ලාංකිකයාගේ වංශ කථාවේ මූලාරම්භය – “අබා”

සේයා - අන්තර්ජාලයෙන්

ප්‍රවේශය

ඉංදියාවට ආර්ය වර්ගයා කඩා පැන්නේ ක්‍රිස්තු පූර්ව 1750 හේ පමණ ක‍්‍රිස්තුන් උපදින්නත් බොහෝ ඈතදීයි. ඒ වන විට ඉංදියාවේ ගොවිතැන් මත දියුණු ශිෂ්ටාචාරයක් තිබුණ. එය ද්‍රවිඩ වර්ගයාගේ ශිෂ්ඨාචාරයක්. උතුරේ ආර්ය බලපෑම නිසා මේ ද්‍රවිඩ ශිෂ්ටාචාරය දකුණට තල්ලූ උනා. ඒ අනුව ලංකාවත් දකුණු ඉංදියාවත් තුළ මහා පර්වත ශිෂ්ටාචාරයක් ගොඩ නැගිලයි තිබුණෙ. එය වැවත්, ගමත්, ගොඩ වගාවත් මත පදනම් වූ සමූහ සමාජයන්ගෙන් සැදුන එකක්. එක එක වැඩකරුවො තම වරිග අනුව සමාජයට සහභාගී වුනා. ගම් සභා මේවා තුළ තිබුණ. ලංකාව තුළත් මේ වගේ කුඩා වැව් අමුණු ශිෂ්ඨාචාරය යක්ෂ, නාග කියන වර්ග වලින් ඇති වුනා කියලයි කියන්නේ. නාග කිව්වේ මැද පෙරදිග අරාබි, යුදෙව් මී මුත්තන්ට. ඔවුන් මිසරයේ හා සුමේරියාවල මෙවැනි ගොවිතැන් මත වූ ශිෂ්ඨ සමාජ ගොඩ නගල තිබුණා. ආර්යයෝ කඩා පනින යුගය වෙනකොට යකඩ භාවිතය තිබුණෙ නෑ. ඒත් ඉංදියාව තුළ ආර්ය සමාජයෙන්ම යකඩ භාවිතය ඇතිවුනහම එය හැම තැනට ම පැතිර ගිය බවයි හුඟ දෙනෙක් කියන්නේ. ඒක ක‍්‍රිස්තු පූර්ව 1000 දි විතර ඇරඹුන ක‍්‍රියාවලියක්. ඒ විදිහට යකඩ සොයා ගත්තට පස්සේ ගංගා නම් ගං නිම්නයට ගිහින් අස්වැද්දුම් කරන්නට හැකියාව ලැබුණ. මේ උඩ ස්වදේශික ද්‍රවිඩ වර්ගයාට යළි පිබිදෙන්නට හැකියාවක් ලැබුණ. මගධ දේශය මෙයට මුල් වුනා. බුදුන්ගේ මෙන්ම නිඝන්ඨනාථගේ දහමත් මේ පෙදෙස්වල තහවුරු වුනේ මේ අළුත් පෙරලිය නිසයි. ආර්ය කුළ ක‍්‍රමයත් බමුණු මතත් බිඳගෙන ගොවියාගේ නැගීමක් මෙයින් ඇති වුනා. ආර්ය සමාජය ගොපළුවන්ගේ සමාජයක්. මේ ගොවි – ගොපළු හබය එදා තිබුණ පංති සටන කියල කියන්න පුළුවන්. ග‍්‍රාම කියන වචනයත් හරකුන් දැක්කීම උඩ ඇති වුන වචනයක්. එතකොට හරක් බලාගත් අයටයි ග‍්‍රාම කියල කිව්වේ. ඒත් එය ගොවියාගේ ගම බවට පත් වුනා. පූර්ව ද්‍රවිඩයො ගමට කිව්වේ වෙන නමක්.

ලංකාවට ආර්යයො කඩා පනින කොට මෙහේ ද්‍රවිඩ ශිෂ්ඨාචාරයක් තිබුණ. එය ගොවිතැන් මත පදනම් වුවක්. ආර්ය සිංහල බලයක් ඇති වුණත් රට පුරා ද්‍රවිඩ ජනපද වෙනම පාලනය වුනා. ඒවායේ ප‍්‍රධානීන් වුනේ “පරමුක” කියන පවුල්. මේ අය ආර්යයෝ හැඳින්වුනේ ගමක නැත්නම් ගාමික කියල. ගමේ නායකයො කියන අදහසයි එතන තියෙන්නේ. මේ ද්‍රවිඩ (යක්ෂ) ජනපදවලින් මතුවුන කැරැුල්ලක් ඬඬඅබාඬඬ මෙහෙයුව බවයි මහාවංශය කියන්නේ. ඒ අනුව ගම් සභා පාලනය යළි තහවුරු වුන බවකුත් කියවෙනව. ඒත් පසුව දුටුගැමුණු විසින් මේ සියල්ල යට කර මධ්‍යගත, සංවිධිත සමාජයක් වාරිමාර්ග මත පදනම්ව ගොඩ නැගුව. ගම් බලය යටකර ඒකාබද්ධ සමූහ රජයක් ඇතිවුනා. මේ පදනමේ ඉඳල “අබා” දෙස අපි බලන්න ඕන.

