එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ශ්‍රී ලංකාවේ අතුරුදහන් කිරීම් ගැන වාර්තාවක්
ශ්‍රී ලංකාවේ සිදු කරනු ලබන බලහත්කාරයෙන් අතුරුදහන් වීම් පිළිබද දේශීය වගඋත්තරදායකත්වයක් නොමැති වීම පිළිබඳව අවධාරණය කරන එක්සත් ජාතීන්ගේ සංවිධානය, එම වගකීම සහතික කිරීම සදහා චුදිත නිලධාරීන් ඉලක්ක කොට සම්බාධක පනවන ලෙස ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලා සිටී.
අතුරුදහන් කරනු ලැබු එක අයකුදු හෝ සොයා ගැනීමට රජය විසින් හත් අවුරුද්දකට ඉහතදී පිහිටුවා ඇති අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (OMP) සමත් වී නැතත්, ඊට තව දුරටත් අනුග්‍රහය දක්වන ලෙසද එජා සංවිධානය ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලීමක් කර තිබේ.
“ වගවිම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව විසින් සිදු කරනු ලබන ප්‍රගතිය නොනවත්වා සමීපව මානව හිමිකම් කවුන්සිලය හරහා අධීක්‍ෂණය කරන ලෙසත්, වගවිම සහතික කිරීම සඳහා, ජාත්‍යන්තර ප්‍රජාව සතුව ඇති සිය ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික සබඳතා, විශ්වීය අධිකරණ බලය සහ ජාත්‍යන්තර යුක්තියේ අනෙකුත් මාර්ග මෙන්ම ඉලක්කගත සම්බාධක පැනීවීම් ඇතුළු සියළුම මාධ්‍යයන් භාවිතා කරන ලෙසට OHCHR ජාත්‍යන්තර ප්‍රජාවට නිර්දේශ කරනු ලැබේ. ”
එම නිර්දේශය ඉදිරිපත් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් සඳහා වගවීම පිළිබඳව මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලය (OHCHR) විසින් යුද්ධාවසානයෙන් පහළොස් අවුරුද්දක් පිරෙන මැයි 18 වැනිදා උදාවීමට තිබියදී ඉංග්‍රීසි බසින් නිකුත් කළ පිටු 46 කින් සමන්විත නවතම වාර්තාව මගිනි.
ශ්‍රී ලංකාවේ ආණ්ඩුව එම වාර්තාව ‘බලහත්කාර අතුරුදහන් කිරීම් දේශපාලනීකරණය කිරීමක්’ ලෙසින් හෙලා දැක තිබේ.
1970 දශකයේ සිට 2009 සිවිල් යුද්ධයේ අවසානය දක්වා කාලය තුල ශ්‍රී ලංකාව බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් රැලි කිහිපයකටම මුහුණ දී ඇති බව සිහිපත් කරන වාර්තාව ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා සහ අනුබද්ධ අතුරු සන්නද්ධ කල්ලි විසින් මෙය ප්‍රතිවාදීන් බිය ගැන්විමේ සහ මර්දනය කිරීමේ මෙවලමක් ලෙස භාවිතා කරන අතර, අවම වශයෙන් දස දහස් ගණනක් බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්වලට ලක්ව ඇති බව ද මහ කොමසාරිස් කාර්යාලය අවධාරණය කරයි.
උතුරේත් දකුණේත් අතුරුදහන් වුවන්ගේ ඥාතීන්ට එපාවූ OMP කාර්යාලයට UN ප්‍රශංසා
සෑම තරාතිරමකම අපරාධකරුවන් නොනවත්වාම යුක්තියෙන් ගැලවී යන බව පෙන්වා දෙන මෙම වාර්තාව වරදකරුවන්ට දඩුවම් නොලැබීම ගැඹුරින් මුල් බැස ගෙන ඇති හෙයින් අනාගතයේත් එම අපරාධය සිදුවීමේ අවදානම පිළිබඳව අනතුරු අඟවයි.
“අතුරුදහන් වූ ඔවුන්ගේ ඥාතීන්ගේ ඉරණම සහ තත්වය පිළිබඳව කිසිම තොරතුරක් ඔවුන්ගේ ඥාතීහු නොදනිති. සංස්ථාපිත දුර්වලතා මඟහරවා ගැනීමට සහ අවශය ප්‍රතිසංස්කරණ සිදු කිරීමට අපොහොසත් වීම හේතුවෙන් ඉදිරියටත් අතුරුදහන් විමේ අවදානම පවතී.”
මෑත වසරවලදී, ශ්‍රී ලංකාව බලහත්කාර අතුරුදහන්විම්වලින් සියලු පුද්ගලයන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතිය (ICPPED) සම්මත කිරීම, බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් අපරාධයක් ලෙස නම් කිරීම, අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (OMP) පිහිටුවිම සහ හානිපූරණය සඳහා වන කාර්යාලය (OR) ඇතුළු විමර්ශන කොමිෂන් සභා (CoIs) පිහිටුවිම ඇතුළු ධනාත්මක පියවර කිහිපයක් ගෙන ඇති බවද මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලය පෙන්වා දෙයි.
