කම්කරු ගොවි ආණ්ඩුව! – සුමනසිරි ලියනගේ – 03 “ඇත්ත සහ නැත්ත”
නව සම සමාජ පක්ෂය තුළ 1980 වැඩ වර්ජනයෙන් පසු පසුව ඇති වූ ප්‍රධාන දේශපාලන විවාදයේ ලියවිලි “කම්කරු ගොවි ආණ්ඩුව!” නම් පොත් පිංච හරහා 1981 වසරේදී පළ කරනු ලැබිණි. මෙහි දැක්වෙන අදහස් අතර වෙනස් කම් 1980 ට පෙර සිටම ඇතුලත ලියලමින් තිබුණත්, වැඩ වර්ජනයට පෙර විවෘතව එළියට නොපැමිණි අතර, වැඩ වර්ජනයේ පරාජයත් සමඟ කම්කරු පංතියේ හැකියාවන් ගැන අවිශ්වාස කිරීම මධ්‍යම පංතික කොටස් අතර වඩා ශක්තිමත් විය. සුමනසිරි ලියනගේ සහෝදරයා මතු කළ අදහස් මෙම මධ්‍යම පංතික පීඩනය පක්ෂය ඇතුලත ප්‍රකාශ කිරීමක් විය. ඒ අනුව මතුවූ විවාදයට ඇතුලත් වූ ලිපි විප්ලවවාදී ඉදිරිදර්ශනයක් වෙනුවෙන් දේශපාලන සාකච්ඡාව තියුණු ලෙස ඉදිරියට ගෙනයාම අතිශයින්ම වැදගත් ලෙස සළකා, මෙසේ හරය තුළ පළ කිරීමට තීරණය කළෙමු.
විවාදයට අදාල ලිපි පෙළේ යොමු පහතින්,
කම්කරු ගොවි ආණ්ඩුව! හැදින්වීම
සුමනසිරි ලියනගේ – 01 “ශ්‍රී.ල.නි.ප. ගැන ප්‍රතිප්‍රවාදයක්”
සුමනසිරි ලියනගේට පිලිතුරු – බාහු – 01 “සුමනසිරි සහෝදරයාගේ ප්‍රතිවාදයේ ඇතුල් පැත්ත”
සුමනසිරි ලියනගේ – 02 “ජන අරගලය සහ තාවකාලික විප්ලවකාරී ආණ්ඩුවක් සඳහා සටන”
සුමනසිරි ලියනගේ – 03 “ඇත්ත සහ නැත්ත”
සුමනසිරි සහෝදරයාට පිළිතුරු – බාහු – 02 “දේශපාලන සාකච්ඡාව වෙත නැවත යොමු වෙමු!”
සුමනසිරි ලියනගේ – 04 “සුමනසිරි සහෝදරයාගේ පිලිතුරු ලිපිය”
සුමනසිරිට පිළිතුරු – බාහු – 03 “කම්කරු ආඥාදායකත්වය හා කම්කරු ගොවි ආණ්ඩු සංකල්පය”
සිව්වන ලිපිය – ඇත්ත සහ නැත්ත
කම්කරු ගොවි ආණ්ඩුව ගැන අදහස එහෙන් මෙහෙන් ඇහිඳ ගත් සංකල්පයක් නොවේ. අද වික්‍රමබාහු සහෝදරයා මෙම අදහසට විරුද්ධය. නමුත් ‘මාක්ස්වාදය’ සඟරාවේ මෙම අදහස මීට වසර එකහමාරකට පමණ පෙර මම ඉදිරිපත් කලෙමි.
මෙම අදහස ප්‍රථමවරට වඩාත් සංවිධිතව – මගේ දැනුමේ හැටියට – ඉදිරිපත් කළේ 1922 තුන්වැනි ජාත්‍යන්තරයේ සම්මේලන වාරයකදී ය.
ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය, තුන්වන ජාත්‍යන්තරයේ ප්‍රථම සම්මේලන 04 ම, එක් පදනමක් ලෙස පිලිගනී. ප්‍රවේශමෙන් සාකච්ඡා කර තුන්වැනි ජාත්‍යන්තරය අනුමත කල උපායන් ගැන ප්‍රවාදය නැමැති ප්‍රවාදයේ එක් කොටසක් වැය වන්නේ කම්කරු ගොවි ආණ්ඩුව ගැන සංකල්පයන්ට ය. මෙම ප්‍රවාදය අනෙකුත් ලියවිලි සහිතව දැනට ඉංග්‍රීසි භාෂාවෙන් පල කර ඇත.
කම්කරු ගොවි ආණ්ඩුවක් යන සංකල්පය කිසිවෙකුට වැරදි ලෙස යොදා ගැන්මට ඉඩක් නැත්තේ නොවේ. ඕනෑම නිවැරදි සංකල්පයකට එය පොදුය. නමුත්, මෙම ප්‍රවාදය එවැන්නකට ඉඩ නොතබන තරම් සවිස්තරාත්මකය. එහෙත් විකෘති කිරීම් කෙරෙන්නේ නොතේරුම් ගැනීම් නිසාවට වඩා වෙනත් සංකීර්ණ හේතු මගින් ය.
නැවත මෙම සංකල්පය, 1938 දී ට්‍රොට්ස්කි තම සංක්රමණීය ක්‍රියාමාර්ගයට ඇතුලත් කළේ ය. මගේ සමස්ථ ලිපියේ – එහි මාතෘකාව මට මතක නැත – පදනම මෙයය.
මෙම පදනමට විරුද්ධ වීමට වික්‍රමබාහු සහෝදරයාට හෝ දේශපාලන බියුරෝවට නොහැකි යයි මම නොකියමි. ලෙනින් හා ට්‍රොට්ස්කි මෙම අදහස දැරුවද, පසුගිය දශකවල සිද්ධීන් අනුව එය වැරදි බව කිව හැක.
එමෙන්ම ඒ පදනම නිවැරදි වුවද, මගේ ලිපියේ අර්ථ නිරූපනය වැරදි යයි කෙනෙකුට තර්ක කරන්නට බැරි නැත.
ඇත්තටම මගේ ලිපිය (වික්‍රමබාහු විරුද්ධ) මේ හේතුව නිසා ද? ලිපිය සමස්ථව කියවන විට හෙලි වන්නේ අනිකකි. එනම් කම්කරු පන්ති විප්ලවවාදී පක්ෂයකට එක්සත් පෙරමුණක් ඇති කර ගත හැක්කේ සටන් අරගලවලදී ඉහල තට්ටුවට විරද්ධව පහල පන්තිවල එකමුතුවක් හැටියට පමණක් බව යන්න ය. ශ්‍රීලනිප සහ ගොවි ජන පක්ෂ එකම කුලකයකට දැමීමේ වික්‍රමබාහු සහෝදරයාගේ වැරදි සූත්‍රය මේ මගින් ප්‍රශ්න කෙරේ. ගොවි ජනතාව ගැන ප්රශ්නයේ දී වික්‍රමබාහු සහෝදරයාගේ අදහස් ආසන්න වන්නේ ලෙනින්ටවත්, ට්රොට්ස්කිටවත් නොව රුසියානු මාක්ස්වාදියෙකු වූ පාවුස්ට ය.
