කම්කරු ගොවි ආණ්ඩුව! – සුමනසිරි ලියනගේ – 01 “ශ්‍රී.ල.නි.ප. ගැන ප්‍රතිප්‍රවාදයක්”

නව සම සමාජ පක්ෂය තුළ 1980 වැඩ වර්ජනයෙන් පසු පසුව ඇති වූ ප්‍රධාන දේශපාලන විවාදයේ ලියවිලි “කම්කරු ගොවි ආණ්ඩුව!” නම් පොත් පිංච හරහා 1981 වසරේදී පළ කරනු ලැබිණි. මෙහි දැක්වෙන අදහස් අතර වෙනස් කම් 1980 ට පෙර සිටම ඇතුලත ලියලමින් තිබුණත්, වැඩ වර්ජනයට පෙර විවෘතව එළියට නොපැමිණි අතර, වැඩ වර්ජනයේ පරාජයත් සමඟ කම්කරු පංතියේ හැකියාවන් ගැන අවිශ්වාස කිරීම මධ්‍යම පංතික කොටස් අතර වඩා ශක්තිමත් විය. සුමනසිරි ලියනගේ සහෝදරයා මතු කළ අදහස් මෙම මධ්‍යම පංතික පීඩනය පක්ෂය ඇතුලත ප්‍රකාශ කිරීමක් විය. ඒ අනුව මතුවූ විවාදයට ඇතුලත් වූ ලිපි විප්ලවවාදී ඉදිරිදර්ශනයක් වෙනුවෙන් දේශපාලන සාකච්ඡාව තියුණු ලෙස ඉදිරියට ගෙනයාම අතිශයින්ම වැදගත් ලෙස සළකා, මෙසේ හරය තුළ පළ කිරීමට තීරණය කළෙමු.

