාරී නොවූ ගම් ඉඩම් පවරා ගැනීම හා අඳ ගොවි භාවය අහෝසි කිරීම, සිදුවන්නේ ඒ තේරුමෙනි. මේ නීතිද ඇත්තටම ක්‍රියාත්මක වූයේ 1960 අවසන් වන විටය. ඒ අතර උක්වතු යායවල් පවරා ගනු ලැබුයේ 1960 සැප්තැම්බර්-ඔක්තෝම්බර් ජනසතු නීති මගින්ය. එතෙක් කල් මේ වතු විශේෂයෙන්ම විදේශිකයන් සතු වතු ජනසතු වූයේ නැත. අනෙක් අතට අනෙක් ඉඩම් වලින් ද, ඉඩම් නීතියට හසු වූයේ අක්කර දාහකට වඩා වැඩි ඉඩම් පමණය.

ලංකාවේ ග්‍රාමීය කෘෂිකර්මාන්තය පැවතුනේ කලෙක සිටම ඉතාම කුඩා පරිමාන කැබලි ඉඩම් ස්වරූපයෙන්ය. ඇත්ත වශයෙන් ගැමි මහා පරිමාන නින්දගම් හා පැරණි ඉඩම් අයිතීන් විනාශ වන්නට වූයේ බණ්ඩාරනායකවාදය එන්නටත් බොහෝ පෙරය. එහෙත්, එයින් කෘෂි ක්ෂේත්‍රයේ ප්‍රතිගාමීත්වය හා පැරණි රටාව අවසන් වූයේ නැති ලෙසටම 1959 ජූනි වන විට කියුබාවේ ගැමි කෘෂි ප්‍රතිගාමීත්වය අවසන් වූයේ නැත. කිසිසේත්ම නැත. 1917 ඔක්තෝම්බර් වන තෙක් කෙරෙන්ස්කිගේ ආණ්ඩුව පැවතුනේ මෙවැනිම අර්ධ පියවරයන් මතය. සිරිමාගේ ඉඩම් පනත් හා පලදාවර්ධන පනත් මෙයිට බොහෝ ඈතට පිවිසි අතර, ඒවා ආසන්න වන්නේ කියුබාවේ 1960 අගොස්තු – ඔක්තෝම්බර් ප්‍රතිසංස්කරණයන්ටය.


උරුටියා අස්වීමෙන් පසුව වුවද, කැස්ට්‍රෝ දිගින් දිගටම උත්සාහ දැරුවේ ඇමරිකාව සමඟ එකඟත්වයට ඒමටයි. (1960 පෙබරවාරියේදී පවා ඇමරිකාව අස්වසාලීමට උත්සාහ දැරූ බව බර්ස්ටයින් කියයි – එම 28 පිටුව) එහෙත් ඇමරිකාව ගත්තා වූ දැඩි ස්ථාවරය උඩ වෙනත් මඟක් සොයා යෑමට කැස්ට්‍රෝට සිදු විය. විදේශ වෙළඳාම වඩ වඩාත් කම්කරු රාජ්‍යයන් දෙසට යොමු කරන්නට සිදුවූයේ එහෙයිනි. 1959 ජූලි වල සිට රට තුල යුගල බල ස්වරූපය වඩාත් තියුණු ලෙස මතුවන්නට විය. ආර්ථිකයේ අළුත් උවමනාවන් නිසාම විශේෂ රාජ්‍ය උපකරණයක් ගොඩ නඟන්නට කැස්ට්‍රෝට සිදුවිය. එක් අතකින් ගරිල්ලා හමුදාව පවා යටකරගෙන ජනතා ආරක්ෂක කණ්ඩායම් ගොඩනැගුණි. අනෙක් අතට ඉඩම් හා පෞද්ගලික දේපල පවරා ගැනීමේ ක්‍රියාවන් කිරීමට “ජාතික කෘෂි ප්‍රතිසංවිධාන ආයතනය” (INRA) නමැති ජාතික සංවිධානය බිහිවිය. එය කැස්ට්‍රෝ විසින් ම නායකත්වය දුන් , ගරිල්ලා නායකයින් ප්‍රධාන කොට ගොඩ නැගුණ, රට පුරා විසිරුණු බල අධිකාරයක් විය. කෘෂි ප්‍රතිසංවිධානයෙන් ආරම්භ වුවද, එය සමස්ථ බල අධිකාරයක් විය. 1960 අවසන් වන තෙක්ම ජනසතු කල කර්මාන්ත පාලනය, ජනසතු සේවාවන් හා ගොඩ නැගීම් අංශ පාලනයද සිදු වූයේ මේ විප්ලවකාරී ආයතන මඟිනි. ඒ හෙයින් එය ගැමියන්ගේ සහයෝගය ඇතිව ඇරඹුනද වැඩ බිම්වල ක්‍රියාකාරී කොටස් ඉහලින් සංවිධානය කරගත් ආයතනයක් ලෙස 1980 වන විට වර්ධනය වී තිබිණ. අනෙක් අතට ආනයන අපනයන පාලනය පෙනුවෙන් “බැනසෙක්” නැමැති ආයතනයක් බිහිවිය.


මේ ආයතන සියල්ල කැස්ට්‍රෝගේ බොනපාට්වාදී පාලනය තහවුරු කරමින් ගොඩ නැඟුන ආයතන මිස ප්‍රජාතන්ත්‍රවාදී ආයතන නොවී ය. එසේම ඒවා පැවතුනේ අනෙක් පාලන අධිකාරියන් ට සමාන්තරවය. අනෙක් අතට ඒවායේ කිසිඳු ගොනුවක් නොවූ අතර, ක්‍රියාකාරීත්වයේ පැවතියේ අතිශයින් අස්ථීර භාවයකි. කැස්ට්‍රෝ – ගුවේරා කල්ලියේ සියළු වැඩ කටයුතු කෙරුණේ ඇමරිකාවේ බලපෑමට මුහුණ දීමේ උපාමාරු හැටියටය.

යුගල බලය හෙවත් යුගල බල රහිත බව – “ඔහෙ පලයන්”


1960 අවසන් වන තෙක් රට පුරා පැවතුනේ එවන් වූ ප්‍රතිවිරුද්ධතාවයන් තුල පැවැති රාජ්‍යයයේ අස්ථිර භාවයවයි. 1959 මුල දී ඉහලින් ඇති වූ පාලන රටාව වූ කලී පැවතුන පාලනයේ ශේෂයන් අනුගත කරමින් ධනපති නාකයින් විසින් ගොඩ නැඟූ රටාවයි. 1959 මුල දී අළුතින් ඇති කල INAV (THE Work of the National Institute of Savings and Housing – සංස්කාරක) හා INFT (Council of foreign Relations – සංස්කාරක ) යන ගොඩ නැගීමේ හා සංචාරක ආයතන දෙකද ධනේශ්වර ආයතන ලෙස ගොඩ නැගුණි (බර්ස්ටයින් – එම පිටු 42)


අනෙක් අතට දිගින් දිටම ගලාගිය ජනතාවගේ මැදිහත් වීම් පැවතුණි. එහි ප්‍රජාතන්ත්‍රවාදී සංවිධාන ස්වරූපයක් නොතිබුණි. නමුත් කැස්ට්‍රෝගේ බොනපාට්වාදය තහවුරු වූයේ කම්කරු පංතියේත් ජනතාවගේත් පළල් මැදිහත්වීම් මතය. ඔහු ඉහල සිට ලක්ෂ සංඛ්‍යාත ජනතාව සමඟ සංවාදයක් ගෙන ගියේ ය. ඒ අතර, ගරිල්ලා විප්ලවකාරී ආයතන ලෙස ආරක්ෂා කමිටු, ජාතික කෘෂි ප්‍රතිසංවිධාන ආයතනය හා විදේශ වෙළඳාම් ආයතනය ආදිය ගොඩ නැගෙන්නට විය. එහෙත් රට පුරා පැවතුනේ එක්තරා බල රහිත කමකි. ඕනෑ කෙනෙක් ඕනෑ ලෙසට ක්ෂණික ප්‍රශ්නයන්ට මැදිහත් විය. ඇත්ත වශයෙන් මෙයට විශේෂ නමක්ද කියුබානුවන් යොදා ගන්නා ලදී. එනම්, “පොර් ලා ලිබ්රේ” නොහොත් “ඔහෙ පලයන්!” යන්නයි.


“විප්ලවයේ මුල් අවුරුදුවල පැවතුන වැඩ කිරීමේ හා පාලනයේ විධික්‍රමය කියුබානුවන් දැන සිටියේ ‘පාර් ලා ලිබ්රේ’ යනුවෙනි. කියුබානුවන්ගේ දිවග ලෙල දෙන්නා වූ මේ වචනයට හරිම තේරුම ඉංගිරිසියෙන් කීම අමාරුය. එහි අරුත “නිදහසේ, කිසි බැඳීමක් නැතිව’’ යන්නයි. – කියුබානු ආර්ථික පෙරලිය -135 පිට


1960 ජූලි අර්බූදය විසින් මේ අවධිය අවසානයකට ගෙන ආවේ ය. ඇමරිකාව සීනි නොගැනීම හා ආණ්ඩු විරෝධී කුමන්ත්‍රණ ඉදිරියේ කැස්ට්‍රෝට සියළු පැරණි රටාවන් විනාශ කරමින් තම බොනපාට්වාදී පාලනය රුසියානු ආරක්ෂාව යටතේ තහවුරු කරන්නට සිදුවිය. එකවරම පවරා ගනු ලැබූ ඇමරිකානු දේපොල සහිත වූ නව ආර්ථික රටාව ගෙන යාම සඳහා නව බල අධිකාරියක් ගොඩ නගන්නට ඔහුට සිදු විය. ඒ් වන විට තිබුණු මොස්කව්වාදී කොමියුනිස්ට් පක්ෂය වන ජනතා සමාජවාදී පක්ෂය සමඟින්, ජූලි 26 ව්‍යාපාරය ඇතුළු රැඩිකල් දේශපාලන කණ්ඩායම් ඒක් කොට “ඒ්කාබද්ධ විප්ලවවාදීන්ගේ සංවිධානය” ගොඩ නැඟුණි. පාලනය නිලධාරීමය ලෙස මධ්‍යගත වන්නට විය.


“1960 අවසානයේ දී ප්‍රධාන රජසතු කිරීම් සම්පූර්ණ කරන තෙක් ආර්ථිකයේ වැඩි කොටස පැවතුනේ පෞද්ගලික පාලනය යටතේ ය. රජ සතුවෙන් පසුවද ටික කලක් යන තෙක් ‘නිදහසේ ගමන් ගැනීම’ අනිවාර්යව පැවතිනි. කොටසක් වැඩ කිරීම් කරගෙන යා යුතුය. ඒ් වන විටත් රාජ්‍ය යන්ත්‍රයේ විශාල කොටසක් පූර්ව විප්ලවීය සංවිධාන රටාව වූ අතර ඒය සැලසුම්ගත සමාජවාදී ආර්ථිකයක් ගෙනයාමට නුසුදුසු විය.”


“රජසතු කිරීම් වලින් පසුව හා ඇමරිකාව සමඟ වෙළඳාම බිඳ වැටීමෙන් පසුවත් රාජ්‍ය යන්ත්‍රය පිළිබඳ ප්‍රශ්නය ඉතුරුවී තිබුණි. 1960 අවසන් වන විට ආණ්ඩුව, ප්‍රතිසංවිධාන කිරීමේ නීති සෑදීම් වලින් බොහෝ ප්‍රමාණයක් ජනාධිපති ඩොට්කාස් ප්‍රධාන වූ කොමිටියක් මගින් කර තිබිණි. ප්‍රතිසංවිධානයේ පරමාර්ථය වූයේ රාජ්‍ය යන්ත්‍රය නැවත ගොඩ නැගීමේ කාර්යය සපුරාලීම හා එයට සැලසුම්ගත සමාජවාදී ආර්ථිකයක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය රටාව ලබා දීමයි.” ‘කියුබානු ආර්ථික පෙරලිය’, 139-140 පිටු


මේ කථා කරන බර්ස්ටයින් කැස්ට්‍රෝගේ සමාජවාදයෙන් ‘චූන්’ වී සිටි කෙනෙකු බව වටහා ගෙන අප ඉහත වදන් තේරුම් ගත යුතුය. ඔහු “සමාජවාදී ක්‍රම සම්පාදිත ආර්ථිකය” යනුවෙන් හඳුන්වන්නේ ඇමරිකන් දේපොල හා ප්‍රධාන කොම්පැනි හා ඉඩම් ජනසතුවීමෙන් පසු ඇති වූ ආර්ථිකයයි.

කෙලෙස එය සිදු වුවත් ඔහුට එය සමාජවාදී ය. කම්කරු පාලනයක් නැතත්, අඩු දියුණු වුනත්, එය සමාජවාදී ය! ඇත්ත වශයෙන් 1960 ඔක්තෝම්බර් යුගයේ සිදු වූයේ අධිරාජ්‍ය විරෝධී හා කෘෂිකාර්මික පෙරලියේ ඉතාම තියුණුම පියවරයි. නගරයේ කර්මාන්ත හා සේවාවන් රජයට ගත් කල මේ නිසා ධනවාදය අතුගෑවී ගියේ ය. ඉතුරු වූයේ කුඩා කර්මාන්ත සහ සේවාවන් පමණි. එසේ වූයේ ප්‍රධාන කර්මාන්ත, ආකර හා සේවා අධිරාජ්‍යවාදීන් හා අනුබද්ධ ව්‍යාපාර සමඟ බැඳී තිබුණු හෙයිනි. (එහෙත් කෘෂිකර්මයේ තත්ත්වය මීට හාත්පසින්ම වෙනස් විය.) ඒ කෙසේ වෙතත් ඉහත වගන්ති වලින් අපට පෙනී යන්නේ ආණ්ඩුවට මේ ක්‍රියාදාමයට බසින්නට සිදු වන්නේ රාජ්‍ය බලයේ පැහැදිලි වෙනසක් සහිතව ය. පැවතුන යුගල බල හා අනියත අවධිය අවසානයකට ගමන් කරමින්, ධනපති රාජ්‍යයේ ශේෂයන් මුළුමනින්ම විනාශ කරමින්, බොනපාට්වාදී ලෙසට නිර්ධන ආඥාදායකත්වය තහවුරු කරන්නට එසේ පියවර ගනු ලැබීය. මේ අවස්ථාවේ දී ඒ්කාබද්ධ විප්ලවවාදීන්ගේ සංවිධානය – ORI (ORGANIZACIONES REVOLUCIONARIAS INTEGRADAS – ORI) සංවිධානය හරහා පැරණි ස්ටාලින්වාදීන් බලවත් තැනකට පැමිණ සිටියහ. ORI යනු ස්ටාලින්වාදී පක්ෂය හා කැස්ට්‍රෝවාදීන් ඒක්වීමෙන් සෑදුනු අළුත් පක්ෂයයි. සියළු ප්‍රතිසංවිධානයන් හා සමාජ දේශපාලන තහවුරුවීම් සිදුවූයේ සෝවියට් බලයේ ආවරණය යටතේ ය. එයට ක්‍රියාකාරී ලෙසට සහභාගී වූයේ චෙකෝස්ලෝවැකියාවෙන් එවන ලද උපදේශකයන් පිරිසකි. ඔවුහු සර්වබලධාරී උපදේශකයන් වූහ.

බර්ස්ටයින් ඔහුගේ පොතේ 151 සිට163 පිටුව දක්වා අපට චමත්කාරජනක ලෙස පෙන්වා දෙන්නේ මේ බලපෑම යටතේ නිලධාරීවාදී තන්ත්‍රයේ ගොඩනැගීමයි.


“1960 අවසන් වන විට සමාජවාදී (!) ප්‍රතිසංවිධානය හා සැලසුම් පිළිබඳ ශිල්පීමය උදව් දීම් උදෙසා ආර්ථික නියෝජිත පිරිසක් පැමිණියහ. ආණ්ඩුවේ ප්‍රතිසංවිධානයන් පිළිබඳ නීති සම්පාදනය කරමින් යන අවස්ථාවේ දී ආණ්ඩුවේ විවිධ ආර්ථික ආයතනයන්හි නියෝජිතයන් සහභාගී වූ සාකච්ඡා වටයක් මොවුන් පැවැත්වූහ.” ‘කියුබාවේ ආර්ථික පෙරලිය’ – 151 පිට


ඇත්ත වශයෙන් ඔවුන් හුදු ආර්ථික උපදේශකයන් නොවීය. රාජ්‍යයේ සියළුම අංගයන්ගේ ප්‍රතිසංවිධානයන් ඔවුන් බලාපොරොත්තු වූහ. එස්කලන්තේ – රොඩ්රිග්‍රෑමස් ආදී පැරණි ස්ටාලින්වාදීන්, ජාතික තලයේ දී මේ උපදේශක වරුන්ගේ ප්‍රධාන නියෝජිතයින් වූ අතර, ඒ්කාබද්ධ විප්ලවවාදීන්ගේ සංවිධානයේ සංවිධායක ලේකම් වූයේ ඒස්කලන්තේ ය. නිලධාරිවාදී නිර්ධන පන්ති ආඥාදායකත්වයක් තහවුරු වූයේ මේ මැදිහත්වීම් නිසාය. ආර්ථික වශයෙන් හා යුද්ධමය වශයෙන් මුළුමනින්ම රුසියාවට ගැතිවී සිටි කැස්ට්‍රෝට මේ ලෙසට ඔවුන්ගේ මැදිහත්වීමට අවනත වෙනවා මිස කල හැකි අන් කිසිවක් නොවී ය. ඒ හෙයින් රුසියාවට අනුකූලව, බොනපාට්වාදී ලෙසට කම්කරු පන්තිය පෙල ගස්වා ගනිමින්, නිර්ධන පන්ති ආඥාදායකත්වය දියත් කළේ ය.