1922 තුන්වැනි ජාත්‍යන්තරයේ උපායන් ගැන ප්‍රවාදයෙන්
“කම්කරු ආණ්ඩුව” නැත්නම් “කම්කරු ගොවි ආණ්ඩුව” පිළිබඳ සටන් පාඨය හැම තැනකදී ම පොදු සටන් පාඨයක් ලෙස භාවිතා කල හැක. නමුත්, කාලීන දේශපාලන සටන් පාඨයක් ලෙස එය සමහර රටවල විශේෂ වැදගත්කමක් ගනී. ඒ, ධනේශ්වර සමාජය බෙහෙවින් අස්ථාවර රටවල සහ කම්කරු පක්ෂ හා ධනපති පක්ෂ අතර බල සම්බන්ධතා, කව්රුන් ආණ්ඩුව පිහිටුවන්නේ ද යන්න ක්ෂණික ප්‍රායෝගික අවශ්‍යතාවයක් බවට පත්ව ඇති රටවලය. එම රටවල මෙම සටන් පාඨය සමස්ථ එක්සත් පෙරමුණ ගැන උපායෙන් අවශ්‍යයෙන්ම පැන නගින්නකි.
මෙම රටවල තත්ත්වය “බේරා” ගැන්මට දෙවන ජාත්‍යන්තරයේ පක්ෂ ක්‍රියාකර ඇත්තේ ධනේශ්වර පක්ෂ සහ සමාජ ප්රජාතන්ත්රවාදී පක්ෂ අතර, හවුල් ආණ්ඩු පිහිටුවීම මඟින් සහ ඒ අදහස ප්‍රචාරය කිරීමෙනි. …………………….. මෙම විවෘත හා සැඟවුනු ධනේශ්වර ප්රජාතන්ත්රවාදී හවුල් වලට විරුද්ධව, ධනේශ්වර බලයට විරුද්ධව, එය පෙරලා දැමීමට ආර්ථික හා දේශපාලන තලයේ දී සියළු කම්කරුවන්ගේ සහ සියළු කම්කරු පක්ෂවල එක්සත් පෙරමුණක් කොමියුනිස්ට්වරු යෝජනා කරති. ධනපති පන්තියට විරුද්ධව සියළු කම්කරුවන්ගේ එක්සත් අරගලයේ දී මුළු රාජ්‍ය යන්ත්‍රය කම්කරු ආණ්ඩුව විසින් පවරා ගන්නේ ය. ඒ මගින් පන්තියේ ශක්තිය ශක්තිමත් වේ.
කම්කරු ආණ්ඩුවක මුලික කර්තව්‍යයන් විය යුත්තේ කම්කරු පන්තිය සන්නද්ධ කිරිම, ධනේශ්වරය හා ප්රතිවිප්ලවවාදී සංවිධාන නිරායුධ කිරීම, නිශ්පාදනය පාලනය කිරීම හඳුන්වාදීම, බදු ක්රමයේ බර පොහොසතුන් අතට සංක්‍රාම කිරීම, සහ ප්රතිවිප්ලවවාදී ධනපතියන්ගේ විරෝධතා කඩා දැමීම ය. එබැවින් කම්කරු ආණ්ඩුවක් ඇති විය හැක්කේ, ජනතාවගේ අරගලය තුලින් එය මතුවුවහොත් පමණි. සටන් කල හැකි කම්කරු පන්තික සංවිධාන මත්තෙන් ගොඩ නැගුනොත් පමණය.
පාර්ළිමේන්තු මැතිවරණයකින් ඇතිවන කම්කරු ආණ්ඩුවක් පවා විප්ලවීය ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් එවැනි ආණ්ඩුවක දිඟු පැවැත්ම සඳහා තීරණාත්මක අරගල වලට මෙහෙයවනු ඇත. එහි ප්‍රතිඵලය වනු ඇත්තේ ධනපති පන්තිය සමඟ සිවිල් යුද්ධයක් ය. කම්කරු ආණ්ඩුවක් ගැන සටන් පාඨය විප්ලවීය අරගලයේ දිග හැරීමට කම්කරු පංතිය මෙහෙය වීම, අතිශයින් සුදුසුය.
සමහර තැන්වල දී කොමියුනිස්ට් නොවන පක්ෂ සංවිධාන සමඟ පවා කම්කරු ආණ්ඩුවක් පිහිටුවීමට කොමියුනිස්ට්වරු සූදානම් වේ. එහෙත්, එසේ කරන්නේ ඉහත සඳහන්කල තේරුමෙන් කම්කරු ආණ්ඩුව කටයුතු කරන්නේ ය යන සහතිකය ඇත්නම් පමණි. එසේ හවුල්වීමක කොන්දේසි මොනවා ද?
