ගිනි පොලී ණය වැලේ එල්ලි මියයන උතුරේ ජීවිත

සෙයා - ගගන වෙබ් අඩවිය

දශක තුනකට ආසන්න කාලයක් තිස්සේ උතුරේ දියත් වු යුද්ධය නිමාවට පත් වී දශකයක් ගතවීමට තවත් ඉතිරිව ඇත්තේ වසර දෙකකට මදක් වැඩි කාලයක් පමණි.

යුද්ධය හේතුවෙන් උතුරට පමණක් අහිමි වු මිනිස් ජීවිත ප්‍රමාණය අති මහත්ය.

භුමියේ අයිතිය වෙනුවෙන් සටන් වැද යුද්ධයෙන් පිරිමින් මියගිය, අතුරුදහන් හා පැහැරගෙන යනු ලැබූ, ආබාධිත තත්වයට පත්වු උතුරේ නිවාස බහුතරයක වගකීම අද පැවරී ඇත්තේ කාන්තාවන්ටය.

අවාසනාවක තරම නම් ඔවුන්ගේ යහපැවැත්ම සහතික කිරීමට ක්‍රමවත් සැලැස්මක් අදටත් නොමැතිවීම නිසා තවමත් උතුරේ ජීවිත මරණයේ අද්දරට තල්ලු වී තිබීමයි.

ඒ හිඩැස පිරවීමට ඉදිරිපත් වී සිටින්නේ ණය දෙන බැංකුය. එසේත් නොමැතිනම් ක්ෂුද්‍ර මුල්‍ය ආයතනයන්ය.

ජීවිතය පවත්වාගෙන යාමට ගත් ණයෙන් කළ ආයෝජන පල නොදරා ණය ගෙවා ගත නොහැකිවී ආත්ම ගෞරවයත්, ආත්ම විශ්වාසයත් අහිමි වී ඉන්නා ඒ ගැහැණුන් අද යොමු වී සිටින්නේ ඉතිරි වූ ජීවිතය නැති කර ගැනීමටය.

අවදානම්කාරී ජීවන තත්වයක සිටින  කාන්තාවන් ඉලක්ක කොට ක්ෂුද්‍ර මුල්‍ය ආයතනයන් විසින් විශාල පොලියකට දෙනු ලබන ණය ගෙවා ගත නොහැකිව උතුරේ කාන්තාවන් සිය දිවි නසා ගන්නා බවට ලද තොරතුරු අනුව ඒ සම්බන්ධයෙන් තතු සොයා බැලීම සදහා කිලිනොච්චියට ගිය මටත් මගේ සහෝදර මාධ්‍යවේදියාටත් මගපෙන්වීමට ඉදිරිපත් වුයේ එම ප්‍රදේශයේ සිවිල් සමාජ ක්‍රියාකාරිකයෙකි.

ඔහු අප කැඳවා ගෙන ගියේ යුද්ධයේ අවසාන ප්‍රහාරයෙන් ලේ වැකුණු මුලතිව් දිස්ත්‍රික්කයටයි.

කිලිනොච්චි නගරයේ සිට කිලෝ මීටර් ගණනක් ඉද්ද ගැසුවාක් මෙන් දිවෙන ඒ 9 මාර්ගය දිගේ සැතපුම් කිහිපයක් ගිය අප පරන්තන් හන්දියෙන් වෙනත් බසයකට මාරුවී සැතපුම් ගණනක් ගොස් බැස ගත්තේ තුංමං හන්දියක් අසලිනි.‍

සිතටත් ගතටත් සැනසුමක් ගෙන දෙමින් මග දෙපස කරලින් බරවු කුඹුරු යායවල් සහ කලින් දුටු ගහ කොල පිරි සශ්‍රීක පරිසරයට වඩා අප දැන් සිටින වටාපිටාව හාත් පසින්ම වෙනස්ය.

යුද්ධයෙන් විනාශව ගිය ගස් වල ශේෂයන් තැනින් තැන තවමත් දක්නට ඇත.

අපගේ සහයට එක් වූ ගමන් සගයාගේ මිතුරියක් පළමු කොටම අප කැදවාගෙන ගියේ මුලතිව්, විශ්වමඩු, ඉලංගෝපුරම් තේරාවිල් ප්‍රදේශයේ නිවහනක් වෙතයි.

