අවුරුදු 200ක් තිස්සේ රටට ඩොලර් අදින වතු කම්කරුවන් තාමත් ලැයිම් කාමරේ
සියවස් දෙකක කාලයක් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට කටයුතු කළද මේ තාක් නිවසක අයිතිය හිමි නොවු වතු කම්කරුවන්ගේ නිවාස අයිතිය පිළිබදව අගනගරයේදී හඬ අවදි වී තිබේ.
ලෝක ජනාවාස දිනය යෙදී තිබු ඔක්තෝබර් 3 වැනිදා වතු කම්කරුවන් සමග කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී විරෝධතාවයකට එක්වෙමින් මහනුවර සමාජ සංවර්ධන ආයතනය පෙන්වා දුන්නේ ලබන වසර වන විට වතු කම්කරුවන් මෙරටට පැමිණ වසර 200 ක් සම්පුර්ණ වූවත් ඔවුන් තවමත් ජීවත් වන්නේ වසර 150 ට ඉහතදී සුදු ජාතිකයන් විසින් සකස් කළ ලයින් කාමරයක බවයි.
“එතකොට එක්ලක්ෂ හැට නම දාහක්ම ජීවත්වෙන්නේ සුද්දන් විසින් අවුරුදු 150 ට කලින් හදපු අඩි 10යි දහයේ කාමරේ. පවුල් තුනක් හතරක් ජීවත් වෙනවා.”
මහනුවර සමාජ සංවර්ධන ආයතනයේ පෙරියසාමි මුතුලිංගම් අවධාරණය කරන පරිදි දැනට එක්ලක්ෂ හැට නම දාහක් වතු කම්කරුවන් ලයින් කාමරයක් තුළ කොටුවී සිටින අතර ඔවුන් වෙනුවෙන් ඉදි කළ නිවාස තිස් පන් දහසකට අධික නිවාස වල අයිතිය තවමත් ඔවුන් වෙත පවරා නැත.
“දැනට එක්ලක්ෂ හැට නම දාහක් ලයින් කාමර තමයි තියෙන්නේ. ඒ අතරතුරදී 1987 ඉදලා අද වෙනකම්ම තනි ගෙවල් සහ තට්ටු ගෙවල් තිස් පන්දාහක් හදලා තියනවා. නමුත් ඒකට අද වෙන තුරු ඔවුන්ට නිවාස අයිතිය ලබා දුන්නේ නැ.”
නිවාස වෙනුවෙන් ගෙවිය යුතු ණය මුදල් ගෙවා තිබුනද නිවාස ලබාදීම සිදු කර නොමැති බවයි ඔහු වැඩි දුරටත් පවසන්නේ.
“1987 සිට නිර්මාණ කරන ලද 37 දහසක වතු නිවාස සදහා නිත්‍යානුකුල ඔප්පු ලබා දෙනු ” බැනරය පෙරටු කරගනිමින් දියත් වු විරෝධතාවයේදී ඔහු වැඩි දුරටත් චෝදනා කළේ කෝවිඩ් සමයේ ජීවිත අවදානම නොතකා රටට විදේශ විනිමය උපයා දීමට වැඩ කළ වතුකම්කරුවන්ගේ නිවාස ප්රශ්නය විසදීමට දේශපාලනඥයන් කටයුතු නොකරන බවයි.
බලයට පත්වන සියළු දේශපාලනඥයන් ඒ සම්බන්ධයෙන් පොරොන්දු ලබා දුන්නද ප්රශ්නය නොවිසදන බවටත් ඔහු චෝදනා කළේය.
වතුකම්කරු ජනතාව මුහුණ දී සිටින නිවාස ප්රශ්නය ගැන පෙරියසාමි මුතුලිංගම් කරන පැහැදිලි කිරීම පහත වීඩියෝවෙන්;