ලීනස් ජයතිලක සහෝදරය, ඔබට අපගේ ආචාරය!
සම සමාජ ව්‍යාපාරයේ හා කම්කරු පංති ව්‍යාපාරයේ විශිෂ්ට නායකයකු වූ ලීනස් ජයතිලක සහෝදරයා තව දුරටත් අප අතර නැත. මිනිස් සිරුරේ අවදි බව දරා සිටින මොළයේ කාර්යසාධන නීති මඟින් ඔහුගේ ජීවිතය විනාශ කරනු ලැබ තිබේ.
තම උරුමය ගෙන යෑමට ඔහු කිසිවෙකු හදා වඩා නැත. එසේ සිටියා උව උරුම කරගැනීමට ගොඩගැසූ ඉඩංකඩං කිසිවක් ද නැත. කම්කරු පංතියට තම අනාගත පංති අරගලයන්ගේ ජයග්‍රහණයන් වෙනුවෙන් යොදා ගත හැකි පාඩම්, ඔහු ඉතිරි කර තබා ඇති උරුමයයි.
එපමණක් නොවේ. නව සම සමාජ පක්ෂය ගොඩ නැගීමේ පුරෝගාමියෙකු වූ ලීනස් සහෝදරයා විසින් ලාංකීය විප්ලවයේ ගැටළු රාශියක්, එනම් ජාතික විමුත්කි අරගලය, කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ විප්ලවකාරී පරිවර්තනයක් පිළිබදව, නිෂ්පාදනයේ යෙදෙන්නවුන්ගේ සභා මත පදනම් වූ ස්වපාලන ක්‍රමයක් මත රාජ්‍ය ප්‍රජාතන්ත්‍රීයකරණය කිරිම, නිෂ්පාදන අතිරික්තයන් මධ්‍යගතව ගොඩ නොගසා ඒ අතිරික්තයන් ඒවා ජනිත වූ ප්‍රදේශයන්හිම සංවර්ධනයට යොදා ගැනීමට ප්‍රාදේශීය මූල්‍ය ආයතන පද්ධතියක් සැකසිම; එක්සත් පෙරමුණු උපායයන් වර්ධනය කිරීම; ආදී ලෙසින් විප්ලවකාරී බලයක් ගොඩ නැගීමේත්, එය පවත්වාගෙන යෑමෙත් ගැටළු නිරවුල්කර පක්ෂයේ මතවාදය සංවර්ධනය කිරීමට කළ වැදගත් මෙහෙය, නව සම සමාජ පක්ෂයේ ලිඛිත න්‍යායික සම්පත් අතර යුග නිමාව දක්වාත් ඉන් පසුත් නොමැකී පවතිනු ඇත.
අදහස් වල ගමන් මඟ රඳා පවතින්නේ දේවල් වල ගමන් මඟ මත බවට පවතින නිගමනය, විද්‍යාත්මක මනෝවිද්‍යාවට ගැළපෙන එකම දෙය බව ඔහු නිතර කියා සිටියේය. එසේ කියා සිටි අයුරින්ම නව සම සමාජ පක්ෂයේ සම චින්තකයන් ව සිටි අය අතරත්, බොහෝ අදහස් වල පරස්පරයන් වර්ධනය වීම තේරුම් ගත හැකිය. එවැනි අවස්ථා ගණනාවකි.
එසේම දෙමළ විමුක්ති අරගලයේ සන්නද්ධ බලය විනාශ කරනු ලැබීමේ දැවැන්ත සිදුවීම මඟින් රට තුළ ඇතිවූ ෆැසිස්ට් පන්නයේ අන්ත දක්ෂිනාංශික බලයක නැගීමත්, ඒ ආශ්‍රිතව බිහිව විකාශනය වී රට අනුභවයට ආ ජාවාරම්වාදී ආර්ථික ප්‍රතිපත්තියත් ජන සමාජයේ පාපිෂ්ඨ විරූප කිරීම් ඇති කළේ ය. ප්‍රජාතන්ත්‍රීය ව්‍යාපාර ඉන් පසුබෑම් වලට තල්ලු කරද්දී, නව සම සමාජ පක්ෂය වෙතද ඉන් අනිටු ප්‍රතිඵල ලඟා වූයේ ය.
පරාජය නිරන්තරවම පරාජිතයා වෙත චෝදනා රැගෙන එයි. ඒ අනුව පරාජිත විමුක්ති කොටි සංවිධානයට දරුණු විවේචනයන් එල්ල වූ අතර එහි බලපෑම නව සම සමාජ පක්ෂය තුළ ද ප්‍රකාශයට පත් වෙමින්; පක්ෂයේ අභාග්‍යයට හේතුව විමුක්ති කොටි සංවිධානය ගෙන යන අරගලය ආරක්ෂා කිරීම බවට පක්ෂ නායකත්වයට විවේචන එල්ල කෙරිණි. මේ විවෙිචනය මඟින් තහවුරු කිරීමට වෑයම් කෙරුනේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්, LLRC නිර්දේශ ක්‍රියාත්මක කිරීම, ස්වාධීන කොමිෂන් සභා ඇති කිරිම ඇතුළු සටන්පාඨ මත, ක්‍රියාත්මක වූ එක්සත් අරගලය තුළට එක්සත් ජාතික පක්ෂයටත් ඇතුල් වීමට ඉඩ සැලසීම සම්බන්ධයෙන් වූ විරෝධය වූයේය.
මෙසේ අදහස් වල ඇති වූ වෙනස්කම් පක්ෂයේ එදිනෙදා ක්‍රියාකාරීත්වය හා සම්බන්ධ සටන් පාඨ සමඟ නොපෑහෙන තත්ත්වය යටතේ, පක්ෂයෙන් වෙන්වී සංවිධානය වීමට තීන්දු ගත් විවේචක කණ්ඩායම අතර ලීනස් ජයතිලක සහෝදරයා ද වූයේ ය.
ඒ අනුව ලීනස් සහෝදරයා නව සම සමාජ පක්ෂයෙන් වෙන්වී දැනට වසර 10 ක් පමණ වෙතැයි කිව හැකි ය. එසේ මුත් නව සම සමාජ පක්ෂයේ අප සමඟ නොසැලී සිටිමින් ඉදිරි සටන් මඟ හෙලි පෙහෙලි කිරීමටත්, න්‍යායික සම්පත් වැඩි දියුණු කිරිමටත් වසර 30 කට වැඩි කාලයක් පුරා පක්ෂයේ සම චින්තකයෙකු ලෙසින් ලීනස් ජයතිලක සහෝදරයා කළ මෙහෙය නව සම සමාජවාදීන්ගේ මතකයෙන් කිසි කලෙකත් ඉවත් නොවනු ඇත.
ලීනස් ජයතිලක සහෝදරය…. ඔබට සුබ ගමන්!
නව සම සමාජ පක්ෂය