ලියෝ ටෝල්ස්ටෝයි (1828-1910) _ නවකතාකරුවා, දාර්ශනිකයා හා දේශපාලනඥයා
ටෝල්ස්ටෝයි ගේ ශත සංවත්සරය පසුවිය. එය නියමිතව තිබුනේ 2010 නොවැම්බර් 10 වැනිදාටය. ඒ කිසිම සද්දබද්දයක් නැතිවය. සන්ඩේ ටයිම්ස් පුවත්පතත්, ලංකාදීප පුවත්පතත් ටෝල්ස්ටෝයි ශත සංවත්සරය සම්බන්ධයෙන් රුසියානු ජනතාවත් නිහඬව සිටි බව වාර්තාකර තිබුණි. ඒ අද ටෝල්ස්ටෝයි සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඇති කිරීමට තරම් ඔහු ගැන දන්නා, නැතිනම් මතක ඇති කිසිවකු නැති නිසාද? එදත් අදත් ඔහුගේ නවකතාව ඉක්මවා යන විශිෂ්ටත්වයෙන් යුත් ප්‍රබන්ධ කලා කෘතින් ගැන කිසිවෙක් කතා නොකළ අතර ලංකාවේ කලාකරුවන්ද ඔහු ගැන කතා කළේ නැත.
ටෝල්ස්ටෝයි ජීවත් වූ රුසියාව ඔහුගේ මරණයෙන් සත් වසරකට පසු කම්කරු පන්තිය බලය පිහිට වූ විප්ලවය සිදු කළේ ය. නමුත් ඔහු තම ජීවිත කාලය තුළ දී අපේක්ෂා කළ යුක්ති සහගත නිදහස් සමාජය අන්තිම වශයෙන් ඒ වැඩකරන ජනතාවගේ ජයග්‍රහණයේ ප්‍රථිඵල ලෙස හෝ ඉටු වූයේ නැත. අද වන විට ඒ රුසියාව ද ගෝලීය ධනවාදයේ කොටසක් බවට පත් වී තිබේ. අද (ගෝලීය) ප්‍රාග්ධනයේ ආධිපත්‍යය සියලුම දේශපාලන ක්‍රියාමාර්ගයන් අභිබවා සිටින්නේ පෙර කවදාවත් සිදු නොවූ ආකාරයට ය. ප්‍රාග්ධනයේ සංකේන්ද්‍රණය අද සිටින මට්ටම එකී තත්වයන් නිර්මාණය කර ඇතුවා සේම, තමන් මෙතෙක් විනිවිද යෑමට අවස්ථාව නොලද ප්‍රදේශයන් කරා ව්‍යාප්ත වීමට සටන් වැදී සිටී. ඒ මඟින් තුන්වන ලෝකයේ ඉතිරිව පවතින යැපුම් කෘෂිකර්ම රටාවන්, ඒවායේ නිරත මිනිසුන් ද සමඟින් ඩෝසර් කරගෙන යමින් සිටින අතර, තමන්ගේ නිශ්චල නිෂ්පාදන විධි හා ජීවන රටාවන් රැක ගැනීමට ආයුධ සන්නද්ධව හෝ නොමැතිව සටන් කරන සුළු ජාතික ප්‍රජාවන්, ගෝත්‍රික පිරිස් එනම්, සැබැවින් ම යැපුම් කෘෂිකර්මයේ නිරත ගොවීන් හා ධීවරයන් හා සතුන් ඇතිකරන්නන් ට විරුද්ධ “ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය” නූතන ධනවාදයේ ගෝලීය ආර්ථීක ක්‍රියාදාමයේ ප්‍රධාන දේශපාලන ඉදිරි දර්ශනය වී තිබේ. ඒ මඟින් ඔවුන්ගේ සම්ප්‍රදායික ගොවිබිම්, තණ බිම්, මත්ස්‍ය බිම්වලින් ඔවුන්ව පලවා හරිමින්, ඒවා තමන්ගේ සොබාදහම මහා පරිමාණයෙන් සූරාකන වාණිජ කෘෂිකර්මය සඳහා, නැතිනම් වෙනත් ලාභදායක ක්ෂේත්‍ර බවට පරිවර්තනය කර ගැනීමට පියවර ගනිමින් තිබේ. මෙසේ සංවර්ධනයේ නාමයෙන් සිදු කෙරෙන ජනතාව උන්හිටි තැන් වලින් පලවා හැරීම් මගින්, තම ජීවන මාර්ග අහිමිව ගිය නව ශ්‍රමික බලකායක් ගොඩනැගෙන අතර, අනෙක් පසින් ධනපති සමාජයේ සිදු කෙරීගෙන යන සංස්කෘතික විපර්යාසයන් මඟින් පහළ මධ්‍යම පන්තියේ සිට ඉහළට දැවැන්ත සමාජ අර්බුදයන් ද ජනිත කරමින් තිබේ.