- එසේ හවුල් වන්නේ තුන්වැනි ජාත්‍යන්තරයේ එකඟත්වය ඇතිව පමණය.
- එවැනි ආණ්ඩුවක කොමියුනිස්ට් සාමාජිකයන් පක්ෂයේ දැඩි පාලනයකට හසුකල යුතුය.
- එවැනි ආණ්ඩුවකට හවුල් වන කොමියුනිස්ට්වරු, ජනතාවගේ විප්ලවීය සංවිධාන සමඟ කිට්ටු සම්බන්ධකම් ඇති අය විය යුතුය.
- කොමියුනිස්ට් පක්ෂය තම ස්වාධීනත්වය, ප්‍රකාශණ නිදහස පවත්වා ගත යුතුය.
මෙම වාසි තිබුණද, මෙම සටන් පාඨය අනතුරු සහිත එකකි. ඒ, එක්සත් පෙරමුණ පිළිබඳ උපාය අනතුරුදායක එකක් වන්නාක් මෙන්ම මෙම අනතුර අත්හැර ගැන්මට නම්, කොමියුනිස්ට්වරු එකක් මතක තබා ගත යුතුය. ඒ, හැම ධනපතියන්ගේ ආණ්ඩුවක්ම ධනපති ආණ්ඩුවකි. එහෙත් සෑම කම්කරු ආණ්ඩුවක්ම ඇත්ත නිර්ධන පන්තික ආණ්ඩුවක් නොවේ. කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ පහත සඳහන් විභවයන් සැලකිල්ලට ගත යුතුය. - ලිබරල් කම්කරු ආණ්ඩු (ඕස්ට්‍රේලියාවේ තිබූ මෙන් සහ එංගලන්තයේ ඇති විය හැකි)
- සමාජ ප්රජාතන්ත්රවාදී කම්කරු ආණ්ඩු (ජර්මනිය)
- කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආණ්ඩු (මෙවැන්නක් බෝල්කන්- චෙකෝස්ලෝවාකියාව – පෝලන්තය වැනි රටවල ඇති විය හැක.)
- කොමියුනිස්ට් පක්ෂ හවුල්වන කම්කරු ආණ්ඩු.
- නියම නිර්ධන පන්ති ආණ්ඩු – ඒවා නියම ලෙස කොමියුනිස්ට් පක්ෂ මගින් පමණක් ඇති කල හැක.
පලවෙනි දෙවර්ගය විප්ලවීය ආණ්ඩු නොවේ. ධනපතියන්ගේ සහ ප්රතිවිප්ලවීය කම්කරු නායකයන්ගේ ආණ්ඩුය. ……. කොමියුනිස්ට්වරුන්ට මෙම ආණ්ඩුවලට සම්බන්ධවීමට නොහැක. ……… තුන්වන හා හතරවැනි වර්ගයේ ආණ්ඩුවලට කොමියුනිස්ට්වරුන්ට ඇතුල් විය හැක. ඒවා නිර්ධන පන්ති ආඥාදායකත්වයන් නොවේ. එවැනි ආඥාදායකත්වයක් දෙසට මාරුවීම ඓයිතිහාසිකව අවශ්‍ය වන්නේ ද නැත. නමුත් ඒවා ඇතිවීම නිර්ධන පන්ති ආඥාදායකත්වය සඳහා අරගලයේ ආරම්භක අවස්ථාවක් වන්නේ ය. නිර්ධන පන්තියේ පූර්ණ ආඥාදායකත්වය පස්වැනි ඝනයේ ඇත්ත කම්කරු ආණ්ඩුවක් පමණය.
1981.07.07 සුමනසිරි ලියනගේ