හමුදා නිලධාරී සුනිල් රත්නායක විසින් මරා දමන ලද අටක් සැමරේ

miruvisal massacre
සේයා අන්තර්ජාලයෙන්

එල්ලුම් ගසට නියමව සිටියදී ජනාධිපති සමාව ලබා ගෙදර ගිය සොල්දාදුවකු ඇතුළු රජයේ යුද හමුදා භටයන් විසින් වසර විසි දෙකකට ඉහත දී සමූහඝාතනය කළ දෙමළ අට දෙනකු උතුරේදී අනුස්මරණය කර තිබේ.

පස් හැවිරිදි ළදරුවකු ඇතුළු ඝාතනයට ලක් වු දෙමළ අට දෙනා මිරුසුවිල් පල්ලිය ඉදිරිපිටදී දෙසැම්බර් 20 වැනි අගහරුවාදා අනුස්මරණය කර ඇත්තේ ඔවුන්ගේ පවුල් වල ඥතීන් විසිනි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. කේ සිවාජිලිංගම්, චාවකච්චේරිය ප්‍රාදේශිය සභාවේ සභාපති ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටි බව පළාත් බද මාධ්‍යවේදීන් වැඩි දුරටත් සදහන් කරයි.

ඥානපාලන් රවිවීරන්, සෙල්ලමුත්තු දේවකුලසිංහම්, විල්වරාජා ප්‍රදීපන්, සින්නයියා විල්වරාජා, නඩේසු ජෙයචන්ද්‍රන්, කදීරන් ඥානචන්ද්‍රන්, ඥානචන්ද්‍රන් ශාන්තන් සහ පස් හැවිරිදි විල්වරාජා යාපනයේ මිරුසුවිල් හිදී 2000 දෙසැම්බර් 19 දා ඝාතනය කිරීම සම්බන්ධයෙන් දඬුවම් ලැබූ එකම හමුදා නිලධාරියා වුයේ රත්නායක මුදියන්සේලාගේ සුනිල් රත්නායකයි.

ඔහු රාජකාරි කළේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙන්ම ආරක්ෂක ලේකම්ද අණදෙන නිලධාරීන් ලෙස සේවය කළ ගජබා රෙජිමේන්තුවේයි.

එල්ලුම් ගසට නියම වී සිටි රත්නායක මුදියන්සේලාගේ සුනිල් රත්නායක හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් 2020 වසරේ මාර්තු මාසයේදී නිදහස් කර ගෙදර යැව්වේ දෙමළ අට දෙනා යාපනයේ මිරුසුවිල් හිදී 2000 දෙසැම්බර් 19 දා ඝාතනය කිරීම සම්බන්ධයෙන් මහාධිකරණයෙන් ලබා දුන් දඬුවම, 2019 වර්ෂයේ අප්‍රේල් මස, බුවනෙක අලුවිහාරේ,නලින් පෙරේරා,සිසිර ද ආබෘ, ප්‍රියන්ත ජයවර්ධන හා මුර්ධු ප්‍රනාන්දු යන පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් සනාථ කර තිබියදීය.

ඔහු නිදහස් කර යැවීම එක්සත් ජාතීන්ගේ සංවිධානය හා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව ඇතුළු ජාත්‍යන්තර බලවතුන්ගේ දැඩි හෙලා දැකීමට ලක්වු අතර නීතියේ ආධිපත්‍යය සහ ප්‍රජාතන්ත්‍රවාදී සාරධර්ම ආරක්ෂා කිරීමට කැපවී සිටින ලාංකික සංවිධාන 22 ක් ඒකාබද්ධව නිකුත් කළ නිවේදනයක් මගින් පෙන්වා දී තිබුනේ ඕනෑම අපරාධයක් කරන හමුදා නිලධාරීන්ට ගැලවී යා හැකි බවට බිය ජනක පනිවිඩයක් ජනාධිපති විසින් සමාජගත කරනු ලැබ ඇති බවයි.

TheLeader

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.