කම්කරු ගොවි ආණ්ඩුව! – සුමනසිරි ලියනගේ – 04 “සුමනසිරි සහෝදරයාගේ පිලිතුරු ලිපිය”
නව සම සමාජ පක්ෂය තුළ 1980 වැඩ වර්ජනයෙන් පසු පසුව ඇති වූ ප්‍රධාන දේශපාලන විවාදයේ ලියවිලි “කම්කරු ගොවි ආණ්ඩුව!” නම් පොත් පිංච හරහා 1981 වසරේදී පළ කරනු ලැබිණි. මෙහි දැක්වෙන අදහස් අතර වෙනස් කම් 1980 ට පෙර සිටම ඇතුලත ලියලමින් තිබුණත්, වැඩ වර්ජනයට පෙර විවෘතව එළියට නොපැමිණි අතර, වැඩ වර්ජනයේ පරාජයත් සමඟ කම්කරු පංතියේ හැකියාවන් ගැන අවිශ්වාස කිරීම මධ්‍යම පංතික කොටස් අතර වඩා ශක්තිමත් විය. සුමනසිරි ලියනගේ සහෝදරයා මතු කළ අදහස් මෙම මධ්‍යම පංතික පීඩනය පක්ෂය ඇතුලත ප්‍රකාශ කිරීමක් විය. ඒ අනුව මතුවූ විවාදයට ඇතුලත් වූ ලිපි විප්ලවවාදී ඉදිරිදර්ශනයක් වෙනුවෙන් දේශපාලන සාකච්ඡාව තියුණු ලෙස ඉදිරියට ගෙනයාම අතිශයින්ම වැදගත් ලෙස සළකා, මෙසේ හරය තුළ පළ කිරීමට තීරණය කළෙමු.
විවාදයට අදාල ලිපි පෙළේ යොමු පහතින්,
කම්කරු ගොවි ආණ්ඩුව! හැදින්වීම
සුමනසිරි ලියනගේ – 01 “ශ්‍රී.ල.නි.ප. ගැන ප්‍රතිප්‍රවාදයක්”
සුමනසිරි ලියනගේට පිලිතුරු – බාහු – 01 “සුමනසිරි සහෝදරයාගේ ප්‍රතිවාදයේ ඇතුල් පැත්ත”
සුමනසිරි ලියනගේ – 02 “ජන අරගලය සහ තාවකාලික විප්ලවකාරී ආණ්ඩුවක් සඳහා සටන”
සුමනසිරි ලියනගේ – 03 “ඇත්ත සහ නැත්ත”
සුමනසිරි සහෝදරයාට පිළිතුරු – බාහු – 02 “දේශපාලන සාකච්ඡාව වෙත නැවත යොමු වෙමු!”
සුමනසිරි ලියනගේ – 04 “සුමනසිරි සහෝදරයාගේ පිලිතුරු ලිපිය”
සුමනසිරිට පිළිතුරු – බාහු – 03 “කම්කරු ආඥාදායකත්වය හා කම්කරු ගොවි ආණ්ඩු සංකල්පය”
සයවන ලිපිය – සුමනසිරි සහෝදරයාගේ පිලිතුරු ලිපිය
විශේෂ අභ්‍යන්තර නිවේදනය පලකර ඇත්තේ, ඉතාමත් කාලෝචිත අවස්ථාවකය. ශ්රීලනිපය සමග ඇති කර ගත හැක්කේ “එක්සත් පෙරමුණක් පමණ යයි” කථා කල වික්‍රමබාහු සහෝදරයා ඊනියා නව “ජාතික පෙරමුණක්” තුලත් කෙටිකාලීනව වැඩ කිරීමට ඇති හැකියාව ගැන කථා කරන්නට පටන් ගෙන ඇත. මෙම “ජාතික පෙරමුණ” ගැන පැහැදිලි නිර්වචනයක් හා අව්‍යාකූල හැඟීමක් ඉදිරිපත් නොකර ඇතත්, ඇඟවෙන පරිදි එය චීනයේ කුවෝමින්ටෑනය සමඟ ඇතිකරගත් ආකාරයේ පෙරමුණක් ය.
ට්‍රොට්ස්කිවාදයෙන් පිට පැනීමට බාහු සහෝදරයාට තවත් ඇත්තේ නූල් ගණනක දුරක් පමණය.
වික්‍රමබාහු සහෝදරයාගේ 1981 ජූලි 12 පිළිතුර, බොහෝ දේ ගැන කථා කරන එකක් ය. ඒ හැම දෙයක්ම ගැන දීර්ඝ පිළිතුරු අවශ්‍ය වන්නේ ය. විශේෂයෙන් 1917 ට පෙර ලෙනින් දැරූ අදහස් ගැන ඉදිරිපත් කරන විකෘති කිරීම් හා අස්ථාන චෝදනා ගැන දීර්ඝ ලෙස පිළිතුරු දීම වැදගත් වන්නේ ය. අපේ උත්තරය එක් අභ්‍යන්තර නිවේදනයක පිටුවලට සීමා කිරීමත්, එක් එක් මාතෘකා (ඒවා අතර අනොන්‍ය සම්බන්ධයන් තිබුණ ද) වෙන වෙනම ගැනීමත්, වඩා උචිත යයි සිතමු. මෙම ලිපියෙන් තැත් කරන්නේ කම්කරු-ගොවි ආණ්ඩු සංකල්පය ගැන පැහැදිලි කිරීමට ය.
මා ඉදිරිපත් කර ඇති කම්කරු ගොවි ආණ්ඩු සංකල්පය ගැන විග්‍රහයක් කිරිමටත්, එය ප්‍රති මාක්ස්වාදී තෙම්පරාදු කළ ස්ටාලින්වාදයක් ලෙස පෙන්වීමටත්, වික්‍රමබාහු සහෝදරයා තැත් කිරීමේ දී ඔහු වැටී ඇත්තේ ඉතාමත් අසරණ තැනකට ය.
කම්කරු ගොවි ආණ්ඩු සංකල්පය ස්ටාලින් – බුකාරින් -රඩෙක් 1920 ගණන්වල මැද භාගේයේ දී ඉදිරිපත් කළ බව පවසන ඔහුට ඒ ගැන ඔවුන්ගෙන් එකඳු උධෘත පාඨයක් ඉදිරිපත් කිරීමට හැකි වී නැත.
දෙවනුව, කම්කරු ගොවි ආණ්ඩු සංකල්පයට එරෙහිව ට්‍රොට්ස්කිගෙන් එකද වාක්‍ය ඛන්ඩයක් උදුරා දැක්වීමට ඔහු සමත් වන්නේ ද නැත.
එහෙත් මෙම ප්‍රති මාක්ස්වාදී තෙම්පරාදු කළ ස්ටාලින්වාදය පරාජය කළ යුතුය. ඒ සඳහා ඔහු සූත්‍රයක් සොයාගෙන ඇත. ඒ කුමක් ද?
