කම්කරු ගොවි ආණ්ඩුව! – සුමනසිරි සහෝදරයාට පිළිතුරු – බාහු – 02 “දේශපාලන සාකච්ඡාව වෙත නැවත යොමු වෙමු!”

නව සම සමාජ පක්ෂය තුළ 1980 වැඩ වර්ජනයෙන් පසු පසුව ඇති වූ ප්‍රධාන දේශපාලන විවාදයේ ලියවිලි “කම්කරු ගොවි ආණ්ඩුව!” නම් පොත් පිංච හරහා 1981 වසරේදී පළ කරනු ලැබිණි. මෙහි දැක්වෙන අදහස් අතර වෙනස් කම් 1980 ට පෙර සිටම ඇතුලත ලියලමින් තිබුණත්, වැඩ වර්ජනයට පෙර විවෘතව එළියට නොපැමිණි අතර, වැඩ වර්ජනයේ පරාජයත් සමඟ කම්කරු පංතියේ හැකියාවන් ගැන අවිශ්වාස කිරීම මධ්‍යම පංතික කොටස් අතර වඩා ශක්තිමත් විය. සුමනසිරි ලියනගේ සහෝදරයා මතු කළ අදහස් මෙම මධ්‍යම පංතික පීඩනය පක්ෂය ඇතුලත ප්‍රකාශ කිරීමක් විය. ඒ අනුව මතුවූ විවාදයට ඇතුලත් වූ ලිපි විප්ලවවාදී ඉදිරිදර්ශනයක් වෙනුවෙන් දේශපාලන සාකච්ඡාව තියුණු ලෙස ඉදිරියට ගෙනයාම අතිශයින්ම වැදගත් ලෙස සළකා, මෙසේ හරය තුළ පළ කිරීමට තීරණය කළෙමු.

විවාදයට අදාල ලිපි පෙළේ යොමු පහතින්,

පස්වන ලිපිය – දේශපාලන සාකච්ඡාව වෙත නැවත යොමු වෙමු!

(සුමනසිරි සහෝදරයාට පිළිතුරු වශයෙන් ලියූ ලිපිය.)


ආණ්ඩු සංකල්පයක් වශයෙන් ගත් කල ගොවි-කම්කරු ආණ්ඩු සංකල්පය ස්ටාලින් – බුකාරින් විසින් 1920 ගණන්වල මැද භාගයේ ඉදිරිපත් කරන ලද්දක් වන අතර, එය ඉදිරිපත් කරන ලද්දේ නිර්ධන පංති ආඥාදායකත්වය යන ආණ්ඩු බලයට විරුද්ධවය. ට්‍රොට්ස්කි සහෝදරයා ‘නොනවතින විප්ලවය’ 1928 වන විට ලියන ලද්දේ, මේ අදහස් මුළුමනින්ම පංති අරගලය වලලා දමන අදහස් මාලාවක් වී ඇති බව පෙන්වීමටය. සුමනසිරි සහෝදරයා ඉතිහාසයේ කුණු බක්කියෙන් ඇද නැවත ඉදිරිපත් කරන්නේ ඒවා මාක්ස්වාදීන් ඉදිරියට ගෙන යා යුතු අදහස් හැටියට ය. මෙය ස්ටාලින්වාදය වෙනුවෙන් පක්ෂය තුල සටන් වැදීම ය.


සුමනසිරි සහෝදරයා ආණ්ඩු සංකල්පයක් හා උපායික සටන් පාඨයක් අතර, අන්තර් සම්බන්ධය මුළුමනින්ම පටලවා ගෙන සිටී. ඇත්තවශයෙන් ස්ටාලින් හා බුකාරින් තම අදහස් වර්ධනය ඇරඹූයේ ඔවැනි අවුලක් තුලින්ම ය. 1922 වර්ෂය අවසන් වන තෙක්ම මෙම සංකල්පමය වැරැද්ද න්‍යායික තලයේ ඉස්මතුව පෙනුනේ නැත. එය ඉතා නිරවුල්ව මතුවූයේ චීන විප්ලවය පිළිබඳ සාකච්ඡාව තුලය. එයටම සම්බන්ධව යුරෝපය තුලද එක්සත් පෙරමුණක උපාය පිළිබඳ ප්‍රශ්නය දිග හැරුණි. ‘කම්කරු ආණ්ඩු’ සටන් පාඨයත්, මහජන පෙරමුණු පාවාදීමත් සම්බන්ධ වූයේ එලෙසට ය.


අද අප සිටින්නේ චීනය හා යුරෝපා විප්ලවය ඇතුලත මෙම සංකල්පමය පිරිහීමට විරුද්ධව ට්‍රොට්ස්කි සහෝදරයා ගෙන ගියාවූ අරගලයේ පදනම මතය. සුමනසිරි සහෝදරයා උනන්දුවෙන් දිගහැර පෙන්වන 1922 ලියවිල්ල පමණක් නොව, එසේම, ලෙනින් ඒ දිනවල ඉදිරිපත් කළ අදහස් හා එපමණක් නොව ට්‍රොට්ස්කි සහෝදරයාම එම දිනවල ඉදිරිපත් කළ අදහස් වටහා ගත හැක්කේ එම පදනම මත පිහිටා පමණක් ය. සුමනසිරි සහෝදරයා ස්ටාලින්වාදීන් අනුගමනය කරමින් අතහැර දමන්නේ එයයි.


තුන්වන ජාත්‍යන්තරයේ ප්‍රථම සම්මේලනයන් 04 ස්ටාලින්වාදීන් ද බැහැර කරන්නේ නැත. ඔවුන් එම සම්මේලන සාකච්ඡා ඔවුන්ගේ පසුකාලීන මතවාදී වර්ධනයන්ගේ පසුබිමේ සිට වටහා ගනිති. ඇත්තවශයෙන් උපායික පියවර වලදී අපට හුරු හා එම පෙනුම ඇති, පියවරයන්ට ඔවුන් අද ද එළඹෙති. ඒත් ප්‍රශ්නය ඇත්තේ එම පියවරයන්ට පසුබිම් වන්නා වූ සංකල්පයන් මතය. සටන් පාඨ හෝ උපාය තීන්දු වන්නේ ඒ අනුවය. මේ බව තේරුම් නොගන්නා සුමනසිරි සහෝදරයා තමා ඉදිරිපත් කරන 1922 ලියවිල්ලෙත්, තමාගේ ‘ගොවි කම්කරු ආණ්ඩු සංකල්පය’ හා ‘විප්ලවකාරී ආණ්ඩුවක් සඳහා සටන’ යන අදහස් වලත්, ඇති මූලික පරස්පරය නොදකී. 1922 ලියවිල්ල සටන් පාඨයක් හා උපායික ගැටළුවක් විස්තර කරයි. සුමනසිරි සහෝදරයා යටත් විජිත විප්ලවයේ හැකියාවන් ගැන න්‍යායාත්මක විග්‍රහයක් කරයි. 1922 ලියවිල්ල විප්ලවයේ එකම විප්ලවකාරී අවධිය වන නිර්ධන පංති ආඥාදායකත්වය ගොඩ නැගීමේ උපායික පියවර විස්තර කරයි. සුමනසිරි සහෝදරයා යටත් විජිත විප්ලවයේ දී නිර්ධන පංති ආඥාදායකත්වයට පෙරාතුව ඇති විප්ලවකාරී අතරමැදි අවදියක් අනුමාන කරයි.


