බැංකු පොලිය ඉහල දැමීමට අවුරුද්ද මුලදීම ගුරු විරෝධය

සේයා අන්තර්ජාලයෙන්

ගුරු-විදුහල්පතිවරු ඇතුළු අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ පිරිස් විසින් ගන්නා ලද ණය මුදල් සඳහා පොලිය ඉහළ දැමීම වහාම නතර කරන ලෙස දිවයිනේ ප්‍රමුඛතම ගුරු සංගමයක් ඉල්ලා සිටි.

ගුරුවරු පිරිසක් සමග ජනවාරි 2 වැනි සදුදා  මහජන බැංකුවේ මහා කළමනාකාරවරයා හමුවීමට ගිය ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින්  කළමනාකරු වෙත ලිඛිතවම එම ඉල්ලීම භාර දීමට කටයුතු කර තිබේ.

පාසල්වල ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් වෙත මහජන බැංකුව මගින් ‘ගුරු සෙත’ ණය ලබාදීම සිදු කරනු ලැබේ. අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ පිරිස් විසින් මහජන බැංකුවෙන් විශාල වශයෙන් එම ණය ලබාගෙන ඇති අතර, මේ වන විටත් අදාළ ණය වාරික සහ පොලී ගෙවීමට කටයුතු කරමින් සිටින බවයි ලංකා ගුරු සංගමය පවසන්නේ.

“මෙම ‘ගුරු සෙත’ ණය පසුගිය කාලයේ ලබාදෙන ලද්දේ 9.5% ක පොලී අනුපාතයකටය. එම අනුපාතයට අනුව එම ණය ගෙවමින් තිබියදී මේ වන විට 9.5% සිට 15.5% දක්වා එම පොලී අනුපාතය වැඩි කරන බවට මේ වන විට ‘ගුරු සෙත’ ණය ලබාගත් ගුරුවරුන්ට මහජන බැංකු ශාඛාවන්  මගින් ලිපි ලැබෙමින් පවතී.”

මෙය බරපතල පීඩාකාරී මෙන්ම අසාධාරණ තත්වයක් බව ලංකා ගුරු සංගමය  බැංකු කළමනාකාරීත්වයට පෙන්වා දී තිබේ.

විශේෂයෙන් ම ණය ලබාදීමේදී බැංකුව විසින් 40% ක ණය අවකරණ සීමාව සලකා බලන අතර, එම අවරකරණ සීමාවට යටත්ව 9.5% ක පොලියට ලබාදුන් ණය සඳහා 15.5% ක් ලෙස පොලිය ඉහළ දැමීමෙන් ඉහත දැක්වූ 40% අවකරණ සීමාව ද ඉක්මා යන තත්වයක් ඇති වී ඇති බවයි ලංකා ගුරු සංගමය පවසන්නේ.

ජෝසප් ස්ටාලින් ගුරු සංගම් නායකයා පෙන්වා දෙන පරිදි මහජන බැංකුවේ 2021 වාර්ෂික වාර්තාව අනුව මිලියන 14.5 ක් වන ගනුදෙනුකරුවන්ගෙන් 1.9% ක් එනම් ගණුදෙනුකරුවන්  275500 ක් පමණ වන අධ්‍යාපන ක්ෂේත්‍රයේ  පිරිස් සඳහා ණය ලබා දී ඇත.

මේ තත්වය තුළ අධ්‍යාපන ක්ෂේත‍්‍රයට ලබාදුන් ණය සඳහා පොලී අනුපාත වැඩි කිරීමෙන් එම ණය ලබාගත් සියලූ දෙනා පවතින ආර්ථික අර්බුදකාරී තත්වය තුළ තවදුරටත් පීඩාවට පත් වන බව  සිය ලිපිය මගින් ගුරු සංගම් නායකයා පෙන්වා දී තිබේ.

මෙම තත්වය පිළිබඳව අවධානය යොමු කර අධ්‍යාපන ක්ෂේත‍්‍රය සඳහා ලබාදුන්  ණය සඳහා පොලී අනුපාත  වැඩි කිරීමට ගෙන ඇති තීරණය නතර කරන ලෙසත්, විශේෂයෙන් ‘ගුරු සෙත’ ණය ක‍්‍රමය යටතේ ණය ලබාගෙන ඇති ගුරු  සහ විදුහල්පතිවරුන්ගේ  ණය පොලී 9.5% සිට 15.5% දක්වා ඉහළ දැමීමේ තීරණය නතර කර,  ණය ලබාගත් අවස්ථාවේ එකඟ වු  9.5% පොලී අනුපාතයම අය කිරීමට කටයුතු යොදන ලෙසත් ඉල්ලා ලංකා ගුරු සංගමය ඉල්ලා ඇත.

එම ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් බැංකු නිලධාරීන් ප්‍රකාශ  කර ඇත්තේ බ්‍රහස්පතින්දා දින වනවිට ඒ සම්බන්ධයෙන් පිළිතුරක් ලබාදෙන බවයි.

TheLeader

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.