“මේ ආණ්ඩුව ප්‍රතිසංවිධානය කිරීම සඳහා ගොඩ නැගුණ නීති, සමාජවාදී නීතීන් ය. මේවා සම්පාදනය කරන ලද්දේ සමාජවාදී රටවල තාක්ෂණිකයන්ගේ උපදෙස් පිටය. ප්‍රතිසංවිධාන වූ හා අළුතින් ගොඩ නැගුන ආයතනත් ඉහත කී රටවල ඒවැනි ආයතන වලට අනුරූප විය. සියළු ප්‍රධාන තීන්දු ගැනීමේ බලය – ඒනම්, බැංකු ණය, ලාභ, ආයෝජන, නිෂ්පාදනය, ආයනයන, අපනයන, මිලගනන් ආදී සියල්ල – පෞද්ගලික අංශයට නොව රජය සතු වූ ආර්ථිකයකට සරිලන ලෙසට මුළුමණින්ම ගොනු කරනු ලැබිනි.” ‘කියුබානු පෙරලිය’ – 151 පිට


මා මීට පෙර පෙන්වා දුන් ලෙසට බර්ස්ටයින් සමාජවාදය ලෙසට හඳුන්වන්නේ රුසියාව ආදී රටවල ඇති ක්‍රමයයි. එනම් කම්කරු ප්‍රජාතන්ත්‍රවාදයකින් තොර නිලධාරීමය ඒක පාක්ෂික පාලනයේ පවතින ජනසතු අර්ථ ක්‍රමයයි. ඒ නිසා ඔහු කියන දේ ගැන කල්පනා කල යුත්තේ මේ කරුණ සිත්හි තබාගෙන ය. ඇමරිකාවේ මුරන්ඩුකම, රුසියානු බලපෑම හා රටේ ජනතාවගේ බලපෑම උඩ කැස්ට්‍රෝට අධිරාජ්‍යවාදී ධනේශ්වරයටත්, ඉඩම් හිමියන්ටත් විරුද්ධව ගමන් ගන්නට සිදුවූ අතර, එතෙක් ධනපති පාලනයේ ශේෂයන් සමඟ පවත්වා ගෙන ගියාවූ සහජීවනය අත්හැර දමන්නට‌ සිදු විය. 1959 විප්ලවයේ සිට ගොඩ නැගුණු විප්ලවකාරී බොනපාට්වාදී බල අධිකාරීන් වූ ගරිල්ලා හමුදාව, INRA සංවිධානය (1959 ජූලි) ආරක්ෂා පෙරමුණ (1959 ඔක්තෝම්බර්), බැන්සෙක් (1960 අප්‍රේල්), ආදී ආයතන මොස්කව්වාදී ස්ටාලින්වාදීන්ගේ ආවරණය යටතේ ඒකාරාශී කරමින් ORI වටා නිලධාරීවාදී ලෙස මධ්‍යගත කරමින්, බොනපාට්වාදී ලෙස පංතිය මත පදනම් වෙමින්, නිර්ධන පංති ආඥාදායකත්වයක් ගොඩ නැගුවේ ඒ අනුවය. යම් යම් කම්කරුවන්ගේ හා ගොවියන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී සභාවල් ‌ගොඩ නැඟුණු නමුඳු ඒවා ඉදිරියට ගියේ නැත. මොස්කව්වාදීන්ගේ ඍජු බලපෑම යටතේ නිලධාරීවාදය ස්ථාපිත විය.


“වැඩ කිරීමේ ක්‍රමය නිලධාරිවාදී විය. පැරණි “ඔහෙ පලයන්” ක්‍රමය අනුව මුලික තේමාව වූයේ ෂේප් කිරීමය. එනම් ආර්ථිකය කෙසේ හෝ දිවවීමයි. ප්‍රශ්න එන එන හැටියට විසඳීමයි . එහෙත් මෙය සිදුවූයේ කාර්යක්ෂම භාවයෙන් තොරවය. අපතේ යෑම් තුලය. සංවිධානයක් හා සැලසුමක් නොමැතිවය. දැන් සංවිධානය හා සැලසුම හෙන ගෙඩියක් මෙන් පාත් විය. මිනිසුන් මේ එල්ලයන් ඔස්සේ දැඩි ලෙස ක්‍රියාත්මක වූ අතර ඔවුන්ට ඒවා පවතින්නේ කුමට දැයි අමතක විය.” ‘කියුබානු ආර්ථික පෙරලිය’ – 162 පිට


මේ අනුව1959 සිට 1960 අග දක්වා, බිඳවැටී තිබුණු පැරණි රාජ්‍ය යන්ත්‍රයේ ඉතුරු කොටස් එක් අතකින් ක්‍රියාත්මක වෙද්දී, කැස්ට්‍රෝ අනෙක් අතින් විප්ලවකාරී ආයතන, කම්කරු ගොවි සහාය ඇතිව ක්‍රියාත්මක කළේ ය. ඒ තුල පැවතුනේ එක්තරා ආරාජික භාවයකි. යුගල බල ස්වාභාවයකි. ඔහු ඒ අතර ධනපතියන් සමඟ සන්ධානයට උත්සාහ දැරුවේය. රට පාලනය ඉදිරියට ගියේ ගැට ගසා ගැනීම් තුලිනි. “ඔහෙ පලයන්” ක්‍රමයට ඉදිරියට ඇදෙමින්ය. 1960 ඔක්තෝම්බර් වලදී ඔහුට අධිරාජ්‍යවාදයෙන් මුළුමනින්ම වෙන් වන්නට සිදු විය. එතෙක් කල් ධනපති රාජ්‍ය පරිපාලනයේ ඉතුරු කොටස් සමඟ ගෙන ගියාවූ සහජීවනය අවසන් කරමින් රාජ්‍ය යන්ත්‍රය මුළුමනින්ම ප්‍රතිසංවිධානය කරමින් නිර්ධන පන්ති ආඥාදායකත්වයක් පිහිටුවීමට ඔහුට සිදු විය. එය මුළුමනින්ම මෝස්කව් ආවරණය යටතේ සිදු වූවක් ය. මේ අවස්ථාවේ දී ජනතාව වීදි වලට ගැනීමට හා පොදුවේ පෙල ගැස්වීමටත් කැස්ට්‍රෝ පියවර ගත්තේ ය. මෙහි දී ප්‍රධාන වූයේ හවානා ඇතුළු නගරවල කම්කරු පංතියේ පෙල ගැස්මයි. සමහර තැන්වල කම්කරු සභා සහ ජන සභා බිහිවිය. පොදුවේ කම්කරු-ගොවි භට කණ්ඩායම් ගොඩ නැඟී තිබුණි. එහෙත්, මේ සියල්ල පැවතුනේ කැස්ට්‍රෝගේ බොනපාට්වාදයේ අනුග්‍රහය යටතේ ය. නිර්ධන ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් කිසි විටෙකත් ඇති නොවී ය.

කියුබාව හා රුසියාව: –


දැන් සුමනසිරි සහෝදරයාගේ නන්දෙඩවිලි කාටත් පැහැදිලි විය යුතුය. අමන හැන්සනයා අනුව යන සුමනසිරි 1959 ජූලි මස සිට කියුබාවේ ධනපතියන්ගෙන් වෙන් වූ ගොවි කම්කරු ආණ්ඩුවක් දකියි. එහෙත් බර්ස්ටයින් පෙන්වා දෙන ලෙසට ඇත්තටම රාජ්‍ය යන්ත්‍රයේ පැවතුනා වූ දෙබිඩි ස්වාභාවය අවසන් වූයේ 1960 අගෝස්තු වලින් පසුවය. බර්ස්ටයින් 1960 මැයි මස සිට 1963 සැප්තැම්බර් දක්වා කැස්ට්‍රෝගේ ආණ්ඩුවේ විවිධ පදවි දරමින් පාලනයට හවුල් වූ ඇමරිකන් ආර්ථික විශේෂඥයෙකි.

තොරතුරු අතින් ඔහුගේ පොත ඉතා අගනා බව කව්රුත් පිලිගනිති. 1959 ජූලි වලින් පසුව රට තුල පැවතුන යුගල බල ස්වාභාවය වඩාත් වමට වාසිදායක ලෙසට වර්ධනය වූ බව ඇත්ත ය. එහෙත් එයින් කිසිඳු මූලික වෙනසක් සිදු නොවිනි. මේ තත්ත්වය රුසියාවේ සිදුවීම් සමඟ බැලිය හැක. රුසියාවේ 1917 ජූලි මාසය සිට සෝවියට් සභාවල බලතල වඩා තහවුරු වූ අතර තාවකාලික ආණ්ඩුවේ ප්‍රධාන බලකාරයින් බවට සමාජ විප්ලවවාදීන් හා මෙන්ෂෙවික්වරු පත්වූහ. කෙරෙන්ස්කි අගමැති බවට පත් විය. ඇත්ත වශයෙන් කැඩෙට් ඇමතිවරුන් ඉල්ලා අස්වූ අතර, නව සභාග ආණ්ඩුවට කැඩෙට්වරු සහභාගී වූයේ අනියම් ලෙසටය. ඔවුන් තමන් කැඩෙට්වරු බව ඍජු ලෙස නොපෙන්වීමට උත්සාහ ගත්හ. රටේ යුගල බල ස්වාභාවය වඩාත් තියුණු ස්වාභාවයකට පත් වූ අතර, ප්‍රතිගාමී අභියෝගයද බලවත් විය. මේ අභියෝගය ඉදිරියේ සභාගවාදීහු විසින් මැද පිලිවෙත පෙන්වීම උදෙසා බොල්ෂෙවික්වරු සිරගත කරනු ලැබීය. අගෝස්තුවේ කොර්නිලොව් කුමන්ත්‍රණය නිසා ජනතාව පෙල ගැස්වීමට කෙරෙන්ස්කිට සිදු විය. එහෙත් බොල්ෂෙවික්වරු නිදහස් කරන්නට සිදුවීමෙන් ඔහුගේ වාම වෙට්ටුව විනිවිද ගෙන විප්ලවකාරී බලය ගොඩ නැගෙන්නට විය. ඔක්තෝම්බර් විප්ලවය සිදු විය.


කියුබාවේ 1959 ජූලි සිට 1960 ඔක්තෝම්බර්-නොවැම්බර් දක්වා තිබුණා වූ දෙබිඩි ස්වාභාවය රුසියාවේ 1917 ජූලි සිට 1917 ඔක්තෝම්බර්, නොවැම්බර් දක්වා තිබූ දෙබිඩි ස්වාභාවයට වෙනස් වන්නේ කැස්ට්‍රෝට, කෙරෙන්ස්කිට මෙන් වමෙන් තර්ජනයක් නොතිබීමෙන් පමණි. කෝර්නිලොව් කුමන්ත්‍රණය සම වන්නේ ඇමරිකානු කුමන්ත්‍රණයටයි. ඇමරිකන් බලහත්කාරකම් ඉදිරියේ ජනතාව පෙල ගස්වා ගන්නටත්, රුසියන් ස්ටාලින්වාදීන් පාලනයට වැද්දගන්නටත්, ඔවුන්ට ක්‍රියාකාරී ඉඩකඩ දෙන්නටත් කැස්ට්‍රෝට සිදුවිය. මොස්කව් ස්ටාලින්වාදීන් සත්තකටම බොල්ෂෙවික්වරුන් මෙන් “ගුණමකු” නොවූහ! ඔවුන්ට, ඔවුන්ගේ 59 ට පෙර ක්‍රියාකාරීත්වය මෙන්ම ජාත්‍යන්තර ප්‍රතිපත්තිය තුල බොල්ෂෙවික්වරුන්ට මෙන් විප්ලවකාරී බලයක් ගොඩ නැගීමේ හැකියාවක් හෝ උවමනාවක් තිබුනේ ද නැත. ඒ් වෙනුවට කැස්ට්‍රෝවාදීන් දේශපාලන අත්අ‌ඩංගුවට ගනිමින් නිලධාරිවාදී කම්කරු රාජ්‍යයක් ගොඩ නැගීමට ඔවුහු යුහුසුළු වූහ.


මේ අනුව, ප්‍රසාදජනක තේරුමෙන් “කම්කරු ගොවි ආණ්ඩුවක්” කියුබාවේ කිසිම විටක පැවතුනේ නැත. එනම් ඇත්තටම කම්කරුවන් හා ගොවීන් පාලනයට හවුන් වූ ආණ්ඩුවක් කිසි විටෙක තිබුනේ නැත. 1959 ජනවාරියේ බැටිස්ටාගේ පාලනය බිඳ ධනපති රාජ්‍ය යන්ත්‍රය කඩා දැමූ කැස්ට්‍රෝවාදීන් තම අත තිබූ බලය ධනපතීන්ට පූජා කරමින හවුල් ආණ්ඩුවක් සෑදූහ. අනෙක් අතට පැරණි ධනපති රාජ්‍ය යන්ත්‍රයේ ඉතුරු කොටස් සමඟ රතු හමුදාව හා අන්බද්ධිත විප්ලවකාරී බලඅධිකාර මිශ්‍ර කරමින් දෙබිඩි පාලන තත්ත්වයක් ඇති කළේ ය. ඇති වූයේ බලයක් හෝ පාලනයක් නොව බල රහිතකමක් හා හිතූමනාපේ වැඩ කිරීමේ තත්ත්වයකි. යුගලබල ස්වාභාවයකි. 1959 ජූලි වන විට මෙම තත්ත්වය වඩා වමට වාසිදායක ලෙස නැඹුරු විය. කම්කරු භට කාණ්ඩ ඇති වූ අතර, කැස්ට්‍රෝ වඩ වඩාත් කම්කරුවන් මත බොනපාට්වාදී ලෙස පැලපදියම් වන්නට විය. 1960 ඔක්තෝම්බර්, නොවැම්බර් මන විට තත්ත්වය මුළුමනින්ම වෙනස් වී සැඟවුන යුගල බල තත්ත්වය අහෝසි වී බොනපාට්වාදී කම්කරු රාජ්‍යයක් බිහිවිය. ඒහෙත් කිසි විටකත් කම්කරු ප්‍රජාතන්ත්‍රවාදයක් නොතිඹුණි. කැස්ට්‍රෝ ජනතාව මත පදනම් වූයේ නියම බොනපාට්වාදී ලෙසටය. ඔහු ලක්ෂ සංඛ්‍යාත ජනතාව අමතමින් පැය ගණන් දුරස්තර සංවාද පැවැත්වීය. ජනතාවට සැබෑ ප්‍රජාතන්ත්‍රවාදයක් නොතිබුණ අතර මෙවැන් රැස්වීම් වලදී කෑ කෝ ගැසීම්වලින් තම අදහස් දැක්වීමට ඉඩ ලැබුනේය. ඒය නියම බොනපාට්වාදී වූ “ඔව්”, “නෑ”, “එපා”, “ජයවේවා” ආදියට සීමා වූ ප්‍රජාතන්ත්‍රවාදයයි! ගැලවුම්කාර ප්‍රජාතන්ත්‍රවාදයයි!


1960 ප්‍රතිසංස්කරණ අධිරාජ්‍ය විරෝධී ප්‍රජාතන්ත්‍රවාදී වැඩ පිලිවෙලක් වූ අතර, දැඩි තේරුමන් ගන්නවා නම් ඒයින් ධනවාදය අවසන් වූයේ නැත. ඇත්ත වශයෙන් 1960-63 කාලය අධිරාජ්‍ය විරෝධී ප්‍රජාතන්ත්‍රවාදී පරිච්ඡේදය විය. 1960 ඔක්තෝම්බර් – නොවැම්බර් වලින් අරඹුණු නිර්ධන පංති ආඥාදායකත්වය යටතේ අධිරාජ්‍ය විරෝධී ප්‍රජාතන්ත්‍රවාදී වැඩපිලිවෙල සම්පූර්ණ කිරීම දියත් වූයේ ය. හියුබර්මාන් හා ස්විසි මෙසේ කියයි.


“14 වැනි වගුව – 1961 දී පෞද්ගලික අංශය

වත්තේ ප්‍රමාණයවතු ගණනමුළු අක්කර ප්‍රමාණය
අක්කර 165 දක්වා154,7035,800,000
අක්කර 165 – 330 දක්වා6,0621,500,000
අක්කර 330 – 660 දක්වා3,1031,507,000
අක්කර 660 – 990 දක්වා1,4571,255,000
අක්කර 990 සිට ඉහලට592931,000
එකතුව 165,91910,993,000
(1967 දී හවානාවල පළවූ සඟරාවකිනි.)


මෙහි 14 වෙනි චක්‍රයේ පෙනෙන ලෙසට 1959 – 60 වසරවල ඉඩම් ප්‍රතිසංස්කරණ වලින් පසුවද කියුබානු කෘෂිකර්මයේ ලක්ෂණය වූයේ අසමාන ඉඩම් බෙදී යෑමයි. අක්කර 165 ට වැඩි සාමාන්‍යයෙන් විශාල වතු ගනන මුළු මතු ගණනින් 7% ක් පමණ වූ නමුත් පෞද්ගලිකව අයිති ඉඩම් ප්‍රමාණය 47% ක් විය. ඒවන විට මුළු රටේ ඉඩම් ප්‍රමාණයෙන් 56% ක්ම තිබුනේත් පෞද්ගලික අංශයට වූ හෙයින් ගැමි වළාත්වලින් හතරෙන් පන්ගුවක් තිබුනේ මේ ලොකු වතුකාරයන් අතලොස්සේ අත් අඩංගුවේ ය. මොවුන් එකලොස් දහස ඔවුන්ගේ දරුපවුල් සමඟද ගැන බැලූ විට මුළු ජනගහනයෙන් සියයට එකකට බොහෙවින් අඩුය.


මොවුන් සම්පූර්ණ තේරුමෙන්ම ගැමි ධනපතියන් වූ අතර බලාපොරොත්තු විය යුතු ලෙසටම වැඩි දෙනෙක් විප්ලවයට හතුරු විය.” ‘කියුබාවේ සමාජවාදය’ 111-112 පිටු


මෙයින් ඉතාම පැහැදිලි වන්නේ සමාජ ආර්ථික තේරුමෙන් ධනවාදය කියුබාවේ ඒ වන විටත් අවසන් වී නැති බවය. ඇත්ත වශයෙන් නගරවලද කුඩා කර්මාන්තශාලා හා වෙළඳ ව්‍යාපාරද ජනසතු වූයේ නැත. ජනසතුවී තිබුනේ, අධිරාජ්‍යවාදය සමඟ බැඳී තිබූ ධනේශ්වර දේපොල හා වතුයායවල් ය. නගරවල ඉතිරිවී තිබුණ ධනපති දේපොල සුළු වුවද, ගමේ එය එසේ නොවී ය. කියුබාවේ, සමාජ-ආර්ථික තේරුමෙන් පූර්ණ ලෙස ධනපති විරෝධී වැඩ පිලිවෙල ඇරඹුනේ 1963 දී ය.


