කෝටි දහදාහ පන්නා ලාභ ලැබූ බැංකුවක සේවකයන්ගේ බෝනස් බාගෙට බස්සයි

ජනාධිපතිවරයාගේ යටතේ පවතින අමාත්‍යංශයක් විසින් සිය දිරි දීමනාව හරි අඩකින් කප්පාදු කිරීමට ගත් උත්සාහයක් නිසා, දිවයිනේ ප්‍රධානතම රාජ්‍ය බැංකුවක කාර්ය මණ්ඩලය වෘත්තීය අරගලයකට එළැඹ සිටී.

2024 වසර වෙනුවෙන් ලංකා බැංකුව උපයා ගත් රුපියල් බිලියන 106ක වාර්තාගත ලාභයට සාපේක්ෂව එහි අධ්‍යක්ෂ මණ්ඩලය තීන්දු කළ මාස 06 ක සේවක දිරිදීමනාව ජනාධිපති යටතේ පවතින මුදල් අමාත්‍යංශය විසින් මාස 03 කට සීමා කිරීම හේතුවෙන් ආණ්ඩුවේ ප්‍රධානම පක්ෂය වන ජවිපෙ සමිතිය ඇතුලු ලංකා බැංකුවේ වෘත්තීය සංගම් සටන් මගට පිවිස තිබේ.

ඒ අනුව ලංකා බැංකු සේවකයෝ පසුගිය මැයි 22 සවස 3.45 ට කාර්යාලයෙන් බැහැර වූ අතර, මැයි 29 දින භාගයක වැඩවර්ජනයක නිරත වූහ. මැයි 28 වන දින, දිවයින පුරා තෝරාගත් නගර 22කදී දහවල් පිකට් උද්ඝෝෂණ සංවිධානය කර තිබූ අතර, දිගටම ක්‍රියාත්මක වන සහයෝගය නොදැක්වීම සහ ලිහිල් ඇඳුමින් සැරසී සේවයට වාර්තා කිරීම යන විරෝධතා ක්‍රියාමාර්ග දැනට ලංකා බැංකුව තුළ ගෙනයමින් පවතී.

පසුගිය 2025 මැයි 27 දා ලංකා බැංකු‌ සේවක සංගමය විසින් මාධ්‍ය වෙත නිකුත් කරන ලද නිවේදනය මගින් පෙන්වා දෙන්නේ, අධ්‍යක්ෂ මණ්ඩලය තීන්දු කළ මාස 06 ක සේවක දිරිදීමනාව ලබා දීමට මුදල් නියෝජ්‍ය අමාත්‍යවරුන් ද එකඟව සිටියදී අමාත්‍යාංශය කළ මෙම කප්පාදුව තමන් වෘත්තීය ක්‍රියාමාර්ග වලට බැසීමට හේතුවූ බවයි.

“ලංකා බැංකුවේ අධ්‍යක්ෂක මණ්ඩලය විසින් අනුමත කරන ලද හා 2025.05.01 වන දින මුදල් නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවේදී එකඟවූ ලංකා බැංකුවේ 2024 වර්ෂයේ ලාභය පදනම් කරගනිමින් වූ දිරි දීමනාව සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටළුව නිරාකරණය කර ගැනීම සඳහා ලංකා බැංකුවේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය විසින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කරමින් පවතියි.”

මේ සම්බන්ධයෙන් ලංකා බැංකු සේවක සංගමයෙන් කළ විමසීමකදී, ඔවුන් පෙන්වා දුන්නේ, 2000 දී සමස්ත රාජ්‍ය බැංකු වල ලාභය පහත වැටුනු අතර ලාබය නැංවීම දිරිමත් කිරීම සඳහා, වාර්ෂිකව ලබා දෙන මාස දෙකක වැටුප ප්‍රසාද දීමනාවට අමතරව, ඒ ඒ බැංකුව ලබන ලාභය මත පදනම්ව සේවයන් හට දිරිදීමනාවක් ලබාදීමට මුදල් අමාත්‍යාශයේ අනුමැතිය සහිතව බැංකු පාලනාධිකාරිය බැංකු සේවක සංගමය සමග සාමුහික ගිවිසුම්වලට එළැඹි බවයි.

