කම්කරු ගොවි ආණ්ඩුව!

නව සම සමාජ පක්ෂය තුළ 1980 වැඩ වර්ජනයෙන් පසු පසුව ඇති වූ ප්‍රධාන දේශපාලන විවාදයේ ලියවිලි “කම්කරු ගොවි ආණ්ඩුව!” නම් පොත් පිංච හරහා 1981 වසරේදී පළ කරනු ලැබිණි. මෙහි දැක්වෙන අදහස් අතර වෙනස් කම් 1980 ට පෙර සිටම ඇතුලත ලියලමින් තිබුණත්, වැඩ වර්ජනයට පෙර විවෘතව එළියට නොපැමිණි අතර, වැඩ වර්ජනයේ පරාජයත් සමඟ කම්කරු පංතියේ හැකියාවන් ගැන අවිශ්වාස කිරීම මධ්‍යම පංතික කොටස් අතර වඩා ශක්තිමත් විය. සුමනසිරි ලියනගේ සහෝදරයා මතු කළ අදහස් මෙම මධ්‍යම පංතික පීඩනය පක්ෂය ඇතුලත ප්‍රකාශ කිරීමක් විය. ඒ අනුව මතුවූ විවාදයට ඇතුලත් වූ ලිපි විප්ලවවාදී ඉදිරිදර්ශනයක් වෙනුවෙන් දේශපාලන සාකච්ඡාව තියුණු ලෙස ඉදිරියට ගෙනයාම අතිශයින්ම වැදගත් ලෙස සළකා, මෙසේ හරය තුළ පළ කිරීමට තීරණය කළෙමු.

ඒ අනුව, “කම්කරු ගොවි ආණ්ඩුව!” පොත් පිංචට වික්‍රමබාහු සහෝදරයා ලියන ලද මුල් හැදින්වීම පහතින් දැක්වෙන අතර, එහි පළ වූ විවාදයට අදාල ලිපි වලට අදාල යොමු ඉන්පසුව දක්වා තිබේ.


කම්කරු ගොවි ආණ්ඩුව!

(පැරණි සගයෙකුට පිළිතුරක්) වික්‍රමබාහු කරුණාරත්න වර්ෂ 1981 දී

හැඳින්වීම

මේ පොත් පිංච තුල පළවන්නේ පක්ෂය තුල 1980 වැඩ වර්ජනයෙන් පසු පසුව ඇති වූ ප්‍රධාන දේශපාලන විවාදයේ ලියවිලි ය. මෙහි දැක්වෙන අදහස් අතර වෙනස් කම් 1980 ට පෙර සිටම ඇතුලත ලියලමින් තිබුණත්, වැඩ වර්ජනයට පෙර විවෘතව එළියට ආවේ නැත. වැඩ වර්ජනයේ පරාජයත් සමඟ කම්කරු පංතියේ හැකියාවන් ගැන අවිශ්වාස කිරීම මධ්‍යම පංතික කොටස් අතර වඩා ශක්තිමත් විය. සුමනසිරි ලියනගේ සහෝදරයා මතු කළ අදහස් මෙම මධ්‍යම පංතික පීඩනය පක්ෂය ඇතුලත ප්‍රකාශ කිරීමක් විය.

අප රට වැනි අඩු දියුණු රටක ක්ෂණිකව විප්ලවීය වැඩ කොටස් ඉටු කරන විප්ලවීය බලය කුමක් ද? යන ප්‍රශ්නය මෙතැන දී ඉතාම තියුණු සාකච්ඡාවකට ගැනේ. ඇත්ත වශයෙන් මෙය ඉතා පැරණි විවාදයකි. ට්‍රොට්ස්කි, ඉහත කී ප්‍රශ්නයට, “එය නිර්ධන පංති ආඥාදායකත්වය හැර වෙන කිසිවක් නොවන්නේ ය” යන ඉතාම නිරවුල් පිළිතුර දුන්නේ ය. රුසියානු විප්ලවයේ අත්දැකීම් පමණක් ‍නොව 1926/27 චීන විප්ලවයේ පරාජයන්ගෙන් පසුව ට්‍රොට්ස්කිගේ අදහස ස්ථීර වී යේ වුවද, මෙම අදහසට අභියෝග කිරීමට ස්ටාලින්වාදීහු හා අනෙක් සංශෝධනවාදීහු නැවත නැවතත් උත්සාහ ගත්හ. ඔවුහු ඉදිරිපත් කළ න්‍යායික සූත්‍රයන් අඩු දියුණු ලෝකයේ විප්ලවයන් විනාශ කරන්නා වූ පෙරමුණු හා සංධානයන්ට පාර කැපීය. ඔවුන්ගේ සූත්‍රයේ මූලික හරය වූයේ “අඩු දියුණු රටවල් තුල නිර්ධන පංති ආඥාදායකත්වයටත්, ධනපති ආඥාදායකත්වයටත් අතර මැද වූ විප්ලවකාරී බලයක් යම් කාලයකට ස්ථාවර කල හැකිය; එවැනි විප්ලවීය අදියරක් ඇත්තේ ය” යන්නයි. ට්‍රොට්ස්කි ජීවිත පූජාවෙන් සටන් කළේ මේ වැරදි අදහස පරාජය කිරීමටයි.

