අසීලාචාර දේශපාලනය
සීලාචාර උදවිය දේශපාලනයට එන්න බයයි කියල කථාවක් තියෙනව.
තමන් දේශපාලනය කළත් ළමයි එයට පොළඹවන්නට අකමැති කිහිප දෙනෙක්ම මට ඒ බව කිව්ව. එයාල හිතන්නේ, නැත්නම් විශ්වාස කරන්නේ දේශපාලනය අනිවාර්යයෙන්ම කරන දේවල් වලට පෙළඹීමක් කියල. තමන් ඒ බලපෑම් වලට ගොදුරු වෙලා දුක්වන නිසා එහෙම කියනව වෙන්න පුලුවන්. මේ රට තුළ සීලාචාර කම පල්ලම් බැහැල විද්වත් සමාජය තුළ පවා ඊට වැදගත් කමක් නැති තැනට පත්වුන රටක් මේක කියල සම්මතයකට ආව වගේ තමා මේ කතන්දර වලින් එළි වෙන්නේ. එහෙනම් මෙය ගලා එන්නේ ඉහලින් විය යුතුයි. මේ ධනපති සමාජයේ ස්වාභාවය තමයි ඉහල උදවිය දිහා බලල පහල උදවිය සාරධර්ම මෙයයි කියල දැනගන්නෙ. ඒතාක් දුරට ඒ අය අනුව යනව. නැත්නම් ඒ අය කරන දේට විරුද්ධ දෙයක් කරල බේරිල ඉන්නව. මේ දෙකෙන් එකක් කළ යුතුයි. පස්පව් කරන්න එපා කිව්වට තමන්ගෙන් වැඩ අරන් අඩුවෙන් ගෙවන්න බලන එක හොරකමක් හැටියට පොඩි එකා හිතන එක නවත්තන්න බෑ. තමංගෙ දරු පවුල යන්තම්වත් රැකගන්න මුදලක් ලබා ගන්න බැරි නම් මේ ගනුදෙනුව සාධාරණ නෑ කියල නිකම්ම පිළිගන්න වෙනව. එහෙනම් හොදින් බැරි නම් නරකින් එය ලබා ගත යුතුයි කියල වැඩකරුවා හිතන්න යොමු වෙනවා. එවිට බොරුව ඉදිරියට එනවා. හිමියාගේ හොරකමට වැඩකරු බොරුවෙන් පිළිතුරු දෙනව. මේ විදියට ආචාර ධර්ම විෂමතාවයන් නිතැතින්ම ඇති වෙනව.
නමුත් නූතන සමාජය තුළ කම්කරු නීති අනපනත්, සමිති ආදී වැඩපිළිවෙලක් තුළ ගනුදෙනු සීලාචාර පදනමට ඇතුලු වෙනවා. කථා කරල, බොරුව ඉවත් කරල ඇත්ත තුළින් ශ්‍රමයේ නියම වටිනාකම ලබා ගන්නවා, ඉතිරිය සමස්ථ ලෙස රටේ දියුණුවට යොමු වෙනව කියල දේශපාලකයන් උගන්වනවා. එවිට සටන දේශපාලනය තුළ ස්ථානගත වෙනවා. පාර්ලිමේන්තුව තුළින් එයත් ආකාරගත රටාවකට යොමු කරනවා. ධනපති ක්‍රමය තුළ සීලාචාර භාවය ඇති වන්නේ ඒ ආකාරයට. එය වියදම් යන වැඩපිළිවෙලක්. ඒත් ව්‍යවස්ථානුකූලව යන සමාජ ක්‍රමය තුළ පංති සටන කේවල් කිරීම් වලට සීමා කරගන්නවා. එලෙසින් වැදගත් සීලාචාර සඹදතා ඇති වෙනවා. හැමෝම එක විදියකට අදිනව පළදිනව, ගීත අහනව, කනවා බොනවා. උවමනා නම් ධනපති ජීවන රටාව තුළට කම්කරුවෙක්ට එන්න පුළුවන්. දුප්පතාට පොහොසත් වීමට ක්‍රම තියෙනවා. එහෙම වෙලා තියෙනව කියල කතන්දර