මැයි දිනය – 2020 “සාමූහිකත්වය – සංවිධානය හා පෙලගැසීම ඉලක්ක කර ගනිමු!”

2020 ජාත්‍යන්තර මැයි දිනය වෙනුවෙන් නව සම සමාජ පක්ෂය නිකුත් කළ ප්‍රකාශනය.

ජාත්‍යන්තර කම්කරු දින සැමරුම – 2020

සාමූහිකත්වය – සංවිධානය හා පෙලගැසීම ඉලක්ක කර ගනිමු!

2020 ජාත්‍යන්තර කම්කරු දිනය එළඹෙන්නේ ගත වූ ආසන්න මාස වල ඇරඹී ලොව පුරා පැතිර යන කොරෝනා රෝගී තත්ත්වයේ උග්‍ර බලපෑමෙන් ලොව ක්‍රියා විරහිත බවට පත්ව තිබිය දී ය. අද ලංකාවේ තත්ත්වය ද එය ම ය. මේ රෝගාබාධය බහු ජනතාව අතර වේගවත් ලෙස පැතිරයැම විශාල සෞඛ්‍ය අර්බුදයක් ඇති කර තිබේ. මේ ඇති වී තිබෙන අක්‍රීය බව අපේ යුගයේ නරකම ආර්ථික පසුබෑම මුදා හැර ඇත්තේ ය.

මේ කොරෝනා වෛරසයේ විහිදී යෑම සාමාන්‍ය ජනතාවගේ සෞඛ්‍යාරක්ෂාව දැඩි  පීඩනයක් එල්ල කර ඇත්තේ  පුද්ගලයාගෙන් පුද්ගලයාට මීටරයක් ලංවීමෙන් පමණක් වැළදෙන තතු යටතේ ය. මේ වෛරසය ස්වාභාවික වායු සංසරණය සමග පෑහීමට නොහැකි තරමට ස්කන්ධයෙන් වැඩි වීම සොබා දහම විසින් පහල තලයේ ජනයාට ලබා දුන් ආශීර්වාදයක් වැනිය. එසේ තිබිය දී හුදු කට නාසය හා අත් ආවරණත්, සබනුත් අවශ්‍ය පමණ තිබේ නම් පැතිරීම වලක්වාගත හැකි මේ රෝගය මෙසේ 250,000 ක් මළකදන් උඩින් පැන යන්නේ කෙසේ ද? යි අපහැදිලිය.  එයින් පෙන්වන්නේ මේ රෝගය බහු ජනතාව අතර වේගවත් ලෙස පැතිර යෑම, මේ සුළු සෞඛ්‍ය ද්‍රව්‍යයත් ලබා දීමට නොහැකි තරමට පවතින විශාල සෞඛ්‍ය සේවා අර්බුදයක ඵලයක් බවයි. එසේ සමාජ අසමානතාවය හා අකටයුතුකම් පන ගන්වා ඇති අයුරු පෙනේ.

මේ අතර මේ රෝගය පැතිරීම වැලැක්වීම සදහා ‘සමාජ දුරස්කරණය’  මුවාවෙන් දියත් කර ඇති සැලසුම් මෙරට වැඩ කරන ජනතාව හා දුගීන් තම ආදායම් පහත වැටී යෑම නිසා දිවි පැවැත්මේ අරබූදයකටත්, රැකියා අහිමිවීමෙන් හෝ වැටුප් කප්පාදුවී යෑම නිසා එදිනෙදා නඩත්තුවට මුදල් නැතිකමේ අවදානමට මුහුණ දී සිටී. ඒ අතර හාම්පුතුන් විවෘතවම ඇගළුම් අංශවල 30% ක රැකියා කප්පාදුවක් කරන බව කියයි. ෆැක්ටරි වැසීමටත්, සේවකයන්ගේ රැකියා හිතූ මතේ අහිමි කිරීමටත් බාදා කරන කම්කරු නීති අහෝසි කරන ලෙස බලපෑම් කරයි. අනිවාර්ය විශ්‍රාම ගැන්වීම් පිලිගන්නේ නැත්නම් ආයතන වසන බවට වහසි බස් දොඩයි. එමෙන්ම සනීපාරක්ෂක කම්කරුවන්, පවිත්‍රතා සේවකයන් ආදී අංශ නිසි සෞඛ්‍යාරක්ෂණ ද්‍රව්‍ය හිගකමින් සේවයේ දී අනතුරුදායක තත්ත්වයන්ට මුහුණ පා සිටී. අනියම් කම්කරුවන්, දෛනික වැටුප් ලබන්නන්, කුලීකරුවන් හා හුදකලා ශිල්පීන්, ගොවියන් හා කෘෂිකාර්මික කම්කරුවන් ආදී සමාජ කණ්ඩායම්, මේ අර්බූදය සම්බන්ධයෙන් ක්‍රියා කිරීමේ දී පාලක පංතිය දක්වන අසමත් කම් ඉදිරියේ වැඩි පීඩාවන්ට ලක්ව සිටී.

