මොවුන් සිංහලයාගේ වංශකතාවත් අතුගාලා දානවා! – බාහු

සේයා - සමාජමාධ්‍ය

බහුතර සිංහල ජාතියේ හදවත කම්පා නොකළ යුතු යයි කියමින්, සිංහල මහ ජාතිවාදය අවුඵවා බලයට පත් වත්මන් ආණ්ඩුව දැන් දැන් සිංහල ජාතියේ වංශකතාවත් අතුගා දැමීමට කටයුතු කරමින් සිටින බව, මහාචාර්ය වික්‍රමබාහු කරුණාරත්න පසුගිය ජුලි 28 අඟහරුවාදා කොටුව දුම්රියපොළ ඉදිරිපිට පැවැති විරෝධතාවයක් අතරතුරදී ජන මාධ්‍යයට ප්‍රකාශ කර සිටියේ ය.

“අර බුවනෙකබාහු රජතුමාගේ රාජසභා මණ්ඩපය අතු ගාලා දාලා, කඩලා විනාශ කරලා දාලා කට දැන් උත්තර නැති වෙන තැනට පත් උනා. මේකෙන් පෙනෙනවා මේ රටේ ඉතිහාස උරුමයන් ගැන මේ ගොල්ලන්ට තිබෙන උවමනාව මොකද්ද කියලා. බොරුවට සිංහලේ සිංහලේ කිව්වට සිංහල ජාතියේ වංශ කතාවත් අතුගාලා දාන්න ලැස්ති කණ්ඩායමක් තමයි මේ කියලා දැන් ඔප්පු වෙලා තියනවා,” යි මහාචාර්යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

ඒ අතර උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ පුරාවස්තු විනාශ කර දැමීමට එරෙහිව එම පළාත් වල පවරා ඇති නඩු දකුණේ දී විමසා, සිංහල පාලකයන්ට වාසිදායක වන තීන්දු ලබාගනීමේ සැලසුමක් පවතින බවට අතුරුදහන් වුවන් සොයා බැලීමේ කමිටුවේ ප්‍රධාන ලේකම් සුන්දරම් මහේන්ද්‍රන් මෙහි දී ප්‍රකාශ කළේය.

දෙමළ ජනතාවගේ පුරාවස්තු විනාශය ගැන හඬ නැගීමට දේශපාලකයන් ඉදිරිපත් නොවීම ගැන ද මානව හිමිකම් ක්‍රියාධරයා සිය කනගාටුව පළකර සිටියේය.

සුන්දරම් මහේන්ද්‍රන් දෙමළ බසින් අදහස් දක්වමින්

ජනතාවට සහන දීම වෙනුවට රට මිලිටරීකරණයට ඇදන් යනවා

රටේ ජීවන වියදම අහස උසට වැඩි වී ඇති මේ මොහාතේ ජනතාවට සහන නොදී හමුදා නිලධාරීන් ඉහළ තනතුරු සඳහා පත් කරමින් සිටින්නේ මැතිවරණයෙන් පසු ඇති විය හැකි ජනතා නැගිටීම් මර්දනය සඳහා බවට මෙම විරෝධතාවයට සහභාගී වූ සිවිල් සමාජ ක්‍රියාධරයෝ අනතුරු අගවා සිටියහ.

“අද හැම කෙනෙක්ම දන්නවා ජීවන වියදම අහස උසට වැඩි වෙලා තියනවා. භාණ්ඩ මිල වැඩි වෙලා තියනවා. සේවා ගාස්තු වැඩි වෙලා තියනවා. ආණ්ඩුවට ආර්ථික කළමණාකරණයක් නෑ. ආණ්ඩුව ඒ වෙනුවට රට හමුදාකරණය කරමින්, හමුදා නිලධාරීන් පරිපාලන මර්මස්ථානවලට වලට යොදවමින් ඉදිරියේදී ඇති විය හැකි ජනතා නැගිටීම් වලට උත්තර දෙන්න සැලසුම් කරමින් ඉන්නවා.”

සිවිල් සංවිධාන හා වෘත්තිය සමිති එකමුතුවේ සම කැඳවුම්කරු මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ හිටපු ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මාධ්‍ය වෙත අදහස් දක්වමින් එසේ ප්‍රකාශ කළේය.

කෝවිඩ් 19 ආසාදිතයන් සම්බන්ධයෙන් රජය ඉදිරිපත් කරන ගණන් හිලව් අසත්‍ය බවට ද ඔහු වැඩි දුරටත් චොදනා කර සිටියේ ය. මිලිටරීකරණය වහා නවතනු, ජීවන වියදම පහත හෙලනු, අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල පහත හෙලනු, රාජ්‍ය සේවක වැටුප් හා දීමනා කප්පාදුව නවතනු ආදී මුලික සටන් පාඨ පෙරටු කරගනිමින් පැවැති මෙම විරෝධතාවයේ දී ලාල් හිදැල්ලගේ ඇතුළු තවත් සමාජ ක්‍රියාකාරින් ද ජන මාධ්‍ය වෙත අදහස් දැක්වී ය.

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.