“ඌරුබොක්කේ ආක්‍රමණය වැනි ප්‍රහාරයන් නැවත ඇතිවීමේ හැකියාව දිගටම පැවතුනි. මේ තත්ත්වය යටතේ විප්ලවවාදී ආණ්ඩුව, හතුරන්ට විරුද්ධව ඉස්ඉස්සෙල්ලාම තමන් පහර දීමේ නීතිය අනුව ක්‍රියා කරමින්, මේ ප්‍රතිවිප්ලවවාදී ගැමි ධනපතියන් දියකර හැරීමේ පියවර ගත්තේ ය. මෙහි ප්‍රතිඵලය වූයේ අක්කර 165 වැඩි ඉඩම් ජනසතු කලා වූ දෙවැනි ඉඩම් ප්‍රතිසංස්කරණයයි. මෙයින් පසුව, ගුටල්මාන් ඉදිරිපත් කල ගණන් හිලව් අනුව, පෞද්ගලික අංශය අක්කර 8,892,000 (එනම් මුළු ප්‍රමාණයෙන් 39% ක්) වූ අතර රාජ්‍ය අංශයට අක්කර 13,585,000 (එනම් මුළු ප්‍රමාණයෙන් 61% ක්) විය.” ‘කියුබාවේ සමාජවාදය’ – 113 පිට


ඇත්තවශයෙන් මේ වැඩපිලිවෙලට ගැමි නිර්ධනයින්ගේ සම්පූර්ණ සහයෝගය ලැබුණි. ඒයින් පසුව ඉන් පෙර රට තුල වරින්වර ඇතිවූ ප්‍රතිවිප්ලවවාදී ක්‍රියාද මුළුමනින්ම අවසන් විය. මේ අනුව නිර්ධන බලය සැබවින්ම තහවුරු වූයේ 1963 ඔක්තෝම්බරයේ දී ය. එය සමාන වන්නේ රුසියාවේ 1918 ඔක්තෝම්බරයටයි. 1963 අවසානයෙන් ඇරඹුණු ධනපති විරෝධී ක්‍රියාදාමය 1968 වන තෙක්ම ඇදී ගියේ ය. ඒ අනුව මුළු ආර්ථිකයම රාජ්‍ය පාලනය යටතේ ක්‍රම සම්පාදනයට යටත් වූයේ ඒ වන විටය.

ඇත්තවශයෙන් ම 1968 දී එය අතිධාවනලෙස ඉදිරියට ගොස් කුඩා සාප්පු පවා ජනසතු කළේ ය. අමන හැන්සන්ට අනුව සියළු ධනපති දේපොල අවසාන වන තෙක් බලා සිටින සුමනසිරි සහෝදරයා හරිනම් කියුබාවේ කම්කරු රාජ්‍යයක් දැකිය යුත්තේ 1968 අවසාන භාගයේ දී ය. නැත්නම් අඩුම තරමින් 1963 ඔක්තෝම්බර් ඉඩම් පවරා ගැන්ම ක්‍රියාත්මක වන තෙක් සිටිය යුතුය. රටේ සිවිල් යුද්ධ තත්ත්වය අවසන් කරමින් ධනපති පංතිය උදුරා දමනු ලැබුනේ ඒ් වන විටය. ඒයට පෙර අක්කර 1000 කට වැඩි ධනපතියන් සිටියහ. කුඩා කඩ සාප්පු ජනසතු කිරීම, අතිධාවනවාදී පිස්සුවක් වුවත්, අක්කර 1000 ට වැඩි වතුකාරයන් සමඟ සහජීවනයක් තිබිය නොහැකි ය.


“ග්‍රාමීය ධනපතියන් දෙවන කෘෂිකාර්මික ප්‍රතිසංස්කරණය මඟින් දියකර හැරීම, සාපේක්ෂව ගත් කල පහසු වූයේ ඒයට දිලිඳු ගොවීන්ගේ සහාය ලැබුණු හෙයිනි. 1963 සිට ගම්බදව ප්‍රතිවිප්ලවවාදී ක්‍රියාවන් සම්පූර්ණයෙන්ම පාහේ අනහිටීමට හේතුව එයයි.” ‘කියුබාවේ සමාජවාදය’ – 115 පිට
මා මගේ විග්‍රහය ඉදිරිපත් කරන්නේ ඉතාම සංයුක්ත වූ කරුණු මතය. ඒය ආත්මගත විග්‍රහයක් නම් සුමනසිරි සහෝදරයා ‘ආත්මගත’යන්නට දෙන්නේ අළුත්ම තේරුමකි. ඔව්, 1917 ඔක්තෝම්බරය මනෝ පුබ්බංගයක් නම් සියල්ල මනෝ පුබ්බන්ගයන් ය. සුමනසිරි සහෝදරයා මහින්ද විදුහලේ ඉගෙනගන්න ඇති නොවැ. මනෝ පුබ්බංගමා ධම්මා – මනෝ සෙට්ටා මනෝ මයා!

චීනයේ නිර්ධන පංති ආඥාදායකත්වය –


කියුබාව සම්බන්ධයෙන් සුමනසිරි සහෝදරයා වැටී ඇති හැනිසියානු කක්කුස්සි වලේ ස්වරූපය මම ඉහත පැහැදිලි කළෙමි. මීලඟට අපි චීනය දෙසට හැරෙමු.


චීනයේ 1926/1927 වහා පාජයෙන් පසුව කොමියුනිස්ට් පක්ෂය තුල දැඩි විරෝධයක් මතු විය. ඒම විරුද්ධත්වය පෙන්වූ නායකයින් අතර මාඕ සේතුං ද විය. මාඕ සේතුං ඒ් වන විටත්පක්ෂයේ ගොවිජන අංශයේ ප්‍රධානියෙකු විය. ගැමි ගොවියන් අතර මතුවී ඒන්නා වූ අරගලකාරී තත්ත්වය ඉදිරියට ගෙන යාමේ අවශ්‍යතාවය ඔහු පක්ෂය තුල මතු කළේ ය. පක්ෂය තුල විශාල පහර ගැසීම් වලට ඔහු ලක් වූයේ මුත් අන්තිමේ දී ඔහු ජය ගත්තේ ය. ඒ් ඔහු ඉදිරිපත් කල ඉදිරි දර්ශණය නිවැරදි වූ නිසා නොවේ. මෝස්කව් ස්ටාලින්වාදීන් දුන්නා වූ උපදෙස් අනුව ඒ වන විට අතිවාම ලෙස නගරවල බලය ගැනීමට පක්ෂය ගත් ප්‍රයත්නය අසාර්ථකව බිඳවැටෙමින් තිබුණ නිසාය. ගමේ පාලනය නතුකර ගැනීමට මාඕ ඉදිරිපත් කළ අදහස මොස්කම් විදේශ ප්‍රතිපත්තියට අතිශයින් ගැලපෙන්නක් විය. මාඕ හිස ඒසෙව්වේ මොස්කව් අනුග්‍රහයෙනි. එහෙත් සුමනසිරි සහෝදරයා කියන්නේ මෙසේ ය.


“මාඕ සේතුංගේ චීන කොමියුනිස්ට් පක්ෂය ගොවිජන පක්ෂයක් විය. වැඩපිලිවෙල, සංයුතිය, දර්ශණය යන හැම වැත්තෙන්ම ගත් විට එය ගොවි සංවිධානයකි.”


මෙය තනිකරම ස්ටාලින්වාදී පක්ෂයක් ගැන ඉතාම සරළ වටහා ගැන්මක් තුලින් කරන්නා වූ වල්බූත කථාවකි. ස්ටාලින්වාදී පක්ෂයක හරය වන්නේ රුසියාවට (නැත්නම් දැන් චීනයට, කියුබාවට ආදී වශයෙන්) ගැතිකම් කරන්නාවූ ඒම නිලධාරී තන්ත්‍රයේ ඒ්ජන්තවරු පිරිසකි. වැඩපිලිවෙල, සංයුතිය හා දර්ශණයන් යන හැම දෙයකටම වඩා ඒහි මූලිකම ස්වරූපය මේ ප්‍රතිවිප්ලවවාදී ඒ්ජන්තකාර භාවයයි. මේ අතකොළුවට වටා යම් ජන පදනමක් තනා ගැනීමට ස්ටාලින්වාදය නිරන්තරයෙන් පෙළඹෙයි. විශේෂයෙන්ම කම්කරු පංතිය තුල පදනම් වීමට ඔවුන් ක්‍රියා කරයි. එවන් පන්ති පදනමක් දිනාගත් කල්හි, එවන් පක්ෂයක් කම්කරු පක්ෂයක් යයි අපට කිව හැක්කේ එය පංති තීරුවක් දිනාගත් හා පංතියේ පීඩනයට හසුවන සංවිධානයක් නිසා පමණි. එහෙත්, එය මූලික වශයෙන් ස්ටාලින්වාදී නිලධරයේ ඒජන්ත සංවිධානයකි. මොනයම් බලපෑමකට අසු උවත්, එම නිලධරයේ ඒජන්ත තත්ත්වයෙන් ඔබ්බට ඒය ගමන් කරන්නේ නැත. යම් තත්ත්වයන් යටතේ එම නිලධරයෙන් බිඳීමක් කරා ගමන් ගත්තොත් මතු වන්නේ සාමාන්‍ය සමාජ ප්‍රජාතන්ත්‍රවාදී සංවිධානයකි. ඉංදියාවේ මාක්ස්වාදී කොමියුනිස්ට් පක්ෂය මෙයට උදාහරණයකි. ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, කෙතරම් ජන පදනමක් තිබුණත් නිලධරයේ ඒ්ජන්තභාවයෙන් සම්පූර්ණ වූ සංවිධානයකි.


මෙවැනි, හරයෙන් ස්ටාලින්වාදී ඒ්ජන්තයන්ගෙන් සමන්විත වූ කොමියුනිස්ට් පක්ෂයක්, කම්කරු පංති පදනම මත ගොඩ නැගෙනවා වෙනුවට ගොවීන් අතර හෝ හමුදා නිලධාරී අතර හෝ ගොඩ නැගෙන්නට පුළුවන. එවන් පක්ෂයක් ඒම පංති පදනමේ බලපෑමට යම් යම් ප්‍රමාණයකට හසු වුවත්, එහි “වැඩ පිලිවෙල, සංයුතිය, දර්ශනය” තීන්දු වන්නේ ඒම බලපෑමෙන් නොවේ. ඒය තීන්දු වන්නේ ස්ටාලිවාදී නිලධරයේ උවමනාව අනුවය. මොස්කව් (හෝ චීන) නිලධරයේ ඕනෑ එපාකම් අනුවය. මේ මූලික උවමනාව ඉටු නොවන්නේ නම් ඒවන් සංවිධානයක් අත්හැර දැමීමට හෝ බිඳ දැමීමට රුසියන් (හෝ චීන) නිලධරය පියවර ගනු ඇත. අනෙක් අතට එවන් සංවිධානයක් යම් ලෙසකින් බලයට පැමිණියහොත් උත්සාහ කරන්නේ රුසියාව් නිලධාරීවාදී ආකෘතිය යටතේ රාජ්‍යයක් බිහි කිරීමටය.

නිලධරයේ පැවැත්ම හා එහි ව්‍යාප්තිය එහි මූලික වුවමනාවයි. මෙම උවමනාව කම්කරු රාජ්‍යයක් ස්ථාපිත කිරීමට අනියම් වශයෙන් ක්‍රියා කරයි. නැගෙනහිර යුරෝපයේ කම්කරු රාජ්‍යවල ව්‍යාප්තියට ප්‍රධාන හේතුවද එයයි.


මාඕගේ පක්ෂය මේ අනුව කම්කරු හෝ ගොවි හෝ පක්ෂයක් වන්නට පෙර ස්ටාලින්වාදී නිලධාරිවාදී ඒ්ජන්ත සංවිධානයකි. චීන කොමියුනිස්ට් පක්ෂය 1930 පමණ වන තෙක් කම්කරුවන් අතර මූලිකව වැඩ කල අතර ඉන් පසුව දුගී ගොවීන් අතරින් තනා ගත් රතු හමුදාවේ නායක සංවිධානය ලෙස ක්‍රියා කළේය. ඒ වන විට ස්ටාලින්වාදීන් ග්‍රහණයට දැඩි ලෙස හසුවී තිබුණ චීන කොමියුනිස්ට් පක්ෂය සෝවියට නිලධරයේ බලල් අතක් මෙන් විය. රතු හමුදාවේ මුළු අධිකාරයම අල්ලා ගෙන සිටියේ මේ ස්ටාලින්වාදී නිලධාරීවාදී පක්ෂයයි. ඇත්ත වශයෙන් ඒහි ප්‍රධාන නායකයින් 1926/27 කම්කරු අරගලය තුලදී ද පෙරමුණට ආ කොටස් ය.


චීනයේ ස්ටාලින්වාදීන්ගේ බලය ඇරඹුනේ 1949 දී නොවේ. චීනයේ රතු බලය දිග ඇරුණු ආකාරය ගැන කිසිඳු වගවිභාගයක් නොකල ලාමකයෙකුගේ කියමනක් ලෙස ඒය සලකන්නට අපට සිදුවේ. මාඕ තම බලය පිහිටවූ පළවෙනි ප්‍රදේශය වූයේ චියැංසි පෙදෙසයි. ඒ් 1931 නොවැම්බර් 07 වෙනිදා ය. ඔහු එහි සෝවියට් සමූහාණ්ඩුවක් යැයි බලයක් පිහිටුවාගෙන දැඩි ඉඩම් ප්‍රතිසංස්කරණයක් ද ගෙන ගියේ ය. එහෙත් 1934 නොවැම්බර් 10 වන විට චියැං කායි ෂෙක් ජර්මන් ජනරාල්වරයකුගේ උපදෙස් පිට එම කුඩා පෙදෙස වටකර පහර පිට පහර දීමෙන් එය යටපත් කළේය. එය බිඳවැටුනේ ට්‍රොට්ස්කි විසින් ඉතාම නිවැරදිව පෙන්නා දුන් ලෙසටම ය. දීර්ඝ පාගමන ඇරඹුනේ මේ වැටීමෙන් පසුව ය. හැතැප්ම 6000 ක් ගමන් ගත් මේ හමුදාවට 100,000 පමණ සිටිය අතර ෂෙන්සිවලට යන විට ඉතුරු වූයේ 20,000 ක් පමණි. ඔවුන් ෂෙන්සි වලට ලඟා වූයේ 1935 දී ය. මේ වන විට ජපන් ආක්‍රමනය උග්‍රවී තිබුණු අතර, ජපනුන්ට විරුද්ධව අරගලය වෙනුවෙන් මූලිකව යොමු නොවීම ගැන චියැං කායි ෂෙක්ට විරුද්ධව ඔහුගේම කොටස් නැගී සිටින්නට විය. පරාජයෙන් පසු බැස සිටි මාඕ ඇතුළු ස්ටාලින්වාදී නායකයින් ද එකඟත්වයක් සඳහා සියළු උත්සාහයන් දැරූහ. ඇත්තවශයෙන් එම එකඟත්වය 1937 වන විට ඔවුන්ට ලබාගත හැකි විය. කොමින්ටර්නයේ උපදෙස් පිට මෙලෙසට ඔවුන් අතිවාමවාදී වූ ඒකවර සමාජවාදී වූ සමූහාණ්ඩුවක් පිහිටුවීමේ පෙර ප්‍රතිපත්තියේ සිට ගමන් ගත්තේ අනතුරුදායක ලෙස චියැං කායි ෂෙක්ට අනුගතවීමේ දිසාවටය. එහෙත් රතු හමුදාව චියැං කායි ෂෙක් අනසක යටතට යට කිරීමේ කොන්දේසිය මාඕ ඇතුළු ස්ටාලින්වාදීන් පිලිපැද්දේ නැත. අනෙක් අතට ඉඩම් ප්‍රතිසංස්කරණය වෙනුවෙන් ගෙන ගිය දැඩි පිළිවෙත අත්හැර දමා, අඳ ගෙවීම් අඩු කිරීමට පමණක් සීමා විය.


ජපන් විරෝධී යුද්ධය, 1937 සිට ඒ්කාබද්ධ පෙරමුණ මගින් කෙරුණ අතර, චීනය පුරා බල පෙදෙස් දෙකක් වැඩී යන්නට විය. රතු හමුදාවට හසුවූ පෙදෙස් පාලනය වූයේ රතු හමුදාව පදනම් වූ බල අධිකාරයක් මගිනි. මේ නම්බන්ධයෙන් තොතුරු විවිධ ආකාරයෙන් පලවී ඇති අතර ඇමරිකාවේ MIT ආයතනය මගින් පලකර ඇති “චීනයේ ඉදිරි දර්ශනයන්” නැමැති පොත W.W. Rostow සහ තවත් අය (W. W. ROSTOW and others. The Prospect for Communist China. – සංස්කාරක) තොරතුරු ඉදිරිපත් කිරීම සඳහා මම යොදා ගනිමි. ඇමරිකානු පාලකයින්ට චීනයේ තත්ත්වය ගැන නිවැරදි කරුණු ඉදිරිපත් කිරීමට සකස් කල පර්යේෂන ග්‍රන්ථයක් වූ මේ පොත තොරතුරු බලා ගැන්ම උදෙසා බෙහෙවින් ප්‍රයෝජනවත්ය. ඒහි මෙසේ සඳහන් වේ.


“1937 එකඟත්වයෙන් මතු වූයේ තමන් අතර ගැටුම් වලින් මිඳී සිටීමටත්, පොදු සතුරාට ඒක්ව පහරදීමටත්, බල අධිකාර දෙකක් අතර හඳුනා ගැනීමත් ය. එක් බලයක් ආකාරගත ලෙසට ස්වාධීන වූ අතර, අනෙක් බලය යම් විචල්‍ය වූ සීමාවන් තුල ස්වාධීන විය” ‘චීනයේ ඉදිරි දර්ශණයන්’ – 47 පිට
චීනයේ රතු බලය මෝරා ආවේ මෙසේ ය:-

වර්ෂය වර්ග සැතපුම්ජනගහනය
193730,0002,000,000
1945300,00095,000,000

මේ අනුව 1945 වන විට චීන ජනගහනයෙන් 20% හෝ 30% අතර වූ පිටිසර බද වූ විශාල පෙදෙසක පාලනය රතු හමුදාව ඇතුළු ස්ටාලින්වාදී බල අධිකාරිය‌ට අයත් විය. එම පෙදෙස්වල කුවෝමින්ටෑන් (Kuomintang) හා ධනපති බලය බිඳ දමා රතු හමුදාව පදනම් වූ පාලනය් ගොඩ නැගූ නමුත්, සමාජ පෙරලියක් ඇති වූයේ නැත. ඉඩම් ප්‍රතිසංස්කරණයක් නොවූ අතර, අඳ ගොවීන්ට සහන ලැබීම, ජපනුන්ට පක්ෂවූවන් ඉවත් කිරීම, නිලධාරීමය ධනපතියන් යයි නම්කල විශාල ධනපතීන් අහෝසි කිරිම, වැනි අවම වැඩ කොටසක් පමණක් ක්‍රියාත්මක විය. ඇත්ත වශයෙන් සමාජ ආර්ථික තේරුමෙන් කුවෝමින්ටෑන් පෙදෙස්වලට වඩා වෙනස් වූයේ වඩා මධ්‍යගත පාලනයක් ඇති වීමෙන් හා අධිරාජ්‍යවාදීන්ට ඇති වූ අවහිරකම් වලින් පමණි. මේ අනුව 1945 වන විට ඉතාම පැහැදිලිව පැවතුනේ පෙදෙස් ලෙස බෙදී ගිය බල දෙකක් අතර තුලනයකි. එය නව පන්නයේ යුගලබල අවධියක් විය.


