ඉඩම් ඉල්ලන උතුරේ ජනතාවට ආණ්ඩුව කොකා පෙන්නනවා: බාහු

සේයා - රොෂාන් චතුරංග

හමුදාව වාඩිලාගෙන ඉන්නා මුල් ගම බිම් ඉල්ලා බලකරන කේපාපුලවු උද්ඝෝෂණයට සති තුනක් ඉක්ම ගොස් තිබියදීත් විසඳුමක් ලබා නොදීම ගැන කොළඹ පැවති විරෝධතා ව්‍යාපාරයකදී ආණ්ඩුව දැඩි දෝෂ දර්ශනයට ලක්විය.

දෙමළ සහ මුස්ලිම් ජනතාවට යුක්තිය සහ සාධාරණය ඉටු  කරන බවට පොරොන්දු ලබා දෙමින් බලයට පත් ආණ්ඩුව ජනතාව පාරට ඇද දමා ඇති බවට යහපාලන රජය බලයට පත් කිරීමට උර දුන් වාමාංශික නායකයෙක් එහිදී දැඩි ලෙස චෝදනා කර සිටියේය.

උතුරේ  ජනයාට අයත් ඉඩම් ආරක්ෂක අංශවල  අතින් අතට මාරුකරමින් පාලකයන්  ජනතාවගේ ජීවිත සමග  සෙල්ලම් කරන බවයි නව සම සමාජ නායකයා  පවසන්නේ.

ජනතාව තම ඉඩම්  ගැටලු වලට විසඳුම් ඉල්ලූ විට ආණ්ඩුව ජනතාවට කොකා පෙන්වන බව  ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න සදහන් කළේ ගුවන් හමුදාව විසින් හත් අවුරුද්දක් තිස්සේ අත්පත් කරගෙන සිටින තම  ඉඩම් ඉල්ලමින් කේපාපුලව් ජනතාව ආරම්භ කර තිබෙන උපවාසයට සහාය පල කිරීම සදහා කොළඹ පැවති උද්ඝෝෂණයකදීය.

“කේපාපුලව් ජනතාවගේ ඉඩම් වහා නිදහස් කරවු” පාඨය මුලික කර ගනිමින් කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී 22 බදාදා පැවැති එම විරෝධතාවය සංවිධානය කර තිබුනේ දේශපාලන පක්ෂ, වෘත්තිය සමිති සහ සිවිල් සංවිධාන විසිනි.

උතුරේ යුද්ධය පැවැති සමයේ ජනතාව ජීවත් වු ඉඩම් මේ වන විට රජයේ  හමුදාව විසින් කොල්ල කා ඇති බවට චෝදනා එල්ල කළ වාමාංශික නායකයා එහිදී අවධාරණය කළේ තමන් ඇතුලු පිරිස  සටන් කර නව ආණ්ඩුව පිහිටවූයේ  ජනතාවගේ ඉඩම් උදුරා ගැනීමට නොව  ජනතාවගේ උදුරා ගත් ඉඩම් ආපසු ලබා දීමට බවයි.‍

අලුත් ආණ්ඩුවක්

මේ ආණ්ඩුව යටතේ ජනතාවගේ ඉඩම් ගැටලුවට විසදුමක් නොලැබෙන්නේනම් ඒ සදහා විසඳුමක් ලැබෙන ආකාරය පිළිබදව සලකා බලන බවට රජයට අනතුරු ඇඟවූ ආචාර්ය වික්‍රමබාහු කරුනාරත්න වැඩි දුරටත් සදහන් කළේ  රජය ජනතාවගේ  ඉඩම්  ප්‍රශ්නයට විසඳුම්  ලබා නොදී සිටියොත් ලබා දීමට හැකි  ආණ්ඩුවක් කරා  යෑමට පසුබට නොවන බවයි.

අගමැති රනිල් වික්‍රමසිංහගෙන්, ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේනගෙන්  සහ ආරක්ෂක අමාත්‍යවරයාගෙන්  ආචාර්ය වික්‍රමබාහු කරුනාරත්න  එහිදී දැඩිව ප්‍රශ්න කළේ  රටේ බලය බෙදා දේශපාලන විසදුම් ලබා දී සියලු ජනතාවට පිලිගත හැකි විසඳුමක් කරා රට ගෙන යන්නේද නැත්තම් දෙමළ ජනතාව මුස්ලිම්  ජනතාව  පාරට ඇද දමා රට ලෝකය හමුවේ  විහිලුවක් බවට පත් කර එමගින් රටම විනාශ වෙන තැනකට ඇදගෙන යාමට සුදානම් වන්නේද යනුවෙනි.

