නව සම සමාජ 47 සංවත්සරය – 2024
![](https://haraya.today/wp-content/uploads/2025/01/photo-collage.png-png.avif)
තේමාව: “සැබෑ ආර්ථික වෘධියට අවශ්‍ය වන ස්වපාලනය මත පදනම් වූ සමාජ-ආර්ථික පෙරලිය උදෙසා!”
නව සම සමාජ 47 වන සංවත්සරයට එක් වෙමින්, “නිදහසේ නොනිමි අරගලය” තේමාව යටතේ වික්‍රමබාහු සහෝදරයා පිළිබඳ මතකයන් අවධි කරමින් ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු සහෝදරිය සහ දෙමළ ප්‍රගතිශිලී පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් ආරාධිත දේශන ඉදිරිපත් කරන ලදී.
සිවිල් යුද්ධය මගින් ජනිත කළ සිංහල බෞද්ධවාදී අසහාය දූෂිත රාජ්‍ය බලය ධනපති ප්‍රජාතන්ත්‍රවාදී පදනමක් මත ප්‍රතිසංවිධානය කිරීමට රටේ ප්‍රගතිශීලී බලවේගයන් ගත් උත්සාහය (2015- 2019) සාර්ථක කර ගැනීමට නොහැකි විය. එහි ප්‍රතිඵලය වූයේ ධනපති පංතියේ ගතානුගතික දේශපාලන පක්ෂ හා නායකත්වයන් බිඳී විසිර යෑම ස්ථීර වීමයි.
ඒ මත යලි අන්ත ප්‍රතිගාමී ෆැසිස්ට් පන්නයේ රාජ්‍යක් මගින් විසඳුම් සෙවීමට ගත් වෑයම ද බිඳ වැටී ගියේය. ප්‍රතිඵලය වූයේ රාජ්‍ය බලයේ ස්ථාවරත්වය පමණක් නොව ලාංකීය ජනතාව දැවැන්ත ආර්ථික ව්‍යසනයකට ගොදුරු වීමය. අනතුරුව අතරමැදි පාලනයක් මගින් ගෝලීය ධනවාදයේ සහායෙන් යලි ස්ථාවරත්වයක් ඇති කර ගැනීමට දැරූ වෑයම, ජනතාවගේ විශ්වාසය දිනා ගැනීමට සමත් නොවී ය. එයට හේතුව මේ අතරමැදි පාලනය ඉබාගාතේ යන්නට පටත් ගත් ධනපති දේශපාලනයේ සහාය පැතුවද එය නොලැබීමයි.
එම තත්ත්වය තුල සිදුවූයේ පසුගිය ජනාධිපති හා පාර්ලිමේන්තු මැතිවරණ “පුනරුදයක්” පොරොන්දු වූ, සායම ගිය සුළු ධනේශ්වර බලවේගයන් වටා පෙලගැසුණු මධ්‍යම පංතික දේශපාලන සංධානයක් බලයට ගෙන ඒමය. එම පාලනය, අද පෙරකී අතරමැදි පාලනය විසින් ඇරඹූ ආර්ථික පිලිවෙත් ඉදිරියට ගෙන යෑමට වැර දරයි.
නමුත් රටේ ඇතිව තිබෙන ආර්ථික ව්‍යවසනය මෙන්ම සිවිල් යුද්ධය ගෙන ආ ප්‍රජාතන්ත්‍රවාදයේ හා සමාජ සාරධර්ම වල විනාශයට කිසිම විකල්ප විසඳුමක් ඉදිරිපත් කිරීමට අසමත්ව සිටින බව පෙනේ. ඒ වෙනුවට බිඳී විසිර ගිය ධනේශ්වර රාජ්‍ය බලය යලි ප්‍රතිසංවිධානය කර ස්ථාපිත කිරීමේ වගකීම ඔවුන් කරගසා සිටින්නාක් සේ ය.
ඒ අනුව අපි සියළුම ප්‍රජාතන්ත්‍රීය ජනතා බලවේග එක්කරමින්, ප්‍රජාතන්ත්‍රවාදය මත පදනම් වූ දේශපාලන හා සමාජ ආර්ථික වැඩපිලිවෙලක් කම්කරු පංතිය ප්‍රමුඛ වැඩ කරන ජනතාව අතරට ගෙන යෑම වෙනුවෙන් සටන් කළ යුතු බව නසසප සිය 47 වන සංවත්සරය වෙනුවෙන් ඉදිරිපත් කරන ලදී.