යුද්ධය අවසන් වීමෙන් පසු ඉදි කළ බවට සාධක සහිත කුඩා නිවසක් ඇති ගෙවත්තට ඇතුල්වෙත්ම අප දුටුවේ කුඩා දරුවන් තිදෙනෙක් මහලුවියේ පසුවන කාන්තාවකගේ ඇඟ දැවටෙමින් සිටින ආකාරයයි.

නිවස තුලට ඒමට ඇගේ ආරාධනය ලද අපි කුඩා සාලයෙහි තුබු ප්ලාස්ටික් පුටු කිහිපයක වාඩි ගත්තෙමු.

වියපත් මාතාවගේ ඇඟ දැවටෙමින් සිටි දරු තිදෙනාගේ අම්මාවූ ඇගේ දියණිය සිය දිවි නසාගෙන තිබුණේ 2017 වසර ආරම්භයේදීය.

ස්වයං රැකියාවක් සඳහා ගත් ණය ගෙවා ගත නොහැකිව අසරණ තත්වයට පත්වීම හේතුවෙන් 32 හැවිරිදි අම්බිගෝපාලන් ජෙගදීස්වරී සිය දිවි තොරකරගෙන ඇත්තේ ජනවාරි 2 දිනයි.

පවුලේ ආර්ථික ප්‍රශ්න හේතුවෙන් ඇතිවු ගැටුම් නිසා සැමියා විසින් අත හැර දමනු ලැබූ ඇය මිය යාමට පෙර ලිපියක් ලියමින් ණය ගෙවීමට හැකියාවක් නොමැති වීම හේතුවෙන් සිය දිවි නසා ගන්නා බවත් තම ඉඩම හෝ විකුණා ණය ගෙවා දැමීමට කටයුතු කරන ලෙසත් ඉල්ලා තිබුනාය.

සති පතා, සති දෙකකට වරක් සහ මාසික වාරික ගෙවීමේ ක්‍රම යටතේ එල්.ඕ.එල්.සී ඉසුරු දිරිය, නැෂනල් ලංකා ෆිනැන්ස්, කොමර්ෂල් ක්‍රෙඩිට් ඇන්ඩ් ෆිනැන්ස් සහ ඒ,එෆ්.සී මයික්‍රෝ ෆිනෑන්ස් යන ක්ෂුද්‍ර මුල්‍ය  ආයතන වලින් ණය හතරක් ඇය ලබා ගෙන තිබූ අතර ගෙවා ගැනීමට නොහැකි වූ රුපියල් අසුදහසකට  අධික ණය සහ පොලී  මුදල ඇගේ ජීවිතය අවසන් කිරීමේ මාරකය බවට පත්විය.

වගා පාලු හේතුවෙන් ඇයට ණය හා පොලිය ගෙවීමට නොහැකි වී ඇත.

“ අපි බොහෝම දුප්පත්, මගේ දුවගේ දරුවෝ තුන් දෙනාට කන්න දෙන්නේ, උගන්වන්නේ බොහෝම අමාරුවෙන්. මගේ මහත්තයාට අසනීප නිසා රස්සාවක් කරන්න බෑ. මම කුලී වැඩ කරලා තමයි ළමයි බලාගන්නේ. හැමදාම වැඩ ලැබෙන්නේ නෑ. වැඩ කරන දවසටම රුපියල් 600 යි ලැබෙන්නේ,” යි ජෙගදීස්වරීගේ මව පැවසුයේ කඳුලු පිරි දෙනෙතිනි.

දරුවන් තිදෙනාගෙන් කුඩා පිරිමි දරුවා පසුවන්නේ ළදරු පාසල් වයසේයි.

අනෙත් පිරිමි දරුවා හතර වැනි වසරේත් වැඩි මහල් දියණිය හයවැනි වසරේත් අධ්‍යාපනය හදාරති.

ඔවුන්ගේ මිත්තනිය වැඩිපුරම සිත් වේදනා විදින්නේ හදිසියේ හෝ ඇය මියගියහොත් තම මුනුබුරු මිනිපිරයන් බලාගන්නට කිසිවකුත් නොමැතිවීම ගැන සිතමිනි.

මිය ගිය තැනැත්තියගේ මව පවසන ආකාරයට ණය වාරික පියවීමට නොහැකි වු විට මහලුවියේ පසුවන ඇය ණය ගෙවීම සදහා සිය දියණියට මුදල් ලබා දී ඇත්තේ සිය මාලය උගස් කරමිනි.

