අයවැයෙන් පොරොන්දු වූ දවසට 200 දීමට වතු සමාගම් වැඩියෙන් දලු නෙලන්න නියම කරලා

සියවස් දෙකක් තිස්සේ මෙරට ආර්ථිකය සවිමත් කිරීමට දහඩිය වගුරන මලය රටේ වතු කම්කරු ජනයාගේ දෛනික වැටුප වැඩි කරන බවට පොරොන්දු දුන් ජාතික ජන බලවේගය ආණ්ඩුව එම ජනතාව උගසට තබා ඇති බවට වෘත්තීය සමිති නායකයකුද වන ජනතා නියෝජිතයකු චෝදනා කර තිබේ.

“මොකද, ඔබතුමාලා අද වතුකරයේ ජනතාව උකසට තියලා තියෙන්නේ. මම මේ සභාවේදී පුන පුනා කිව්වා, ‘වතු සමාගම් විශ්වාස කරන්න එපා, පඩිය වැඩි කරනවා කියලා පස්ස දොරින් ඇවිත් ලොකු ප්‍රශ්න ඇති කරයි’ කියලා.”

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී, ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම් ජීවන් තොන්ඩමන් පසුගියදා පාර්ලිමේන්තුවේ දී හෙළි කර තිබුනේ ආණ්ඩුව විසින් මෙවර අය වැයෙන් යොජනා කර තිබු සේවයට පැමිණෙන දිනක් සඳහා සමාගම් විසින් ගෙවිය යුතු රුපියල් 200 ක මුදල ලබා දීම වෙනුවට සමාගම් කර ඇත්තේ දිනකට නෙළිය යුතු තේ දළු ප්‍රමාණය ඉහළ දැමීම බවයි.

“අද හොරණ වැවිලි සමාගම, ඒ වගේම තලවකැලේ වැවිලි සමාගම නෙළන්න ඕන ප්‍රමාණය වැඩි කරලා තියෙනවා. කිලෝ 20 ඉඳන් කිලෝ 22, 23 දක්වා වැඩි කරලා. ඒ වගේම වතුකරයේ තවත් පැතිවල කිලෝ 20 ක් නෙළපු වතු සමාගම් දැන් කිලෝ 26 ක් දක්වා ඉල්ලනවා. මේකද ඔබතුමාලා අපිට දෙන විශ්වාසය? ඔබතුමාලා දෙන රුපියල් 200 දීමනාවට හිලව් වෙන්න අපිට ආපහු ලැබෙන දේ මේකද?”

2026 වසර සදහා වන අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක පසුගිය වසරේ පාර්ලිමේන්තුවට දැනුම් දී සිටියේ ඒ වන විට වතු කම්කරුවකුට ගෙවන රුපියල් 1350 ක දෛනික දීමනාව 2026 ජනවාරි මස සිට රුපියල් 1750 දක්වා ඉහළ දමන බවයි.

ඒ සේවයට පැමිණෙන දිනක් සඳහා වතු කම්කරුවකුට රජයෙන් රුපියල් 200ක දෛනික දිරි දීමනාවක් හා සමාගම විසින් රුපියල් 200 ක දීමනාවක් වශයෙනි.

එම පොරොන්දු මේ දක්වා ඉටු කිරීමට අසමත්ව ඇති ආකාරය ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම් ජීවන් තොන්ඩමන් පාර්ලිමේන්තුව හමුවේ පැහැදිලි කළේය.

“ඔබතුමාලා කිව්වා රුපියල් 1750 ක මූලික පඩියක් දෙනවා කියලා. හැබැයි අද දීලා තියෙන්නේ රුපියල් 1550 ක මූලික පඩියක් විතරයි. ඉතුරු රුපියල් 200 මාස හයක දීමනාවක්. එහෙම තිබ්බත් මම ඒකත් පිළිගන්නවා, කමක් නැහැ. වතුකරයේ ජනතාවට දුන්න පොරොන්දුව ඔබතුමාලා ඉටු කළේ නැහැ. හැබැයි රුපියල් 1550 ක මූලික පඩියක් දීලා තියෙනවා. “

ශ්‍රමයට සරිලන වැටුපක් නොමැතිව සියවස් දෙකක් තිස්සේ මෙරට ආර්ථිකය සවිමත් කිරීමට දහඩිය වගුරන මලය රටේ වතු කම්කරු ජනයාගේ වෘත්තීය ජීවිතයේ දුෂ්කරතාවයද ජීවන් තොන්ඩමන් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුව හමුවේ පැහැදිලි කර තිබුනි.

“අද සමහර අය ආණ්ඩුවට කොඩි අල්ලගෙන ඉන්නවා ඇති. ‘නැහැ නැහැ, අපේ ජනාධිපතිතුමා කරයි, ජනාධිපතිතුමා කරයි’ කියලා. මම ඔබ තමුන්නාන්සේලා සියලු දෙනාටම එක දෙයක් කියන්නම්. කොඩි අල්ලන අය වුණත්, වතුකරයේ වැඩ නොකරන අය වුණත්, මේ සභාවේ ඉන්න ඔබ තමුන්නාන්සේලා වුණත්, මම වුණත්… දවසට තුන් වතාවක්—උදේ, දවල්, හවස—කන්ද නැගලා දලු නෙළන අය තමයි දන්නේ එක කිලෝවක් වැඩි වුණාම කොච්චර අමාරුද කියලා.”

වතු වෘත්තීය සමිති පෙන්වා දෙන පරිදි අවුරුදු කීපයකට ඉහතදී ඉටු නොවූ ඉල්ලීමක්වූ රුපියල් 1750ක දෛනික වැටුප අද පවත්නා ආර්ථික තත්වය හමුවේ කිසිසේත්ම ප්‍රමාණවත් නැත.

The Leader

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.