උතුරේ තවත් සමූහ සුසාන පහක් ගැන උසාවිය වාර්තා ඉල්ලයි

යාපනයේ දුපත් කලාපයේ ඇති බවට පැමිණිලි ඉදිරිපත් වී ඇති සමුහ මිනි වළවල් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අධිකරණය පොලීසියට නියෝග කර තිබේ.

කයිට්ස් මහේස්ත්‍රාත් නලිනි සුබාස්කරන් යාපනය දිස්ත්‍රික්, අපරාධ නිවාරණ කොට්ඨාසයට නියෝග කර ඇත්තේ 2025 නොවැම්බර් 12 වැනි දින එම වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.

තිස් පස් වසරකට ඉහතදී අතුරුදහන් කරන ලද සිය ඥාතීන් වල දමා ඇති කයිට්ස්, අරාලි හන්දිය, මන්කුම්බාන් ගණ දෙවි කෝවිල අසල, අල්ලෙයිපිට්ටි සහ මණ්ඩතිව් යන ස්ථාන පහේ කැනීම් සිදුකර සාධාරණ පරීක්ෂණයක් පවත්වන ලෙස වින්දිත පවුල්වල සාමාජිකයන් අගෝස්තු මාසයේදී කයිට්ස් පොලීසියට පැමිණිල්ලක් ගොනු කර තිබේ.

එයට අදාලව කයිට්ස් පොලීසිය කයිට්ස් මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කළ නඩුව සැප්තැම්බර් 17 වැනිදා විභාගයට ගත් අවස්ථාවේ පොලීසිය අධිකරණයට දැනුම් දී ඇත්තේ එම ස්ථාන සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට තරම් නිලධාරීන් පිරිසක් සහ පහසුකම් සිය පොලිස්ථානය සතුව නොමැති බවයි.

එම ස්ථාන සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා මීලඟ නඩු දිනය වන නොවැම්බර් 12 වැනි දිනට අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කයිට්ස් මහේස්ත්‍රාත් නලිනි සුබාස්කරන් යාපනය දිස්ත්‍රික්, අපරාධ නිවාරණ කොට්ඨාසයට නියෝග කළ බවයි පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ.

සිරුරු 60 ට අධික ප්‍රමාණයක් එක ළිඳක

කයිට්ස්, අරාලි හන්දිය, මන්කුම්බාන් ගණ දෙවි කෝවිල අසල, අල්ලෙයිපිට්ටි සහ මණ්ඩතිව් යන ස්ථාන පහේ වල දමා තිබෙන බවට විශ්වාස කෙරන තිස් පස් වසරකට ඉහත දී අතුරුදහන් කරන ලද සිය ඥාතීන් දෙමළ ජනයා මුල්ම වතාවට 2025 අගෝස්තු 26 වැනි අඟහරුවාදා මලින් පහනින් අනුස්මරණය කිරීමට කටයුතු කර තිබුනි.

වේලනෙයි ප්‍රාදේශීය සභාවේ ස්වාධීන මන්ත්‍රී ස්වාමිනාදන් පිරකලාදන් 2025 අගෝස්තු 20 වැනිදා හෙළි කර තිබුනේ යාපනයේ, මන්ඩතීව් වතු ඉඩමේ ළිඳක පමණක් මළ සිරුරු හැටකට ආසන්න සංඛ්‍යාවක් තිබෙන බවයි.

මන්ඩතීව් ළිද සම්බන්ධයෙන් ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK) ජ්‍යෙෂ්ඨ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවඥානම් ශ්‍රී ධරන් 2025 ජුලි මාසයේදී පාර්ලිමේන්තුවේ අවධානයට ලක් කරන මොහොතේ අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර එය ප්‍රතික්ෂේප කරමින් පවසා තිබුනේ ඒ සම්බන්ධයෙන් පොලිස් පැමිනිල්ලක්, විශ්වාස කළ හැකි තොරතුරක් හෝ අධිකරණ නියෝගයක් නොමැතිව ක්‍රියාමාර්ග ගැනීමට නොහැකි බවයි.

මන්ඩතීව් වතු ඉඩමේ ළිඳක දමා ඇති සිරුරු සම්බන්ධයෙන් ඇසින් දුටු සාක්ෂිකාරියක් තවමත් ජීවතුන් අතර සිටින බව වේලනෙයි ප්‍රාදේශීය සභාවේ ස්වාධීන මන්ත්‍රී ස්වාමිනාදන් පිරකලාදන් අගෝස්තු 20 වැනිදා වැඩි දුරටත් හෙළි කර තිබුනි.

තිස් පස් වසරකට ඉහතදී රජයේ හමුදා විසින් සිදු කළ සෝදිසි මෙහෙයුමක් ගැන සිහිපත් කළ ස්වාමිනාදන් පිරකලාදන් එහිදී අවධාරණය කර තිබුනේ එදින හමුදා විසින් සිය භාරයට ගත් අය අතුරින් 84 දෙනකුට අත් වු ඉරණම සම්බන්ධයෙන් මේ තාක් කිසිදු තොරතුරක් නොමැති බවයි.

හමුදාව සිය භාරයට ගත් අයගෙන් පිරිසක් ඝාතනය කර ළිංවලට දැමු බව ස්වාමිනාදන් පිරකලාදන් ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයා එදින තව දුරටත් හෙළි කර තිබුනි.

තම දරුවා ඇතුළු 84 දෙනකු මණ්ඩතිව් වලදී අතුරුදහන් කරවීම සහ ඔවුන්ට යුක්තිය ලබා දෙන ලෙස ඉල්ලමින් මණ්ඩතිව් තුන් වැනි කලාපයේ පදිංචි සුසයිදාස් ජේසුරත්නම් ධර්මරානි මාතාව 2025 අප්‍රේල් මස 30 වැනිදා ජනාධිපතිට අනුර කුමාර දිසානායකට ලිපියක් යොමු කර තිබු බව පළාත් බද වාර්තාකරුවෝ පවසති.

The Leader

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.