උතුරේත්, දකුණේත් අරගලයේ එක්සත් කම වෙනුවෙන් සටන් කළ වමේ නියමුවෙකු වූ වී තිරුණාවුකරසු දිවි සැරිය නිමා කරයි
කම්කරු පංති අරගලය හා දෙමළ ජාතික විමුක්ති අරගලය එක් වේදිකාවකට ගෙන ඒම වෙනුවෙන් දිවිය කැප කළ වාමාංශික ක්‍රියාධරයෙක් වු වල්ලිපූරම් තිරුණාවුකරසු ජීවන වේදිකාවෙන් ඉවත්ව ගොස් තිබේ.
නව සම සමාජ පක්ෂයේ දේශපාලන මණ්ඩල සභිකයකු වන වල්ලිපූරම් තිරුණාවුකරසු කලක් රෝගාතුරව සිට මිය යන විට 88 වැනි විය පසු කර තිබුණි.
පංති සටන්කරුවකු ලෙසත්, දෙමළ ජාතික විමුක්ති අරගලයේ මතවාදී නායකයකු ලෙසත් ඉංශ්‍රිසි හා දෙමළ යන දෙබසින්ම සිය පෑන් තුඩ හැසිරවූ වල්ලිපූරම් තිරුණාවුකරසු නව සම සමාජ පක්ෂයේ නියෝජිතයකු ලෙස කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයකු ලෙසද කටයුතු කළ අයෙකි.
නව සම සමාජ පක්ෂයේ නිර්මාතෘ ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න ජාතික ප්රශ්නය සම්බන්ධයෙන් දැරූ ස්ථාවරය නිවැරදිව දෙමළ ජනතාව අතරටත් ජාත්‍යන්තර ප්‍රජාව අතරටත් ගෙන යෑමට ක්‍රියා කළ වල්ලිපූරම් තිරුණාවුකරසු පක්ෂයේ නායකත්වයත් දෙමළ ජනතාවගේ නිදහසේ අරගලයත් ආරක්ෂා කිරීම වෙනුවෙන් කැපුවු අයෙකි.
නව සම සමාජ පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු ලේකම්වරයාද වු ඔහු ජාත්‍යන්තර වාමාංශික සමුළු ගණනාවකම නසසප නියෝජිතයා විය.
2025 ඔක්තෝබර් 31 වැනි දින අභාවප්‍රාප්ත වූ නව සම සමාජ පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික වී. තිරුණාවුකරසුගේ නිසල දේහය අවසන් ගෞරවය සඳහා නොවැම්බර් 5 වැනි බදාදා පෙ.ව. 8.00 සිට ප.ව. 4.00 දක්වා ගල්කිස්ස මහින්ද මල්ශාලාවේ තැන්පත් කෙරේ.
දේහය පිළිබද අවසන් කටයුතු නොවැම්බර් 6 වැනි බ්‍රහස්පතින්දා පෙ.ව. 11.00 ට ගල්කිස්ස සුසානභූමියේදී සිදු කරනු ලැබේ.
ඔහුගේ විප්ලවීය ජීවන මග ගෞරවයෙන් සිහිපත් කරන නව සම සමාජ පක්ෂය සිය සටන් සගයාට සමු දෙමින් නිකුත් කරන ලද නිවේදනය පහතින්.

පංති අරගලය හා ජාතිත විමුක්ති අරගලය එක් වේදිකාවකට ගෙන ඒමට කැපවූ.....Thiru
වල්ලිපූරම් තිරුණාවුකරසු සහෝදරයාට
නව සම සමාජ පක්ෂයේ විප්ලවීය ආචාරය
තිරු සහෝදරයා නික්ම ගොස්ය. නමුත් අපි හුදකලා වී නැත. පංති සටන්කරුවකු ලෙසත්, ජාතික විමුක්ති අරගලයේ මතවාදී නායකයකු ලෙසත් ඔහු තබා ගොස් ඇති දහසක් අත්දැකීම් අපගේ හදවත් තුලත්, ඔහුගේ පෑන් තුඩෙන් බිහි වූ ලිපි ලේඛනත් අප අතර ජීවමානය.