මේ තත්ත්වය එක්තරා ආකාරයකට ටෝල්ස්ටෝයි ගේ ලේඛක දිවියේ ආරම්භයත්, විකාශනයත් සිදු වූ වකවානුව සිහිපත් කරවන්නකි. එදා දේශීය හා විශේෂයෙන් විදේශීය ප්‍රාග්ධනයේ වැඩෙන ආධිපත්‍ය විසින් රුසියානු සමාජයේ මහත් විපර්යාසයන් සිදු කළේ ය. කෘෂිකාර්මික නිෂ්පාදනයේ නිරත ජනතාව වැඩවසම් ඉඩම් හිමියන්ගෙන් මුදා නිදහසත්, සෞභාග්‍යයත් ලබා දේ යයි කල්පනා කළ ද, සිදුවූයේ ගොවිබිම්වලින් එළියට වැටෙමින් අනාථව මහත් විනාශයක් කරා ගමන් කිරීමට බොහෝ ජනතාවකට සිදුවීම වූ අතර, කාලකන්නිකම, සංස්කෘතීන් මඩ ගොහොරු බවට පත් වීම සිදු විය.
1861 සිට දියත් වූ ප්‍රවේණිදාසභාවය අහෝසි කිරීමේ නිල ප්‍රතිසංස්කරණ මඟින් සිදු වූයේ කෘෂිකාර්මික ගම්මාන පැහැර ගැනීමේ හා මංකොල්ලකෑමේ බලය ධනපතියාට සහ බදු අයකරන්නාට භාර දීම පමණි. ශත වර්ෂ ගණනාවක් පැවැති ගොවි ආර්ථිකයේ හා ගොවි ජීවිතයේ පැරණි පදනම අසාමාන්‍ය වේගයකින් සුන්බුන් කෙරිණි.
ටොල්ස්ටෝයිගේ කෘතීන් අගය කළ යුත්තේ වර්තමාන සමාජවාදය නැතිනම් කම්කරු පන්ති ව්‍යාපාරය පදනම් කරගෙන නොවේ. ධනවාදයේ වර්ධනය සඳහා, ජනතාවට අයිති ඉඩකඩම් වල අයිතිය නැති කරමින් ඔවුන් විනාශ මුඛයට හෙලීම ගැන විරෝධය පෑම යන පදනම මත පිහිටා ය. මෙම විරෝධය ගමෙන් මතු විය යුත්තක් ම විය. මෙසේ රුසියාවේ ධනේශ්වර විප්ලවය ළඟා වන විට කෝටි සංඛ්‍යාත රුසියානු ගොවි ජනතාව අතර පහළ වූ හැඟීම්වල හා අදහස් වල ප්‍රකාශකයා හැටියට ලෙනින්, ටෝල්ස්ටෝයි ව හැඳින්වීය. ලෙනින් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ටොල්ස්ටෝයිගේ අදහස්හි ප්‍රතිවිරෝධතා ඇත්ත වශයෙන්ම, මේ විප්ලවයේ තමන් සතු කොටස රඟපෑම සඳහා ගොවි ජනතාව හමුවේ පැවැති ප්‍රතිවිරෝධී තත්ත්වයන්හි කැඩපතක් බවයි. එක් අතකින් රදළ පීඩනයත්, දශක කිහිපයක් පැවැති සීඝ්‍ර පශ්චාත් ප්‍රතිසංස්කරණ මඟින් ඇති කළ දරිද්‍රතාවය, වෛරය හා අප්‍රසන්නතාව හා බලාපොරොත්තු සුන්වී යෑම මහත් සේ වර්ධනය කරද්දී, ඉඩම් හිමියන් හා ඉඩම් හිමි ආණ්ඩුව සම්පූර්ණයෙන්ම අතුගා දැමීමටත්, ඉඩම් අයිතිය පිළිබඳ පැරණි ක්‍රම විනාශ කිරීමටත්, පොලිස්-දේපළ හිමි පන්ති, රජය වෙනුවට නිදහස් සමාන කුඩා ගොවි ප්‍රජාවක් ඇති කිරීමටත් අදහස් ඉදිරිපත් කළ ක්‍රිස්තියානි මතවාදයන් ද ඔහු තුළින් මතු වූයේ ය.
