මේ ආණ්ඩුවෙනුත් දෙමළ විරෝධී සමුලඝාතන ගැන ‘යුක්තිය ඉටුවෙන්නේ නෑ’

දෙමළ ජනයාට එරෙහිව සිදු කළ සමුල ඝාතන ඇතුළු අසාධාරණකම් වලට වත්මන් රජය හෝ යුක්තිය ඉටු කර නැතැයි චෝදනා කරන උතුරේ ප්‍රධානතම දෙමළ දේශපාලන පක්ෂයේ නායකයා යුක්තිය ඉටු වන රටක් අපේක්ෂා කළද ජීවත් වීමට සිදුව ඇත්තේ යුක්තිය ඉටු නොවන රටක බව අවධාරණය කර තිබේ.

“ඒ අසාධාරණයට තාම යුක්තිය ලැබිලා නෑ. මේ රටේ ප්‍රහාර, විනාශ සහ පීඩා සඳහා යුක්තිය ලැබෙන්නේ නැහැ කියන එකට ආරම්භය තමයි 74 මේ සිද්ධිය. මේ රජය තවමත් යුක්තිය ඉටු කරලා නැහැ. සමූලඝාතනවලට යුක්තිය ඉටු වෙලා නැහැ. අනෙක් අතට, යුක්තිය ඉටු වන රටක් අප අපේක්ෂා කළත්, අපි ජීවත් වන්නේ යුක්තිය ඉටු නොවන රටක.”

ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK) නායක සී.වී.කේ.ශිවඥානම් ඒ බව සදහන් කළේ උතුරේ පැවැති ජාත්‍යන්තර සම්මේලනයක් අතරතුරදී වසර පනස් දෙකකට පෙර පොලීසිය විසින් වෙඩිතබා ඝාතනය කළ නම දෙනකු යාපනයේදී අනුස්මරණය කිරීමට එක්වෙමිනි.

පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ සිව්වැනි ජාත්‍යන්තර දෙමළ පර්යේෂණ සම්මේලනයේ සමාප්ති දිනයේ පොලිස් ප්‍රහාරයකින් 1974 වසරේදී ජීවිත අහිමිවූ නම දෙනකු සිහිකිරීම සදහා යාපනය වීරසිංහ ශාලාව අබියස ඉදිකර තිබෙන සමාධිය වෙත මලින් පහනින් උපහාර දැක්වීමට ඉලංගෙයි තමිල් අරසු කච්චි, දෙමළ ජනතා නියෝජිතයන් හා සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් කටයුතු කළ බවයි.

දෙමළ ජනයාට කුමන ආකාරයේ විනාශයන්ට මුහුණ දීමට සිදු වුවද සිය ජාතියේ ස්වයං නිර්ණය වෙනුවෙන් සටන් කිරීමට එම ස්මාරකය අභියසදී ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK) නායකයා සපත කර තිබුනි.

“දෙමළ ජාතිය නැවත නැවතත් කුමන විනාශයකට මුහුණ දුන්නත්, යථා තත්වයට පත්වන ජාතියක් ලෙස, යම් ආකාරයකින් අපගේ ස්වයං ස්වාධීනත්වය සහ ස්වයං නිර්ණය ස්ථාපිත කිරීමට අපි මේ අයගේ ආත්මය ඉදිරියේ අපි දිවුරුම් දෙනවා. සාමකාමී ක්‍රම මගින් දේශපාලන ස්වාධීනත්වය ලබා ගැනීමට අපි අධිෂ්ඨාන කර ගමු.”

සිව්වැනි ජාත්‍යන්තර දෙමළ පර්යේෂණ සම්මේලනයේ සමාප්ති දිනයේ පොලිස් ප්‍රහාරයකින් 1974 වසරේදී නම දෙනකුට ජීවිත අහිමි වන විට ඉලංගෙයි තමිල් අරසු කච්චි නියෝජනය කරමින් එවකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ සොලමන් එස්. සිරිල් මෙන්ම යාපනය මහනගර සභාවේ නගරාධිපතිනි විවේකානන්දරාජා මදිවදනි එම අනුස්මරණයට එක්ව සිටියහ.

50 ට වැඩි පිරිසකට තුවාල

දෙස් විදෙස් උගතුන්ගේ දායකත්වයෙන් 1974 ජනවාරි 3 දායින් ඇරැඹී පුරා සතියක් තිස්සේ පැවති සිව්වැනි දෙමළ ජාත්‍යන්තර පර්යේෂණ සම්මේලනයේ අවසන් දිනයේ දී නොදන්වාම සම්මේලන භූමියට ඇතුල්වූ යාපනයේ සහකාර පොලිස් අධිකාරි එස්. කේ චන්ද්‍රසේකර ගේ නායකත්වයෙන් යුත් පොලිස් භට කණ්ඩායමක් විසින් වෙඩි තබන ලද්දේ කීර්තිමත් තමිල්නාඩු විද්වතකු වූ මහාචාර්ය නයිනා මොහමඩ් සිය දෙසුම පවත්වමින් සිටියදීය.

