මන්නාරම් ධීවරයාගේ අස්වැන්න පිටස්තරයන් කොල්ල කෑම
නාවික හමුදාව විසින් අත්පත් කරගෙන සිටීම නිසා වෙරළ මුල් කොටගත් පාරම්පරික භූමිය අහිමි වීම සහ ධීවර බලධාරීන්ගෙන් එල්ල වන අනිසි බලපෑම් එසේ තිබියදී තමන් උපන් දේශයේත්, පිට දේශාන්තරවලත් ආක්‍රමණික යාත්‍රා මත්ස්‍ය සම්පත කොල්ල කමින් මන්නාරම් ධීවරයන්ගේ ජීවිකා වෘත්තියට වින කටින සැටි සුලු පටු නොවේ.
අසල්වැසි ඉන්දීය ධීවරයන්ගෙන් මුහුදු රස්සාවට දැඩි පහරක් එල්ල වී ඇති මන්නාරම් ධීවරයන්ගේ තවත් මැසිවිල්ලක් වන්නේ පාරම්පරික ධීවරයාට තමන්ගේ මුහුදේ මසුන් මැරීමට අවහිර ඇතත් සැතපුම් සිය ගණන් දුරින් ගෙනැවිත් පදිංචි කරන ලද පිටස්තරයන්ට හෝ කෝටිපති ව්‍යාපාරිකයන්ට හෝ ඒ කිසි තහංචියක් නොමැති බවයි.
ඉන්දීය ධීවර ආක්‍රමණය
ප්‍රදේශයේ ධීවරයන් මෙන්ම පළාතේ ධීවර නායකයන් ද අප සමග පැවසුයේ තමන් සතු සාගර සම්පත ඉන්දීය ධීවරයන් විසින් සුරා කෑම නිසා ඔවුන් දැඩි ආර්ථික අහේනියකට පත්ව ඇති ආකාරයයි.
මන්නාරම ධීවර සමුපකාර සමිති මහා සංගමයේ හා උතුරු ධීවර එකමුතුවේ සභාපති එන්.එම් ආලම් සහ පල්මුනේ ධීවර සමිතියේ සභාපති රාජ් කුමාර් කියා සිටියේ ඉන්දීය ධීවරයන්ට බියෙන් දේශීය ධීවරයන්ට මුහුදු යාමට හැකිවී ඇත්තේ සතියකට දින තුනක් පමණක් බවයි.
ලාංකීය ධීවරයන් ණය වී ලබා ගෙන ඇති ලක්ෂ ගණන් වටිනා දැල් ආම්පන්න විනාශ කර ඇති ඉන්දීය ධීවරයන් මසුන් මැරීමේ නිතරව සිටින දිනවල තමන් මුහුදු නොයන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
ධීවරයන් විසින් පසෙක ලා ඇති මසුන් කොටු නොවන දැල් ආම්පන්න බල්ලන්ගේ බළලුන්ගේ බුක්තියට සවි වී ඇති අයුරු මන්නාරම් වැල්ලේ දී අපට දැක ගත හැකි විය.
ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා විසින් කරනු ලබන විනාශකාරී දැල් පන්න ක්‍රමයක් කඩිනමින් අත්හිටුවීමට ශ්‍රී ලංකාවේ රජය විසින් කරන ලද ඉල්ලීමට ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයන් ජනවාරියේ පැවති සාකච්ඡා වලදී එකඟ වී නැත.
මුහුදු පත්ල සූරාගනිමින් මත්ස්‍ය ජනාවාස සහ සාමුද්‍රික පරිසර පද්ධති වලට හානි පමුනුවන ‘බොටම් ට්‍රෝලින්’ හෙවත් මුහුදු පතුල දැලින් සූරා මසුන් මැරීම “ප්‍රායෝගික කාලරාමුවක්” තුල ක්‍රමක්‍රමයෙන් නවතා දැමීම ඉන්දීය රජයේ සැලසුම බව ධීවර කටයුතු පිළිබඳ ඉන්දු ලංකා අමාත්‍ය මට්ටමේ සාකච්ඡා අවසානයේ දෙරට විසින් ප්‍රකාශයට පත් කර තිබුණි.
ඉන්දීය ධීවර යාත්‍රා ශ්‍රී ලංකා මුහුදු තීරයේ මසුන් මැරීම නිසා රටට රුපියල් කෝටි නවසීයක මුදලක් අහිමි වන බව මහින්ද අමරවීර අමාත්‍යවරයා මීට ඉහතදී ප්‍රකාශ කර තිබේ.
මුහුදු රැකියාවේ නිරත වන දිනක මන්නාරම එක් ධීවරයකුගේ දළ ආදායම රුපියල් 1000- 1500 ත් අතර ප්‍රමාණයකි. එයද සතියකට දින තුනක් පමණකි.
මත්පැන් සහ බත් මාළු
ධීවර බෝට්ටුවකින් ලැබෙන ආදායමෙන් හරි අඩක් මුදලාලිට දී ඉතිරිය ඉන්ධන සහ අනෙකුත් වියදම් සදහා කපා හැරීමෙන් පසු මුහුදු ගිය ධීවරයන් ට බෙදා ගැනීමට සිදු වන්නේ සුලු මුදලකි.