ඔහුගේ අරාජිකවාදී අදහස් මේ මතවාදයන්ගේ විකාශනයක් ලෙස නිගමනය කළ හැකිය. ජන ජීවිතයේ විනාශයන්ට හේතුව, වරප්‍රසාද ලද්දවුන්ගේ රාජ්‍යයයි ඔහු සැලකීය. මේ රාජ්‍ය දුගීන් මත පටවා ඇති බරක් බවත්, රාජ්‍යයකින් තොරව එකමුතුව ජීවත් වීම මේ බරෙන් ගැලවීමට ඇති එකම විසඳුම බවත් ඔහු විශ්වාස කළේය. ඔහු පුද්ගලික දේපළ අයිතියටත්, විවාහ සංස්ථාවටත් විරුද්ධ වූවා සේම, නිර්මලභාවය (chastity) හා ලිංගික ක්‍රියාකාරීත්වයෙන් වැළකීම පිළිබඳ අදහස් ද අගය කළේය. ඔහු පල්ලිය හෝ රාජ්‍ය මඟින් මඟ පෙන්වන ක්‍රිස්තියානිය නොපිළිගත් අතර, සත්‍ය ක්‍රිස්තියානිය ලෙස පිළිගත්තේ අභ්‍යන්තර ස්ව-පූර්ණත්වය (Inner self – perfection) මඟින් ප්‍රීතිය හා සාමය ගෙන එන, ශ්‍රේෂ්ඨ යයි ඔහු සැලකූ පනත්වල එන තමන්ගේ අසල්වැසියාට ප්‍රේම කිරීම ආදියයි. ඒ අතර ඔහු දැරූ විශ්වාසයන් අනුව මේ ක්‍රිස්තියානි ඉගැන්වීම් මඟින් ගෙන එන අවිහිංසාව, බලහත්කාරය නොපෑම හා සැහැසි නොවීම මඟින් ගැටුම් වලට මුහුණ දීම ඔහුගේ දර්ශනයේ ප්‍රත්‍යක්ෂ වූ ගුණාංගයක් විය. ඔහුගේ ජීවිතයේ අවසාන දශක දෙක තුළ ලියූ ලිපි මඟින් හෙතෙමේ රාජ්‍ය පිළිබඳ අරාජිකවාදී අදහස් පුනරුච්චාරණය කරනු දැකිය හැකිය. ඒ අතර ඔහු මේ මතවාදයේ න්‍යායධරයන් වූ පෘදොන් හා ක්‍රොපොට්කින් වැන්නවූන්ගේ පොත් කියවන ලෙස තම පාඨකයන්ට නිර්දේශ කළේය. 1900 දී ඔහු මෙසේ ලිවීය “The Anarchists are right in everything; in the negation of the existing order, and in the assertion that, without authority, there could not be worse violence than that of authority under existing conditions. They are mistaken only in thinking that Anarchy can be instituted by a revolution. “To establish Anarchy.” “Anarchy will be instituted.” But it will be instituted only by there being more and more people who do not require protection from governmental power, and by there being more and more people who will be ashamed of applying this power” (Leo Tolstoy, “On Anarchy”, in Pamphlets : 1900) ඔහු දෙවියන්වහන්සේ ගේ රාජධානිය පවතින්නේ ඔබ තුළ යයි කීවේය. පල්ලිය හා රාජ්‍ය එක ගොඩේ දමා විවේචනය කළ ඔහු, විශේෂයෙන් නව දේපළ නීති විවේචනයට ලක් කළේය. ඔහු රාජ්‍ය හැඳින්වූවේ කෘෘර බලවේගයන්ගේ සහයෝගය ලබන, පාපිෂ්ඨයන්ගේ මූලිකත්වයෙන් පවතින ආයතනයක් ලෙසය. හොඳින් සංවිධානය වූ රාජ්‍යයකට වඩා මංකොල්ලකරුවන් භයානක කමින් අඩු බවද ඔහු කීය.
