ශ්‍රී ලංකාවේ ඝාතනයට හා අතුරුදහන් කිරීමට ලක් කරනු ලැබූ සිංහල හා දෙමළ මාධ්‍යවේදීන් අනුස්මරණයට කිලිනොච්චියේ ස්මාරකයක්
ශ්‍රී ලංකාවේ ඝාතනයට හා අතුරුදහන් කිරීමට ලක් වු මාධ්‍යවේදීන් සිහි කිරීම වෙනුවෙන් තවමත් අගනගරයේ ස්මාරකයක් ඉදි නොවීම පිළිබදව අතුරුදහන් සැමියා වෙනුවෙන් නොසැලෙන අරගලයක යෙදීමට ගෞරව පිණිස ජාත්‍යන්තර සම්මානයෙන් පුදලද මානව හිමිකම් ක්‍රියාකාරිනියකගේ කනස්සල්ල පළ වී තිබේ.
“ලෝකයේ ආගමික නායකයන් වෙනුවෙන් පන්සල් හදනවා, කෝවිල් හදනවා, ඒත් මාධ්‍යවේදීන් වෙනුවෙන් කෝවිලක්, පන්සලක් හැදෙන්නේ නෑ. විශේෂයෙන් තම ජීවිතය මාධ්‍යවේදය වෙනුවෙන් දන් දීපු මාධ්‍යවේදීන් වෙනුවෙන් එහෙම අවස්ථාවක් විරලයි. මම දකුනේ සිද්ධවෙයි කියලා බලන් හිටපු එක අද කිලිනොච්චියේ සිද්ධ වෙනවා. ඒක තමා එක පැත්තකින් මට තියන කණගාටුව. මොකද කොළඹ තමා ලොකු මාධ්‍ය ආයතන මාධ්‍යවේදීන්, මාධ්‍ය සංවිධාන ගොඩක් තියෙන්නේ. ඒත් ඒ අයගෙන් ගිලිහුන දේ උතුරේ මේ රීචා ආයතනයේ හැදීම සුවිශේෂියි. ”
බලහත්කාරයෙන් අතුරුදහන් කළ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ වෙනුවෙන් යුක්තිය සොයා අඛණ්ඩව දශක එක හමාරක කාලයක් තිස්සේ අරගලයේ යෙදී සිටින සන්ධ්‍යා එක්නැලිගොඩ ඒ බව සදහන් කළේ මෙරට මාධ්‍ය ක්ෂේත්රයට ඉමහත් සේවයක් කළ මාධ්‍යවේදීන් මෙන්ම ඝාතනයට හා අතුරුදහන් කිරීමට ලක්වු සිංහල හා දෙමළ මාධ්‍යවේදීන් අනුස්මරණය කිරීම වෙනුවෙන් පුද්ගලික ව්‍යාපාරික ආයතනයක් කිලිනොච්චියේ ස්ථාපිත කළ මාධ්‍යවේදීන්ගේ ප්‍රතිමා ගෘහයක් විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.
අයි.බී.සී රූපවාහිනිය, අයි.බී.සී වෙබ් අඩවිය, ඇතුළු මාධ්‍ය ආයතන කිහිපයකම හිමිකාරිත්වය දරණ කන්දයියා බාස්කරන්ට අයත් කිලිනොච්චියේ පිහිටි කාබනික වගා භුමියක් හා නිවාඩු නිකේතනයක් තුළ ස්ථාපිත කළ මාධ්‍යවේදීන් 16 දෙනකුගේ පිළි රූ ඇතුලත් ස්මාරක ගෘහය 2025 දෙසැම්බර් 14 වැනිදා පෙරවරුවේ විවෘත කළේ කොළඹින් ගිය මාධ්‍යවේදීන්ගේ හා උතුරු, නැගෙනහිර දෙපළාතේ මාධ්‍යවේදීන්ගේ සහභාගීත්වයෙනි.




එම පිළි රූ අතර එල්.ටී.ටී.ඊ සංවිධානයට අයත් පුලිගල් කුරල් රූපවාහිනි නාලිකාවේ මාධ්‍යවේදිනී ඉසෙයිප්‍රියා ලෙස දෙමළ ජනතාව අතර මහත් ජනප්‍රියත්වයට පත් සෝබනා ධර්මරාජා, තරාකී නමින් ප්‍රකට ධර්මරත්නම් සිවරාම්, නිමලරාජන් මයිල්වාගනම්, ආනන්දී සුරියප්රගාසම්, රිචඩ් ද සොයියා, ලසන්ත වික්‍රමතුංග, ප්‍රගීත් එක්නැලිගොඩ, වික්ටර් අයිවන් ඇතුළු මාධ්‍යවේදීන් 16 දෙනකුගේ පිළි රූ ඇතුලත්ය.