මෙරට පමණක් නොව ලෝක පරිමානව ගත් කල ද සංක්‍රමණික කම්කරුවන්, සරණාගතයන්, මහල්ලන් හා හෘද රෝග, දියවැඩියාව, වකුගඩු රෝග ආදී මෙකී නොකී නිදන්ගත රෝගාබාද වලින් පෙළෙන්නන් නොතකා හරිනු ලැබීමේ දරුණු ඉරණමකට මුහුණ දී ඇත්තේ ය.  මේ ව්‍යසනකාරී රෝග තත්ත්වය ඉදිරියේ ආණ්ඩුව විසින් හදුන්වා දී ඇති විවිධාකාර සමාජ ආරක්ෂණ වැඩ පිලිවෙලවල් වැඩ කරන ජනතාවගේත්, දුගීන්ගේත්  විදවීම් සමහන් කිරීමෙන් බොහෝ දුරස්තරය.

ලංකාවේ පමණක් නොව තවත් රටවල් ගණනාවකදී ම අත් දකින්නට ලැබෙන්නේ වැඩ කරන ජනතාවට, පීඩිත ජාතීන්ට හා හඩක් නැති අසරණ ජන කොටස් වලට එරෙහි පීඩනය තීව්ර කිරීම සදහා පොලිස් හා සන්නද්ධ හමුදා වල මෙහෙයුම් නැංවීමට මේ කොරෝනා වසංගත තත්ත්වය අවස්ථාවක් කර ගන්නා බවයි. එමෙන්ම තවත් තර්ජනයක් වන්නේ ජන සමාජය සිසාරා යන රාජ්‍ය සුපරීක්ෂණයන් (Surveillances) වර්ධනය කිරීමට වසංගත තත්ත්වය යොදාගැනිමින් මේ ආණ්ඩු වල අත්තනෝමතික ස්වාභාවය ඉහල නැංවීමේ ක්‍රියාමාර්ගයන් ගැනීමය.

මෙහි දී කොරෝනා මර්ධනයට බාධා කරන්නේය යන චෝදනාවට මුවා වී විවේචනාත්මක අදහස් පල කිරීමේ නිදහසට තර්ජනය එල්ල කිරීම, සුළු ජාතීන්ට එරෙහි ප්‍රචාර ඉදිරියේ නොඇසූ කන්ව සිටීම, මේ හදිසි තත්ත්වය තුළ පාර්ලිමෙන්තුව කැදවා නිසි තීන්දු ගැනීමකින් තොරව මැතිවරණ කල් දමමින් අත්තනෝමතිකත්වය යුක්තිය හා නීතිය ලෙස පිලිගැන්වීමට කටයුතු කිරීම ද අවධාරණයට ගත යුතු වෙමු.  

මේ තත්ත්වය පිළිබද හොදම උදාහරණයක් වන්නේ ආරම්භයේ සිටම සෞඛ්‍ය අංශ පවා ඉක්මවා යන පරිදි සන්නද්ධ හමුදා ක්‍රියාකාරීත්වය ප්‍රමුඛත්ථානයට ගැනීම යි. මෙහි දී රට පුරා විසිර පවතින ප්‍රජා සෞඛ්‍ය, කෘෂිකාර්මික, ග්‍රාම නිලධාරී, සමෘධි ආදී මෙකි නොකී සම්ප්‍රදායික රාජ්‍ය සුබසාධන ජාලය හා දස දහස් ගණන් වූ ගම් මට්ටමේ ජනතා සංවිධාන ඒකාබද්ධව කටයුතු කිරීමට මෙහෙයවන ලද නම් කොරෝනා මැඩලීමේ කර්තව්‍යය මේ වන විටත් සාර්ථක වී තිබෙන්නට ඉඩ තිබුණි. මුදල් ආධාර බෙදීමේ සිට ආහාර, බෙහෙත් හේත්, ඇතුලු අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදා හැරීම, ගබඩා කර තබා ගැනීම, ප්‍රවාහණය ආදී සියල්ල මෙවන් වූ ප්‍රජා සංවිධානයන් මගින් ඉතා කාර්යක්ෂමවත්, දේශපාලනඥයන්ගේ ඥාතිසංග්‍රහ, දූෂණ හා නාස්තියෙන් තොරවත් ඉටුකරගත හැකිව තිබුණි. එසේ නම් අද ජනතාව විදින වේදනා අවම විය හැකිව තිබුණි. නමුත් මේ පාලකයන්ට ප්‍රජාතන්ත්‍රීය වූ ජනතා බලය අරහං ය. විශ්වාසය ඇත්තේ යකඩ අවි, වෙඩි බෙහෙත් හා උන්ඩ ගැනය. 