ට්‍රොට්ස්කිගෙන් පසු ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය, එනම් නූතන මාක්ස්වාදී ව්‍යාපාරය ඇතුළතට කඩා වැදුන අසික්ෂිතයන් රැලක් වන මැන්ඩල්, හැන්සන් ආදීන් එම අදහස දිය කිරීමට කටයුතු කලහ. ස්ටාලින්වාදීන් විසින් 50 අවුරුද්දකට පෙර පට්ටා ගැසූ අදහස් පොලිෂ් කර නව දෑ ලෙසින් ඉදිරිපත් කලහ. මෙය වඩාත්ම නරක් වන්නේ ඔවුන් මේ අදහස් ට්‍රොට්ස්කිවාදී අදහස් ලෙස ඉදිරිපත් කරන නිසාය. ඇත්ත වශයෙන් ඔවුන්, ස්ටාලින්වාදී ගුරුකුලයෙන් මතුවී සිටින විවිධ සුළු ධනේශ්වර කණ්ඩායම්වලට ආසන්න වී සිටිති. සුමනසිරි සහෝදරයා පක්ෂය තුලට ගෙන එන්නට උත්සාහ කරන්නේ මේ විසකුරු අදහස් මාලාවන් ය.

මැන්ඩල්, හැන්සන් ආදී වූ අමනයන් රැල මෙම මාවතට පිවිසුනේ නිශ්චිත ඉතිහාසයක් තුලය. දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව පැවතුන විප්ලවීය රැල්ල සමාජ ප්‍රජාතන්ත්‍රවාදී හා ස්ටාලින්වාදී නායකයින් නිසා යටපත් විය. මේ නිසා අධිරාජ්‍යවාදයට ඇමරිකානු නායකත්වය යටතේ නැවත පැලපදියම් වීමට ඉඩ සැලසුනේ ය. මේ නිසා මතුවන තත්ත්වය ගැන වටහා ගැනීම විප්ලවවාදීන් විසින් එදා කල යුතු ප්‍රධාන කර්තව්‍යය විය. බ්‍රිතාන්‍ය ට්‍රොට්ස්කිවාදියෙක් වූ ටෙඩ් ග්‍රාන්ට් සහෝදරයා මේ අවස්ථාවේ දී ලෝක ධනපති ක්‍රමය උත්පාතයකට යොමු වන බව පෙන්වා දෙමින් එයින් මතුවන දේශපාලන පසුබිම ගැන ද, ගත යුතු විප්ලවීය උපාමාර්ගය ගැන ද අදහස් ඉදිරිපත් කළේ ය. 1945/50 කාලය තුල මේ ගැන සාධාරණ සාකච්ඡාවක් හතරවැනි ජාත්‍යන්තරය තුල ලබාගැනීම වෙනුවෙන් ඔහු ප්‍රමුඛ පිරිස පොර බැදූහ. එහෙත් නායකත්වයේ සිටි කැනන්, හැන්සන්, මැන්ඩල් කණ්ඩායම නිලධාරීවාදී අමනයන් ලෙස ක්‍රියා කරමින් එම සහෝදරයාට හිරිහැර කර එලවා දැමූහ. ඉන්පසු ඔවුන් ගෙන ගිය ක්‍රියාමාර්ගයන් පදනම් වූයේ අනුභූතික හා මතුපිට තත්ත්වයන්ට වසඟ වීමේ ආකල්පයන් මතය.

මෙලෙස ක්‍රියා කල මේ අමනයන් රැල ස්ටාලින්වාදී ගුරුකුලයට ආසන්න වීම පුදුමයක් නොවේ.