යුද්ධය අවසන් වීමත් සමඟ චියැං කායි ෂෙක් මතුපිටින් බලවත් ලෙස පෙන්නුම් කර ඇතත් ඔහුගේ රජය ඇත්තටම මුළුමනින්ම ගරා වැටුනු බලයක් විය. අනෙක් අතර ඇමරිකානුන් බලපොරොත්තු වූයේ ඉක්මණින් ඉවත් වීමට මිස, දියුණු ධනපති රටවල් කලබල තිබියදී දිගින් දිගට යුද්ධයකට පැටලී සිටීමට නොවේ. මේ ගරා වැටෙන ධනපති බලය සමඟ හොඳහිත පවත්වා ගනිමින් බල බෙදා ගනිමින් සභාග ආණ්ඩුවක් ගසා ගැන්මේ බලාපොරොත්තුව ස්ටාලින්වාදීන්ගේ පළමු වටයේ උවමනාව විය. එහෙත් නැගෙනහිර යුරෝපයේ මෙන්ම චීනයේත් තමන්ට ලැබී තිබුණ බලතල නැතිකර ගැන්ම ස්ටාලින්වාදී නිලධරයට රුචි දෙයක් නොවීය. ඒය තුලින් වන්නේ තමාගේ වරප්‍රසාද නැතිවීම බව ඔවුන් වටහාගෙන සිටියහ. ඇත්තටම බංකොලොත් වූ චියැං කායි ෂෙක්ගේ ආණ්ඩුවට විරුද්ධව ඍජු සිවිල් යුද්ධය මතු වූයේ මේ නිසාය.


1949 රටේම ප්‍රධාන බලය මාඕගේ අනසකට යටත් වීමෙන් සිදුවූයේ යුගලබල අවධිය අවසන්ව නිර්ධන පංති ආඥාදායකත්වය, බොනපාට්වාදී බලයක් ලෙස රට පුරා තහවුරුවීම පමණි. ඒ වන විට ඇත්ත වශයෙන් අධිරාජ්‍යවාදයට විරුද්ධව අරගලයවත් අවසානයකට පත්ව තිබුනේ නැත. චියැං කායි ෂෙක් ගේ හමුදා විවිධ තැන්වල සටන් කල අතර ඇමරිකානුවන්ගේ තර්ජනය ගොඩ නැගෙන්නට විය. ගැමි සමාජයේ ප්‍රතිගාමී බලය බිඳ අවසන් වී තිබුනේත් නැත. මේ නිසාම 1949 සිට 1951 පමණ දක්වා කෙරී ගෙන ගියේ මේ අධිරාජ්‍ය විරෝධී ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයේ පරිසමාප්ත වීමයි. ඒතෙක් චීනයේ දී ඒය ධනපති විරෝධී සටන සමඟ සමීපව බැඳී තිබුණේ ය. ගැමි පෙදෙස්වල, රුසියාවේ මෙන් විශාල ඉඩම් හිමියන් සිටියේ නැත. ආසියාතික ගැමි සමාජයකින් ධනවාදයට සංක්‍රමණය වෙමින් තිබූ චීනයේ ගම, ඉඩම් හිඟකමින් දැඩි සෙල පෙළුන අතර, ගැමි නිර්ධනීන් සෑහෙන පිරිසක් මතුවී සිටියහ. ගමේ විශාල ඉඩම් හිමියන් වූයේ අක්කර 20 හෝ එයට අඩු ප්‍රමාණයක් අයත් වූ පැරණි ගම් ප්‍රභූන් ය. නැත්නම් ධනවත් ගොවීන් ය. චීනයේ ගැමි ගොවි විප්ලවය මුල සිටම ධනපති විරෝධී ස්වාභාවය දරණ බව ට්‍රොට්ස්කි කීවේ මේ නිසාය. මාඕ සේතුං මුල සිටම නැගී වැඩී ආවේ වැඩි වශයෙන් ගැමි නිර්ධනීන් මත පදනම් වූ බොනපාට්වාදී ආඥාදායකත්වයක් ලෙසය.


මෙය නගරයේ දී ධනපති බලයට යටත් වෙනු ඇතැයි ට්‍රොට්ස්කි පවා කල්පනා කළේ ය. එහෙත් ස්ටාලින්වාදීන් විසින් ඩැහැ ගත්තාවූ මේ බලය ඉහත දැක්වූ විශේෂ හේතූන් නිසාම ස්වාධීනව ස්ථාපිත වූ අතර, නගරයේ කම්කරුවන්ගේ අන්යම් සහයෝගය ලබා ගත්තේ ය. නගරයේ ධනපති පරිපාලන රටාව විනාශ කර දමා රතු හමුදාව වටා පාලනය සකස් කර ගනු ලැබී ය. මෙලෙසට චීනයේ දී නිර්ධන පංති ආඥාදායකත්වය ඉතාම පසුගාමී බොනපාට්වාදී ස්වරූපයකින් 1949 වන විට ස්ථාපිත විය.

13. චීන විප්ලවය හා ට්‍රොට්ස්කිවාදීන්: –


දැන් අපි සුමනසිරි සහෝදරයාගේ අදහස් විමසමු. ඔහුට අනුව 1949 දී චීනයේ නිර්ධන බලයක් බිහි වූයේ නැත. 1937 දී ෂෙන්සි සිට ක්‍රමයෙන් විශාල වූ රතු පෙදෙස්වල තිබුනේ කුමන බලයක්දැයි ඔහු සාකච්ඡා කරන්නේ නැත. 1945 වන විට පවා, ඇමරිකානුන්ගේ ඇස්තමේන්තු අනුව, චීනයේ හතෙරෙන් පංගුවක් තිබුනේ මේ බලය යටතේ ය. ඒ් ලංකාව මෙන් කිහිප ගුණයකින් විශාල වූ පෙදෙසක් ය. 1949 වන විට ඒනම් ප්‍රධාන නගරවල පවා ධනපති බලය සුන්කර දමා තිබුණා පමණක් නොව ඒතු හමුදාව වටා වූ නව පරිපාලනයක් සකස් වෙමින් පැවතුනි. ඒහෙත් සුමනසිරි සහෝදරයා මේ දේශපාලන – සමාජ පෙරලියට වැදගත් ලෙස සලකන්නේ නැත. ඔහු බලා සිටින්නේ ධනපති දේපොල අවසාන වන තෙක් ය.


සුමනසිරි සහෝදරයා තම අදහස් වලට ජීවය කැවීම උදෙසා 1952 දී තිබූ හතරවැනි ජාත්‍යන්තරයක් ගැන කථා කරයි. මේ කථා කරන්නේ කුමක් ගැන ද? ට්‍රොට්ස්කිවාදී ටෙඩ් ඇතුළු අනෙක් ට්‍රොට්ස්කිවාදීන් බලහත්කාරකම් කොට ඒලවා දැමූ නීච අමනයන් වූ හැන්සන් – මැන්ඩල් ආදීන් පවත්වාගෙන ගියා වූ පාළු අම්බලම ගැනය. මේ තුට්ටු දෙකේ මිනිසුන්ගේ අදහස් ගිල ගෙන නන් දොඩවන සුමනසිරි සහෝදරයාට ඒකක් මතක් කළ යුතුව ඇත. ඕනෑම චින්පන්සියෙක් වන්දනාමාන කරන්නට සුමනසිරි සහෝදරයාට පුළුවන. ඒය ඔහුගේ පෞද්ගලික වැඩක් ය. එහෙත් මේ අමනයන්ගේ විකාර අදහස් හතරවෙන් ජාත්‍යන්තරයේ හෝ ට්‍රොට්ස්කිවාදයේ අදහස් ලෙස දැක්වීම බලවත් වරදක් ය.


සත්තකටම ට්‍රොට්ස්කිවාදීන් චීනය ගැන කරන ලද විග්‍රහයන් නිවැරදි වන අතර ඉතාම වැදගත් අනාවැකි පවා පලකොට ඇත්තේ ය. 1951 ජූනි මාසයේ දී ස්ටාලින්වාදය ගැන ටෙඩ් ග්‍රාන්ට් සහෝදරයා ලියූ ලිපියක මෙසේ සඳහන් වේ. චීනයේ,


“කම්කරු පංතියේ හා නාගරික මධ්‍යම පන්තියේ අඩු තරමේ අක්‍රීය ඒකඟත්වයක් ඇතිව නගර අල්ලා ගත්තා වූ මාඕ ඇතුළු කණ්ඩායමට බොනපාට්වාදී ලෙසට පන්තීන් අතර තුලනයකට ඒන්නට හැකි විය. ඔවුන් අල්ලා ගත් පෙදෙස් වල ඉඩම් හිමියන් ක්‍රමානුකූලව ඉවත් කිරීමෙන් හා අයිතිකරුවන් “නිලධාරීමය ධනපතියන්” ලෙස හඳුන්වා බැර කර්මාන්ත. හා මූල්‍ය මධ්‍යස්ථානයන් ඒකවරම ජනසතු කිරීමෙන් ද අරඹා, බොනපාට්වාදී නිලධාරී පැලැන්තියකට, පංතීන් අතර උපාමාරු දමන්නට හැකි විය. (ව්‍යාපාරය මුලදී හැරුණු විට තමාට කෙලින්ම පාලනයකර යොදවා ගන්නට නො හැකි ගොවීන්ගේ හෝ කම්කරුවන්ගේ ස්වාධීන ව්‍යාපාරයන්ට ඉඩ නොදෙන්නට ඔවුන් වග බලා ගත්හ.) නිලධාරී පැලැන්තියක ගොඩ නැගීම හා තහවුරුවීම වන තෙක්, නව “NEP” අවදිකදී මෙන් තාවකාලිකව වෙළඳ හා කර්මාන්ත ධනේශ්වරය ඉවසා දරා සිටින්නට ඔවුන්ට සිදු විය.”


මෙලෙසට මුල සිටම ස්ටාලින්වාදීන්ගේ බලය ගොඩ නැගුනේ නිලධාරීමය කම්කරු ආඥාදායකත්වයක් ලෙසටය. 1936 දී ඉතාම ගැමි පෙදෙසක් වූ ඔවුන්ගේ ඔවුන්ගේ රතු බල ප්‍රදේශයේ ප්‍රධාන නගරය වූ පාඕ-ආන් වල මෙන්ම, කුඩා කාර්මික නගරය වූ චුච්චෙන් හා ‌තෙල් හා ගල් අඟුරු ආකර තිබුණු යුන්ග්පින්, යෙන්චෑන් නගර වලද සිටි ප්‍රමාණාත්මකව කුඩා කම්කරු පන්තිය සමඟ නිලධාරී පැලැන්තිය ඇති කර ගෙන තිබුනේ දැඩි සහයෝගීතා වැඩපිලිවෙලකි. ඇත්තවශයෙන් මේ කොටස් වලට විශේෂ වරප්‍රසාද දෙන්නට ඔවුන්ට සිදුවිය. (Red Star Over China-281 පිට ) ඔවුන්ගේ පෙදෙස් විශාල වීමත්, ප්‍රධාන නගරය යෙනාන් වීමත් සමඟ මේ තත්ත්වය තව දුරටත් වර්ධනය විය. 1949 වන විට ප්‍රධාන පෙලේ විශාල නගරවල කම්කරුවන් සටනට සහභාගී නූනත් දැක්වූයේ සහායකි. ඔවුන් බලාපොරොත්තු සහගත වූහ. ඒ් නිසා ස්ටාලින්වාදීන්ට කම්කරු පංතිය ආණ්ඩුවේ නායකයා හැටියට දේශපාලන වගකීම බාර ගත යුතු බවත්, ආර්ථික සහන වලට බර නොවිය යුතු බවත්, පෙන්වා ඔවුන් අවනත කර ගන්නට වෑයම් කරන්නට සිදු වියි. (Rostow – 226 පිට)


නගරයේ කම්කරු පංතියේ ස්වාධීන නැගිටීම් මරා දමන අතර, පන්තිය අවනත කර ගැන්මට ස්ටාලින්වාදී නිලධාරී තන්ත්‍රයට සිදු වූයේ නගරයේ ධනපති බලය සමඟ ඔවුන්ට හැපෙන්නට වූ නිසාය.


“ස්ටාලින්වාදී නිලධරයකට ධනපතියන් සමඟ බලය බෙදා ගැනීමක් ඉවසා සිටින්නට නොහැක. කුමක් නිසාද යත් ඒයින් ඔවුන් දුර්වල කොටස වී අන්තේවාසික තත්ත්වයට පත් කෙරෙන අතර, ඔවුන්ගේ ආදායම්, බලය හා වරප්‍රසාද අඩු වන්නේ ය” ‘චීනයේ ස්ටාලින්වාදය’ ටෙඩ් ග්‍රාන්ට් – (1951 දී)


රතු හමුදාව රැගෙන රටකට කඩා පනින රුසියානු නිලධාරී පැලැන්තියට එරට කම්කරු පංතිය මත පදනම් වෙමින් ධනපති බලය කඩා දමන්නටද දේපොල පවරා ගන්නට ද සිදුවන බව ට්‍රොට්ස්කි පෙන්වා දුන්නේ ය. එහෙත්, චීනයේ මාඕ සේතුංගේ රතු හමුදාව නගරයට පිවිසීම සමඟ එය බොහෝ දුරට ධනපති බලයට යට වන්නට හැකි බව ඔහු විශ්වාස කළේ ය. ( ‘චීනය ගැන’ ට්‍රොට්ස්කි – පිටු 505-527)


එසේ නිතීමට ඒ වන විට හේතු කිහිපයක් විය. ධනපති ක්‍රමයටම තාවකාලිකව තහවුරු වීමට ඇති ඉඩකඩ චීනය තුල අඩු නොවිනි. එයින් පිඹිදෙන කම්කරු පංතිය සංවිධානාත්මකව තලා දමනු ලැබුවහොත් නගර‌යේ නායකත්වය ධනපතිය පංතිය අතට යන්නේ ය. අනෙක් අතට චීන ස්ටාලින්වාදීන් ඒකාබද්ධ ඒ්ජන්ත සංවිධානයක් ලෙස ක්‍රියා කරනවාට වඩා ඒයින් බිඳීගොස් ගොවි නායකයින් මෙන් ස්වාධීනව ක්‍රියා කරමින් නගරයේ ධනවාදයට යටත් වන්නට පැවැති ඉඩ කඩයි. ඒ අතර කුවෝමින්ටෑන් වැනි (What Composition of KMT)අළුත් සංවිධාන ගොවීන් මත පදනම් වෙමින් ස්ටාලින්වාදීන් අභිබවා බලය ගැනීම හා එවන් තත්ත්වයකට රුසියාවෙන් ලැබෙන්නට හැකි විශාල පිටුබලයයි. එහෙත් එම අදහස් වලට ප්‍රතිවිරුද්ධව 1945 සිටම අපට පෙනී යන ප්‍රධාන කරුණ නම් විවිධ රටවල ස්ටාලින්වාදීන් ඒජන්ත පිරිසක් ලෙස අල්ලා ගත් බලය රුසියාව අනුකරණය කරමින් නිලධාරිවාදී ලෙස තහවුරු කර ගැනීමට දක්වන ප්‍රයත්නයයි. මේ අනුව නිගමනය වන්නේ කුමන ආකාරයකට බලය ගත්ත්තේ වී මුත් ස්ටාලින්වාදී කල්ලියක් රුසියාවේ පිටුබලය මත සිට උත්සාහ කරන්නේ පියවරෙන් පියවර නිලධාරීමය නිර්ධන පංති ආඥාදායකත්වයන් ගොඩ නැගීම කරා ගමන් කරන බවයි. ඒ වන විට තිබූ ජාත්‍යන්තර ධනවාදයේ පොදු කඩා වැටීම මෙම ප්‍රයත්නයන්ට පසුබිම සැකසී ය. එ් අතරම කම්කරුවන්ට සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී ඉඩක් නොදුන්නත්, ඔවුන්‌ට බොනපාට්වාදී ලෙස කම්කරුවන් මත පදනම් වන්නට සිදු වූයේ ය.


මේ අනුව, 1949 චීනයේ ඇති වන්නේ ස්ටාලින්වාදී කම්කරු රාජ්‍යයකි. ඔවුන්ගේ වැඩපිලිවෙල ධනවාදයට එහා යන්නට එදා නොසිතා සිටීම මගින් එහි වෙනසක් වූයේ නැත. එහෙත් බලය ගත්තාවූ ස්ටාලින්වාදීන්ට, අධිරාජ්‍ය විරෝධී සටන හා ඉඩම් හිමි විරෝධී සටන අවසන් කර නවතින්නට‌ හැකි වූයේ නැත. ක්‍රමසම්පාදනයක් යටතේ වූ ජනසතු, සමූහ හා සමූපාකාර වූ දේපොල ක්‍රමයක් දක්වා යන්නට සිදු විය.


අමන හැන්සනයාට අනුව 1949 සිට 1954(?) දක්වා චීනයේ කම්කරු රාජ්‍යයක් නැත. ඔහුට හා ඔහු අදහන සුමනසිරි සහෝදරයාට අනුව එය එසේ වන්නේ බලයේ සිටින ස්ටාලින්වාදීන්ගේ අදහස් ගැන විශ්වාසයක් නැති නිසාය! මීටත් වඩා මනෝමූල විකාරයක් තිබිය නොහැක. සත්තකටම මාඕවාදීහු තම පාලනය යටතේ වුවද ධනවාදය පවත්වා ගෙන යන්නට කල්පනා කලා පමණක් නොව ඒ් වෙනුවෙන් සියළු උත්සාහද දැරුවෝය. ඊනියා ජාතික ධනපතියන්ට පක්ෂයක් ද සොයා දුන්හ.

එහෙත්, එම එකකින්වත් චීනයේ සමාජ දේශපාලන විප්ලවය, එනම්, ධනපති රාජ්‍ය යන්ත්‍රය විනාශ වී ස්ටාලින්වාදී කම්කරු රාජ්‍යයක් බිහිවීම යන වෛශයික සත්‍යය අහෝසි වන්නේ නැත. ඒ් නිසා 1971 පැරිසියේ මෙන්ම, 1917 ඔක්තෝම්බරයේ රුසියාවේ මෙන්ම 1949 සැප්තැම්බරයේ චීනයේ ද පැවතුනේ කම්කරු පංති ආඥාදායකත්වයක් ය.