ඔහුත් අපි සැමත් අඩු දියුණු රටක, එනම් ප්රජාතන්ත්රීය විප්ලවයට නායකත්වය දීමට අසමත් වූත්, ප්රභූවාදීවූත්, එහි රාජ්‍ය වූ සිංහල බෞද්ධ පරම ආඥාදායකත්වයට ගැතිකම් කරන ධනපති පාලකයන් සහිත රටක උත්පත්තිය ලැබීමු.
අපි උත්පත්තිය ලැබූ කාලය අතර බොහෝ වෙනස්කම් දැකිය හැකිය. යුගයන්ගේ වෙනස්කම් සියල්ල නිෂේධ කරමින් ඔහුත් අපිත් මොහොතක දී එකම යුගයක යලිත් උපන්නෙමු. අපට ඒ පුනර්භවය ලැබුනේ ප්රජාතන්ත්රීය විප්ලවයේ කාර්යභාරයන් මගහැර සිටිය නොහැකි තරමට ඒවා ඓතිහාසික අනිවාර්යයක් ලෙස අපගේ ජීවිතවලට ගැටගැසීමත් සමඟිනි.
තිරූට නව සම සමාජ පක්ෂය කරා මාවත පෑදීමේ වැදගත් සංධිස්ථානයක් වූයේ රජයේ ලිපිකරු සේවා සංගමයේ මෙහෙයුම් කරුවකු ලෙස වගකීම් ඉසිලීමට පටන් ගැනීමය. ඒ 1970 දශකයේ දෙවන භාගයේ දී ය. ඒ වන විටත් ලංකාවේ වෘත්තීය සමිති ව්‍යාපාරය පැවැති ආණ්ඩුවේ අසාර ආර්ථික හා සමාජ ප්‍රතිපත්ති සමග ගැටෙමින් තිබුණු අතර - අනෙක් පසින් ඔහුගේ නිජභූමිය වූ යාපනය අර්ධද්වීපය තුල සිංහල - බෞද්ධ පරම ආඥාදායකත්වයට එරෙහිව දෙමළ ජනතාවගේ නිජබිම් ප්‍රදේශ වල පාලනය සඳහා ස්වයංතීරණ අයිතිය පදනම් වූ ස්වපාලනයක් වෙනුවෙන් වූ තියුණු දෙමළ ජාතික විමුක්ති අරගලය එහි උච්චස්ථානයට පත්ව තිබුණි.
ඒ අනුව තිරු කම්කරු පංතියේ දේශපාලන පිබිදීම පමණක් නියෝජනය කළා නොවේ. ඔහු පංතියේ ස්වාධීන ගමන සමග බැඳුණු දෙමළ ජනතාවගේ නිදහසේ අරගලය යන දෙවදෑරුම් ප්රජාතන්ත්රීය අරගලයන්ගේ ගැබෙන් උත්පත්තිය ලැබූවෙකු විය.
එසේ අපි ගතවූ යුගයන් ඉක්මවා නව සම සමාජ ව්‍යපාරය තුලින් නව ජීවනයක් ලබා සමකාලීනකයන් බවට පත් වීමු. එහි අරුත වන්නේ තිරූ ත් අපිත් ප්රජාතන්ත්රීය විප්ලවයේ කර්තව්‍යයන්ගේ බර කරට ගත් නව සම සමාජ පක්ෂයේ සමාකාලීනකයින් ලෙස උපත ලැබූ බවයි. ඔහුත් අපිත් එක් තැනකට ගෙන ඒමට ඉතිහාසය දුන් අනුග්‍රහයට ස්තූති වන්ත වෙමු. ඒ අරුතින් ගන්නා කල තිරු ගේ හා අපගේ සිරුරු තුල පක්ෂයේ කොටසක් ජීවත්වන අතර; අපි සැම පක්ෂයේ කැමැත්තෙන්, සාමූහික මනසින් ප්රජාතන්ත්රීය විප්ලවයේ මග සොයා ගනිමු.