ණය හිමියන්ගේ ගුටි බැට

ඇතැම් ක්ෂුද්‍ර මුල්‍ය  ආයතන මගින් ණය ලබා ගැනීම සදහා ඇප අත්සන් කිරීමට සාක්ෂි කරුවන් ඒකරාශි කරගත යුතුය.

සිය දියණියට ණය වාරික ගෙවීමට නොහැකි වූ එක් අවස්ථාවක නිවසට පැමිණි එම කණ්ඩායමේ නායිකාව විසින් ඇයට පහර දුන් අතර විටෙක ඔවුන් තම සැමියාටත් පහර දීමට උත්සාහ කළ බව ඇය අප සමග පැවසුයේ දෙනෙතින් වැගිරෙන කඳුළු දෑත් වලින් පිස දමමිනි.

පහර කෑමෙන් පසු ණය වාරික ගෙවීමට යෑම සදහා බියක් දැක්වු තම දියණිය නිරන්තරයෙන් හඬන්නට පටන් ගත් බවත් ඇය ජීවිතයට යම් අනතුරක් සිදු කරගනීවිය යන සිතුවිල්ල තමාට නිරන්තරයෙන් ඇති වු බවත් වියපත් අම්මා පවසන්නීය.

ණය ලබා ගෙන ඇත්තේ කුමන පොලී අනුපාතයන් යටතේදැයි යන්න පවා නොදන්නා ඇය අප ඒ සම්බන්ධයෙන් විමසු විට ණය ලබා ගත් සියලු බැංකු විස්තරත් දියණිය දිවි තොරකරගැනීමට පෙර ලියන ලද ලිපියත් අප අතට පත් කළේ එයින් ඇයට යම් සහනයක් ලැබේවිය යන විශ්වාසයෙන් විය යුතුයි.

යුද්ධය නිසා තම පුතුද අහිමිව සිටින ඇයට ලැබෙන එකම නිත්‍ය ආදායම මාස තුනකට වරක් සමෘධි සහනාධාරය වශයෙන් රජයෙන් ලැබෙන රුපියල් 3000 ක මුදල පමණි.

එම නිවසින් පිටව තීරෝද රථයකට ගොඩවී මද දුරක් ගමන් කරමින් සිටියදී පාසලක් අසලදී රථය නවතන ලෙස මිතුරා දැන්වුයේ කලබලයෙනි.

ත්‍රිරෝද රථයෙන් බැස ගත් ඔහු පාසල් වැට අද්දරට දිව ගියේය.

පාසල් ළමුන් තිදෙනකු පාසල් වැටෙහි එල්ලමින් සිටි යම් කුරුටු රූ සටහනක ඡායාරූපයක් ගත් ඔහු යළි ත්‍රිරෝද රථයට ගොඩ විය.

නොතේරෙන දෙමළ බසින් එහි ලියා ඇත්තේ කුමක්දැයි කළ විමසීමට ලැබුනු පිළිතුර වුයේ “எங்கள் நிலம் எமக்கு வேண்டும் ” (අපේ ඉඩම් අපට ඕනෑ) යනුවෙනි.

ක්ෂුද්‍ර මුල්‍ය  ආයතන හා ණය දෙන වානිජ බැංකු විසින් ස්වයං රැකියා සඳහා දෙන ණය ගෙවා ගත නොහැකිව සිය දිවි නසා ගෙන ඇත්තේ කාන්තාවන් පමණක්ද යන්න විමසා බැලු අපට දැනගන්නට ලැබුනේ එය එසේ ම නොවන බවයි.

ලබා ගත් ණය ගෙවීමට නොහැකිව අප එහි ගිය දිනවලදීම දිවි තොරකරගත් පස් දරු පියකු සම්බන්ධයෙන්ද හමුදාව වාඩිලාගෙන සිටින ඉඩම් ආපසු ඉල්ලන අරගලයෙන් උණුසුම් වී තිබුණු පුදුකුඩිඉරිප්පුවෙන් අපට තොරතුරු අනාවරණය විය.

පුදුකුදිරිප්පුවේ වල්ලිපුනම් ප්‍රදේශයේ පිහිටි තවමත් වැඩ අවසන් නොකළ එම නිවසේ අසල් වැසියන් සහ ඥාතීන් බොහෝ පිරිසක් අප යන විටත් එහි රැදී සිටියේ ඔහුගේ අවසන් කටයුතු සිදු කර ඒ වන විට ගතව තිබුනේ දින කිහිපයක් නිසාවෙනි.