ස්ටාලින් විසින් ද්‍රෝහී ක්‍රියාමාර්ගයන්ට සාධාරණය කිරීම සඳහා අකාරුණික හා නින්දිත ලෙස යොදාගත් ලෙනින්ගේ “කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ප්රජාතන්ත්රීය ආඥාදායකත්වය” හා කම්කරු ගොවි ආණ්ඩු සංකල්පය සමාන කිරීම ය. මෙම “මැජික්” එකට හසුකල විට ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලවය පිළිබඳ පොතෙන් පමණක් නොව, ඔහුගේ සමස්ත ලියවිලිවලින්ම අවශ්‍ය තරම් උදෘත පාඨ තෝරා ගත හැකිවේ. මගේ කම්කරු ගොවි ආණ්ඩුව නැමැති යෙදුම, බාහු සහෝදරයා සඳහන් කරන්න් ගොවි-කම්කරු ආණ්ඩුව හැටියටය යන්න, එතරම් බරපතල ආඩාපාලියක් හැටියට නොවූවත්,සඳහන් කළ යුතුවේ.
කම්කරු ගොවි ආණ්ඩුව යන්න හුදු සටන් පාඨයක් පමණක් ද?
සත්තකින්ම එය සටන් පාඨයක් හැටියට කදිම ආකර්ශණීය එකක් ය. මගේ ලිපියේ කම්කරු ගොවි ආණ්ඩුව යන්න සටන් පාඨයකට සීමාවූ තේරුමකට වැඩි තේරුමකින් ඉදිරිපත් කර ඇතැයි වික්‍රමබාහු සහෝදරයා කියන විට ඔහු නිවැරදි ය.
එහෙත් සටන් පාඨයකට වඩා වැඩි තේරුමකින් එය යොදා ගත නොහැකිය කියන විට ඔහු අවුරුදු 60 ක පමණ ඉතිහාසය ගැන වැරදි විවරණයන් කරයි. විප්ලවීය මාක්ස්වාදය විකෘති කරයි. සමස්ථ ලෝක ඉතිහාසය බලා ඔහු විසින් පරිස්සමෙන් තෝරාගත් තොරතුරු බාල්දියකට එකතු කර ගනී.
තරමක් දීර්ඝ වුවද, සමහර තැන්හි නිරස වුවද, අපි මෙය විස්තරාත්මකව සාකච්ඡා කරමු.
1922 තුන්වෙනි ජාත්‍යන්තරයේ හතරවැනි කොන්ග්රසය කම්කරු ගොවි ආණ්ඩුව ගැන සාකච්ඡා කලේ හුදු සටන් පාඨයක් තෝරා ගැනීමක් හැටියට නොවේ. රුසියානු විප්ලවයට පසු යුරෝපයේ රටවල් ගණනාවක විප්ලවීය නැගිටීම් ඇති විය. හන්ගේරියාවේ කැරොලි (KAROLYE) ආණ්ඩුව සහමුලින්ම බිඳවැටීම සමඟ සමාජවාදී පක්ෂය සහ බෙලාකූන්ගේ නායකත්වය යටතේ පිහිටවූ නව කොමියුනිස්ට් පක්ෂය ඉන් ඇතිවූ හිඩැස පිරවීමට ඉදිරිපත් විය. ඔවුන්, රුසියානු පාලනය හැටියට යැයි ඔවුන් සිතූ ආකාරයේ ආණ්ඩුවක් පිහිටුවා ගති. මෙම “කම්කරුවන්ගේ, සොල්දාදුවන්ගේ හා ගොවීන්ගේ සමූහාණ්ඩුවේ” (මේ ඔවුන් තැබූ නමයි) ජිවිතය දවස් 133 කට සීමා විය. ධනේශ්වරයේ ප්‍රති ප්‍රහාරය පරාජය කිරීමට ඔවුනට හැකි නො වීය.
මෙවැනිම ආණ්ඩුවක් බැවේරියාවේ ඇති විය. එහි ද වාම සමාජ ප්රජාතන්ත්රවාදී පක්ෂය ප්රමුඛ ආණ්ඩුවක් ඇති විය.
මෙම ආණ්ඩුවල පන්ති ස්වරූපය කුමක් ද? ඒවා හැඩරුවෙන් රුසියානු මාදිලියට සමාන වුවද, ඒවා රුසියානු ආණ්ඩුවට සමාන වූයේ නැත. 1922 හතරවෙනි කොන්ග්රසය සාකච්ඡා කල ප්‍රධාන කරුණක් වූයේ මෙවැනි ආණ්ඩුවල ස්වාභාවයයි. එවැනි ආණ්ඩු තවදුරටත් ඇති වීමේ අවකාශය ගැන කොන්ග්රසය ප්‍රතික්ෂේප කළේ නැත. එහෙත් ආසන්න අවධියකදී එවැන්නක් නැවත ඇති වූයේ නැත. සාකච්ඡාවට ගත් ප්රශ්නය මෙයයි. එක්සත් පෙරමුණක් (මා එක්සත් පෙරමුණක් යන්න භාවිතා කරන්නේ බාහු සහෝදරයා භාවිත කරන තේරුමෙන් නොව “සමාජයේ පහල තට්ටුවල සංවිධානවල සටන් පෙරමුණක්” යන ලෙනින්වාදී තේරුමෙන් ය) ඇත්තටම බලයට ආවහොත් ඇතිවන ප්‍රතිඵලය කුමක් ද? ඒ ඇතිවන ආණ්ඩුව කුමක් ද? නිර්ධන පංතික විප්ලවයක් ජයග්‍රහණය දක්වා ගමන් කරන ක්‍රියාවලියේ දී, ඒ ආණ්ඩුවට හිමිවෙන තැන කුමක් ද? තමන්ගේ කැමැත්තක් නැතිව, විවිධ සාධක බිඳ ගණනාවක බල කිරීම මගින් ස්ටාලින්වාදී පක්ෂ හා සුළු ධනේශ්වර පක්ෂ, ධනේශ්වරයෙන් බිඳී ආණ්ඩුවක් ඇති කර ගැන්මේ ඉතාමත් අඩමාන සිද්ධිය යථාර්ථයක් බවට පත් වුවහොත් ඇතිවන ආණ්ඩුවේ ස්වරූපය කුමක් ද?
බොල්ෂෙවික්වාදීහු 1922 දී ත් ඊට පසු කාලයේත්, එමෙන්ම ට්රොට්ස්කිත්, උත්තර දෙන්නට තැත් කළේ මෙම ගැටළුවටය.
මෙම ගැටළුව සාකච්ඡා කිරිමට පෙරාතුව නිර්ධන පන්තියේ ආඥාදායකත්වය යන්නෙන් න්‍යායාත්මකව දැඩි තේරුමකින් ගත් විට අදහස් වන්නේ කුමක් ද? කෙටි පිළිතුරක් සපයමු.