– සංස්කාරක –

සේයා – අබා බ්ලොග් අඩවිය

සිංහල රජ කතා සහ අබා

මං අවුරුදු විස්සකටත් වැඩි කාලයක් ඇති කරන් තිබුණ සිහිනයක් තිබුණ. ඒ සිංහල පුරාණ කථාවක් අතරින් එදා සමාජය ඇත්තටම ආසන්නව පෙන්වන සිනමාවක් ඇති වෙනව දකින්න. රජ කථා ඇති සිංහල චිත‍්‍රපටි තිබුණත් ඒ එකකටවත් අතීත පරිසරයට, පසුබිමට ළං වෙන්නවත් පුළුවන් වුණේ නෑ. ජගසෙන් කියන විදියටම මේවා වෙසක් නාට්‍ය රටාවෙන් කැඩුනේ නෑ.

අපිට තරම් ලස්සන ඉතිහාස කතන්දර නැති බටහිර ජාතීන් මොන තරම් ලස්සන චිත‍්‍රපටි හදල තියෙනවද? බ‍්‍රෑඞ් පිට් රඟපාන ට්‍රෝයි නගරය ගැන කථාව හෝමර්ගේ කාව්‍ය මත පදනම් වුණත්, නූතන සොයාගැනීම් ප‍්‍රයෝජනයට අරගෙන එදා වූ සමාජ සිද්ධිය යළි නිර්මාණයක් හැටියට ඉදිරිපත් කෙරුණ. ඒ වගේම තමා රිචඞ් ග්‍රේ රඟපාපු ආතර් රජුගේ කාලේ හිටියා කියන ලාන්ස්ලොට් නම් උතුම් නයිට්වරයාගේ කථාවත්. ඒකත් ඒ විදියට ආපස්සට යන්න උත්සාහ කළත්, පූර්ව නෝර්මන් යුගය පෙන්වනවට වඩා නෝර්මන් යුගයේ එංගලන්තය පසුබිම් කරල හැදුවා වගෙයි මට පෙනුනේ. කොහොම වුණත් ඇත්ත ඉතිහාසයට ඇත්තටම අපිව අරගෙන යන්න උත්සාහයක් එතැනත් තිබුණ.

කාලය හරහා ආපස්සට අපව අරගෙන යන්න සිනමාවට පමණයි පුළුවන්. ඉංදියාවත් අසෝක වැනි චිත‍්‍රපටිවලින් පූර්ව යුග පෙන්වන්න උත්සාහ කළා. මං හැම වේලෙම හිතුවේ මේ හැමෝටම වඩා සුන්දර ලෙස ලියැවුණ පුරාණයක් අපට තියෙද්දී ඇයි අපට කාලය හරහා
නූතන තාක්‍ෂණයෙන් යන්න බැරි වුණේ කියලයි.

ඒත් මගේ යටි හිතේ විලාපය සුන් කරමින් සුන්දර ගමනක් පියාඹන්න එක්කන් යන්න මා නොසිතූ ලෙසට ජගසෙන් අන්තනීයන්ට අබා චිත‍්‍රපටියෙන් හැකි වුණා. කටු කිහිපයක් ඇණුනත් මොන තරම් සුන්දර ගමනක්ද? මං හිතන්නේ මේ සිනමාව තුළින් විශ්ව ජනප‍්‍රිය ප‍්‍රචලත සිනමාවට අපි කඩා පැන්න කියලයි.

හෝමර්ගේ සුන්දර ගමනට, වයිකින් සාගාවල සුන්දර ගමනට, රොබින් හුඞ්ගේ වීර ලෝකයට, අසෝකගේ මහා සම්ප‍්‍රාප්තියට ආදී සියල්ලන් අතර වැජඹෙන රන් තරුවක් මගේ පුංචි රටෙන් ජගසෙන් අන්තනීයෝ ඇති කරල දුන්න. හැම නළුවෙක්ම, යම්තම් පෙනෙන කුඩා චරිත කළ අය පවා ඇත්තටම පුරාණ වත පිහිටුවීමට ක‍්‍රියා කළා. මං එක්කෙනෙක්ගේ වත් නම් කියන්නේ නෑ. මොකද? ඒක සිය ගණනකට කරන නොසැලකිල්ලක් වෙන්න පුළුවන්.

මං දැන් මට ඇණුන කටු ගැන ලියන්න අවසර පතනව. හෝමර්ගේ කවියේ පුරාම තියෙන්නේ එදා විශ්වාස කළ දෙවිවරුන්ගේ වැඩ ගැන. ඒක අනුව බැළුවහම වීරයෝ, ඇකිලීස් ඇතුළුව, නිකම් දෙවිවරුන්ගේ පඹයෝ. ඒත් සිනමාව ඒව පිහල දාලා ඉතිහාසේ සිදු වූ සමාජ කථාව අපට මවා පානවා.