අතුරුදහන් වූවන්ගේ ජාත්‍යන්තර දිනයේ ආණ්ඩුවටත් එක්සත් ජාතීන්ටත් විරෝධය
කෙසේ වෙතත්, මෙම පියවර මගින්, සත්‍යය දැන ගැනීම, යුක්තිය, වන්දි ගෙවිම සහ නැවත සිදු නොවන බවට සහතික වීමට වින්දිතයන්ට ඇති අයිතිය සදහා නිත්‍ය ප්‍රගතියක් ලැබී නැති අතර අතුරුදහන් වූ පුද්ගලයෙකුගේ ඉරණම සහ ඔහුට සිදුවූ දෙය පිලිබදව පැහැදිලි තොරතුරක් නොලැබෙන තාක්, බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම “අඛණ්ඩව සිදුකෙරෙන උල්ලංඝනයක්” ලෙස සැලකෙන බවද මෙම වාර්තාව මගින් අවධාරණය කර ඇත.
එවැනි තත්වයක් යටතේ බලහත්කාර අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් අඛණ්ඩව පවතින වගඋත්තරදායකත්වයක් නොමැතිවීමේ අඩුව මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලය විසින් විස්තර කර ඇත්තේ ‘කට බලියාගත් හිදැසක්’ ලෙසයි.
එම හිදැස පියවීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාවට අමතරව ශ්‍රී ලංකා රජයට ද නිර්දේශ මාලාවක් ම ඉදිරිපත් කර ඇත්තේ වින්දිතයන් 39 දෙනෙකු සමග ද්වි පාර්ශ්වික සම්මුඛ සාකච්ඡා සහ වින්දිතයන් 43 දෙනකු සමග කළ සාකච්ඡා ඇසුරිනි. සාකච්ඡාවට ලක්වුවන්ගෙන් අති බහුතරය කාන්තාවන්ය.
ජනපතිගෙන් අතුරුදහන් වුවන්ගේ ඥාතීන්ටත් ළඟදීම “ගම සමග පිළිසඳරක්”
එජා කාර්යාලය ඒ සම්බන්ධයෙන් මුලික ලෙසම ශ්‍රී ලංකා රජයට නිර්දේශ කර ඇත්තේ අතුරුදහන්විම්වල පරිමාණය මෙන්ම රජයේ ආරක්ෂක අංශවල සහ අතුරු සන්නද්ධ කල්ලිවල සම්බන්ධය පිළිගෙන ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා සිටින ලෙසයි.
“ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටින්නේ ස්වාධීන පරීක්ෂණ තීව්‍ර කරන ලෙසත්, බලහත්කාර අතුරුදහන්විම් පිළිබඳ විමර්ශන සහ නඩු පැවරීම සඳහා පලදායී රාමුවක් සහතික කිරීම සඳහා ව්‍යවස්ථාමය සහ නීතිමය ප්‍රතිසංස්කරණ කඩිනම් කරන ලෙසත් ය. ”
ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය සහ ජාත්‍යන්තර මානුෂවාදී නීතිය බරපතල ලෙස උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීම හදිසි අවශ්‍යතාවයක් ලෙස සලකා ස්වාධීන නඩු පවරන අධිකාරියක්, විශේෂ අභිචෝදකයකු සහ තාවකාලික විශේෂ අධිකරණයක් ශ්‍රී ලංකාව තුල පිහිටුවීමට වාර්තාව නිර්දේශ කරයි.
අතුරුදහන් ළමයි හොයා නොදෙන ආණ්ඩුව හෙලා දැකීමට දෙමළ අම්මලා කොළඹ
බලහත්කාර අතුරුදහන් කිරීමට ගොදුරු වුවන් සොයාගැනීමේ ප්‍රගතිය සම්බන්ධයෙන් OMP කාර්යාලය සහ රජය විසින් ජාත්‍යන්තරය හමුවේ ඉදිරිපත් කරන සංඛ්‍යාලේඛන වල පරස්පරතා තිබෙන බව එජා වාර්තාව පෙන්වා දෙයි.
“අතුරුදහන් පුද්ගලයන් ගැන සෙවීම OMP කාර්යාලය විසින් ආරම්භ කර නැති තරම්ය. ස්වකීය ප්‍රගතිය පිළිබඳ වාර්තාවක OMP ය පහල මට්ටමේ අපේක්ෂාවක් ජනිත කරමින් පවසා ඇත්තේ 2023 දී සිද්ධි දෙකක් තුනක් හමාරයකට ගෙනඒමට හැකි වූ බවයි. ඊට ප්‍රතිවිරුද්ධව යමින්, 2024 මාර්තුවේදී ශ්‍රී ලංකාවේ ආණ්ඩුව මානව හිමිකම් මණ්ඩලයට දැනුම් දුන්නේ OMP සෙවුම් අංශය සිද්ධි 19ක් සාර්ථකව නිමාවකට ගෙන ඇති බවයි.”