විප්ලවවාදී පක්ෂය ගොඩ නැගිය හැක්කේ සියළු අවස්ථාවාදී හා සංශෝධනවාදී අදහස් ඉවත් කිරීමෙන් පමණි. මේ නිසාම ට්‍රොට්ස්කිවාදයේ නාමයෙන් ඉදිරිපත් වන වැරදි අදහස් ගැන අප වඩාත්ම ප්‍රවේශම් විය යුතුය. එසේම එවන් අදහස් පරාජය කල හැක්කේ ඒවා ඉතාම තියුණු පරීක්ෂණයකට න්‍යායික තලයේ දී භාජනය කිරීමෙනි. මේ අනුව සුමනසිරි සහෝදරයාට අප ස්තූතිවන්ත විය යුතුය. කුමක් නිසාද යත්, නිවැරදි අදහස් ඔප්පු කරගැනීමට උදව් වන ලෙසට මේ වැරදි අදහස් මාලාවක් විවාදයට ලක් කිරීම සඳහා අප ඉදිරියේ තැබීම නිසා ය. ඔහුගේ අරමුණ ඉටු නොවුනත් එයින් පක්ෂයට සිදු වූයේ වාසියකි.

සුමනසිරි සහෝදරයා මෙම විවාදය ඇරඹුවේ පක්ෂය තුල විනය රාමුවටද අභියෝග කරමිනි. එයින් මතු වූ ප්‍රශ්ණද මේ විවාදය සමඟ එදා පටලැවී තිබිණි. එහෙත් ඒවා මෙම විවාදයට කෙලින්ම අදාල නැත. ඒ නිසා එම කොටස් මේ ලිපි පෙලෙන් ඉවත් කරන ලදී. එසේම මුල් ලිපිවල තිබූ මුද්‍රණ දෝෂ හා වචනවල පටලැවිලි ශුද්ධ කරන්නටද මෙතැන දී කටයුතු කරණ ලදී.

විප්ලවවාදී ඉදිරිදර්ශණයක් සාදා ගැන්ම වෙනුවෙන් දේශපාලන සාකච්ඡාව තියුණු ලෙස ඉදිරියට ගෙනයාම අතිශයින්ම වැදගත් ය. විවාදය මෙසේ පළ කිරීමෙන් බලාපොරොත්තු වන්නේ එයයි.

වික්‍රමබාහු කරුණාරත්න

ප.ලි.

මේ ලිපි වලින් පෙන්වන ලෙසට පක්ෂය තුල ඉතා ම ප්‍රජාතන්ත්‍රවාදී ලෙස සාකච්ඡාවට ඉඩකඩ සපයා දී තිබුණි. එහෙත් එම ඉඩකඩ යොදා ගන්නවා වෙනුවට සුමනසිරි පක්ෂ විනය හිතා මතා කඩ කරමින් පක්ෂයෙන් පලා ගියේ ය. එසේ පලාගොස් කට්ටිවාදී කල්ලියක් හදා ගැන්මෙන් පසුවද අප උත්සාහ කලේ දේශපාලන සාකච්ඡාව ඉදිරියට ගෙන යාමටය. රාජාංගනයේ පැවැති විවාදයේ දී ද ඉන්පසුව ද අප දිගින් දිගටම පෙන්වා දුන්නේ සාකච්ඡාව සාර්ථකව ඉදිරියට ගෙනයාමට නම් මගේ අන්තිම ලිපියට පිළිතුරු ලිපියක් ඔහු විසින් ලිවිය යුතු බවය. වසර ගණනක් ඉක්මවී ඇතත් ඔහු එය ඉටු කර නැත.

කට්ටිවාදයේ බංකොලොත්කම පෙන්වාදීමට තවත් අටුවා ටීකා උවමනා නැත.

වි.ක.


විවාදයට අදාල ලිපි පෙළේ යොමු පහතින්,

සුමනසිරි ලියනගේ – 01 “ශ්‍රී.ල.නි.ප. ගැන ප්‍රතිප්‍රවාදයක්”

සුමනසිරි ලියනගේට පිලිතුරු – බාහු – 01 “සුමනසිරි සහෝදරයාගේ ප්‍රතිවාදයේ ඇතුල් පැත්ත”

සුමනසිරි ලියනගේ – 02 “ජන අරගලය සහ තාවකාලික විප්ලවකාරී ආණ්ඩුවක් සඳහා සටන”

සුමනසිරි ලියනගේ – 03 “ඇත්ත සහ නැත්ත”

සුමනසිරි සහෝදරයාට පිළිතුරු – බාහු – 02 “දේශපාලන සාකච්ඡාව වෙත නැවත යොමු වෙමු!”

සුමනසිරි ලියනගේ – 04 “සුමනසිරි සහෝදරයාගේ පිලිතුරු ලිපිය”

සුමනසිරිට පිළිතුරු – බාහු – 03 “කම්කරු ආඥාදායකත්වය හා කම්කරු ගොවි ආණ්ඩු සංකල්පය”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.