සැමුවෙල් බෝපගේ සහෝදරයාගේ සමුගැනීම

සේයා - කීර්ති

දුම්රිය සේවකයෙකු ලෙස තම ජීවිතය ඇරඹූ සැමුවෙල් බෝපගේ සහෝදරයාට තමන්ගේ වෘත්තීය සම්බන්ධතා තුලින් ස්වාභාවිකවම යුක්තිය-සාධාරණත්වය හා සමානාත්මතාවය පිලිබද දැනුවත්කම හිමිවූයේ ය.

ඒ අයුරින්ම යුක්තිය – සාධාරණත්වය හා සමානාත්මතාවය යනු තමන් ජීවත්වන ලෝකයට අවේණික වූ ආදර්ශ පාඨය වුවද, ඒවා ජීවමාන කර ගැනීමට නම් සමාජයේ පංති විශමතාවයන් සමග අනවරත අරගලයක් පවතින බවද ඔහු දැනුවත් වූයේ ය.

සමාජයේ විශම පංතීන් අතර මේ අරගලය සදාකාලික වූවක් ද? එහි අරුත විශමතා ද සදාකාලික වන බව ද? එසේ නම් යුක්තිය – සාධාරණත්වය හා සමානාත්මතාවය යනු කිසිදා යථාර්තයක් නොවන, සමාජ විශමතාවයන් ආවරණය කරන්නාවූ වහන්තරාවක් පමණක් ද?   

එය එසේ නොවන බවත්, සමාජ විශමතාවයන්ට එරෙහි අරගලයක් මඟින් විශම සමාජය ඉක්මවා යා යුතුව ඇති බවත් යන දැනුම සම සමාජ ව්‍යාපාරය මගින් ඔහු වෙත ගලාගෙන ආවේ ය.

වැටුප්, සේවා අයිතිවාසිකම් ආදී එදිනෙදා ජීවිතයේ යහ පැවැත්ම වෙනුවෙන් සංවිධානය වී සටන් කිරීම වෙනුවන් තමන් ස්වාභාවිකවම ලත් දැනුමට එහා යන දැනුමක් පවතින බව ඔහු දුටුවේ සම සමාජ ව්‍යාපාරය තුළිනි. ඒ අනුව යුක්තිය – සාධාරණත්වය හා සමානාත්මතාවය සදහා අරගලය එදිනෙදා වෘත්තීය අරගලය ඉක්මවා යන දේශපාලන අරගලයක් සමග බැදී පවතින බව ඔහු දැන සිටියේ ය.

සම සමාජය එදා ගෙන ආ දැනුම තුලින් දේශපාලන අරගලයට පිවිසි තරුණ බෝපගේ, තම නායකයන් සමාජවාදයට මාවත ලෙස ඉදිරිපත් කළ රජ සතුව හා කුටුම්බ ආර්ථික සැලසුම් ලෝක ධනේශ්වර ක්‍රමයේ ආර්ථික අර්බූදය මධ්‍යයේ බිඳ වැටෙනු අත් දුටුවේ ය. තම නායකයන් සභාග ආණ්ඩුවෙන් දොට්ට දමමින්, එහි ධනපති පංතියේ දේශපාලනඥයන් වෙනම දේශපාලන හා ආර්ථික ප්‍රතිපත්තියක් දියත් කරනු අත් දුටුවේ ය.

මේ මාවත වැරදියි. වෙනත් මාවතක් තිබිය යුතුයි. ඒ අනුව පංති අරගලය හා සමාජ අරගලය අතර ඇති සම්බන්ධතාවය තුළින් වඩා යථාර්තවාදී මාවතක් යෝජනා කළ, සම සමාජ පක්ෂයේ වමේ කණ්ඩායම සමග එක් වූ සැමුවෙල් බෝපගේ සහෝදරයා නව සම සමාජ පක්ෂය බිහි කිරීමේ පුරෝගාමියෙක් වූයේ ය.

1976 හා 1980 මහා වැඩවර්ජනයන්හි නායකයකු ලෙස විශාල වැඩ කොටසකට උරදුන් බෝපගේ සහෝදරයා 1980 මහා වැඩවර්ජනයේ පරාජයත් සමග ලංකාවේ දේශපාලනයේ දී පෙර නොවූ විරූ අයුරින් ඉහලට පැමිණි සමාජ අරගලයේ ගැටළු වලට මුහුණ දුන්නේ ය.