‘කම්කරු ගොවි ආණ්ඩුවක්’ සටන් පාඨය


ඇත්තටම කම්කරු ගොවි ආණ්ඩු සටන් පාඨය ඉතාම වැදගත් ය. එය වඩා සංයුක්ත කරමින් ඉදිරිපත් කිරීම අවශ්‍යය. ඒත් එය උපායික සටන් පාඨයක් බවත්, එක්සත් පෙරමුණු උපාය මාර්ග මත පදනම් වන බවත්, හොඳින් වටහා ගත යුතුය. මේ නිසාම අද ලංකාවේ දී අප එය අපගේ මූලික සටන් පාඨයක් කර ගෙන ඇත්තෙමු. ‘කම්කරු, ගොවි, සෙබල කොමිටි මත පදනම් මූ විප්ලවකාරී වාමාංශික ආණ්ඩුවක්’; ලෙසින් අප ඉදිරිපත් කරන්නේ මෙම සටන් පාඨයයි. එය එක් අතකින් අවස්ථාවාදී කම්කරු නායකයන් ඉදිරියේ තියුණු අභියෝගයක් ඉදිරිපත් කරයි. ඔවුන් එළිදරව්වකට ගෙනයයි. අනෙක් අතට කම්කරුවන්ට හා අනෙක් පීඬිතයන්ට විශාල අධ්‍යාපනයක් ලබා‍ දෙයි. එහෙත් ආණ්ඩුවක් හැඳින්වීමක් ලෙස ගත් කල, එය කම්කරුවන් ප්‍රධාන වී ගොඩ නගන්නා වූ ආණ්ඩුවක් ජනප්‍රිය ලෙස හැඳින්වීමක් පමණි. ඒ හැර එය වෙන ආණ්ඩුවකට නැතිනම් වෙනයම් අතරමැදි විප්ලවකාරී ආණ්ඩුවකට හැඳින්වීමක් නම් නොවේ.


සුමනසිරි සහෝදරයා අපට දමා ගැසූ 1922 උපායන් ගැන ප්‍රවාදය කේරුම් ගැනීමට ඒ දිනවල ට්‍රොට්ස්කි සහෝදරයා ලියූ ලිපි හා දේශන අපට තිබේ. 1922 දෙසැම්බර් 28 වෙනි දින ඔහු ඉදිරිපත් කල 04 වෙනි ලෝක සම්මේලන වාර්තාවේ මෙසේ සඳහන් වේ.


“ ඒ අනුව ‘කම්කරු ආණ්ඩුවක්’ සටන් පාඨය, කම්කරු පංතිය හා අනෙක් සියළු පංතීන් අතරට කොමියුනිස්ට්වාදීන් විසින් ගසන්නා වූ කූඤ්ඤයක් වේ. සමාජ ප්‍රජාතන්ත්‍රවාදයේ ඉහල කොටස, එනම් ප්‍රතිසංස්කරණවාදීන්; ධනපතියන් සමඟ බැඳී ඇති හෙයින් මෙම කූඤ්ඤය දැනට සමාජ ප්‍රජාතන්ත්‍රවාදී කම්කරුවන්ගේ වම, එහි නායකයින්ගෙන් බිඳී වෙන් වී යන ලෙසටම තව තවත් උග්‍ර ලෙස ඈත් කරනු ඇත. සමහර තත්ත්වයන් යටතේ යුරෝපයේ දී කම්කරු ආණ්ඩුවක් සටන් පාඨය යථාර්තයක් වන්නට හැකිය. ඒ කියන්නේ, අප වාම සමාජ විප්ලවවාදීන් සමඟ රුසියාවේ දී කම්කරු-ගොවි ආණ්ඩුවක් සෑදු ලෙසට සමාජ ප්‍රජාතන්ත්‍රවාදී වමේ කොටස් සමඟ එක්වී කොමියුනිස්ට්වාදීන් විසින් කම්කරු ආණ්ඩුවක් සාදන මොහොතක් ඇති විය හැකිය. එවැනි පියවරක් තුල සර්ව සම්පූර්ණ නිර්ධන පංතික ආඥාදායකත්වයකට සංක්‍රමනය සමන්විත වේ”. (අවධාරණය අපේය)


මේ අනුව මේ සටන් පාඨය තනිකර කොමියුනිස්ට් ආණ්ඩුවක් සෑදීම මුල්කොට අප විසින් උපායිකව යොදා ඇත්තේ මුත්, යම් හේතූන් මත ඊට වඩා වෙනස් වූ හවුල් ආණ්ඩුවක් මතුවිය හැකි වන්නේ ය. ඒත් එම ආණ්ඩුවද ඔක්තෝම්බර් විප්ලවයෙන් පසුව ඇති වූ අන්දමේ හවුල් ආණ්ඩුවක් ය. යටකී හවුල් ආණ්ඩුව සිවිල් යුද්ධයේ ආයුධයක් වූ අතර, රුසියාව පුරාම බොල්ෂෙවික්[47] බලය විහිදුවා හැරීමට හේතු විය. එමඟින් නිර්ධන පංති ආඥාදායකත්වය පරිපූර්ණ විය.


ඒත් සුමනසිරි සහෝදරයාට අනුව තත්ත්වය මීට හාත්පසින්ම වෙනස් ය. එක් අතකින් නිර්ධන පංති ආඥාදායකත්වයට වෙනස් වූ කම්කරු ගොවි ආණ්ඩුව එක්තරා ඇත්ත හැකියාවක් ය. න්‍යායාත්මකව ප්‍රක්ෂේපනය කළ යුතු හැකියාවක් ය. අහම්බ පරිවර්තනයේ අංගයක් නොවේ. ඔහු මෙසේ කියයි.

  • “ජන අරගලකින් ඇතිවන ආණ්ඩුව කුමන ආණ්ඩුවක්ද? න්‍යායාත්මක ක්ෂේත්‍රයෙහි මෙයට උත්තර තුනක් සැපයිය හැක. භාවිතයේ දී එය සංයුක්තව කුමණ ස්වරූපයක් ගන්නේ ද යන්න විවිධ සාධක මගින් තීරණය වන්නේ ය.”


අනෙක් අතට එම ආණ්ඩුව ඔක්තෝම්බර් විප්ලවයෙන්[48] පසුව පෙට්‍රෝග්‍රාඩය මුල් කොට ගොඩ නැඟුන සිවිල් යුද්ධයේ බල කඳවුර වූ විප්ලවකාරී ආණ්ඩුව මෙන් නොව වෙනත් පංතිමය නායකත්වයක් පවා ලබා ගන්නා වූ ආණ්ඩුවක් විය හැකිය.

ඔහු මෙසේ කියයි.

  • “දෙවන ඝනයේ ආණ්ඩු තුන්වන ජාත්‍යන්තරය තුල සාකච්ඡා වූ ධනේශ්වරයෙන් ස්වාධීන වූ ආණ්ඩු වේ. හැට ගනන්වල කැස්ට්‍රෝ ආණ්ඩුවද එවැන්නකි. ඒවා නිර්ධන පංති ආඥාදායකත්වය කරා යන ගමනේ පියවරක් පමණි.”


මේ ආණ්ඩුව ඔහු කියන ලෙසට ධනේශ්වරයෙන් වෙන් වෙලා ය. අනෙක් අතට එය නිතර මුනගැසෙන පියවරයන් ය. දැනට නිකරගුවාවේ තිබෙන්නේ ද එවැනි ආණ්ඩුවකි. මේ අදහස් අන් කිසිවක් නොව තෙම්පරාදු කල ස්ටාලින්වාදය යි.


කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී ආඥාදායකත්වය:-


1922 දී ජාත්‍යන්තරය තුල මූලිකව සාකච්ඡා වූයේ යුරෝපයේ විප්ලවයයි. එනිසාම කම්කරු ආණ්ඩුව හෝ කම්කරු ගොවි ආණ්ඩු යන සටන් පාඨ සාකච්ඡාවට ගැනුනේ යුරෝපයේ උපායික ගැටළු තුලය. සුමනසිරි සහෝදරයා ඉදිරිපත් කරන 1922 ලියවිල්ල ගැනද මෙය සත්‍යය ය. (එහි ඕස්ට්‍රේලියාවේ හැර සියළු උදාහරණ යෙදී ඇත්තේ යුරෝපය තුලය) මෙහි දී වැදගත් වන්නේ අඩු දියුණු රටවල නැත්නම් යටත් විජිත විප්ලවය ගැන සාකච්ඡාව තුල මේ සටන් පාඨ ගමන් ගත් දිසාවයි. විශේෂයෙන්ම 1925/27 චීන විප්ලවය තුල දී ගොවි කම්කරු සටන් පාඨයත්, සුමනසිරි සහෝදරයා ඉදිරිපත් කරන ගොවි කම්කරු ආණ්ඩු සංකල්පයත්, තියුණු සාකච්ඡාවට භාජනය විය. ඇත්තටම ලංකාවේ විප්ලවය පැත්තෙන් ගත් කල අපට අවශ්‍ය වන්නේ මේ සාකච්ඡාවන් තුල නිරවුල් වූයේ කුමක්ද යන්න යි. සුමනසිරි සහෝදරයා විසින් තැනින් තැන මතු කරන, ඒත් මෙතෙක් නිරවුල් සාකච්ඡාවකට ගෙන යන්නට උත්සාහ නොගත් ප්‍රධාන ප්‍රශ්නය වන ඊනියා ගොවි ජන පක්ෂ පිළිබඳ සාකච්ඡා කළ හැකි වන්නේ මෙම පදනමේ සිටය. ඔහු සිතන අන්දමට ( එසේම සියළු ස්ටාලින්වාදීන් හා ඔවුන්ගේ හවුල් කරුවන් සිතන ලෙසට) එවැනි පක්ෂ, ස්වාධීන දේශපාලනයට යොමු වන්නේ ය. අප විසින් ඉතාම තියුණු ලෙස විවාදයට ලක් කල යුත්තේ මේ අදහසයි. එය කම්කරු ගොවි ආණ්ඩු සංකල්පය සමඟ ඉතා ලඟින් බැදේ. ‍


