කමල් ඉන්ද්‍ර (KI) වික්‍රමසිංහ සහෝදරයාට අපගේ විප්ලවීය ආචාරය !



කමල් ඉන්ද්‍ර වික්‍රමසිංහ සහෝදරයාට අපගේ විප්ලවීය ආචාරය !

ඉන්ද්‍ර (KI) සහෝදරයා අපව හැර ගොස්ය. වසර කිහිපයකට පෙර ඉන්ද්‍ර සහෝදරයාගේ පාද වල ඇති වූ ආබාධයන් ඔහුව දවසින් දවස ක්‍රියාකාරී දේශපාලනයෙන් ඈත් කරන්නට පටන් ගෙන තිබුණි. නමුත් ඔහු පක්ෂයේ මධ්‍යම කාරක සභාවටත්, පසුගිය ගතවූ ආසන්න කාල‌යේ දී රටේ ප්‍රධාන දේශපාලන විවාදයන්ට අදාල ප්‍රශ්න පිලිබඳව පක්ෂය විසින් පැවැත්වූ සම්මන්ත්‍රණ සැමටම පාහේත් සහභාගී විය. තම සිරුර අක්‍රීය කරමින් සිටින රෝගී තත්ත්වයන් පසුබස්සවමින් තමන්ගේ දේශපාලන ක්‍රියාකාරීත්වය ගෙන යෑමට ඔහු මහත් හිතුවක්කාර කමකින් යුතුව සටන් කිරීම අපට ඉමහත් වූ ශක්තියක් විය.

පක්ෂයේ මධ්‍යම කාරක සභිකයෙකු ලෙස මෙන්ම පක්ෂයේ ගම්පහ දිසා සභාවේ ලේකම් වරයා ද ලෙස ක්‍රියා කළ ඉන්ද්‍ර සහෝදරයා මුහුණ දෙමින් සිටියේ ලංකාවේ ප්‍රජාතන්ත්‍රීය විප්ලවයේ බලවේගයන් යුධවාදී මනෝභාවයන් මගින් දියාරු කෙරුණු වකවානුවකටය. මොහොතකට ප්‍රජාතන්ත්‍රවාදී බලවේගයන් යලි පෙළගැසී ජයග්‍රාහී ගමණක් ඇරඹූ සේ පෙනී ගියද ඊලඟ මොහොතේ දී එම ගමන ප්‍රජාතන්ත්‍ර විරෝධී ප්‍රතිවිප්ලවකාරී බලවේගයන් ඉදිරියේ අබලන්ව පසුබා යද්දී; යුධයේ ප්‍රචණ්ඩත්වය ගෙන ආ අවිචාරශීලී බවේ අළු-දූලි වලාවන්ගෙන් අන්ධ වූ සමාජයක් යලිත් ඔහු ඉදිරියේ දර්ශනය වෙමින් තිබුණි.

පසුගිය දශක දෙකකට අධික කාලයක් පුරා ලාංකීය සමාජය ගිල ගනිමින් තිබෙන යුද වාදය හා එය විසින් උසිගන්වන ජාවාරම්වාදී සංවර්ධන ව්‍යාපෘති මගින් සිදු කෙරෙන සමාජ දේශපාලන ප්‍රවණතාවන් හඳුනා ගැනීමට ඔහු තමන් සහභාගී වන පක්ෂයේ සියළුම අභ්‍යන්තර සභාවන් තුලදී සටන් කළේ ය. ඉන් ලබන නව දැනුම මතින් තමන් ආරක්ෂා කළ යුත්තේ කුමක් ද, සහ පෙරලා දැමිය යුත්තේ කුමක්ද යන්න සමාජයේ සාමාජිකයින් ඉදිරියේ නිරවුල් කර දීමට ඉන්ද්‍ර සහෝදරයා තම ශාරීරික අපහසුතා මධ්‍යයේ පවා වෙහෙසුනේය.

කෙසේ වෙතත් රටේ කම්කරු පංතියේ හා දෙමළ ජනතාවගේ දේශපාලන ක්‍රියාකාරීත්වය පසුබා ගිය ඉතිහාසයේ මොහොත ඊට පෙර ඉතිහාසයම නිශේධ කළා සේ ය.

