මහාචාර්ය රාජ් සෝමදේවගේ චෙම්මනි වාර්තාව පරස්පර බවට උසාවිය තීන්දු කරයි

බිළින්දන්, දරුවන් ඇතුළු මළවුන්ගේ සිරුරු හයසියයකට ආසන්න සංඛ්‍යාවක් සොයාගන්නා ලද ශ්‍රී ලංකාවේ විශාලතම සමූහ මිනීවල සම්බන්ධයෙන් දිවයිනේ ප්‍රමුඛතම පුරාවිද්‍යා විශේෂඥයකු විසින් සම්පාදිත නවතම වාර්තාව ඔහුගේ මුල් වාර්තා හා නොගැලපෙන බව අධිකරණයේ නිගමනය වී තිබේ.

මහාචාර්ය රාජ් සෝමදේව සහ අනුෂා වන්නිනායක පුරාවිද්‍යාඥ දෙපල විසින් සම්පාදිත “යාපනයේ චෙම්මණි හි වෝහාරික පුරාවිද්‍යා කැණීම්” (Forensic Archaeological Excavation in Chemmani Jaffna) වාර්තාව යාපනය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුනේ 2026 ඔක්තෝබර් 20 වැනි දිනය. අතුරුදහන්කරනු ලැබුවන්ගේ ඥාතීන් විසින් වාර්තාවට දක්වන විරෝධය කස්තුරි අහලංකන් නීතිඥවරිය විසින් අධිකරණයට ලිඛිතව භාරදී තිබුනේ එයින් දෙදිනකට පසුවය.

සෝමදේව වාර්තාව “පරස්පරතා, පැහැදිලි නොකළ හිදැස්, මග හැරීම් හා සාවද්‍යතා” සහිත බව යාපනය මහේස්ත්‍රාත් සෙල්වනායගම් ලෙනින්කුමාර් ප්‍රකාශයට පත් කර තිබේ.

මහේස්ත්‍රාත්වරයාගේ තීරණය සහ ඉහළ පෙළේ සාකච්ඡාව

මහේස්ත්‍රාත්වරයා එම නිරීක්ෂණය ප්‍රකාශයට පත් කළේ නොවැම්බර් 19 වැනිදා පැවැති ඉහළ පෙලේ සාකච්ඡාවකදී ය. හුදෙක් සෝමදේව වාර්තාව පදනම්කොටගෙන චෙම්මනි විමර්ශන සම්බන්ධ ඉදිරි කටයුතු තීරණය කළ නොහැකි බව විනිසුරුවරයාගේ නිගමනයයි.

අතුරුදහන් කරනු ලැබූ තම සමීපතමයන් චෙම්මනි සිත්තුපාත්ති සමූහ සුසානයේ වලදමා ඇති බවට සැක කරන ඥාතීන් නියෝජනය කරන නීතිඥයන්, අතුරුදහන් තැනැත්තන් පිලිබඳ කාර්යාලයේ (OMP) කොමසාරිස්වරුන් ඇතුළු සාමාජිකයන්, යාපනය අධිකරණ වෛද්‍ය නිලධාරී සෙල්ලයියා ප්‍රනවන් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එම පරිපාලන සාකච්ඡාවට සහභාගි වී තිබේ.

මහාචාර්යවරයාගේ මෑත වාර්තාවේ දෝෂ සහගත භාවය පිළිබඳව ඥාතීන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් මෙන්ම OMP කාර්යාලයේ කොමසාරිස්වරයාද මහේස්ත්‍රාත්වරයා හමුවේ කරුණු දක්වා තිබේ. මීට ඉහතදී මහාචාර්ය සෝමදේව විසින් චෙම්මනි කැනීම් සම්බන්ධ අතුරු වාර්තා තුනක් අධිකරණයට ලබා දී තිබේ.

‘සමූහ මිනීවළ’ යන හැඳින්වීම අලුත් වාර්තාවෙන් හැලී යයි

කලින් වාර්තා තුනේදීම චෙම්මනි කැනීම් සිදුකළ ස්ථානය ‘සමූහ මිනීවල’ යනුවෙන් කළ හැඳින්වීම පිටු 190 කින් යුත් අලුත් වාර්තාවෙන් හැලී යාම නීතිඥයන් විසින් අධිකරණයට දැක්වූ කරුණු අතර වෙයි.

“දින 25ක කැනීම්වලින් එක්රැස්කරගන්නා ලද සාක්ෂිවලින් බරපතල ලෙස ගම්‍ය වන්නේ ගොඩගන්නා ලද වල සමූහ මිනීවළක් බවයි. ඒ අර්ථ නිරූපනය සාධනය කරන ප්‍රධාන දර්ශකයක් වන්නේ මළවුන් වල දමා ඇති ආකාරයයි,” යනුවෙන් මහාචාර්ය සෝමදේවගේ දෙවැනි අතුරු වාර්තාවේ පස්වැනි පිටුවේ සඳහන් වෙයි.

මහාචාර්යවරයා අධිකරණයට ලබාදුන් මුල් වාර්තාවල චෙම්මනි සමූහ මිනීවල අපරාධයක්, මානව හිමිකම් උල්ලංඝනයක් සිදුවූ ස්ථානයක් ලෙස හඳුනාගෙන තිබේ. එහෙත්, මෑත වාර්තාව එය මගහැර යාම අධිකරණයේ අවධානයට යොමු කෙරී තිබේ.

