කම්කරු ගොවි ආණ්ඩුව! – සුමනසිරි ලියනගේ – 02 “ජන අරගලය සහ තාවකාලික විප්ලවකාරී ආණ්ඩුවක් සඳහා සටන”

නව සම සමාජ පක්ෂය තුළ 1980 වැඩ වර්ජනයෙන් පසු පසුව ඇති වූ ප්‍රධාන දේශපාලන විවාදයේ ලියවිලි “කම්කරු ගොවි ආණ්ඩුව!” නම් පොත් පිංච හරහා 1981 වසරේදී පළ කරනු ලැබිණි. මෙහි දැක්වෙන අදහස් අතර වෙනස් කම් 1980 ට පෙර සිටම ඇතුලත ලියලමින් තිබුණත්, වැඩ වර්ජනයට පෙර විවෘතව එළියට නොපැමිණි අතර, වැඩ වර්ජනයේ පරාජයත් සමඟ කම්කරු පංතියේ හැකියාවන් ගැන අවිශ්වාස කිරීම මධ්‍යම පංතික කොටස් අතර වඩා ශක්තිමත් විය. සුමනසිරි ලියනගේ සහෝදරයා මතු කළ අදහස් මෙම මධ්‍යම පංතික පීඩනය පක්ෂය ඇතුලත ප්‍රකාශ කිරීමක් විය. ඒ අනුව මතුවූ විවාදයට ඇතුලත් වූ ලිපි විප්ලවවාදී ඉදිරිදර්ශනයක් වෙනුවෙන් දේශපාලන සාකච්ඡාව තියුණු ලෙස ඉදිරියට ගෙනයාම අතිශයින්ම වැදගත් ලෙස සළකා, මෙසේ හරය තුළ පළ කිරීමට තීරණය කළෙමු.

විවාදයට අදාල ලිපි පෙළේ යොමු පහතින්,

තෙවන ලිපිය – ජන අරගලය සහ තාවකාලික විප්ලවකාරී ආණ්ඩුවක් සඳහා සටන

මෙවර වැයි දිනය තුලින් අප ඉදිරිපත් කල තේමාව නැවත වරක් පන්තිය හමුවේ ගැඹුරු සාකච්ඡාවක අවශ්‍යතාවය මතු කර ඇත. හැම කෙනෙක්ම වාගේ නිකමට හෝ යූඇන්පී විරෝධී සටන් පාඨය ඉදිරිපත් කළහ. ජනතා විමුක්ති පෙරමුණ පවා මෙවර නිකම්ම ධනපති විරෝධී මැයි දින වෙනුවට යූඇන්.පී. සහ ධනපති විරෝධී මැයි දිනයක් පවත්වන බවට ප්‍රචාර ගෙන ගියේ ය. මේ අනුව වාචික යූඇන්පී විරෝධය, අද පොදුවේ ආණ්ඩු නොකරන පක්ෂ අතර පිලිගැනෙන්නකි.


කෙසේ වුවද, යූඇන්පී විරෝධය වෙනුවට වෙනත් ආණ්ඩුවක් යන්න කරා ගෙන ගියේ මෙයින් මැයි දින පෙලපාලි දෙකක් පමණි. එකක් පක්ෂ පහේ මැයි රැලියයි. අනෙක අපේ මැයි පෙලපාලිය හා රැලියයි. එය මතු කලේ ජන අරගලයකින් ඇතිවන ආණ්ඩුවක් ගැනය.


ජාත්‍යන්තර පරිමානව පසුගිය දශකය තුල විප්ලවයේ ආදර්ශය වෙනස්ව ඇත. ගරිල්ලා සටන් ක්‍රම[40] පලල්ව පිලි ගැනුන ලතින් ඇමරිකානු රටවල පවා අද විප්ලවය ගෙන ඇත්තේ වෙනස් මඟකි. මධ්‍යම ඇමරිකාවේ නිකරගුවා සහ එල් සැල්වදෝරය පෙන්වන්නේ මෙම වෙනසය. කලින් ගරිල්ලා සංවිධාන නායකත්වය ගත්තද, ගරිල්ලා සටන් පාඨය කාර්යභාරයක් ඉටු කලද, ප්‍රතිගාමී තන්ත්‍ර පෙරලා දැමුවේ පලල් ජන අරගලය මගින්ය. එය කියුබන් මාවතට වෙනස් වන්නකි. එමෙන්ම මැද පෙරදිග ඉරානය තුලද, 1979 අරගලය පෙන්නුම් කළේ මෙයයි.


