ජාතික ප්‍රශ්නයක් විසඳීම සඳහා ආණ්ඩුව සමිති වලට දිනයක් දීම මගහැරලා !

ඇමරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට පනවා ඇති තීරු බදු නිසා රට මුහුණදෙන අර්බුදය විසඳීම වෙනුවෙන් විකල්ප යෝජනා ඉදිරිපත් කිරීම සඳහා වෘත්තීය සමිති නියෝජිතයන්ට අවස්ථාවක් ලබා දීම මගහැරීම සම්බන්ධයෙන් ආණ්ඩුවට බරපතල චෝදනා එල්ල වී තිබේ.

නිදහස් වෙළෙඳ කලාප සහ පොදු සේවා සේවක සංගමයේ සම ලේකම්වරයා කොළඹදී මාධ්‍ය හමුවක් කැදවමින් අවධාරණය කළේ බදු සම්බන්ධයෙන් ඇමරිකානු රජය සෑහීමකට පත් වෙන යෝජනායක් ආණ්ඩුව විසින් ඉදිරිපත් කරනු ඇතැයි කිසිදු විශ්වාසයක් නොමැති අතර එය මෙරට ශ්‍රමිකයන්ට විශාල බලපෑමක් එල්ල කරනු ඇති බවයි.

විමුක්ති දිනය ලෙස හදුන්වමින් 2025 අප්‍රේල් 2 දා ප්‍රකාශයට පත් කළ ඉහල වෙළෙඳ බද්ද මාස තුනකට අත්හිටුවීමට ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ක්‍රියාකළත් එය ජුලි 09 වැනිදා සිට යළි ක්‍රියාත්මක වීමට නියමිත බව ධවල මන්දිරය ප්‍රකාශයට පත් කර තිබේ.

නිදහස් වෙළෙඳ කලාප සහ පොදු සේවා සේවක සංගමයේ සම ලේකම් ඇන්ටන් මාර්කස් අවධාරණය කරන්නේ ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා ඉල්ලු අවස්ථාව මේ වන තෙක් ආණ්ඩුව විසින් සලසා නොදුන් බවයි.

“මේක බරපතල ප්‍රශ්නයක්. මේක ජාතික ප්‍රශ්නයක්. මොකද මේකේ බලපෑම කම්කරුවන්ට විශේෂයෙන්ම බලපානවා. ඒ විතරක් නෙමෙයි අපනයන ක්ෂේත්‍රයේ සියළුම අයට බලපානවා සහ අවසානයේදී ජනතාවට බලපානවා. මොකද මේ බදු යෝජනා කරලා තියෙන්නේ ලංකාවට 44% ක බද්දක්. දැනට තියන 12% බද්ද 44% ක් දක්වා වැඩි වෙනවා.”

ගෝලිය බදු අර්බුදය පිළිබදව විකල්ප යෝජනා ඉදිරිපත් කිරීමේ සමාජ ව්‍යාපාරය නමින් ඒකාබද්ධ වූ සංවිධාන 29 ක් ක්ෂනික යෝජනා ඇතුලත් කරමින් ජනාධිපතිවරයා වෙත ලිපියක් පසුගිය මැයි මාසයේ දී යොමු කර ඇත්තේ ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා දිනයක් ඉල්ලමිනි.

නිදහස් වෙළෙඳ කලාප සහ පොදු සේවා සේවක සංගමයේ සම ලේකම් ඇන්ටන් මාර්කස් පවසන්නේ ඒ සදහා ජුනි 20 වැනිදා වේලාවක් වෙන් කර තිබු නමුත් එදින පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලැබුන දුරකතන ඇමතුමක් මගින් දැනුම් දුන්නේ දින නියමයක් නොමැතිව එම සාකච්ඡාව කල් දමන ලද බවයි. එම සාකච්ඡාව සඳහා මේ දක්වාම ජනාධිපති ලේකම් කාර්යාලයෙන් වෘත්තිය සමිති නායකයන්ට අවස්ථාවක් සලසා දී නැත.

වෙළෙඳ බදු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා ඇමරිකාව වෙත ආණ්ඩුව නියෝජනය කරමින් ගිය පිරිස අතර ශ්‍රමිකයන් නියෝජනය කළ කිසිවෙකුත් නොවු බවට චෝදනා කරන වෘත්තිය සමිති නායකයා අවධාරණය කරන්නේ ජනාධිපතිවරයාට යොමු කළ ලිපිය මගින් මුලික ලෙසම ඉල්ලා තිබුනේ බදු ප්‍රශ්නය, ජාතික ප්‍රශ්නයක් ලෙස සලකා සියළු පාර්ශවයන්ගෙන් සැදුම්ලත් ජාතික කමිටුවක් පත් කිරීමේ අවශ්‍යතාවය බවයි.