මෙම දිරි දීමනාවල ප්‍රමාණය 2001වසරේ සිට තීරණය කිරීමේ වගකීම මුලුමනින්ම බැංකුවල අධ්‍යක්ෂ මණ්ඩල සතුව තිබී ඇත.

මෙහිදී මහජන බැංකුව සහ ජාතික ඉතිරිකිරීමේ බැංකු අධ්‍යක්ෂ මණ්ඩල වලට සේවකයන් සඳහා දිරි දීමනා ලබාදීම සඳහා මුදල් අමාත්‍යාංශ අනුමැතිය අවශ්‍ය නොවන නමුත්, ලංකා බැංකු පනත අනුව, එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ නිර්දේශ අමාත්‍යාංශ අනුමැතිය සඳහා යොමු කිරීම සිදුව තිබේ.

“2024 වර්ෂයට අදාලව මහජන බැංකුව බදු පෙර ලාභ රුපියල් බිලියන 41ක්, ජාතික ඉතිරි කිරීමේ බැංකුව බිලියන 26.4ක් සහ ලංකා බැංකුව වාර්තාගත රුපියල් බිලියන 106ක් උපයලා තියෙනවා. මේ තත්වය යටතේ මහජන බැංකුව සහ ජාතික ඉතිරිකිරීමේ බැංකු අධ්‍යක්ෂ මණ්ඩල සේවකයන් සඳහා මාස තුනක දිරි දීමනා ලබාදීමට තීන්දු කළා. ඒ බැංකු දෙකට අදාල නීතිමය තත්වයන් ඇතුලත මෙම දීමනා ලබා දෙන්න මුදල් අමාත්‍යාංශයෙ අනුමැතිය අවශ්‍ය නෑ. නමුත්, ලංකා බැංකුවේ වාර්තාගත ලාබයට අනුව අධ්‍යක්ෂ මණ්ඩලය දිරි දීමනා ලෙස සේවකයන්ට මාස 6ක වැටුප් නිර්දේශ කළත්, නීතිමය තත්වය නිසා අමාත්‍යාංශ අනුමැතිය සඳහා ඒක යොමු කරල තිබෙනවා. මෙහිදී මුලින් මාස හයක වැටුප මාස පහක් දක්වා කපනව කිව්වත්, ඒ මාස පහේ දීමනාව ඇතුලට බැංකුව ලබා දෙන මාස 2ක ප්‍රසාද දීමනාත් ඇතුලත් කරල. එහෙම ගත්තම ලංකා බැංකුවේ සේවකයන්ටත් අතට දිරි දීමනා විදියට ලැබෙන්නෙ වැටුප් 3ක් විතරයි,” ලංකා බැංකු සේවක සංගමයේ ජ්‍යෙෂ්ට උප සභාපති අනූප නන්දුල ප්‍රකාශ කර සිටියේය.

මුදල් අමාත්‍යංශයේ පද පෙරළි

මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කරන ජනාධිපතිවරයා විසින් සෘජුව මැදිහත් වී සිදු කරන ලද ඉල්ලීමකට අනුව, සිය මාස 6ක දිරි දීමනා ඉල්ලීම මාස 5ක් දක්වා අඩු කිරීමට එකඟ වූ පදනමක් තුළ, අමාත්‍යංශය විසින් අනුමැතිය ලබා ගැනීමේදී සිදු කරන ලද පද පෙරළියකට අනුව මෙම ගැටළුව ඉස්මතු වූ බව ඔහු වැඩිදුරටත් පැවසීය.