අඩු දියුණු රටක විප්ලවකාරී ආණ්ඩුව විසින් ක්ෂණිකව කල යුතු වැඩ කොටස වන්නේ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී වැඩ කොටසක් ය. එහෙත් එම වැඩ කොටසින් ඇරඹීමත් සමගම ධනපති විරෝධී වැඩ පිළිවෙලකට යන්නට සිදු වේ. නොඑසේ නම් සිදු වන්නේ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී වැඩ පිළිවෙල විකෘති වී ගොස් ප්‍රතිවිප්ලවවාදී තත්ත්වයක් තහවුරු වීම ය. මේ නිසාම විප්ලවකාරී ලෙස එම වැඩ කොටස කල හැක්කේ නිර්ධන පංති ආඥාදායකත්වයකට ය. මේ නිසා යටත් විජිත හෝ අඩු දියුණු රටක අප විසින් කම්කරු ගොවි ආණ්ඩුවක් යන සටන් පාඨය දමන්නේ කම්කරු ආධිපත්‍යය සහිත ආණ්ඩුවක් හඳුන්වාදීම පෙරදැරි කරගෙනය. වෙනයම් විප්ලවකාරී ආණ්ඩුවක්, එනම් විප්ලවකරී වූ ඒත් නිර්ධන ආධිපත්‍යයෙන් තොර වූ ආණ්ඩුවක් ගැන, සංකල්පයක් මුල් කොට එම සටන් පාඨ යෙදීම ප්‍රතිවිප්ලවයට සේවය කිරීමකි.


මේ ප්‍රශ්නය වඩාත් සංකීර්ණ වූයේ ලෙනින් විසින් 1917 අප්‍රේල් විවාදයට[49] පෙර ඉදිරිපත් කර තිබූ “කම්රුවන්ගේ හා ගොවියන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී ආඥාදායකත්වයක්” යන සටන් පාඨය තුලිණි. මෙම, සටන් පාඨය උපායික සටන් පාඨයක් ලෙස පමණක් ගත් කල නිවැරදි ය. එහෙත් එය ආණ්ඩු සංකල්පයක් ලෙස ගත් කල මුළුමනින්ම වැරදි පමණක් නොව ද්‍රෝහී දේශපාලනයකට දොර ඇරීමකි. ට්‍රොට්ස්කි තම ‘නොනවතින විප්ලවය’ යන කෘතිය මගින් ඉතා විස්තරාත්මකව පෙන්වා දෙන ලද්දේ මේ කරුණයි. ස්ටාලින්-බුකාරින් 1925/27 චීන විප්ලවය තුල දී එහි කොමියුනිස්ට් පක්ෂයට බල කලේ කම්කරු ගොවි ආණ්ඩුවක්, කම්කරු ආඥාදායකත්වයට පෙර ඇති වන එක්තරා නිශ්චිත පියවරක් නිසා ඒ වෙනුවෙන් කැපවී වැඩ කරන ලෙසය. මෙයින් වූයේ චීන විප්ලවය ලේ ගංගාවක් මැද විනාශ වීමට මග පෑදු පාවාදීමකි.


“මෙහි තේරුම වන්නේ ‘කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ප්‍රජාන්ත්‍රවාදී ආඥාදායකත්වය’ යන්න සංකල්පනය කල හැක්කේ තමා පසුපස වූ ගොවි ජනතාවට නායකත්වය දෙන්නා වූ කම්කරුවන්ගේ ආඥාදායකත්වයක් ලෙසට පමණි” (නොනවතින විප්ලවය පිට 153)


මේ අනුව ‘කම්කරු ගොවි ආණ්ඩුවක්’ යන යටන් පාඨය සංකල්පමය ලෙස පදනම් විය යුත්තේ නිර්ධන පංති ආඥාදායකත්වය මතය. සත්තකටම නිර්ධන පංති ආඥාදායකත්වය එක වර පරිපූර්ණ නොවන්නට ඉඩ ඇත්තේ ය. සිවිල් යුද්ධමය කාලයක් තුල බල කේන්ද්‍රයක සිට වැඩී යෑමට ඉඩ ඇත්තේ ය. එම කාලය තුලදී, එම සිවිල් යුද්ධයට හා ගමේ පංති සටනට ද මැදි වූ විප්ලවකාරී බලයට, එනම් අසම්පූර්ණ නිර්ධන පංති ආඥාදායකත්වයට, අපට ගොවි කම්කරු ආණ්ඩුවක් යයි නම් කල හැකිය. 1917 සිට 1918 නොවැම්බර් දක්වා රුසියානු ගොවි කම්කරු ආණ්ඩුවක් යැයි අප කියන්නේ ඒ නිසාය. ඒ කාලය තුලදී එය තනිකර කොමියුනිස්ට් ආණ්ඩුවක් නොවී ය. එසේම රටපුරා පංති සටන හා සිවිල් යුද්ධය පැතිර යමින් පැවතිනි. ඒත් එය ප්‍රජාතන්ත්‍රීය පමණක් වූ ආණ්ඩුවක් නො වීය. ට්‍රොට්ස්කි මෙසේ කියයි.


“මෙයින් අදහස් වන්නේ, අසහාය බලය හා ප්‍රවේණිවාදය විනාශ කලා වූ ද, රදලයන්ගෙන් ඉඩම් උදුරා ගත්තා වූ ද නියම කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී ආඥාදායකත්වය සම්පූර්ණ වූයේ ඔක්තෝම්බරයට පෙර නොව ඔක්තෝම්බරයට පසුවයි. එය මාක්ස්ගේ වචන අනුවම සම්පූර්ණ වූයේ ගොවීන්ගේ යුද්ධයෙන් පිටුබලය ලැබූ කම්කරු ආඥාදායකත්වය ලෙසටය. ඉන් මාස කීපයකට පසු එය සමාජවාදී ඒකාධිපතීත්වයක් කරා වැඩී යන්නට විය” – නොවතින විප්ලවය පිටු 104
මේ නිසාම 1918 සරත් සමය වන තෙක් (එනම් සැප්තැම්බර්), බොල්ෂෙවික් විප්ලවය ධනපති විප්ලවයක් යැයි ලෙනින් කීවේ ඒ තේරුමෙනි. ඒ නිසාම අවුරුද්දක පමණ කාලයක් ඔක්තෝම්බරයේ බිහිවූ විප්ලවකාරී ආණ්ඩුව තාවකාලික හා අඩමාන ස්වරූපයක් ගත්තේ ය. ලෙනින් මෙසේ කියයි;


