ඉන්දීය හමුදාවට විරුද්ධව අහිංසාවාදී සටනින් මියගිය මාතාවක් සැමරේ

සේයා - අන්තර්ජාලයෙන්

ශ්‍රී ලංකාවට එවා තිබූ ඉන්දීය හමුදාව සහ එල්ටීටීඊ සංවිධානය අතර සටන් විරාමයක් ඉල්ලා තිස් හය වසරකට ඉහත දී මාරාන්තික උපවාසයක යෙදී ජීවිතය පරිත්‍යාග කළ දස දරු දෙමළ මාතාවක් උතුරු, නැගෙනහිර දෙපළාතේ ස්ථාන කිහිපයකදීම අනුස්මරණය කර තිබේ.

පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ යාපනය, කිලිනොච්චිය, මඩකලපුවේ මෙන්ම යාපනය හා නැගෙනහිර විශ්ව විද්‍යාලය තුලත්, ත්‍රිකුණාමලයේ ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK) කාර්යාලයේත් අප්‍රේල් 19 වැනිදා මලින් පහනින් හා සුවඳ දුමින් උපහාර දක්වා පූපති මෑණියන් වෙනුවෙන් අනුස්මරණ පැවැති බවයි.

දෙමළ විමුක්ති අරගලය වෙනුවෙන් මාරාන්තික උපවාසයක යෙදී ජීවිතය පරිත්‍යාග කිරීම නිසා ත්‍යාගී තිලීපන් ලෙසින් ගෞරවයට පාත්‍ර වන එල්.ටී.ටී.ඊ සංවිධානයේ ලුතිතන් කර්නල් රාසයියා පාර්තිපන් සැමරීම සඳහා නල්ලුර් කන්දසාමි කෝවිල අසල ඉදිකර තිබු 2010 දී රජයේ ආරක්ෂක අංශ විසින් කඩා බිඳ දමන ලද තිලීපන්ගේ ස්මාරකය ඉදිරිපිට දී පූපති මෑණියන් වෙනුවෙන් අප්‍රේල් 19 වැනිදා සිදු කළ අනුස්මරණය සංවිධානය කර ඇත්තේ දෙමළ ජාතික ජනතා පෙරමුණ විසිනි.

පූපති මෑණියන්ට උපහාර පිනිස දෙමළ ජාතික ජනතා පෙරමුණ අප්‍රේල් 13 වැනිදා යාපනයෙන් ආරම්භ කළ උපහාර පෙළපාලි රථය ද මුලතිව්, කිලිනොච්චිය, වව්නියාව, ත්‍රිකුණාමලය හරහා අප්‍රේල් 18 වැනිදා මඩකලපුව වෙත ළඟා වී තිබේ.

මඩකලපුවේ නාවලඩි ග්‍රාමයේ ඉදිකර තිබෙන පූපති මෑණියන්ගේ ස්මාරකය අසලදී අප්‍රේල් 19 වැනිදා දෙමළ ජාතික පක්ෂ වල නියෝජිතයන්ගේ ද සහභාගීත්වයෙන් පූපති මෑණියන්ගේ පවුගේ සාමාජිකයන්, ආගමික නායකයන්, සිවිල් සංවිධාන නියෝජිතයන් මෙන්ම ප්‍රදේශවාසීන් ද ඇය අනුස්මරණය කර මලින් පහනින් හා සුවඳ දුමින් උපහාර පිදීමට කටයුතු කර ඇත.

පූපති මෑණියන් සිහි කරමින් අප්‍රේල් 19 වැනිදා කිලිනොච්චියේ දී ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂයේ සංවිධානත්වයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි ශිවඥානම් ශ්‍රී ධරන්ගේ ප්‍රධානත්වයෙන් සංකේතාත්මක උපවාසයක්ද ක්‍රියාත්මක වු බව පළාත් බද වාර්තාකරුවෝ වැඩි දුරටත් පවසති.

“අන්නෙයි පූපති” (පූපති අම්මා) නාමයෙන් ගෞරවාදරයෙන් අමතනු ලබන දස දරු මාතාවක් වන කනපතිපිල්ලේ පූපති, 1988 මාර්තු 19 වැනිදා මාරාන්තික උපවාසයක් ඇරඹුවා ය. ඒ එදා ඉන්දීය සාම සාධක හමුදාව විසින් ශ්‍රී ලංකාව තුළ ගෙන යන ලද මානව හිමිකම් උල්ලංඝණ හා සාපරාධී ක්‍රියාවන්ට එරෙහිව, එම හමුදාව මේ බිමෙන් පිටමං කරන ලෙස ඉල්ලා සිටිමිනි.

එදින සිට දින 32 ක් පුරා නිරාහාරව සිටිමින් තම ඉල්ලීම වෙනුවෙන් ඇය ගෙන ගිය උපවාසය නිමා වුයේ ජීවිතයට සමු දෙමිනි.ඇය අත අවි නොවීය. ඉල්ලා සිටියේ නිදහස පමණි.

අවිහිංසාවාදී ලෙස තම ජනතාව වෙනුවෙන් ගෙනගිය සටනේ යුක්ති සහගත බවත්, පොදු යහපත පතා ඇය පෙන්නුම් කළ උතුම් පරිත්‍යාගයත් වෙනුවෙන් ජනතා උපහාරය වූයේ පොදු මාතෘත්වයක් ඇයට පුද කරමින් කරමින් “පූපති අම්මා” ලෙස අමතනු ලැබීම යි.

මියගිය අය සිහිකිරීම හා ඔවුන් වෙනුවෙන් යාඥා කිරීම, ඔවුන්ගේ මරණ අනුස්මරණයේදී දී ඔවුන්ට වැඳුම් පිඳුම් කිරීම හින්දු සම්ප්‍රදායයේ ඉතා වැදගත් චාරිත්‍රයක් ලෙස සැලකේ.

The Leader

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.