සිරගත පුතුගේ නිදහස නොදැක දෙමළ මාතාවක් අවසන් ගමනේ

සේයා අන්තර්ජාලයෙන්

දීර්ඝතම කාලයක් බන්ධනාගාරගත කොට සිටි දෙමළ සිරකරුවකු ලෙස සැලකෙන අයකුගේ මවක් ඇය අපේක්ෂා කළ පුතු නිදහසේ ජීවත්වනු නොදැකම මියගොස් තිබේ.

වසර 26ක් සිරගතව සිටි දෙමළ සිරකරු වික්නේෂ්වරනාදන් පාර්තිබන්ගේ මව පසුගිය 15 වැනිදා අභාවප්‍රාප්ත වූවාය.

යාපනය තිරුනෙල්වේලි කලසාලෙයි පාරේ අංක 88 ලිපිනයේ පදිංචිව සිටි කන්නඩි අම්මා නමින් ප්‍රකට  78 වැනි වියේ පසු වූ වික්නේෂ්වරනාදන් වාකිස්වරී මාතාවගේ අවසන් කටයුතු 19 ඉරිදා සිදු කිරීමට නියමිත බව යාපනයෙන් වාර්තාවේ.

තම පුත්‍රයා ජීවිතයේ වැඩි කාලයක් ගතකොට ඇත්තේ සිරගතව බව උතුරේ මාධ්‍යවේදීන්ට කියා ඇති ඇගේ ලොකුම බලාපොරොත්තුව වී තිබුනේ ඔහු නිදහස් ජීවිතයක් ගත කරනු දැකීමයි.

ඒ අපේක්ෂාවෙන් වාකිස්වරී මාතාව තම පුත්‍රයාට මානුෂීය හේතූ මත පොදු සමාවක් දී නිදහස් කර යවන ලෙස කිහිප වාරයක්ම බලධාරීන්ගෙන් ඉල්ලා තිබුනේ ඔහුගේ කායික හා මානසික තත්වයද දුර්වල බව පෙන්වා දෙමිනි.

එල්ලුම් ගසට නියමවී සිටි මිරුසුවිල් සමූහ ඝාතනයේ වරදකරු සුනිල් රත්නායකට සහ භාරත ලක්ෂමන් ඝාතනයේ වරදකරු දුමින්ද සිල්වා යන දෙදෙනාට උදාවූ ඒ වාසනාව වික්‍නේෂ්වරනාදන් පාර්තිබන් වෙත ආවේ නැත.

ශ්‍රී ලංකාවේ මහ බැංකු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරු වී ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වූ වික්‍නේෂ්වරනාදන් පාර්තිබන් අත් අඩංගුවට ගනු ලැබූ 1996 සිට සිරගතව සිටියි.

එකල ඔහුගේ වයස අවුරුදු 19 කි.

ඔහුගේ පියා මියගිය 2017 දී  ඔහුගේ අවසන් කටයුතු සඳහා පාර්තීබන් රැගෙන එනු ලැබූ බව ඇය උතුරේ මාධ්‍යවේදීන් හමුවේ පවසා තිබුණි.

අත්අඩංගුවට ගෙන වසර 4කට පසුව ගොනු කරන ලද නඩුවකින් මහ බැංකු බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ බවට වරදකරු වූ ඔහුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම විය.

වික්නේෂ්වරනාදන් පාර්තිබන් සමග වරදකරුවන් කරනු ලැබූ කදිරකුමනම් ශිවකුමාර් සහ සෙල්වකුමාර් නර්මදන් විසින් ඊට එරෙහිව අභියාචනයක් ගොනු කර තිබුණි.

එම අභියාචනය 2018 නොවැම්බර් 08 වැනි දින අභියාචනාධිකරණය විසින් ප්‍රතික්ෂේප කරන ලදී.

TheLeader

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.