“ප්‍රධාන නගරවල කම්කරු විප්ලවයෙන් පසුව, එහි බලපෑම හා ආධාරය යටතේ ඈත පිටිසර දිස්ත්‍රික්කවල නිර්ධන විප්ලවය පැතිරී ගියේ ය. මෙයින් අවසන් වශයෙන් සෝවියට් වල බලය හා බොල්ෂෙවික්වාදය තහවුරු වූ අතර, එයට මුහුණදිය හැකි බලයක් රට තුල නොමැති බව අවසන් වශයෙන් පැහැදිලි විය” ‘නිර්ධන පංති විප්ලවය හා කව්ට්ස්කි නමැති ද්‍රෝහියා’- පිට 102
ඒත් 1917 ඔක්තෝම්බර් සිට 1918 නොවැම්බර් දක්වා තිබූ ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදී පමණක් වූ ආණ්ඩුවක් නොවන හෙයින් කම්කරුවන් හා ගොවීන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී ආඥාදායකත්වයක් ලෙස එය හැඳින්වීම වැරදි වූ අතර උපායික සටන් පාඨයක් හැටියට ගත් කල ප්‍රජාතන්ත්‍රවාදී යන විශේෂණය දැමීම වැරදි සහගත නොවී ය. ඒ අනුව කම්කරු ගොවි ආණ්ඩුවක් යන සටන් පාඨය නිවැරදි ය. ඒත් අඩුම වශයෙන් ගත් කල බොල්ෂෙවික්වරු ප්‍රධාන වූ හවුල් ආණ්ඩුවක් ලෙසට මිස අන් ලෙසකට එය යථාර්ථයක් වන්නට බැරි බව අප වටහා ගත යුතුය.


සංක්‍රමණීය ක්‍රියාමාර්ගය හා කම්කරු ගොවි සටන් පාඨය


“කම්කරු ගොවි ආණ්ඩුවක්” යන සටන් පාඨය ට්‍රොට්ස්කි සංක්‍රමණීය ක්‍රියාමාර්ගයට ඇතුල් කළේ ය. ඒත් කම්කරු ගොවි ආණ්ඩු සංකල්පයක් ට්‍රොට්ස්කි ඇතුල් කළේ නැත. ඉහත සඳහන් සටන් පාඨය නිර්ධන පංති ආඥාදායකත්වය මුල් කොට එල්ල වූවක් ය. සංකල්පය එය මිස වෙන කෙහෙල්මලක් නොවේ.


“ගොවි කම්කරු ආණ්ඩුව” පිළිබඳ සූත්‍රය මුලින්ම ඉදිරිපත් වූයේ 1917 බොල්ෂෙවික්වරුන්ගේ උද්ඝෝෂණය තුලදී ය. ඔක්තෝම්බර් විප්ලවයෙන් පසු එය නිශ්චිත වශයෙන් පිලිගැනිනි. අවසාන වශයෙන්, පිහිටුවා තිබූ නිර්ධන පංති ආඥාදායකත්වය, ප්‍රසාද ජනත ලෙස හැඳින්වීමකට වඩා වැඩි දෙයක් එයින් නිරූපනය වූයේ නැත. මෙම හැඳින්වීමේ වැදගත්කම වන්නේ, සෝවියට් බලය රඳා පවතින්නාවූ කම්කරුවන්ගේ හා ගොවීන්ගේ සහයෝගය පිළිබඳ අදහස, වඩාත් අවධාරණයෙන් පැවසීමය”- ට්‍රොට්ස්කි


සත්තකටම මෙම සටන් පාඨය එල්ල කොට ගෙන යන්නා වූ අරගලයේ දී අවස්ථාවාදී කම්කරු පක්ෂයක් වෙනත් සුළු ධනේශ්වර සංවිධාන එක් කොට ගෙන ධනපතියන්ගෙන් වෙන් වූ ආණ්ඩුවක් පිහිටුවන්නට බැරිද යන ප්‍රශ්නය මතු වේ. මෙයට පිළිතුරු ලෙස මේ සම්මජාතියේ දී වෙන්නේ නැතැයි දිවුරන්නට බැරිය. ඒත් අප දන්නා දෙය නම් එවැනි පක්ෂවල ආණ්ඩු 1917 ඔක්තෝම්බර් සිට 1918 නොවැම්බර් දක්වා වූ ගොවි කම්කරු ආණ්ඩුවකට සමාන වෙනවා වෙනුවට 1917 අප්‍රේල් සිට 1917 ඔක්තෝම්බර් අතර වූ සභාග ආණ්ඩුවට සමාන වන බවය. එනම් මහා පාවාදීම් වන්නා වූ “ජාතික ආණ්ඩු”, “මහජන පෙරමුණු ආණ්ඩු”, “සභාග ආණ්ඩු”[50] ඇති කිරීමට එම පක්ෂ යොමු වූ බවය. ඉහත කී සටන් පාඨය තුලට නිර්ධන පංති ආඥාදායකත්වයට වෙනස් වූ ගොවි කම්කරු ආණ්ඩුවක් පිළිබද සංකල්පයක් ඇතුල් කිරීමට උත්සාහ කරන්නන්ගේ වැඩ කොටස වන්නේ එවැනි පාවාදීම් වෙනුවෙන් න්‍යායික පදනම සකස් කර දීමය. ස්ටාලින්-බුකාරින්-රඩෙක් එදා කලේ එයයි. අද සුමනසිරි සහෝදරයා කරන්නට උත්සාහ කරන්නේ ද එයයි.


“ගොවි පක්ෂ” හා කම්කරු ගොවි ආණ්ඩුව


සුමනසිරි සහෝදරයා ඉස්මත්තට ගැනීමට උත්සාහ කරන; නිර්ධන පංති ආඥාදායකත්වයක් (සම්පූර්ණ හෝ අසම්පූර්ණ) නොවන්නා වූ, ‘කම්කරු ගොවි ආණ්ඩුව’ සංකල්පනය කිරීමේ දී මතුවන්නා වූ ගැටළුව වන්නේ එහි ඇත්ත දේශපාලන ස්වරූපයයි. මෙම ප්‍රශ්නය තියුණු සාකච්ඡාවකට භාජනය වූයේ 1925/27 චීන විප්ලවයේ අත්දැකීම් පසුබිමේ සිටය. එයට 1922 විවාද තුලින් පිළිතුරු සැපයිය නොහැකි වූ අතර, එලෙසට සීමාවීම් වැරදි මාවතට පිවිසීමය. ඒත් සුමනසිරි සහෝදරයා ඊනියා කම්කරු ගොවි ආණ්ඩුව නැත්නම් තාවකාලික විප්ලවකාරී ආණ්ඩුවේ දේශපාලන ස්වරූපය ගැන හැදෑරීමක් කරන්නේ නැතිවා පමණක් නොව ට්‍රොට්ස්කි විසින් රඩෙක්ට විරුද්ධව 1928 දී ලියූ “නොනවතින විප්ලවය” යන විවාදාත්මක ලිපි පෙල ගැන සඳහන් කරන්නේ ද නැත.
මෙවැනි ආණ්ඩුවක් පිළිබඳ අදහස න්‍යායාත්මකව සැලකීමේ දී පළමුවෙන්ම කල්පනා කල යුත්තේ එහි දේශපාලන ස්වරූපය ගැනයි. කුමන දේශපාලන සංවිධාන කුමන ලෙසට ගොනුවී මේ ආණ්ඩුව ගොඩ නගනවාද යන ප්‍රශ්නයයි. විප්ලවකාරී කම්කරු පක්ෂය ප්‍රධාන කොට ගොඩ නොනැගෙන්නේ නම් එහි සංයුතිය කුමක් ද?


අවස්ථාවාදී කම්කරු පක්ෂ නැත්නම් ස්ටාලින්වාදී කම්කරු පක්ෂ ප්‍රධානව එවැන්නක් ගොඩ නැ‍ගෙන්නට ඇති හැකියාව ගැන අපට කල්පනා කල හැකිය. සත්තකටම ඔවුන් බලයට පත්වූ අවස්ථා ඇත. ඒත් එය අසම්පූර්ණ නිර්ධන පංති ආඥාදායකත්වයක් පමණි. විකෘති වූ කම්කරු රාජ්‍යයක් එයින් බිහිවන්නේ ය. චීනය, වියට්නාමය උදාහරණ වේ. නිලධාරිවාදී නායකත්වය තහවුරු වෙමින් ගොඩ නැගෙන ස්ටාලින්වාදී රාජ්‍ය, කම්කරු ගොවි ආණ්ඩු කියා හැඳින්වීම වැරදිය. ඒත් සුමනසිරි සහෝදරයා සංකල්පනය කරන්නේ එවැන්නක් නොවේ.