සමුළුව කොළඹ පවත්වන ලෙස බල කරමින් සිරිමා බණ්ඩාරනායක ආණ්ඩුව කළ බාධා නොතකා යාපනයේම එය උත්සවාකාරයෙන් පැවැත්වීමට සංවිධායකයෝ සමත් වී සිටියහ.

ජීප්රථ සහ වෑන්රථ වලින් පැමිණි පොලිස් භට පිරිස් යාපනයේ වීරසිංහම් ශාලාව ඉදිරිපිට ඉදිකර තිබු වේදිකාව අබියස රැස්ව සිටි දහස් සංඛ්‍යාත ජනකායක් වෙත බැටන් පොලුවලින්, රයිෆල් කඳන් වලින් පහර දෙමින් වෙඩි තැබූ බව සමුළුවට එල්ලවූ ප්‍රහාරයෙන් දිවි ගලවා ගත්තවුන් පසුව පවසා තිබුනි.

පොලිසිය වෙඩි තැබීමෙන් කඩා වැටුනු විදුලි රැහැන් ද ප්‍රහාරයෙන් බේරීමට පලා යන පිරිස් මත ඇද වැටී තිබේ.

පොලිස් ප්‍රහාරයෙන් නම දෙනකු මරා දමන ලද අතර නගරය අවට දේපල විනාශ වී තවත් 50 කට වැඩි ගණනක් බරපතල තුවාල ලැබුහ.

සේවයක් මිස බලකායක් නොවේ

සිද්ධිය පිළිබඳව විමර්ශනය කිරීමට හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඔස්වල්ඩ් ලෙස්ලි ද ක්‍රෙස්ටර් ගේ ප්‍රධානත්වයෙන් පත් කරන ලද ත්‍රිපුද්ගල කොමිසම තීන්දු කර තිබුනේ පොලිසිය තම රාජකාරිය නිසි පරිදි අවබෝධ කර නොගෙන දියත් කළ ප්‍රහාරය කිසිසේත් යුක්ති සහගත කළ නොහැකි බවයි.

“තමන්ගේ රාජකාරිය ඇත්තේ පොලිස් සේවයක මිස පොලිස් බලකායක නොවන බව පොලිස් නිලධාරීන් වටහා ගත යුතුයි,” යනුවෙන් ‘ජනවාරි 10 ඛේදවාචකය’ නම් කොමිසන් වාර්තාව පවසයි.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු වී මානික්කවාසගර් සහ යාපනයේ හිටපු අගරදගුරු සබාපති කුලේන්ද්‍රන් සාමාජිකත්වය දැරූ කොමිසම 1974 පෙබරවාරි 18 දින ප්‍රකාශයට පත් කළ වාර්තාවේ මෙසේද දැක්වේ.

“නිරායුද පුරවැසියන්ට මේ රාත්‍රියේ (1974 ජනවාරි 10) ප්‍රචණ්ඩ සහ අනවශ්‍ය ප්‍රහාරයක් දියත් කිරීම සම්බන්ධයෙන් පොලිසිය වරදකාරී වන බව අප විසින් එළැඹි නොවැලැක්විය හැකි නිගමනයයි. ඉතා දුෂ්කර අවස්ථා වලදී පවා කල්පනාකාරීව කටයතු කිරීමට බැඳී සිටින සිවිල් පොලිස් බලකායකින් අපේක්ෂා කෙරෙන නිවැරදි විනිශ්චයකට එළඹීමේ හැකියාව ඔවුන් සතුව නොතිබීම අපේ බලවත් කනස්සල්ලට හේතු වෙයි. ශාරීරික හානි සහ දේපල හානි සිදුවූයේද, ජීවිත හානි සිදුවූයේද, පොලිස් නිලධාරියකු විසින් ගන්නා ලද මුළුමනින්ම වැරදි සහගත සහ අමනෝඥ තීරණයකින් දියත් වුනු සිද්ධි දාමයකට අහිංසකයන් බිලි වීමෙනි. අනාරක්ෂිත සහ අහි පුරවැසියන් මත්තේ මුදාහරින ලද පොලිස් ප්‍රහාරය කිසිසේත් යුක්ති සහගත කළ නොහැක.”

අපරාධය සම්බන්ධයෙන් කිසිවකුදු දඬුවම් නොලද මුත් ප්‍රහාරක බලඇණියට අණදුන් සහකාර පොලිස් අධිකාරි චන්ද්‍රසේකර ඒ අවුරුද්දේම පොලිස් අධිකාරි පදවියට උසස්වීමක් ලද්දේය.

The Leader

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.