අඩු දියුණු රටක් ලෙස ලංකාව වැනි රටක පංති අරගලය හා සමාජ අරගලය අතර පවතින නොබිදිය හැකි අන්තර් සබදතාවයන් තුළින් විප්ලවකාරී බලවේග ඉස්මතුවන හෙයින්, ඒ අනුව ඉදිරිපත් කළ යුතු සංක්‍රමණීය ඉල්ලීම් ඉදිරිපත් කිරීමට නව සම සමාජ පක්ෂය නිරන්තරව ක්‍රියාත්මක විය. 

එදිනෙදා වෘත්තීය ඉල්ලීම් ඉක්මවා, සමාජ ඉල්ලීම් ඔස්සේ ප්‍රජාතන්ත්‍රීය අරගලය මතුවෙද්දී හුරුපුරුදු පැරණි සටන්පාඨ ඉක්මවා යනු දකින සැමුවෙල් බෝපගේ සහෝදරයා, අවස්ථා ගණනාවක දීම දේශපාලන වියවුල් වලට සෘජුව සිට මුහුණ දුන්නේ ය.

මේ ප්‍රශ්න මත පක්ෂය තුළ ඇති වූ විවාදයන් හා කාණ්ඩ ගැසීම් වල දී, කෙටිකාලීනව බෝපගේ සහෝදරයා ඒ සමඟ සම්බන්ධතා පැවැත්වූවත් කිසි දිනක හෝ යුක්තිය-සාධාරණත්වය හා සමානාත්මතාවය ඊනියා රජසතු දේපල ක්‍රම හෝ දේශීය ආර්ථික මගින් සාක්ෂාත් කර ගැනීම යන සභාගවාදයේ මලගිය ධනේශ්වර සංශෝධනවාදකට හෝ ප්‍රතිසංස්කරණවාදයකට යලි ඇතුල් නොවී ය.

ඒ වෙනුවට ඔහුගේ විශේෂත්වය වූයේ අව්‍යාජ පංති සටන්කරුවෙක් ලෙස තමන් සතු වූ දේශපාලන ඉව ඔස්සේ යලි යලිත් ප්‍රජාතන්ත්‍රීය අරගලයේ විප්ලවකාරී මාවතට පිවිසීම යි.

විප්ලවවාදී ව්‍යාපාරයක ස්ථීරසාර පන්නරය ප්‍රකාශ වන්නේ මතභේද හා කම්පාවීම් කිසිවක් නොමැතිවීම තුළින් නොව, අතිශයින්ම දුෂ්කර අවස්ථාවන් හි දී, අභ්‍යන්තර අර්බූදයටන්ට මුහුණ දෙමින් නියම අවස්ථාවේ දී තමා ව හරිබරි ගස්සාගෙන, සිද්ධීන් තුළට තීරණාත්මක ලෙස මැදිහත්විමට අවස්ථාව සලසා ගැනීම තුළින් බව බෝපගේ සහෝදරයා සැම විටම මතකයට නංවා ගත්තේ ය. 

තමන්ගේ ඉදිරි දැක්ම අනුව සුපුරුදු පරිදි දේශපාලන අරගලයන් හි ප්‍රායෝගිකව නිරත වීමට තරම් කාලය මඟින් දුබලතාවයට පත් කරන සිරුර ශක්තිය නොසැපියේ වී මුත්, බෝපගේ සහෝදරයා හැකි සෑම අයුරින් තම ඓතිහාසික වගකීම ඉටුකිරීම සඳහා වැර දැරී ය.

ඒ අනුව මානව ඉතිහාසය ගොඩනැගීම වෙනුවෙන් සැමුවෙල් බෝපගේ සහෝදරයා ඉටු කළ මෙහෙයට තම ගෞරවය පළ කරමින්, නව සම සමාජ පක්ෂය විසින් සැමුවෙල් බෝපගේ සහෝදරයා ලෙනින් සම්මානයෙන් පුද කරන ලද්දේ ය.

බෝපගේ සහෝදරයාට නව සම සමාජ පක්ෂය තමන්ගේ විප්ලවීය ආචාරය මෙසේ පළ කර සිටිමු.

2021 පෙබරවාරි 12

මූලාරම්භයේ සිටම “හරය” ගොඩනැගීම වෙනුවෙන් දිගින් දිගටම කටයුතු කළ සැමුවෙල් බෝපගේ සහෝදරයාට හරය ආචාරය මේ සමඟ පුද කරමු.

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.