හින්දු බැතිමතුන්ගේ විරෝධය හමුවේ යුද භටයන් පසු බසී

සේයා අන්තර්ජාලයෙන්

දකුණේ ඉන්ධන පෝලිම්වල සිටින ජනයාට හමුදාව පහර දෙද්දී මුලතිව් වට්ටුවාහල් සප්ත කන්නිමාර් කෝවිලේ වාර්ෂික දිය කැපීමේ උළෙලට බාධා කළ හමුදාව පළවා හැරීමට උතුරේ දෙමළ ජනයා සමත්ව තිබේ.

අනාදිමත් කාලයක සිට සප්ත කන්නිමාර් ඓතිහාසික කෝවිලේ දිය කැපීමට යන මාර්ගය හරස් කොට පුද්ගලික ඉඩම් ද අල්ලාගෙන විශාල හමුදා කඳවුරක් ඉදි කර තිබුනද ඒ හරහා ගමන් කිරීමේ අවස්ථාව සළසා තිබිණි. එහෙත් පසුගිය වසර වල එම මාර්ගය වසා දැමූ හමුදාව කියා සිටියේ කොරෝනා රෝගය පැතිර යාම වැලැක්වීමට එම පියවර ගත් බවකි. ඒ අනුව සප්ත කන්නිමාර් කෝවිල් පරිපාලකයන් විසින් වෙනත් විකල්ප මාර්ගයක් යොදා ගත්තේ පැවති සම්ප්‍රදාය වෙනස් කරමිනි.

පසුව ප්‍රදේශවාසින් හින්දු බැතිමතුන් බොහෝ දෙනකු මුහුදට බිලි වීමෙන් දේව ශාපයක් හට ගෙන ඇතැයි යන විශ්වාසයෙන් මෙවර දිය කැපීමේ මංගල්ලය සඳහා කෝවිල් පරිපාලකයන් විසින් සුපුරුදු මාර්ගය භාවිතයට හමුදාවෙන් අවසර ඉල්ලා තිබේ.

හමුදා බලධාරීන් සමඟ සාකච්ජා වට කිහිපයක් මිට මාස දෙකකට පෙර පැවැත්වූ බවත්, දැනට දින තුනකට කලින් සුපුරුදු මාර්ගය භාවිතයට අවසර ඉල්ලා ලිඛිතව දැන්වූ බවත් කෝවිල් පරිපාලකයෝ පවසති.

එහෙත් ඉකුත් සඳුදා [4] දිය කැපීමේ මංගල්ලයට ගිය බැතිමතුන්ට දැක ගන්නට ලැබුනේ හමුදාව විසින් ගේට්ටු වසා දමා මාර්ගයට පිවිසීම තහනම් කර ඇති බවකි.

දේව ශාපය වැලැක්වීම

හමුදා කඳවුර හරහා වැටී ඇති මාර්ගය භාවිතයට උසස් හමුදා නිලධාරීන් විසින් අනුමැතිය ලබා නොදුන් බව කදවුරේ සිටී හමුදා සෙබළුන් පැවසීමත් සමඟ බැතිමතුන් බැගෑපත්ව ඉල්ලා ඇත්තේ වෙනත් මාර්ග භාවිතයෙන් දේව ශාපයක් හට ගන්නා බැවින් දිය කැපීමට යන සුපුරුදු මාර්ගය ලබා දෙන ලෙසයි.

සිය සම්ප්‍රදායික කෝවිල් වත් පිළිවෙත් කරන මාර්ගයට පිවිසීමේ අනුමැතිය ලැබෙන තෙක් සඳුදා රාත්‍රී නවය වන තෙක් රැඳී සිටී සප්ත කන්නිමාර් බැතිමතුන් පසුව මුලතිව් සිට පරන්තන් දක්වා දිවෙන ප්‍රධාන මාර්ගය හරස් කොට විරෝධය දැක්වූ බව එහි ගිය වන්නි මාධ්‍යවේදියෝ පවසති.

දිය කැපීමේ මංගල්ලයට බාධා කරන හමුදාවට එරෙහිව විදී බැස සිටී ජනයා මැඩ පැවැත්වීමට පනහකට වැඩි ආයුධ සන්නද්ධ හමුදා බල ඇණි කැඳවීමත් සමගින් නොසන්සුන්තාවක් හට ගෙන තිබේ.

සප්ත කන්නිමාර් කෝවිලට අයත් ඉඩමක වාඩිලා සිටි හමුදාව සිය බඩු බාහිර ආදිය ද රැගෙන වහා ඉවත්වෙන ලෙස දෙසීයකට වැඩි ප්‍රදේශවාසී ජනයා පෑ විරෝධතාව නිසා හමුදාවට ඉන් ඉවත්ව යන්නට සිදුවිය.

ඉන් පසු උද්ඝෝෂකයන් විසින් එම ඉඩමේ සිමා මායිම් ලකුණු කොට “සප්ත කන්නිමාර් කෝවිල සතු ඉඩමකි” යන පුවරුවක් ද එහි ස්ථාපිත කළ ඔවුන් දිය කැපීමේ මංගල්ලයට යොදාගත් සුපුරුදු මාර්ගය නිදහස් කර ගැනීමේ උත්සහයක ද නිරතවන බවට වන්නි වාර්තාකරුවෝ පවසති.

TheLeader

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.