කම්කරු රාජ්‍යය යනු කුමක් ද?
කම්කරු රාජ්‍යයක් ප්‍රතිෂ්ඨාපනය කිරීමේ වදගත්ම කොන්දේසියක් වන්නේ, දේපොල සම්බන්ධතාවයන්හි වෙනසක් හා පරිවර්තනයක් ඇති කිරීම යි. සෝවියට් දේශයේ මෙම පරිවර්තන ක්‍රියාවලිය ගැන ට්‍රොට්ස්කි නැවත වරක් සලකා බැලී ය.
“1918 සරත් ඍතුව වන තුරුම පවා විප්ලවයේ සමාජ අන්තර්ගතය සුළු ධනේශ්වර කෘෂිකාර්මික පරිවර්තනයකට සහ නිෂ්පාදනය කෙරෙහි කම්කරු පාලනයකට සීමා කරනු ලැබිනි. මෙයින් තේරුම් යන්නේ විප්ලවය, එහි ක්‍රියාකාරීත්වය මගින් තවමත්, ධනපති සමාජයේ සීමාවන් පැන ගොස් නැති බවය. මෙම අවධියේ දී සොල්දාදුවන්ගේ සෝවියට් කම්කරුවන්ගේ සෝවියට් සමඟ පාලනයට හවුල් විය. නොයෙක් විට කම්කරු සෝවියට් ඉවතට තල්ලු කර ලූයේ ය.
1918 සරත් ඍතුවෙන් පසුවයි සුළු ධනේශ්වර සොල්දාදු කෘෂිකාර්මික මූලයන්හි බලපෑම බාල වූනේ. නිෂ්පාදන බලවේග ජනසතු කිරීමත් සමඟ කම්කරුවන් පෙරමුණට ආවේ ය. මෙම අවස්ථාවෙන් පසු තමා කෙනෙකුට ඇත්ත නිර්ධන පන්ති ආඥාදායකත්වයක් ගැන කථා කළ හැක්කේ.” (‘සෝවියට් රාජ්‍යයේ පන්ති ස්වාභාවය’ – ට්‍රොට්ස්කි ලියවිලි 1933-34, 106 පිට)
අවාසනාවකට මෙන් ට්‍රොට්ස්කිට මෙම අදහස වැඩිපුර වර්ධනය කිරීමට හැකි කමක් නොලැඹුණි.
කම්කරු රාජ්‍යයක්, නැත්නම් වඩා ගැඹුරු හා දැඩි ලෙස විද්‍යාත්මක තේරුමෙන් නිර්ධන පන්ති ආඥාදායකත්වයක් ඇතිවීම සමඟ පහත සඳහන් පියවර ද අන්තර්ගත වේ.
i. ධනපති රාජය යන්ත්‍රය පොඩිපට්ටම් කර දැමීම -පැරණි තන්ත්රය විනාශ වීම කරා ගමන් කර සිවිල් යුද්ධයකින් හෝ ජන නැගිටීමකින්ද මෙය සිදුවේ.
ii. කම්කරු ආණ්ඩුවක් නැත්නම් කම්කරු ගොවි ආණ්ඩුවක් පිහිටුවීම. එනම් කම්කරුවන්ගේ හා හිතවතුන්ගේ බලය: ප්රාග්ධනයේ ආර්ථික ශක්තිය තර්ජනයට ලක් කරන ප්‍රතිසංස්කරණ ඇති කිරීම සඳහා මෙහෙයවන, පැරණි පාලන පන්තීන්ගෙන් ස්වාධීන ආණ්ඩුවක් ය.
iii. ආර්ථිකයේ මර්මස්ථානයන් අත්පත් කර ගැනීම මගින් දේපොල සම්බන්ධතාවල පරිවර්තනයක් ඇති කිරීම සහ ආර්ථික සම්බන්ධතා සැලසුමකට අනුව මෙහෙයවීම.
මෙම සංවර්ධනයන් එක්වර ඇති නොවන්නාක් මෙන්ම දැඩි ලෙස වෙන් කෙරුන අවධි හරහා ද ඇති නොවේ. ඒවා විප්ලවීය සමාජ පෙරලියේ අංගයන් ය. ඒ පෙරලියේ වේගය හා ගැඹුර තීරණය කෙරෙන්නේ ඒ ඒ රටවල ඓයිතිහාසික විශේෂත්වයන් මඟින් පමණක් නොව ඒ ඒ රටවල් මෙම ක්‍රියාවලියේ නායකත්වයේ ස්වාභාවය හා පන්තියේ දැනුවත් කම මතය.
1917 ඔක්තෝම්බර් සිට 1918 නොවැම්බර් දක්වා අවධිය ගැන වික්‍රමබාහු සහෝදරයා ට්‍රොට්ස්කිගෙන් සහ ලෙනින්ගෙන් උදුරා දක්වන අදහස් නිවැරදිය. එහෙත් ඔහු ඒවා මට එරෙහිව පාවිච්චි කරන්නේ වංචනික ආකාරයටය. 15 පිට බලන්න “ඒත් එය ප්රජාතන්ත්රීය ආණ්ඩුවක් පමණක් නොවී ය.”
මෙතැන දී ඉතාමත් පැහැදිලිව කරන්නේ කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ප්රජාතන්ත්රීය ආඥාදායකත්වය යන්න, කම්කරු ගොවි ආණ්ඩු සංකල්පය සමඟ පැටලවීම ය. එහෙත් එතැනදී ම වික්‍රමබාහුගේ එක් තර්කයක් බිඳ වැටේ. එනම් කම්කරු ගොවි ආණ්ඩුව යන්න හුදු සටන් පාඨයක් හැටියට පමණක් නිවැරදි වේ යන්නයි. 1917 සිට 1918 නොවැම්බර් තෙක් පැවති ආණ්ඩුව කම්කරු ගොවි ආණ්ඩුවක් පමණක් ය, කීමෙන් තේරුම් යන්නේ එවැන්නක් පැවතිය හැකි බවය. එමෙන් ම එය දැඩි තේරුමෙන් ගත් විට නිර්ධන පංති ආඥාදායකත්වයක් නොවී ය. එම ක්‍රියාවලියේ එක් පියවරක් පමණක් විය. ඒ නිසාම එය තාවකාලික අඩමාන එකක් විය.