“දෙවන ඝනයේ ආණ්ඩු තුන්වන ජාත්‍යන්තරය තුල සාකච්ඡා වූ ධනේශ්වරයෙන් ස්වාධීන වන්නා වූ ආණ්ඩුය. 60 ගනන් වල මුල කැස්ට්‍රෝ-චේ ගුවේරා ආණ්ඩුවත් එවැන්නකි. මේවා නිර්ධන පංති ආඥාදායත්වය කරා යන ගමනේ පියවරක් පමණි.”


එලෙසටම ද නිකරගුවාවේ ආණ්ඩුවක් ගැන ඔහු සඳහන් කරයි. මේ කියන්නේ “කම්කරු ගොවි ආණ්ඩු”, “තාවකාලික විප්ලවකාරී ආණ්ඩු” කම්කරු නොවන සංවිධාන මුල් වීමෙන් ද ගොඩ නඟන බවය. මෙහි දී කැස්ට්‍රෝ ගේ කෙරුවාවල් ගැන අප සාකච්ඡා කිරීමට පෙර න්‍යායාත්මක තලයේ මේ සංකල්පයේ ඇති බංකොලොත්කම එලිදරව් කොට සිටිය යුතුය.


කම්කරු පක්ෂයක් ප්‍රධාන නොවී හදන මේ ඊනියා තාවකාලික විප්ලවකාරී ආණ්ඩුවේ ප්‍රධාන බලකාරයා ගොවි ජනතාවගේ විප්ලවකාරී පක්ෂයක් ද? ගොවීන්ගේ දේශපාලන නායකත්වයක් ද? සුමනසිරි සහෝදරයාගේ උදාහරණ මෙන්ම ගොවි ජනතාවගේ හැකියාවන් ගැන ඉදිරිපත් කරන ස්ටාලින්වාදී මත වලින් ද අපට පෙනෙන්නේ ඔහුගේ පිළිතුර ‘ඔව්’ බවය. ඔහු කල්පනා කරන අන්දමට ගොවි ජන පක්ෂ කියා වර්ගයක් ඇත්තේ ය. මේවා ශ්‍රීලනිප මෙන් නොව ධනපති පංතියෙන් ස්වාධීනය. ඒ අනුව තාවකාලික විප්ලවකාරී ආණ්ඩුවේ බලකාරයා මේ පක්ෂයයි. නැත්නම් දේශපාලන නායකත්වයයි.


මෙම අදහසේ වැරදි බව පෙන්වීම උදෙසාම ය ට්‍රොට්ස්කි ‘නොනවතින විප්ලවය’ නමැති විවාදාත්මක ලිපි පෙල ලියන ලද්දේ. එහි දී ඉතාම නිරවුල්ව පෙන්වා දෙන්නේ මෙවැනි ගොවි ජනයාගේ ස්වාධීන දේශපාලන නායකත්වයක් නොමැති බවයි. ගොවි ජනයාගේ ස්වාධීන දේශපාලනයකැයි බැලූ බැල්මට පෙනෙන සංවිධාන අන්තිම වශයෙන් බැලූ කල ධනපති අතකොලු බවයි. ශ්‍රීලනිප වැනි වූ ධනපති ආයුධ බවයි. එනිසාම ඒවා මුල් කොට ගොඩ නඟන්නා වූ “කම්කරු ගොවි ආණ්ඩු” කම්කරුවන්ගේ හා ගොවීන්ගේ මලකඳන් උඩින් ධනේශ්වරය ආරක්ෂා කරන බවය.

මෙන්ෂෙවික්වරු, සමාජ විප්ලවවාදීන්ගේ ප්‍රධානත්වයෙන් එවැනි ඊනියා කම්කරු ගොවි ආණ්ඩුවක් රුසියාවේ දී සෑදී ය. ප්‍රතිඵල ප්‍රසිද්ධය. චීනයේ කොමියුනිස්ට් පක්ෂය, කුවෝමින්ටෑනය සමඟද ඉන් පසුව වාම කුවෝමිංටෑනය සමඟද ඔවුන් පසුපස වැටී එවැනි ආණ්ඩු ඇති කලහ. ප්‍රතිඵලය ප්‍රසිද්ධය. ඉංදුනීසියාවේ කොමියුනිස්ට් පක්ෂය, සුකර්නෝගේ නායකත්වයෙන් කම්කරු ගොවි ආණ්ඩුවක් සෑදූහ. ප්‍රතිඵලය අපට මතකය. 1970 දී ලංකාවේ සෑදු “කම්කරු ගොවි ආණ්ඩුවේ” අමිහිරි අත්දැකීම් අපගේ හදවත් තුලින් තවම ඉවත් වී නොමැත. ට්‍රොට්ස්කි මෙසේ කියයි.


“ගොවි ජනතාව පක්ෂයක් තැනීමට තීන්දු කරන හැම විටම එය මතුපිටින් සුළු ධනේශ්වර ස්වරූපය ගත්තත් එය ඇත්ත වශයෙන් මූල්‍ය ප්‍රාග්ධනය තම පිටේ තබාගනී”; ඔහු තවදුරටත් මෙසේ කියයි;
“මේ අත්දැකිම් වල මූලික නිගමනය වන්නේ ඔක්තෝම්බරයේ පාඩම් තහවුරු කිරිම හා ශක්තිමත් වීමයි. එනම් ගොවි ජනතාව ඇතුළු සුළු ධනේශ්වරයට නවීන ලෝකයේ අඩු දියුණු රටක වුවද, ධනපති සමාජයේ නායකයන් ලෙස කටයුතු කිරීමට නොහැකි බවය. මෙය ප්‍රතිගාමී යුගවල මෙන්ම විප්ලවවාදී අවස්ථාවන්හි දී ද සත්‍යයකි. ගොවියා එක්කෝ ධනපති ආඥාදායකත්වයට ආධාර වේ. නැත්නම් නිර්ධන ආඥාදායකත්වයට මුක්කුවක් වේ. අතර මැද ස්වරූපයක් එක්කෝ බිඳ වැටීමට පටන්ගත්, නැත්නම් තවම කලබලයෙන් පසු අවි බිම ගසා නොගත්, ධනපති නායකත්වයේ වෙස් වලාගත් මුහුණුවරක් පමණය (උදා: කෙරෙන්ස්කිවාදය, ෆැසිස්ට්වාදය, ෆිල්සුඩ්ස්කිවාදය)” – නොනවතින විප්ලවය 124 පිට


මේ අනුව පැහැදිලි වන්නේ සුමනසිරි සහෝදරයා ට්‍රොට්ස්කිගේ මුළු අරගලයම අමතක කර දමා එම අදහස්වලට පටහැනිව ගොවි පක්ෂවල හැකියාවන් ගැන කල්පනා කරමින් ඉන්නා බවය. ඉහත සඳහන් ලෙසට ට්‍රොට්ස්කි ඉදිරිපත් කරන අදහස් පාවුස්ගේ අදහස් ලෙස සුමනසිරි සහෝදරයාට පෙනෙන්නේ ඔහු රඩෙක් 1928 දී සිටි තැන සිටින නිසාය. එදා රඩෙක් ට්‍රොට්ස්කිට එල්ල කළේ ද එම චෝදනාවමය. එපමණක් නොවේ සුමනසිරි සහෝදරයා අද පැමිණ සිටින්නේ ස්ටාලින්වාදී මාවතේ ගිය පැරණි සම සමාජයේ හෙක්ටර් අබේවර්ධන සහෝදරයා ලඟට ය. වෙනසකට ඇත්තේ සුමනසිරි සහෝදරයා තමාට පැරණි ශ්‍රීලනිප ය අප්‍රිය නිසා අළුත් “ගොවි පක්ෂයක්” එනම් නව ශ්‍රීලනිපයක් සොයන එක පමණය. හෙක්ටර් 1971 සැප්තැම්බර් 24 සම සමාජයට ලියූ ලිපියක මෙසේ සඳහන් වේ.