පෙබරවාරි පහලොස්වැනිදා දිවි තොරකරගත් සිවලිංගම් සත්යේන්ද්‍රන්ගේ මරුවා වී ඇත්තේත් ගෙවා ගත නොහැකි වූ ණය කන්දරාවයි.

එච්.එන්.බී ග්‍රාමීන්, එල්.ඕ.එල්.සී ඉසුරු දිරිය, කොමර්ෂල් ක්‍රෙඩිට් ඇන්ඩ් ෆිනැන්ස් යන ක්ෂුද්‍ර මුල්‍ය  ආයතන සහ තවත් බැංකු කිහිපයකින් ගොවි තැන් කටයුතු සිදු කිරීම සදහා ලබා ගත් ණය වලින් තවත් ගෙවීමට රුපියල් ලක්ෂ දෙකකට අධික මුදලක් ඇති බවයි ඔහුගේ බිරිද එස්. ජෙයරාහිනී කියා සිටියේ.

තම වැඩි මහල් පුතා පසු ගිය වසරේ අ.පො.ස උ. පෙළ විභාගයට පෙනී සිටි අතර ඉතිරි දරුවන් තිදෙනාම පාසල් යන බව සදහන් කරන ඇය ඇඬු කඳුලින් අප සමග පවසා සිටියේ සැමියාගේ මරණයෙන් පසු ජීවත් වීමට ආදායම් මාර්ගයක් නොමැති බවයි.

සැමියාගේ අවසන් කටයුතු සිදු කරන්නට සිදුවූයේත් තවත් ණය මුලදකින් බව සනාථ කිරීමට අවශ්‍ය සාක්ෂිද ඇය අපට ඉදිරිපත් කළාය.

ස්වයං රැකියා සඳහා ආයෝජනයට දෙනු ලබන ණය ගෙවා ගත නොහැකිවූ ඹ්මන්ත ප්‍රදේශයේ මාතාවක් සිය අත දරුවාද සමග පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී දිවි නසාගෙන තිබුනි.

ණය හා පොලී  ගෙවා ගත නොහැකිව අසරණ තත්වයට පත්වීම හේතුවෙන් සිය බිරිඳ වසර දෙක හමාරක් වියැති තම දරුවාද සමග සිය දිවි නසාගත් බවයි මියගිය 23 හැවිරිදි නාගේන්ද්‍රන් සුගන්ධිනීගේ සැමියා අප හා කියා සිටියේ.

ගිනි පොලියට ලබා ගත් ණය පියවා ගැනීමට නොහැකි වීමෙන් පසුගිය කාලය පුරාම සිය පවුල තුළ ප්‍රශ්න රාශියකට මුහුණ දුන් බව අප සමග පැවසු ඔහු වැඩි දුරටත් සදහන් කළේ ඒ සම්බන්ධයෙන් හටගත් බහින් බස්වීමකින් පසුව අත දරුවාද සමග පසුගිය නොවැම්බර් දෙවැනි දා නිවසින් පිටව ගිය සිය බිරිඳ නිවසට නොපැමිණියේ ඇයිදැයි සොයා බැලීමේ දී ඕමන්ත පන්රිකෙයිදකුලම් ප්‍රදේශයේ පාලු ලිඳක තිබි මළ සිරුරු දෙක පසුදා සොයා ගත් බවයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය

උතුරේ ජීවිත ගිලගන්නා ක්ෂුද්‍ර මුල්‍ය ණය ක්‍රමය එක්සත් ජාතීන්ගේත් බරපතල අවධානයට යොමුවී තිබේ.

ජාත්‍යන්තර කාන්තා දිනයට පෙරදා කාන්තාවන්ට එරෙහි වෙනස්කම් දුරුකිරීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ කමිටුව (CEDAW) රජයෙන් ඉල්ලා තිබුනේ උතුරේ කාන්තාවන්ගේ ජීවිකාව සරිකර ලීම සඳහා ණය සම්බන්ධයෙන් මැදිහත් වන ලෙසයි.