චීනයේ “කම්කරු ගොවි ආණ්ඩුව” කිසි විට තිබුනේ නැත. දිගින් දිගට අප පෙන්වා දුන් ලෙසට මෙම ප්‍රසාද ජනක හැඳින්වීම අප දෙන්නේ ඇත්තටම කම්කරුවන් හා ගොවීන් මැදිහත්වීමෙන් හදන ආණ්ඩුවක් ඇත්නම් පමණක් ය. එය යතාර්ථයක් වන්නේ නිර්ධන පංති ආඥාදායකත්වය පිහිටුවන්නට හැක ප්‍රජාතන්ත්‍රීය ක්‍රමය හැටියට පමණක් ය. ඒ අනුව එය නිර්ධන පංති ආඥාදායකත්වයේ ම එක් ස්වරූපයක් පමණි. ඒසේ නැතිව වෙනත් “කම්කරු ගොවි ආණ්ඩුවක්” තිබිය නොහැක. එය දේපොල ජනසතු කිරීම උඩ පදනම් වන්නාවූ සූත්‍රයක් නොවේ. සටන් පාඨයක් හැරුණු විට ඒයට සංකල්පමය වශයෙන් දෙන්නට හැකි ඒකම තේරුම 1917 ඔක්තෝම්බර් විප්ලවයෙන් පසුව 1918 ඔක්තෝම්බරය දක්වා දුන් තේරුම පමණි. ඒ් අනුව “කම්කරු ගොවි ආණ්ඩුව” චීනයේ තිබුණායයි කිව හැක්කේ අමන හැන්සනයාගේ දිරච්ච ලනු ගිල්ල අයට පමණි.


මෙතැන දී කියුබාවටත් වඩා පටලැවිල්ලක් සුමනසිරි සහෝදරයා ඇති කරයි. ඔහුට අනුව චීනයේ 1949 බලයට එන්නේ ගොවි පක්ෂයක් ය. කම්කරුවන් කරන්නේ ඈතට වී අප්පුඩි ගසන එකය.

එසේම ආණ්ඩුවේ වැඩපිලිවෙලද ධනවාදී සීමාව තුලය. එසේ නම්, ඇයි මෙයට “කම්කරු ගොවි ආණ්ඩුවක්” කියන්නේ? මෙයට ඇති කම්කරු සම්බන්ධය කුමක් ද? ස්ටාලින්වාදීන් විසින් තමා කම්කරු පක්ෂයක් යැයි හඳුන්වා ගැනීම ද? අමන හැන්සනයා සුමනසිරි සහෝදරයා දමා ඇත්තේ මාර මඩවලකය. මාඕ සේතුංට “කම්කරු” සහතිකය දෙන්නේ අමන හැන්සනයා සමඟ සුමනසිරි සහෝදරයා ම ය. සුමනසිරි සහෝදරයා තම “න්‍යාය” නිර්භීතව ඉදිරිපත් කරනවා නම් කිව යුත්තේ චීනයේ 1949 සිට 1950 ගනන්වල මැද භාගය දක්වා තිබුනේ “ගොවි ආණ්ඩුවක්” බවයි. ඇයි කුලෑටි? ඇයි හොර? කියන්න කියන්න එය “ගොවි ආණ්ඩුවක්!” කියා.

14. සුමනසිරිගේ නව ප්‍රජාතන්ත්‍රවාදය: –


කියුබානු හා චීන විප්ලව පිලිබඳ සාකච්ඡාව දීර්ඝ ලෙස කිරීමෙන් පසුව යුගෝස්ලාවියාව ගැන දිගට කථා කිරීම අවශ්‍ය නැත. ඒහි කම්කරු රාජ්‍යයක් ඇති වූයේ ස්ටාලින්වාදීන් විසින් කම්කරු පංතිය මත පදනම්ව ධනපති බලය විනාශ කොට බලය ගත් විටය. එය සිදුවූයේ 1945 නොවැම්බර්යේ යි.

සුමනසිරි සහෝදරයා “ස්ටාලින්වාදී යුගෝස්ලාවියාවේ කොමියුනිස්ට් පක්ෂය එදා ධනේශ්වරය පෙරලා දැමීමට ගමන් කරන බවට පැවැති සහතිකය කුමක් දැ” යි මගෙන් ප්‍රශ්න කරයි. හරියටම නම් කිසිම සහතිකයක් නැත. පැරිසියේ පෘදොන්වාදීන්ට හා බ්ලාන්කිවාදීන්ට සහතික දීමට මෙන්ම මොවුන්ට ද සහතික දෙන්නට අපට බැරිය. නිර්ධන පංති ආඥාදායකත්වයක් ඇති කල පමණින් ඒය දේපොල පවරා ගැන්ම දක්වා ගමන් කොට සමාජ ආර්ථික තලයේ ද විප්ලවය තහවුරු වේ යයි කියන්නට බැරිය. බලයේ ඉන්න ස්ටාලින්වාදීන් දෙස බැලූ විට වැ‌ඩේ තනිකර අඩමානය.


එහෙත් මේ සියල්ල නිසා, ඇතිවී තිබෙන බොනපාට්වාදී නිර්ධන බලය අහෝසි වන්නේ කෙසේ ද? එය දේශපාලන වශයෙන් බිඳ වැටෙන තෙක්ම එය යථාර්ථයක් වන්නේ ය. මා මීට පෙර පෙන්වූ ලෙසට නිර්ධන පංති ආඥාදායකත්වය මූලිකව සමාජ-දේශපාලන යථාර්ථයක් ය. අප බැලිය යුත්තේ මෙම සමාජ දේශපාලනික සාධකය මතුවී ඇද්ද නැද්ද යන්න පමණි.


රුසියාවේ -කියුබාවේ – චීනයේ හෝ නිකරගුවාවේ වේවා නව යටත් විජිත විප්ලවය ගමන් ගන්නා ආකාරය පැහැදිලිය. අධිරාජ්‍යවාදී ධනපති බලවේගය බිඳ වැටෙනවාත් සමඟ ඇති වන්නේ නිර්ධන පංති ආඥාදායකත්වයේ අභියෝගයයි. ඒහෙත්, බොහෝ විට නිර්ධන පංතිය හා ගැමි ජනයා මත පදනම් වන නායකත්වය, ගරා වැටෙන ධනපති පාලනය සමඟ සම්මුතියක් ඇති කර ගනී. මෙය ඇති කරන්නේ යුගල බල අවධියකි. මෙය විවෘත ලෙස හෝ ගුප්ත ලෙස පවතින්නට හැකිය. ඒනම් ට්‍රොට්ස්කි කී ලෙසට ගමන් ගන්නේ බල රහිත අවධියකට ය. තරඟකාරී අවධියකට ය. එය අවසන් වන්නේ එක්කෝ ධනපති පංතිය නැවත තහවුරු වීමෙනි. නැත්නම් කම්කරු බලය තහවුරු වීමෙනි. විශේෂ හේතූන් මත වැරදි නායකත්වයක් යටතේ උවද, නිලධාරීමය බොනපාට්වාදී ස්වරූපයෙන් වුවද, බල රහිත තත්වයක් තුලින් කම්කරු පන්ති ආඥාදායකත්වයන් ඇති විය හැක්කේ ය.


ස්ටාලින්වාදීන් දිගින් දිගටම විරුද්ධ වූයේ අධිරාජ්‍යවාදී ධනපති බලය බිඳවැටීමෙන් පසු මතු විය හැකි එකම බලය නිර්ධන බලය පමණක්ය යන ට්‍රොට්ස්කිවාදී මතයටයි. ගොවි ජනතාව අමතක කිරිමක් ලෙස ඔවුන් ඒය අර්ථ දැක්වූහ. ඒහෙත් ඇත්තටම අපගේ මතය වූයේ ගොවි ජනයාගේ උවමනාව ඉටු කල හැක්කේ නිර්ධන බලය පිහිටුවීමෙන් පමණක් බවය. මෙතැන ඇත්තේ ගොවි ජනයා අමතක කිරිමක් නොව ගොවි ජනයා ගැන ඇත්ත තක්සේරු කිරීමක් පමණක් ය. ඒසේම ගොවි ජනයාගේ උවමනාව ඉටු කිරීම වෙනුවෙන් පංතිය ගත යුතු පියවර වටහා ගැනීම ය.


ස්ටාලිනිවාදීන් මෙයට විරුද්ධව ඉදිරිපත් කරන්නේ අධිරාජ්‍යවාදී ධනේශ්වර බලය බිඳ අධිරාජ්‍ය විරෝධී ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවය ඉදිරියට ගෙන යන, එහෙත් නිර්ධන පංති ආඥාදායකත්වයක් නොවන්නාවූ කම්කරු ගොවි ආණ්ඩුවක් ඇකි කල හැකි බවය. ඒයට ඔවුහු “විප්ලවකාරී ප්‍රජාතන්ත්‍රවාදය”, “නව ප්‍රජාතන්ත්‍රවාදය”, “මහජන ආණ්ඩුව” ආදී වූ විවිධ නම්ද භාවිතා කරති.

එහෙත් ඔවුහු එකක් අවධාරණය කරති. එනම් එය පංති ආඥාදායකත්වයට යන ගමනේ දී ඊට පෙර මතුවන අවධියක් වන බවයි. එය කම්කරුවන්ට අමතරව ගොවීන් සහිත සුළු ධනේශ්වරය බලයට ගෙන්වන ආණ්ඩුවක් ය. මේ නිසාම ඔවුන් එවැනි තත්ත්වයක් තහවුරු කරන්නට උත්සාහ ගනිති. නමුත්,ඉතිහාසය පුරාම පෙන්වා දෙන්නේ, මේ නිසා ඇත්තටම සිදු වන්නේ යුගල බල අවස්ථාව ඒ අයුරින්ම තහවුරු කරන්නට උත්සාහ දැරීමක් පමණක් බවයි. මෙය ඊලඟට යොමු වන්නේ නිර්ධන බලය ස්වාධීනව ගොඩ නැගීමට විරුද්ධව ගමන් කර විප්ලවයට විරුද්ධව ක්‍රියා කිරීමටය.


ඊලඟට ස්ටාලින්වාදීන් දිගින් දිගටම පෙන්වන්නට උත්සාහ කලේ ඉහත කී අන්දමේ “කම්කරු ගොව් ආණ්ඩු” විප්ලවකාරී ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු බවය. ඒනම්, ඒවා ජාතික ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයේ වැඩ කටයුතු අවසන් කරන බවය. එමඟින් කම්කරු – සමාජවාදී විප්ලවයට ඉඩ පාදා දෙන බවය. එහෙත් ඉතිහාසය පෙන්වන්නේ නිර්ධන පංති ආඥාදායකත්වය යටතේ මිස ජාතික ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවය සම්පූර්ණ නොවන බවය. එසේම ඊනියා කම්කරු ගොවි ආණ්ඩු ඇත්තටම ධනපති ප්‍රතිවිප්ලවයට පාර කපන බවය. කුමක් නිසාද යත්, කම්කරු පංතියත්, ධනපති පංතියත් අතර කඹ ඇදිල්ල පවතින යුගල බල අවධිය, ඊනියා කම්කරු ගොවි ආණ්ඩු සංකල්පය යටතේ ස්ථාවර කරන්නට යෑමෙන් කම්කරු පංතිය හිරිවැටී යමින් ධනපති පංතිය ඉදිරියට එන නිසාය.


දැන් සුමනසිරි සහෝදරයා අපට කියන්නේ මෙය ස්ටාලින්වාදය නොවන බවය. එය ට්‍රොට්ස්කිවාදය වේ. නිර්ධන පංති ආඥාදායකත්වයට පෙර ඇති වන කම්කරු ගොවි ආණ්ඩුවක් ගැන ට්‍රොට්ස්කි හරියටම නොකීවා මුත් තැතනුවේ එය කියන්නටලු. එය වටහා ගත් හැන්සන් (පසුගිය යුගයේ ජීවමාන ට්‍රොට්ස්කි!) අප ගැන කරුණා මෛත්‍රීයෙන් එය පහදා දී තිබේ. ඒ වෙනුවෙන් සුමනසිරි සහෝදරයා සංක්‍රමණීය ක්‍රියා මාර්ගයෙන් “කම්කරු ගොවි ආණ්ඩුවක්” යන්න ගෙන හැර පායි.
එහෙත් මේ තර්කය අමන හැන්සනයාටම ගැලපෙන බව මම මීට පෙරද පෙන්වා දුන්නෙමි.

ඇත්තවශයෙන් ට්‍රොට්ස්කි එම මුළු පරිද්ජේදයම ලියා ඇත්තේ “කම්කරු ගොවි ආණ්ඩුවක්” යන සටන් පාඨය නිර්ධන පංති ආඥාදායකත්වය හැර වෙන ආණ්ඩු සංකල්පයක් වෙනුවෙන් යෙදීමට විරුද්ධවය. [The Death Agony of Capitalism and the Tasks of the Fourth International – (The Transitional Programme – by Trotsky) Published by “World Books” Oct: 1978 – ‘Workers Pages 43 to 46) සංස්කාරක] ඉතා පරිස්සමෙන් ඒ වෙනුවෙන් කරුණු ඉදිරිපත් කරන ට්‍රොට්ස්කි සහෝදරයා, ඉතාම විරල වූ නිර්ධන පංති ආඥාදායකත්වයක් නොවන ඒහෙත්, සුළු ධනේශ්වර නායකයින් මොහොතකට ධනපති පංතියෙන් වෙන් වීම නිසා කම්කරු ගොවි ආණ්ඩුවක් යන අවදානම් තත්ත්වය කෙසේ හෝ කොයි මොහොතක හෝ මතු වුනත් ඒය සැබෑ නිර්ධන පංති ආඥාදායකත්වයකට යන ගමනේ කෙටි සිද්ධියක් පමණක් බව අවධාරණය කරයි. ඒසේම ට්‍රොට්ස්කිගේ මූලික අරගලය වූයේම එවන් අහම්බ සිද්ධියක හැකියාම දඩමීමා කරගෙන අධිරාජ්‍ය විරෝධී ප්‍රජාතන්ත්‍රවාදී යුගයක් පෙන්වන “කම්කරු ගොවි” ආණ්ඩුවක් ඇති වන්නේ ය යන අදහස පැතිරවීමට විරුද්ධවය. ඒ අතරම කම්කරු ගොවි ආණ්ඩුවක් යන සටන් පාඨය, අවස්ථාවාදීන් එලිදරව් කරමින් ජනතාව ඉදිරියට ගෙන යෑම උදෙසා අතිශයින් වැදගත් බව පෙන්වීම වෙනුවෙන් එම පරිච්ඡේදය යොමු කරයි. ධනපතියන්ගෙන් වෙන් වන ලෙසට අවස්ථාවාදීන්ට හා සුළු ධනේශ්වර නායකයින්ට බල කිරීමෙන් ඔවුන් හා ඔවුන් පසුපස සිටින ජනතාව අතර, බිඳීමක් ඇති කල හැකි බව ට්‍රොට්ස්කි පෙන්වා දෙයි.


අමන හැන්සනයා සමඟ එක්වන සුමනසිරි සහෝදරයා ස්ටාලින්ගේ අවදි දෙකේ විප්ලවය පොලිෂ් කර අපට පෙන්වන්නේ ඉහත කී ට්‍රොට්ස්කිගේ අරගලයට විරුද්ධව ය.

15. සුළු ධනේශ්වර හා ගොවි පක්ෂ: –


සුමනසිරි සහෝදරයාගේ වැරදි මතවාදය ඉතා සමීපව බැඳී පවතින්නේ සුළු ධනේශ්වර පක්ෂ පිළිබඳ වැරදි අදහස් සමඟ බව මීට පෙරද අප විසින් පෙන්වා දෙන ලද්දේ ය. මේ ලිපියේ ද එය අනියම් ලෙස සුමනසිරි සහෝදරයා මතු කරයි. චීන කොමියුනිස්ට් පක්ෂය 1949 දී ගොවි සංවිධානයක් යැයි ඔහු කියයි. නිකම් නොවේ. සංයුතිය, ඉදිරි දර්ශනය ආදී සෑම අයුරකින් ම ය. එසේම සුමනසිරි සහෝදරයා ට්‍රොට්ස්කි “සුළු ධනේශ්වර පක්ෂය” ලෙස යම් සංවිධාන නම් කර ඇති බව අපට උජාරුවෙන් අත දික්කර පෙන්වයි. කාලයේ හෝ අවකාශයේ පැවතිය නොහැකි මේවා ගැන ට්‍රොට්ස්කි සඳහන් කළේ කෙසේ දැයි ඔහු අසයි. ඇත්ත වශයෙන් සුමනසිරි සහෝදරයා මෙතැනදී කථා කරන්නේ ලක්සිරි ප්‍රනාන්දු වෙනුවෙන් ය. මා ලක්සිරි ප්‍රනාන්දුට පිළිතුරු වශයෙන් සඳහන් කළ කරුණු අවුල් කර ඉදිරිපත් කරන්නට සුමනසිරි සහෝදරයා උත්සාහ කරයි.


ට්‍රොට්ස්කි සහෝදරයා මේ ගැන ඉතාම නිරවුල්ව අපට කරුණු පැහැදිලි කර තිබේ. (ජර්මනියේ ෆැසිස්ට්වාදය පොත බලන්න) බැලූ බැල්මට හා ක්ෂණික තේරුමෙන් සුළු ධනේශ්වර සංවිධාන ලෙස පෙනෙන සංවිධාන වර්ග තුනක් ධනේශ්වරයේ සාමාන්‍ය වර්ධනය තුල මතුවන්නේ ය.

1. ජැකොබින්වාදී සංවිධාන

2. ප්‍රතිසංස්කරණ ප්‍රජාතන්ත්‍රවාදී සංවිධාන

3. ෆැසිස්ට්වාදී සංවිධාන


මේ සංවිධාන දේශපාලන බලය සඳහා ගමන් ගැනීමේ දී, එනම් ස්වාධීන ජාතික වර්ධනය තුළ ගමන් කරන්නේ ධනපති පංතියේ ඒ් ඒ් උවමනාව නියෝජනය කරන උපකරණයක් ලෙස තහවුරු වීමටය.

1. ධනපති පංතීයේ ආරම්භක විප්ලවකාරී යුගය.

2. ධනපති පංතිය පාර්ලිමේන්තුවාදී ලෙස තහවුරුවීමේ යුගය.

3. ධනපති පංතිය මර ලතෝනියෙන් සටන් කරන යුගය.

ඒ අනුව මේ එකක්වත්, ජාතික දේශපාලන බලය කරා සුළු ධනේශ්වර ස්වාභාවයෙන් ස්වාධීනව ගමන් ගන්නේ නැත. එසේ මේ සංවිධාන වර්ධනය වන්නේ ධනපතියන්ගේ උපකරණයක් ලෙසට පමණය. සුමනසිරි සහෝදරයා, ජැකොබින්වාදය ගැන හෝ ෆැසිස්ට්වාදය ගැන තවම අප කියන මතයට වෙනස් මතයක් ඉදිරිපත් කරන්නේ නැත. දැන් ප්‍රශ්නය මතුවී ඇත්තේ දෙවන වර්ගයේ සංවිධාන ගැනය.