නමුත් අනෙක් අතින් බලන කල, ටොල්ස්ටෝයි ඇදහූ මේ නිදහස් සමානාත්මතා සමාජය කෙබන්දක් විය හැකිද? මේ නිදහස දිනාගත හැකි අරගලය කුමක්ද? එහි නායකයෝ කවරහු ද? ගොවි විප්ලවයේ අවශ්‍යතා පිළිබඳ ධනපති පන්තියෙහි හා ධනපති බුද්ධිමතුන්ගේ ආකල්පය කුමක් ද? ඉඩම් හිමියන්ගේ පීඩනය මුළුමනින්ම අහෝසි කිරිම සඳහා සාර් පාලනය බලයෙන් පෙරලා දැමිය යුත්තේ ඇයි? යන කරුණු ගැන නව ජීවන ක්‍රමයක් සඳහා සටන් කරන ගොවි ජනතාව කෙරෙහි වූයේ ඉතා ව්‍යාකූල, ගොරහැඩි, පීතෘමූලික, අර්ධ ආගමික අදහසකි. ගොවි ජනතාවට තම අතීතයේ යුග ගණන් තුළ උගන්වා තිබුණේ ඉඩම් හිමියාටත්, නිලධාරියාටත් වෛර කිරීමට විනා පෙර කී ප්‍රශ්නවලට පිළිතුරු සෙවීමට නම් නොවේ. එනම් “පීතෘමූලික ගම්බද මුග්ධකමෙහි හා සුපුරුදු නිවටභාවයේ පිළිබිඹුවකි” යන්නය. ටොල්ස්ටෝයි සම්බන්ධයෙන් ලෙනින් කළ මේ විවේචනය ඔහුගේ ක්‍රිස්තියානි, අරාජිකවාදී මතවාදයන් ගැන විය. ඒ අතර ටෝල්ස්ටෝයිගේ සාහිත්‍ය කෘති හැදෑරීමෙන් රුසියානු කම්කරු පන්තියට තම සතුරන් ගේ ස්වභාවය වඩාත් චමත්කාරජනක අයුරින් හඳුනා ගැනීමට උගත හැකි බව ලෙනින් පෙන්වා දුන්නේ ය. ඒ අතරම ටොල්ස්ටෝයිගේ මතවාදයන් විභාග කිරීමෙන් මුළු මහත් රුසියානු ජනතාවටම තමන්ගේ දුර්වලකම්, තමන්ගේ විමුක්ති අපේක්ෂාවන් ජය ගැනීමට අවස්ථාව නැති කර දැමූ මතවාදී දුර්වලකම් කවරේදැයි අවබෝධ කරගැනීමට හැකි වන බව ලෙනින් වැඩි දුරටත් පෙන්වා දුන්නේය. එහි දී ටෝල්ටෝයි විසින් තේරුම් ගැනීමෙන් තොරව වුව ද්වේශ කරන ලද්දා වූ පැරණි ලෝකය විනාශ කිරීමේ, එකම හැකියාව දරනා පන්තිය කුමක් දැයි අවබෝධ කරගැනීම අත්‍යවශ්‍ය බවද ලෙනින් අවධාරණය කළේය.