මාධ්‍යවේදීන් වෙනුවෙන් ස්ථාපිත කළ ස්මාරක ගෘහය දේශපාලනඥයන්ගේ සහභාගීත්වයකින් තොරව විවෘත කිරීමට සංවිධායකයන් කටයුතු කළ අතර එම අවස්ථාව සදහා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හා පසුගිය ජනාධිපතිවරණයේ උතුරේ ස්වාධීන පොදු අපේක්ෂකයා වු පාක්‍යසෙල්වම් අරියනේත්‍රන් ඇතුළු මාධ්‍යවේදීන් සියයකට ආසන්න පිරිසක් එක්ව තිබේ.
ස්මාරක ගෘහය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වී සිටි මාධ්‍යවේදීන් අමතමින් සන්ධ්‍යා එක්නැලිගොඩ මාධ්‍යවේදීන් වෙත පැවරී ඇති වගකීම හැඳින්වුයේ විශ්වීය වගකීමක් ලෙසිනි.
“ අපි දන්නවා මාධ්‍යවේදියෙක් කියන්නේ ලෝකයක්. ඒ අයට තියන වගකීම එක සමාජයකට, එක පන්තියකට, එක ජාතියකට කොටු වෙච්ච දෙයක් නෙමෙයි. ඒක විශ්වීය වගකීමක්. මොකද එක පැත්තකින් ඒ අය සත්‍ය ගෙනියන්න ඕන ලෝකෙට. අනිත් පැත්තෙන් සියළුම තර්ජන ගර්ජන අභිබවා සමහර විට තමන්ගේ ජීවිතෙත් කැප කරලා තමන්ගේ වගකීම ඉෂ්ට කරන්න ඕන. මොකද සමාජය බලන් ඉන්නවා සත්‍ය දැනගන්න සහ ඒ පිපාසාවෙන් පෙළෙනවා. එක තමා ඔබ සැමගේම වගකීම වෙන්නේ. ලෝකය හෙට දවසට ගෙනියන වගකීම වෙන්නේ. මේ ඔබ කරපු කාර්ය සුවිශේෂියි කියන්නේ මම අපි අනාගත පරපුරට ඒ අයට තමන්ට කැමති විදිහට මේ මාධ්‍ය ලෝකයේ තම වගකීම ඉෂ්ට කරන්න අවශ්‍ය වටපිටාව සකස් කර දීම අපගේ වගකීම වන නිසා. මොකද එහෙම නැති උනොත් ඔවුන් මේ ලෝකයට එන එක නවත්තනවා. ඒක මේ සමාජයකට හොද දෙයක් නෙමෙයි. ”
යුක්තිය සොයා අඛණ්ඩව දශක එක හමාරක කාලයක් තිස්සේ අරගලයක යෙදී සිටින සන්ධ්‍යා එක්නැලිගොඩ අතුරුදහන් කිරීමට හා ඝාතතනය ලක් වු මාධ්‍යවේදීන් වෙනුවෙන් දෙයාකාරයකින් යුක්තිය ඉටු විය යුතු බව එහිදී සදහන් කළාය. එහි පළමුවැන්න ලෙස ඇය පෙන්වා දුන්නේ අධිකරණය මගින් ඉටු විය යුතු යුක්තියයි.
“ ප්රගීත්ලා වෙනුවෙන් දෙයාකාරයකින් යුක්තිය ඉෂ්ට විය යුතු වෙනවා. එකක් මේ රටේ රාජ්‍ය විසින් යුක්තිය ඉටු කළ යුතු වෙනවා. ඒක තමා අධිකරණය විසින් කළ යුතු වන්නේ. ඒ අධිකරණයේ යුක්තිය ඉෂ්ට කිරීම කොතරම් අභියෝගාත්මකද කියලා ඔබ සැමට මං කියන්න ඕන නෑ. ඒක මං හොදාකාරවම අත්දැකීමෙන් දන්නවා. ”
අතුරුදහන් කිරීමට හා ඝාතතනය ලක් වු මාධ්‍යවේදීන් වෙනුවෙන් ඉටු විය යුතු දෙවැනි යුතුකම ලෙස සන්ධ්‍යා එක්නැලිගොඩ පෙන්වා දුන්නේ සමාජ යුක්තිය ඉටු වීමයි.
“ ඒ වගේම අනිත් කාර්ය තමා ඔබලා මේ අත දුන් ඔබලා අද පටන් ගත්ත සමාජ යුක්තිය ඉෂ්ට කිරීම. මම මේක දකින්නේ සමාජ යුක්තිය ඉෂ්ට කිරීමේ එක් ආරම්භයක් විදිහට. මොකද අනාගතයේ එන සියළුම අපේ දුවා දරුවන්, මාධ්‍යවේදී දුවා දරුවන් දැනගන්නවා කවුද මේ මාධ්‍යවේදීන්, මේ අය ඇයි තමන්ගේ ජීවිතය දීලා තියෙන්නේ. සහ මේ ජ්‍යෙෂ්ට මාධ්‍යවේදීන් ගෞරවයට ප්‍රාත වෙන්න මේ රටේ කරලා තිබෙන කාර්ය කුමක්ද කියන එක. ඉතින් එකට ඔබලා කරපු මේ සුවිශේෂ කාර්යට මං නැවත නැවතත් ඔබලාට ස්තුති වෙනවා. ”
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ බලහත්කාරයෙන් අතුරුදහන් කර තිබුනේ 2010 ජනවාරි 24 දාය.