ජන අරගලකින් ඇතිවන ආණ්ඩුව කුමන ආණ්ඩුවක්ද? න්‍යායාත්මක ක්ෂේත්‍රයෙහි මෙයට උත්තර තුනක් සැපයිය හැක. භාවිතයේ දී එය සංයුක්තව කුමණ ස්වරූපයක් ගන්නේ ද යන්න විවිධ සාධක මගින් තීරණය වන්නේ ය. අපි මුලින්ම මෙම න්‍යායාත්මක හැකියාවන් තුන ගැන කෙටියෙන් සලකා බලමු.

  1. ජන අරගලයෙන් බිහිවෙන කොමේනි වර්ගයේ ආණ්ඩු – ඉරාන
  2. කම්කරු ගොවි ආණ්ඩු – (නිකරගුවා)
  3. සෝවියට් මත පදනම් වූ කම්කරු ගොවි ප්‍රජාතන්ත්‍ර ආණ්ඩු – (1917 ඔක්තෝම්බර් – රුසියාව)

මෙයින් පළවෙනි වර්ගයේ ආණ්ඩු ධනේශ්වරයට විරුද්ධ වූ, ධනේශ්වර පංතියෙන් ස්වාධීන වූ ආණ්ඩු නොවේ. ෂා විරෝධී අරගලයේ දී ඉතාමත් ස්ථීරව ෂා ව පෙරලා දැමීමටත්, එහිදී අතර මැදි විසඳුමක් ප්‍රතික්ෂේප කිරීමටත්, පෙනී සිටීම උඩ කොමේනීට ජන අරගලයේ නායකත්වය ලැබිණි. ජන අරගලය ඇතුලත ශක්තිමත්ව මතුවීමවත්, නව බලතන්ත්‍ර හැටියට ජන මණ්ඩල පැහැදිලිව මතු නොවීමත් නිසා ෂා පලවා හැරීම සමඟ ඇති වූ කොමේනී ආණ්ඩුව තවදුරටත් ස්ථීර ආණ්ඩුවක් බවට පත් විය. කෙසේ වුවද, එහි ස්ථීර බව අවසාන වශයෙන් රැදෙන්නේ එය ධනපති ක්‍රමයේ නියම ආරක්ෂකයෙකු ලෙස මතුවීමෙන් ය. ජන අරගලය තුල දැනුවත්කම ඉතාමත් පහත් මට්ටමක සහ නොපැහැදිලි මට්ටමක පවත්නා විට මෙය ස්වාභාවිකව මතු වන ප්‍රතිඵලය වේ.


දෙවන ඝනයේ ආණ්ඩු තුන්වන ජාත්‍යන්තරය තුල සාකච්ඡා වූ ධනේශ්වරයෙන් ස්වාධීන වූ ආණ්ඩු වේ. හැට ගනන්වල කැස්ට්‍රෝ ආණ්ඩුවද එවැන්නකි. ඒවා නිර්ධන පංති ආඥාදායකත්වය කරා යන ගමනේ පියවරක් පමණි.


තෙවන ඝනයේ ආණ්ඩුවක් ජන අරගලයේ ආරම්භක ජයග්‍රහණය මගින්ම ඇති කර ගත හැක්කේ ඉතාමත් දැඩි දැනුවත්කමක් හා පැහැදිලිකමක් ඇති තත්ත්වයක් ඇතුලත පමණ ය. එමෙන්ම ජනතා සංවිධාන, අරගලය තුල මතුවීම අවශ්‍යය. එම ජන සංවිධාන මත තම බලය ගොඩ නැගීමට තරම් එම සංවිධාන පැහැදිලි පදනමක් මත ඇති විය යුතුය.


කෙසේ වුවද ජන අරගලය පිළිබඳව සැළකීමේ දී ඉන් ඇතිවිය හැකි ආණ්ඩුව ගැන කල්තියා නිශ්චිත උත්තරයක් දිය නොහැකිය. එය විෂයබද්ධ මෙන්ම බොහෝ දුරට ස්වයංබද්ධ සාධක මගින් තීරණය වේ.


විප්ලවවාදී පක්ෂයක් සටන් කරන්නේ තෙවන ගණයේ ආණ්ඩුවක් ගොඩ නඟා ගෙන නියම සමාජවාදී පදනමක් මත පෙරලියක් ඇති කිරීම සඳහා ය. එය, ඒ සටන තුල කල යුතු හැම දෙයක්ම කරන්නේ ය. එක් න්‍යායාත්මක තලයේ මත අනෙක් හැකියාන් ගැන අපට අමතක කල නොහැකිය.(?) ලෙනින් තම පූර්ව විප්ලව ලියවිලිවල – විශේෂයෙන්ම 1905 ට පසු ලියවිලිවල තාවකාලික විප්ලවකාරී ආණ්ඩුවක් ඇතිවීමට ඇති ඉඩකඩ ප්‍රතික්ෂේප කලේ නැතිවා පමණක් නොවේ. එවැනි ආණ්ඩුවකට ඇතුළුවීමට ඇති ඉඩකඩ ගැනද සාකච්ඡා කලේ ය. අනෙක් අතින් ඔහු සටන් කළේ නිර්ධන පංතියේ ජයග්‍රහණය සඳහාය. ඒ නිසා ඔහුට පහසුවෙන්ම පෙබරවාරි විප්ලවයෙන්[44] ඔබ්බට ජයග්‍රහණය තහවුරු කර ගත හැකි විය.


