දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරීමෙන් ‘කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නෑ’

සේයා අන්තර්ජාලයෙන්

දශක දෙකකටත් වැඩි කලත් තිස්සේ සිරගත කර සිටින දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමට නව ජනාධිපතිවරයාගේ මැදිහත්වීමක් ඉල්ලා සිටින උතුරේ දෙමළ මාතාවක් ඔවුන් නිදහස් කිරීමෙන් සමාජයට කිසිදු අගතියක් නොවන බවට සහතික වී තිබේ.

“ඒ ගොල්ලන් ඔය ගොල්ලන් නිදහස් කරන එකෙන් ඔයාලට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නෑ. ඒ ගොල්ලන්ගෙන් මොන ප්‍රශ්නයක් ආවත් ඒ ඔක්කෝටෝම අපි මුහුණ දෙන්න බලාපොරොත්තු වෙනවා. අපි ඇප වෙනවා. අපේ දරුවන් වෙනුවෙන් ඔයගොල්ලන්ට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නෑ.”

කිලිනොච්චිය මාධ්‍ය සමාජයේදී පැවැති මාධ්‍ය හමුවකදී සිංහල බසින් ඒ බව පැවසු සෙල්ලයියා පවලවල්ලි දෙමළ මාතාව වැඩි දුරටත් පෙන්වා දුන්නේ අත්අඩංගුවට ගෙන වසර 20 සිට 25 ගතවී තවමත් සිරගත කර සිටින දෙමළ සිරකරුවන් ගණන 46 දෙනකු බවයි.

දේශපාලන සිරකරුවන්ට නිදහස ලබා දෙන ලෙස ජනාධිපති ප්‍රමුඛ නව රජයෙන් ඉල්ලා සිටින සෙල්ලයියා පවලවල්ලි මාතාව අවධාරණය කරන්නේ දෙමළ දේශපාලන සිරකරුවන් වසර ගණනාවක් සිර දඩුවම් විදිමට හේතුව සිංහල ජනතාවට තේරෙන අතර ඔවුන් සිරගතව සිටින්නේ මත්ද්‍රව්‍ය වැරදිවලට හසුවී නොවන බවයි.

“සිංහල කට්ටිය ඔක්කොටෝම දැන් තේරෙනවා. මේගොල්ලෝ කුඩු විකුණලා,ගංජා විකුනලා, ඒවා කරලා ඇතුලට ගියේ නෑ.එහෙම වැරදි කවුරුත් කරලා නෑ. ඒ ගොල්ලොත් හරි කණගාටුවෙනවා.”

සිය දරුවාද දීර්ඝ කාලීන සිර දඩුවම් විදින සිරකරුවන් 46 දෙනා අතර වන බව පවසන සෙල්ලයියා පවලවල්ලි මාතාව ජනාධිපතිවරයාගෙන් ආයාචනා කර සිටියේ ඔවුන් සියලු දෙනා නිදහස් කර දෙන ලෙසයි.

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.