නමුත් පටලැවිල්ලක් ඇති වන්නේ මෙතැනදීය. රුසියාවේ කම්කරු රාජ්‍යයක් ඇතිවීමේ දිනය හැටියට අප සාමාන්‍යයෙන් ප්‍රකාශ කරන්නේ 1917 නොවැම්බර් නොවේ. ඔක්තෝම්බරයයි. (පැරණි කැලැන්ඩරයට අනුව) අප මෙසේ කරන්නේ කම්කරු ගොවි සෝවියට් වල නායකත්වය ගත් බොල්ෂෙවික්වරු කම්කරු බලය තහවුරු වන පරිදි දේපොල සම්බන්ධතාවයන් පෙරලා දැමීමට ක්‍රියා කරනු ඇත යන විශ්වාසය නිසාය. (ඒ් තේරුමෙන් ගත් විට ඒක් අතකින් මනෝමූල මිනුම් දණ්ඩක් විය.) ඇත්තටම බොල්ෂෙවික්වරු එම විශ්වාසය තහවුරු වන හැටියට ක්‍රියා කිරීම නිසාම මෙතැන ප්‍රශ්නයක් ඇති නොවී ය. එහෙත් දෙවන ලෝක යුද්ධයට පසු මෙසේ බොල්ෂෙවික්වරුන් ගැන මෙන් විශ්වාසය තැබිය නොහැකි නායකත්වයක් යටතේ ආණ්ඩුවක් ඇති වූ විට ( මාවෝ සේතුං – ටිටෝ – කැස්ට්‍රෝ) ඉහත යොදා ගත් මිනුම් දණ්ඩ දුර්වල විග්රහාත්මක උපකරණයක් වේ. මක් නිසාද යත් එම නායකත්වයන් සුළු ධනේශ්වර යටවීම් මගින් විනාශයන්ට ගමන් ගත හැකි බැවින් ය.
1922 නොවැම්බරයේ තුන්වන ජාත්‍යන්තරයේ හතරවැනි සම්මේලනයට මුහුණ දෙන්නට වුනේ මෙම ගැටළුවටය. එසේම දෙවන ලෝක සංග්‍රාමයට පසු ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයට මුහුණ දෙන්නට වුනේ මෙම ගැටළුවටමය. කම්කරු ගොවි ආණ්ඩු සංකල්පය වර්ධනය කෙරුනේ මෙම සංදර්භය ඇතුලතය. 1922 ලියවිල්ල හුදු යුරෝපයට සීමා කිරීම නොමග යවන සුළුය. එම ලියවිල්ලේ සඳහන් කර ඇති රටවල් සමහරක් ඒ් වන විටත් ධනේශ්වර විප්ලවය නිම නොවූ රටවල් ය. ඒ් තේරුමෙන් ඒ් රටවල් ආසියාතික රටවල් ය. (1917ට පෙර රුසියාව මෙන්.)
අවස්ථාවාදී කම්කරු පක්ෂ, නැත්නම් ස්ටාලින්වාදී කම්කරු පක්ෂ ප්‍රධානවන කම්කරු රාජ්‍යයක් ගොඩ නැගීම වික්‍රමබාහු සහෝදරයා ප්‍රතික්ෂේප කරන්නේ නැත.
එමෙන්ම සෝවියට් නිලධරයේ ආධාරය ඇතිව, ඊට යටත්ව, ධනේශ්වර බලවේගයකට – බණ්ඩාරණායකගේ ශ්රීලනිපය වැනි – පවා කම්කරු රාජ්‍යයක් (අසම්පූර්ණ) හැදීමට ඇති හැකි කම වික්‍රමබාහු සහෝදරයා පිලිගනී. මෙවැනි තැන්වලදී පංතියේ ක්‍රියාකාරීත්වය ඔහුට ඒතරම් වැදගත් නොවන්නේ ය.
මෙම කුමන අවස්ථාවකදී වුවද මෙම කම්කරු රාජ්‍ය බිහිවීමේ ක්‍රියාවලියේ ගතිකය විස්තර කිරීමේ දී කම්කරු ගොවි ආණ්ඩු සංකල්පයට ඇති වැදගත් කම ඔහු දකින්නේ නැත. ස්ටාලින්වාදී කම්කරු පක්ෂ යම් මොහොතක බලයට එන්නේද ඔහුට අනුව එවිට කම්කරු රාජ්‍යයක් ඇති වේ. ධනේශ්වර බලවේගයක් (වුවද) යම් අවස්ථාවක රුසියානු නිලධරයට නතු වන්නේ ද එවිට කම්කරු රාජ්‍යයක් බිහිවේ. ඒ ඒ රටවල සිද්ධීන් ඇසුරෙන් අපි මේ ගැන සාකච්ඡාව පටන් ගනිමු.
යුගෝස්ලාවියාව:-
යෝල්ටා ගිවිසුම මගින් යුගෝස්ලාවියාව, බ්‍රිතාන්‍ය බලපෑමට අයත් රටක් හැටියට පවත්වා ගැන්මට ස්ටාලින් ඒකග විය. යුද්ධය අවසන් වූ පසු චර්චිල්ට අවශ්‍ය වූයේ පීටර් රජු නැවත සිහසුනට පත් කොට කෑරජිවොන්ජිත් රජ පෙලපත නැවත ඇති කිරීමටය. ටිටෝ ඊට තදින් විරුද්ධ විය. පීටර් රජුගේ නියෝජිතයා වූ ජනරාල් විහැප්ලොවැක් සමග ඊට පෙර අවධියේ දී ටිටෝ තදබල ගැටුම් ඇති කර ගෙන තිබුණි. ටිටෝගේ කොමියුනිස්ට් පක්ෂයට සහ AVN.OJ සංවිධානයට රට අභ්‍යන්තරයේ ශක්තිමත් බලයක් තිබිණ. අවසානයේ ඇති වූයේ මැදි සම්මුතියකි. හවුල් ආණ්ඩුවකි. 1945 මාර්තු 07 වෙනි දින පත් කල මෙම ආණ්ඩුවට රාජකීය ආණ්ඩුවේ හිටපු අගමැති සුබාසික් ඇතුළු තවත් ධනපති ඇමතිවරු හතර දෙනෙකු ඇතුලත් විය.
ඇත්තටම බලය තිබුනේ AVN.OJ සංවිධානයට හා එහි බලගතු පක්ෂය වූ කොමියුනිස්ට් පක්ෂයටය. එසේ වූ නමුදු ටිටෝ – සුබාසික් ආණ්ඩුව ධනපති ආණ්ඩුවක් විය. මෙම ආණ්ඩුව ඉඩම් ප්‍රතිසංස්කරණ සහ ජනසතු කිරීම් ඇති කලද ධනපති රාමුව රැකින. කෙසේ වුවද, ඉඩම් හිමිකාරකමට හා ධනපති දේපොල ක්‍රමයට පහර වැදිනි. මෙහි ප්‍රතිඵලය වූයේ ධනපති ඇමතිවරු තිදෙනෙකු අස්වීමය.
