වන්නියේ මාධ්‍යවේදියකුගේ ඡායාරූපවලට එක්සත් ජාතීන්ගේ පිළිගැනීමක්

සේයා - අන්තර්ජාලයෙන්

ශ්‍රී ලංකාවේ සිදු වු බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් පළ කළ විශේෂ වාර්තාවක් සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් වන්නියේ මුල් පෙලේ දෙමළ මාධ්‍යවේදියකු සිය කැමරා කාචයට හසුකරගත් ඡායාරූප තෝරාගෙන ගෙන තිබේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය විසින් මැයි 21 වැනිදා පළ කරන ලද “බලහත්කාරයෙන් අතුරුදන් කිරීමේ උරුමය ශ්‍රී ලංකාවේ හොල්මන් කරයි” (Legacy of enforced disappearances haunts Sri Lanka) වාර්තාව සඳහා භාවිතයට ගෙන ඇත්තේ ඡායාරූප මාධ්‍යවේදී කනපතිපිල්ලේ කුමනන් විසින් ගන්නා ලද ඡායාරූපයි.

යුද සමයේත්, ඉන් පසුවත් බලහත්කාරයෙන් අතුරුදහන් කළ දස දහස් සංඛ්‍යාත සිය සමීපතමයන් සෙවීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ දීර්ඝතම අරගලයේ නියැලී සිටින උතුරු සහ නැගෙනහිර බලහත්කාරයෙන් අතුරුදහන්කරවුවන්ගේ ඥාතීන්ගේ සංගමයේ ක්‍රියාකාරී මාතාවන්ගේ අත්දැකීම් කේන්ද්‍රකොටගෙන මෙම ලිපිය පළ වී තිබේ.

එම ලිපිය පලකොට ඇත්තේ ශ්‍රී ලංකාවේ බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් පිළිබද දේශීය වගඋත්තර දායකත්වයක් නොමැති වීම විස්තර කරමින් මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලය විසින් ප්‍රසිද්ධියට පත් කරන ලද විශේෂ වාර්තාවකට සමගාමීවය.

“සමහර විට මට මගේ පුතාව නැවත දකින්න ලැබෙයි. නැත්තං අඩු ගානෙ එයාව වැළලුව තැනක් හරි හොයාගන්න ලැබෙයි”. 2009 සිට බලහත්කාරයෙන් අතුරුදහන් කරවනු ලැබූ සිය පුතණුවන් සොයා නොනිමි අරගලයක නිරත වන 72 හැවිරිදි මාතාවක් එක්සත් ජාතීන්ගේ ලිපියට සිය බලාපොරොත්තුව ප්‍රකාශ කර ඇත්තේ එලෙසිනි.

සරණාගත කඳවුරු වලට යමින්, සමූහ මිනීවලවල් පීරමින්, අතුරුදහන් වූවන්ගේ අනෙකුත් මව්වරුන් සහ භාර්යාවන් සමඟ සිය ආදරණීයයන් සොයා යන ඇය, දින 2650 ඉක්මවූ ඔවුන්ගේ සාමකාමී උද්ඝෝෂණ ඉදිරියට ගෙන යමින්, බලධාරීන්ගෙන් විමසා සිටින්නේ, “අපේ දරුවන් කොහේද? කෝ අපේ සැමියෝ?” යනුවෙනි.

ශ්‍රී ලංකාවේ පැවති සිවිල් යුද්ධය මීට වසර 15 කට පෙර අවසන් වුව ද, බලහත්කාරයෙන් අතුරුදහන් කලවුන්ගේ ඥාතීන් සිය සමීපතමයන් වෙනුවෙන් සත්‍යය සහ යුක්තිය ඉටු කරගැනීමට නොවනතින අරගලයක යෙදි සිටිති. දසක එක හමාරක් ගතවීමෙන් පසුවත් සිය ආදරණීයයන්ගේ ඉරණම හෝ ඔවුන් සිටින තැනක් පිළිබදව කිසිදු හෝඩුවාවක් ඔවුන්ට ලැබී නැත.

“බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමේ උරුමය ශ්‍රී ලංකාවේ හොල්මන් කරයි” ලිපිය සමග පළ කර ඇති ඡායාරූප දෙකෙහි හිමිකරු වන ඡායාරූප මාධ්‍යවේදී කනපතිපිල්ලේ කුමනන් පොදුවේ වන්නියේත් විශේෂයෙන්ම යුද පීඩිත ජනතාවගේ තොරතුරු වසර කිහිපයක සිට ජනමාධ්‍යයට වාර්තාකරණයේ යෙදී සිටින්නෙකි.

වාර්තාකරණයේ දී ආරක්ෂක අංශ වල සමාජිකයන්ගෙන් එල්ල වන තර්ජන වලට අමතරව ඔහුට මීට තෙවසරකට ඉහතදී හොර ලී ජාවාරමක් හෙළිදරව් කිරීම නිසා සිය වෘත්තීය සගයා, ෂන්මුගම් තවසීලන් සමග දරුණු ප්‍රහාරයකටද ගොදුරු වීමට ද සිදුවිය.

වන්නියේ මාධ්‍යවේදීන්ට එරෙහිව සිදුවන බොහෝ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් මෙන්ම, ඒ ගැනද තවමත් යුක්තිය ඉටුවී නැත.

The Leader

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.