හම්බන්තොට හා උතුරේ ඉඩම්

එක්සත් සමාජවාදී පක්ෂයේ නායක සිරිතුංග ජයසුරිය එහිදී සදහන් කළේ උතුරේ ජනතාවට ඉඩම් යනු බරපතල ප්‍රශ්නයක් බැවින් උතුරේ යුද්ධයක්  නැති තත්වයක් තුළ උතුරේ ජනතාවගේ ඉඩම් වල විශාල වශයෙන් හමුදා  කදවුරු පවත්වාගෙන යාම බරපතල තත්වයක්  බවයි.

චීන ආයෝජන සදහා හම්බන්තොට ඉඩම් ලබා දීමට හැකි ආණ්ඩුවට  උතුරේ ජනයාට තමන්ගේ ඉඩම් ලබා දීමට නොහැකි මන්දැයි ඔහු එහිදී ආණ්ඩුවෙන් ප්‍රශ්න කළේය.

උතුරේ ජනයාගේ  පාරම්පරික ඉඩම් එම ජනතාවට ලබා දෙන තුරු මෙන්ම අනවශ්‍ය ආකාරයෙන් උතුරේ රඳවාගෙන සිටින හමුදා ඉවත් කරන තුරු දිගින් දිගටම  අරගලයේ නිරත වන බව බවද ඔහු වැඩි දුරටත් අවධාරණය කළේය.

සේයා – රොෂාන් චතුරංග

බහුතරයක් වැන්දඹුවන්

ඉඩම් ඉල්ලා උපවාසයේ නිරත කේපාපිලව් ජනතාව අතරින්  බහුතරයක් ජනතාව  යුද්ධය හේතුවෙන් වැන්දඹුවන් බවට පත් වුවන් බවයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් එහිදී සදහන් කළේ.

එම ජනතාව සති තුනක් තිස්සේ තම ඉඩම් ඉල්ලා උද්ඝෝෂණයේ නිරතව සිටියත් යහපාලන ආණ්ඩුව නිදි බවට චෝදනා එල්ල කළ ගුරු සංගම් නායකයා ප්‍රශ්න කළේ “ආණ්ඩුවේ  සංහිදියාව මේකද” යනුවෙනි.

ආණ්ඩුවේ සන්හිදියාවක් පවතීනම් එම ජනතාවට  ඉඩම් ආපසු ලබා දීමට නොහැකි ඇයිදැයි ප්‍රහ්න කළ ඔහු  චෝදනා කළේ ආණ්ඩුව ලෝකය රවට්ටමෙින් සිටින බවයි.

ආණ්ඩුව දෙමළ ජනතාව පෙන්වමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය රවට්ටන බවද  ගුරු සංගම් නායකයා එහිදී  සදහන් කළේය.

ගුවන් හමුදාව විසින් හත් අවුරුද්දක් තිස්සේ අත්පත් කරගෙන සිටි ඉඩම් නිදහස් කළ බවට රජයෙන් ලද නිවේදනය පරිදි පදිංචියට ගිය අවස්ථාවේ බලධාරීන් විසින් ඊට අවසර දීමෙන් වැළකී සිටීමට විරෝධය පාමින් මුලතිව් දිස්ත්‍රික්කයේ යුද්ධයෙන් ගේදොර අහිමි වූ පිරිස ආරම්භ කළ   වාඩිලා ගැනීමේ උද්ඝෝෂණයට මේ වන විට සති තුනක් ගතවී තිබේ.

මුලතිව් දිස්ත්‍රික්කයේ කරෙයිතුරෙයිපත්තු ප්‍රාද්ශීය ලේකම් කොට්ඨාශයේ කේපාපුලව් ග්‍රාම නිලධාරී  වසමට  අයත්  පිලව්කුඩියිරුප්පු ග්‍රාමයේ මුල් පදිංචි කරුවන් එම විරෝධතාවය ආරම්භ කළේ  31 අඟහරුවාදා උදෑසනයි.

2017 පෙබරවාරි 22

“ගගන” වෙබ් අඩවියේ පළවිය

සබැදි ලිපි

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.