දෙවන ඝනයේ සංවිධාන සාමාන්‍යයෙන් කොටස් දෙකකට වැටෙන්නේ ය. (1) කම්කරු පංතිය මත පදනම් වූ නගරයේ උගත් සුළු ධනේශ්වර තීරු මෙහෙයවන සංවිධාන. (2) ගැමි ගොවියන් මත පදනම් වූ සුළු ධනේශ්වර සංවිධාන. මේ අනුව සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ හා බොහෝ කොමියුනිස්ට් පක්ෂ ඒක ගොඩකටත්, ජනතාවාදී පක්ෂ හා ජාතිකවාදී හෝ අරාජිකවාදී පෙරමුණු තවත් ගොඩකටත් දමන්නට හැකිය. ලංකාවේ දී නම් ලංකා සම සමාජ පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය එක පිලකටත්, ශ්‍රීලනිප හා ජවිපෙ තව පිලකටත් දමන්නට හැකිය.


එහෙත්, ඉතාම පැහැදිලිව පෙනෙන කරුණක් වන්නේ මේ ඒක සංවිධානයක්වත් පාලන බලය ගන්නේ සුළු ධනේශ්වර සංවිධාන හැටියට නොවන බවය. ජනතාවාදී පක්ෂ තබා කම්කරු පක්ෂයැයි අප සාමාන්‍යයෙන් හඳුන්වන සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ බලයට පැමිණෙන්නේ ධනපති පංතියේ උපකරණයක් ලෙසටය. එංගලන්තයේ පසුගිය කාලයේ ම පැවැති කම්කරු පක්ෂ ආණ්ඩු සුළු ධනේශ්වර ආණ්ඩු ලෙස සුමනසිරි සහෝදරයා හඳුන්වන්නේ ද? යුරෝපයේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ ආණ්ඩු සුළුධනේශ්වර ආණ්ඩු ලෙස නම් කරන්නේ ද?


ජනතාවාදී පක්ෂ මීටත් වඩා දැඩි ලෙස ධනේශ්වර උපකරණ ලෙස ක්‍රියා කරයි. සමාජ ප්‍රජාතන්ත්‍රවාදීෟ පක්ෂවල පහල සිටින කම්කරු පංතිය, සංවිධානය වී ඒකාරාශී වූ පංතියක් වන අතර ‌ෙඑතිහාදසික අවශ්‍යතාවයෙන් හා හැකියාවෙන් ධනේශ්වරයෙන් මිදුන පංතියකි. මේ නිසාම අර්බූදය මෝරායෑමත් සමඟ එම පක්ෂ තුල බලවත් විප්ලවකාරී ප්‍රවනතාවයන් මතු වන්නේ ය. එහෙත්, ජනතාවාදී පක්ෂ වල පහල සිටින ගොවීන් අසංවිධත පංතියක් වන අතර ‌ඓන්ද්‍රිකව ධනවාදයට බැඳී සිටිති. මේ නිසාම එම පක්ෂවල ධනපති බොනපාට් ස්වරූපය දැඩිය. අර්බූදය ඉදිරියේ පහලින් පිපිරීයාම විවිධාකාර විසිරුනු ස්වාභාවයක් ගන්නේ ය. අර්බූදය තුල ජනතාවාදී නායකයින් ධනපති බොනපාට්වාදය කරා යාම අනිවාර්ය ලක්ෂණයක් ය. කෙරෙන්ස්කි, චියැං කායි ෂෙක්, බණ්ඩාරනායක යන මේ සියල්ලෝ මේ ප්‍රවනතාවයේ නියෝජනයන් ය.


සුමනසිරි සහෝදරයා පෙන්වන්න හදන්නේ රුසියාවේ කෙරෙන්ස්කිලාගේ සමාජ විප්ලවවාදී පක්ෂය ගොවි පක්ෂයක් බවය. මෙය ඉතාම ලාමක අර්ථ විග්‍රහයක් ය. 1917 දී කෙරෙන්ස්කි පාලනය කළේ ධනපති නායකයෙකු ලෙසය. ඇත්තවශයෙන් ආරම්භක අවදියේදී ලෙනින් ඔවුන් සුළු ධනේශ්වරයැයි හැඳින්වූවත් 1917 දී ඔවුන් ධනපති නායකයින් ලෙස ක්‍රියා කරන ලද බව පැහැදිලි කළේ ය.


“ධනපති පංතිය, ඒනම් කෙ‌ඩෙට්වරුන්ගේ සිට දක්ෂිනාංශික සමාජ විප්ලවවාදීන් දක්වා, මිලියුකොව්ගේ සිට කෙරෙන්ස්කි දක්වා, කෝර්නිලොව් කුමන්ත්‍රණයට එලිපිටම හවුල්වීමට ධනපතියන් සෝවියට් වලින් අයින් කිරීමට පාර කැපුවේ ය.” – “කවුට්සිකි නැමැති ද්‍රෝහියා” – ලෙනින් 61 පිට.


නිසසල කාල වලදී යම් සාපේක්ෂ ස්වාධීනත්වයක් පෙන්නුවත් මෙවැනි සුළු ධනේශ්වර පක්ෂ අර්බූදකාලවලදී ගමන් කරන්නේ ධනපති ඒකාධිපතීත්වයට පාර කැපීම උදෙසා පරිසරය සකසා දීමටය. විශේෂයෙන්ම ගොවීන් මත පදනම් වූ පක්ෂ ලෙස පෙනෙන පක්ෂ ගමන් කරන්නේ ධනපති බොනපාට්වාදයක් ඇතිකරලීම සඳහා ය. කෙරෙන්ස්කිවාදය පෙන්වූයේ ද මෙයයි. මේ නිසා මේ කොන්දේසියට යටත් නොකර නිකම්ම සුළු ධනේශ්වර පක්ෂ යැයි සඳහන් කිරීම විශාල වෑරැද්දක් වෙයි.


මේ සම්බන්ධයෙන් ට්‍රොට්ස්කි සහෝදරයා ඉතාම පැහැදිලි ලෙස කරුණු ඉදිරිපත් කර තිබේ. ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ කලක් නියැලී සිටි සුමනසිර සහෝදරයා මේ ගැන නොතකා කතා කිරීම ඇත්ත වශයෙන් ලජ්ජා සහගතය. ට්‍රොට්ස්කි සහෝදරයා මෙසේ කියයි;


“දෙවනුව, ධනේශ්වර සමාජය තුල, ස්වාධීන ගොවි පක්ෂයක් එනම්, ගොවීන්ගේ උවමනාව නියෝජනවය කරන අතරම ධනපතියන්ගෙන් හා කම්කරුවන්ගෙන් ස්වාධීන වූ පක්ෂයක් ගොඩ නැඟිය නොහැකි බව ‌අප වටහා ගත යුතුය.”


“……ධනපති රටවල් තුල දී තමුන් ගොවි පක්ෂයකැයි හඳුන්වා ගන්නා වූ සංවිධාන ඇත්ත වශයෙන් ධනපති පක්ෂවල එක් වර්ගයක් පමණි. තමාගේ දේපල අයිතිකාර මානසිකත්වය අත්හැර නිර්ධන අදහස් ඇති කර නොගත් සෑම ගොවියෙක්ම තීරණාත්මක දේශපාලන ප්‍රශ්නයන් මතු වන විට දී අනිවාර්යයෙන්ම ධනපතියන් පසුපස යයි. සත්තකටම, ගොවි ජනතාව මත, නැතිනමව් කම්කරු පංතිය මත, පදනම් වන්නාවූ සෑම ධනපති පක්ෂයක්ම යම් කඩතුරාවකට මුවා විය යුතුය. එනම් ගැලපෙන පාට කිහිපයක් ගා ගත යුතුය. ‘කම්කරුවන්ගේ හා ගොවීන්ගේ පක්ෂය’ යන රාජකීය අදහස, ගොවීන්ගෙන් සහයෝගය ලබාගත යුතු වූ, එසේම කම්කරුවන් තම සාමාජිකත්වයට ගැනීමට සූදානම් ධනපති පත්ෂ ආවරණය කිරීම උදෙසා විශේෂයෙන් සාදන ලද්දකි. කුවොමින්ටානය එවැනි පක්ෂයකට අනර්ඝතම උදාහරණය ලෙස ඉතිහාසය පෙන්වන්නේ ය.”


“……..සෑම බහුජන ධනපති පක්ෂයකම ඉහලට වඩා පහල සාමාජිකත්වය ඒ් නිසා ප්‍රජාතන්ත්‍රීය වන අතර, වාමගාමී වේ. මෙය ජර්මන් මාධ්‍යමිකයන්, ප්‍රංශ රැඩිකල්වරුන් හා විශේෂයෙන්ම සමාජ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ද සත්‍යය.” ‘චීනය ගැන’ ට්‍රොට්ස්කි – 330 පිට


මෙයින් ඉතා හොඳින් පැහැදිලි වන්නේ, කෙතරම් වාමගාමී ස්වරූප මතු වුවත්, කම්කරු පංති නායකත්වයෙන් ස්වාධීන වූ සෑම පක්ෂයක්ම ධනපති පක්ෂ බවය. ඇත්ත වශයෙන් නගරයේ සුළු ධනේශ්වර තීරු බලගතු වන්නා වූ, ඒහෙත් කම්කරු සංවිධාන විශේෂයෙන්ම වෘත්තීය සමිති පදනම් වූ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ පවා ධනපති පක්ෂයන් ය. ඒවා රටේ නායකත්වය ගන්නේ එසේ ධනපති නියෝජිතත්වය ලබා ගනිමිනි. ඒවාට අපි කම්කරු පක්ෂ යැයි හඳුන්වන්නේ පහල පංති සංවිධාන ගැන කල්පනා කිරීමෙන් පමණි.


චීනයේ කුවොමින්ටෑනය හා රුසියාවේ නරොඩ්නික් හා සමාජ විප්ලවවාදීන් අතර වෙනසක් ඇතැයි සුමනසිරි සහෝදරයා නිතර කියන අදහසකි. ඔහුට අනුව කෙරෙන්ස්කි 1917 දී පවා සුළු ධනේශ්වර ගොවි නායකයෙකි. චියැං කායි ෂෙක් හා කෙරෙන්ස්කි අතර මූලික පරතරයක් ඇත්තේ ය. එහෙත්, ට්‍රොට්ස්කි කියන්නේ මෙසේය.


“අපේ රටේදී සමාජ විප්ලවවාදීන්ගේ පංති දෙකේ කම්කරු ගොවි පක්ෂය, අධිරාජ්‍යවාදී ධනපතියන්ගේ ඒ්ජන්තයා ලෙසට පරිවර්තනය වීම වලක්වාලීමට නොහැකි විය. එනම් බොල්ෂෙවික්වාදයේ සංශෝධනවාදීන්ට ස්තූතිවන්නට කුවෝමින්ටෑනය විසින් වෙනස් වූ හා “විශේෂ” චීන ක්‍රමයට ඉතා සාර්ථක ලෙස ක්‍රියාත්මක කලා වූ ‌ඓතිහාසික චරිතය රුසියාවේ දී ද රඟපෑමට අසාර්ථක උත්සාහයක් එය දැරුවේ ය.”


“සාර්වාදයට විරුද්ධව රුසියන් ධනපතියන් ගෙන ගිය අරගලයට වඩා චීන ධනපතියන් මංචූ පෙලපතට විරුද්ධව ගෙන ගිය අරගලයේ දී, වඩා විප්ලවකාරී ලක්ෂණ පෙන්නුවේ යැයි කීමේ හෝ; අධි‍රාජ්‍යවාදය සම්බන්ධයෙන් චියැං කායි ෂෙක් හා කෙරෙන්ස්කි අතර මූලික වෙනසක් තිබෙනවායැයි කියන කීමේ හෝ කිසිඳු පදනමක් නැත.” -එම- 296 පිට


ඒ අනුව කෙරෙන්ස්කි හා චියැං කායි ෂෙක් අතර එකම මූලික වෙනස, එකක් පරාජය වීම හා අනෙක ජය ගැනීම පමණි. කම්කරුවන් ඊනියා සුළු ධනේෂ්වර සංවිධානවල ස්වාධීනත්වය ගැන රැවටුනා නම්, අවසන් වන්නේ ධනපතියන්ගේ ආධිපත්‍යට යට වීමෙනි. ට්‍රොට්ස්කි පුන පුනා පෙන්වා දෙන්නේ මෙයයි.


මේ අනුව ඊනියා සුළු ධනේශ්වර සංවිධාන ඇත්ත වශයෙන් සුළු ධනේශ්වරයේ ස්වාධීන උවමනාවන් නියෝජනය කරනවා වෙනුවට කරන්නේ ධනපති ආඥාදායකත්වය තහවුරු කිරීම යි. කම්කරු ගොවි ආණ්ඩුවක්, ධනපතියන්ට විරුද්ධව, පිහිටුවන්නට මොවුන්ට බැරි ඒ් හෙයිනි. මොවුන් විසින් පිහිටුවන ඊනියා කම්කරු ගොවි ආණ්ඩුව සිරිමා බණ්ඩාරනායකගේ හා කෙරෙන්ස්කිගේ වර්ගයේ කම්කරු ගොවි ආණ්ඩු වන්නේ ය.


මේ ප්‍රශ්නයේ තවත් පැත්තක් තිබේ. ඊනියා ධනපති ප්‍රජාතන්ත්‍රවාදය මගින් ධනපති ආඥාදායකත්වය තහවුරු වන්නේ මෙවැනි පක්ෂ වල ආධාරයෙනි. ඉන් පසුව පාර්ලිමේන්තුවාදයේ අර්බූදය තුල බොනපාට්වාදය තහවුරු කරන්නේ ද මේ ඊනියා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයයි. ඒ් අනුව ධනපති ප්‍රජාතන්ත්‍රවාදී යුගයේ අත්‍යවශ්‍ය අංගයක් වන්නේ මේ සුළු ධනේශ්වර පක්ෂයි. ඒ් තේරුමෙන් ඒ්වා ධනපති ප්‍රජාතන්ත්‍රවාදයෙන් ආවරණය වූ ධනපති ආඥාදායකත්වයේ අත්‍යාවශ්‍ය අංගයන් ය. සුමනසිරි සහෝදරයා කියන අන්දමට මේව ඇත්තටම සුළු ධනේශ්වර සංවිධාන නම් ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදයන් පවතින්නට බැරිය. කුමක් නිසාද යත්, ධනපති පංතිය පමණක් ඒක්වී පක්ෂ සෑදුවොත් ඒවා හුදු අතලොස්සකගේ පක්ෂ වන නිසා ය. ඒ නිසා සුළු ධනේශ්වර පක්ෂ ධනේශ්වරයට අනුගතච නූනහොත් ධනපති ප්‍රජාතන්ත්‍රවාදය පවතින්නේ නැත. ඒහෙම දෙයක් නාමිකව හෝ පවත්වාගෙන යන්නට බැරිය.


දෙවන ලෝක යුද්ධයට පෙර මොවුන් ගමන් ගන්නේ කෙරෙන්ස්කිවාදයට හා කුවොමින්ටෑන්වාදයට බව ට්‍රොට්ස්කි පැහැදිලි කළේ ය. ඇත්ත වශයෙන් ජීවිත පූජාවෙන් ඔහු ආරක්ෂා කළේ මේ ස්ථාවරයයි. මේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී හා ජනතාවාදී පක්ෂ යම් අහම්බ මොහොතක නොසිතුවිරූ ලෙසට ධනපතියන්ගෙන් වෙන් වී බලය ගත හොත් එය සැබෑ නිර්ධන පංති ආඥාදායකත්වයට පෙර අපූරු මොහොතක් වනු ඇතැයි ට්‍රොට්ස්කි කීමේ මොවුන්ගේ නොහැකියාව පෙන්වීමට මිස හැකියාවන් පෙන්වීමට නොවේ.


දැන් හැන්සන් අමනයා හා සුමනසිරි සහෝදරයා අපට කියන්නේ දෙවැන් ලෝක යුද්ධයෙන් පසුව මේ පක්ෂවලට ධනපති පංතියෙන් කැඩීමට ඇති ඉඩ වැඩිවී තිබෙන බවය. ට්‍රොට්ස්කි නොසිතූ විරූ විරලයක් ලෙස දැක්වූ අවස්ථාව සුලබ වී ඇති බවය. එය නිතර ඇති වී තිබෙන බවය. එහෙත් අප පෙන්වා දුන් ලෙසට වර්ධනය වී ඇත්තේ අනෙක් දිසාවටය. දෙවැනි ලෝක යුද්ධයට පෙර සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් හා ජනතාවාදීන් යොදා ගැන්ම උදෙසා අධිරාජ්‍යවාදී ධනපතියන් කල්පනා කළේ ඉතා පරිස්සමෙනි. කෙරෙන්ස්කි පමණක් නොව චියැං කායි ෂෙක් ගැන වුවද අධිරාජ්‍යවාදීන් විමසිල්ලෙන් සිටියහ. එසේම යුරෝපයේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ ගැන මෙන්ම යටත් විජිත වල අවස්ථාවාදී කම්කරුපක්ෂ ගැන තැතිගැන්මෙන් ධනපතියන් වැඩ කළහ. ඒහෙත්, දෙවන ලෝක යුද්ධයෙන් පසුව, ධනවාදය ලෝකය පුරා තම බලය තහවුරු කර ගැන්ම උදෙසා ප්‍රධාන උපාය මාර්ගය කර ගත්තේ ප්‍රජාතන්ත්‍රවාදය හා ජනතාවාදයයි. විශේෂයෙන්ම, 50-60 දශකයන් වලදී ධනපතියන් මේ පක්ෂ බලයට ගෙන ඒ්මෙන් හා ඒ්වා පදනම්ව ජනතාව හසුරුවා ගැනීමෙන් නව ආර්ථික සංවර්ධනයට දේශපාලන පදනම දමා ගත්හ. ඒ අනුව ඒවා අධිරාජ්‍යවාදයේ විශ්වාස කටයුතු උපකරණ ලෙස ක්‍රියාත්මක විය. එම මුළු යුගය තුල දී ම මෙවන් දේශපාලනයන්, ස්වාධීනව අධිරාජ්‍යවාදයෙන් වෙන්වූ එකම ඒක අවස්ථාවක්වත් ඇත්තේ නැත. කියුබාවේ කැස්ට්‍රෝගේ නායකත්වය, ධනේශ්වරයෙන් වෙන්වූයේ රුසියානු අත්අඩංගුවට වැටීමෙන් ය. ඇත්තවශයෙන් කැස්ට්‍රෝ කන්නලව් කර කර, ඇමරිකන් අධිරාජ්‍යවාදයට කීවේ තමා ගැන විශ්වාසය තබන ලෙසය.