එම ආදායමෙනුත් සැලකිය යුතු ප්‍රමාණයක් ධීවරයාගේ ආහාර සදහාත් බොහෝ විට මත් පැන් සදහාත් වියදම් කිරීමෙන් පසුව ගෙදර ගෙන යන්නේ දිනකට රුපියල් 300 ක පමණ මුදලක් පමණක් බව පනංකට්ටුකොට්ටු මුහුදේ මසුන් මැරීමේ නිරතව සිටින අරුල් සදහන් කරයි.
ධීවර බෝට්ටු සියල්ලකම පාහේ අයිතිය ධීවරයන් සතු නොවී මුදලාලිලා සතු වීම ද තවත් අභග්‍යකි.
එවැනි තත්වයක් තුළ එම ධීවර ජනතාවගේ දරුවන්ට අධ්‍යාපනය ලබා දීමට සහ ආහාර පාන ලබා දීමටත් ප්‍රමාණවත් ආර්ථිකයක් ඔවුන් සතුව නොපවතින බව ඔහු අප සමග සඳහන් කළේ මහත් කණගාටුවෙනි.
තහනම් පන්න ක්‍රම යොදාගෙන දේශිය ධීවරයන් කරන මසුන් මැරීම නිසාද සුළු පරිමාණ ධීවර කටයුතු වල නිරත වන මසුන් මරන්නන් පත්ව ඇත්තේ ඉතා අසීරු තත්ත්වයකටය.
දකුණේ ධීවරයන්
මහා පරිමාණ ධීවරයන් විසින් ට්‍රෝලර්, සුරුක්කු ඇල්, තංගුස් දැල්, ඩයනමයිට් ආදී තහනම් ක්‍රම භාවිත කිරීම හේතුවෙන් මසුන් සහ කුඩා පැටවුන් විශාල වශයෙන් විනාශ වීමෙන් මත්ස්‍ය අස්වැන්න අඩු වී එය සෘජුවම සුලු පන්න ධීවරයන්ගේ මඩිස්සලයට බලපායි.
කුඩා පරිමාණයෙන් මසුන් මරණ ධීවරයන් වසරකට ලබන මත්ස්‍ය අස්වැන්න එක් දිනක් හෝ දින දෙකක් තුලදී නෙලා ගැනීමට තහනම් පන්න කරුවෝ සමත් වෙති.
ඒ හේතුවෙන් “විකුනන්න තියා කන්නවත්” මසුන් අල්ලා ගැනීම මේ වන විට අපහසු කාර්යයක් බව ඔවුන් එහිදී අප සමග වැඩි දුරටත් කියා සිටියේ.
මහා පරිමාණ ධීවරයන් විසින් මසුන් මැරීම සදහා සිදු කරන තහනම් ක්‍රම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ධීවර කර්මාන්තයේ වසර ගණනාවක අත්දැකීම් සහිත පේසාල ධීවර සංගමයේ හිටපු සභාපති එස්.එස්. පීරිස් අප සමග කියා සිටියේ ධීවර ප්‍රජාවට සහ ඔවුන්ගේ දරුවන්ට සම්පත් කළමනාකරණය සම්බන්ධයෙන් අධ්‍යාපනයක් ලබා දිය යුතු බවයි.
ඒ හරහා ඔවුන්ට ක්‍රමවත් ලෙස ධීවර රැකියාවේ නිරත වීමටත් ලැබෙන ආදායම කළමනාකරණය කර ගැනීමටත් හැකි වන බවට ඔහු විශ්වාසය පල කළේය.
මීගමුව හා හලාවත සිට මන්නාරමට පැමිණ මන්නාරම ප්‍රදේශයේ මසුන් මැරීමේ කටයුතු වල නිරතව සිටින දකුනේ ධීවරයන් පිරිසක් හමුවීම සදහා අපගේ ගමන් සගයා වු “කුට්ටි” අපව රැගෙන ගියේ මන්නාරම සවුත්බාර් වෙතයි.
සිලාවතුර, තලෙයිමන්නාරම ජැටිය, මුතු හලාවත ආදී ප්‍රදේශ වලද දකුණේ ධීවරයන් මසුන් මැරීමේ නිරතව සිටින බව එම ධීවරයන් තහවුරු කළහ.
උතුරේ මසුන් මැරීමේ කාල සීමාව අවසන් වීමෙන් ආපසු යලි තම ගම් බිම් බලා යන බවයි ඔවුන් අප හා ප්‍රකාශ කළේ.
කෙසේ වෙතත් මන්නාරම් ධීවරයන් අප හා කියා සිටියේ අතීතයේ මෙන් නොව දකුණෙන් පැමිණෙන ධීවරයන් මන්නාරමමේ පදිංචි වීමේ සුදානමක් පැවතීමද තමන් මුහුණ පාන ගැටලුවක් බවයි.
නාවික හමුදාවෙන් තම වෘත්තියට තර්ජන එල්ල වී නොමැති නමුත් විටින් විට ඉන්දීය ධිවරයන්ගෙන් කරදර විදින්නට සිදු වන බව දකුනේ ධිවරයන් ද සදහන් කළේය.