“.... සහෝදරවරුණි! දැන් මේ අමාරු කාලය නිසා අපි පරිහානියට පත් වන්නේ නෑ. ඒත් අපිට ප්‍රජාතන්ත්‍රීය අරගලයන්ගේ පසුබෑම මග හැරල යන්න පාරක් නෑ. ඒකට මුහුණදෙන්න අපි අපේ දේශපාලන උපායික ක්‍රමවේද වෙනස් කරනවා. සංවර්ධනය කරනවා. වැඩ ක්‍රම වෙනස් කරනවා. අපි සතු ඉහලම දේ විප්ලවවාදී සහජ බුද්ධිය බව තේරුම් ගැනීමයි වැදගත්ම දේ...”යි ඉන්ද්‍ර සහෝදරයා මේ අසීරු යුගයේ පක්ෂයේ මග ගැන තම තේරුම් ගැනීම මධ්‍යම කාරක සභාවේදී කීවේ ය.

ඉන්ද්‍ර සහෝදරයා පක්ෂ මධ්‍යම කාරක සභාවල දී හුදෙක් කුමන හෝ අදහසක් පළ කල යුතු නිසාම කථා කිරීම පුරුද්දක් කරගෙන සිටියේ නැත. නමුත් මධ්‍යම කාරක සභාව තුල ඇතිවන න්‍යායික විවාදයන් හිදී සැම විටම තමන්ගේ අදහස් නිරවුල්ව ඉදිරිපත් කිරීම ඔහුගේ සිරිත වූයේ ය.

ඔහු උක්ත අදහස පල කළේ, මේ ප්‍රතිවිප්ලවකාරී අසීරු පරිසරයට යටවී එයට අනුගතවීම තම තමන්ගේ ඉදිරිමග සකසා ගැනීම ලෙස සලකා පක්ෂයේ “පැරණි සගයන්” ඇදහිය නොහැකි ලෙස ඈත්ව ගියවුන් බවට පත්වෙමින් සිටිය දී ය.

ඉන්ද්‍ර සහෝදරයා මේ අසාර සමාජ-දේශපාලන පරිසරය වෙනස් කිරීම සඳහා පක්ෂය ගෙන ගිය ප්‍රජාතන්ත්‍රවාදී, විප්ලවීය සමාජ-ආර්ථික හා දේශපාලන පරිවර්තනයන් සඳහා වූ අරගලයේ සෑම තැනකදීම ඉන්ද්‍රකීලයක් සේ පක්ෂය සමග එකපෙලට සිටියේ ය.
නමුත් සොබා දහමේ වර්ධන නියාමය වන ඇතිවීමේ - නැතිවීමේ හා වඩා වර්ධිත තලයකින් යලි විකසිත වීමේ (අනිත්‍යතාවයේ) නීති වෙනස් කිරීමට හැකි විද්‍යා ඥානයක් මෙතෙක් පහල වී නැත. පහල වනුයේ ද නැත.

නව සම සමාජ පක්ෂය ලෙස අපි ප්‍රජාතන්ත්‍රීය අරගලයන්ට ශක්තිය දෙමින් දශක පහකට අධික කාලයක් පසුකළ චාරිකාවේ මේ අසීරුතම යුගය ඉන්ද්‍ර සහෝදරයා අප සමග එක්ව සිටිය යුතුම යුගයයි. ඒ මොහොතේම අනිත්‍යතාවයේ නීති ඔහුව පැහැරගෙන ය. නමුත් ඔහු නිදහස් සමාජයක් වෙනුවෙන් පෙන්වූ අධිෂ්ඨානය අප සමග ය.

ඉන්ද්‍ර සහෝදරය, ඔබට සුබ ගමන්!

සියළුම පක්ෂ සොහොයුරියන් - සොහොයුරන්ගේ විප්ලවීය ආචාරය සමගින්
නව සම සමාජ පක්ෂයේ විප්ලවීය ආචාරය


2025 ඔක්තෝම්බර් 30

KI

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.