‘මේක රටක්ද, නැතිනම් කනත්තක්ද?’ මන්නාරමේ පෙළපාලි

ශ්‍රී ලංකාවෙන් හමුවු සියලුම සමූහ සුසානවල කැනීම් කටයුතු ජාත්‍යන්තර ප්‍රමිතීන්ට යුතුව සිදු කරන ලෙස රජයට බලකරමින් මේ තාක් හමු වු විශාලතම සමුහ සුසානය පිහිටි මන්නාරමේදී විරෝධතාවයක් දියත් කර තිබේ.
“කෝ, කෝ අපේ නෑයන් කෝ, ශ්‍රී ලංකා රජය මේක රටක්ද, නැතිනම් කනත්තක්ද, ඕන ඕන ජාත්‍යන්තර පරීක්ෂණයක් ඕන, මිනිස්සුත් මිනි වළේ, යුක්තියත් මිනි වළේ,” ආදී සටන් පුවරු ප්‍රදර්ශනය කරමින් මන්නාරම අඩම්පන් හන්දියෙන් ආරම්භ කළ විරෝධතා පෙළපාලියකින් තිරුකේතීස්වරම් සමූහ මිනීවළ තෙක් පැමිණි මන්නාරම් වාසීන් එහිදී විරෝධතා දක්වමින් රජයට බල කර තිබුනේ සමුහ සුසානවල කැනීම් කටයුතු විනිවිදභාවයකින් සිදු කරන ලෙසයි.
බාල දරුවන් 28ක ඇතුළු මිනිස් සිරුරු කොටස් 376 ක් සොයාගත් මන්නාරම සතොස සමුහ මිනී වළ ශ්‍රී ලංකාවෙන් මේ තාක් හමු වු විශාලතම සමුහ සුසානය ලෙස සැලකේ. ශ්‍රී ලංකාවේ සිව්වැනියට විශාලතම සමුහ සුසානය ලෙස දැන් පිලිගැනෙන්නේ 2013 වසරේදී මිනිස් සිරුරු 82 ක අස්ථි කොටස් ගොඩ ගත් මන්නාරම, තිරුකේතීස්වරම් සමූහ මිනී වළයි.
පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ කළු ජූලි සතියේ දෙවැනි දවස වන ජුලි 24 වැනිදා සංවිධානය කර තිබු මෙම විරෝධතා පා ගමන කෙලවර තිරුකේතීස්වරම් සමූහ මිනී වළේ සැතපී සිටි දෙමළ ජනයා මලින්, පහනින් අනුස්මරණය කිරීමක්ද සිදු කළ බවයි.
විරෝධතාවයට නායකත්වය දුන් මාන්තෙයි, බටහිර බහුජන සංවිධාන එකමුතුවේ නායකයකු එහිදී මාධ්‍යවේදීන් හමුවේ පවසා තිබුනේ වර්ග සංහාරයට සාක්ෂියක් සපයන තිරුකේතීස්වරම් සමූහ මිනි වළට යුක්තිය ඉටු කිරීමද මේ වන විට යටගොස් ඇති බවයි.
“ශ්‍රී ලංකා රජය මිනි වළවල් ගැන නිසි පරීක්ෂණයක් කරන්නේ නැතුව ගැලවිජ්ජාවට පරීක්ෂණ පවත්වමින් කාලය ගත කිරීමට උත්සාහ කරනවා. අපි දැන් සිටින තිරුකේතීස්වරම් මිනි වළ පවා වර්ග සංහාරයකට සාක්ෂියක්. නමුත් කැණීමෙන් පසු එය දිගු කලක් තිස්සේ යටගිහින් තියනවා. උතුරු නැගෙනහිර පුරාම මෙම තත්වය පවතිනවා. මෑතකදී සොයාගත් චෙම්මනි හි කැණීම් සිදු කලත් එය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සිදු කරන්නේ නැහැ”.
පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ මාන්තෙයි, බටහිර බහුජන සංවිධාන එකමුතුව සිය විරෝධතාවය හමාරයේ සිය ඉල්ලීම් ඇතුළත් සංදේශ ජනාධිපතිවරයා, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාව සහ, එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත යොමු කිරීම සදහා මන්නාරම පුරවැසි කමිටුවේ සභාපති සන්දියෝගු මාර්කස් පියතුමා වෙත බාර දුන් බවයි.
මන්නාරම පුරවැසි කමිටුවේ සභාපති සන්දියෝගු මාර්කස් පියතුමා එහිදී රජයෙන් ඉල්ලා සිටියේ උතුරු නැගෙනහිරින් අහඹු ලෙස හමුවු සියලුම සමුහ සුසාන තුළ සැතපී සිටින සිය සමීපතමයන්ට යුක්තිය ඉටුකිරීම වෙනුවෙන් ජාත්‍යන්තර ප්‍රජාව සමග එක්ව කටයුතු කරන ලෙසයි.
“අපේ ඥාතීන් මිහිදන් කර ඇති මේ භූමියේ (තිරුකේතීස්වරම්) ඉඳලා මම ඉල්ලා සිටින්නේ වළලනු ලැබූ පුද්ගලයන් කවුද කියලා හදුනා ගන්න ඕන කියලයි. උතුරු නැගෙනහිරින් හමුව ඇති සමුහ මිනි වළවල් ඇතුලේ ඉන්න අපේ ඥාතීන්ව මිහිදන් කළ අය නීතිය හමුවට ගෙනල්ලා තම ඥාතීන් අහිමි වූ අයට යුක්තිය ඉටු කරන්න ජාත්‍යන්තර ප්‍රජාව සමග එකතු වෙලා වැඩ කරන්න කියලා මම ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටිනවා.”
පොලිස් බාධක මැද්දේ ජුලි 17 වැනිදා වෘත්තීය සමිති නායකයන් හා බහුජන සංවිධාන එක්ව කොළඹ පැවැත්වූ විරෝධතාවකදී රජයට බලකර සිටියේ රටපුරා විසිරී ඇති බවට විශ්වාස කෙරෙන විස්සකට අධික සමූහ මිනීවළවල් සම්බන්ධ විමර්ශන ආරම්භ කරන ලෙසයි.
යුද පීඩිත උතුරෙන් අලුතින්ම හමුවූ සමූහ සුසානය වන දැනට විශාලත්වයෙන් තුන්වැනි තැන ගන්නා චෙම්මනි ප්‍රමුඛ සමූහ සුසානවල විමර්ශන සාර්ථක කරගැනීම සඳහා අංගසම්පුර්ණ දායකත්වයක් දෙන ලෙස රජයට නිර්දේශ කරන මෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත පසුගියදා ඉල්ලීම් ඉදිරිපත් වී තිබුනි.
“සමූහ මිනී වළවලින් සිරුරු ගොඩගැනීම, සාක්ෂි සංරක්ෂණය කිරීම, පලදායී පරීක්ෂණ පැවැත්වීම සහ මියගිය පුද්ගලයන් හඳුනා ගැනීම සඳහා ප්‍රමාණවත් මූල්‍ය සම්පත්, විශේෂඥතාව සහ තාක්ෂණය සලසා දීම,” ට ආණ්ඩුවට නිර්දේශ කරන මෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ කමිටුවට යවන ලද අලුත්ම වාර්තාවෙන් යෝජනා කර තිබේ.