එහෙත් අමරිකන් පාලකයින් ඉතා සුළු වූ සහනයක් හෝ කැස්ට්‍රෝට දෙන්නට සූදානම් වූයේ නැත. ඔහු පිටුපස වූ ජනතාව වාවා ගැන්ම උදෙසා කිසිම ගැල විජ්ජාවකටවත් ඇමරිකානුන් ඉඩ තැබුවේ නැත. ඒ නිසා සිදු වූයේ කැස්ට්‍රෝ රුසියානු ස්ටාලින්වාදයේ අත් අඩංගුවට වැටීමයි. කැස්ට්‍රෝ මේ මඟ ගත්තේ ඔහුගේ “කම්කරු ගොවි” හපන්කමක් නිසා නොව පහලින් ආ ජන බලපෑමට අමතරය රුසියානු ස්ටාලින්වාදයේ බරපතල මැදිහත්වීම නිසාය.


එහෙත් ඇත්තවශයෙන් මේ සුළු ධනේශ්වර පක්ෂ පසුගිය කාලය තුලදීම කර ඇත්තේ දෙවන ලෝක යුද්ධ සමයට පෙර ඇති කලාටත් වඩා දරුණු වූ පන්ති විනාශයන් තුලින් රුදුරු ධනපති ආඥාදායකත්වයන් ඇති කරලීම වේ. මුළු යටත්විජිත ලෝකය පුරාම අපට පෙනෙන්නේ මේ ඊනියා සුළු ධනේශ්වර සංවිධාන ධනපති ආඥාදායක්වයන් පිහිටුවා තහවුරු කල ආදාරයයි. වෙනකක් තබා සිංගප්පූරුවේ ලී ක්වාන් යූ පවා සුළු ධනේශ්වර සමාජ ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙකි. 1959 දී ඔහු බලයට ආවේ විශාල කොමියුනිස්ට් පක්ෂයක් ද ඇතිවය. එදා ඔහු “අධිරාජ්‍ය විරෝධී සමාජවාදියෙකි”. ඒ් අනුව සුමනසිරි සහෝදරයාගේ “කම්කරු ගොවි” මල්ලේ කෙනෙකි.

ඉංදුනීසියාවේ මේ වර්ගයේ නායකයින් ඇති කල අගාධය, චීනයේ කැන්ටන්-ෂැංහයි ඝාතනයන් සුළු කරුණු බවට පත් කළේ ය.


ඉංදුනීසියාවේ සුකර්නෝගේ නසතෝම් ව්‍යාපාරයේ, ඒක් ප්‍රධාන නායකයෙකු වූ සුහර්තෝ දියත් කල මිනිස් ඝාතනය ලෝක ඉතිහාසයේම අද්විතීය තැනක් උසුලයි. සුකර්නෝගේ ජනතාවාදය අවසන් වූයේ ඒ ලෙසටය. මැද පෙරදිග අරාබි ජනතාවාදය වූ නසාර්වාදය අවසන් වූයේ අන්වර් සදාත්ගේ කෑම් ඩේවිඩ් පාවාදීමෙනි. මේ ද්‍රෝහියාගේ මලගමට හඩා වැලපෙන්නට පවා මිනිසුන් ගෙනවන්නට වූයේ ඇමරිකාවෙනි. චිලී රටේ සමාජවාදී ඇලන්ඩේ කෙලින්ම වැඩේට බැස්සේ නැති බව සැබෑ ය. එහෙත් ඔහු නිසි ලෙස පිනෝචේට පාර සරසා දුන්නේ ය. මේ අනුව සෑම ප්‍රජාතන්ත්‍රවාදයක් හා ජනතාවාදයක් ම පොදුවේ පෙන්වන්නේ ඔවුන් අවසන් කරන්නේ ඇමරිකන් අධිරාජ්‍යවාදයට පාර කැපීමෙන් බවය. කැස්ට්‍රෝ ද අවසන් වන්නට තිබුනේ ඒ් නැවතුම් කනුවේ ම ය. එහෙත් ඇමරිකාවේ අති දඩබ්බරකම තුල රුසියාවේ තියුණු මැදිහත්වීම නිසා කැස්ට්‍රෝට වෙනත් තැනකට යොමු වන්නට සිද්ධ වූයේ ය.


ඇත්තවශයෙන් ලංකවේ අපි බේරී සිටින්නේ සුවිශේෂී තත්ත්වයක් තුලය. ඒ සුවිශේෂී තත්ත්වයට පාදක වන සංවිධානය අන් කිසිවක් නොව අප ම ය. අප නොසිටින්නට සිරිමා බණ්ඩාරනායක කම්කරුවන්ගේ තටු මතින් ඒ් ගමන දැනටමත් ගොසින් අවසන් ය. 1976 දී ඇය හැසිරුනො ජනතාවාදයේ අවසන් ජවනිකාව දියත් කිරීමටයි. එනම්, ආණ්ඩුව ( එනම් පාර්ලිමේන්තුව) කල් දමා පංතිය තලා දමා බොනපාට්වාදය තහවුරු කර ගැන්ම යි. එහෙත් සත්‍යපාල , යූ.ඊ. ආදීන් ඇරඹුවා වූ සටනින් එම බලාපොරොත්තු සුන් කරනු ලැබීය. අදද සටන්කාමී ස්වරූපය ගනිමින් සිරිමා සැරසෙන්නේ බලය ගැනීම තුලින් චියැං කායි ෂෙක් කුමන්ත්‍රණය දියත් කිරීමටයි. මෙය තේරුම් නොගන්නා සුමනසිරි සහෝදරයා සිරිමාගේ මේ විකාශණය ගැනද දක්වන්නේ අඩු තක්සේරුවකි.


එසේ වුවත් සුමනසිරි සහෝදරයා අසන ප්‍රශ්නය වනු ඇතුතේ චීනයේ සිට වියට්නාමය දක්වාවිවිධ රටවල කම්කරු රාජ්‍යයන්ගේ තහවුරු වීම පිළිබඳ ප්‍රශ්නයයි. සත්තකටම ඒ තමා ට්‍රොට්ස්ති එදා කී දේ දෙවැනි ලෝක යුද්ධයෙන් පසු වඩාත් සංවර්ධනය කිරීමේ ගැටළුව පවතින ප්‍රශ්නය.

16. දෙවැනි ලෝක යුද්ධය හා ස්ටාලින්වාදය: –


මා මීට පෙර පෙන්වා දුන් ලෙසට 1938/40 වර්ෂ වන විට ට්‍රොට්ස්කි ස්ටාලින්වාදය දෙස බැලුවේ ඉතා ඉක්මනින් බිඳවැටෙන ප්‍රතිවිප්ලවවාදී බලවේගයක් ලෙසට ය. අනෙක් අතට ඒ ඒ රටවල ස්ටාලින්වාදීන්ව ට්‍රොට්ස්කි විසින් දුටුවේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් මෙන් තවත් අවස්ථාවාදී සුළු ධනේශ්වර නායකත්වයන් ලෙසටය. ඒ් අනුව සංක්‍රමණීය ක්‍රියාමාර්ගය පුරාම සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් හා ස්ටාලින්වාදීන් ඒකට ලා සැලකෙන්නේ ය. නැත්නම් ඉහත දැක්වූ “සුළු ධනේශ්වර” පක්ෂ අතර තවත් ප්‍රවර්ගයක් ලෙස සැලකෙන්නේ ය. එදා තත්ත්වය අනුවඒය සත්තකටම නිවැරදි ය.


ඒහෙත් දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව ඇති වූයේ ස්ටාලින්වාදයේ කඩා වැටීමක් නොව තහවුරුවීමකි. අනෙක් අතට අධිරාජ්‍යවාදය අන්තිම අමාරු තැනකට වැටුන අතර, 1945 වන විට සිටියේ මොන ලෙසකින් හෝ යුද්ධ සූදානම් අත්හැර දැමීමටය. එසේම ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය විනාශ වී තිබිණ. ඒ නිසා විප්ලවවාදී නායකත්වය පැවතුනේ අදහස් හැටියට පමණි. මේ නිසාම රුසියානු නිලධාරී පැලැන්තිය ක්‍රියා කලේ වඩා ආත්ම ශකිත්යෙනි. ඒසේම විවිධ රටවල ස්ටාලින්වාදීන් රුසියාවේ නැගීමෙන් වඩාත් ශක්තිමත් වූහ. ඔවුහු තමන් විසින් ශක්තිමත් යයි සැලකූ සමාජ රටාවක ඍජු ඒජන්තයන් වූහ. ඒ නිසා රුසියාවේ නිලධාරීමය සමාජයේ ආකෘතිය ඇති කිරීම උදෙසා ක්‍රියා කරන ඒජන්ත පිරිස් ලෙස වඩාත් නිරවුල් ව මතු වූහ. මේ කරුණ එදා ට්‍රොට්ස්කිවාදීන් විසින් අමන හැන්සන්, මැන්ඩල් ආදීන්ට විරුද්ධව නිවැරදිව තක්සේරු කර ගත්හ. 1946 දී ටෙඩ් සහෝදරයා ඇතුළු පිරිස 4 වැනි ජාත්‍යන්තරයේ නායකත්වය ඩැහැගෙන සිටි අමනයන්ගේ ජාත්‍යන්තර යෝජනාවට විරුද්ධව ඉදිරිපත් කල සංශෝධනයේ මෙසේ සඳහන් වෙයි.


“ලෝක වර්ධනය පැත්තෙන් ගත් කල, ජයග්‍රාහී නිර්ධන විප්ලවයන් නැති තත්ත්වය තුල යුද්ධයේ ඉතාම වැදගත් ප්‍රතිඵලය වන්නේ යුරෝපයේ හා ආසියාවේ ඉතාම බලවත් යුද්ධ බලවතා ලෙස රුසියාව මතවීමය. ඇමරිකාව හැරුණ විට ලෝකයේ ලොකුම බලවතා එයයි. ජනසතුව හා සැලසුම්ගත වූ අර්ථක්‍රමය සාමයේ දී මෙන්ම යුද්ධයේ දී ද එහි උසස්කම පෙන්වා ඇත.”


ඔහු තව දුරටත් මෙසේ ද සඳහන් කරයි.


“ස්ටාලින්වාදී විදෙස් ප්‍රතිපත්තියේ ප්‍රහාරක ස්වාභාවයේත්, නිලධරයේ බලපෑම් ක්ෂේත්‍රය වැඩි කර ගැනීමට දරන්නාවූ උත්සාහයේත්, පදනම වන්නේ ඉහත කී තත්ත්වයයි.”


මෙලෙසට ස්ටාලින්වාදය තාවකාලිකව ගත් කල යුද්ධයෙන් පසු තහවුරු වූ අතර, ස්ටාලින්වාදීන් ඒ ඒ රටවලක්‍රියාකල ආකාරයේ ද වෙනසක් ඇති විය. යුද්ධයට පෙර උදාහරණ වශයෙන් ස්පාඤ්ඤය වැනි රටවල ඔවුන් තමන් අතට ලැබුණු විශාල බලතල පවා නැතිකර ගනිමින් ධනපති රාජ්‍ය නැවත ගොඩ නැගීමට ක්‍රියා කලහ. එහෙත් දේවන ලෝක යුද්ධයෙන් පසුව, ඒවුන් විප්ලවකාරී තත්ත්වයන් පාවාදීමට ක්‍රියා කලත්, තම ඔඩොක්කුවට වැටුන බලය ආපසු නොදී තහවුරු කර ගන්නට විය. 1949 දී ටෙඩ් සහෝදරයා ලියූ “රජය පිළිබඳ මාක්ස්වාදී න්‍යාය” යන කුඩා පොතේ මෙසේ සඳහන්වේ.


“ඒහෙත් ස්පාඤ්ඤයට වඩා වෙනස්කම්, මෙහි (ඒනම් නැගෙනහිර යුරෝපා රටවල – බාහු) මේ ඊනියා සභාගයේ ප්‍රධාන ස්ථානයන් ස්ටාලින්වාදීන් විසින් දැඩි ලෙස ග්‍රහනය කරගෙන සිටි අතර ධනපතියන්ගේ අවතාරවලට කිසිඳු බලයක් නොතිබිනි. ඔවුහු පොලිසියය හා හමුදාව අල්ලා ගත්හ, ප්‍රධාන හා අනදෙන පුද්ගලයන් තෝරන ලද්දේ ඔවුන් විසිනි. සිවිල් සේවාවේ සියළු ප්‍රධාන තනතුරු කීකරු ගෝලයන්ට පවරන ලද්දේ ඔවුන් විසිනි. ජාතික සමඟියේ කඩතුරාවට මුවාවී ඔවුහු ඇත්ත රාජ්‍ය බලය අතට ගත්හ. ඔවුන් තමාගේ හැඩරුවේ උලපකරණයන් ගොඩ නැගූහ. ඒනම්, මොස්කව් ආකෘතියේ රාජ්‍ය යන්ත්‍රයක් ගොඩ නැගීමයි.” (අවධාරණය තිබුණි) ‘රාජ්‍ය පිළිබද මාක්ස්වාදී න්‍යාය’ – 47 පිටුව.


මෙය කෙලින්ම රතු හමුදාව මැදිහත් වූ නැගෙනහිර යුරෝපයේ රටවල පමණක් ඇති වූ තත්ත්වයක් නොවී ය. ස්ටාලින්වාදීන් ලැබුණු බලය තහඒවවුරු කර ගැන්ම දෙසට ක්‍රියා කිරීම චීනය වෙතටද පැතිරුණේ ය.


“නැගෙනහිර යුරෝපයේ ස්ටාලින්වාදයේ ජයග්‍රහණය සඳහා හේතු වූ බලවේගයන්ගේ අමුතුම සම්මිශ්‍රණය, එම ප්‍රතිඵල ලෙසින්ම ආසියාවේ ද ක්‍රියාත්මක වෙමින් පවතී. ‌ෙඑයිතිහාසික සාධක ගනනාවක මේ ප්‍රතිඵලයේ චමත්කාර ජනක උදාහරණයන් අපට චීනයේ ඇත්තේ ය.” ‘චීනයේ ස්ටාලින්වාදය’ – 1951 ජූනි


ස්ටාලින්වාදීන්ගේ මේ තාවකාලික ශක්තිමත්වීම අඩුදියුණු රටවල් කෙරෙහි දිගින් දිගටම බලපෑවේ ය. අධිරාජ්‍යවාදයට විරුද්ධව අරගලය ඉදිරියට ගෙන යනවා වෙනුවට දිගින් දිගටම පාවාදීමට ස්ටාලින්වාදීන් ක්‍රියා කලත්, තමාට ගොදුරුවන රටවල් තුල, තමාගේ ආකෘතියේ රාජ්‍යයන් ඇතිකරලීමට ඔවුන් කුමන්ත්‍රණකාරී ලෙස ඉක්මණින්ම ක්‍රියාත්මක වූහ. තමන්ගේ වරප්‍රසාද අහිමි නොවන වර්ගයේ රට පාලනය කිරීමේ ආකෘතියක් තමන්ගේ ඇස් ඉදිරිපිට ඇතිවන ඔවුහු දුටුවෝය.

එවන් තත්ත්වයක් ඇත් කර ගැන්මට විශාල පීඩනයක් එල්ලවන්නට ද විය. මේ අනුව ස්ටාලින්වාදීහු තාවකාලිකව ස්ථාවර වූ එක්තරා සමාජ රටාවක ඒජන්තයන් ලෙස සෑම රටකදීම ක්‍රියාත්මක වූහ.


දෙවන ලෝක යුද්ධය අවසන් වූ කාලයේ දී, ලෝක ධනේශ්වරයේ පසුබැස්ම තුල හා ජනතාවගේ නැගිටීම් තුල, මෙලෙසට ස්ටාලින්වාදීන්ට තහවුරුවීමට ඉඩ ලැබුණත්, උත්පාතයේ ආරම්භයත් සමඟ එම ඉඩකඩ අහෝසි වී ගියේ ය. විශේෂයෙන්ම මාෂල් ක්‍රමයේ ණය සහනදීම ක්‍රියාත්මක වීමත් සමඟ ස්ථාවරත්වය ධනේශ්වර රටාව තුල ඇති කර ගැනීමට අධිරාජ්‍යවාදයට හැකි විය. අනෙක් අතට ඒ ඒ ස්ටාලින්වාදී රාජ්‍යයන් තුල නිලධාරී පැලැන්ති නව ජාතිකවාදී උවමනාවන් තුල ගැටුමට යන්නට පටන් ගත්තේ ය. උත්පාතය තුල තහවුරු වූ අධිරාජ්‍යවාදය සමග ගිවිසුම් ගසා ගැන්මේ දී ඇති වූ වෙනස්කම් මොවුන් අතර ප්‍රභේධයන් වඩා උත්සන්න කළේ ය. ඔවුන් අතර ප්‍රභේධයන්ට මුල වූයේ ඒ් ඒ් ආර්ථිකයන්ගේ විවිධ වර්ධන මට්ටම් තුල ඇති වී තිබූ වෙනස් වුවමනාවන් ය.


සෑම රටකම සමාජ ප්‍රජාතන්ත්‍රවාදය හා ජනතාවාදය (අඩුදියුණු රටවල) ශක්තිමත් වූ මෙම කාලපරිච්ඡේදය තුලදීම ස්ටාලින්වාදීන්ට විකෘති කම්කරු රාජ්‍යවල ශක්තිමත් පිටුබලය තුල වුවද ඉදිරියට හැකි වූයේ සුළු වශයෙන්, අහම්බෙනි. කියුබාව එවන් අවස්ථාවක් ය. ඒ වෙනුවට පොදුවේ දැකිය හැක්කේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදයේ හා ජනතාවාදයේ උපකාරයෙන් අධිරාජ්‍යවාදී ධනේශ්වරය ලොව පුරා තහවුරුවීමය. රටවල් ගණනාවකම අධිරාජ්‍යවාදීන් තහවුරු වූයේ ස්ටාලින්වාදීන්ටද මරණීය තුවාල කරමිනි.


අනෙක් අතට 60 ගණන්වල අවසානයේ දී අධිරාජ්‍යවාදී ධනේශ්වරයේ උත්පාත ස්වාභාවය අවසන් වීසමත් සමඟ, විශේෂයෙන්ම අඩුදියුණු රටවල කඩා වැටීම් තුල, ක්ෂණිකව ගත් කල ස්ටාලින්වාදයට ලැබුනේත් වාසියකි. එහෙත් අර්බූදය වටයෙන් වටය උග්‍රවීමත් සමඟ ස්ටාලින්වාදීහු මූලික අර්බූදයකට අසුවී සිටිති. විශේෂයෙන්ම පෝලන්තයේ පදනම දෙදරා යමින් තිබේ. ඒ් නිසාම යම්කිසි ස්ථාවර සමාජ ක්‍රමයක නියෝජිතයන් ලෙස ස්ටාලින්වාදීන් ලබා තිබූ ශක්තිය බිඳවැටී ඇත. සෑම රටකම ස්ටාලින්වාදීහු අද නිරුත්තර වෙමින් සිටිති.


