වෙඩුක්කුනාරි කන්දේදී පොලිසියෙන් අත් අඩංගුවට ගත් සියලුදෙනා උසාවියෙන් නිදහස්

සේයා - අන්තර්ජාලයෙන්

අධිකරණ නියෝගයක් උල්ලංඝනය කරමින් හින්දු ආගමික වතාවත් පැවැත්වූ බවට චෝදනා කොට අත් අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කර සිටි හින්දු බැතිමතුන් පිරිසකට එරෙහි චෝදනා ඔප්පු කිරීමට පොලිසියට කරුණු නොමැති වීමෙන් නඩුව නිෂ්ප්‍රභ කර ඔවුන් සියළු දෙනා නිදහස් කිරීමට අධිකරණය නියෝග කර තිබේ.

චෝදනා පත්‍ර ගොනු කිරීමට පොලිසිය අසමත් වීම නිසා අධිකරණය විසින් මුදා හරින ලද්දේ, කෝවිලේ පූජක තම්බිරාසා මදිමුගරාසා (45) ඇතුළු තුරෙයිරාසා තමිල්චෙල්වන් (28), මහේන්ද්‍රන් නරේන්තිරන් (29), සිවම් ලක්ෂාන් (28), කන්දසාමි ගෞරිකාන්තන් (24), තිලකනාදන් කින්දුයන් (28), රාසරත්නම් විනායගමුර්ති (30), සුබ්‍රමනියම් තවපාලසිංහම් (35) යන අට දෙනාය.

නීතිඥ කනගරත්නම් සුගාස් වවුනියාව දිසා අධිකරණය ඉදිරිපිටදී මාර්තු 19 වැනිදා මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේ සැකකරුවන් නිදහස් වුවද අසාධාරණයට එරෙහි අරගලය දිගටම පවතින බවයි.

“අද දවසේ චෝදනා පත්‍රය ඉදිරිපත් කළ යුතු පොලීසිය එය ඉදිරිපත් නොකළ නිසා අපි උසාවියට බරපතළ ලෙස කරුණු ඉදිරිපත් කළා. මේ අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීමෙන් පසු චෝදනා සොයමින් සිටි පොලීසිය දැන් අපරාධයක් සොයමින් ඉන්නවා. ඒක නිසා මේක පදනම් විරහිත නඩුවක් නිසා එයාලාව නඩුවෙන් නිදහස් කරන ලෙස ඉල්ලීම් කළා. අපේ ඉල්ලීම පිලි අරගෙන සැකකරුවන් සියළු දෙනාම නඩුවෙන් නිදහස් කරලා තියෙනවා. අසාධාරණයට එරෙහි අපේ අරගලය දිගටම පවතිිනවා.”

වව්නියාව දිස්ත්‍රික්කයේ නෙදුන්කේනි ප්‍රදේශයේ වෙඩුක්කුනාරි කන්දේ පිහිටි ආදි ලිංගේස්වර කෝවිලේ මහා ශිව රාත්‍රී වන්දනා කටයුතු සිදු කරමින් සිටියදී මාර්තු 8 වැනිදා රාත්‍රියේ පොලීසිය විසින් හින්දු භක්තිකයන් අට දෙනකු අත්අඩංගුවට ගෙන තිබුනේ අධිකරණ නියෝග නොතකමින් රාත්‍රි කාලයේ විශේෂ පුජාවක් පැවැත්වු බවට චෝදනා කරමිනි.

අධිකරණ නියෝග හා පුරා විද්‍යා පනතට අනුව හවස 6 න් පසු එම භුමියේ පුජාවන් තැබිය නොහැකි බවට පොලීිසිය හින්දු භක්තිකයන්ට දැනුම් දුන්නද ඔවුන් එම උපදෙස් නොතකා කටයුතු කළ බවට චෝදනා කරමින් පොලීසිය ඔවුන් අත්අඩංගුවට ගත් බව පළාත් බද වාර්තාකරුවෝ පවසති.

බන්ධනාගාරගත කර සිටි හින්දු භක්තිකයන් අට දෙනා වහාම නිදහස් කරන ලෙස බල කරමින් උතුරු නැගෙනහිර දෙපළාතේ ස්ථාන කිහිපයකදීම විරෝධතා දියත් විය.

පොලිසිය විසින් බොරු චෝදනා නගා හින්දු බැතිමතුන් අත් අඩංගුවට ගෙන උසාවිය නොමග යැවූ බවට සෙල්වරාසා ගජේන්ද්‍රන් මන්ත්‍රීවරයා ඇතුළු විරෝධතාකරුවන් දිගින් දිගටම චෝදනා කර තිබුනි.

මන්ත්‍රීවරයාද පූජා භූමියේදී පහර කෑමට ලක්වනු දැක්වෙන වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ දැකගන්නට තිබේ.

හින්දු බැතිමතුන් අට දෙනා නිදහස් කරන ලෙස බලකරමින් දෙමළ ජනතා නියෝජිතයන් මාර්තු 19 වැනිදා පාර්ලිමේන්තුව තුලදී ද විරෝධතාවයක් දියත් කළ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසත් ඔවුන්ගේ අරගලයට සහාය පළ කර තිබුනි.

පළාතේ දෙමළ ජනතාව අද වන විට වෙඩුක්කුනාරී ආදී ලිංගේස්වර කෝවිල ලෙස හඳුන්වන මෙම සිද්ධස්ථානය අතීතයේ වඩ්ඩමාන පර්වත විහාරය ලෙස හඳුන්වන ලද බවට සිංහල බෞද්ධයන් අතර මතයක්ද පවතී.

The Leader

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.