අවසානයේ දී සුබාසික් පවා අස්විය. 1945 නොවැම්බර් 11 පැවැත්වූ මැතිවරණය වර්ජනය කිරීමට ධනේශ්වර පක්ෂ තීරණය කළේ ය. නොවැම්බර් 29 නව ෆෙඩරල් ජනතා සමූහාණ්ඩුව පිහිටුවී ය. 1946 ජනවාරි 31 නව ව්‍යවස්ථාවක් අනුමත කෙරිණි. රාජ්‍ය, පෞද්ගලික හා සමූපාකාර දේපල පැවැත්ම ව්‍යවස්ථාව මගින් සහතික කෙරිණි.
1946 නව වෙනස්කම් ගණනාවක් ඇති විය. සෝවියට් සැලසුම් ගැන හැදෑරීමට වෝරිස් කිඩ්රින් මෝස්කව් බලා ගියේ ය. ඔහුගේ පැමිණීමෙන් පසු පලවෙනි පස්වස් සැලැස්ම ඇති කෙරින. 1946 දෙසැම්බරයේ දී ජනසතු කිරීම් ගනනාවක් කෙරින.
වොරිස් කිඩ්රින් කොමියුනිස්ට් පක්ෂයේ පස්වෙනි සම්මේලනයට මෙසේ වාර්තා කළේ ය.
“මෙම අවදිය අවසන් වන විට ජාතික සභාව තව ජනසතු නීති දෙකක් අනුමත කළේ ය. ඒහි ප්‍රතිඵලය වූයේ සමස්ථ කර්මාන්ත අංශය, ආකර, තොග වෙළදාම, ප්‍රවාහනය ඒ රටේ සමාජවාදී අංශයට පත්වීමය.”
1945 සිට 1946 දෙසැම්බර් තෙක් දික් ඇඳුන මෙම ක්‍රියාවලිය යුගෝස්ලාවියාව තුල විකෘති වූ කම්කරු රාජ්‍යයක් ඇති කළේ ය. මෙම කම්කරු රාජ්‍ය ඇති වූ දිනය හැටියට බාහු සහෝදරයා දක්වන්නේ කවදා ද? (i) 1945 මාර්තු ද? ධනපති ඇමතිවරු ආණ්ඩුවේ සිටියද ඒ් වන විටත් ඇත්ත ආධිපත්‍යය තිබුනේ කොමියුනිස්ට් පක්ෂයටය. (ii) 1945 නොවැම්බර් ද? මෙතැනදී තනිකර කො:ප: ආණ්ඩුවක් ඇති විය. (iii) 1946 දෙසැම්බර් ද? ආර්ථිකයේ දේපොල පරිවර්ථනය පූර්ණ ලෙසින් ඇතිවීම ඇරඹින.
ඔහුගේ උත්තරය (ii) වැන්න නම්. ස්ටාලින්වාදී යුගෝස්ලෝව් කොමියුනිස්ට් පක්ෂය ඔවුන්ගේ අවදි දෙකේ විප්ලව න්‍යාය එසේම තිබිය දී ධනේශ්වරය පෙරලා දැමීමට ගමන් කරන බවට ඇති සහතිකය කුමක් ද?
ඉහත දැක්වූ විග්රහයට අනුව, 1945 නොවැම්බර් සිට 1946 දෙසැම්බැර් දක්වා අවධියේ පැවැති ආණ්ඩුව අප හඳුන්වන්නේ කම්කරු ගොවි ආණ්ඩුවක් හැටියට ය. එය ධනපති පන්තියෙන් ස්වාධීන වූ කම්කරුවන්ගේ හා ගොවීන්ගේ සංවිධානවල ආණ්ඩුවක් ය. එහෙත් කම්කරු රාජ්‍ය බිහිවීම හැටියට අප නම් කරන්නේ 1946 දෙසැම්බර් මසයි.
චීනය:-
1949 ඔක්තෝම්බරයේ දී චියැං කායි ෂෙක් ගේ හමුදා පරාජය කොට මාවෝ සේතුං ගේ ගොවි හමුදා ජයග්‍රහණය කළේ ය. චීන කම්කරු රාජ්‍ය බිහිවීම හැටියට බොහෝ දෙනෙකු දකින්නේ මෙම දිනය ය. එහෙත් හතරවන ජාත්‍යන්තරය මෙම සිද්ධීන් ඉතා පරිස්සමෙන් අධ්‍යයනය කල අතර, චීන විප්ලවයේ විවිධ පියවරයන් නිවැරදි ලෙස ලකුණු කළේය. මාවෝ සේතුං ගේ චීන කොමියුනිස්ට් පක්ෂය ගොවි ජන පක්ෂයක් විය. වැඩ පිළිවෙල, සංයුතිය, දර්ශණය යන හැම පැත්තෙන්ම ගත් විට එය ගොවි ජන සංවිධානයකි. (මාඕ සේතුං ගේ මාක්ස්වාදී වාග්මාලා භාවිතය නිසා ඒය කම්කරු පක්ෂයක් ලෙස නම් කරන්නේ නම්, ජනතා විමුක්ති පෙරමුණත් කම්කරු පක්ෂයක් වනු ඇත.) කොමියුනිස්ට් පක්ෂයේ ජයග්‍රහණය මාවෝවාදීන් පෙන්වන ආකාරයට අඛණ්ඩ නිවැරදි පිළිවෙතක ජයග්‍රහණයක් නොවේ.
ගොවි ජනතාව ප්‍රධාන කර්තව්‍යය ඉටු කල අතර, නාගරික කම්කරු පංතිය ජයග්‍රාහී ගොවි හමුදාවට වීදි දෙපස සිට අත්පුඩි ගැසූහ. අළුතින් සම්මත කල පොදු වැඩපිලිවෙල කිසිසේත්ම කම්කරු ආඥාදායකත්වයක වැඩපිලිවෙලක් නොවීය.
- “චීනයේ මහජන සමූහාණ්ඩුව නව ප්රජාතන්ත්රවාදී නැත්නම්, ජනතා ප්රජාතන්ත්රවාදී ආණ්ඩුවක්ය. කම්කරුවන්ගේ හා ගොවීන්ගේ මිත්‍රත්වය මත පදනම් වූ, චීනයේ සියළු ප්රජාතන්ත්රවාදී හා ජාතික කොටස් එක්කර ගත්, වැඩ කරන ජනතාව නායකත්වය ගත් ජනතා ආඥාදායකත්වයකි. …….එය අධිරාජ්‍යවාදයට, වැඩවසම්වාදයට, නිලධාරීමය ධනවාදයට විරුද්ධ වේ. නිදහස- ප්රජාතන්ත්රවාදය – සාමය – ඒක්සත්කම – සමෘධිය හා සශ්‍රීක බව වෙනුවෙන් පෙනී සිටින්නකි.”
1949 ඔක්තෝම්බර්වල කම්කරු ආඥාදායකත්වයක් චීනයේ ඇති වී ද? 1952 මැයි මස ජාත්‍යන්තර විධායක සභාව අනුමත කළ “තුන්වන චීන විප්ලවය” යන යෝජනාව මෙසේ වාර්තා කරයි.