“නොදියුණු රටක සමාජවාදී විප්ලවයේ ජයග්‍රහනය උදෙසා අත්‍යාවශ්‍ය වන්නේ කම්කරු පංතිය හා ගොවීන් අතර මිත්‍ර සම්බන්ධය යැයි ලෙනින් කීවේ ය. ඒ අනුව ලංකාවේ මාක්ස්වාදීන්ගේ කාර්යයන් වූවේ කම්කරු පංතිය හා ගොවි පංතිය අතර, මේ මිත්‍ර සම්බන්ධය තහවුරු කරන්නේ කෙසේ ද යන්නය. බණ්ඩාරනායක මහතා ශ්‍රීලනිප සාදන තෙක් ඔවුනට මෙය ඉටු කල නොහැකි විය. එම නිසා බණ්ඩාරනායක මහතා බිහි කල එක්සත් පෙරමුණින් පිළිබිඹු වූයේ මේ ගොවි කම්කරු මිත්‍ර සම්බන්ධය යි”


කෙරෙන්ස්කි, කැස්ට්‍රෝ හා බණ්ඩාරනායක


සුමනසිරි සහෝදරයා කියන අන්තමට ඔහු ස්ටාලින්, රඩෙක් ආදීන්ගෙන් ණයට ගෙන තිබෙන මේ “කම්කරු ගොවි ආණ්ඩු සංකල්පය” නිකම් න්‍යායික හැකියාවක් පමණක් නොවේ. අපගේ ඇස් පනාපිට මතු වූවක් ය. 1960 ගණන් වල මුලදී කැස්ට්‍රෝ – චේ ගුවේරා ආණ්ඩුව එවැනි එකකි. මෙය විමසා බැලිය යුතු වැදගත් කරුණකි. ඉහත සඳහන් සාකච්ඡාව තුලින් මතු වූ එක් ප්‍රධාන කරුණක් නම් ගොවි කම්කරු ආණ්ඩු යැයි හැඳින් වූ ආණ්ඩු වර්ග දෙකක් ඉතිහාසයේ තිබුණු බවය. එකක් නම් 1917 පෙබරවාරි සිට 1917 ඔක්තෝම්බර් දක්වා තිබූ යුගල බල අවධිය[51]යි. මෙය කම්කරු ගොවි ආණ්ඩුවක් යැයි කල්තබාම මෙන්ෂෙවික්වරු හැඳින් වූ අතර, එම අදහස ස්ටාලින්වාදීන් විසින් පසුව තහවුරු කරන ලද්දේ ය. මේ වර්ගයේ ආණ්ඩු පිළිබඳ ඉතිහාසය, ස්ටාලින්වාදීන් යටත් විජිත විප්ලවය පාවාදීම පිළිබඳ ඉතිහාසයයි. අනෙක් වර්ගය මතු වන්නේ ඔක්තෝම්බර් විප්ලවයෙන් පසු පළමු අවුරුද්ද තුල ඇති වූ සභාග ආණ්ඩුව තුලින් ය. ඒ සැබෑ නිර්ධන පංති ආඥාදායකත්වය කරා ගමන් ගත් මුල් පියවරක් විය. එවැනි සභාගයක් විප්ලවය තුලින් මතුවිය හැකි වුවත් අපගේ ආණ්ඩු සංකල්පය විය යුත්තේ තනිකර විප්ලවකාරී පක්ෂය මැදිහත් වී ගොඩ නඟන නිර්ධන පංති ආඥාදායකත්වයයි. මෙය ලෙනින්වාදී ස්ථාවරයයි.


දැන් අපි සලකා බැලියයුත්තේ සුමනසිරි සහෝදරයා පෙන්නුම් කරන කැස්ට්‍රෝ-ගුවේරා ආණ්ඩුව අයත් වන්නේ කුමණ ගණයටද කියා ය.


කැස්ට්‍රෝ බලයට පැමිණියේ 1959 ජනවාරි මාසයේ දී ය. බැටිස්ටාගේ හමුදා ආණ්ඩුව කඩා වැටීමත් සමඟ කැස්ට්‍රෝ පොදු ජන සහයෝගය ඇතිව හවානාවට ඇතුළු විය. ඔහුගේ ආණ්ඩුව මුල් මාසවල කිසිඳු විප්ලවවාදී කාර්යයක් කළේ නැත. බදු සහන ඇතුළු සහන පිළිවෙතත් සමඟ සංචාරක ව්‍යාපාරය වැඩි දියුණු කර ගැන්ම රජයේ අදහස විය. එසේම ඇමරිකාවත් සමඟ නව ගිවිසුමකට ඒම කැස්ට්‍රෝගේ මූලික උත්සාහය විය. 1959 අප්‍රේල් වන විට කැස්ට්‍රෝ ඇමරිකාවට ගොස් ඇමරිකන් අධිපතියන් බැහැ දැක්කේ ය. ඒ වන විට ඔහුට හමු වූ එක් නායකයෙක් නම් රිචඩ් නික්සන් ය. ආණ්ඩුවේ ඒ වන විට සිටි ‘කියුබානු කැඩෙට්වරු’ සමඟ තිබූ එකමුතුව රැක ගනිමින් ඇමරිකාව සමඟ සන්ධානය ගොඩ නඟා ගැන්ම කැස්ට්‍රෝ-ගුවේරා නායකත්වයේ බලාපොරොත්තුව විය.


එහෙත් ඇමරිකානු නායකයින් ප්‍රතික්‍රියා කලේ ඉමහත් ක්‍රෝධයෙනි. කියුබාව තුල යම් සහන ඇති කරමින් කියුබාව, කියුබානු ජාතිකයින් විසින් පාලනය කිරීමේ කැස්ට්‍රෝගේ වැඩපිලවෙල පවා පිලිගන්නට ඔවුන් සූදානම් වුනේ නැත. කියුබාවට යම් දේශපාලන නිදහසක් මතුපිටින් දෙන්නට හෝ ඇමරිකානු නායකයින් කල්පනා කළේ නැත. කියුබාවේ සීනි ඇමරිකාවට සැපයීම තුලින් ඔවුන් වැටී සිටි වහල් භාවයෙන් කියුබාවට මිදෙන්නට හැකි යැයි ඔවුන් විශ්වාස නොකලහ. ඒ නිසා කැස්ට්‍රෝ සම්පූර්ණයෙන් යටත් කර ගන්නට ඔවුන් කල්පනා කලහ.


ජූනි මාසය වන විට විදෙස් වෙළඳාම පුළුල් කර ගන්නට කැස්ට්‍රෝ පාලනයට තීන්දු කරන්නට සිදු විය. මේ වෙනුවෙන් මේජර් චේ ගුවේරා නැගෙනහිර යුරෝපය, ඊජිප්තුව, ඉංදියාව හා ජපානය යන රටවල සැරිසැරුවේ ය. මේ අනුව රුසියාව සමග ගනුදෙනු වැඩි කර ගැණිනි. රුසියාව කියුබානු සීනි මිලදී ගැනීමට ඉදිරිපත් විය. 1959 අවසන් වන විට යම් ඉඩම් ප්‍රතිසංස්කරණයක් ආරම්භ විය. එහෙත් ඇමරිකානු විශාල වතුපිටි පවරා ගැන්මටත්, විදේශ වෙළඳාම පවරා ගැන්මටත් ආණ්ඩුව ක්‍රියා කළේ නැත. එනමුදු ඇමරිකාව ඔවුන්ට කිසි සහයෝගයක් නොදුන්නේ ය. එක් අතකින් ඔවුන්ගේ සීනි මිලදී නොගැනීමට ක්‍රියා කරණ අතර, අනෙක් අතින් අනෙක් රටවල් සමඟ ගනුදෙනු නවත්වන්නට බලහත්කාරකම් කළේ ය. එසේම දිගින් දිගටම ප්‍රතිවිප්ලවවාදීන්ගේ යුද්ධමය සැලසුම් වලට ආධාර සැපයී ය.