“මේකෙ වඩාත් ගැටලුකාරී තත්වය තමා මුදල් ඇමතිවරයා විදියට ජනාධිපතිවරයා විසින් සංගමයෙන් කළ පුද්ගලික ඉල්ලීමට එකඟ වෙලා වැටුප් 5ක් දිරි දීමනා ලෙස භාර ගන්න සංගමය කැමතිවුනාට පස්සෙත් අමාත්‍යාංශය ඔය කිව්ව වෙනස් කිරීම් එක්ක යෝජනාව අනුමැතියට යැව්ව එක.”

ඒ අනුව, ලාභය මත පදනම්වූ දිරි දීමනා ඉල්ලීම මාස 6ක සිට මාස 5ක් දක්වා අඩු කරගැනීමට සේවකයන් ජනාධිපතිවරයා සමඟ එකඟවද්දී, අමාත්‍යංශය විසින් පෙර කී සාමාන්‍ය වාර්ෂික ප්‍රසාද දීමනාවට අදාල මාස දෙකද මේ මාස 5 තුළට ඇතුල් කර ගණනය කර ජනාධිපති අනුමැතිය ලබා ගැනීම හේතුවෙන් බිලියන 100 ඉක්මවා ලාභ ඉපයූ ලංකා බැංකුවේ සේවකයන්ගේ දිරි දීමනාව මාස 3ක වැටුප දක්වා අඩු කිරීමට අමාත්‍යාංශය උත්සාහ දරා තිබේ.

“මේ නිසා වෘත්තීය සමිති භේදයක් නැතුව ලංකා බැංකුවේ සියලු සේවකයින් මේ අහිමි කරන ලද දිරිදීමනාව ලබා ගන්න, ආණ්ඩුවට පක්ෂපාතී සමිතියේ සහභාගීත්වයද සහිතව, වෘතීය ක්‍රියාමාර්ගයකට එළඹිලා තියෙනවා. මේ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ගයන් තීන්දු කරන්න ලංකා බැංකු සේවක සංගමය විධායක සභා රැස්වීමක් ජුනි 04 වැනිදා පැවැත්වීමට නියමිත” බව ලංකා බැංකු සේවක සංගමයේ ජ්‍යෙෂ්ට උප සභාපති අනූප නන්දුල ප්‍රකාශ කර සිටියේය.

සටන් මැද තුනෙන් එකක්

මැයි 29 දින ලංකා බැංකුවේ සේවකයන් දින භාගයක වැඩවර්ජනය ක්‍රියාත්මක කරද්දී, අහිමි කරන ලද වැටුප් 3ක දිරිදීමනාවෙන් එක් වැටුපක් ලබා දීමට ලංකා බැංකු කළමනාකාරීත්වය කටයුතු කර තිබේ.

ඒ අනුව මූලික ප්‍රසාද දීමනාව වන මාස දෙකක වැටුපට අමතරව, මේ වන විට දිරි දීමනා ලෙස මාස 4ක වැටුප් ලබා දීමට දැනට ලංකා බැංකුව කටයුතු කර තිබේ.

කෙසේ වුවද, පොරොන්දු වූ දිරි දීමනාව රැකගැනීම සඳහා වූ වෘත්තීය අරගලය, වැඩ වර්ජනයක් දක්වා වුවද ඉදිරියට ගෙන යාමට ලංකා බැංකු සේවකයන් සූදානම් බවත්, සිය ඉල්ලීම් වලට විසඳුම් ලබා දීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ මුදල් අමාත්‍යාංශය පියවර නොගන්නේ නම්, එළඹෙන ජූනි 6 දින සංකේත වැඩවර්ජනයක නිරත වීම දක්වා සිය වෘත්තීය ක්‍රියාමාර්ග තීව්‍ර කිරීමට ජාතියේ මහා පහන් ටැඹ ලෙසින් හැදින්වෙන ලංකා බැංකුවේ සේවකයන් සූදානම් බවත්, වෘත්තීය සමිති ක්‍රියාධරයෝ පවසති.

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.