වසංගත තර්කයට නීතිඥයන්ගෙන් දැඩි ප්‍රශ්න කිරීම්

වසංගතයකින් හෝ ස්වාභාවික ව්‍යසනයකින් මළ’වුන් එතැන වලදමා ඇති බව මහාචාර්යවරයාගේ වාර්තාවෙන් යෝජනා කෙරේ.

සෞඛ්‍ය අමාත්‍යංශය, පොලිසිය, සුසාන භූමිය බාර බලධාරීන්, ප්‍රාදේශීය සභාව හෝ ආරෝග්‍යශාලාව ඇතුළු වගකිවයුතු කිසිවකුගේත් නිල ලියවිල්ලක් ගැන සඳහන් නොකර එවැනි මරණ විශාල සංඛ්‍යාවක් සිදුවූ බව සහතික කරන්නේ කෙසේද යන්න වින්දිතයන්ගේ නීතිඥයන් විසින් ප්‍රශ්න කර ඇත.

මහාචාර්ය වාර්තාවේ නිගමනය ප්‍රතික්ෂේප කරමින් ජනාධිපති නීතිඥ එම් ඒ සුමන්දිරන් පවසා ඇත්තේ වසංගතය වන වසූරියක් පිළිබඳව යාපනයෙන් අවසාන වරට වාර්තාවන්නේ 1919 දී බවයි.

කෙසේවෙතත්, පුරාවිද්‍යාඥයා විසින් මෙයින් වසරකට පමණ ඉහතදී ලබාදුන් වාර්තාවේ දැක්වෙන පරිදි, වලදැමීම් සිදුකර ඇත්තේ ‘මානව හිමිකම් උල්ලංඝන හා සම්බන්ධ සමූහ මිනීවළවල්වල ගතිලක්ෂණවලට සමාන අයුරිනි’.

ඡායාරූප කෝණ වෙනස් කිරීම සහ පාරිභෝගික භාණ්ඩ කාලනිර්ණය

මහාචාර්ය සෝමදේව විසින් අධිකරණයට ලබාදුන් දෙවැනි වාර්තාවේ එන මළ සිරුරක ඡායාරූපයක් අලුත් වාර්තාවේ වෙනත් කෝණයකින් දැක්වීම මගින් වැරදි අර්ථ නිරුපනයක් ලබා දෙනු ඇති බව නීතිඥවරුන් විසින් පෙන්වා දී ඇති එක් දෝෂයකි.

දෙවැනි අතුරු වාර්තාවේ ඇති ඡායාරූපයක දැක්වෙන පරිදි කැනීම් විශේෂඥයන් විසින් 55 ලෙස අංකනය කොට ඇති උඩුබැලියෙන් තිබෙන ඇටසැකිල්ලේ දණහිස් නැමී තිබේ. එය රූගත කොට ඇති බව පෙනෙන්නේ මළ සිරුරේ දකුණු අංශයෙනි.

“අසාමාන්‍ය ආකාරයකට වැතිර සිටින ඇටසැකිල්ලක් (අංක 55) මගින් ගම්‍ය වන්නේ එය විසිකොට දමා ඇති බවයි” යනුවෙන් එහි සඳහන් වේ.

එහෙත්, එම සිරුරේම ඡායාරූපයක් අලුත්ම වාර්තාවේ උස් කෝණයකින් දක්වා තිබීමෙන් එය අසාමාන්‍ය ආකාරයට දණහිස් නමා වැතිර සිටින ආකාරය විදහා දැක්වෙන්නේ නැති බව වින්දිතයන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන්ගේ නිරීක්ෂණයයි.

සෝමදේව සහ වන්නිනායක දෙපල විසින් සම්පාදිත චෙම්මනි අතුරු වාර්තාවේ එන තවත් දෝෂ සහගත තැන් කිහිපයක්ද නීතිඥ රත්නවේල් විසින් මහේස්ත්‍රාත්වරයාගේ අවධානයට යොමු කර තිබේ.

කැනීම්වලින් ගොඩගත් පාසල් බෑගය, තනි සෙරෙප්පුව, කාසි සහ බෝනික්කා වැනි පාරිහාරික භාණ්ඩ වල කාලනිර්ණයට අසමත් වීම සම්බන්ධයෙන් ද පුරාවිද්‍යාඥයාගේ වාර්තාව දෝෂ දර්ශනයට ලක්වී ඇත.

“එක සෙරෙප්පුවක් පමණක් පැළඳ ඉන්නා සිරුරක් විධිමත් හා ගෞරවනීය ලෙස වලදමා ඇතැයි කියන්නේ කොහොමදැ,” යි නීතිඥ රත්නවේල් විමසා තිබේ.

වාර්තාව පසෙකට: ඉදිරි කැණීම් තීරණය දෙසැම්බර් 14

නැගුනු විරෝධතා සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා වාර්තාව පසෙක ලන්නට තීරණය කර තිබේ.

දැනට කැනීම් සිදුකර ඇති භූමියෙන් ඔබ්බේත් සිරුරු වලදමා ඇති බව භූගත පරීක්ෂණවලින් අනාවරණය වී තිබෙන හෙයින් තවදුරටත් කැනීම් සිදුකරන ලෙස OMP කාර්යාලයේ කොමසාරිස් මිරාක් රහීම් විසින් කරන ලද ඉල්ලීම සම්බන්ධයෙන් දෙසැම්බර් 14දා රැස්වීමට නියමිත ඊළඟ පරිපාලන සාකච්ඡාවේදී තීන්දුවක් ගන්නා බව යාපනය මහේස්ත්‍රාත් සෙල්වනායගම් ලෙනින්කුමාර් දැනුම් දී ඇත.

TheLeader

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.