මේ අනුව අද ධනපති ක්‍රමයේ ඉතා දරුණු පරිහානියේ වර්ධනයත් සමඟ සමාජ ප්‍රජාතන්ත්‍රවාදය, ජනතාවාදය මෙන්ම ස්ටාලින්වාදයත් අවසාන වශයෙන් අර්බූදයට තල්ලු වී සිටිති. සෑම රටකම අපට දකින්නට ඇත්තේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ මෙන්ම ජනතාවාදීන්ගේ පුපුරා යෑමයි. අනෙක් අතට රුසියාව හෝ චීනයට අත දිගු කර පෙන්වමින් විවිධ පංතී තීරු තුල ක්‍රියාත්මක වූ ස්ටාලින්වාදීන් අසරණ වෙමින් සිටිති. ඔවුන්ගේ ආත්ම ශක්තිය බිඳවැටී ඇත. මේ නිසාම ඉතාම වාසිදායක තත්ත්වයන් තුල වුවද ස්ටාලින්වාදීන්ට තහවුරුවීමට ඇත්තේ අතිශයින් සුළු ඉඩකඩකිත ලොව පුරාම කම්කරු පංතියේ විප්ලවකාරෟ පක්ෂය, එනම් ට්‍රොට්සිකිවාදී ව්‍යාපාරය ගොඩ නැඟීම, එකම විකල්පය ලෙස ඉතාම ආසන්න ලෙසට මතුවෙමින් පවතී. එය අද දීර්ඝකාලීන අදහසක් නොවේ. ඉතාම ආසන්න වූ උවමනාවයි. ඒසේම හැකියාවයි. සත්තකටම අපි එය ක්‍රියාත්මක කරමින් සිටිමු.

අමන හැන්සන්, මැන්ඩල්වාදී මතවාදයන් අපගේ මේ වැඩ කොටසට ඒක්තරා පොල්ලක් දමති. එහෙත් එය අපට සුළු අභියෝගයක් පමණක් ය.

17. අතුරු ප්‍රශ්න කිහිපයක්: –


නව ස්ටාලින්වාදය හා සුමනසිරි


සුමනසිරි සහෝදරයාගේ අදහස් තෙම්පරාදු කල ස්ටාලින්වාදය බව අප කී විට ඔහු උරණ විය. ඒහෙත් මා මුලින් පෙන්වූයේ ස්ටාලින්, ර‌ඩෙක් ආදීන්ගේ අදහස්වලට ඔහු කෙතරම් සමීපද යන්නයි. එහෙත් ඒය ඊට වඩා දුරදිග යන්නේ ය. සුමනසිරිගේ අදහස් – එනම් පසුගිය කාලය තුල ලෝකය තුල සිදුවූ සිදුවීම් ගැන විග්‍රහය ආසන්න වන්නේ ද වර්තමාන ස්ටාලින්වාදීන්ගේ අදහස් හා විග්‍රහයන්ට යි.


පළමුවෙන්ම චීන විප්ලවයේ දී, 1949/54 දක්වා තිබුණා යයි කියන කම්කරු ගොවි ආණ්ඩුව සැබෑවක් නම් මාඕ සේතුං නිවැරදිය. සුමනසිරි අමන හැන්සනයා සමඟ පසුකාලීනව කරණ විග්‍රහයට මුළුමනින්ම සමපාත වූ හෝ සමාන වූ විග්‍රහයක් මාඕ සේතුං විසින් 1930 ගනන් වලදී කලේ ය.

සුමනසිරි සහෝදරයා දැන් අපට කියන්නේ චීන විප්ලවය දිග ඇරීම ගැන මාඕ සේතුං හරි බවත්, ට්‍රොට්ස්කි වැරදි බවත් ය. ට්‍රොට්ස්කි කීවේ අධිරාජ්‍යවාදයත්, පැරණි ගැමි පසුගාමීත්වයත් විනාශ කර රට ඒක්සත් කල හැක්කේ නිර්ධන පංති ආඥාදායකත්වයෙන් පමණක් බවය. ඒහෙත්, මාඕ සේතුංකීවේ ඒම වැඩ කොටස කල හැක්කේ ධනපති ආඥාදායකත්වයද නොවන නමුත්, නීර්ධන ආඥද්යකත්වයද නොවන කම්කරු නායකත්වයෙන් යුත් ගොවීන්, බුද්ධිමතුන් හා අනෙකුත් සුළු ධනේශ්වරය සහභාගී වන නව ප්‍රජාතන්ත්‍රවාදී ආඥාදායකත්වයක් තුලින් බවය. මෙයට මාඕ සේතුං ගොවි කම්කරු ආණ්ඩුවක් යැයි කීවේ නැති බව සැබෑය. ඒහෙත්, ඔහු ඉතා නිශ්චිතව කීමේ ඒය කම්කරුවන් හා ගොවීන් ප්‍රධාන වූ නිර්ධණ පංති ආඥාදායකත්වයට සංක්‍රමණීය වූ යුගයක් බවය. ධනපතියන් සහභාගීවීමක් ගැන ඔහු පැවසුවේ නැත. “නව ප්‍රජාතන්ත්‍රවාදය” හඳුන්වා දෙමින් ඔහු මෙසේ කීවේ ය.


“අද, ජපන් අධිරාජ්‍යවාදය ඒලවා දැමීම සඳහා ජනතාවට නායකත්වය දිය හැක්කේ හා ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක් ඇති කල හැක්කේ කා හටද? ඔවුන ජනතාවගේ ගැලවුම්කාරයන් වනු ඇත. ඉතිහාසය ඔප්පු කර ඇත්තේ චීන ධනපති පංතියට මේ වගකීම ඉටුකල නොහැකි බව හා ඒය ඳඅනිවාර්යයෙන්ම නිර්ධන පංතිය කරපිට වැටෙන බවය.”


“මේ නිසා, නිර්ධනීන්, ගොවීන්, උගතුන් හා අනෙකුත් සුළු ධනේශ්වර කොටස් චීනයේ ඉරණම විසඳන්නා වූ මූලික බලවේගයන් බවට කිසිම සැකයක් නැත. මේ පංතීන්ගෙන් සමහරක් දැනටමත් අවදිවීද, අනෙක් අය අවදි වෙමින් ද සිටිනා අතර නිර්ධනීන් නායක බලවේගය ලෙසට වූ චීන ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක, ආණ්ඩු හා රාජ්‍ය රටාවන්ගේ මූලික සංරචක වන්නේ මේ පංතීන්ය. අපි අද ගොඩ නැගීමට බලාපොරොත්තු වන්නාවූ චීන ප්‍රජාතන්ත්‍රවාදී සමූහාණ්ඩුව, නිර්ධනීන් විසින් නායකත්වය දෙනු ලබන සියළු අධිරාජ්‍ය විරෝධී හා රදළ විරෝධී ජනතාවගේ ඒ්කාබද්ධ ආඥාදායකත්වය යටතේ වූ ප්‍රජාතන්ත්‍රවාදී සමූහාණ්ඩුවකි. එනම් ඇත්තටම විප්ලවවාදී වූ නව ත්‍රිවිධ ජනතා සිද්ධාන්තයන් හා ඔවුන්ගේ ත්‍රිවිධ මහා වැඩ පිළිවෙලින් යුත් නව ප්‍රජාතන්ත්‍රවාදී සමූහාණ්ඩුවක් ය.”


“මෙම නව ප්‍රජාතන්ත්‍රවාදී සමූහාන්ඩුව, දැනටම කාලය පැන ඇති පැරණි ප්‍රජාතන්ත්‍රවාදී ආකාරය වූ ධනපති ආඥාදායකත්වය යටතේ වූ පැරණි යුරෝපා -ඇමරිකා ධනපති සමූහාණ්ඩුවට වඩා වෙනස් වූ එකකි. අනෙක් අතට දැනටම රුසියාවේ පැලපදියම් වන්නා වූ නිර්ධන පංති ආඥාදායකත්වය යටතේ වූ සෝවියට් සමාජවාදී ජනරජයට ද ඒය වෙනස් වූ ඒකක්ය. යටකී වර්ගය (නිර්ධන ආඥාදායකත්වය) සියළු ධනපති රටවල පිහිටුවනු ඇති අතර, සියළු කාර්මික වශයෙන් දියුණු වූ රටවල රාජ්‍ය හා ආණ්ඩු රටාව ඒය වන බවට කිසිඳු සැකයක් නැත. ඒහෙත් යම් ‌ඓතිහාසික කාලයකට, යටත් විජිත හා අර්ධ යටත් විජිත රටවල දී තුන්වන වර්ගයේ රාජ්‍යයක් යොදා ගත යුතුය. ඒනම්, නව ප්‍රජාතන්ත්‍රවාදී සමූහාණ්ඩුවයි. මෙය ගැලපෙන්නේ, ඒක් ‌ෙඒයිතිහාසික කාලයකට පමණි. ඒ් නිසාම ඒය සංක්‍රමණීය ආකාරයක් ය. ඒසේ වුවද, ඒය අහක දමන්නට බැරි අත්‍යාවශ්‍ය වූ ආකාරයක් ය” – ‘මාඕගේ තෝරාගත් කෘති’ – 350 පිටුව


දැන් සුමනසිරි සහෝදරයාගේ ගොවි කම්කරු ආණ්ඩුවේත් මාඕගේ නව ප්‍රජාතන්ත්‍රවාදයේ ත්, ඇති වෙනස කුමක් ද? කිසිඳු මූලික වෙනසක් නැත. ඒකම වෙනස මාඕ සේතුං ඒය අනිවාර්යය අතරමැදි පියවරක් වශයෙන් මුළු අඩු දියුණු ලෝකයටම යෝජනා කරයි. සුමනසිරි සහෝදරයා ඒය සෑම රටකම පාහේ සිදුවී ඇති බව පිළිගන්නා නමුත්, ඒය විය යුතුම බව ස්ථීරවම යෝජනා කරන්නේ නැත. පුදුමයට කරුණ නම්, සුමනසිරි සහෝදරයා තවමත් තමන් ට්‍රොට්ස්කිවාදියෙක් බවට හඳුන්වා ගැනීමය. වඩා සූදුසු වන්නේ ස්ටාලින් – රඩෙක් – මාඕ – හැන්සන් පාරේ යන අමනවාදියෙක් ලෙසට හඳුන්වා ගැනීම ය.

නැත වැ‌ඩේ තව දුර දිග ගොසින් ය.

මේ බලන්න;

“තර්කානුකූල වර්ධනය විසින් සුළු ධනේශ්වර උගතුන් අතුරින් අවංක, ඇත්ත නායකයින් කම්කරු පංතියේ තීරණාත්මක දේශපාලන කර්තව්‍ය හඳුනා ගැනීමටද, ඒහි මතවාදය තේරුම් ගැනීමට ද ගෙන යනු ලබයි.

“…………………..නිර්ධන පන්තිය බලය ගැනීමට හැකි පමණට සෑහෙන්න ශක්තිමත්ව සංවිධානාත්මකව හා බලපෑ හැකි තත්ත්වයෙන් සිටියා නම් කරන්නා වූ වැඩ කොටස මූලික වශයෙන් මේ විප්ලවකාරී ප්‍රජාතන්ත්‍රවාදීන් විසින් ඔවුන්ගේ විධියට‌ ඉටු කරන්නට පටන් ගත්හ.”
“…………… අළුත් කර්තව්‍යයන් වෙනුවෙන් පැරණි රාජ්‍ය යන්ත්‍රය යොදා ගත නොහැකි බව තේරුම් ගන්නා වූ මේ විප්ලවකාරී ප්‍රජාතන්ත්‍රවාදීන් පැරණි රාජ්‍ය යන්ත්‍රය බිඳ දමන අතර ජනතාව පහලින් ඉහලට ගෙන යති.”

ඉහත කී වගන්ති සුමනසිරි සහෝදරයා කැස්ට්‍රෝ වැනි නායකයින් ගැන ලියූ ලිපියක කොටසක් යැයි ඔබ සිතුවා නම් අප ඔබට සමාව දිය යුතුය. කුමක් නිසාද යත්, අදහස පමණක් නොව යොදා ඇති වචනද ඒ් තරම් සමානය. අවංක රැඩිකල් ප්‍රජාතන්ත්‍රවාදීන් ගැන මේ මනස්ගාතය අමන හැන්සනයා හා සුමනසිරි සහෝදරයා කුලියට ගෙන ඇත්තේ අන් කිසිවකුගෙන් නොව බ්‍රෙෂ්නෙව් ‘සහෝදරයා’ ගෙන් ය.


මා ඉහත දැක්වූයේ 1964 දී මෝස්කව්වලින් පලවූ මොස්කව් ස්ටාලින්වාදීන්ගේ දේශපාලන විග්‍රයකිනි. ඒහි මේ විප්ලවකාරී ප්‍රජාතන්ත්‍රවාදීන් ජාතික ධනපතියන්ගෙන් වෙන් වූවන් ලෙස ද හුවා දක්වයි.


“ජාතික ධනේශ්වරය ගොවි කෘෂිකාර්මික ප්‍රශ්නය විසඳීමට නොහැකි බව පෙන්නුම් කර ඇත. මේ ප්‍රශ්නය ආර්ථික වශයෙන් අඩු දියුණු රටවල ප්‍රධාන ප්‍රශ්නයක් ය……….. ඒහෙත් ධනපති පන්තිය මෙම ප්‍රශ්නය විසඳන්නේ නැත.”


මෙලෙසට ජාතික ධනේශ්වරය ප්‍රශ්නය නොවිසඳන නිසා විප්ලවකාරී ප්‍රජාතන්ත්‍රවාදීන් ඉදිරිපත්වී විප්ලවකාරී පිළිවෙතක් ගෙන ගොස් ධනපති ක්‍රමයෙන් කැ‌ඩෙන වැඩ පිලිවෙලක් දක්වා ඔවුන් ගමන් ගනිති.


“ මේ තත්ත්වය නිසා විප්ලවකාරී – ප්‍රජාතන්ත්‍රවාදී නායකයින් සමහර රටවල සමාජවාදී රැඩිකල් ධනපති විරෝධී තත්ත්වයනට ගමන් ගනිති.” – ‘අවුරුදු 100 ක්’ 102 පිට


දැන් සුමනසිරි සහෝදරයාගේ ගොවි කම්කරු ආණ්ඩුව බ්‍රෙෂ්නොව්ගේ විප්ලවකාරී ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ ආණ්ඩුවට වඩා වෙනසක් නැත්තේ ය. ඇත්ත වශයෙන් සුමනසිරි සහෝදරයාගේ අදහස් වඩා සමීප වන්නේ ස්ටාලින්වාදී ගුරුකුල අතරින් ද මොස්කව් ස්ටාලින්වාදීන්ට ය. ඒ නිසාම සුමනසිරි සහෝදරයා මේ අදහස් තවදුරටත් ඉස්සරහට ගෙනගියහොත් ඔහුට වෙන්නේ කේ.පී. හමුවී ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයට බැ‌‌ඳීමටය.


සුමනසිරි සහෝදරයාගේ අදහස් පක්ෂයේ වර්ධනයට සැබැවින්ම හිතකරය. ඒ ඒවා පිළිගැනීමෙන් නොව ඒවාට විරුද්ධව සටන් කිරීමට පුහුණු වීමෙන් ය. පක්ෂයේ සෑම කේඩර්වරයෙකුම හැන්සන්වාදී මේ දේශපාලන කුණ්ගොඩ ශුද්ධ කිරීම වෙනුවෙන් ඉදිරිපත් විය යුතුය. ඒම අරගලය පක්ෂයේ න්‍යායික පන්නරය ලබා ගැන්මේ මූලික උල්පත වනු ඇත. අද අප විසින් කළ යුතු වන්නේ නිර්ධන පංති ආඥාදායකතවක්, නව සම සමාජ පක්ෂ නායකත්වය යටතේ ගොඩනැගීමට සටන් වැදී ම ය. ඒම ආඥාදායකත්වය ගොඩනැගීමේදී යම් යම් කොටස් අප පසුපස ඇදී ඒවිදැයි මැන බල බලා සිටීම අවශ්‍ය නැත. ඊටත් වඩා අහිතකර වන්නේ වෙනත් කිසිම සංවිධානයකට හෝ නායකයෙකුට ධනපති පන්තියෙටන් වෙන්වීමට ඇති හැකියාව ගැන විකාර අදහස් පැතිරවීමය. ධනපතියන්ගෙන් වෙන් වන්නේ අප මිස අන්කිසිවක් නොවේ. ඒ් ගැන කිසිඳු පටලැවිල්ලක් තිබිය නොහැක.


============= නිමි ==============


“ පක්ෂයක් ඇතුලත බරපතල කංඩායම් ගැටුම් ඇතුළුව පොදුවේ දේශපාලන ගැටුම් හිස් අවකාශයේ ඇති නොවේ. ඒ්වා සිදුවන්නේ සමාජ බලවේගයන්ගේ පීඩනයන් යටතේ ය. ඒනිසාම ඒ්වා යම් යම් ප්‍රමාණයන්ට පංති අරගලය පිළිඹිබු කරයි. මෑතදී අප පක්ෂය තුල සාකච්ඡාවන්ගේ වර්ධනය තුල, මේ රීතිය ඉතාම ලස්සනට පෙන්නුම් කළේ ය.”


“……….ඉතා කෙටි කලකින් පක්ෂය වෙමන් තත්ත්වයකට පත්වූයේ ඇයි? සත්තකටම ඒයට හේතුව හදිසියේ ඒළිවූ, නායකයින් අතර පෞද්ගලික නොගැලපීම් නොවේ. ඒවැනි සුළු කරුණු ගැටුමේ මතුපිට ලකුණු මිස හේතූන් නොවේ. මෙවැනි පැතුරුණු හා ගැඹුරු ගැටුමක්, සංවිධාන පිළිබඳ පරණ මථභේධයන් නැවත මතුවීමකැයි විශ්වාස කල නොහැක. අරුබූදයේ ඇත්ත තේරුම වටහා ගැනීමට නම් වඩා වැඳගත් හේතූන් විමසිය යුතුය.”


“දේශපාලනය පංති අරගලයේ ප්‍රකාශනයක් ලෙස දකිනා අයට – මාක්ස්වාදීන් ලෙස අප ඒ්වා දකින්නේ ඒලෙසටයි – පක්ෂයේ අර්බූදයේ මූලික හේතුව සොයා ගැන්ම අමාරු නැත. අර්බූදය පෙන්වන්නේ බාහිර සමාජ බලපෑමට අපගේ සාමාජික තීරුවල ප්‍රතික්‍රියාවයි.”

– ජේම්ස් පී. කැනන් ගේ “නිර්ධන පංති පක්ෂයක් සඳහා අරගලය” කෘතියෙන්

1981 නොවැම්බර් 03 – වික්‍රමබාහු සහෝදරයාගේ පිළිතුරු

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.