විවාදයට අදාල ලිපි පෙළේ යොමු පහතින්,

පළමු ලිපිය – ශ්‍රී.ල.නි.ප. ගැන ප්‍රතිප්‍රවාදයක් – සුමනසිරි ලියනගේ

  1. ශ්‍රී.ල.නි.ප. ය ගැන පක්ෂය තුල ඇති අදහස් පටලැවිලි සහගත වේ. ඒ නිසාම ජාතික දේශපාලනය ගැන වැරදි සහගත තීරණවලට එළඹී ඇත. මෙම වැරදි මත, 1976 වාම ප්‍රවනතාවය සම්මත කල යෝජනාවේ අවසන් කොටසේ ද, “පසුගිය සමුළුවේ සිට” නමැති ලියවිල්ලේ සමහර තැන්වලද, 1980 ජනවාරි සම්මේලනය අනුමත කල සංශෝධිත ලේකම් වාර්තාවේ ද, පක්ෂය ල.ස.ස.ප. යට යැවූ ලිපියේ ද සහ අභ්‍යන්තර නිවේදන අංක:29 ද ඇතුලත් වන්නේ ය. මේ අනුව වැරදි තීරණවලට එළඹුන හා එළඹීමට තැත්කල අවස්ථා ගණනාවකි.
  2. ජනතාවාදය යන්නෙන් දේශපාලනික පන්ති පදනමක් සඳහන් නොවේ. එය යම් දේශපාලනයක් ගන්නා නැඹුරුවකි. නරොඩ්නික්වාදය පෙන්වූ ජනතාවාදයත්, කුමින්ටෑනය විටෙක පෙන්වූ ජනතාවාදයත් අතර පදනම්මය වෙනසක් ඇත. එනම් සුළු ධනේශ්වරයේ දේශපාලනයත්, ගැමි ජනතාව (විටෙක නාගරික ජනතාව) අවනත කර ගැනීමට උපාමාරු යොදන ධනපති පංතික දේශපාලනයත් අතර වෙනසයි. දේශපාලනය, නරොඩ්නික්වාදයට සම්බන්ධ නොවේ.
  3. පංතීන් අතර අරගලය තියුණු වීම සමඟ ජනතාවාදී හැඩරුව වෙනස් වන්නේ ය. රුසියානු නරොඩ්නික්වාදය පෙන්වූයේ සුළු ධනේශ්වර ජනතාවාදයේ බංකොලොත් බවය. කැඩට්වරු, කුමින්ටෑනය, ශ්‍රීලනිප ය පෙන්වා ඇත්තේ ලිබරල් ධනපති පංතියේ වංචනික බවය.
  4. ශ්‍රීලනිප යේ රැඩිකල් සමාජ ප්‍රජාතන්ත්‍රවාදයක් ගැන කථා කිරීම සංකල්පමය පටලවා ගැනීමක ප්‍රතිඵලයකි. අර්ධ සංවර්ධිත රටක ධනපති පංතිමය සමහර පක්ෂ ඉදිරිපත් කරන වැඩපිලිවෙලවල් සමහර විටෙක බටහිර සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයන් පමණක් නොව යුරෝ-කොමියුනිස්ට්වාදී පක්ෂයන් ඉදිරිපත් කරන වැඩ පිළිවෙලකට වඩා සමාජ පෙරලි ගැන කථාකරන්නන් ලෙස පෙනෙනු ඇත. එහෙත් ඒ මතුපිට පෙනුමින්, ඓයිතිහාසිකව වෙනස්ව මතු වූ ධාරාවක් හා සමාන කිරීම සහමුළින්ම වැරදිය.
  5. අර්ධ සංවර්ධිත රටක ගොවීන් දිනා ගැන්මේ ප්‍රශ්නය හා වඩා වැදගත්ව මතුවන සංකල්ප යුගලය වන්නේ විප්ලවීය ප්‍රජාතන්ත්‍රවාදය සහ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය ගැන සංකල්ප යුගලය; එනම් සමාජ විප්ලවවාදීන් (නරෝඩ්නික් – ටෘඩොවික්) හා කැඩට්වරු අතර වෙනසය.
  6. ශ්‍රීලනිප ය හා දෙ.එ.වි.පෙ. (T.U.L.F.) ගැන සමාන උපා අනුගමනය කිරීම වරදකි. එය ජනතාවාදය යන සංකල්පයට නුවුමනා වටිනාකමක් දීමට යෑමේ ප්‍රතිඵලයකි. පෑගෙන ධනේශ්වර ජාතිවාදයේ ඇති ප්‍රජාතන්ත්‍රීය අන්තර්ගතය නොතේරුම් ගැන්මකි.
  7. කැඩට්-කුමින්ටෑන්-ශ්‍රීලනිප වැනි පක්ෂ සමඟ එක්සත් ක්‍රියා ගැන ප්‍රශ්නය මතුකල යුත්තේ නිත්‍යාර්ථයෙනි. එනම් ඔවුන් සමඟ එක්සත් ක්‍රියා නැත යන තැනින් ය. ‘ඇත’ යන්නෙන් පටන් ගන්නා නිර්ට්‍රොට්ස්කිවාදී නැඹුරුවක් පෙන්වයි.
  8. කෙරෙන්ස්කි සමඟ සටන් පෙරමුණකට ඒම ගැන අප්‍රියෙල්වල දී ලෙනින් හීන දුටුවේ නැත. කුමින්ටානය සමඟ එක් යුද්ධ පෙරමුණක් යෝජනා කරන්නට වෙතැයි ට්‍රොට්ස්කි කල් තියා කල්පනා කළේ නැත.
  9. සුළු ධනේශ්වර විප්ලවීය ප්‍රජාතන්ත්‍රවාදය සමඟ ඇති කර ගන්නා සන්ධානයන් සහ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදීන් සමඟ හා වෙනත් විරෝධතා ව්‍යාපාර සමඟ ඇති කර ගන්නා තාවකාලික සම්මුතීන් අතර විශාල වෙනසක් ඇත.
  10. ශ්‍රීලනිප ය ගැන පැරණි වමේ වැරදි දක්ෂිනාංශික වැරදි මිස අතිවාම වැරදි නොවේ. ශ්‍රීලනිප යේ අද තත්ත්වය ගැන විග්‍රහ කිරීමේ දී ජනතාවාදය, රැඩිකල් සමාජ ප්‍රජාතන්ත්‍රවාදය යන සංකල්ප තේරුමක් නැති ප්‍රලාප වේ. වඩා සම්ප්‍රදායික ලෙනින්වාදී විග්‍රහයට ආපසු හැරිය යුතු වේ.

1980.11.15 මධ්‍යම කාරක සභික – සුමනසිරි ලියනගේ

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.