මේ අකාරයේ කටයුතු මගින් අපගේ ප්‍රජාතන්ත්‍රීය අවකාශය හකුළුවා ලීමට හා ජනතාවගේ ව්‍යාපාරයන් මැඩ පැවැත්වීමට ගන්නා පියවරයන් වලට කොරෝනා වසංගතය සමාවට කාරණයක් කර ගැනීමට ඉඩ දිය යුතු නැත.  

ඔඩුගිය ධනපති ආර්ථිකයන් ජාත්‍යන්තර පරිමාණයෙන් අද මුහුණ දෙන මේ බහුවිධ අර්බූදය සුපුරුදු ලෙස හුදු ”වෙළද ව්‍යාපාරයක්” කර ගැනීමට ඉඩ හල යුතු නැත. මෙය හැව අරිමින් පවත්වාගෙන යන මේ ආර්ථික අච්චුව පිළිබදව අලුතින් සිතන්නට හා එයට අභියෝග කිරීමට කාලයයි. එය දුප්පතුන් හා පොහොසතුන් අතර අතිමහත් පරතරයක් මේ තත්ත්වය තුළ තව දුරටත් නිර්මාණය කරමින් සිටී. එදා මෙදා තුර ඕනෑම ආකාරයක ආර්ථික වේවා – සමාජීය වේවා අර්බූදයක් හටගන්නා හැම විටක දීම එහි වාසිය පාලකයන් සාක්කුවට දමා ගන්නා අතර, නරකම ඵලය වැඩ කරන ජනතාව හා දුගීන් මත පතිත කරයි. අද ද වෙනසක් නැත. ඒ අනුව ධනපති ක්‍රමය විසින් නිමවනු ලැබ තිබෙන ජාතික සීමා මායිම් හරහා ගමන් කරන වැඩකරන ජනතාවගේ ව්‍යාපාරයක් ගොඩ නගා ගැනීම වෙනුවෙන් හඩ නැගීමේ කාලය එළඹ ඇත්තේ ය. සෑම ජිවිතයකම ගුණාත්මක අභිවෘධිය සහතික කරන අර්ථවත් සමාජ-ආර්ථික පරිවර්තනයක් දෙසට වේගවත් ගමනක් ඇරඹීමේ යුගය යි මේ.

අද මේ මැයි දිනය එළඹ ඇත්තේ ගෝලිය ධනවාදයේ බහුවිධ අර්බූධය මධ්‍ය යේ ය. ලෝ වාසී වැඩ කරන ජනතාව ලෙස අපි යුක්ති සහගත, ආරක්ෂිත හා වඩා යහපත් ලොවක් සදහා වූ තම ඓයිතිහාසික වගකීම සිහියට නගා ගත යුතු මොහොත මෙයයි. සාමූහිකත්වය, සංවිධානය හා පෙළගැසීමෙන් තොරව නියම සමාජ පරිවර්තනයක් අත්පත් කර ගැනීමට අපට නොහැකි ය.

මේ සාමූහිකත්වය, සංවිධානය හා පෙළගැසීම සදහා අපේ වගකීම ඇත්තේ මේ දේශයේ ය. ඒ සදහා සියළුම වෘත්තීය සමිති, කම්කරු සංවිධාන එළඹ ඇති තර්ජනයන්ට මුහුණ දීම සදහා පොදු වැඩ පිලිවෙලක් සකසා ගැනීමට ඉදිරිපත් වන ලෙස අපි මේ මැයි දිනයේ දී සහෝදරත්වයෙන් ඉල්ලා සිටිමු.  

නව සම සමාජ පක්ෂය 2020.05.01

NSSP-May-Day-2020-Sinhala

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.