ගොඩක් තියෙනවා. ඒ අනුව කම්හල තුළ බෙදුනත් එලියෙදි හැමෝම මහත්තුරු කියල සමාජ ප්‍රබන්ධයන් ඇති වෙලා තියෙනව. එංගලන්තයේ රජ පවුල ජීවත් වන විදිය සතිපතා සමාජයට ඉදිරිපත් කරනවා. ඒ තමා නූතන මිනිස් සමාජයේ ඉහලම සීලාචාර පැවැත්ම. හැමෝම ඒවා දන්නවා. ”එන්න බලල යන්න” කියල ඇයදීමක් තියෙනවා. දැන් කළු අයත් රජපවුලට ඇතුල් වෙලා තියෙනව. රජ පවුලට එහෙම තට්ටුවක අයටත් ඇතුල්විය හැකියි. ඒත් එයට සදාචාරය ඉගෙන ගත යුතුයි. ලගදී කළු ගැහැණියක් රජකුමාරයෙක් සමග විවාහ වුනා. ඇය මහ රැජිණගෙන් සියලු සිල් ඉගෙනගෙන තියෙනව. කකුල් දෙක තියන විදියත් ඉතා පරිස්සමින් කියල දුන්න කියල පල කරල තිබුණ.
සමාජවාදයට යනවිට ධනපති සීලාචාරකම ඉවත් කරනව කියල සමහරු හිතනව. එහෙම එකක් මාක්ස් කියල නෑ. ධනපති සමාජය තුළින් විකසිතවුන හරවත් සියල්ල රැකගෙන ඉදිරියට යාම අපගේ උත්සාහය විය යුතු බවයි අපේ ලොක්කො අපට කියල දීල තියෙන්නේ. බොරුවට සදාචාර වීම වෙනුවට ඇත්තටම සදාචාර වීමයි අප කළ යුත්තේ. අපි අපේ අදහස් තව කෙනෙක්ට බලෙන් පටවන්න ගිහිල්ල නෑ. ඕනම තර්කයක් ඉවසීමෙන් ඉදිරියට ගෙනයන්න අපට පුලුවන් විය යුතුයි. විවාදය ඉවර නම් එය කෙලින් කියල කටවහගන්න අප සූදානම් විය යුතුයි. බොල්ෂෙවික් විප්ලවය සිදුවුනේ ජනතාව අතර බලය වැඩි බව පෙන්වා පාලනය වෙනස් කිරීමෙන් මිස ලොකු ලේ වැගිරීමකින් නොවෙයි. ගොවීන් දිනාගත්තෙ ඉඩම් ලබාදීමෙන් මිස ගහමරාගැනීමෙන් නොවෙයි.
අදත් ලංකාවේ සදාචාර දේශපාලකයෝ වමේ උදවිය හැටියට පොදු පිළිගැනීමක් තියෙනව. ජනතා විමුක්ති පෙරමුණ ත්‍රස්ථවාදයෙන් හා ජාතිවාදයෙන් ඉවත් වෙලා මාක්ස්වාදී පිළිවෙත් දෙසට නැඹුරු වීමට පටන් ගැනීමෙන් දියුණුවක් ලබාගත්තා කියල හැමෝම කියනව. නිකම් තමංගේ ගොඩ වැඩිකර ගැනීමට බොරුව යොදා ගැනීම නොකළ යුතු වැඩක්. විප්ලවයට බොරුව උවමනා නෑ. මොකද විප්ලවය ලෝක පරිමාණ නිසා බොරුව උවමනා නෑ. අද ඇමරිකාව තුළ පවා බොහෝ වියතුන් නැවත මාක්ස් කියවන්න පටන් අරන්. ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය තුළ වම වඩාත් ඉහලට ඇවිත්. විශේෂයෙන් ඔබාමාගෙන් පසුව වම ශක්තිමත් වීම ඇරඹුනා. අද ලෝකයේ ප්‍රභල වමක් මතුවෙන්නේ දියුණු ලෝකය තුළයි කියල හුග දෙනෙක් කියන් පටන් අරන්.
17.07.2018
ලක්බිම – “නිනව්ව”