“අපි කියා හිටියේ මේක ජාතික ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නෙට විසදුම් හොයන්න යද්දී සියළු පාර්ශවයන්ගෙන් සැදුම්ලත් ජාතික කමිටුවක් ආණ්ඩුවෙන් පත් කළ යුතුයි කියලා. “

ට්‍රම්ප් ගේ වෙළෙඳ බදු නිසා කිසිදු සේවකයෙකුගේ රැකියා අහිමි නොවන බවට ආණ්ඩුව ප්‍රතිපත්තිමය තිරණයක් ගත යුතු බවත්, යම් ආයතනයක් පවත්වාගෙන යාමට නොහැකි තත්වයක් පවතීනම් ඒ ආයතන වලට සහන ලබා දීමේ ප්‍රතිපත්තියක් ආණ්ඩුව ගත යුතු බවත් ගෝලිය බදු අර්බුදය පිළිබදව විකල්ප යෝජනා ඉදිරිපත් කිරීමේ සමාජ ව්‍යාපාරය ජනාධිපතිවරයාට එම ලිපිය මගින් අවධාරණය කර තිබේ.

ඇමරිකානු ජනාධිපතිගේ වෙළෙඳ බදු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට සුබදායි විසඳුමක් ලැබෙනු ඇති බවට ආණ්ඩුවේ මැති ඇමතිවරුන් සිදු කරන ප්‍රකාශ මේ දින වලදී දැකගත හැකි නමුත් ලැබෙන සුබදායි විසඳුම කුමක්දැයි ප්‍රශ්න කරන ඇන්ටන් මාර්කස් ජ්‍යෙෂ්ඨ වෘත්තිය සමිති නායකයා අවධාරණය කරන්නේ විසඳුම තිරණය වන්නේ ශ්‍රී ලංකාව විසින් යෝජනා කරන විසඳුම කුමක්ද යන්න මත බවයි.

ආණ්ඩුවේ යෝජනා කවරේදැයි දැනගැනීමට රටේ ජනතාවට අයිතියක් ඇතත් ආණ්ඩුව විසින් ඒවා ප්‍රකාශයට පත් කර නොමැති බව පෙන්වා දෙන නිදහස් වෙළෙඳ කලාප සහ පොදු සේවා සේවක සංගමයේ සම ලේකම්වරයා ජුනි 07 වැනිදා කොළඹදී කියා සිටියේ ඇමරිකාව සැහීමකට පත් වන ආකාරයේ යෝජනාවක් ආණ්ඩුව විසින් ඉදිරිපත් කරනු ඇතැයි කිසිදු විශ්වාසයක් නොමැති බවයි.

සාකච්ඡාවක් සදහා ආණ්ඩුව ලැහැස්ති නම් ගෝලිය බදු අර්බුදය පිළිබදව විකල්ප යෝජනා ඉදිරිපත් කිරීමේ සමාජ ව්‍යාපාරය ලෙස යෝජනා ඉදිරිපත් කිරීමේ හැකියාවක් පවතින අතර ඒ සදහා ආණ්ඩුවෙන් යහපත් ප්‍රතිචාරයක් නොමැතිනම් එම යෝජනා ජනතාව අතරට ගෙනයන බවටත් ඔහු අවධාරණය කර තිබේ.

” අපි පැහැදිලිවම කියනවා, මේකේ අනිසි බලපෑම් අනිවාර්යෙන්ම ඇති වෙන්න යනවා. ඒකට සුදානම් වෙන්න ආණ්ඩුව ලැස්ති තැත්නම් මේ රටේ වෘත්තිය සමිති, බහුජන සංවිධාන, කාන්තා සංවිධාන සමග එකතු වෙලා කටයුතු කරන්න අපිට සිද්ධවෙනවා. සංවිධාන හැටියට අපි ජනතාව මේ පිළිබදව සුදානම් කරන්න, දැනුවත් කරලා මේ අර්බුධයට ප්‍රති විපාක කම්කරුවන් මත, ජනතාව මත පැටවීමට උත්සාහයක් දරනවානම් අපි ඒකට විරුද්ධව කටයුතු කිරීමට සුදානම් බව අපි ප්‍රකාශ කරන්න කැමතියි.” ඇන්ටන් මාර්කස් වැඩි දුරටත් අවධාරණය කළේය.

මේ අතර අමෙරිකානු තීරුබදු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට යහපත් ප්‍රතිචාරයක් ලැබෙනු ඇති බව කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත විශ්වාසය පළකර තිබේ.

The Leader

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.