1961 පසු අඩ සියවසකට කිට්ටු රුසියානු ඉතිහාසයේ පරස්පරයන් ටෝල්ස්ටෝයිගේ “ඇනා කැරණිනා” (1875-77) කතාවේ ලෙවින් නම් චරිතය මඟින් ඉතා පැහැදිලි ලෙස ටෝල්ස්ටෝයි නිරූපණය කළේ ය. එහි දී ලෙවින් සිතන්නේ අද තිබෙන එකම වැදගත් දෙය වන්නේ අස්වැන්න හා කුලීකරුවන් යෙදවීම යනාදිය ගැන කතා කිරීම බව ය. මෙවැන්නක් ප්‍රවේණිදාස ක්‍රමය යටතේ අදාල නොවන්නා සේම, (ප්‍රවේණිදාස ක්‍රමය යටතේ මෙවැන්නක් ගැන කතා කිරීම ඉඩම් හිමියාට ප්‍රවේණිදාසයන් නැතිකමේ ප්‍රථිඵලයක් වන බැවින් ලජ්ජාවට ද කරුණකි) එංගලන්තයේ දී ද වැදගත් නොවෙන බවද ඔහුට පෙනේ. මන්ද යත්, ඒ අවස්ථා දෙකෙහිම තත්ත්වය නිශ්චිතය. එහෙත් සියල්ල කණපිට පෙරලා නැවත අලුතින් හැඩ ගැසීම ආරම්භ කර තිබෙන රුසියාවේ ජීවත්වන තමන්ට වඩාත් වැදගත් එකම ප්‍රශ්නය වන්නේ මේ තත්ත්වය කෙසේ හැඩ ගැසී ස්ථාවරයකට එන්නේ ද යන්න යයි ලෙවින් සිතයි.
කෙසේ වෙතත් කණපිට පෙරලුනේ කුමක් දැයි කවුරුත් හොඳින් දැන සිටියහ. ඒ නම් පැරණි ක්‍රමයයි. එහෙත් අලුතින් හැඩ ගැසෙන්නේ කුමක් දැයි කවුරුත් තේරුම් ගෙන සිටියේ නැත. අලුත හැඩ ගැසීගෙන එන මේ ධනේශ්වර ක්‍රමය ටෝල්ස්ටෝයි දුටුවේ එංගලන්තයේ අවතාරයක ස්වරූපයෙනි. නමුත් රුසියාවේ ක්‍රමයෙන් වර්ධනය වන ප්‍රාග්ධනයේ ආධිපත්‍යයත්, මුදලේ කාර්යභාරය සහ හුවමාරුවේ බිහිවීම හා වර්ධනය පරීක්ෂා කිරීමට ටෝල්ස්ටෝයි වෙර දැරුවේ නැත. එංගලන්තයේ, ජර්මනියේ, ඇමරිකාවේ, ප්‍රංශයේ ආදී රටවල ඉතා විවිධ රූපයන්ගෙන් යුතු වූ මේ ධනේශ්වර ක්‍රමය රුසියාවේ දී කිනම් හැඩයක් ගන්නේ ද යන්න ද ඔහු ට අදාළකමක් නොවීය. මන්ද, මේ සියල්ල ඔහු ප්‍රතිපත්තිමය වශයෙන් ප්‍රතික්ෂේප කළ දේ වන බැවිනි. ටෝල්ස්ටෝයිගේ විශිෂ්ටතම කෘතිය ලෙස සැලකෙන “යුද්ධය හා සාමය” (1865-69) චරිත 580 කින් සමන්විත වීය. මේවායින් බොහොමයක් ඓතිහාසික චරිත වූ අතර, සමහරක් ප්‍රබන්ධයට අදාළව කතුවරයා නිමැයූ චරිතයි. කතාව පවුල් ජීවිතයේ සිට නැපෝලියන්ගේ මූලස්ථානය කරා ගමන් කරන අතර, පළමුවන ඇලෙක්සැන්ඩර්ගේ උසාවියේ සිට ඕස්ට්‍රියාවේ හා බොරොඩිනෝ හි යුදබිම් කරා ගමන් කරයි. කතාව කියවීමේ දී හැඟෙන්නේ මෙහි දී ටෝල්ස්ටෝයිගේ මූලික පරිමාර්ථය වන්නේ දෙසැම්බරිකයන්ගේ කැරැල්ල පිළිබඳව විමසීම යයි නිගමනය කළ හැකි බව ය. තව අතකින් මේ නවකතාව තුළින් ඉතිහාසය පිළිබඳ ඔහුගේ න්‍යාය සොයාගත හැකිය. ඉතිහාසය ගලා යෑමේ දී පුද්ගලයා ගේ වැදගත් කමට වඩා ජනතාවගේ ප්‍රමුඛත්වය වැදගත් බව පිළිබඳ ඔහුගේ න්‍යාය මෙහි දී නිශ්චිත වශයෙන් මතු වන්නේ නැපෝලියන් හා ඇලෙක්සැන්ඩර් ගේ ඓතිහාසික නොවැදගත් කම මතුකිරීම මඟිනි. ඔහුගේ ශ්‍රේෂ්ඨතම කෘතිය ලෙස එදත් අදත් “යුද්ධය හා සාමය” සැලකුවද, එය හෙතෙමේ පිළිගත්තේ නැත. ඔහුගේ අදහස වන්නේ තමාගේ හොදම නවකතාව වන්නේ “ඇනා කැරණිනා” බවය.