- “චීන මහජන සමූහාණ්ඩුව ප්රතිශ්ඨාපනනය කිරීම තුන්වෙන් චීන විප්ලවයේ ආරම්භය පමණකි. එය අප ඇස් පනාපිට දිග ඇරෙන නොනවතින විප්ලවයේ ක්‍රියාවලියේ ආරම්භය නියෝජනය කරයි.”
1949 ඔක්තෝම්බරය චීන කම්කරු ආණ්ඩුවේ ඇතිවීම හැටියට නම් කල හැක්කේ චීන කොමියුනිස්ට් පක්ෂය ගැන පරිපූර්ණ විශ්වාසයක් ඇත්නම් පමණය. ගොවි ජනතාව පදනම් කර ගත් ස්ටාලින්වාදය නැමැති සුළු ධනේශ්වර දර්ශනය පිලිගත්, ප්රජාතන්ත්රවාදී ක්‍රියාවලින් ඔබ්බට ගිය ක්‍රියාමාර්ගයක් වෙනුවෙන් ක්ෂණිකව සටන් නොකල, මාවෝ සේතුංට සහතිකයක් දිය හැක්කේ කෙසේ ද? එහෙත්, මාවෝගේ ආණ්ඩුව ධනේශ්වරයෙන් හා වැඩවසම් ඉඩම් හිමියන්ගෙන් ස්වාධීන වූ ආණ්ඩුවක් විය. එහෙත් එය තවදුරටත් ධනපති රාමුව තුලම පමණක් පෙනී සිටියේ ය. 1952 යෝජනාව මෙසේ ඇස්තමේන්තුවක යෙදින.
- “අප මෙම ආණ්ඩුව කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආණ්ඩුවක් හැටියට වර්ග කරමු. මක් නිසාද? එක් අතකින් එය භාවිතයේ දී විප්ලවයේ මාවතට ප්රවිශ්ඨ වීමට ධනේශ්වරයේ අයිතිහාසික වුවමනාවන්ගෙන් බිදුනකි. අනෙක් අතට එය තවමත් ධනේශ්වරයේ බලය සහමුලින් විනාශ කර නැත. රාජ්‍ය යන්ත්‍රය උඩ සිට පහත තෙක් ඇති යුගල බලය නැති කොට දමා නැත.” (හතරවෙනි ජාත්‍යන්තරය – 1952 ජූලි-අගෝස්තු 113/116 පිටු. අවධාරණය මුල් ලිපියේ)
කොරියානු යුද්ධයෙන් ඇරඹුන ක්‍රියාවලිය තුළ දේපොල සම්බන්ධතාවල විශාල පෙරලියක් ඇතිවීම ඇරඹින. කර්මාන්ත අංශය ඇතුලත ඇති වූ මෙම දේපොල සම්බන්ධතාවල පෙරලිය 1950 ගණන්වල මැද භාගය වන විට චීනයේ කම්කරු රාජ්‍යයක් බිහි කළේය.
කියුබාව :-
වික්‍රමබාහු සහෝදරයා මෙසේ ලියයි. “තාවකාලික විප්ලවකාරී ආණ්ඩුව පැවතුණේ කොයි අවස්ථාවේ දී ද? 1959 සිට 1960 දක්වා ද? නැත්නම්, 1961 සිට 1965 දක්වා ද? එසේත් නැත්නම් 1965 සිට 1975 දක්වා ද?”
මෙයින් අසන්නේ කියුබාවේ කම්කරු ගොවි ආණ්ඩුවක් පැවතුනේ කුමන කාල දෙකක් අතර ද යන්න නම් අප ඊට පසුව පිලිතුරු සපයමු. කෙසේ වුවත්, අපි වික්‍රමබාහු සහෝදරයාගෙන් කල්තියා ප්‍රශ්නයක් ඇසුවා. කියුබානු “විකෘති කම්කරු රාජ්‍යය” බිහි වූයේ කවදා ද? සතතකින්ම ඒ් කැස්ට්‍රෝ අගමැත්වූ 1959 පෙබරවාරියේ දී ද? වික්‍රමබාහු සහෝදරයා මෙය පිලිගන්නේ නැති බව සහතිකය. ඒනම්, චේ ගෙවාරා නැගෙනහිර යුරෝපයට හා රුසියාවට සංචාරය කල 1959 ජූනි මාසයේ ද? ඒසේ නැත්නම් මිතියොන් කියුබාවට පැමිණි 1960 පෙබරවාරියේ ද? නැත්නම් 1961 ඌරුබොක්කේ ආක්‍රමණයද? මේ දින ඒකකට තමන්ගේ උත්තරය යොමු කරන්නේ නම් අපට අසන්නට ඇති අනෙක් ප්‍රශ්න මේවා ය. ඒසේ නම් ඉතියෝපියාව – ඇංගෝලාව කම්කරු රාජ්‍ය හැටියට වික්‍රමබාහු සහෝදරයා පිලිගන්නවා ද?
එමෙන්ම, රුසියානු හා නැගෙනහිර යුරෝපීය ආධාර මෙන්ම විශේෂයෙන්ම කියුබානු ආධාර මත සැලකිය යුතු මට්ටමෙන් රදා පවතින නිකරගුවාවේ අද කම්කරු රාජ්‍යයක් ඇති වී තිබේ ද?
මෙම ප්‍රශ්නවලට උත්තර කුමක් වුවත්, කියුබානු විප්ලවය ගැන වික්‍රමබාහු සහෝදරයාගේ ආත්මගත විග්‍රහය පරාජය කල යුතුවේ. ඔහුට අනුව 1959 සිට 1961 දක්වා කැස්ට්‍රෝ ක්‍රියාකල ආකාරය අනුව කැස්ට්‍රෝ – කෙරෙන්ස්කි – බණ්ඩාරණායක අතර “අඹමල් රේණුවක වෙනසක් නැත”. සිරිමා බණ්ඩාරනායක හමුදාවල පවා “දැඩි වෙනස්කම්” ඇති කර ඇත.(ඇති කිරීමටත් ඉඩක් ඇත්ද?) අඩු තරමේ චීන නිලධරය තම ග්‍රහණයට සිරිමා බණ්ඩාරනායක ගැන්මට තරම් අනුකම්පිත සහගත වී නම් විකෘතිකාර කම්කරු රාජ්‍යයක් ඇති වන්නට ඉඩ තිබුණි.