කුඹුරෙන් මුහුදට
පල්මුනේ මුහුදේ ධීවර කටයුතු වල නිරත ජී.වී මෙන්ඩිස් ජෙරාඩ් පවසන පරිදි ගොඩබිම කෘෂිකාර්මික හෝ කුලී වැඩ නොමැති වීම හේතුවෙන් එම පිරිස් ද ධීවර කටයුතු සදහා මුහුදට බැසීම නිසා සාම්ප්‍රධායික ධිවරයා තවත් අපහසුතාවයකට පත්ව තිබේ.
කෘෂිකාර්මික කටයුතු සදහා මිනිස් ශ්‍රමය යොදා නොගනිමින් එම කටයුතු සදහා යන්ත්‍ර සුත්‍ර යොදා ගැනීම හේතුවෙන් එම ජනතාවට රැකියා නොමැති කමින් එම පිරිස්ද ධිවර කර්මාන්තයට යොමුව තිබෙන බවයි මෙන්ඩිස් ජෙරාඩ් අප සමග කියා සිටියේ.
කෙසේ නමුත් ධීවරයන් මුහුණ දී සිටින දැඩි ආර්ථික අර්බුධය හමුවේ රජය මගින් ආධාර හෝ විශාම වැටුප් ක්‍රමයක් ඔවුන්ගේ බලාපොරොත්තුවක් වී තිබේ.
පවුල් එකොලොස් දාහක්
ධීවර පවුල් 11,000 ට අධික පිරිසක් මන්නාරම ආශ්‍රිතව මසුන් මැරීමේ නිරතව සිටින අතර එම පවුල් වල සාමාජිකයන් ප්‍රමාණය 40,000 ක් ඉක්මවයි.
කෙසේ නමුත් එතරම විශාල ප්‍රමාණයක් මසුන් මැරීමේ නිරතව සිටින මන්නාරම සදහා එකදු ධීවර වරායක් හෝ නොතිබීමද ඔවුන් මුහුණ පා සිටින විශාල ගැටලුවකි.
බෝට්ටු 4000 කට ආසන්න ප්‍රමාණයක් මසුන් මැරීමේ කටයුතු වල නිරතව සිටින්නේ ඔවුන්ට විසින්ම සකසා ගත් තාවකාලික තොටුපල 51ක් ආශ්‍රය කරගනිමිනි.
වසර ගණනක් තිස්සේ යුද්ධයෙන් බැටකෑ තමන්ට මේ වන විටත් ලැබෙන ආදායම ප්‍රමාණවත් නොවීම නිසාත් එදිනෙදා සහතික ආදායම නොලැබීමේ තත්වයක් උදා වී තිබීම නිසාත් සෑම දිනම ණය මත යැපීමට සිදුව තිබෙන බව මන්නාරම් ධීවරයන් බොහෝ දෙනෙක් අප සමග කියා සිටියහ.
අංග සම්පූර්ණ ධීවර වරායක්
යුද්ධය අවසන් වීමෙන් පසු උතුරු – නැගෙනහිර පළාත්වල ධීවර ජන ජීවිතය යථා තත්ත්වයට පත් ව ඇතැයි පවසන ආණ්ඩුව සඳහන් කරන්නේ පුත්තලම සිට යාපනය දක්වා මසුන් මරන්නන්ට තම ධීවර කටයුතු කරගෙන යාම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය නොවීම සැලකිල්ලට ගනිමින් මන්නාරම, වැල්ලමන්කර ප්‍රදේශය අංග සම්පූර්ණ ධීවර වරායක් ලෙස සංවර්ධනය කිරීමට කටයුතු සැලසුම් කර ඇති බවයි.
වැල්ලමන්කර ප්‍රදේශයේ හෙක්ටයාර 6ක භූමියක ඉදිකෙරෙන බව පවසන මෙම ව්‍යාපෘතියේ වැඩ 2018 වසර මැද වන විට අවසන් කිරීම රජයේ සැලසුමයි.
නාවික හමුදාව වාඩිලා සිටින වෙරළ කේන්ද්‍ර කොටගත් පාරම්පරික භූමිය මුදා දී, ධීවර බලධාරීන්ගෙන් එල්ල වන අනිසි බලපෑම් වලටත් කඩිනම් විසඳුමක් ලබා දිය යුතු සේම තමන් උපන් දේශයේත්, පිට දේශාන්තරවලත් ආක්‍රමණික යාත්‍රා මත්ස්‍ය සම්පත කොල්ල කමින් මන්නාරම් ධීවරයන්ගේ ජීවිකා වෘත්තියට එල්ල කර ඇති මරු පහරට තිර සාර විසදුම් ලබා දෙන තෙක් උතුරේ ධීවර ජනතාව මත බලහත්කාරයෙන් පටවා ඇති දරිද්‍රතාවයෙන් මිදීම සිහිනයක්ම පමණක් වනු ඇත.
සටහන : චතුරංග රත්නමලල
සේයා : රොෂාන් චතුරංග
2018
සබැදි ලිපි