මහවැසි නොතකා දෙමළ මහවිරු සමරු සඳහා උතුරු නැගෙනහිර දහස් ගණනක්

සිය ගණනක ජීවිත ප්‍රමාණයක් මේ වන විටත් රටට අහිමි කරමින් දිවයින පුරා ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවෙන් උතුරු නැගෙනහිර දහස් සංඛ්‍යාත ජනතාවගේ දෛනික ජීවිතයට ඇති වී තිබෙන මහත් බාධා නොසලකා හරිමින් එම දෙපළාතේ දෙමළ ජනයා ස්ථාන රැසකම මලින්, ගඳින්, පහනින් සහ කඳුලින් යුද්ධයේදී ඝාතනයට ලක් වු සිය සමීපතමයන් අනුස්මරණය කිරීමට කටයුතු කර තිබේ.

සමරු බිම් සැමෙකක්ම පාහේ රතු සහ කහ වර්ණයෙන් යුත් දෙමළ ජාතික කොඩිවලින් සරසා තිබු අතර දෙමළ ජාතික පුෂ්පය වන නියඟලා මල ඉහලින්ම ප්‍රදර්ශනය කර තිබුණි.

යුද වැදී දිවිදුන් දසදහස් සංඛ්‍යාත දෙමළ සටන්කාමීන් වෙනුවෙන් නොවැම්බර් 27 දා මාවීරර් නාල් (மாவீரர் நாள்) ලෙසින් දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය විසින් නම්කරන ලද්දේ 1989 දීය. ඒ එයින් සත් වසරකට ඉහතදී ශ්‍රී ලංකා යුද හමුදාවට එරෙහි සටනේදී මියගිය පළමු LTTE සාමාජිකයා වන ලුතිනන් ශංකර් නමින් ප්‍රකට සුරේෂ් සත්‍යනාදන් වෙනුවෙනි.

ශ්‍රී ලංකා යුද හමුදාව සමග සටන් වැදී දිවි තොරවූ නෑසියන් අනුස්මරණය කිරීමේ ආරම්භය සනිටුහන් කරමින් 2025 නොවැම්බර් 27 වැනිදා පස්වරු හයයි හතට උතුරු, නැගෙනහිර දෙපළාතේ මහවිරු සුසාන භූමි තුළ මහවිරු සමරු ප්‍රදීපයන් දල්වා තිබුනේ යුද බිමේදී සිය ලේ නැසියන් අහිමි වු මේ වන විට වයෝවෘධ සමයේ පසුවන මෑණිවරුන් හා පියවරුන් විසිනි.

පුද්ගලිකව සිදු කරන සැමරුම්වලට බාධා කිරීමට අයිතියක් නොමැති බවට නව රජයේ ස්ථාවරය වී තිබුනත් පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ උතුරු නැගෙනහිර පුරා මෙවරත් පෙරලෙසම පැවැතියේ සාමුහික මහවිරු අනුස්මරණ බවයි.

මේ මාසයේ අවසන් සතියේ උතුරේ මහවිරු සැමරුම් පැවැත්වීමට නියමිතව ඇති අතර එහිදී එල්.ටී.ටී.ඊ සැමරුමක් හෝ එයට උඩගෙඩි දීමක් ක්‍රියාත්මක වූවහොත් රජය ගන්නා පියවර කවරේදැයි 2025 නොවැම්බර් 18 වැනිදා කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැගු පැනයකට පිළිතුරු දෙමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස සදහන් කර තිබුනේ එවැන්නක් සිදු වූවහොත් එයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවයි.

“ඕනෑම තැනක තමන්ගේ මියගිය ඥාතියෙක් සමරන්න පුරවැසියකුට තියන අයිතිය පිලිගන්නා අතරෙම හැබැයි, එයට මුවා වෙලා ත්‍රස්තවාදය ප්‍රවර්ධනය කිරීමට හෝ ත්‍රස්ත්‍රවාදී ක්‍රියාකාරකම් වෙනුවෙන් අනුබල දීමට කිසිවෙකුට අයිතියක් නැ. එයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා.”

යාපනයේ කොඩිකාමම්, කෝපායි, චාටි, උඩුතුරෙයි යන මහවිරු සුසාන භුමි තුලදී මෙන්ම යාපනය විශ්වවිද්‍යාලයේ හා උපවාසයේ යෙදී සිටියදී මිය ගිය එල්.ටී.ටී.ඊ සංවිධානයේ රාසයියා පාර්තිපන් හෙවත් ත්‍යාගී තිලීපන් සැමරීම සඳහා නල්ලුර් කන්දසාමි කෝවිල අසල ඉදිකර තිබු 2010 දී රජයේ ආරක්ෂක අංශ විසින් කඩා බිඳ දමන ලද තිලීපන්ගේ ස්මාරකය සමීපයේ ද දෙමළ ජනයා 27 වැනිදා රාත්‍රියේදී අනුස්මරණ සිදු කර ඇත.

පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ ශ්‍රී ලංකා යුද හමුදාවට එරෙහි සටනේදී දිවිපිදු තම විරුවන් දෙමළ ජනයා විසින් යාපනයේ එල්ලාංකුලම් සබාබාහු නිව්ටන් ක්‍රීඩා පිටියේදීද අනුස්මරණය කළ අතර ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK) විසින් යාපනයේ නෙල්ලිඅඩිහිදීත් අනුස්මරණ සමරුවක් පැවැත්වු බවයි.

යුද්ධයෙන් වැඩිම හානියට පත් මුලතිව් දිස්ත්‍රික්කයේ මුල්ලියාවලෙයි, ඉරනෙයිපාලෙයි, තේරාවිල්, වන්නිවිලාන්කුලම්, අලම්පිල්, ආලන්කුලම් ඇතුළු ‘මහවිරු සුසාන භුමි’ රැසකම මහවිරු අනුස්මරණ පවත්වා තිබේ.

යුද බිමේ මියගිය සමීපතමයන්ට මලින් පහනින් බුහුමන් දැක්වීමට මහවැසි නොතකා මන්නාරමේ දෙමළ වැසියන් එක්ව තිබුනේ ආට්කාට්ටිවේලි සහ පන්ඩිවිරිච්චාන් දෙමළ මහවිරු සුසාන භූමි වෙතයි.


කිලිනොච්චි කනගපුරම්, මුලංගාවිල් යන මහවිරු සුසාන භුමි තුළ මෙන්ම තුලදී මලින්, පහනින් සහ කදුලින් යුද්ධයේදී ඝාතනයට ලක් වු සිය සමීපතමයන් අනුස්මරණය කිරීමට දෙමළ ජනයා කටයුතු කර ඇත.

යුද්ධයේදී ඝාතනයට ලක් වු සිය සමීපතමයන් වව්නියාව දිස්ත්‍රික්කයේ දෙමළ ජනයා අනුස්මරණය කර ඇත්තේ ඊච්චන්කුලම් සුසාන භුමියේදීය. වව්නියා දිස්ත්‍රික් පුරවැසි කමිටුව විසින් වව්නියාව නගර ශාලාවේදී ද යුද්ධයේදී ඝාතනයට ලක් වු සිය සමීපතමයන් අනුස්මරණය කළ බව පළාත් බද වාර්තාකරුවෝ වැඩි දුරටත් පවසති.

මඩකලපුව, මාවඩි මුන්මාරි, තරවෙයි, වාකරෙයි කන්ඩලඩි මහවිරු සුසාන භුමි තුලදී මෙන්ම අම්පාර කන්ජිකුඩිච්චිආරු හා ත්‍රිකුණාමලය, සාම්පුර් ආලන්කුලම් මහවිරු සුසාන භුමි තුලත්, මහවිරු අනුස්මරණ පැවැති බව පලාත් බද වාර්තාකරුවෝ වැඩි දුරටත් පවසති.

උතුරු නැගෙනහිර දෙපළාතට ඇදහැලෙන මහ වැසි නිසා ප්‍රදේශයේ ස්ථාන රැසකටම විදුලිය විසන්ධි වීමත්, අන්තර්ජාල පහසුකම් අක්‍රීය වීමත් නිසා මහවිරු අනුස්මරණ වීඩියෝ දර්ශන බොහෝමයක් ජනමාධ්‍ය ආයතන වෙත මේ දක්වාම බෙදා හැරීමට පළාත්බද මාධ්‍යවේදීන්ට නොහැකි වී තිබේ.

මහවිරුවන් ලෙස දෙමළ ජනයාගේ ගෞරවයට පාත්‍ර වන දසදහස් ගණනක් මිහිදන් කොට ඇති ‘තුයිලම් ඉල්ලම්’යනුවෙන් හැඳින්වෙන සුසාන භූමි ගණනාවක්ම රජයේ හමුදා විසින් විනාශ කොට කඳවුරු ඉදිකොට ඇති හෙයින් ජනතාවට අනුස්මරණ පවත්වන්නට සිදුවී තිබුනේ යාබද ඉඩම්වලය.

එල්.ටී.ටී.ඊ. පාලනය යටතේ පැවති දෙමළ ජනතාවගේ භූමි ප්‍රදේශ හමුදාව විසින් අත්පත් කර ගැනීමත් සමඟ, උතුරු සහ නැඟෙනහිර ප්‍රදේශවල මියගිය දෙමළ සටන්කාමීන්ගේ සොහොන් 20,400 ක් පමණ තිබූ සුසාන භූමි 25 කට ආසන්න ප්‍රමාණයක් ශ්‍රී ලංකා යුද හමුදාව විසින් ඩෝසර් කර සමරු පලක කඩා බිඳ දමා තිබේ.

The Leader

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.