වික්‍රමබාහු සහෝදරයාගේ කියුබාව ගන අදහස හීලිවාදීන්ගේ අදහසින් ද වෙනස් වන්නේ හීලිවාදීන් කියුබාව කම්කරු රාජ්‍යයක් ලෙස තවම නිශ්චිතව ප්‍රකාශ නොකරන නිසාය. ඔවුන් ඊට නිශ්චිත උත්තරයක් දීමට ඉදිරිපත් නොවී ඇත්තේ ඔවුන්ට වික්‍රමබාහු සහෝදරයාගේ මට්ටමේ ආත්මගත මනෝමූල විග්‍රහයක් කිරීමට තවමත් ලැජ්ජා සහගත නිසාද යන්න ප්රශ්නයකි. අපි “අබමල් රේනුවකවත් නැති වෙනසෙන්” හා සිරිමාගේ “දැඩි වෙනසෙන්” පටන් ගනිමු.
කැස්ට්‍රෝගේ ජූලි 26 ව්‍යාපාරය ආසන්න වන්නේ බන්ඩාරණායක ව්‍යාපාරයට නොව, මාවෝ සේතුංගේ කොමියුනිස්ට් පක්ෂයටය. ඒහෙත්, කැස්ට්‍රෝ හේගල්ගේ අපෝහකය ගැන, මාක්ස්ගේ නිර්ධන පංති ආඥාදායකත්වය ගැන කයිවාරු ඒ දිනවල කෙලියේ නැත. ඔහු ප්රජාතන්ත්රීය විප්ලවයේ කටයුතු රැඩිකල් ආකාරයෙන් ක්‍රියාත්මක කිරීමට ඇප කැප වූවකු ලෙස වැඩ පටන්ගත්තේ ය.
ඒ් තේරුමෙන් ඔහු ඇත්ත විප්ලවවාදියෙකු විය. ඒ මක්නිසාද, ඔහු යමක් ප්‍රකාශ කලේ නම්, ඒ් හැටියෙන්ම ඇදහුවේ ය. ඒ් වෙනුවෙන් සටන් කළේ ය.
ජූලි 26 ව්‍යාපාරයේ ජයග්‍රහනයත් සමග ඇති වූයේ හවුල් ආණ්ඩුවකි. මැනුවෙල් උරුටියා ජනාධිපති විය. මීරෝ කඩෝනා අගමැති විය. ආණ්ඩුවේ තනතුරක් ගැනීම කැස්ට්‍රෝ ප්‍රතික්ෂේප කළත්, බල කිරීම් නිසා සන්නද්ධ හමුදා අධිපති තනතුරකට පත් විය.
1959 ජූලි දක්වා ආණ්ඩුව ඇතුලත ගැටුම ඇති විය. පෙබරවරියේ අගමැති අස්විය. පෙබරවාරි 16 කැස්ට්‍රෝ අගමැති හැටියට පත්විය.
කැස්ට්‍රෝගේ විසිවැදෑරුම් ක්‍රියාමාර්ගය, ඒ වන විටත් ප්‍රතිසංස්කරණ මට්ටමේ පැවතුනකි. ඒහෙත් බණ්ඩාරනායකගේ 56 වැඩපිලිවෙලට සමාන කළ හැක්කක් නොවේ. බණ්ඩාරනායක ක්‍රියාමාර්ගයේ කෘෂිකාර්මික ප්‍රතිසංස්කරණයන් ගැන සදහන් නොවී ය. (1956 පමණක් නොව 1970ත්) කියුබාව කම්කරු වැටුප් වැඩි කිරීම සමග ආවේ ඇමති වැටුප් අඩු කිරීමක් ය.
මෙම ක්‍රියාමාර්ගය සීමිත වුවද, ප්‍රතිසංස්කරණ මට්ටමේ පැවතුනද, ඒය බොරුකාර එකක් නොවී ය. කෘෂි ප්‍රතිසංස්කරණය තම අතටම ගැනීමට තෙරපීම් කෙරින. ඉඩම් සීමාවන් පැනවින. පවරාගත් ඉඩම් ගොවීන් අතර නොමිලේ බෙදා දුනි. ඉඩම් සංකේන්ද්‍රණය වීම වැලැක්විය. මෙම ක්‍රියාමාර්ගය ඇරඹුනේ වික්‍රමබාහු සහොදරයා කියන පරිදි 1959 අවසානයේ නොවේ. 1959 ජූනි මස “මේජර් චේ ගෙවාරාගේ සංචාරයටත්” පෙරාතුවය. 1959 මැයි 17 වෙනි දින දී ය. මෙම ප්‍රතිසංස්කරණ, ධනේශ්වර පංතිය හා ඉඩම් හිමියන් බිය වැද්ද වී ය. 1959 ජූලි මස ජන මැදිහත්වීම්වල ප්‍රතිඵලයක් හැටියට ජනාධිපතිවරයා ඉල්ලා අස්විය. අනෙක් ලිබරල් ඇමතිවරු හා කොටස් ඉවත් වූහ. නොවැම්බර් වන විට මෙය සම්පූර්ණ විය. මේ සමග ධනේශ්වරයෙන් හා ඉඩම් හිමියන්ගෙන් ස්වාධීන වූ ආණඩුවක් කියුබාවේ ඇති විය. ඒය චීනයේ ඇතිවූ ආණ්ඩුව වැනි ඒකක් විය.
ඇමරිකාව සමග බිදීම ආණ්ඩුව වමට ගමන් ගැන්ම සමග සටහන් විය. ආර්ථික තහංචි කියුබාවට එරෙහිව පැනවින. චේ ගේ සංචාරය කියුබානු ආර්ථිකය ස්වාධීනත්වය රැකගැන්මට ගත් උත්සාහයකි. විදේශ වෙළද ක්ෂේත්රයේ ඇතිවූ වෙනස්කම් ඇති වන්නේ 1960 පෙබරවාරියෙන් පසුවය.
අප්‍රියෙල්වල රුසියානු බොර තෙල් ටොන් 300,000 ක් මිළදී ගැනින. 1960 ජූලි-ඔක්තෝම්බර් අතර අවධිය තුල දේපොල සම්බන්ධතාවල පුළුල් දුර දිග ගිය පෙරලියක් ඇති විය කියුබාව තුල කම්කරු රාජ්‍යයක් බිහිවීමේ ක්‍රියාවලිය පූර්ණ වන්නේ ඒ සමගය.
1959 නොවැම්බර් සිට 1960 ජූලි – ඔක්තෝම්බර්වල දේපොල සම්බන්ධව ඇති වූ පෙරලිය දක්වා පැවති ආණ්ඩුව, කම්කරු ගොවි ආණ්ඩුවක් ය. එය ධනේශ්වරයෙන් ස්වාධීන වූ සමාජයේ පල්ලෙහා තට්ටුවේ බලවේගවල ආණ්ඩුවක් විය. ඒහෙත් ඔවුන් බොල්ෂෙවික් නායකත්වයක් නොවූ නිසා පැහැදිලි ක්‍රියාමාර්ගයක් නොවී ය. පොදු සැලැස්මක් නොවී ය. ඒ් තේරුමෙන් එම ආණ්ඩුව තම බලය තහවුරු කර ගනිමින් එයිතිහාසිකව කම්කරු පංතියට වාසි සහගත වන දේපොල ක්‍රමයක් ඇති කරන්නේ ද යන්න ගැන සහතිකයක් නොතිබිනි. එහෙත් චීන විප්ලවයේ අත් දැකීම් ඇසුරෙන් මෙම ක්‍රියාදාමය වඩා පහසුවෙන් තේරුම්ගත හැකි වූ අතර කල්තියා ඇතිවිය හැකි ප්‍රතිඵල දැන ගත හැකි විය.