මෙයට වසර කිහිපයකට පෙර ශාරීරික පද්ධති වල වැඩ පාලනය කරන සොබා දහමේ අඳුරු නීති වල ප්‍රහාරයකට තිරු සහෝදරයා මුහුණ දුන්නේ ය. එදා නම් වෛද්‍ය විද්‍යාව තමන්ගේ බල සහිත බව පෙන්වමින් හදවත් සැත්කමකින් තිරුට නව ජීවනයක් දුන්නේ ය. යලිත් සුපුරුදු ලෙස තමා සතු පක්ෂයේ වගකීම් වලට ඔහු උර දුන්නේ ය. ඔහු දෙමළ බසින් හා ඉංගිරිසියෙන් බොහෝ දේ ලිවීය. ඒවා ඇතුලත් පොත්පත් මුද්‍රණයේ එලි දැක්වීය. නමුත් දෙවන ප්‍රහාරයට මුහුණ දීමට නවීන වෛද්‍ය විද්‍යාව ද අසමත් විය.
ඔහු මෙසේ ලීවේය. “...අපේ රට වැනි අඩුදියුණු රටක ප්රජාතන්ත්රීය විප්ලවයේ ගැටළු වලට සැබෑ හරයක් තිබේ. ඒ නිසා ප්රජාතන්ත්රවාදී ඉඩකඩ අහුරනු ලැබීමෙන් කම්පාවට පත්වන ජාතීන් දියත් කරන්නේ විප්ලවීය හරයක් ඇති අරගලයකි. නමුත් ලෝකය හසුරුවන ප්රාග්ධනයේ පරම අධිකාරය ඉදිරියේ ඒවාට ස්වාධීනව ගමන් කළ හැකි විප්ලවීය අන්තයක් අද ඉතිරි වී නැත. ජාතික විමුක්ති අරගලයන්ගේ නායකත්වය හොබවන සුළු ධනේශ්වර හෝ ජාතික ධනේශ්වර නායකයන් අන්තිම වශයෙන් ගෝලීය ප්රාග්ධනයේ අධිකාරය අනුව හැඩ ගැසෙයි. එසේ නොවන්නේ ජාතික විමුක්ති අරගලය කම්කරු පංතියේ අරගලය හා බද්ධ වීමෙන් පමණි. අපි උතුර හා දකුණ එක්වූ අරගලයක් ලෙස ප්රජාතන්ත්රීය අරගලය ඉදිරියට ගෙන යා යුතුය යන සටන ගෙනයන්නේ ඒ තත්ත්වය තුලයි...”
පක්ෂයේ අදහස් නිරවුල්ව ඉදිරිපත් කළා පමණක් නොවේ, තිරුත් ඔහු කොටස් කරුවකු වූ පක්ෂයේ නායකත්වයත් දෙමළ ජනතාවගේ නිදහසේ අරගලය ආරක්ෂා කිරීම වෙනුවෙන් කැපවූහ. දෙමළ ජනතාවගේ ජීවමාන අභිලාෂයන් තිරු ගේ හඬින් අපි ඇසුවෙමු.
සහෝදරියනි, සහෝදරවරුනි, තිරු සහෝදරයා කවදුරටත් අප අතර නැත.
නමුත් ඔහුගේ වේදනාවත්-කෝපයත් එක්වූ වචන වල දෝංකාරය අප ගේ දෙසවනින් ඈත් නොවනු ඇත.
සුබ ගමන් තිරු සහෝදරය!
නව සම සමාජ පක්ෂය - 04.11.2025