එත් මෙතැනදී ජගසෙන් කරන්නේ මහා වංශයේ අහම්බයෙන් දමල තියෙන අද්භූතයක් වඩා විදිමත්ව සකස් කරල ශුද්ධ වූ දේව කථාවක් යටි තලයේ පිහිටුවීමයි. මට හිතුනේ චිත‍්‍ර මගින් ක‍්‍රිස්තුදේව චරිතය හා ගැලවුම්කාරයාගේ ගමන මේ චිත‍්‍රපටියට ඇතුළ් කළා කියලයි. ආගමික හැඟීමක් කලාකරුවෙකුට ඇති වුණා නම් ඒකට මට දොස් කියන්න බෑ. ඒත් සිංහලේ පුරාණය පිළිබඳ කථාවට එයින් අවුලක් වුනා කියලයි මට හිතෙන්නේ. අනෙක යකෙක් මැරුණහම මහ යකෙක්, බිම්බ යකෙක් මිස දෙවියෙක් වෙන්නේ නෑ.

ඊළඟට මට පෙනුනේ සිංහල රජුට අවනත නොවන යක්‍ෂ ගම්මානවල තිබිය යුතු මූලික ලක්‍ෂණ එළි වුණේ නෑ කියලයි. කුවේණි මුල් වූ රටක අවුරුදු සීයකට පස්සේ මාතෘමූලික යක්‍ෂ සමාජය මුළුමණින්ම බිඳවැටුනද? ජගසෙන් ඉතාම හොඳින් කාන්තාවන් ඉතාම නිදහස්ව, නිසඟව තමන්ගේ කැමැත්ත අනුව නටන, අක්‍ෂන හා පෙම් කරන ලෝකයක් පෙන්වනව. ඒත් අම්මාවරුන්ගේ පාලනයට අයිතියක් නම් යන්තම්වත් පෙනෙන්නේ නැහැ.

නූතන සොයා ගැනීම් අනුව ක‍්‍රි.පූ. තුන්වන සියවසට හා ඊටත් පෙර ලංකාවේ සිංහල රාජ්‍ය ඉතා සීමිත එකක්. රට පුරා තිහ, හතළිහක් පෙදෙස් හා ගම් ස්වාධීන පාලන යටතේ තිබුණ. ගමනි හා පෙරුමක පවුල් මුල්වුණ මේවා සියවස් ගණනාවක් ගොඩනැගුණ දේශීය පාලන ඒකකයන්. ඒ ඔක්කොම සංස්කෘත, ප‍්‍රාකෘත කථා කරන බමුණන් පිළිගන්න ජනපදයන් නොවේ.

කාහොමටත් කුමරා සැඟ වී සිටි දොරමඩලාව යක්‍ෂ ජනපදයක්. ඒක බමුණන් හිස්මුදුනින් පිළිගත් පීතෘමූලික ජනපදයක් නෙවෙයි. එනිසාමයි කුමරා වෙනම චින්තනයක් ඔස්සේ හැඩගැහුණේ. අංශුව කොහෙන් ආවත් කුමරා යක්‍ෂ කුමරෙක් වුණේ යක්‍ෂ ගමේ යක්‍ෂ පවුලක තරුණ වෙනකම් හැදුන නිසා. ඇත්ත තමයි ජගසෙන් ස්වාධීන යක්‍ෂ සමාජය පෙන්වන්න හැම පැත්තකින්ම මැදිහත් වෙනව. නැටුම්, ගීත, සිරිත් විරිත් ආදී හැම පැත්තෙන්ම බරපතල වැඩකොටසක් එයා කරල තියෙනව. ඒත් බමුණන් නැතිව ගැහැණුන්ම පූජකයන් වූ කුවේණිගේ කාන්තා පාලන ස්වභාවය පෙන්වන අම්මාවරුන්ගේ බලය ජගසෙන් අමතක කළා. මට හරිම දුකයි මේ කාරණා දෙක ගැන.

ඒත් මොනව කරන්නද? කූඹියෙක් තියා මැස්සෙක් වැටුණත් මං රජ බොජුනක් විසි කරන්නේ නෑ. මැස්සා අඩුවෙන්ම ගැටෙන ලෙසට ඉවත් කරල රජ බොජුන රස කර කර ගිල දමනව. ඒ වගේ මේ මනස්කාන්ත සුන්දර ගමන මං තව සැරයක්, දෙකක් හෙමිහිට යන්න ඕන. ලෝකය පුරාම මිනිසුන්ව හොල්මන් කරමින් මේ ගමනට එකතු කර ගනීවි. මහ වංශය හරි දිගයි. මං හිතන්නේ ලෝකයේ දිගම වංශ කථාව. ඒ පැත්තෙන් බැළුවත් ජගසෙන් මහ කලාකරුට තව ගොඩක් වැඩ තියෙනව, කරන්න.

“හරය” 2008 ඔක්තෝම්බර් කලාපය

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.