ජනාවාසවලට මහවැලි ඉඩම් බෙදා වව්නියාවේ සිංහල දෙමළ නොසන්සුන්කමක්

දෙමළ බහුතරයක් වෙසෙන වව්නියාව දිස්ත්‍රික්කයේ අලුතින් පිහිටුවන ලද ජනාවාස වල ජීවත් වන සිංහල ජනයාට වගා කිරීම සදහා රාජ්‍ය ආයතනයක් විසින් ඉඩම් බෙදාදීම අසල්වාසී සිංහල, දෙමළ ජනයා අතර නොසන්සුන්කාරී වාතාවරණයක් නිර්මාණය කිරීමට හේතු වී තිබේ.
දැනටමත් සිය වගා භුමිය අත්පත්කරගෙන සිටින සිංහලයන් විසින් අලුතින් වන විනාශයක් සිදු කරන බවට දෙමළ ජනතා නියෝජිතයන් චෝදනා කරද්දී, එම භුමියේ වගා කටයුතු වල නිරත වන සිංහල ගොවියකු සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කර ඇත්තේ සිංහල ජනයා කාෂිකර්මාන්තයේ යෙදී සිටින භුමිය සිය පාරම්පරික භුමිය වන අතර අලුතින් එළිපෙහෙලි කිරීම් සිදු කර ඇත්තේ මහවැලි සංවර්ධන අධිකාරියේ අවසරය මත බවයි.
වව්නියාව, නෙදුන්කේනි ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් වෙඩිවෛත්‍යකල්ලු ග්‍රාම සේවා වසමේ තිරිවෛත්යකුලම් ග්‍රාමයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් ඉලංකෙයි තමිල් අරසු කච්චි වන්නි දිස්ත්‍රික් මන්ත්‍රී (ITAK) තුරෙයිරාසා රවිහරන් චෝදනා කර තිබුනේ එම ප්‍රදේශයේ ජීවත් වන සිංහල ජනතාව දෙමළ ජනතාවගේ පාරම්පරික ඉඩම් අක්කර 1,000ක් පමණ ආක්‍රමණය කර ඇති බවටයි.
වන්නි කලාපයේ සිදු කෙරෙන වන විනාශය වැලැක්වීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු නොකරන බවට චෝදනා කරන මන්ත්‍රීවරයා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ක්‍රමානුකූලව දෙමළ ජනතාවට දොස් පවරන හෝ දෙමළ ජනතාව විනාශ කරන ආකාරයෙන් කටයුතු කරන බවටත් චෝදනා කර තිබුනි.
වන විනාශයක් කරමින් මහා පරිමානයෙන් සිදු කරන එළි පෙහෙලි කිරීම සම්බන්ධයෙන් වව්නියාව උතුර ප්‍රාදේශීය ලේකම්වරයාගෙන් විමසු බව සඳහන් කරන දෙමළ ජාතික ජනතා පෙරමුණේ වවුනියාව උතුර ප්‍රාදේශීය සභා මන්ත්‍රී තුරෙයිරාසා තමිල්චෙල්වන් සදහන් කරන්නේ එළි පෙහෙලි කරමින් පවතින භුමිය මහවැලි සංවර්ධන අධිකාරියට අයත් භුමියක් බව ප්‍රාදේශිය ඉඩම් බලධාරියා පැවසු බවයි.
“මේක ගැන වව්නියාව උතුර ප්‍රාදේශීය ලේකම්වරයාගෙන් අහපු වෙලාවේ ඔහු කිව්වේ මේක මහවැලි එල් කලාපයට අයත් වන නිසා මහවැලි සංවර්ධන අධිකාරිය තමයි පියවර ගත යුත්තේ කියලා.”
එය මහවැලි සංවර්ධන අධිකාරියට අයත් භුමියක් බව තහවුරු කළ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නෙදුන්කේනී කාර්යාලය ඉඩම් ශුද්ධ කිරීම අත්හිටුවීමට මහවැලියෙන් ඉල්ලා ඇතැයි ප්‍රාදේශීය සභා මන්ත්‍රී තමිල්චෙල්වන් පළාත් බද මාධ්‍යවේදීන් සමග පවසා තිබුනි.
“නෙදුන්කේනී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අහන කොට ඔවුන් කිව්වෙත් 2021 සිට එය මහවැලි එල් කලාපයට අයත් වන නිසා ඔවුන්ට මේ කාරණයට මැදිහත් වෙන්න බෑ කියලා. නමුත් එම ඉඩම් අත්පත් කර ගන්නා බවට තොරතුරු ලැබී ඇති බවත්, බෝගස්වැව සහ වැලිඔය තියන මහවැලි සංවර්ධන අධිකාරියේ කාර්යාල වෙත ගොස් මෙය නවත්වන ලෙස ඉල්ලා සිටි බවත් එම නිලධාරියා කිව්වා.”
තුරෙයිරාසා තමිල්චෙල්වන් ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයා එහිදී චෝදනා කර තිබුනේ අලුතින් එළි පෙහෙළි කරන භුමියට අමතරව දෙමළ ජනයාට අයත් කුඹුර අක්කර 400 ට ආසන්න ප්‍රමාණයක්ද සිංහල ජනතාව බලහත්කාරයෙන් අත්පත්කරගෙන සිටින බවටයි.