ජන අරගලය ගැන කථා කරන, ඒ ගැන විශ්වාසය තබන, ඒ වෙනුවෙන් සටන් වදින පක්ෂයක් ඒ හා බැඳුන තාවකාලික විප්ලවකාරී ආණ්ඩුව ගැන කථා කර පැහැදිළි කළ යුතුවේ. ඉතාමත් කෙටියෙන් කියන්නේ නම් තාවකාලික විප්ලවකාරී ආණ්ඩුව යනු ජන අරගලය තුල ඊට මැදිහත් වන බලවේග හෝ ඉන් කොටසක් විසින් ගොඩනගා ගන්නා ආණ්ඩුවකි. එම ආණ්ඩුව තාවකාලික එකක් වන්නේ ජන අරගලය මතු කල ප්‍රශ්නවලට එය ස්ථීර විසඳුම් දෙන්නක් ලෙසින් ස්ථීර පදනමක් මත නොපිහිටින එකක් නිසාය. තව පියවරක් තැබිය යුතුය. නියම ආණ්ඩු රාමුව ගොඩ නැගිය යුතුය. ජන අරගලයට හවුල් වන කිසිවෙකුට එකී ආණ්ඩුවට ඇතුල්වීමට ඇති අයිතිය කල්තියා ප්‍රතික්ෂේප කළ නොහැක. අරගලයේ ආරම්භක ජයග්‍රහන අවස්ථාවේ දී ජනතාවගේ දැනුවත්කම් මට්ටම කුමන පැහැදිලි පදනමක් මත පවතිනවාද කියා කල්තියා කිව නොහැක. මේ නිසා විප්ලවවාදී පක්ෂය තාවකාලික විප්ලවකාරී ආණ්ඩුවක් කල් තියා ප්‍රතික්ෂේප කරන්නේ නැත. ඒත් එවැනි ආණ්ඩුවකට තමන් ඇතුළු වෙනවාද නැද්ද යන්න ගැන කල් තියා තීරණය කෙරුණ පදනම් පද්ධතියක් පක්ෂයට තිබේ. පළවෙනි ඝනයේ ආණ්ඩුවකට විප්ලවකාරී පක්ෂයක් ඇතුලු වන්නේ නැත. පක්ෂය ජන අරගලය මත තවදුරටත් පදනම්ව සීරුවෙන් ජනතාවට පැහැදිලි කර දෙමින් ඊලඟ අවධිය සඳහා සටන් කරනු ඇත. දෙවන ගණයේ ආණ්ඩුවකට විප්ලවකාරී පක්ෂයකට ඇතුල් වීමට ඉඩකඩ නැතැයි කල් තියා ප්‍රතික්ෂේප කළ නොහැකිය. තම ස්වාධීනත්වය රැක ගනිමින් තම මූලෝපාය දිනා ගැනීමට, පක්ෂය එවැනි ආණ්ඩු තුල සටන් වදිනු ඇත. තුන්වැනි ගණයේ ආණ්ඩුවක් නිශ්චිතවම විප්ලවීය පක්ෂයේ නායකත්වය මත ඇති වන්නකි.


මෙම න්‍යායාත්මක ආදර්ශය මත ඇතුලත පිහිටා ශ්‍රී ලංකාවේ ජන අරගලය ගැන කථා කරමු. අද ජන අරගලය සංයුක්තව මතු විය යුත්තේ යූඇන්පී විරෝධී අරගලයක් හැටියටය. ඒත් හැම යූඇන්පී විරෝධී පක්ෂයක්ම ජන අරගලයේ කොටස් කරුවෝ වන්නේ නැත. මේ නිසා යූඇන්පී විරෝධය ජන අරගලයට සහභාගීත්වය සමඟ සමාන කිරීම වැරදිය. එවැන්නක් ගමන් ගනු ඇත්තේ භයානක පෙරමුණු වලට ය. මෙතෙන්දී වැදගත් වන්නේ වචනය නොවේ. භාවිතය ය. ‍මෙවර මැයි දිනය තුල අප පෙනී සිටියේ මෙන්න මේ පදනම මත පිහිටා ය. ජර්මන් කවියෙක් වූ ගොතේ වරෙක ප්‍රකාශ කල ලෙස ‘ආරම්භය ඇත්තේ ක්‍රියාවේය’.

සුමනසිරි ලියනගේ – 1981 මැයි

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.