මෙහි දී කියුබානු නායකයින්ගේ ඉමහත් අසරණකමෙන් ප්‍රයෝජන ගන්නට රුසියානු නායකයින් ඉදිරිපත් විය. 1960 පෙබරවාරි 04 වෙනි දා මිකියෝන් කියුබාවට පැමිණ ආර්ථික ගිවිසුමක් අත්සන් කළේ ය. මේ අනුව ආර්ථිකයේ ඇමරිකානු වහල් තත්ත්වය බිඳුණු අතර, රුසියානු බැඳීම් ආරම්භ විය. රුසියානු උපදෙස් පිට චීනය, පෝලන්තය, නැගෙනහිර ජර්මනිය, චෙකෝස්ලෝවාකියාව, වැනි රටවල් සමඟද ආර්ථික ගිවිසුම් වලට එළඹුනාහ. මේ ගිවිසුම්වල මූලික ලක්ෂණය වූයේ සීනි වෙනුවට භාණ්ඩ සැපයීම ය. ඒ අනුව කියුබාවට නිදහස් වත්කම් (විදේශ විනිමය) ලැබුනේ නැත. මේ නිසා ක්‍රමයෙන් තෙල්, කෑම, කර්මාන්ත භාණ්ඩ ආදිය සම්බන්ධ ගනුදෙනුවළදී මුළුමනින්ම පාහේ රුසියාවට හා නැගෙනහිර යුරෝපා රටවල්වලට යට වීමට සිදු විය. 1960 මුල් භාගවල යම් ගිවිසුම් අත්සන් කරන අතර කියුබානු ආණ්ඩුව දිගින් දිගටම පැහැදිලි කළේ තමා ඇමරිකාව සමඟ වෙළඳාම අඩු කිරීමට කිසිඳු බලාපොරෙත්තුවක් නැති බවය. එහි අරුත වූයේ තමාගේ අසරණ කම නිසා මේ ගිවිසුම් වලට තල්ලු වුවත් ඇමරිකාවෙන් සහනයක් බලාපොරොත්තු වන බවය.


1960 අප්‍රේල් වන විට රුසියානු තෙල් නැව් කියුබාවට ලඟා විය. ‘ෂෙල්’ ආදී තෙල් කොම්පැනි මේ තෙල් බෙදා හැරීම ප්‍රතික්ෂේප කළේ ය. ඇමරිකානු ප්‍රතිගාමීන් බලාපොරොත්තු වූයේ තෙල් ජනසතු කලොත් කියුබාවට පැණීමට ජනමතයක් සාදා ගන්නට ය. සහන ඉල්ලා කියුබානු නායකයින් කල ඉල්ලීම ප්‍රතික්ෂේප විය. ජූනි අවසන් වන විට තෙල් ජනසතු විය. ඇමරිකාවේ මුරණ්ඩුක ඉන් තවත් වැඩිවිය.


1960 ජූලි මස මුල දී ඔවුන් ගන්නා සීනි සලාකය ඇමරිකාව නැවැත්වුවහොත්, ඇමරිකානු දේපොල පවරා ගැනීමට කැස්ට්‍රෝ පාලනය තීන්දු කලහ. ජූලි 07 වැනිදා අයිසන් හවර් කියුබානු සීනි සලාකය නැවැත්වී ය. ඒ අතර කැස්ට්‍රෝ පෙරලා දැමීමේ කුමන්ත්‍රණයක් සැලසුම් වන්නට විය. මෙහි කේන්ද්‍රය වූයේ හවානා නගරයේ ඇමරිකානු තානාපති කාර්යාලයයි. ප්‍රතිගාමී කල්ලිවලට ආයුධ ලබා දුන්නේ ද ඒ මගිනි.


ජූලි 09 වැනිදා කියුබාට අත තැබුවොත් රුසියානු හමුදා එවිය හැකි බව කෘෂෙව් කීවේ ය. රුසියානුන්, ඇමරිකානුවන් විසින් අත්හැර දැමූ සීනි තොග මිලදී ගැනිමට ඉදිරිපත් විය. ඒ අතර රුසියානු හමුදාවල උදව් කියුබාවට ලබාගැන්මේ වැඩකටයුතු ආරම්භ විය.


අගෝස්තු 06 වෙනිදා ඇමරිකානු දේපල ජනසතුව ප්‍රකාශ විය. ඇමරිකානු සීනි කම්හල් 36 ක් හා ඉඩම්, තෙල්, විදුලි බලය හා විදුලි පණිවිඩ සමාගම් මෙයට අයත් විය. ඇමරිකානු බැංකු ගනු ලැබුවේ සැප්තැම්බර් 17 වැනිදා ය. ඔක්තෝම්බර් වන විට මේ ජනසතුව සම්පූර්ණ විය. නොවැම්බරයේ දී ඇමරිකානු සියළු වෙළඳාම අත්හිටු විනි. 1961 ඇරඹෙන විට ආර්ථික වශයෙන් රුසියාවෙන් යැපීම 70% දක්වා නැඟ තිබුණි. ඒ වන විට කර්මාන්තවලින් 80% පමණද ඉඩම් වලින් 30% පමණ ද රජය සතු වූ අතර, පෞද්ගලිකව පැවතුනේ කුඩා කර්මාන්ත හා කුඩා ඉඩම් ය. මේ වන විට රුසියානු බලපෑම ආණ්ඩුවේ සියළු වැඩ කටයුතුවලට ඇතුළු වීම ඇරඹුණු අතර, ඔවුන්ගේ උපදේශකයින් සෑම තැනකටම අනුයුක්ත කෙරිණි. 1961 දී ඌරුබොක්කේ ආක්‍රමණයත්[52] සමඟ ඔවුන්ගේ ග්‍රහණය සම්පූර්ණ විය. විවිධ කොටස් එකතු කරමින් “ඒකාබද්ධ විප්ලවවාදී සංවිධානයන්ගේ ජාතික විධායකය” නැමැති සංවිධානය බිහිවිය.


1961 සිට 1965 වසර කාලය තුල මෙම ග්‍රහණය තව තවත් ශක්තිමත් වූ අතර, “කොමියුණිස්ට් පක්ෂයක්” ඒ වන විට මතු විය. එහෙත් මේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රථම සම්මේලනය පැවැත්වූයේ ත් 1965 දී පමණය.


හොඳයි දැන් සුමනසිරි සහෝදරයාගේ අදහස ගැන සලකා බලමු. තාවකාලික විප්ලවකාරී ආණ්ඩුව පැවතුනේ කොයි අවස්ථාමේ දී ද? 1959 සිට 1960 දක්වා ද? නැත්නම් 1961 සිට 1965 දක්වා ද?
ඉතා පැහැදිලිව පෙනෙන්නේ එවැනි විප්ලවකාරී යුගයක් තිබුනේ නැති බවය. 1959 සිට 1961 දක්වා කැස්ට්‍රෝ ක්‍රියා කළේ කෙරෙන්ස්කි සිට බණ්ඩාරනායක දක්වා සියළු ජනතාවාදී ධනපති නායකයින් ක්‍රියාකල ලෙසට ය. අබමල් රේනුවක වෙනසක් නැත. එම කාලය තුල කල දේවල් සිරිමා බණ්ඩාරනායක ද ඊට වඩා කෑකෝ ගැසීම් තුල කලාය. 1977 වන විට ලංකා ආර්ථිකයේ 70% කට ආසන්න ප්‍රමාණයක් ජනසතු කොට අවසන් ය. කැස්ට්‍රෝ ඉමහත් බලපෑම් හා තර්ජන නිසා එම තැනට තල්ලු විය. සිරිමා කළේ එවැනි ඍජු බලපෑමක් නැතිව ය. සුමනසිරි කියන ලෙසට කැස්ට්‍රෝ ආණ්ඩුව “කම්කරු ගොවි” ආණ්ඩුවක් වීමටත්, සිරිමා ආණ්ඩුව එසේ නොවීමටත් හේතුව කුමක් ද? සිරිමා පාර්ලිමේන්තුවෙන් ඇරඹුවත්, ජනතාව වීදි වලට ගෙනයාමට පියවර ගත් අතර හමුදාවල පවා දැඩි වෙනස්කම් කළා ය.