“ඉඩම් අක්කර 300 ක් 400 ක් විතර අලුතින් ඩෝසර් කරලා තියනවා. දැනටමත් අපේ කුඹුරු ඉඩම් අක්කර 350, 400 ක් අත්පත් කරගෙන තියෙන්නේ. 2021 දී වව්නියාව උතුර මහවැලි එල් ප්‍රදේශයට හෙක්ටයාර 5259.83 ක ඉඩමක් ඇතුළත් වන නිසා , ඔවුන්ට මේ සඳහා මැදිහත් විය නොහැකි බවත්, ඊට එරෙහිව නඩුවක් ගොනු කරන බවත් ඔවුන් ප්‍රකාශ කළා. මේ හරහා මේ පිටුපස සිටින අය හඳුනාගත හැකි බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පැවසුවා.”
සිංහල ජනයා බලහත්කාරයෙන් දෙමළ ජනයාගේ ගොවි බිම් අත්පත්කරගෙන ඇති බවට ඉහත දෙමළ ජනතා නියෝජිතයන් සිදු කරන චෝදනා ජනමාධ්යතුල ප්‍රචාරය වීමත් සමග සිය මුහුණු පොත ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් බෝගස්වැව ගම්මානයේ ජීවත් වන බිමල් ධර්මදාස කියා ඇත්තේ එම ගොවි බිම් 1955 වසරේ සිට තම මුතුන් මිත්තන් ඇතුළු ගම්වාසීන් වගා කටයුතු කළ භුමිය බවයි.
“මේක 1955 මගේ කිරි අත්තා, මගේ තාත්තා, පියදාස මාමලා අපේ අය තමයි මේ කුඹුරු යාය වගා කළේ. මේ කුඹුරු යාය වගා කරමින් ඉන්න අවස්ථාවේ තමයි 1985 අපේ ගම්මානය, බෝගස්වැව ගමට කොටි ගහලා අපේ ගමේ මිනිස්සු මරලා අපි අනාත උනාට පස්සේ අපි අනාත කදවුරු වල තමයි ජීවත් උනේ. යුද්ධය ඉවරවෙලා 2010 හත්වෙනි මාසේ 26 වැනිදා නැවත පදිංචි උනේ.”
කෘෂිකර්මාන්තය සිය ජීවනෝපාය බව සපත කරන බෝගස්වැව, ගම්මානයේ ජීවත් වන බිමල් ධර්මදාස සිය මුහුණු පොත ඔස්සේ උඩු ගත කළ වීඩියෝව මගින් විස්තර කරන්නේ එලෙස යළි පදිංචි වීමෙන් පසු සිය මුල් භුමියේ අයිතිය තහවුරු කෙරෙන බලපත්‍ර ඉදිරිපත් කර එම භුමි නිදහස් කරන ලෙස වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කළ බවයි.
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් පරීක්ෂා කරමින් සිටින අවස්ථාවේ කිවුල්ඔය ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ මහවැලි සංවර්ධන අධිකාරිය අතර හෙක්ටයාර් දොලොස්දාහස බැගින් ඉඩම් හුවමාරුවක් සිදු වු බව පවසන බිමල් ධර්මදාස තව දුරටත් කියා සිටින්නේ එහිදී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හෙක්ටයාර් දොලොස් දහසක කටු පදුරු සහිත අවශේෂ කැලය මහවැලි අධිකාරියට ලබා ලබා දුන් බවයි.
ඒ අනුව සිය කාෂිකාර්මික වගා භුමිය මහවැලි සංවර්ධන අධිකාරිය අතට පත් වු අතර එම භුමියට හිමිකම් කියන සිංහල ගොවීන් කළ ඉල්ලීම් හමුවේ අවස්ථා දෙකක දී අක්කර 40 බැගින් ඉඩම් නිදහස් කර ගොවිතැන් කටයුතු සදහා මහවැලි සංවර්ධන අධිකාරිය 2020 වසරේ සිට අවස්ථාව ලබා දුන් බව බිමල් ධර්මදාස වැඩි දුරටත් කියා සිටි.
එතැන් සිට ගතවු වසර පහක කාලය තුළ එම භුමියේ සිංහල ගොවින් ගොවීතැන් කටයුතුකළ බව පවසන ඔහු අවධාරණය කරන්නේ මේ වන විට එම භුමියට දෙමළ ජනතා නියෝජිතයන් අයිතිය කියා පැම නිසා එම භුමියේ වගා කටයුතු සිදු කර ගැනීමට නොහැකි තත්වයක් උද්ගතව ඇති බවයි.
වසර 40 ක පමණ කාලයක් තුළ ඝණ කැලෑ වැවී ඇති භුමිය සිංහල ගොවීන් විසින් වගා කටයුතු සදහා අලුතින් සුද්ද කිරීමේ කටයුතු සිදු කරන්නේ මහවැලි සංවර්ධන අධිකාරියෙන් ලබා දුන් අවසරය මත බව සපත කරන බිමල් ධර්මදාස වැඩි දුරටත් කියා සිටියේ සිංහල ගොවීන් බදු බලපත්‍ර යටතේ එම භුමියේ වගා කටයුතු සිදු කරන බවටයි.