ගෝඨාභය ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණයට යවන ලෙස ඉල්ලීමක්

සේයා අන්තර්ජාලයෙන්

දෙමළ වර්ග සංහාරයට රටින් පලා ගොස් සිටින හිටපු ජනාධිපතිවරයා කටයුතු කළ බවට චෝදනා කරන යුද පීඩිත උතුරු නැගෙනහිර මව්වරුන් පිරිසක් ඔහු ජාත්‍යන්තර යුද අධිකරණයට ඉදිරිපත්කරන ලෙස ඉල්ලමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය ලිපියක් යොමු කිරීමට යෝජනා ස්ථිර කරගෙන තිබේ.

උතුරු නැගෙනහිර නියෝජනය කරන දෙමළ දේශපාලන පක්ෂ වල නියෝජිතයන් කිහිප දෙනෙකු , සිවිල් සංවිධාන හා මානව හිමිකම් ක්‍රියාධරයන් ඇතුළු උතුරු නැගෙනහිර බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමට ලක් වූවන්ගේ ඥාතීන්ගේ දිස්ත්‍රික් සංවිධාන වල නියෝජිතයන් අගෝස්තු 20 වැනි සෙනසුරාදා වව්නියාව නගර සභා මණ්ඩපයේ පැවැත්වු සාකච්ඡාවකදී එම තීරණය ගත් බව පළාත් බද වාර්තාකරුවෝ පවසති.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය සැප්තැම්බර් 12 වැනිදා සිට මාසයකට ආසන්න කාලයක් ජිනීවා නුවරදී මුළු දීමට නියමිතය. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ආරක්ෂා කිරීමට අවශ්‍ය නිර්දේශ සමග මහ කොමසාරිස් මිෂෙල් බැෂලේගේ විශේෂ වාර්තාවක් එහිදී ඉදිරිපත් කරනු ඇත.

“දෙමළ ජන සංහාරයට සම්බන්ධ ගෝඨාභය රාජපක්ෂ ඇතුළු පාර්ශවයන් ජාත්‍යන්තර යුද අධිකරණයට ඉදිරිපත් කර දඬුවම් කළ යුතුය,” යි මාධ්‍ය හමුවකට එක්වෙමින් උතුරු නැගෙනහිර බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමට ලක් වූවන්ගේ ඥාතීන්ගේ සංගමයේ ලේකම් ලීලාදේවි ආනන්ද නඩරාජා සදහන් කළාය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (UNHRC) 51 වැනි සැසිවාරය සදහා සිය යෝජනා ඇතුලත් ලිපි දෙකක් යොමු කිරීමට එම සාකච්ඡාව සදහා එක් වු ක්‍රියාධරයන් තිරණය කර තිබේ.

ලීලාදේවි ආනන්ද නඩරාජා මාතාව වැඩි දුරටත් සදහන් කළේ ඉන් එක් ලිපියක් දෙමළ ජනතාව සමුල ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලබන හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු පිරිස ජාත්‍යන්තර යුද අධිකරණයට ඉදිරිපත් කර දෙමළ ජනතාවට යුක්තිය ඉටු කරන ලෙස ඉල්ලමින් යොමු කරන බවයි.

බෞද්ධ විහාරස්ථාන

දෙවැනි ලිපිය යුද පීඩිත උතුරු නැගෙනහිර දෙමළ ජනයා මුහුණ දී සිටින ගැටළු හයක් සදහා විසදුම් ලබා දීමට මැදිහත් වන ලෙස ඉල්ලමින් යොමු කිරීමට තීරණය වු බව ඇය වැඩි දුරටත් සදහන් කළාය.

උතුරු නැගෙනහිර ප්‍රදේශවල හමුදාව බලහත්කාරයෙන් වාඩි ලා සිටින පුද්ගලික ඉඩම් නිදහස් කිරීම, දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, බලහත්කාරයෙන් අතුරුදහන් කර තිබෙන තම සමීපතමයටන්ට අත්වු ඉරණම හෙළි කර ගැනීම, දෙමළ ජනතාගේ ප්‍රශ්නවලට දේශපාලන විසදුමක් සෙවීම වෙනුවෙන් ජනමත විචාරණයක් පැවැත්වීම, පාරම්පරික දෙමළ ජනයා ජීවත් වන ප්‍රදේශ තුළ අලුතින් ඉදිකරන බෞද්ධ විහාරස්ථාන ඉවත් කිරීම හා ජන ජීවිතයට බාධා වන අයුරින් උතුරේ යොදවා සිටින යුද හමුදාව ඉවත් කිරීමට මැදිහත් වන ලෙස ඉල්ලමින් එම ලිපිය යොමු කරන බව ලීලාවතී ආනන්ද නඩරාජා මාතාව වැඩි දුරටත් සදහන් කළාය.

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.