“කාන්තා මූලික නිවාස සහ දරිද්‍රතාවයේ ගිලී සිටින පවුල් සඳහා අඩු පොලී ණය හෝ පොලී රහිත ණය ක්‍රමයක් හඳුන්වා දී, ඔවුන්ගේ ආදායම් තත්වයට සරිලන පරිදි මුදල් ආපසු ලබා ගැනීමේ සැලසුම් ක්‍රියාත්මක කරන,” ලෙස ශ්‍රී ලංකාව සම්බන්ධ සිය වාරික විමර්ශනයේ අවසාන නිරීක්ෂණයේ CEDAW කමිටුව නිර්දේශ කර තිබුනි.

මිනිසුන් තමන් ලබා ගන්නා ණය සදහා ගෙවිය යුතු පොලී ප්‍රතිශතයවත් නොදැන විශාල ප්‍රමාණයෙන් ක්ෂුද්‍ර මුල්‍ය  ආයතන මගින් ණය ලබා ගන්නා බැවින් ඔවුන් වෙනුවෙන් සහන ක්‍රමයක් යටතේ ණය ලබා දීමේ වැඩ පිළිවෙලක් රජය විසින් ක්‍රියාවට නගන්නේදැයි අප විමසා සිටියේ පුදුකුඩිඉරිප්පු ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ සමෘධි නිලධාරියකුගෙනි.

නම හෙළි නොකරන ලෙස ඉල්ලා සිටි ඔහු සදහන් කළ පරිදි වසරකට සියයට 10 ක පොලී අනුපාතය යටතේ සමෘද්ධි බැංකු ඔස්සේ ක්‍රියාත්මක වන ණය ලබා දීමේ වැඩ පිලිවෙල සඳහා තෝරාගන්නේ විධිමත් කොන්දේසි යටතේය.

ඒ මගින් රුපියල් ලක්ෂයක් දක්වා ණය ප්‍රමාණයක් ලබා ගත හැකි නමුත් එය ලබා දීමට පෙර ඔවුන්ට ආපසු මුදල් ගෙවීමේ හැකියාවක් පවතීද යන්න සොයා බලනු ලැබේ.

ප්‍රදේශයේ සිදු කළ සංචාරයේදී අනාවරණය වු තොරතුරු අනුව ක්ෂුද්‍ර මුල්‍ය  ආයතන මගින් ණය ලබා ගැනීම සදහා අවශ්‍ය වන්නේ වයස අවුරුදු 18 සම්පුර්ණ වීම, ජාතික හැදුනුම්පතක් තිබීම සහ ඇප කරුවකු සොයා ගැනීම පමණි.

ණයකාරියන් දන්නේ ලබා ගන්නා ණය පියවීමට ඇති වාරික ප්‍රමාණය, දිනය සහ එක් වාරිකයක වටිනාකම පමණි.

නම හෙළි නොකරන ලෙස ඉල්ලා සිටි සිවිල් සමාජ ක්‍රියාධර අපගේ ගමන් සගයා කියා සිටියේ ක්ෂුද්‍ර මුල්‍ය  ආයතන හා වානිජ බැංකු  මගින් ණය ලබා ගත් බොහෝ පිරිසක් එම කලාපයේ දැඩි මානසික ආතතියකින් පීඩා විදින බවයි.

ඔවුන්ගේ සිය දිවි නසා ගැනීමට තැත් කිරීම් මසකට 32-34 ත් අතර ප්‍රමාණයක් බවද ඔහු සඳහන් කළේය.

කෙසේ නමුත් එම දත්ත නිල සංඛ්‍යාලේඛන මගින් තහවුරු කර ගැනීම අපහසුය.

එවන් තත්වයක් පවතින බව පිළිගත් මුලතිව් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවප්‍රකාශම් සිවමෝහන් සඳහන් කළේ ඒ සඳහා විසදුම් ලබා දීමේ වැඩ පිලිවෙලක් මේ දක්වා ක්‍රියාත්මක කර නොමැති බවයි.

ක්ෂුද්‍ර මුල්‍ය  ආයතන හා වාණිජ බැංකු මගින් ණය ලබා ගන්නා පුද්ගලයන් එම මුදල් කෘෂි කාර්මික කටයුතු හෝ වෙනත් අත්‍යවශ්‍ය කටයුතු වලට නොයොදවා වියදම් කිරීම ට පෙළඹීම ද මෙම ණය වාරික ගෙවීමට නොහැකි වීමට එක් ප්‍රධාන හේතුවක් ලෙස ඔහු දකියි.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ වාරික ගෙවීම පැහැරහරින විට ඇපකරුවන්ගෙන් පවා ණය කරුවාට තර්ජන සහ බැනුම් ඇසීමට සිදුවන බවයි.