ආරක්ෂක අංශවල නිලධාරීන්ගෙන් ප්‍රශ්න කිරීම හෝ ඔවුන්ගෙන් වාර්තා ලබාගැනීමටත්, රැඳවුම් ස්ථාන වලට යාමටත් OMP ය තමන් සතු පුළුල් නෛතික බලතල ප්‍රයෝජනයට නොගැනීම ඥාතීන් කලකිරීමට පත් කර ඇති බව පිළිගන්නා වාර්තාව තමන් සතු වරම අනුව ප්‍රතිපල අත්කර දීමට OMP ය සතු අභිලාශය පිළිබඳව සැක පහල කරයි.
OMP කාර්යාලයේ ආයු කාලය තරම්ම කාලයක් සිය සමීපතමයන් පිළිබඳ සත්‍යය හෙළිකරන ලෙස බලකරමින් අඛණ්ඩ අරගලයක යෙදී සිටින දෙමළ මව්වරුන් තමන් විසින් ප්‍රතික්ෂේප කරන ලද ආයතනයකට අනුග්‍රහ දක්වන ජාත්‍යන්තර ප්‍රජාව සම්බන්ධයෙන්ද කනස්සල්ල පල කොට ඇත්තේ වරක් දෙවරක් නොවේ.
UN ඉල්ලීමට හැදූ OMP කාර්යාලයට අතුරුදහන්වුවන්ගේ ඥාතීන්ගෙන් දොස්
එසේ වෙතත්, අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (OMP) වැඩිදියුණු කිරීම සඳහා ආධාර කරන ලෙස වාර්තාව ජාත්‍යන්තරයෙන් ඉල්ලා තිබේ.
සමූහ මිනී වලවල් පිළිබඳ නිසි විමර්ශනයක් සිදු කිරීම මෙන්ම මෙතෙක් පැවති සියලු ජනාධිපති අදාළ ලේඛනාගාර සහ විමර්ශන කොමිෂන් සභා වාර්තා ප්‍රසිද්ධියට පත් කිරීමද ඇතුළු නිර්දේශ දහ අටක් ජගත් මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය ආණ්ඩුවෙන් ඉල්ලා සිටී.
ආණ්ඩුව විසින් යෝජනා කරන සත්‍ය සෙවිමේ නව යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමට පෙර ශ්‍රී ලංකාව තුල සක්‍රීය පරිසරයක් නිර්මාණය කරන ලෙසත්, ඉතා වැදගත් විශ්වාසය ගොඩනැගිමේ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කළ යුතු බවත් OHCHR නිර්දේශ කරයි.
මේ සදහා මානව හිමිකම් ආරක්ෂකයන් සහ වින්දිතයන්ගේ කණ්ඩායම්වලට එරෙහිව ඇති තර්ජන, හිරිහැර කිරීම් සහ නීති විරෝධී සහ අත්තනෝමතික නිරීක්ෂණ අවසන් විය බවද එම වාර්තාව මගින් අවධාරණය කර ඇත.
“ඕනෑම සත්‍ය සෙවිමේ යාන්ත්‍රණයක්, අධිකරණ යාන්ත්‍රණයක් තුල, පුළුල් සංක්‍රාන්තික යුක්තිය පසිදලන උපාය මාර්ගයක කොටසක් විය යුතුය. ඒ හා සමානව, වන්දි ගෙවිම සඳහා ද පුළුල් සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ සංවේදි ප්‍රවේශයක් OHCHR විසින් නිර්දේශ කරනු ලබයි. ”
අතුරුදහන් නෑසියන් වෙනුවෙන් දෙමළ අම්මාවරුන්ගෙන් සිංහලයන්ට ආයාචනයක්
එසේම, බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් නැවත සිදු විම වැළැක්විම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙස ඉල්ලා සිටින OHCHR, උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් විශ්වාස කළ හැකි යැයි කියන අපරාධකරුවන් ඉහළ මට්ටමේ තනතුරුවලට පත් කිරීමෙන් හෝ ප්‍රවර්ධනය කිරීමෙන් වැළකීමට ද ශ්‍රී ලංකා රජයට නිර්දේශ කර තිබේ.
ශ්‍රී ලංකාවේ ඉහල ආරක්ෂක හා හමුදා නිලධාරීන්ට එරෙහිව වාර්තාවක් නිකුත් කිරීමට ජගත් මානව හිමිකම් කොමසාරිස් වොල්කර් ටර්ක්ට එක්සත් ජාතීන්ගේ කිසිදු යෝජනාවකින් බලය පවරා නැතැයි විදේශ කටයුතු අමාත්‍යංශයේ නම් නොකරන ලද ප්‍රකාශකයකු උපුටා දක්වන සන්ඩේ ටයිම්ස් පුවත්පත පවසයි.
ඒ සම්බන්ධයෙන් ජිනීවා නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් හිමාලි අරුණතිලක විසින් මහ කොමසාරිස්ට මෙන්ම අනිකුත් සාමාජික රටවලටත් ලිඛිතව කරුණු දක්වනු ඇති බව එම පුවත්පත වැඩිදුරටත් වාර්තා කරයි.