එහෙත් සිරිමා මෙන්ම කැස්ට්‍රෝ ද (1961 වන තෙක්ම) ක්‍රියා කළේ රැඩිකල් ධනපති නායකයෙක් ලෙසට ය. ඇමරිකාවේ මුරණ්ඩු ප්‍රතිපත්තිය නිසා කැස්ට්‍රෝ ව්‍යාපාරයේ දක්ෂිනාංශය බිඳ දමා වාමගාමී කොටස් සිය අත්අඩංගුවට ගැනීමට රුසියානු නිලධාරී පැලැන්තියට හැකි විය. උත්පාතයට හසුවූ ලෝක වෙළඳ පොලේ තත්ත්වය මීට උපකාරී විය. ඒ වෙනුවෙන් විශාල වියදමක් ඔවුන් දැරූහ. කුඩා රටක් වූ කියුබාවේ පිහිටීම ඔවුන්ට වැදගත් විය. ඒ වෙනුවෙන් සෑහෙන බරක් උසුලන්නට රුසියානු බලධාරීන් පසුබට වූවේ නැත. 1961 සිට 1965 දක්වා කාලය තුල අපට පෙනෙන්නේ රුසියානු ආධිපත්‍යයට පියවරෙන් පියවරට කියුබාව අසුවන සැටි හා විකෘති කම්කරු රාජ්‍යයක් ඉහලින් පහලට ගොඩ නැගෙන අන්දම ය. ධනවාදීන් එලවා දමමින් නිලධාරී පාලක කුලකයක් ශක්තිමත් ලෙස ගොඩ නැගෙන අන්දම ය.


කියුබාවේ කිසි විටෙක කම්කරු ගොවි ආණ්ඩුවක් තිබුණේ නැත. තිබුණාය කියා කියනවා නම් එවැනි කම්කරු ගොවි ආණ්ඩු බොහෝ රටවල තිබුණි. රුසියාවේ කෙරෙන්ස්කි ආණ්ඩුව ද එවැන්නකි. වෙනස්කම ඇත්තේ කියුබානු කෙරෙන්ස්කි රුසියානු අත්අඩංගුවට වැටීම පමණි. එය සිදු වූයේ පසුව ය.


සුමනසිරි සහෝදරයාගේ මේ කම්කරු ගොවි ආණ්ඩු සංකල්පය පදනම් වන න්‍යායය ස්ටාලින්වාදී අවදි දෙකේ විප්ලවයට ඉතා ලඟින් නෑකම් කියයි. එය වඩාත් සමීප වන්නේ අප කලින් පෙන්නා දුන් ලෙසට හෙක්ටර් අබේවර්ධනගේ ‘සමාජවාදයේ’ මාවතට ය. මේ අනුව විප්ලවය ගමන් ගන්නේ අවධි දෙකකිනි. පළමුවෙන් ඇති වෙන්නේ කම්කරු ගොවි ආණ්ඩුවයි. එහි දී මතුවෙන බලපෑම් හා ප්‍රශ්ණ නිසා මේ ආණ්ඩුව වමට තල්ලු වේ. ඇතුලත ගැටුම් සහිතව පිපිරීම් වලට ද තල්ලුවේ. අන්තිමේ දී ලෝක ‘සමාජවාදී ව්‍යාපාරය’ යටතේ ‘සමාජවාදී ආණ්ඩුවක්’ පිහිටුවයි. සුමනසිරි සහෝදරයා තවම ඒ තැනට පැමිණ නැති බව සැබෑය. එසේ මුත් ගමන ඒ දිසාවට ය.


කම්කරු ගොවි ආණ්ඩු සංකල්පය එපා! කම්කරු ගොවි ආණ්ඩු සටන් පාඨය යොදමු!
අපගේ මූලෝපායයන් සකස් වන්නාවූ න්‍යායික පදනම අදට නියමිත විප්ලවකාරී බලය පිළිබඳ සංකල්පයයි. එය නිර්ධන පංති ආඥාදායකත්වයයි. න්‍යායික තලයේ වෙනත් විප්ලවකාරී ආණ්ඩු සංකල්පයක් තිබිය නොහැක. අප පක්ෂයේ පූර්ණ ජයග්‍රහණය තුලින් මෙම නිර්ධන පංතියේ ආඥාදායකත්වය ගොඩ නැගිය හැකි වන්නේ ය. වෙන බලයක් එය කරන්නේ නැත. මෙම ආණ්ඩු බලය ගොඩ නැගීමේ මූලෝපායික පදනම ලෙස අප එක්සත් පෙරමුණු උපාය යොදා ගනිමු. එහි එක අංගයක් වන්නේ ‘කම්කරු ගොවි ආණ්ඩුවක්’ වෙනුවෙන් කරන උද්ඝෝෂනයයි. එය වඩාත් සංයුක්තව ගත් කල ‘වමේ විප්ලවකාරී ආණ්ඩුවක්” වෙනුවෙන් උද්ඝෝෂණය ලෙස අප ඉදිරිපත් කර ඇත.


එම සටන් පාඨය වමේ අවස්ථාවාදී හා කට්ටිවාදී නායකයින් එළිදරව් කිරීමට ද, වමේ සටන්කාමීන් අප පක්ෂය වටා පෙල ගස්වා ගැනීමට ද හේතු වනු ඇත. සටන්කාමී ජනතාවට භාවිතයේ දී අධ්‍යාපනය උදෙසා එය වැදගත් වන්නේ ය. එහෙත් එයින් වමේ නායකයින් එක් වූ විප්ලවකාරී ආණ්ඩුවක් සෑදීම අපගේ බලාපොරොත්තුව වන්නේ නැත. ‘එසේ වන්නට බැරිදැයි’අවස්ථාවාදී හෝ කට්ටිවාදී සංවිධානයක කම්කරුවන් ඇසුවොත්, අප එසේ විය නොහැකි බව කරුණු සහගතව පෙන්වා දෙන අතර, කියන්නේ “සහෝදරයා, ඔබේ නායකයෝ වමේ විප්ලවකාරී ආණ්ඩුවක් සෑදීමට පියවර ගන්නවා නම් අපි සහයෝගයට දෙනවා. ඒ විතරක් නොවේ. අපේ පක්ෂය ඒ සමග එකතු වීමටත් ඉඩ පෑදෙනවා. එක පක්ෂයක් බවට පත්වීමටත් අප විරුද්ධ නැත.” කියා යි. අප එසේ කියන අතර අපගේ සංවිධානය දැඩි ලෙස ආරක්ෂ කරමින් තර කිරීමට පියවර ගන්නෙමු. උපායික වශයෙන් අප කරන උද්ඝෝෂණය එල්ල විය යුත්තේ අඩු දියුණු කම්කරුවන් දියුණු කිරීමට මිස අප සමග සිටින දියුණු කම්කරුවන් දියකර හැරීමට නොවේ.


අප ගෙන යන්නා වූ උද්ඝෝෂණය නිසා විෂයබද්ධ තත්ත්වය තුල නොයෙක් පෙල ගැසීම් ඇතිවන්නට හැකිය. ඇතිවිය යුතුය. විවිධ සේයාවන් මතුවිය හැකිය. න්‍යායික වශයෙන් ගත් කල එවැනි සේයාවන් ඇතිවිය හැකි බව අප දන්නේ සමාජ විද්‍යාව, ප්‍රකෘති විද්‍යාවන් හා සමානව සියයට සියයක් නිවැරදි පිළිතුරු නොසපයන බව අප දන්නා නිසාය. ඒත් එම දැනුම එතැනින් එහාට ගෙන යාමටත්, විවිධ ආණ්ඩු ගැන න්‍යායික තලයේ ප්‍රක්ෂේපනයන් කිරීමටත් කෙනෙක් ගමන් කරන්නේ නම් එය ‘නොනවතින විප්ලව න්‍යාය’ සංශෝධනය කිරීමට කරන ප්‍රයත්නයකි. නිර්ධන පංති ආඥාදායකත්වයට අත්පත් කරගෙන ඇති පරම ස්ථානය හා ඊනියා අවධි දෙකේ විප්ලවයට දී ඇති පරාජය භංග කිරීමට දරන උත්සාහයකි. සුමනසිරි සහෝදරයාගේ උත්සාහය එයයි.

1981 ජූලි 12 – වික්‍රමබාහු කරුණාරත්න

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.