නිරන්තරව අප අවධාරණය කළ පරිදි ටෝල්ස්ටෝයිගේ ප්‍රබන්ධයන් හි අඩංගු වූයේ ඔහු ජිවත් වූ රුසියානු සමාජය විචිත්‍රවත් ලෙසින් අප හමුවට පැමිණවිම යි. ඔහු The Cossacks (1863) කතාවේ දී කොසැක් ජනයා හා ඔවුන්ගේ ජීවිතය පිළිඹිබු කිරීම සඳහා රුසියානු වංශවතකු හා පෙම්බැඳීම පිළිබඳ පුවතක් මුල්කරගත්තේ ය. ඇනා කැරනිනා (1877) තම ස්වාමියා හැර දමා වෙනත් පුරුෂයකු සමඟ පෙම් බැඳීම හේතුවෙන් ලෝක සම්මතයන් හා සමාජයේ පවතින කුහක කමත්, ද්‍රෝහී කමත් මඟින් ගැලවිය නොහැකි අයුරින් මානසික වියවුලක සිරකරනු ලැබීම පෙන්වයි. ඇයගේ අවසාන ඉරණම මිනිසකුට දැරිය නොහැකි තරම් කම්පනයක් ජනිත කරන්නකි. ඇනාගෙන් මූර්තිමත්වන සමකාලීන සමාජය තුළ කාන්තාවගේ කටුක ඉරණමෙහි පවතින පොදු සාම්‍යයක් ඔහු අප ඉදිරියේ සිනමා පටයක් මෙන් චිත්‍රණය කරයි. ඒ අතර එහි දී ගොවීන්ගේ ජීවිත ප්‍රතිසංවිධානය කිරීමේ උවමනාවෙන් ඔවුන් සමඟ එක්ව කටයුතු කරන ඉඩම් හිමියකුද ඔහු මතුකර පෙන්වයි. හෙතෙමේගේ චරිතය අපට සිහිපත් කරවන්නේ ටෝල්ස්ටෝයිගේම චරිතයයි. මෙයින් ටෝල්ස්ටෝයි තමන්ගේම ජීවන අත්දැකීම් චිත්‍රණය කරනවා පමණක් නොවේ. ඔහුගේම ප්‍රතිබිම්බය තුළින් චරිත නිර්මාණයක්ද කරන්නා සේය. එහිදී ඇනා කැරණිනා හි ලෙවින් ගේ මේ චරිතය පමණක් නොව යුද්ධය හා සාමය හි පියරේ ඛෙසුකොව් හා ඇන්ඩෘෘ කුමාරයා ද මතකයට නැගේ. කෙසේ වෙතත් ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම නවකතාකරුවා ලෙස ටෝල්ස්ටොයිගේ පිළිගැනීම අවසන් වී නැත. ඔහුගේ විශිෂ්ටත්වය වන්නේ තම නවකතාවන්හි චරිතවලට නිදහසේ වර්ධනය වී යෑමටත්, ඒ නිසාම චරිතවල චරිත ලක්ෂණ වෙනස් වීමටත් ඉඩහරින අතරේ, ඔවුන්ව ඒ සියලු පරිවර්තනයන් මධ්‍යයේත් එම පුද්ගලයන් ලෙසින්ම හඳුනාගැනීමට හැකි වීමය. උදාහරණයක් ලෙස යුද්ධය හා සාමයේ එන නටාෂා ආරම්භ වන්නේ ඉතා ප්‍රීතිමත්, දඟකාර, සමාජශීලී ගැහැණු ළමයෙක් ලෙසය. නමුත් ඇය ගේ චරිතය හමාර වන්නේ නිතර අවලාද නගන, නොඉවසිලිමත්, වහා කිපෙන සුළු, කිසිවකුදු දැකීමට අකමැති ගෘහණියක් ලෙසිනි. එසේ වුවද මේ එකම තැනැත්තිය ය යන්න පාඨකයාගේ සිතින් බැහැර යන්නේ නැත. සිය ගණන් චරිත අතර අන්තර් සම්බන්ධතාවය පවත්වාගෙන යෑමට ඔහු පෙන්වන විශිෂ්ට හැකියාවේ රහස ද තමන් නිරූපණය කරන චරිතවලට විකාශනය වීමට ලබා දෙන නිදහස යයි පෙන්වා දිය හැකිය.