ශ්‍රී ලංකාවේ යුද්ධයෙන් ද ඊට පෙර කැරලි වලින්ද අතුරුදහන් දහස් සංඛ්‍යාත ජනකායකගේ ඥාති සමුහයාගේ සංකේතයක් බවට පත්වූ කාන්තාවක් ලෙසින් සන්ධ්‍යා එක්නැලිගොඩ එක්සත් ජනපද ජගත් දිරිය කත සම්මානයෙන් 2017 වසරේදී පුද ලද්දීය.
සම්මානය සඳහා ඇය තෝරාගැනීමට හේතු පාදක වූයේ අතුරුදහන් සිය සැමියා ප්‍රගීත් එක්නැලිගොඩ සම්බන්ධ සත්‍යය හෙළි කරගැනීමට බාධා පෑ බලධාරීන්ගේ අවහිර නොතකා අසූ වතාවකට වඩා උසාවි ගානේ යමින් සන්ධ්‍යා විදහා දැක්වූ ධෛර්යය බව ඇමරිකා එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම් තෝමස් ඒ ෂැනොන් විසින් ප්‍රකාශ කර තිබුනි.
මාධ්‍යවේදීන් අනුස්මරණය සදහා කිලිනොච්චියේ ඉදිකළ මාධ්‍යවේදීන්ගේ පිළි රූ ඇතුලත් ස්මාරක ගෘහය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වී සිටි මාධ්‍යවේදීන් අමතමින් ජනමාධ්‍ය සාමුහිකයේ සභාපති මාධ්‍යවේදි තිලිණ අහලකෝන් ඉල්ලා සිටියේ ඝාතනයට හා අතුරුදහන් කිරීමට ලක්වු මාධ්‍යවේදීන් වෙනුවෙන් යුක්තිය දිනා ගැනීමට එකම රටක මාධ්‍යවේදීන් ලෙස සියළු දෙනා එකතු විය යුතු බවයි.
“මාධ්‍ය සමාජයක් විදිහට අපි හැමෝම එකතුවෙලා උතුර, නැගෙනහිර, දකුණ, බස්නාහිර කියලා අපි බෙදෙන්නේ නැතුව එකම රටක මාධ්‍යවේදීන් විදිහට අපිට මේ සටන කරන්න පුළුවන්.”
මෙරට මරා දැමු සියළු මාධ්‍යවේදීන්ට යුක්තිය ඉටු කිරීම සදහා බලතල සහිත විශේෂ කොමිසමක් පත් කරන ලෙස රජයට බලපෑම් කිරීම සදහා තමන් සමග එකතු වන ලෙස ඔහු සියළු මාධ්‍යවේදීන්ට ආරාධනා කිරීම සදහාද එය අවස්ථාවක් කර ගන්නා ලදි.
“අපි මේ ටිකේ ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තිය හදන එකත් එක්ක වැඩ කරනවා රජයේ. අපි ඒකත් එක්ක බලපෑම් කරමින් ඉන්නවා. එතනදී අපි ඉල්ලීමක් කරනවා බලතල සහිත විශේෂ කොමිසමක් පත් කරන්න මේ සියළු මරා දැමු මාධ්‍යවේදීන් වෙනුවෙන් පරීක්ෂණ පවත්වලා ඔවුන්ට යුක්තිය ඉටු කරන්න කියලා. ඒ සටනේ අපි ඉන්නවා. එතකොට අපි ඔබටත් ආරාධනා කරනවා අපි එකම මාධ්‍ය කණ්ඩායමක් විදිහට එකම මාධ්‍ය පවුලක් විදිහට එකට අත්වැල් බැද ගනිමු. මේ අවස්ථාවේ කියලා. ”
මාධ්‍යවේදීන් අනුස්මරණය සදහා කිලිනොච්චියේ ඉදිකළ සිංහල, දෙමළ මාධ්‍යවේදීන් 16 දෙනකුගේ පිළි රූ ඇතුලත් ස්මාරක ගෘහය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වී සිටි සියළු ආරාධිත මාධ්‍යවේදීන්ට සමාජයටත්, මාධ්‍ය ක්ෂේත්රයටත් සිදු කරන සේවය අගය කරමින් සමරු ඵලකයක් පිරි නැමීමටත් සංවිධායකයන් කටයුතු කර තිබුනි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් ධුරය දරන සමයේදී ඝාතන සහ පැහැරගැනීම් ඇතුළු පීඩාවලට රට තුලදී ලක්වූ මාධ්‍යවේදීන් ගණන 44 ක් බව ශ්‍රී ලංකාවේ ප්රජාතන්ත්රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS) විසින් සම්පාදනය කරන ලද වාර්තාවක දැක්වේ.
ඉන් වැඩි ප්‍රමාණයක් උතුරේ දෙමළ මාධ්‍යවේදීන්ය. ඔවුන් කිසිවකුටත් මේ තාක් යුක්තිය ඉටු වී නොමැත.