ඉන් ඇතිවන මානසික පීඩනයත් සිය දිවි නසා ගැනීම් වලට ප්‍රධාන හේතුවක් බව මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

දිස්ත්‍රික් සංවර්ධන කමිටුවල සාමාජිකයන්ට තම බල ප්‍රදේශයේ ක්‍රියාත්මක රාජ්‍ය නොවන සංවිධාන සහ ක්ෂුද්‍ර මුල්‍ය  ආයතන හා වාණිජ බැංකු වල ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් සොයා බැලීමේ බලතල මේ වන විට ලබා දී ඇති බැවින් අපගේ දැනුවත් කිරිම පරිදි මීලඟ දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී ඒ සම්බන්ධයෙන් අනිවාර්යෙන් සාකච්ඡාවට ගන්නා බවට ද මන්ත්‍රීවරයා පොරොන්දු විය.

එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල පවසන පරිදි යාපනය දිස්ත්‍රික්කයේ පමණක් තිබෙන කාන්තා ගෘහ මූලික පවුල් සංඛ්‍යාව හතලිස් දහසකි.

සියදිවි නසා ගැනීම් වලින් ශ‍්‍රී ලංකාව ජාත්‍යන්තර වශයෙන් 22 වැනි ස්ථානයේ පසු වන බව හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල පසුගිය වසරේ ප්‍රකාශ කර තිබුණි.

2016 සැප්තැම්බර් මස 10 දිනට යෙදී තිබුණු ලෝක සියදිවි නසා ගැනීම වැළැක්වීමේ දිනය වෙනුවෙන් සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පැවති විශේෂ ප‍්‍රවෘත්ති සාකච්ජාවේදී ඔහු පවසා තිබුනේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ සියදිවි නසාගැනීම් වැළැක්වීමේ දත්ත වලට අනුව 2015 වසරේ දී පමණක් ලංකාව තුළ පුද්ගලයන් 3,000 ක් සියදිවි නසාගෙන ඇති බවයි.

සියදිවි නසා ගැනීමට බලපා ඇති හේතු අතර ආර්ථීක අහේනිය ද හේතුවක් ලෙස ඔහු පෙන්වා දී තිබුණි.

යුද්ධයෙන් පිරිමින් අහිමි වී පීඩාවට පත් ගෘහ මුලික කාන්තාවන් ණය උගුලක හිරකොට උතුරේ ජනතාව විනාශ මුඛයට ඇද දැමීමේ සැලසුමක් ඇතැයි චෝදනා කරමින් 2016 වසරේ වවුනියාවේ දී උද්ඝෝෂණයක් ද දියත් කර තිබුණි.

කාන්තාවන් බහුතරයක සහභාගිත්වයෙන් පසුගිය ඔක්තෝබරයේ පැවැත්වුණු උද්ඝෝෂණයේදී ඔවුන් ප්‍රධාන ලෙස බලකොට සිටියේ ක්ෂුද්‍ර මුල්‍ය  ණය දෙන  වාණිජ බැංකු වසා දමන ලෙසයි.

විවිධ ස්වයං රැකියා හඳුන්වා දෙමින් කාන්තාවන් ඉලක්ක කොට විශාල පොලියකට දෙන ණය ගෙවා ගත නොහැකි අයගේ නිවෙස් වලට පොලීසිය කැටුව බැංකුකරුවන් කඩා වැදීම නිසා එදිනෙදා ජීවිතය පවා පවත්වාගෙන යා නොහැකි තත්වයක් උදා වී ඇති බව උද්ඝෝෂකයන් එහිදී පවසා තිබුණි.

‘ප්‍රජාවක් විනාශ කිරීමේ අරමුණින් කාන්තාවන් ඉලක්ක කිරීම’ බැංකු කරුවන්ගේ අරමුණ වී ඇති බව උද්ඝෝෂකයන්ගේ ප්‍රධාන චෝදනාවකි.

2014 වසරේ සංඛ්‍යාලේඛන අනුව දේශීය නිෂ්පාදනයෙන් 42% කට හිමිකම් කී බස්නාහිර පලාතට වඩා 4% ක් පමණක් නිෂ්පාදනය කළ උතුරේ ණය දෙන බැංකු පවත්වාගෙන යාම ඊට උදාහරණයක් ලෙසින් ඔවුහු දක්වා තිබුණි.