ලෙනින් 1916 දී මෙසේ ලීවේය. “…..1962-1904 කාල පරිච්ඡේදයේ රුසියාවේ කැළඹිලි සමයක් පැවැත්තේය. එසමයෙහි හැම දෙනාගේම ඇස් ඉදිරිපිට යළි පුනරුත්ථානය කළ නොහැකි පරිදි පැරණි ක්‍රමය බිඳ වැටුණ අතර නව ක්‍රමය යන්තම් හැඩ ගැසෙමින් තිබුණි. නව ක්‍රමය හැඩ ගස්වන සමාජ බලවේග පළමුව පුළුල් ජාතික පරිමාණයකින් ප්‍රකට වූයේ 1905 දී ඉතා විවිධ ක්ෂේත්‍රවල හටගත් බහුජන ක්‍රියාකාරීත්වයෙහි දී ය. “නිශ්චලතාව” පිළිබඳ 1862 දී ටොල්ස්ටෝයි විසින් සඳහන් කරන්නට යෙදුන “ප්‍රාචීන” දේශීය රටවල් ගණනාවකද 1905 රුසියානු සමාජ සිදුවීම් වලට අනතුරුව එබඳුම සිදුවීම් ඇති විය. 1905 වර්ෂය “ප්‍රාචීන” නිශ්ශබ්දතාවේ අවසානයෙහි ආරම්භය විය. එම හේතුව නිසාම එම වර්ෂය ටෝල්ස්ටෝයිවාදයේ ඓතිහාසික අවසානය එනම් ටෝල්ස්ටෝයිගේ ඉගැන්වීම් ජනිත විය හැකි වූද, ඒවා අනිවාර්යයෙන් පහළ විය හැකි වූද යුගයක අවසානය දැක්වූයේ ය. එසමයෙහි එය හුදු පෞද්ගලික දෙයක් හෝ හිතුවක්කාරකමක් හෝ පිස්සුවක් හෝ නොව, නියත වශයෙන්ම යම් කාල පරිච්ඡේදයක කෝටි සංඛ්‍යාත ජනකායකගේ ජීවන තත්ත්වයන්හි දෘෂ්ටියක් විය….
රණත්
“හරය” 2011 ජන -පෙබ කලාපය
පාර්ලිමේන්තු ව කැදවීම අත්‍යාවශ්‍ය කරුනකි . ජනාධිපති වරයාට අන්තර්කාලින පාලනය සදහා ව්‍යවස්ථාව අනුව තිබෙනේ සීමිත කාලයකි. අප්‍රේල් 30/ 2020 වන තෙක් පමනකි.
එසේ නොවන්නේ නම් , එය ව්‍යවස්ථාව ට අනුකූල පාලනයක් නොව හිතුවක්කාරි රජ කෙනෙකුගේ පාලනයක් වන , ඉන් එහාට ප්‍රජාතන්ත්‍රවාදයක් නොමැත.