අද නිකරගුවාවල දිග හැරෙන්නේ ද මෙම ක්‍රියාවලියයි. නිකරගුවා සෝමෝසා ආඥාදායක ආණ්ඩුව පෙරලා දැමීම සමග ඇති වූ ආණ්ඩුව හවුල් ආණ්ඩුවකි. ලිබරල් ධනපති කොටස් ඒ ආණ්ඩුවේ විය. ඒහෙත්, 1980 අප්‍රියෙල්වල සිට මෙම ආණ්ඩුව තුල ගැටුම් ඇති වී ඇති අතර, සැන්ඩිනිස්ටා බලය වැඩවී ආණ්ඩුව වමට ගමන් ගෙන ඇත. අප්‍රියෙල්වල වයෙතලෙටා බැවිකෝස් ඉල්ලා අස්වූ අතර, අප්‍රියෙල් 22 නිකරගුවා ප්රජාතන්ත්ර ව්‍යාපාරයේ නායක අල්පොන්සෝ කොලෙපාස් අස්විය. මෙම අභ්‍යන්තර ගැටුමේ ප්‍රතිඵලය වී ඇත්තේ ඒ රට තුල කම්කරු ගොවි ආණ්ඩුවක් ඇතිවීමය.
අවසාන වචන කිහිපයක්:-
කම්කරු ගොවි ආණ්ඩු සංකල්පය, අප විසින් යටත් විජිත විප්ලවය ගැන ඉදිරිපත් කරන අදහස්වලට ආසන්න ලෙස සම්බන්ධ වේ. මෙම සංකල්පයේ වැදගත්කම මතුවන්නේ, දෙවන ලෝක සංග්‍රාමයට පසු බොල්ෂෙවික් පක්ෂය වැනි විශ්වාස කල හැකි නායකත්වයකින් තොරව රටවල් ගණනාවක කම්කරු රාජ්‍ය විකෘති ආකාරයෙන් බිහිවීම නිසාය .
1938 දී තම සංක්රමණීය ක්‍රියාමාර්ගයේ දී ට්‍රොට්ස්කි මෙවැනි හැකි කමක් ගැන කල්පනා කළේ ප්‍රායෝගිකව සිදුවිය නොහැක්කක් හැටියටය.
- “රුසියාවේ අත්දැකීම් පෙන්වා දුන්නේත්, ස්පාඤ්ඤයේ හා ප්‍රංශයේ අත්දැකීම් මගින් තවදුරටත් සනාථ කලේත්, ඉතාමත් වාසිදායක තත්ත්වයකදී පවා සුළු ධනේශ්වරය ප්රජාතන්ත්රවාදී පක්ෂ වලට (වික්‍රමබාහු සහෝදරයා විසින් කාලයෙහි හා අවකාශයෙහි පැවැතිය නොහැකි යයි කල්පනා කරන ජාතියේ පක්ෂවලට) කම්කරු ගොවි ආණ්ඩුවක් ඒ් කියන්නේ ධනේශ්වරයෙන් ස්වාධීන වූ ආණ්ඩුවක් ඇති කිරීමට නොහැකි බවය.” (සංක්රමණීය ක්‍රියාමාර්ගය – 94 පිට)
එසේ වුවද, එවැන්නක්, න්‍යායාත්මක හැකියාවක් හැටියට තවදුරටත් විවෘතව තැබීමට ට්‍රොට්ස්කි ඉදිරිපත් විය. ජන අරගලයකින් බිහිවිය හැකි ආණ්ඩුවල මෙම න්‍යායාත්මක හැකියාව ගැන තමා මාගේ ලිපියේ මා කථා කර ඇත්තේ. ට්‍රොට්ස්කි මෙසේ ලීවේ ය.
- “සම්ප්‍රදායික කම්කරු සංවිධාන මගින් මෙවැනි ආණ්ඩුවක් තැනීමට හැකිද? අනික අත්දැකීම් පෙන්වන්නේ ……..එය ඉතාමත්ම අඩමානවූ ඒකක් බවය. කෙසේ වුවත්, අතිශයින්ම සුවිශේෂ තත්ත්වයක බලපෑම යටතේ සුළු ධනේශ්වර පක්ෂ (ස්ටාලින්වාදීන් වුවත්) තමන්ට කැමති මට්ටමට වඩා ධනේශ්වරයෙන් මිදීමේ දිශාවට ගමන් ගනු ඇත. එකක් ගැන එහෙත් සැක නොකල යුතුය. එනම් මෙම ඉතාමත් අඩමාන දෙය කිසියම් තැනක, කිසියම් කාලයක යථාර්ථය බවට පත් වුවත්, ඉහත තේරුමෙන් “කම්කරු ගොවි ආණ්ඩුවක් ඇති වුවත්, එය ඇත්ත නිර්ධන පංති ආඥාදායකත්වය කරා ගමනේ කෙටි මග සලකුනක් පමණක් නියෝජනය කරන බවය.” (එම 95 පිට)
ට්‍රොට්ස්කි විසින් ඉතාමත් අඩමාන වූවක් ලෙස දුටු මේ න්‍යායත්මක හැකියාව, දෙවන ලෝක සංග්‍රාමයට පසු, මෙම ලිපියේ සාකච්ඡා කිරීමට අදහස් නොකරන විශේෂ හේතූන් නිසා ට්‍රොට්ස්කි කල්පනා කල මට්ටමට වඩා යථාර්ථය තුල මතුව තිබේ. යුගෝස්ලාවියාව, චීනය, කියුබාව, නිකරගුවාව, පෙන්වා ඇත්තේ මෙම තත්ත්වයයි.
එහෙත්, මේ ඓතිහාසික සංවර්ධනයේ මූලික ගමන් මග නොවේ. විශේෂ තත්ත්වයන් යටතේ පමණක් ඇති විය හැක්කකි.
එහි සුවිශේෂ වර්ධනයේ ගමන් මග තේරුම් ගැනීමටත්, විප්ලවීය පක්ෂයට තම මැදිහත් වීම් වලටත් කම්කරු ගොවි ආණ්ඩු සංකල්පය වැදගත් එකක් වන්නේ ය.
1981 ඔක්තෝම්බර් 15
– සුමනසිරි –