තුවක්කු සහ ණය

වවුනියාවේ එම උද්ඝෝෂණය කැඳවා තිබු ජනතා සංවිධාන පවසන්නේ ආර්ථික පීඩාවෙන් පෙලෙන කාන්තාවන් සොයා ගම් වදින බැංකු කරුවන් රැවටිල්ලෙන් ණයට අද්දවා ගන්නා බවයි.

ඔවුන් පවසන පරිදි මින් ඇතැම් ණය රුපියල් දෙලක්ෂයක් තරම් විශාලය.

දෙමළ ජනතාව යුද්ධයෙන් අනතුරුව නැවත පදිංචියට ගිය මුල් යුගයේ ග්‍රාමීය මට්ටමේ බැංකු වලින් ණය දීම ආරම්භ කළත් පසු කලක ඒ වෙනුවට පෙරට පැමිණ ඇත්තේ ඉහළ පොලියට ණය දෙන සහ ලීසිං ක‍්‍රමයට භාණ්ඩ ලබා දෙන වාණිජ බැංකු  හා ආයතනයන්ය.

‘යුද්ධ කාලේ තුවක්කු, යහපාලන කාලේ ණය’ ‘ක්ෂුද්‍ර ණය මරු වැලකි’ ‘ණය දී හාමත් කරනු එපා’ ඇතුළු සටන් පාඨ පුවරු වවුනියාව නගර මධ්‍යයේ පැවති ණය කාරියන්ගේ උද්ඝෝෂණයේ දී ප්‍රදර්ශනය කර තිබුණි.

ග්‍රාමීය බැංකු

සැමියන්, පියවරුන්, සොහොයුරන් සහ පුතුන් යුද්ධය නිසා අහිමිවූ උතුරේ කාන්තාවන්ගේ ආර්ථික අභිවෘද්ධිය සැබවින්ම අපේක්ෂා කරන්නේ නම් රජය කළ යුත්තේ ඉහළ පොලී අනුපාත වලට මහා පරිමාණ ණය දෙන මුල්‍ය සමාගම් වසා දමා සුලු පොලියට කුඩා පරිමාණ ණය ලබාදෙන ග්‍රාමීය සහ සමුපකාර බැංකු ප්‍රවර්ධනය කළ යුතු බව උතුරේ ක්‍රියාත්මක සමාජ දැනුවත්භාවය සඳහා වන ජනතා සංවිධානය යෝජනාවයි.

යුද්ධයෙන් පසු උතුරු නැගෙනහිර ජීවත් වන වැන්දඹු හා හුදෙකලා කාන්තාවන්ගේ සංඛ්‍යාව අනුදහසක් වෙතැයි ගණන් බලා තිබේ.

‘මයික්‍රෝ ෆයිනෑන්ස්’ නොඑසේනම් ක්ෂුද්‍ර මූල්‍ය ණය ව්‍යාපෘති මේ වනවිට රට පුරා ව්‍යාප්ත වී හමාරය.

මුල් කාලයේදී මෙය සර්වෝදය වැනි රාජ්‍ය නොවන ආයතන කීපයක් රටේ දිළිඳු ප‍්‍රජාව ඉලක්ක කරගනිමින් ක‍්‍රියාත්මක කළ වැඩසටහනක් වුවද අද වන විට විවිධ රාජ්‍ය නොවන සංවිධාන, පෞද්ගලික ආයතන මෙන්ම පුද්ගලයන් විසින්ද මෙය පවත්වාගෙන යනු ලබයි.

ආසන්න වශයෙන් වාර්ෂිකව සියයට දොළහේ සිට සියයට හතලිස් හතර දක්වා අතර පරාසයන් තුළ රාජ්‍ය නොවන ආයතනයන් හා පෞද්ගලික ආයතන විසින් මෙම ණය ප‍්‍රදානය කරනු ලබයි.

උතුරේ විශාල දිළිඳු ජන පිරිසක් මේ ණය ලබාගන්නට පෙළඹ සිටින අතර ඔවුහු මේ වන විටත් ණය උගුලේ සිරකරුවන් වී හමාරය.

ජාතික ප්‍ර‍තිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යවරයා වශයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ කර ඇති නියෝගයට අනුව පසුගිය වසරේ ජුලි 11 දා මෙයට අදාළ 2016 අංක 6 දරණ ක්ෂුද්‍ර මූල්‍ය පනත ගැසට් පත්‍රය ප්‍ර‍කාශයට පත් කර ඇති බව අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය නිවේදනය කර තිබුනි.

