මාධ්‍යවේදීන් රැසකටත් මිරිහානේදී පොලිස් හා හමුදා ප්‍රහාර

සේයා - JDS

ජනාධිපති එලවා දැමීම අරමුණු කොටගත් මිරිහාන විරෝධතාව වාර්තා කිරීමේ යෙදී සිටි මාධ්‍යවේදීන් සමූහයකට ශ්‍රී ලංකා රජයේ ආරක්ෂක සේනා ම්ලේච්ඡ අයුරින් පහර දී වධහිංසා පමුණුවා තිබේ.

ප්‍රධාන ධාරාවේ මාධ්‍ය සඳහා වාර්තා සපයන අට දෙනකු ඇතුළු තවත් කිහිප දෙනකුටම එසේ පහර දීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇත්තේ පොලිසියට, පොලිස් විශේෂ කාර්ය සාධක බලකායට සහ යුද හමුදාවටයි.

දකුණේ සිංහල මාධ්‍යවේදීන් වැඩිම පිරිසකට එකම දිනක එකම ස්ථානයකදී වර්තමාන පාලනය යටතේ පහරදුන් පළමු අවස්ථාව මෙය සේ සැලකේ.

දැඩි හමුදා ගහනයක් සිටින උතුරු නැගෙනහිර වාර්තාකරණයේ යෙදෙන දෙමළ හා මුස්ලිම් මාධ්‍යවේදීන්ට රජයේ ආරක්ෂක අංශ විසින් කරන පහරදීම් ගැන මීට ඉහතදී නිරන්තරයෙන් වාර්තා වී තිබේ.

සුමේධ සංජීව ගාල්ලගේ (දෙරණ), නිශ්ශංක වේරපිටිය (දෙරණ), ප්‍රදීප් වික්‍රමසිංහ (දෙරණ) ලහිරු චාමර (දෙරණ), අවංක කුමාර (සිරස), වරුණ වන්නිආරච්චි (ලංකාදීප), නිසල් බදුගේ (ඩේලි මිරර්) සහ චතුර දේශාන් (සිරස) ප්‍රහාරයට ලක් වූ බවට මේ වනවිට නමින් වාර්තා වී ඇති මාධ්‍යවේදීන් පිරිසයි.

උද්ඝෝෂණයට සහභාගී වීම නිසා අත්අඩංගුවට ගන්නා ලද පනහකට අධික පිරිස සමග මේ අතරින් මාධ්‍යවේදීන් කිහිප දෙනකුද සිටි අතර, නීතිඥයන් සිය ගණනක් ස්වේච්ඡාවෙන් මැදිහත්වී ඒ සැමට ඇප ලබා ගැනීමට සමත් වී තිබේ.

මීට ඉහතදී ප්‍රධාන ධාරාවේ ප්‍රකට මාධ්‍යවේදීන් පිරිසක් පොලිස් පරීක්ෂණයකට කැඳවීම හෙලා දැක, එය වැලැක්වීමට බලය යෙදවූ ජනමාධ්‍ය ඇමැති ඩලස් දහම් අලහප්පෙරුම මෙම බිහිසුණු පහරදීමෙන් දින දෙකක් ගතවන තුරු, ඒ සම්බන්ධයෙන් කිසිත් ප්‍රකාශ කළ වගක් දැනගන්නට නැත.

අද දින (02) රජය විසින් හදිසි නීතිය සහ ඇදිරි නීතියට අමතරව, කිසිවෙකුට කිසිදු පොදු මාර්ගයක, උද්‍යානයක, විනෝදාස්වාදයක හෝ වෙනත් පිටියක, දුම්රිය මාර්ගවල හෝ මුහුදු වෙරළේ සිටීම තහනම් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති තත්වයක් යටතේ, සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර සිටියේ, “විරෝධතාකරුවන් ද ප්‍රචණ්ඩත්වයට සහ පොදු දේපළවලට හානි කිරීමට නොයා යුතු” බවයි.

එම ට්විටර් සටහන හරහා, සාමකාමීව විරෝධතා දැක්වීමේ පුරවැසි අයිතිය තහවුරු කළ යුතු බවට ප්‍රකාශ කරන ඔහු, මාධ්‍යවේදීන්ට එල්ල වූ අමානුෂික පහරදීම තරයේ හෙළා දකින බවටත් සඳහන් කර තිබේ.

ඒ අතර The Leader වෙබ් අඩවිය වාර්තා කර සිටින්නේ, තමන් ජනමාධ්‍ය ඇමති ලෙස කටයුතු කරන තාක්කල් මාධ්‍යවේදීන් හට කිසිදු ආකාරයේ තර්ජන ගර්ජනවලට ලක්වීමට ඉඩ නොතබන බව මෙයට පෙර සහතික කොට කියා තිබෙන ඩලස් අලහප්පෙරුම, පෙරේදා රාත්‍රී මිරිහානේ දී මාධ්‍යවේදීන් හට එල්ල කරන ලද අමානුෂික ප්‍රහාරය හමුවේ ඉල්ලා අස්වන්නේ දැයි සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් ප්‍රශ්න කරන බවයි.

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.