දුප්පත් ජනතාවගෙන් වැඩි කොටසකට, ප්‍ර‍ධාන වශයෙන් කාන්තාවන්ට ණය පහසුකම් ලබා දෙන ක්ෂුද්‍ර‍ මූල්‍ය ණය ව්‍යාපාරය මෙරටදී යම් පාලන තන්ත්‍ර‍යකට යටත් වන පළමු අවස්ථාව එය බවයි රජය එහිදී සඳහන් කර තිබුනේ.‍

මහ බැංකුව පිළිගනී

උතුරේ ක්‍රියාත්මක ක්ෂුද්‍ර මුල්‍ය ආයතන විසින් ඉහල පොලී යටතේ ලබා දෙන ණය සම්බන්ධයෙන් මහ බැංකුව වෙත පැමිණිලි ලැබී ඇති බව මහ බැංකුව පිළිගනී.

මහ බැංකුව යටතේ ක්‍රියාත්මක වන ක්ෂුද්‍ර මුල්‍ය ආයතන අධික්ෂණ දෙපාර්තමේන්තුවෙන් කළ විමසීමකදී දැනගන්නට ලැබුනේ අදාල ගැසට් පත්‍රය නිකුත් කර මේ වන විට ගතවී ඇත්තේ මාස හතක පමණ කාලයක් වන අතර පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ ඒ හා සම්බන්ධ විධි විධාන නිකුත් කර ඇති බවයි.

ඒ යටතේ අදාල ක්ෂුද්‍ර මුල්‍ය ආයතන වලට මහ බැංකුව යටතේ ලියාපදිංචි වන ලෙස දැනුම් දී ඇති බව සඳහන් කළ ජ්‍යෙෂ්ඨ සහකාර අධ්‍යක්ෂ මිගාර හදුන්ගේ පැවසුයේ ඉන් පසුව ඒවායේ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් අධික්ෂණය කිරීමේ බලතල තම දෙපාර්තමේන්තුව වෙත පැවරෙන බවයි.

කෙසේ නමුත්, පනත ක්‍රියාත්මක වීමට පටන් ගත් දිනයේ සිට වසර එක හමාරක් ගතවු පසු මහ බැංකුවේ ලියාපදිංචි නොවු සම්ගම් සදහා “ක්ෂුද්‍ර මුල්‍ය” යන වචනය භාවිත කිරීම තහනම් බවද ඔහු වැඩි දුරටත් සදහන් කළේය.

පනත මගින් ලියාපදිංචියෙන් නිදහස් කර ඇති සමාගම් සහ සමාජ සේවා රෙජිස්ටාර් යටතේ ලියාපදිංචි වී ඇති රාජ්‍ය නොවන සංවිධාන වලට අයත් මුල්‍ය සමාගම් මහ බැංකුව යටතේ ලියාපදිංචි විය යුතු නොමැති බවයි ඔහු පවසන්නේ.

ක්ෂුද්‍ර මුල්‍ය පනත සම්මතවීම ඓතිහාසික අවස්ථාවක් ලෙස හැඳින්වූ අගමැති කාර්යාලය නෛතික රාමුවක් නොතිබූ නිසා ක්ෂුද්‍ර‍ ණය මුවාවෙන් සක්විති, දඬුවම් මුදලාලි වැනි කූට ව්‍යාපාරිකයන් බිහි වීම තුළින් අසරණ ජනතාව මුලාවට පත් වූ බව ද පවසා තිබුනි.

අක්‍ර‍මිකතාවලට අනාගතයේ ඉඩක් නොතබන බවට සාඩම්බර ප්‍රකාශ කරමින් සම්මත කරගන්නා අනපනත් ක්‍රියාවේ යෙදැවීමට රාජ්‍ය ආයතන මාස ගණන් ගතකරද්දී උතුරේ බහුතරයක් කාන්තාවන් ඇතුළු ජනතාවට සිදුවී ඇත්තේ බැංකුකරුවන් විසින් ලියා දී ඇති ණය මරු වැලේ එල්ලීගෙනම ඉන්නටයි.

චතුරංග රත්නමලල

2017

ගගන වෙබ් අඩවියේ ද පළ විය

සබැදි ලිපි

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.